ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

අසිරිමත් ධාතු පුරාණය 3

11  කොටස

අකු ධාතුන් වහන්සේ තැම්පත් කළ ථූපාරාම මහා සෑය

අප සාකච්ඡා කරමින් සිටින්නේ ධාතුන් වහන්සේගේ පරම්පරා විස්තරය යි. චේතිය පූජාවෙන් මහා පුණ්‍ය නිධානයක් රැස්වෙන බවත්, ඒ පුණ්‍ය නිධානයෙන් අමා මහ නිවන මතුවන බවත් ඛුද්දක නිකායේ නිධිකණ්ඩ සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙනවා.
දාගැබ් වහන්සේලාටත්, ගුණවත් සංඝයාටත්, ආගන්තුකයින්ටත් යම් පුද්ගලයෙකුටත්, මව්පියන්ටත්, වැඩිමහළු සහෝදර සහෝදරියන්ටත් දන්දීම්, ගෞරව දැක්වීම් ආදිය කරනවානම් මනා කොට තැන්පත් කරපු මෙම නිධානය කාටවත් සොරකම් කරන්න බැහැ. පරලොව යද්දී තමාගේ පස්සෙන්ම එනවා. සියල්ල අත්හැර පරලොව යන්න සූදානම් වනවිට මේ පුණ්‍ය නිධානය තමා අරගෙන යන්න තිබෙන්නේ. මේ පුණ්‍ය නිධානය හැමදෙනාටම බෙදා ගන්න බැහැ. හොරුන්ට පැහැර ගන්නත් බැහැ. තමා පස්සෙන් එන ඒ පුණ්‍ය නිධානය යි නුවණැත්තා පින් වශයෙන් කළ යුත්තේ.
කල්‍යාණමිත්‍ර සම්පත්තියට පැමිණ සමාධිය ඇතිකර ගැනීමත්, යෝනිසෝමනසිකාරයේ යෙදීමත් නිසා විද්‍යා විමුක්ති වශයෙන් ලබන චිත්ත දියුණුව කරා යන්නත් ඒ ගුණධර්ම කෙරෙහි සිතේ වසඟය පවත්වන්නටත් මේ හැමදෙයටම පුණ්‍ය නිධානය හේතුවෙනවා. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන පටිසම්භිදාවන් අෂ්ඨ විමෝක්ෂයන්, ශ්‍රාවක බෝධියත්, පසේබුදුබවත්, සම්මා සම්බුදු බවත් යන මේ හැම දේකටම පුණ්‍ය නිධාන හේතුවෙනවා. මේ ආකාරයට යම් මේ පුණ්‍ය සම්පත්තියක් ඇද්ද එය විශාල යහපතක් සලසනවා. ඒ නිසයි ප්‍රඥාවන්ත සත්පුරුෂයන් කළ පින් ඇති බව දැන ප්‍රශංසා කරන්නේ.

ථූපාරාම මහා සෑය


මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට ධර්මය ප්‍රචාරය කරන අතරේදී උන්වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට කියනවා රජතුමනි, මම භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීම සඳහා දඹදිවට වඩින්න ඕන. ස්වාමිනි ඔබවහන්සේම නේද කියා සිටියේ තථාගත අරහත් සුගතයන් වහන්සේ පිරිනිවන් පා අවසානයි කියා. රජතුමනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව සැබෑවක්මයි. නමුත් උන්වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩ සිටිනවා. ධාතුන් වහන්සේ දැකීම, වන්දනා කිරීම බුදුරජාණන් වහන්සේ දැකීම හා වන්දනා කිරීම හා සමානයි. ස්වාමිනි, එසේනම් අප ලංකාදීපයේත් ධාතුන් වහන්සේ තැන්පත් කර වන්දනා කරමු. රජතුමනි, ඒ පිළිබඳව සුමන සාමණේරයන් වහන්සේට කියන්න. උන්වහන්සේ අවශ්‍ය කටයුතු සිදුකරයි. එසේය ස්වාමිනි, කියා රජතුමා මහත් සතුටට පත්ව සුමන සාමණේරයන් වහන්සේ මුණ ගැසී ධාතුන් වහන්සේ ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
සුමන මහරහතන් වහන්සේ වදාළා රජතුමනි, ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට සෑයක් අවශ්‍ය වෙනවා. එයට සුදුසු සෑයක් තනන්න. මම ධාතුන් වහන්සේ වැඩමවා ගෙන එන්නම් කියා දඹදිවට වැඩියා. ධර්ම අසෝක රජතුමා මුණ ගැසී කියනවා ලංකාදීපයේ තැන්පත් කිරීමට ධාතුන් වහන්සේ අවශ්‍යයි කියා. රජතුමා සතුව තිබූ ඔහු වන්දනාමාන කළ බුදුරජාණන් වහන්සේගේ භික්ෂා පාත්‍රාධාතුව පුරවා තිබුණ සර්වඥ ධාතුන් වහන්සේ සමඟ සියල්ලම සුමන සාමණේරයන් වහන්සේට ලබා දෙනවා. ඒක පුදුමයක්. මේ ඉතිහාසය පුරාවටම ලංකාවට උදව් උපකාර කළ එකම එක රජතුමා ධර්ම අසෝක නිරිඳුන්. ඔහු ඉන්දියාවේ තිබූ සාරයම ලංකාවට පරිත්‍යාග කළ රජ කෙනෙක්. අප අදටත් භුක්ති විඳින්නේ වන්දනාමාන කරන්නේ ධර්ම අසෝක රජතුමා ලබාදුන් දේයි.
සුමන සාමණේරයන් ඒ ධාතුන් වහන්සේ රැගෙන දිව්‍ය ලෝකයට වඩිනවා. දැන් ඔබ දන්නවා සිළුමිණ සෑයේ දළදා වහන්සේත්, දකුණු අකු ධාතුන් වහන්සේත් වැඩ සිටින බව. සාමණේර මහරහතන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට කියනවා සක්දෙවිඳ, දකුණු අකු ධාතුන් වහන්සේ අපට ලබාදෙන්න. ස්වාමිනි, අපට වන්දනා කරන්න දළදා වහන්සේ වැඩ සිටිනවා. ඔබ වහන්සේ දකුණු අකු ධාතුන් වහන්සේ රැගෙන යන්න. සුමන සාමණේරයන් වහන්සේ සර්වඥ ධාතුන් පාත්තරයත්, අකු ධාතුන් වහන්සේත් වඩම්මවාගෙන ලංකාදීපයට වැඩියා. මිහින්තලයේ ගලක් මුදුනේ පාත්‍රා ධාතුන් වහන්සේ සහ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර අකු ධාතුන් වහන්සේ රැගත් කරඬුව රජතුමාට බාර දුන්නා. රජතුමා ඒ ධාතුන් වහන්සේ ඇතෙකු පිට තබාගෙන රට වටේම වඩම්මවනවා. අද ථූපාරාමය තිබෙන තැනින් ගමන් කරද්දී ඇතා එතැනින් එහාට යන්නේ නැහැ. ධාතු කරඬුව බිමට ගන්නට දෙන්නෙත් නැහැ.
දැන් ථූපාරාමය තිබෙන තැන බලද්දී එතැන පස් ගොඩක් තිබුණා. ඒ පස්ගොඩ තනිකරම කටුගස්වලින් වැහිලයි තිබුණේ. පැරැණි පොත්වල සඳහන් වෙනවා පැරැණි ස්ථූප එසේ කටුගස් වලින් වැහෙන්නේ මිනිසුන්ට සතුන්ට වැසිකිලි කැසිකිලි කරන්නට යන්න බැරි වෙන විදිහටයි කියා. දැන් රහතන් වහන්සේ වදාළා රජතුමනි, මේ ස්ථානයේ මීට පෙර වැඩ සිටිය කකුසඳ බුදුරජාණන් වහන්සේගේ දබරා ධාතුන් වහන්සේ තැන්පත් කර සෑයක් තනා තිබෙනවා. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුරජුන්ගේ මෙන් ධාතු විස්තරයක් නැහැ. හේතුව කිම? දීර්ඝායුෂ තිබෙන මිනිසුන් ජීවත්වන කාලයේ පහළ වන බුදුවරුන්ගේ ධාතුන් වහන්සේගේ විසිරීමක් වෙන්නේ නැහැ. මුළු බුද්ධ ශරීරයම එක ධාතුන් වහන්සේ නමක් පමණයි. එනිසා කකුසඳ, කෝණාගමන, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ තිබෙන්නේ එකම ධාතුන් වහන්සේ නමක් පමණයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ කොතරම්ද? ද්‍රෝණ අටයි. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුව තිබුණේ දැන් ථූපාරමය තිබෙන තැන. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ජල සාටකය තැන්පත් වී තිබුණේ දැන් ථුපාරාමය තිබෙන තැන. ගෞතම බුදුරජුන්ගේ අකු ධාතුන් වහන්සේ එතැනම වැඩ සිටිනවා. දේවානම්පියතිස්ස රජතුමා යොදුනෙන් යොදුන එක් සෑයකට අනෙක් සෑය පෙනෙන ලෙස ධාතුන් වහන්සේ දෙනම දෙනම තැන්පත් කොට සෑයන් ඉදිකර තිබෙනවා. එය “යෝජන ස්ථූප” ලෙස හඳුන්වනවා.
මිහිඳුමහ රහතන් වහන්සේ ථූපාරාම සෑය ඉඳිකළ පසු සංඝයාත් සමඟ විනය සංඝායනා කළා. එවලෙහි පොළොව කම්පාවුණා. මේ ලංකා ධරණීතලයේ වංශකථා සහිතව ඉදිවූ මුල්ම චෛත්‍යය තමා ථූපාරාමය සෑය. එම සෑය රාජවංශයෙන් පැවැත එනවා. අද අප වන්දනා කරන ථූපාරාම සෑයේ තිබෙන්නේ අකු ධාතුන් වහන්සේ සහ කේශ ධාතුන් වහන්සේ. ථූපාරාම සෑය අනෙක් සෑයන් සමඟ බලද්දී කුඩා වුවද එය තුන්ලොව කම්පා කළ මහා සෑයක්.

