ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

සර්වඥ ධාතු පූජාවේ ආනිසංස

“අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඇවෑමෙන් වසර පන්දහසක් මුළුල්ලෙහි ගොයුම් ගොත් බුදු සසුනෙන් පිහිට පිළිසරණ ලබන අනන්ත අප්‍රමාණ ලෝ සතුන් දැක වදාළ, මේ අප කෙරෙහි මහා කරුණාවෙන් ශ්‍රී සම්බුද්ධ ශරීරය ඒකඝන නොවී ධාතූන් වහන්සේලා විසිර යන සේ පරිනිර්වාණ මඤ්චකයෙහි වැඩ හිඳ සර්වඥයන් වහන්සේ අදිටන් කොට වදාළ සේක්, “ධාතු පරිනිර්වාණය දක්වා ම සැදැහැවත්හු වැඳ පුදා පින් රැස් කරගෙන සුගති සැප නිවන් සැප සාක්ෂාත් කරගනිත්වා!” යන අනුකම්පා සහගත සිතුවිලි සමුදාය පෙරටු වීමෙනි.”


එසේ අවශේෂ වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තුන්ලොව එකළු කරවමින් පූජා ලාභයෙන් සර්වඥයන් වහන්සේ හා සමව අද දක්වා ම නිරුපද්‍රිතව දිව්‍ය, බ්‍රහ්ම, නාග ලෝකයන්හි ද මේ මිනිස් ලොවෙහි ද සුවසේ වැඩ වෙසෙමින් විරාජමාන වන්නේ, බුදුවරයන් වහන්සේලා සිය දහස් ගණනක් ලෝක ධාතුව පුරා වැඩ වසන්නාක් මෙනි. එබැවින් අබැටක් පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේ නමක් යම් තැනක වැඩ වෙසෙත් ද, එතැන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන ස්ථානයක් සෙයින් පූජනීය වන්නේය.
කල්ප කෝටි ලක්ෂ ගණන් පුරන ලද පාරමී පුණ්‍ය තේජානුභාවයෙන් උපන් නේක විධ විචිත්‍ර ලක්ෂණයන්ගෙන් අලංකෘත දේව විමානයක් බඳු සර්වඥයන් වහන්සේගේ විස්මිත ශ්‍රී බුද්ධ ශරීරයෙහි උපන් ශාරීරික ධාතුන් වහන්සේලා වැඳුම් පිදුම් කිරීමට සුදුසු හෙයින් ‘ශාරීරික චෛත්‍ය’ නාමයෙන් ත්‍රිවිධ චෛත්‍ය අතර අග්‍රස්ථානයෙහි වැජඹෙන සේක. ධාතූන් වහන්සේලා වන්දනා කිරීම අනුදැන වදාළේ අප භාග්‍යවතුන් වහන්සේ ම ය.
“ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්බුදු රජහු ස්තූප තනවා පිදීමට සුදුසු වෙත්ද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයා සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව් ලොවෙහි උපදිති….. සිව් මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද සකසා වන්දනා කරන්නාහු ද සිත හෝ පහදවා ගන්නාහු ද එය ඔවුන්හට බොහෝකල් හිත සුව පිණිස වන්නේය.”
(මහා පරිනිබ්බාන සූත්රය – දී. නි. 2)

එබැවින් සර්වඥ ධාතූන් වහන්සේලා පින් කැමැත්තවුන්ගේ අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය ද, සැප කැමැත්තවුන් හට සිතූ පැතූ සැප සම්පත් ලබා දෙන කල්ප වෘක්ෂය ද චින්තා මාණික්‍ය රත්නය ද භද්‍ර ඝටය ද වන සේක.
“නයිමස්මිං ලෝකේ පරස්මිං වා පන
බුද්ධේන සෙට්ඨෝ ව සමෝ ව විජ්ජති
ආහුනෙය්ය තං පරමාහුතිං ගතෝ
පුඤ්ඤත්ථිකානං විපුල ඵලේ ඨිතන්ති.”

“මෙලොව හෝ පරලොව හෝ පිනෙන් ප්‍රයෝජන ඇති මහත් වූ පින් පල කැමැත්තවුන්හට, පුද පූජා පැවැත්විය යුතු උතුමන් අතර පරම පූජනීය භාවයට පැමිණි බුදුරජාණන් වහන්සේ ම ජ්‍යෙෂ්ඨ වන සේක. බුදුරජුන් හා පූජනීය භාවයෙන් සම වූ කෙනෙක් නැත්තේම ය.”
(මහාරථ විමාන – විමාන වත්ථුපාළි)

