ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

බුදුපිළිමයේ උපත - 11

බුදුපිළිමයේ උපත - 61:

අජන්තාවේ බිතු සිතුවම්


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 

හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ



බුදුරජාණන් වහන්සේ ගේ අසිරිමත් බුදුසිරිත හා සම්බන්ධ වූ සිදුවීම් බෞද්ධ සාහිත්‍යයෙහි ඉතා ප්‍රසිද්ධියට පත්වී ඇත. බුද්ධ චරිතය හා ඉතා කිට්ටු සබඳතාවයක් ඇති මෙවැනි සිදුවීම්ද අජන්තා බිතුසිතුවම්වලට නංවා ඇති අන්දම ඉතාමත් චමත්කාර වන්නේය. මේ අතරේ නන්ද කුමරු හා සම්බන්ධවූ සිදුවීම අජන්තා බිතුසිතුවමින් නිරූපණය කර ඇත. ඒ පිළිබඳ විමසීමට පෙර එම සිදුවූ පසුබිම මෙසේය.
මහාප්‍රජාපතී ගෝතමියගේ පුත්‍ර නන්ද කුමරුගේ අභිෂේක උත්සවය ද පසුදිනට යෙදී තිබිණි. එය නන්ද කුමරුන්ගේ ඔටුන්න හිමි අවස්ථාවක් ද, එයින් අභිෂේක කිරීමටද නියමිතව තිබුණි. නන්ද කුමරුගේ අභිෂේකය පමණක් නොව තවත් කාරණා දෙකක්ද යෙදී තිබුණි. එනම් සිය නව ගෘහයට පිවිසීම ( ගෙට ගෙවැදීම) ජනපද කල්‍යාණිය සමඟ විවාහයට පත්වීමටද නියමිතව තිබීමද මෙදිනටම යෙදුණි. (බුද්ධ චරිතය –මහාචාර්ය සුචරිත ගම්ලත් –පි. 271 2006)
බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේදී සිදුවූ මෙම සිදුවීම මෙසේද සඳහන් වේ.

පසුදා නන්දකුමරුගේ රාජාභිෂේක මංගල්‍යයද, ගෙවදින මංගල්‍යයද, සරණ මංගලය යැයි උත්සව තුනක් විය. එදින භාග්‍යවතුන් වහන්සේ නන්ද කුමාරයාගේ මාලිගාවට වැඩම කර දන් වළඳා මංගල ධර්මය දේශනා කර නන්ද කුමරු අතට පාත්‍රය දී පෙරාතුරව වැඩි සේක. නන්ද කුමාරයා බුදුරජාණන් වහන්සේ තමා අතට දුන් පාත්‍රය දැන් දැන් ආපසු ගන්නේයැයි සිත සිතා නොකැමැත්තෙන්ම යන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ඉමහත් ගෞරවයෙන් කිසිත් නොකියා නිශ්ශබ්දව බුදුරජාණන් වහන්සේ ගේ පස්සෙන්ම ගියේය. නන්දකුමරුට පාවාදීමට නියමිතව ඒ සඳහා සූදානමින් සිටි ජනපද කල්‍යාණි මේ සිදුවීම දැක ස්වාමිපුත්‍රයාණන් වහා ආපසු එන මැනැවැයි කියා බෙල්ල දිගු කොට බුදුරජාණන් වහන්සේ පිටුපස පාත්‍රයද අතින් දරාගෙන යන නන්දකුමරුට පැවසුවාය. නන්ද කුමරු දෙස ඇය එසේ කියමින් බැලුවාය.
ජනපදකල්‍යාණිය කළ ඒ කතාව නන්ද කුමරුගේ සිතේ තදින්ම වැදී ගියේය. එහෙත් නන්ද කුමරු පාත්‍රය ආපසු ගත මැනවැයි කීමට නොහැක්කේ බුදුරජාණන්වහන්සේ පසුපස විහාරයට පැමිණියේය. එහිදී භාග්‍යවතුන් වහන්සේ නන්දය, මහණ වන්නේදැයි ඇසු සේක. නන්ද කුමරු ජනපද කල්‍යාණිය කෙරෙහි පේ‍්‍රමයෙන් එයට නොකැමති විත් බුදුරජාණන් වහන්සේට ඇති බුද්ධ ගෞරවයෙන් ඒ බව නොකියා එසේය. මහණවෙමියි කීවේය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ නන්ද කුමරු පැවිදි කළ සේක. මෙසේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කළ තුන්වැනි දිනයේදී නන්ද කුමරු පැවිදි කරවූ සේක.