මිරිසවැටිය සෑයේ පරම්පරා විස්තර

දුටුගැමුණු රජතුමා මුලින්ම කළ සෑය මිරිසවැටිය මහ සෑයයි. දුටුගැමුණු රජුට පරම්පරාවෙන් ලැබුණ සර්වඥ ධාතුන් වහන්සේ ජය කොන්තයේ තැන්පත් කර රජතුමා ගමන් කරන කරත්තයේ ඉදිරියේ තබා තිබෙන්නේ.(ජය කොන්තය කියන්නේ අද පාර්ලිමේන්තුවේ තිබෙන සෙන්කෝලය වගේ එකක්.) දිනක් රජතුමා දැන් මිරිසවැටිය සෑය තිබෙන ස්ථානයේ ධාතුන් වහන්සේ තැන්පත් ජය කොන්තය තබා පැන් පහසු වුණා. රජතුමා පැන්පසුවී අවසානයේදී යන්නට සැරසී ජය කොන්තය ගන්න උත්සාහ කළත් එය ගන්නට අපහසු වුණා. රජතුමා තීරණය කළා මෙතැනටයි ධාතුන් වහන්සේ උරුම කියා සෑයක් ඉදිකළා. ඒ සෑයේ ජය කොන්තය තැන්පත් කළා. මේ සෑයට “මිරිසවැටිය” කියා නම තබන්නත් එක් හේතුවක් තිබෙනවා. ඒ තමා රජතුමා කෑමට පෙර සෑමදාම සංඝයාට දානය පිළිගන්වලයි කෑම කන්නේ. එක් දිනක් සංඝයාට පිළි ගන්වන්නේ නැතිව මිරිස් කා තිබෙනවා. එයට වන්දියක් ලෙස මේ සෑයට මිරිසවැටිය කියා නම්කළ බව පොතපතේ සඳහන් වෙනවා.
ඉතින් ඔබත් නිරන්තරයෙන් මේ සෑයන් වන්දනා කරන්න. ඔබ සෑ රජාණන් වහන්සේ දෙස බලා නිරන්තරයෙන් සිත පහදවා ගන්න. බොහෝ ගාථා කියමින් වන්දනා කරන්නට ඔබ දන්නේ නැත්නම් සොළොස්මස්ථාන වන්දනා කරන ගාථාව හෝ කියමින් නිරන්තරයෙන් සෑයන් වන්දනා කරන්න.
මහියංගනං නාගදීපං - කල්‍යාණං පදලාඤ්ඡනං
දිවාගුහං දීඝවාපී - චේතියංච මුතිංගණං
තිස්සමහා විහාරංච - බෝධිං මරිචවට්ටියං
සොණ්ණමාලී මහාචේතිං -ථූපාරාම භයාගිරිං
ජේතවනං සේලචේතියං - තථාකාචරගාමකං
ඒතේ සෝළසඨානානි – අහං වන්දාමි මුද්ධනා
මහියංගණය, නාගදීපය, කැලණිය, ශ්‍රීපාදය, දිවාගුහාව, දීඝවාපිය, මුතියංගණය, තිස්සමහා වෙහෙර (සේරුවාවිල) ජය ශී‍්‍රමහා බෝධින් වහන්සේ, මිරිසවැටිය, රුවන්වැලි මහා සෑය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනය, සේල චෛත්‍යය, කිරිවෙහෙර යන මේ උතුම් ස්ථාන දාසය මම සිරසින් වන්දනා කරමි.

නිරන්තරයෙන් පිදුම් ලබන පාරිභෝගික ධාතුන් වහන්සේ

අසිරිමත් ධාතු පුරාණය 12 කොටස
බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ ජය ශ්‍රී මහා බෝධිය, පාත්‍රා, සිවුරු ආදිය පාරිභෝගික ධාතු නම් වේ. උන්වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ උන්වහන්සේ සමවත් සුවෙන් වැඩ සිටි ඇතැම් ස්ථාන මෙන්ම බුදු සිරිතට අදාළ වැදගත් ස්ථානද පාරිභෝගික චෛත්‍ය ලෙස ප්‍රකටය.මේ පාරිභෝගික ධාතුන් වහන්සේගෙන් අද අප කථා කරන්නේ නාගදීප සෑයේ සහ කැලණි සෑයේ තැම්පත් පාරිභෝගික ධාතුන් වහන්සේගේ පරම්පරා විස්තරය යි.

නාග දීපයේ මැණික් පළඟ

සියවස් ගණනාවක් විරාජමානව වැඩසිටින නාගදීප මහා ස්ථූපය වැඩ සිටින්නේ යාපනයට නුදුරු දූපතකයි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව පස්වෙනි වර්ෂයේ නාගදීපයට වැඩම කළ සේක. ඒ චූලෝදර මහෝදර නාග යුද්ධය සංසිඳවනු පිණිසයි.
මහෝදර නා රජුගේ නැගණිය තිරම්ජිකා හා නාගදීප වැසි නා රජුගේ විවාහයෙන් උපන් දරුවා චූලෝදරයි. මහෝදර නා රජු චූලෝදර නා රජුගේ ඇවැස්ස මාමා. මාමාගේ රූබරින් සොබනා දියණිය චූලෝදරට විවාහකර දුන්නේය. දෑවැද්දට අනර්ඝ මාණික්‍ය ඔබ්බවන ලද මිණි පළඟක් ලබා දුන්නේය. නාගයින්ට මාණික්‍ය ඉතා පි‍්‍රයයි. නමුත් මහෝදර දියණිය නාග කන්‍යාව සුළු කලකින් මරු වසඟයට ගිය අතර දෑවැද්ද නැවත ඉල්ලා මහෝදර ගෝරනාඩු කළේය. තමාට ලැබුණ දේ නොදීමේ නීතිය පෙන්වමින් චූලෝදර කුපිත වූයේ අතිශයින් සැහැසි වචන කියමින් යුද්ධයට එළඹුණේය.
මහා කාරුණිකෝ සත්ථා සබ්බලෝක හිතේ රතෝ
බෝධිතෝ පඤ්චමේ වස්සේ වසං ජේතවනේ ජිනෝ

සියලු ලෝ සත කෙරෙහි ඇලුණ, ජිනේනද්‍ර වූ අපගේ මහා කාරුණික වූ ශාස්තෘන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වෙනි වස ජේතවනයෙහි වාසය කළ සේක.
මහෝදරස්ස නාගස්ස තථා චූලෝදරස්ස ච
මාතුලභාගිනෙය්‍යානං මණිපල්ලංක හේතුකං

මාමා හා බෑණා වූ මහෝදරත් චූලෝදරත් යන නා රජුන් දෙදෙනා මිණි පළඟ හේතුවෙන් යුද්ධයට පිවිසියේය.
දිස්වා සපාරි සජ්ජානං සංගාමං පච්චුපට්ඨිතං
සම්බුද්ධෝ චිත්ත මාසස්ස කාලපක්ඛේ උපෝසථෙ

පිරිවර සහිත යුද්ධයට එළඹුණු ඒ පිරිස බුදුරජුන් දුටු සේක. එදා අමාවක පොහෝ දවසයි.
පතෝ යේව සමාදාය පවරං පත්තචීවරං
අනුකම්පාය නාගානං නාගදීපං උපාගමි

නාගයන්ට අනුකම්පා පිණිස පාත්‍ර සිවුරු රැගෙන බුදුරජාණන් වහන්සේ උදේ කාලයේම නාගදීපයට වැඩි සේක.
භාග්‍යවතුන් වහන්සේ අහසේ සිටත් දහම් දෙසා ඔවුන් සමාදාන කොට භූමියට වැඩ මිණිපළගේ වැඩ හුන් සේක. ඒ නාගයෝ දිව්‍ය ආහාර පානයෙන් ශාස්තෘන් වහන්සේ පිදූහ. තිලොව නායක වූ බුදුරජාණන් වහන්සේ ජලයෙන්, ගොඩබිමෙන් වසන ඒ අසූකෙළක් නාගයෝ සරණ සීලයේ පිහිට වූ සේක. භාග්‍යවතුන් වහන්සේට සෙවණ පිණිස මේ ගමනේ දී කිරිඵලු රුකක් දරා සිටියේ ඒ ගසට අධිපති ජේතවනයේ වාසය කළ සුමන නම් වූ දෙවියාය. භාග්‍යවතුන් වහන්සේ නාගදීපයට ඒ රුක් දෙවියා කැටිව ආයේ ඔහු පෙර නාගදීපයේම වාසය කොට පසේබුදුවරයෙකුට පාත්‍රය පිරිසුදු කිරීමට කිරිඵලු කොළ පූජාකළ පිනෙන් ජේතවනයෙහි කිරිඵලු රුක් දෙවියෙක්ව උපන් නිසාවෙනි. ඒ කිරිඵලු රුකක් නාගදීපයේ රෝපණය කරන්නට භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කළ සේක. මිණි පළඟත් ඒ කිරිඵලු රුකත් පාරිභෝගික වස්තූන් සේ නාදීපයේ පිහිටියේ ය.
දසබල පරිභුත්තං සබ්බමේතං භුජංගා
මණිරිව රුචිදං තේ ධාතුයෝ යේව තස්මා
මහථ නමථ නිච්චං මං’ව සග්ගා පවග්ගං
දදති ඉති ච වත්වා ඔවදිත්වාන සත්ථා