මෙකරුණ නාගසේන මහ රහතන් වහන්සේ මිළින්ද ප්‍රශ්නයෙහිදී මෙසේ වදාළ සේක.
“මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනයෙන් දියුණුවට පත්ව ධාතූන් වහන්සේලා ද ධර්මය ද විනය ද අනුශාසනාව ද ශාස්තෘ තනතුරෙහි තබා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා ද, බුද්ධ ඥාන රත්නය ද ත්‍රිවිධ සම්පත් ඉපිදවීමට හේතුව වෙයි. භව දුකින් පීඩිත වූ සත්වයෝ ධාතුන් වහන්සේලා ද ධර්මය ද විනය ද අනුශාසනාව ද හේතුකොට සැප කැමති අය සැප ලබා ගනිති….. තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලාට ද බුද්ධ ඥාන රත්නයට ද පූජා පවත්වා කුසල් උපදවා, ඒ කුසල් බලයෙන් රාග ද්වේෂ මෝහ යන ත්‍රිවිධාග්නියෙන් හටගන්නා සන්තාප පරිදාහ නිවා ගනිති. සංසිඳුවා ගනිති.”
(කරන ලද දෙය සඵල වීම ගැන ප්‍රශ්නය)
----------------
🌼🌼🌼
--------------
“යේ ච ඛෝ ථූප පූජාය – වත්තන්තේ අරහතෝ මහේ
ආදීනවං පකාසෙන්ති – විවේචයථ නෝ තතෝ”
“අරහත් සම්බුදු රජුන්ගේ චෛත්‍ය පිළිබඳව ධාතු පූජා උත්සව පවත්නා කල්හි යම් කෙනෙක් එයට නින්දා කරත් නම්, ඔවුන් බැහැර වන්නේ පිනෙන් බව දත යුතුය.”
(ධාතු විවණ්ණක පේතවත්ථු – පේතවත්ථු පාළි)
----------------
🌼🌼🌼
--------------
නිකෙලෙස් මහ රහතන් වහන්සේලා පවා ධාතූන් වහන්සේලා ශාස්තෘන් වහන්සේ ලෙස සලකාගෙන එය පිළිසරණ කොට වාසය කළ සේක. අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩ වස් වසා, වස් පවාරණය යෙදුණු ඉල් පුන් පොහෝ දින දෙවනපෑතිස් මහ රජුහට මෙලෙස වදාළ සේක.

“මහරජ්ජුරුවෙනි, අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැදැක වන්දනා කොට දැන් සෑහෙන කලක් ගතවුණා. මෙහි දී උන්වහන්සේව පුදන්නට නැති නිසා අපි අනාථවාසයකිනුයි ඉන්නේ. දඹදිව යන්නටයි අදහස.”
“ස්වාමීනී, සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ බව මට කලින් වදාළා නොවේද?”
“එසේය මහරජ්ජුරුවෙනි, භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බැහැ දැක්ක විට ජීවමාන භාග්‍යවතුන් වහන්සේ දැක්කා සමානයි.”
(ආහ ධාතුසු දිට්ඨේසු – දිට්ඨෝ හෝති ජිනෝ ඉති)
(මහාවංශය, 17. ධාතු ආගමන පරිච්ඡේදය)
----------------
🌼🌼🌼
--------------
'ලෝක නාථ වූ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ පිරිනිවී කල්හි තාදී ගුණ ඇති ද්වීපදෝත්තමයාණන් වහන්සේගේ එක්‌ ධාතූන් වහන්සේ නමක්‌ මා විසින් ලබන ලදී.'' ''බුදුරජාණන් වහන්සේගේ ඒ ධාතූන් වහන්සේ රැගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේට මෙන් පස්‌ වසක්‌ පූජා පැවැත්වීමි.
'මෙයින් සිවු අනූ වැනි කපෙහි වූ එකල්හි යම් ධාතු පූජාවක්‌ කළෙම්ද, දුගතියක්‌ නොදනිමි. ධාතූන් වහන්සේට පූජා පැවැත්වීමෙහි විපාකයයි.
සිව්පිළිසිඹියාද, අෂ්ට විමෝක්‌ෂද, ෂඩභිඥ ද සාක්‌ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.''
මේ අයුරින් ආයුෂ්මත් ධාතුපූජක ස්‌ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළ සේක.
(අපදානපාළි - ධාතු පූජක ථෙරාපාදානයෙනි.)
----------------
🌼🌼🌼
------------
අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සමීප සමයෙහි එක්තරා ස්ත්‍රියක් රජගහ නුවර අජාසත් මහ නිරිඳුන් විසින් කරවන ලද සම්බුද්ධ ධාතු ස්තූපයට පූජා පිණිස තමා දිළිඳු හෙයින් පිදීමට වෙනත් දෙයක් නොදැක කිසිවෙකුට ප්‍රිය නොවූ වැටකොළු මල් සතරක් නෙලාගෙන බුදුරජුන්ගේ ධාතු ශරීරය ගැන සිතමින් පහන් සිතින් යන්නී, අතරමගදී ගවදෙනක් විසින් අනිනා ලදුව මරණයට පත්වූවාය. බුදු ගුණ මනසිකාරයෙහි අනුහසින් ඒ ක්ෂණයෙහි ම ඕ තොමෝ සක් දෙව් රජුගේ දෙකෝටි පනස් ලක්ෂයක් දෙවඟනන් මධ්‍යයෙහි ඒ හැමට අග්‍රව ස්වර්ණ වර්ණ වස්ත්‍රාභරණයෙන් විභූෂිතව උපන්නීය. උයන් කෙළියට යමින් සිටි සක්දෙව් රජු අලුත උපන් මෙම දෙවඟනගේ ශ්‍රී විභූතිය බලා එය ලැබීමට හේතු වූ පින්කම ඇගෙන් විමසා දැනගෙන විස්මයට පත් වූයේ, මාතලී දෙව්පුතුට මෙසේ පැවසුවේය.