(ශාක්‍ය මුනීන්ද්‍ර වදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක හිමිපාණන් වහන්සේ පි. 124-(1986)
බෞද්ධ මූර්ති කලාවෙහි මෙම සිදුවීම නිරූපණය කර තිබේ. අජන්තා බිතුසිතුවම්හි මෙම සිදුවීමට මුල් වූ ජනපද කල්‍යාණිය නන්ද කුමරුන් හා විවාහයට අවස්ථාව නොලැබීම පිළිබඳ ඉමහත් කම්පාවට පත්වී ඇයගේ මාලිගයෙහි සේවිකාවන් සමඟ සිටින ආකාරය සිතුවම් කර ඇත.
මෙම බිතුසිතුවමෙහි ජනපද කල්‍යාණිය ඉතා වැහැරී ඇති සිරුරින් ශෝකයෙන් රෝගි වූ කාන්තාවක සේ සිටින අන්දම නිරූපණය කර තිබීම චිත්‍රශිල්පියාගේ දක්ෂතාවය මතු කරලන්නේය.
එපමණක්ද නොවේ. ජනපද කල්‍යාණි කුමරිය අස්වැසීම පිණිස ඇයගේ සහාය කුමාරිකාවන් ඇය වට කර ගෙන සිටින අන්දමද මෙහි සිතුවම් කර ඇත.
මෙම අජන්තා බිතුසිතුවම් එහි බිත්තිවල නිර්මාණය කර ඇති බව කවුරුත් දන්නා කරුණකි. මීට අමතරව සංචාරකයන්ගේ අවධානයට යොමු නොවන එහෙත් ඇතැම් අය මේවා අගය කරන බිතුසිතුවම් විශාල සංඛ්‍යාවක් මෙම ලෙන් තුළ දැකිය හැකිය. ඒවා ඒ ලෙන්වල සිවිලිම්වල ඉතා අලංකාර ලෙසින් සිත්තම් කිරීමට මෙම චිත්‍ර ශිල්පීහු දක්ෂ වූහ. ඒ අතරේ තාරාවන් වැනි පක්ෂීන් ද ඇතුන් හා සිව්පා සතුන් මෙන්ම විවිධ මල් මෝස්තර ද ඒ අතර දැකිය හැකියි.

බුදුපිළිමයේ උපත - 62:

බුද්ධ කාලයේ සිදුවීම් සිතුවම් කළ අජන්තා සිතුවම්


අජන්තා බිතුසිතුවම් පිළිබද සඳහන් කරන විට ඒවා ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට පස්වන සිය වස තෙක්ම එම බිතුසිතුවම් නිර්මාණය කර ඇති බව ලේඛන ගත වාර්තා අනුව පැහැදිලි වන කරුණකි. අජන්තා පුදබිම චිත්‍ර සඳහා පමණක් නොව එම ලෙන්වල මූර්තිද නිර්මාණය කර තිබීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත. භික්ෂූන් වහන්සේලාට වස් කාලයේ දී වාසය කිරීම සඳහා ද ප්‍රයෝජනවත් වන ලෙන් විහාර යන නාමයෙන් හැඳින්වෙන බව ඉතා ප්‍රකටය. භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා සඳහා එය ප්‍රයෝජනවත් විය.
භික්ෂූන් වහන්සේලා සඳහා වු මෙම ලෙන් විහාර පසු කාලයේදී පුරාණ භාරතයේ වන්දනාකරුවන් සහ වෙළෙන්දන් පමණක් නොව ඉතා දුර රටවල් වූ චීනය, මධ්‍ය ආසියාව සහ මධ්‍යධරණී ප්‍රදේශවල වන්දනාකරුවන් සහ වෙළෙන්දන් මුණ ගැසෙන ස්ථානයක් බවටද අජන්තා පුදබිම පත්වූයේය. එසේ වන්දනාව සඳහා අජන්තා පුදබිමට පැමිණි සැදැහැවත් පුද්ගලයන් අතර රාජකුමාරවරුද පරිත්‍යාගශීලි අයද වූහ. ඔව්හු මෙම පුදබිමේ නඩත්තුව සඳහාද කරන ලද පූජාවන් ගැන සඳහන් වන ශිලා ලේඛන හමුවී ඇත. ගී‍්‍රක රෝම වෙළෙන්දන්ද මෙහි පැමිණ ඇත.