නාගයිනි, දසබලධාරීන් වහන්සේ පරිභෝග කළ මේ සියල්ල ඔබට සිතු පැතු සම්පත් දෙනු මැණිකක් මෙනි. ඒවා (පාරිභෝගික ) ධාතුන් වහන්සේම ය. එහෙයින් මා මෙන් නිතර පූජා කරන්න. වන්දනා කරන්න. එය ඔබට සුගති සැපය පිණිස වන්නේ ය. ශාස්තෘන් වහන්සේ අවවාද කළ සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි භූමියේ ම රාජායතන වෘක්ෂයත් මිණිපළඟත් මහාර්ඝ පූජාවන් ලෙස නාගයන් විසින් පුදන ලද්දේ නාගදීප ස්ථුපය ඉදිවිය. එදා මෙදා තුර අනේක බලවේගයන් ඉදිරියේ දෙව් මිනිස් නා පිරිස් වැඳුම් පිදුම් කරමින් නාගදීපයේ බුද්ධ භූමිය විරාජමානව වැඩ වෙසෙත්.
ධාතු පරිනිර්වාණ සමයේ. . .
තවත් විශේෂයක් වෙයි. ධාතු පරිනිර්වාණය වන සමයේ රුවන්මැලි මහා සෑයට එකතුවන ලංකාධරණී තලයේ සියලු ධාතුන් වහන්සේ නාගදීපයට වැඩමකොට නාගදීපයේ සෑය දෙබෑකොට අහසට මතුවන මිණි පළඟ මතුපිට පිහිටා මිණි පළඟ සමඟම දඹදිව බෝ මැඩට වැඩම කොට බුද්ධ ශ්‍රී දේහය මවා පාමින් ප්‍රාතිහාර්ය කොට ධාතු පරිනිර්වාණය වන්නේය. ඒ අද්භූත වූ ලොමු දැහැගැන්වෙන ධාතු පරිනිර්වාණය අප ඉදිරියේදී කථා කරන්නෙමු.
කැලණියට වඩින ලෙස කළ ආරාධනාව
නාගදීපයේ යුද්ධයට සහාය පිණිස ගිය කැලණි නදිය අසබඩ බොහෝ පිරිවර ඇතිව වාසය කරන මිණිකැට නෙත් ඇති නා රජු තිසරණය කෙරෙහි පහන් වූයේ කැලණියට ද වඩිනා ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේය. මහෝදර නා රජුගේ මාමා මණිඅක්ඛිත නා රජු වූයේය.
අසමසම පුරේ තේ විස්සුතෝයේව දාසෝ
යදිමනසි දයා තේ හෝති දාසෝ පුනා’පී
පවර රතනදීපේ හෝති කල්‍යාණිගංගා
මම වසති තහිං තං දට්ඨුකාමෝ’භියාචේ
අසම සම වූ මුනීන්ද්‍රයන් වහන්ස, මම ඔබ වහන්සේ ඉදිරියේ පෙරදීම ප්‍රකටව ම දාස වූයේමි. (දාසයෙක් සේ සරණ ගියෙමි) ඒ දාස වූ මා කෙරෙහි යළි දයාවක් වේ නම් මේ පවර රත්නදීපයේ මම වාසය කරන කැලණි නදිය අසලදී ඔබ වහන්සේ දකිනු රිසියෙන් සිටිමි. බුදු සමිඳුණෝ ඒ ආරාධනය පිළිගත් සේක.

මණිඅක්ඛිත නා රජු දෙව්රමට යෑම

නාගදීප ගමනින් වසර තුනක් ගතවිය. තවම භාග්‍යවතුන් වහන්සේ වැඩම කළේ නැත. මණිඅක්ඛිත නා රජු පිරිවර සමඟ මානවක වෙස් ගෙන දෙව්රම් වෙහෙරට ගොස් නැවත ආරාධනා කළේය. ලෝ සතුනගේ හිතසුව පිණිස ලොව පහළවන මහාකාරුණිකයන් වහන්ස, සසර නමැති සිර ගෙයින් අපව මුදවනු පිණිස කැලණියට වඩින සේක්වා. භාග්‍යවතුන් වහන්සේ නිහඬව ඉවසූහ. කැලණියට පැමිණි නා පිරිස ගඟ සමීපයේ සමතලා භූමියේ රන් රිදී මුතු සක් ආදිය විසුරුවා නොයෙක් කණු නංවා නොයෙක් කැටයම් යොදා සිතුවම් යොදා මාලාවන් එල්වා වියන් මුතුවැල් සුවඳ වැල් ගවසා තැන් තැන් වල සුසිනිඳු මුතුවැනි වැලි විසිරුවා තොරන් තනවා සොඳුරු මණ්ඩපයක් ඉදිකොට ප්‍රණීත දානය පිළියෙල කොට පෙරමඟ බලා සිටියේය.
භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් මහරහතුන් ගුවනේ පිරිවැරූ සේක. සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, මහානාම, උපවාන, උපාලි, අනුරුද්ධ, බක්කුල, අංගුලිමාල, රාහුල, භද්දිය, සේල, සුභූති , තිස්ස රාධ, දබ්බ, උපසේන, කොණ්ඩඤ්ඤ, අස්සජී, සීවලී, භගු, කුමාරකස්සප, පුණ්ණ, සෝණ, සෝභිත, රේවත, වංගීස, සාගත , නන්ද, භාරද්වාජ, ගවම්පති ආදි මහරහතුන් පන්සියයක් කැලණිය පරිභෝග කළේ වෙසක් පුන් පොහෝ දිනකදීය.

කැලණියේ මැණික් පළඟ

එදා කැලණියේ භාග්‍යවතුන් වහන්සේට පැනවූ මණ්ඩපය රහතුන් වැඩසිටිය බිම අද ඒ සෑ බිමයි. භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳීමට වැඩසිටි මිණිපළඟ සෑ ගර්භයේ තැම්පත් පාරිභෝගික ධාතුන් වහන්සේ වන සේක. පසුකාලීන සර්වඥ ධාතුන් වහන්සේ ද තැම්පත් වන්නට ඇත. කැලණිය මහා ථූපය එතරම් ම පූජනීය වන්නේය.
චීවර ගල සිරිපා කමල හා ජලසාටිකාව
භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා නාගයින්ට දහම් දෙසා කැලණි නදියේ පැන් පහසු වූ සේක. නාගයින්ට වන්දනා කිරීමට ගඟ පතුළේ සිරිපා සටහන් තැබූ සේක. ඒ උතුම් සිරිපා මාණික්‍ය රැසකින් වැසී ගියේය. සිවුරු ගලවා තැබූ ගල චීවර ගල ලෙස අදටත් සෑ මළුවේ උපචාර බිම තිබෙන බව නම් බොහෝ දෙනෙකුට රහසකි. නා ගස් සෙවණේ චීවර ගල සුරක්ෂිතව ඇත්තේ පිදුම් ලැබිය යුත්තේම ය. ජල සාටිකාව තැම්පත් කළ වෙහෙර එගොඩ කැලණිය යි.
මේ සියල්ල භාග්‍යවතුන් වහන්සේ පරිභෝග කළ ධාතුන් වහන්සේ වශයෙන් එදා මෙදා තුර දෙනෝ දහසක් වඳිති. පුදති. භාග්‍යවතුන් වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේගේ අනුහසින් ඔබ සුවපත් වේවා.

අසිරිමත් ධාතු පුරාණය 13 කොටස

ස්වර්ණමාලි මහා සෑය ඉදිවීම විශ්මිත ප්‍රාතිහාර්යකි

දෙවියන්ට පි‍්‍රය වූ දුටුගැමුණු රජතුමා එක් දිනයක් විජය ශ්‍රී ජයශ්‍රීමහා බෝධීන් වහන්සේට අතිශයින්ම අත්‍යාලංකාරයෙන් පූජෝපාහරක් සිදුකොට තම නුවරට පැමිණෙමින් සිටිද්දී රජතුමාට අහම්බෙන් මෙන් දේවානම්පියතිස්ස රජු විසින් සිට වූ දොළොස්රියන් උස ශිලා ස්ථම්භය හමුවිය. එහි සඳහන් වූ දෙයින් රජු අතිශයින්ම සතුටට පත්වුණි.
"දෙවනපෑතිස්ස රජුගේ මුණුබුරු වූ දුටුගැමුණු අබා නම් රජෙක් මෙතැන දාගැබක් කරවන්නේය” යි එහි සඳහන්ව තිබුණි. රජ ගෙදර රන් පතකද ඒ බව සටහන්ව තිබුණි. රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ විසින් කියන ලද වචනයද සිහි කොට මවිසින් මහා දාගැබක් කරවමි” කල්පනා කර සතුටු සිතින් රජ ගෙදරට ගොස් තම යහන් ගබඩාවේ සිටිමින් කල්පනා කරන්නේ අනෙක් අය දුකට පත් නොකොට සෑය බඳින්නේ කෙසේද? යන්නයි.
කවර උපායකින් ලෝකවාසීන්ට දුක් නොදී දැහැමින් සෙමින් මහ දාගැබට සුදුසු ගඩොල් උපදවා ගනිම්දෝ සිතීය. එවලෙහි ධවලව ඡත්‍රයෙහි අධිගෘහිත දෙවිවරු සිතූ සිත් දැක දුටුගැමුණු රජතුමා මෙසේ සිතන්නේ යැයි අඬගෑය. ඒ හඬගෑ ශබ්දය කටින් කට ගොස් සදෙව් ලොව පුරා පැතිරි ගියේය. ඒ බව සක්දෙව් රජ දැන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා "දුටුගැමුණු රජ මහාසෑය බඳින්නට ගඩොල් කෙසේ ලබන්දෝ සිතමින් සිටිති. ඔබ අනුරාධපුරයට උතුරු දෙසින් සෑයට අවැසි ගඩොල් මවා එවයි" අණ කැරිණ. අනුරාධපුරයට දොළොස් ගව්වක් ඈත ඊසාන දෙසින් “අවුරුවිට” නම් ගමේ තුන්යම රාත්‍රිය පුරා වැසි වැස්සේය. රාත්‍රිය පහව ගිය කල ගම්වැසියන් දුටුවේ රත්තරං කන්ඳක් පහළව ඇති බවයි. අප රජුට මහාසෑයට රත්තරං පහළ වී ඇතිබව ගම්වැසියන් දැන්වීය.