“පස්ස මාතලී අච්ඡේරං – චිත්තං කම්මඵලං ඉදං
අප්පකම්පි කතං දෙය්යං – පුඤ්ඤං හෝති මහප්ඵලං”
මාතලී අසිරිමත් වූ විසිතුරු වූ මේ කර්ම ඵලය බලන්න. දිය යුත්ත අල්ප වශයෙන් නමුත් දුන් බැවින් එහි පින මහත්ඵල ඇත්තක් වූයේය.

“නත්ථි චිත්තේ පසන්නම්හි – අප්පිකා නාම දක්ඛිණා
තථාගතේ වා සම්බුද්ධේ – අථ වා තස්ස සාවකේ”
තථාගත සම්බුදු රජුන් කෙරෙහි හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් කෙරෙහි හෝ සිත පහන් මොහොතෙහි දෙන දක්ෂිණාව ස්වල්ප වූවක් නොවේ.

“තිට්ඨන්තේ නිබ්බුතේ චාපි – සමේ චිත්තේ සමං ඵලං
චේතෝ පණිධි හේතූහි – සත්තා ගච්ඡන්ති සුග්ගතිං”
ජීවමාන බුදුරජුන් කෙරෙහි ද, පිරිනිවන් වැඩි බුදුරජුන් කෙරෙහි ද සම සිත් ඇති කල්හි සම විපාක ලැබෙයි. එසේ සිත පිහිටුවා ගැනීම හේතුවෙන් සත්වයෝ සුගතියට යන්නාහ.

“බහුන්නං වත අත්ථාය – උප්පජ්ජන්ති තථාගතා
යත්ථ කාරං කරිත්වාන – සග්ගං ගච්ඡන්ති දායකා“
යම් කෙනෙකුන් කෙරෙහි පූජා පවත්වා දායකයෝ සුගතියට යත් ද, ඒ තථාගතයන් වහන්සේලා ඒකාන්තයෙන්ම බොහෝ දෙනාගේ හිත සුව පිණිස පහළ වන සේක.
(පීත විමාන – විමානවත්ථු පාළි)

ඔබ රුවන්වැලි මහ සෑ රදුන් උදෙසා සිදු කරනු ලබන පූජාවන් කොතරම් ආනිසංස ඇත්දැයි මෙම කරුණු දෙස බලන විට ඔබට අවබෝධ වනු ඇත.
🌼
...ධාතු ස්තූපවලට ආලෝක පූජා කිරීමේ විපාක
දිවැස් ලැබූ භික්ෂූන් අතර, අග්‍ර වූ “අනුරුද්ධ” මහරහතන් වහන්සේත්, භික්ෂුණින් අතර අග්‍ර “සකුලා” නම් රහත් භික්ෂුණියත් ඒ හැකියාව උපදවා ගත්තේ අතීතයේ පහනක් අතට ගෙන රැය පහන්වනතුරු ධාතු ස්තූපයක් ප්‍රදක්ෂිණා කිරීමේ විපාක නිසයි. තවද පහන් පූජාවෙන් තියුණු ඇස් තිබේ. ප්‍රඥාවටත් උපනිශ්‍රය කාරණා සකස් වේ. පුදුම සහගත විපාක පහන් පූජාවෙන් රැස්වෙන විස්තර රහතන් වහන්සේගේ ජීවිත කතාවල සඳහන්.

🌼
..ධාතු පූජාවේ අග්‍රතම ප්‍රාර්ථනාව
ප්‍රාර්ථනා කළත්, නැතත් පිනේ සැප විපාක උපදී. අපට ඉපද ඉපිදී මැරි මැරී යන හිස් සංසාරයක් අවශ්‍යද? නැතිනම් ආ සසර කෙළවරක් අවශ්‍යද? වින්ඳ සැපත්, දුකත් අනිත්‍යතාවයට අයිතිය. අතීතයේ දැරූ සැප දැන් නැතිවා මෙන්ම අනාගතයේ යම් සැපක්, දුකක් විඳිනවානම් එයටත් එසේමය. ඒ නිසා මේ රැස්කරන පින් බලයෙන් ප්‍රඥාව පහළව චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා කියා සිතන්න. අග්‍ර දෙයක් පිදීමේදී අග්‍ර විපාක සැලසීම ඒකාන්තය.
උතුම් වූ ධර්ම දානය පිණිස වේවා ...