නුවරට නැගෙනහිර දිශාවේ සැතපුම් විසිඅටක් දුරින් ඈත ගඟින් එතෙර “තඹවිට” නම් ගමේ තඹ පහළ විය. ගම්වැසියෝ ඒ බවද රජුට දැන්වීය. නගරයට ගිණිකොණ දිසාවේ “සුමන නම් වැව“ සමීපයේ බොහෝ මැණික් පහළ විය. ඒ බව ද රජුට දැන්වීය. නුවරට දකුණු දිග දෙසින් සැතපුම් තිස්දෙකක් දුරින් “රිදී ගමේ” රිදී පහළ විය. බටහිර දෙසින් “උරුවෙල් ගම” නෙල්ලිගෙඩි තරම් විශාල මුතු, පබලු වෙරළට ගසා තිබුණි. අනුරාධපුරයට වයඹ දෙසින් “පෙළවාපි” නම් ගමේ විශාල වටිනාකම මිළ කළ නොහැකි මාණික්‍යයන් හතරක් පහළ විය. ඒ බවද ගම්මුන් රජතුමාට දැන්වීය. සතුටු සිත් ඇති රජු නගර වැසියන්ට තෑගිබෝග දී ඒ සියලුම දේ රජමාළිඟයට ගෙන්වාගෙන ඇත. සිතූ සැණින් සෑයට වස්තුව පහළවීම ඉදිවන මහා සෑයේ පූර්ව ප්‍රාතිහාරයක් නොවේද?

සෑයට රහතුන්ගේ ආශිර්වාදය

ඔබ අසා තිබෙනවා රුවන්මැලි මහා සෑයේ බිම සැකසූ ආකාරය. දුටුගැමුණු රජු වෙසක් පුන් පොහෝ දිනක ඇමැතිවරු පිරිවරා සෑය ඉදිවෙන බිම වෙත ගොස් ඉදිවෙන මහා දාගැබට අවශ්‍ය පොළොව සුද්ධ පවිත්‍ර කරවූවා ය. රජතුමා තම සීයා වූ දේවානම්පියතිස්ස රජතුමා ඉදිකර තිබූ ස්ථම්භය සෑ මළුවෙන් එපිට තැම්පත් කළ අතර එය අදටත් දකින්නට තිබේ. සෑයේ වට ප්‍රමාණය රජතුමා සිතින් සිතා ඒ අවට සුද්ධ පවිත්‍ර කොට මතුපිට පස් රියන් හතක ප්‍රමාණයක් පස් ඉවත් කරන ලදී. ඉන්පසු ගල් අතුරා ඇතුන්ගේ කකුල්වලට හම් තබා බැඳ ඇතුන් ලවා පොළොව තලා වටේ බැමිද රජු විසින් කරවීය.
ඒ අතරේ රහත් සාමණේර ස්වාමින්වහන්සේලා හිමාලයට ගොස් නවනීත මැටි සෑය වෙනුවෙන් ගෙන ආයෝය. (ගංගාවක් අසල පිනිපොද වැටී තෙත් වී තිබෙන මැටිවලට නවනීත මැටි කියයි.) ඒ නවනීත මැටි තදකළ භූමියේ අතුරා තවත් භූමිය තද කළේය. ඉන්පසු ගඩොල් අතුරා, ඊට උඩින් තඹ අතුරා, ඊට උඩින් රිදී අතුරා ඉන්පසු සම්පූර්ණයෙන්ම ලෝහ අතුරා මහා සෑය බොහෝ කාලයක් පවතීවා යන අදහසින් රජතුමා බොහෝම සුරක්ෂිතව භූමිය තනා අවසන් කළේය. භූමියේ තෙත් සිඳුන කල්හි යකඩයක් සේය. මෙසේ භූමිය තනන්නට රජුට මාස තුනක් කල් ගියේය. දැන් ඇසළ මාසයයි.

මහාසෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය

එදා ඇසළ පොහෝ දිනය යි. “ස්වාමිනි, හෙට පොහෝ දින මහා දාගැබ් වහන්සේගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය යි. මහා සංඝයා වහන්සේ රැස්වන සේක්වායි” දන්වා අනුරාධපුරයට අණ බෙරයක් යැවීය. සංඝයා සහ රජතුමා වඩින මාවත දෙවියන්ගේ සුදම්සභාව මෙන් සැරසවීය. නොයෙක් සුවඳ වර්ග, මල් වර්ග, අතුරා සෑ බිම වටේ පුන්කළස් තබා අතිශයින්ම සරසා සුවඳවත් කළේය. බෙර වයන්මෝ බෙර වැයූහ. රජතුමා සූසැට ආභරණින් සැරසී පුරාංගනාවන් දහසය දහසක් පිරිවරා පැමිණි අතර තුන් ලෝකයේම කිසිදු ධාතූ සෑයකට සහභාගි නොවූ විශාල සංඝ සන්තිපාතයක් ඒ අවස්ථාවට එක්විය. සෑයක් ඉදිකිරීමේදී මෙතරම් පූජෝපහාර සත්කාර සිදුවූ වෙනත් සෑයක් නැතිතරම්ය.
රජගහ නුවර ඉන්ද්‍රගුප්ත නම් රහතන් වහන්සේ නමක් විය. උන්වහන්සේ මහා සෑයේ මුල්ගල තබන පින්කමට අසූදහසක් රහතන් වහන්සේ පිරිවරා වැඩි අතර, බරණැස ඉසිපතනයේ වැඩ සිටි ධම්මසේන නම් මහරහතන් වහන්සේ දොළොස් දහසක් රහතන් වහන්සේ පිරිවරා වැඩි සේක. දඹදිව ආරණ්‍යවාසී, වනවාසී, ග්‍රාමවාසී නොයෙක් ආකාරයෙන් සෘද්ධිමත් රහතන් වහන්සේ වාසය කළ අතර ඒ සෑම රහතන් වහන්සේ නමක්ම මහාතූප ඉදිකිරීමේ අවස්ථාවට සහභාගි වූහ. ලංකාවෙන් රැස් වූ රහතන් වහන්සේ සහ මඟඵල නො ලැබූ ස්වාමින්වහන්සේලා මෙතරම් යැයි කිව නොහැක. සුදුවැලි ඇතුරූ එම බිම කසාවතින් වැසී ගියේය. අහසේ අතුරුසිදුරු නොමැතිව දෙවිවරුන්ගෙන් පිරී ඉතිරී ගියේය. මෙතරම් අරහත් සංඝ සන්නිපාතයක් රැස්වූයේ කිම? ගෞතම බුදු සසුන පවතින තාක් තුන්ලොවට ආනුභාවයක් පතුරුවන ද්‍රෝණයක් ධාතුන් වහන්සේ පිහිටන මහාධාතූ ස්තූපය රුවන්මැලි මහා ස්තූපය නිසාවෙනි.

මහාසෑයේ ප්‍රමාණය තීරණය කිරීම

මහා සෑයේ ප්‍රමාණය තීරණය කරනු ලැබුවේ රහතන් වහන්සේ නමක් විසිනි. රජතුමාගේ සිතේ සටහන්ව තිබුණේ විශාල ස්තූපයක අනුරුවක්. රජුගේ සිතේ ඇති වූ ස්තූපය ඉදිවූයේනම් දැන් ඉදිවී ඇති රුවන්මැලි සෑය මෙන් හත් අට ගුණයකින් විශාල ය. රජතුමා සෑයේ වටප්‍රමාණය ලකුණු කරන්නට කල්යල් බැලීය. එතැන සිටි සිද්ධාර්ථ නම් රහතන් වහන්සේ දිවැසින් බැලු කල්හි රජුගේ සිතේ සටහන් වී ඇති ප්‍රමාණයට සෑය ඉදිකළ හැකිද? යන්නයි. එය කළ නොහැකි බවත් ඊට පෙර රජු මියයන බවත් රහතන් වහන්සේ දුටුසේක. උන්වහන්සේ “රජතුමනි, මේ ඉදිවන සෑයේ ප්‍රමාණය අප තීරණය කරමු” වදාළේය. ඝනාචාරී, ආනුභාවසම්පන්න රහතන් වහන්සේ නමක් වූ නිසා රජුද එයට එකඟ වීය.
සිද්ධාර්ථ රහතන් වහන්සේ සෑය වටේ පා සටහන් තබමින් සක්මන් කළ අතර ඒ සක්මන් කළ පා සටහන් කැපී යන ලෙස රවුම ඇන්දේය. ඒ රවුම අද තිබෙන පළමු පේසාවළල්ල වේ. රහතන් වහන්සේගේ විශ්මිත ගමන් මාර්ගයේ ඇඳ පළුඳු තිබුණේ නැත. සිද්ධාර්ථ නම් රහතන් වහන්සේයි මහාසෑයේ වටප්‍රමාණය තීරණය කරනු ලැබුවේ. මේ සියල්ල සිදුවූයේ ඇසළ පුන් පෝ දාය. මෙහිදී සොඳුරු නම් ඇති නන්දිසේන, මංගල, සිද්ධාර්ථ, සුමනාදේවි, සුප්පතිට්ඨිත, චිත්තසේන ආදී මැතිඇමැතිවරු මෙයට මුල් වූවේය.
මහාසෑයේ මුල්ගල තැබුවෝ කවුරුන්ද? රජතුමා මේ සඳහා ඇමැතිවරයෙක් තේරීය. සුප්පතිට්ඨිත (මනාව පිහිටියා) නම් ඇති ඇමැතිවරයාට කියා සිටියේ රත්තරං ගඩොලක් මංගල ගල ලෙස තබන ලෙසය. චිත්තසේන නම් රහතන් වහන්සේ නවනීත මැටි පිඬක් ගෙන අවුත් පිරිත් කරන ලද මැටි අතුරා පිරිත් පැන් ඉසිමින් ඒ මත රන් ගඩොල තබන ලෙස වදාළා. වටේම ගඩොල් එකසිය අටක් ඇතිරීය. දෙවි මිනිසුන්ගේ සාධු නාදය පුදබිම පුරා දෝංකාරය දුන්නේය. වැඩ සිටි පියදස්සී නම් රහතන් වහන්සේ ධර්මය දේශනා කළ අතර එතැන සිටි දහස් දෙනා මඟඵල ලැබූහ.
මෙසේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැම්පත් වන ස්තූපය ඉදිවීමේ මංගල ගඩොල තැම්පත් විය. නමුත් මේ වනතුරු සෑයට ධාතුන් වහන්සේ කොහිද? රජු, ඇමැතිවරු, ස්වාමින් වහන්සේ ඒ බව නොදනී. එසේනම් දන්නෝ කවුරුන්ද? ත්‍රිකාලය දැකිය හැකි ස්වාමින් වහන්සේ පමණක් රාමග්‍රාමයේ නාග ලෝකයේ වැඩසිටින ධාතුන් වහන්සේලා රුවන්මැලි මහ සෑය වෙනුවෙන් වැඩසිටන බව දනී. සාමාන්‍ය හුදී ජනී ජනයා ඒ බව දැනගන්නේ කෙසේද?


අසිරිමත් ධාතු පුරාණය 14 කොටස 

ද්‍රෝණයක් ධාතූන්වහන්සේ තැම්පත් ස්වර්ණමාලි මහා සෑය

ද්‍රෝණයක් ධාතූන්වහන්සේ තැම්පත් රුවන්මැලි මහා සෑය ඉදිකිරීමට රජතුමාට එතරම් හදීසියක් නො තිබිණ. “ස්වර්ණමාලි” ලෙස සෑය නම් කළේ කිම ජනප්‍රවාදයේ සහ දුටුගැමුණු රජුගේ විස්තර ඇති පොත්පත්වල මෙසේ සඳහන් වේ. මහාසෑය භූමියේ රන් තෙළඹු ගසක් විය. ස්වර්ණමාලි නම් දිව්‍යංගනාවගේ වාසස්ථානය ඒ තෙළඹු ගසය. මළුව සුද්ධ පවිත්‍ර කරන විට ගස කපා ඉවත් කරන්නට සිදුවූ අතර දි්‍යංගනාවගේ ඉල්ලීම පරිදි ඒ ගසට ස්වර්ණමාලි නම යෙදූ බව සඳහන් වේ.
ඉන්පසු රජතුමා මහා සෑය ඉදිකිරීමට සූදානම්ව තම රටේ සිටින ප්‍රසිද්ධ නම් ඇති පෙදරේරුවන් ගෙන්වා ඇත. පළමු ආ පුද්ගලයා “රජතුමනි, මම ඔබවහන්සේගේ අණ අනුව ඉක්මණින් මිනිසුන් යොදවා සෑය කඩිනමින් ඉදි කරන්නෙමි”කීය. රජු එයට එරෙහි විය. ඒ ආකාරයට සෑයක් ඉදිවුවහොත් ඉක්මනින් ගස්කොළං ඉදිවී ගරා වැටේ කියමින් ඔහු පිටත් කරවීය. ඒ ඒ ආකාරයට බොහෝ දෙනාගේ දස්කම් වීමසීය. අවසානයේ රජුට පුද්ගලයෙක් මුණ ගැසිණි. ඔහු “රජතුමනි, මම පස් කපා ඒවා කුඩුකර කුල්ලෙන් පොලා බොරළු ඉවත් කර මැටි පාගා තලා ගින්නෙන් රත් කර නැවත මැටි කර දෙමියි” කීය. රජුට මොහුගේ ඒ ක්‍රමය සාර්ථක යැයි සිතුණි. මැටි රත් කළ පසු ගස්වල බීජ හට නො ගනී. මා ඉදිකරන සෑය ගෞතම බුදුසසුන පවතින තුරා පැවතිය යුතු හෙයින් මොහුට සෑයේ ඉදිකිරීම් භාරදෙමියි සිතා සතුටු වූ සිත් ඇතිව මහා සෑයේ ඉදිකිරීම් ඔහුට භාර කළෝය. ඉන්පසු රජ ඒ පෙදරේරුවාගෙන් විමසා සිටියේ ඔබ මොනවගේ හැඩයකින්ද මේ සෑය ගොඩනඟන්නේ යන්නයි.
එසේනම් රජතුමා මේ වනතුරු සෑයේ හැඩය නො දනී. “දාගැබක් ඉදි කරන්නෙමු” යන අදහස පමණයි ඇත්තේ. නමුත් මහා සෑයට පෙර ථූපාරාම සෑය ඉදිවී තිබූ නිසා රජතුමා ථූපාරාම සෑය දැක තිබුණි. ථූපාරාම සෑය ඉදි වී ඇත්තේ වී ගොඩක හැඩයට යි. (ධා්‍යනාකාර) පෙදරේරුවාගෙන් රජතුමා අසන්නේ ඔබට කිනම් ආකාරයක සෑයක් ඉදිකළ හැකිද යන්නයි. බුබ්බුළුවාකාර හැඩයක් ගැන රජු නොදනී. ඒ වෙලාවේදී ඒ සිදුවීම දකින විස්කම් දෙවිපුත් පෙදරේරුවාගේ ඇඟට අරක්ගෙන පැන් භාජනයක් ගෙන ඒ පැන් භාජනයට ඇඟිලි දෙක එක්කොට ජලයට තට්ටුවක් දැමූ විට වතුර බුබුලක් උඩට ඉස්සී බෝලයක් හැඩය ගත්තේය. රජතුමනි, මේ බුබ්බුළුවාකාර හැඩය යි. මේ හැඩයට මහා සෑය ඉදිවේවි. එය දුටු රජතුමා මහත් සතුටට පත් වී බුබ්බුළුවාකාරව සෑය ඉදිකිරීමට අවසර දුණි. එසේනම් ද්‍රෝණයක් ධාතුන් වැඩසිටින රුවන්මැලි මහා සෑයේ වටප්‍රමාණය තීරණය කළේ රහතන් වහන්සේයි. සෑයේ හැඩය තීරණය කළේ දෙවිවරුන් විසිනි.
මහා සෑයට ගඩොල් කොහින් ද
මහා සෑය ඉදිකිරීමට දැන් ගඩොල් කොහින්ද කෙසේ තනම්දෝ රජු කල්පනා කළේය. එය දුටු විස්කම් දෙව්පුත් අනුරාධපුරයට ගව් ගණනක් ඈතින් මහා සෑයට අවශ්‍ය ගඩොල් මවන ලදී. නුවරට ගව්ගණනක් ඈතින් මහා ගඩොල් ගොඩක් මතුවී ඇති බව රජුට ආරංචි විණ. රජතුමා දැන් සිතන්නේ මේ ගඩොල් සෑය ළඟට ගෙන එන්නේ කෙසේද යන්නයි. ඊට පසුවෙනිදා රජතුමා සෑ භූමියට යනවිට එදා දවසට වැඩකළ හැකි ගඩොල් ප්‍රමාණය දොරටු හතරේ පාමුල තිබිණ. ඒ සියල්ල දෙවියන් විසින් කරන ලද්දේය. මහා සෑයට ගඩොල් සෙවීමට මිනිසුන් වෙහෙසෙන්නේ කුමකට ද සතුටට පත් රජතුමා දෙවියන්ට පින් දී ඒ ගඩොල් වලින් සෑය බැඳීමට තීරණය කෙරිණ.
ඒ වගේම රජතුමාගේ තීරණය වූයේ “මේ ඉදිකරන මහා සෑයේ කිසිවෙකුට නොමිලයේ වැඩ කිරීමට ඉඩ නොදනිමි. වැඩ කරන සෑම කෙනෙකුම වැටුපක් ගත යුතුය” යන්නයි. උදේට සෑ භූමියට වැඩට එනවිට පිරිසුදු වී පැමිණෙන ලෙසත්, මල් සුවඳ දුම් ආදිය දී ඔවුන් පිළිගෙන සෑයේ වැඩ ගෙන හවසට යනවිට මල්, තෙල්, කෙසෙල්, වැල, වරකා හාල්, ඉඳුරු, දුරු ආදි සියලුම දේ මිනිසුන්ට ලබා දුණි. මළුවට ඇතුල්වීමේදීත් පිටවීමේදීත් හතර වටේ ඇති දොරටු පමණක් පරිහරණය කළ යුතු බවට අණක් ද කරවා ඒවා පරීක්ෂා කිරීමට ඇමැතිවරුන්ද පත් කළේය.
මහා සෑයට ගඩොලක් තැබූ තෙරණුවෝ
එක් ස්වාමින්වහන්සේ නමක් වෙත ඉදිවෙන මහා සෑයට ගඩොලක් තැබීමට ඉතා කැමැත්තක් ඉපදිනි. ඒ සඳහා කිසිවක් (වැටුපක්) නො ගෙන ගඩොලක් තබන්නේ කෙසේද
උන්වහන්සේ දිනක් එක් අතකට ගඩොල් කැටයක්ද අනෙක් අතට මල් මිටක්ද ගෙන දාගැබට නැඟී පෙදරේරුවාට සෑය බැඳීමට එන ගඩොල් අතරේ ඒ ගඩොලද ලබා දුන්නේය. මා මෙතෙක් ගත් ගඩොලට වඩා වෙනස් ගඩොලක් නේදැයි දැක පෙදරේරුවා හිස ඔසවා බැලූ කල්හි තෙරුන් වහන්සේගේ දුක්මුසු වූ මුහුණ දැක ගඩොල තබා සෑය බැන්දෝය. එය දුටුවූවන් කෑගොස ගැසීය. ඒ රාවය රජුටද ආරංචි විය. රජු පෙදරේරුවා වෙත පැමිණ ඔබ තෙරුන් වහන්සේ නමක් දුන් ගඩොලක් තබා සෑය ඉදිකළේ දැයි විචාල විට
"එසේය රජතුමනි, උන්වහන්සේ එක් අතකින් මල් මිටක් හා එක් අතකින් ගඩොලක් ගෙන දුන් විට මම ගඩොල නො හඳුනාගෙන සෑයට තැබුවේයැයි" පිළිතුරු දුණි. ඔබට ඒ තෙරුන් හැඳිනිය හැකිද එසේය. පසුව තෙරුන් වහන්සේ මහත් සතුටට පත්ව සෑය වෙත ආවේය. පෙර පුද්ගලයා හිමියන් හැඳින රජුට පෙන්විය. රජතුමා අණ කළේ උන්වහන්සේ වැඩ වෙසෙන විහාරයට ගොස් "හිමියනි, මේ සුවඳ ද්‍රව්‍ය, දෑ සමන් මල් රජතුමා විසින් ඔබවහන්සේට බෝමළු පුදනු පිණිස දුන්සේක" යැයි දන්වන ලෙසය. තෙරණුවෝ මහත් සතුටට පත්ව බෝ මළුව සිසාරා මල් පූජාකොට පී‍්‍ර‍්‍රතිය උපදාවා ගත්තේය. මල් පූජාවෙන් අනතුරුව රාජපුරුෂයා තෙරුන් හමුවට පැමිණ පවසා සිටියේ ස්වාමිනි, ඔබවහන්සේ කිසිවක් නො ගෙන මහා සෑයට ගලක් තබා ඇත. ඒ වෙනුවෙන් මේ සුවඳ සහ දෑ සමන් මල් ඔබවහන්සේට එවු බව දැනගත මැනවයි කියා සිටියේය. එය ඇසූ තෙරණුුවන්ගේ සිත නො සතුටට පත්විය. රාජපුරුෂයා ස්වාමිනි, රජතුමා රත්තරං මල් දැන් ඔබවහන්සේට දුන්නත් ඒ රන් මල් ඔබවහන්සේ තැබූ ගඩොල තරම් නොවටී. ඒ නිසා සිත පහදවා ගනු මැනයි කියා වැඳ පිටත්ව ගියේය.
පේසාවළලු ගිලා බැසීම
සෑය ක්‍රම ක්‍රමයෙන් දෙවියන්ගේ මිනිසුන්ගේ උදව් උපකාරයෙන් ඉදිවෙමින් පැවතිණි. තුන්වැනි පේසා වළල්ල තෙක් රජතුමා සෑය ඉදිකළේය. එක් දිනක් ඒ පේසා වළලු පොළොවට ගිලී තිබුණි. නැවත ඉදි කළේය. නැවත ගිලිණි. නැවත ඉදි කළේය. නැවත ගිලිණි. ඒ ආකාරයට නව වතාවක් පේසා වළලු පොළොව යටට ගිලිණි. දැන් සෑයේ උස ප්‍රමාණයට පොළොවේ යටටද ගිලී තිබේ. රජතුමා බියට පත්විය. සෑයේ වරදක් වේද රහතන් වහන්සේ මුණ ගැසී රජු අසා සිටින්නේ "අනේ ස්වාමිනි සෑය පේසා වළලු මෙසේ පොළොවට ගිලෙන්නේ මන්ද යම් අන්තරාවක් වේද" රජතුමනි, ඔබතුමා කලබල නොවන්න. අනාගතයේ මිසදුටුවන්ගෙන් සෑය බේරා ගන්නටත්, බුද්ධ ශාසනය පවතින තාක්කල් සෑය නො නැසී පවතින්නටත් රහතන් වහන්සේලා විසින් මේ දේ සිදු කරති යන්නයි.
ගෞතම බුදුසසුන පවතින තුරු නොසැල්වී අකම්පිතව පවතින්නට ගොඩනඟන මහා සෑයේ තුන්වැනි පේසා වළල්ල තෙක් දැන් ගොඩනැඟී අවසන්ය.

අසිරිමත් ධාතු පුරාණය 15 කොටස 

මහා සෑයේ ධාතු ගර්භය අතිශයින්ම විශ්මිතය

දුටුගැමුණු මහ රජතුමා විසින් ඉදිකරමින් සිටින මහා සෑයේ තුන්වෙනි පේසා වළල්ල දක්වා ඉදිකිරීම අවසන්ව තිබියදීත් නව වතාවක් පේසා වළලු ගිළුණේ බුදුසසුන තිබෙන තුරා උතුම් සෑයේ චිරස්ථිතිය පිණිස යි. ඒ රහතන්වහන්සේලාගේ අධිෂ්ඨානය යි. රහතන් වහන්සේ ඒ මහා පින්වත්ත ගැමුණු නිරිඳුන්ට කරුණු පැහැදිලි කළහ. පේසා වළලු තුනට ගඩොල් කෝටි දහයක් බැගින් යෙද වූ බව සඳහන්ය. අද එතැන් සිට. . .
රහත් සාමණේරයන් වහන්සේ නමින් “උත්තර” සහ “සුමන” ය. උතුරුකුරු දිවයිනේ මේද වර්ණ පාෂාණ තැටි හයක් රැගෙන වැඩියහ. තුන්වෙනි පේසා වළල්ල මට්ටමේ අතුරා එක් ගලක් බිත්ති හතරට අනෙක් ගල් හතරක් තබා පියනට එන ගල නැඟෙනහිර දිසාවේ වැලි මළුවේ නො පෙනෙන්නට සැඟවූහ. මේ ආකාරයට රත්නමාලී මහා ස්ථූපරාජයාගේ ධාතු ගර්භයේ බිත්ති සැකසුණි.

පළමුව නිර්මාණය 
මහා බෝධි වෘක්ෂය යි

සෑ ගැබ මැද ඒ බෝධිය නිර්මාණය විය. බිම ඉඳුනිිල් මැණික් ඇතිරූ අතර, බෝධි වෘක්ෂයේ මුල් පබළු වලින් නිර්මාණය විය. කඳ රිදියෙන් ද, අතු රනින් ද, නිර්මාණය වූ අතර, එහි උස රියන් දහඅටකි. අතු දිගින් රියන් දහඅටකි. මෝරපු බෝපත් රනින්ද, අනෙක් බෝපත් ඉඳුනිල්් මැණිකකින්ද, අංකුර පත්‍ර ඒ ඒ මැණික් පැහැයෙන් ද සිදුවිණ. බෝධින් වහන්සේට ඉහළින් සුදු වියනක් බැඳ වියන වටකර සුදු මුතුවැල් එල්ලා ඇත. රන් වැල් මිණිගෙඩි වැල් ඒ වටේ එල්ලා නව ලක්ෂයක් වටින මැණික් හතරක් හතර මුල්ලේ එල්ලිණ. නැඟෙනහිර දිසාවේ හිරු මඬලද, බටහිර දිසාවේ සඳ මඬල ද, රනින් සිදුවිය. නැකැත්, තරු ඒ ඒ මිණි පැහැයෙන් විණ. බෝධීන් වහන්සේ වටා අටමගලයක්ද විණ. (අටමඟලය යනු එක් පසෙකින් සිංහයෙක්, තව පසෙකින් හස්ථියෙක්, තව පසෙකින් දක්ෂිණා වෘත්ත සංඛයක්, තව පසෙකින් වෘෂභයා, තව පසෙකින් පුන් කළස, තව පසෙකින් ධජය සහ පහන රන්මය, මිණිමය වශයෙන් ඉදිවීම) බෝධීන් වහන්සේ වටා මල් ඇතිරුණි. රන් මල්, රිදී මල්, මැණික් මල්, සඳුන් මල්, ආදි ඒ අතර විය. ඇත්, අස්, ගව, සිංහ ආදිය සත්ව පන්තියක් වටේ ඉදි කළ අතර, ඒ වටා හංසයෝ දිවෙන අයුරු නිර්මාණය විණ. අතුරු සිදුරු නොමැතිව රන්, රිදී, මුතු, මැණික්, වෛරෝඩි, දියමන්ති, පබළු යන සත් රුවනම ඇතිරූ අතර එක් ලක්ෂ අසූදාහක් සළු රන් නූලෙන්, රිදී නූලෙන් වැඩ දමා මැණික් ඔබ්බවා මුතු එල්වා ඒ ඒ තැන දිව්‍ය සළු සේ සැරසුණි. ඒ බෝධි වෘක්ෂය අතිශයින්ම ලොමු දහ ගන්වන සුළු විය. දකින විට විහිදෙන රශ්මියෙන් දෑස් නිලංකාර වුණි.

පුන්කළස් පූජාව

බෝධීන් වහන්සේ කඳ පාමුල සත් රුවනින් නිම කළ පාවාඩයක් අතුරා තිබේ. මුතු ඉහිරුවා සුවඳ පැන් පිරවූ පුන් කළස් බෝධිය වටේ පිහිටණ. එය අපූරු ආකාරයට සිදුවී තිබුණ අතර, මැණික් කළ තුළ පබළු වලින් මල් නිර්මාණය කර තිබුණි. ඉඳුණිල් මැණික් කළ තුළ රිදී මල් ද, රිදී කළයේ නිල් මැණික් මල්ද සත්රුවන් කළයේ සත් රුවන් මල්ද පුරවා තිබුණි. ගෞතම බුදු සසුන පවතින තුරා ධාතුන් වහන්සේ වැජඹෙන මහා සෑ ධාතු ගර්භයේ බෝධි උපහාරය කෙතරම්දැයි සිතාගත නොහැක. ලොමුදහ ගැන්වෙන සුළුය.

සෑ ගැබේ අසිරිමත් බුදුරුව

සෑ ගැබ තුළ වැඩසිටින බුද්ධ ප්‍රතිමා වහන්සේගේ උස සැබෑම බුදුරජාණන් වහන්සේගේ මෙනි. උන්වහන්සේ නැඟෙනහිර දිසාවේ අසුන්ගෙන වැඩසිටින ලෙස නිර්මාණය වී ඇති අතර භාග්‍යවතුන් වහන්සේගේ නිය, ධාතූන් විස්ස හා නෙත් සඟලේ සුදු තැන් පාරිශුද්ධ පළිඟුවෙන් කළේය. අතුල්, පතුල්, තොල් සඟළ, දෑසේ රත් තැන්, පබළු මාණික්‍යයෙන් කළේය. දෙබෑම නෙත් සඟලේ මධ්‍ය මණ්ඩලය සහ මුදුන් කේෂ ජාතිමත් ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් කළේය. ඌර්ණ ධා සමිඳු රිදියෙන් කළේය. අපරිමිත ගුණ ඇති භාග්‍යවතුන් වහන්සේ සිහිකොට කිසිවකට මිල කළ නොහැකි අපරිමිත බුදු රුවක් නෙළු මහරජ ගැමුණු සැබැවින් ම අපරිමිත ශ්‍රද්ධාවෙන් ඔදවැඩී ගිය රජ කෙනෙකුම විය.

දෙව් බඹ නා නර පෙළහර

රිදී සේසත් දරන සහම්පතී මහා බඹු ද, ජයතුරා සක පිඹින සක් දෙව් රජුුද, බේළුව පණ්ඩු වීණාව වයන පංචසිඛ ද, තිස්තුන් කෝටියක් දෙවිවරු, පුෂ්පෝපහාර සහිතව සාදු නාද පවත්වන අයුරු මූර්තිමත් කළේය. දහසක් පෙන මවා බුදුගුණ කියන මහාකාල නා රජුද, නොයෙක් පිරිවර සහිත නා රජවරුද ඔවුහු නොයෙක් අප්සරාවන් පිරිවරුවේ ය. දෙවියන්, බඹුන්, නාගයන්, මිනිසුන් නොයෙක් උපහාර කරන ප්‍රතිමා ඇදිහිය නො හැකි ලෙස ජීවමාන සේ පෙනී ගියේය.

සම්පූර්ණ බුද්ධ චරිතයම නෙලීම

සත් සතියත්, කපිල වස්තුවේ සම්පුර්ණ සිදුවීමත්, බුදුරජුන් ඇසුරු කළ රජවරුත්, අසූ මහා ශ්‍රාවකයන්, බුදු රජුන්ගේ ප්‍රාතිහාර්යයත්, නොයෙක් සිදුවීම්, ධම්මපදයේ කථාත් පිළිම වශයෙන් නෙළු අතර රහතුන්ගෙන් අසනා අසනා සිද්ධිය පිළිම ලෙස ඉදිවිය. පන්සිය පනස් ජාතකයම මූර්තිමත් විය. සාමාන්‍ය ශ්‍රද්ධාවකින් යුතු අයෙකුට මේ දේ කළ හැකිද? මහරජ ගැමුණු රජෙක් ම ය. සසුන බැබළ වූ ශ්‍රද්ධා නරපතියෙක්ම ය. මව්බිම ජයගත් වීර නරේන්ද්‍රයා ය. මහා සෑ කරවන නිරිඳාය.

වෙස්සන්තර ජාතකය සිදුවීම්

මේ දාගැබේ විසිතුරු නිර්මාණ අතර වෙස්සන්තර ජාතකයේ ප්‍රතිමා නම් දුටු දුටු දනන් හට බලවත් සංවේගය උපදින ලෙස නෙලා ඇත. සම්පූර්ණ ජාතක කතාවම පිළිවෙලට ගෙන තිබෙන අතර හඬන වැළපෙන අයුරු දුටුවා සේ අඹා ඇත. එවැනි නිර්මාණයක් බුද්ධෝපහාරය පිණිස තුන්ලොව කොතැනක හෝ නොමැත. සිදුහත් බෝසත් චරිතය මුළුමණින්ම නිර්මාණය වූයේ විශ්මිත ලෙසය. මේ සියල්ලම සත් රුවනින් කරවීමට රජුට මෙතරම් රන්, රිදී, මුතු, මැණික් කොයින්ද? ද්‍රෝණයක් ධාතු තැම්පත් වන මහා සෑයේ ආනුභාවයටත්, රජුගේ පුණ්‍ය සෘර්ධියටත්, රහතුන්ගේ තේජසටත්, මෙතරම් රන්, රිදී, මුතු, මැණික් පහළ වූවාද? ආරම්භයේ සිදු වූ අසිරිමත් ප්‍රාතිහාර්යන් ඔබට මතක ඇති.

මහින්දාගමනය

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩම කළ දා පටන් ගැමුණු රජ සමය දක්වා සෑම සිදුවීමක් ම නිර්මාණය විය. ධර්ම විනයේ සඳහන් සියළු සිදුවීම් නිර්මාණය කැරිණ. දහම් දෙසන භික්ෂූන් ඉදිරියේ රන්මැලි සෑ ගැබ දුටු කෙනෙක් සිටියේ නම් “ස්වාමිනි අසවල් සිද්ධිය නොකිව්වේ මන්ද? සෑ ගැබේ එය තිබෙනවා නෙව“ කියන අය සිටිත්. එතරම් ම මනස්කාන්තය. සෑ ගැබ දුටු භාතිය රජු තුන් වරුවක් කියාත් සෑ ගැබ දුටු ආකාරය කියා අවසන් කළ නොහැකි විය.

දා ගැබ වැසුවේ ඇයි?

මෙතරම් උපහාරයක් රජු විසින් සිදුකළේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් වහන්සේලාට මිස අපගේ ඇස් පිනවීම පිණිස නොවේ. එසේනම් භාග්‍යවතුන් වහන්සේට අපරිමිත උපහාරයක් කරන්නට රන්, රිදී, මුතු, මැණික් වලින්ම සියලු නිර්මාණ කිරීමටත් බුදු සසුනේ සියලු සිද්ධි නිර්මාණය කිරීමටත්, ඒ සියල්ල සැළකිලිමත්ව උසස් අයුරින් ම කිරීමටත්, ඒ සියල්ලම භාග්‍යවතුන් වහන්සේට කැප කිරීමටත්, රජුට තිබූ ශ්‍රද්ධාව තවත් සැදැහැවතෙකුට මිස අසත්පුරුෂයෙකුට නම් නොදැනේ.

සෑ ගැබ විවර වූවානම්

ඔබට සිතේවි මේ සෑ ගැබ විවර වූවානම් කෙතරම්ද කියා. සෑ ගැබ විවර වුවානම් එය හුදෙක් ප්‍රසංසාවකින් ම අවසන් වනු ඇත. අයෙක් පුදුම වනු ඇත. තව අයෙක් ඇදකුද කියනු ඇත. ආරක්ෂිත වැඩපිළිවෙලක් අවශ්‍ය වනු ඇත. මුතු, මැණික් දකින අයෙක් වාවා ගත නොහැකිව ඇද වැටෙනු ඇති අතර, සැදැහැවත්හූ සැදැහෙන් ඔදවැඩී යනු ඇත. නමුදු අද දුර්වල මිනිස්සු බහුලය. “රන්මැලි සෑ ගැබ විවර නොවී පවතීවා” එය රහතුන්ගේ අධිෂ්ඨානය යි. නමුදු පුණ්‍ය සෘර්ධි ඇත්තෝ අදටත් සෑ ගැබ නො දකිනවා නොවේ. එය අතිශයින්ම අසිරිමත් නොවන්නේ ද?.

අසිරිමත් ධාතු පුරාණය 16 කොටස 

මහා දාගැබේ තැන්පත් කිරීමට ද්‍රෝණයක් ධාතුන් වහන්සේ ලැබුණේ කෙසේද ?

අසූරියන් උස,දිග, පළල ඇති සමචතුරශ්‍රාකාර රන්මැලි මහ සෑයේ ධාතු ගර්භයේ අපූරු විස්තරය ඔබ මෙතෙක් ඉගෙන ගත්තා. අද එතැන් සිට. . .
ඒ මහාසෑ ගර්භයේ පූජා ද්‍රව්‍ය කෙතරම්ද යත්, දැන් තිබෙන සෑ මළුව මෙන් හතර පස් ගුණයක් විශාල විය. එසේනම් පූජා ද්‍රව්‍ය අසූ රියන් ගැබ තුළ තැබුවේ කෙසේද? එය ඉන්දසාල ගුහාවේ උපමාවෙන් දැනගත යුතුය. ඉන්දසාල ගුහාව පුංචි ගුහාවකි. නමුත් ඒ ගුහාවේ බණ අසන්න ශක්‍ර දේවේන්ද්‍රයා සහිත දෙදෙව් ලොව සියලු දෙවියෝ පැමිණෙන විට ගුහාවේ ඉඩ විශාල වෙමින් විසිරී පැතිරේ. එකිනෙකාගේ ශරීර ස්පර්ශවීමක් නොමැත. එසේ වන්නේ දෙවියන්ගේ සෘර්ධිය නිසාවෙනි. එලෙසම මේ මහා සෑ ගර්භයට කෙතරම් වස්තුව ඇතිරුවත් ඉඩ ඇහිරීමක් සිදු නොවේ.

මහසෑ දාගැබට ධාතුන් වහන්සේ කොහිද?

ධාතු ගර්භයේ සියලු කටයුතු අවසන් නමුත් ධාතුන් වහන්සේ තවමත් නැත. මහා සඟරුවන රැස්කොට දුටුගැමුණු නිරිඳා මේ ගැන පැවසීය. ඇසළ පුන් පොහෝ දිනක ධාතු නිදානය සිදුවේ. ඒ හෙට දිනයයි. ධාතු ලබාදීම සංඝයා බාරගත් නමුත් තවමත් ධාතුන් වහන්සේ නොමැත. සංඝයා විසින් අතීතයේ මෙවැනි වික්‍රමයක් කොට ධාතුන් වහන්සේ රැගෙන ඒමට පින සැකසී තිබූ සෝනුත්තර රහත් සාමණේරයන් වහන්සේ මේ සඳහා සුදුසු යැයි තෝරා ගෙන උන්වහන්සේට ධාතුන් වහන්සේ ලබා ගැනීමේ බලය පැවරිණි.

අනුරපුරය සුධර්මා දිව්‍ය සභාව මෙන් දිස්විය

සංඝරත්නය ධාතුන් වහන්සේ පිළිබඳව එසේ කතිකා කරගනිද්දී ඒ මහා පුණ්‍යවන්ත ගැමුණු රජු අනුරාධපුරය දෙව් විමනක් සේ සැරසවීය. දුටු දුටු තැන්හි මල් පිරවූ පුන්කළස් ය. අහස පුරා විහිදුනු ධජ පතාකයෝ ය. එදින මුළු ලක්දිව මල් පිපෙන සෑම වෘක්ෂයකම මල් පිපි තිබූ අතර, දෙව්ලොව මේ වගේ සුවඳවත් ඇති කියා ලක්වැසි මිනිසුන් දසත පැතිරෙන සුවඳ ගැන කථා කළේය. සෑම පොකුණකම පියුම් පිපුණි. රත් නෙළුම්, සුදු නෙළුම්, නිල් මානෙල්, ඕළු, මානෙල්, තවත් කුසුම්ය. මංමාවත වල සුදුවැලි ඇතිරු අතර දෙපස තොරන් බැඳ පුන්කළස් තැබිණ. නිල් ජලය පිරි විල් දිය හිස් වුණි. සතර දොරටුව දහ අටක් පාන වර්ගද, දන්සල් පිණිස තැබිණ. සැදැහැවතුනට සුදු වස්ත්‍ර උතුරු සළු, මල් සුවඳ, බුලත්, පුවක් ආදි නොයෙක් දේ පරිත්‍යාග කෙරිණ. අතීතයේ තෙරණුවෝ පොත්වල ලියා ඇත්තේ ඒ සියල්ල ධාතුන් වහන්සේගේ ආනුභාවයටම සිදු වූ බවයි.
අද ධාතුන් වහන්සේ නිධන් වන දිනයයි. මහරජතුමා උදේම සුවඳ පැන් කළ දහසයකින් හිස සෝදා රන් සළු ඇඳ සූසැට ආභරණ වලින් සැරසී මිහිරි ආහාර අනුභව කොට අශ්වයන් හතර දෙනෙකු යෙදවූ රථයකට නැඟ රථය පෙරටු කොට තමන්ට රට එක්සේසත් කරන්නට උපකාර කළ කඩොල් ඇතාද, දසමහා යෝධයන්ද පිරිවරාගෙන රජු හේවිසි නාද මධ්‍යයේ ශක්‍ර දේවේන්ද්‍රයෙක් ලෙස රාජශ්‍රීයෙන් මහා සෑය වෙත රජ ගමන් කළේය.
දැන් සෑයේ කටයුතු සූදානම්. රජතුමාත් පැමිණ සිටී. නමුත් තවමත් ධාතුන් වහන්සේ වැඩමවා නැත. අවුරුදු දහසයක් වයසැති සෝණුත්තර මහ රහතන් වහන්සේ රහතුන්ගේ අනුදැනුම මත මාඤ්ංජරික නම් නාග භවනේ මහකෙළ නා රජු ආරක්ෂා කරමින් වැඳුම් පිදුම් කළ ද්‍රෝණයක් සහිත ධාතුන් වහන්සේ රැගෙන එන්නට ක්ෂණයෙන් පොළොවට කිමිදී නා ලොවට වැඩි සේක.

මහකෙළ නා රජුට ද්‍රෝණයක් ධාතුන් කොහින්ද?

තථාගත පිරිනිවීමෙන් පසු කෝළිය වංශකයින්ට ලැබුණ ධාතුන් වහන්සේ රාමග්‍රාමයේ ගංගානම් ගඟ අසළ තැන්පත් කොට තිබුණි. දිනක් විශාල ගං වතුරකට ඒ ගඟ අසළ තිබූ ස්තූපය කඩාගෙන ගොස් රන් කරඬුව ගඟට වැටුණි. නමුත් කරඬුව පෙරලුනේ නැත. තිබූ පරිදිම ගඟේ පාවිණ. මුහුදයි, ගංගානම් ගඟයි සම්බන්ධ වන ස්ථානයේ විමානයක මහකෙළ නම් නා රජු ප්‍රමුඛ නාගයෝ විසීය. ඒ නාගයෝ දුටුවේ විශාල ආලෝකයක් ජලය මැද විහිදෙන අයුරු ය. පෙන ගොබ දහසකින් වටකරගෙන ඒ කරඬුව රජු වෙත ගෙන ආවේය. නා රජු විනිවිද දුටුවේ කරඬුව ඇතුළතය. “අහෝ මේ අපේ ශාස්තෘන් වහන්සේගේ ධාතුන් වහන්සේ නේදැයි” කියා මහා හරසරින් වැඩමවා තනි මැණික් වලින් කළ මන්දිරයක් කරවා ඒ ධාතුන් තැම්පත් කැරිණ.

නා ලොව වැඩසිටි ධාතුන් වහන්සේ මනු ලොවට

ධාතුන් වහන්සේ ලබාගනු පිණිස සෝණුත්තර මහරහතන් වහන්සේ සෘර්ධියෙන් නා ලොවට වැඩම කළේය. මහකෙළ නා රජු දුරදීම ස්වාමින් වහන්සේ නමක් නා ලොවට වඩින අයුරු දිටීය. නා රජු තැති ගත් අතර, නා රජු තමන්ගේ බෑණනුවන් වන “වාසුලදත්ත” නම් නාගයාට කියා සිටියේ මේ ධාතු කරඬුව ඉක්මණින් සඟවන ලෙසයි. ඉන්පසු නා රජු ඉදිරියට ගොස් “ස්වාමිනි, කුමක් නිසා නා ලොවට වැඩිසේක්දැයි” විචාළේය. ‘රජතුමනි, මනුලොව දුටුගැමුණු නම් රජතෙමේ රත්නමාලි නම් උතුම් සෑයක් ඉදි කරන්නේ්ය. දැන් තිස්දහසක් ස්වාමින් වහන්සේ ඒ මහා සෑය අභියස සිටිති. උන්වහන්සේලා අණ පරිදි මහා සෑයේ තැන්පත් කිරීමට ඔබ වන්දනා කරන ද්‍රෝණයක් ධාතුන් වහන්සේ රැගෙන යාමට පැමිණියෙම්හ” වදාළ සේක. සාමණේරයන් වහන්සේගේ බස ඇසූ නා රජු ඉතාමත් කෝපයටත් ශෝකයටත් පත්විය. නා රජු වාසුලදත්ත නාගයාට ඇසෙන් ඉඟි කළ විට ඒ නාගයා ධාතු මන්දිරයට ගොස් ධාතු කරඬුව ගිල මහමේරු පර්වතයේ පාමුල කරඬුව සඟවාගෙන සිටියේය. සෝණුත්තර සාමණේරයන් වහන්සේ නැවත නැවත මහකෙළ නා රජුගෙන් ඉල්ලා සිටියේ ඔබ ළඟ ඇති ධාතුන් තථාගතයන් වහන්සේගේ අධිෂ්ඨානයක් පරිදි ලංකා ධරණී තලයේ තැන්පත් කිරීමට ලබාදෙන ලෙසයි. අවසානයේ නා රජු කියා සිටියේ “ස්වාමිනි මා ළඟ ධාතුන් නැත. තිබෙන තැනෙකින් ගනිත්වා” යි යන්නයි. එවිට සාමණේරන් වහන්සේ නා රජුට නො පෙනෙන්නට සියුම් අතක් මවා මහාමේරු පර්වතය පාමුල දරන ලා සිටින නාගයාගේ කුසේ ඇති ධාතු කරඬුව නො දැනෙන ලෙස ගෙන ආපසු වැඩි සේක.
මහකෙළ නා රජුට සතුටුය. සාමණේරයන් වහන්සේ අපට රැවටී වැඩිසේක යැයි සිතමින් ධාතු කරඬුවගෙන එන ලෙස අණ කළත්, එය කොහිවත් තිබුණේ නැත. අර සාමණේරයන් වහන්සේ අප රවටා ධාතු කරඬුව රැගෙන ගියේය,. කියමින් කඳුළු සලමින්, විලාප දෙමින් ස්වාමින්වහන්සේ පිටුපසෙන්ම සෑය වෙත ආවෝය. දැන් රුවන්වැලි සෑය වටකොට මහරහතන් වහන්සේ වැඩ සිටියි. එනිසාම නාගයන්ට ඒ අසළට සමීප වීමට පුළුවන් වූයේ නැත.