(Ajanta murals A Ghosh Director General Of Archaeologyin India P-35 -1987)
අජන්තා ලෙන් විහාර අතරේ ඉතා විශාලතම ලෙන වන්නේ අංක 4 දරණ ලෙනය. මෙහි ප්‍රධාන පිවිසුම් දොරටුව මූර්ති කැටයම්වලින් අලංකාර කර තිබේ. එහි සාලය අටපට්ටම් ශිලා ස්තම්භ සාදා තිබේ. මෙහි දොරටුවේ දකුණු පස අවලෝකිතේශ්වර බෝධිසත්ව රූපයක් නෙළා තිබේ. අෂ්ට භීතියෙන් මිදීම සඳහා එම බෝධිසත්ව ප්‍රතිමාවට නමස්කාර කරන සැදැහැවතුන් ද මෙහි නිරූපණය කර ඇත.
අංක 16 දරණ අජන්තා ලෙන ඉතාමත් අලංකාර ලෙන ලෙසින් කලා විචාරකයෝ හඳුන්වති. ක්‍රිස්තු වර්ෂ හයවන සියවසට අයත් ශිලාලිපිය මගින් මෙහි ඉතිහාසය ගැන කියැවේ. රාජ සභාවේ ඇමතිවරයෙකුගේ අනුග්‍රහයෙන් මෙම ලෙන නිර්මාණය කර ඇති බවත් එය තාපසයින් සඳහා පූජා කරන ලද බවත් එහි සඳහන් වේ.
අජන්තා පුදබිමෙහි ඇති ලෙන් ප්‍රධාන වශයෙන්ම ථෙරවාද සහ මහායාන යන අංග දෙකට අයත් වන්නේය. ඉතා පැරණිතම ලෙන් අයත්වන්නේ ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායටය. ඒ ලෙන් වල ඇති මූර්තිවල බුදුපිළිම දක්නට නැත. අජන්තා ලෙන් විහාර 30 න් පහක්ම චෛත්‍යශාලා වලට අයත් වන්නේය.
අජන්තා ලෙන්වල ප්‍රධාන වශයෙන් (ක්‍රිස්තු වර්ෂ පහ සහ හය වන සියවස්වලට අයත්) බිතුසිතුවම්වලින් බුද්ධ චරිතය ආශි‍්‍රත සිදුවීම්ද වෙස්සන්තර, උම්මග්ග, මහාජනක , විදුර ආදි ජාතක කතා නිරූපණය කර ඇත. එපමණක්ද නොවේ. සමකාලීනව ජනසමාජයේ දෛනික ජීවිතයේ සිදුවීම්ද නිරූපණය කර ඇත.
මහායාන බුදුසමය අනුව බෝධිසත්ව වන්දනය ඉතා ප්‍රකට වූ බවද ඒ අනුව මෙහි බිතුසිතුවම් මගින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් සහ පද්මපානි බෝධිසත්වයන්ගේ බිතුසිතුවම් ද දක්නට ලැබේ.
මෙම බිතුසිතුවම් නිර්මාණයේදී ධනවතුන්ගේ මෙන්ම රාජරාජ මහාමාත්‍යාදින්ගේද අනුග්‍රහය නිබඳවම ලැබී තිබුණු බවට සාක්ෂි ශිලාලේඛන මගින්ද තහවුරු වී ඇත. මෙම අජන්තා පුදබිම එකල භාරත දේශයේ ප්‍රකට වූ වෙළෙඳ මාර්ග හා සම්බන්ධ වූ ස්ථානයක තිබීමද මේ සඳහා බලපාන්නට ඇත.
බෞද්ධ සිතුවම් කලාවක් අනාගතය සඳහා ඉතිරි කරන ලද එම චිත්‍රශිල්පීන්ට බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ජාතක කතා පමණක් නොව බුද්ධ කාලයේදී සිදුවූ බුදුරජාණන් වහන්සේ සහ සිදුහත් කුමරුන් ආශි‍්‍රත වූ සිදුවීම් පිළිබඳවද ඉතාමත් ගැඹුරු දැනුමක් තිබුණු බව පැහැදිලි වන්නේය. බෞද්ධ මූර්ති කැටයම් ආශි‍්‍රතව නිර්මාණය කරන ලද භාරුත්, සාංචි, බුද්ධගයා සහ අමරාවතී, නාගර්ජුණකොණ්ඩ වැනි පුදබිම්වල නිරූපිත මූර්ති කලාවන් මෙන්ම අජන්තා බිතුසිතුවම් වලින්ද බෞද්ධ චිත්‍රකලාව පිළිබඳ ඉතා විශිෂ්ට නිර්මාණ ලොවට දායාද කිරීමට අවස්ථාව සැලසී ඇත.
මහායාන බුදුසමයට අයත්වන බෝධිසත්වයන් වහන්සේලා වන්දනය පිළිබඳවද මෙහි සිතුවම් රැසක් හමුවී ඇත. මේ අතරේ පද්මපානි බෝධිසත්වයන් වහන්සේගේ බිතුසිතුවම් ඉතාමත් ආකර්ෂණීය වේ. අතකින් පද්මයක් හෙවත් නෙළුම් මලක් දරාගෙන සිටින නිසා මෙම බෝධිසත්වයන් වහන්සේට පද්මපානි බෝධිසත්වයන් වහන්සේ යන නමින් හැඳින්වේ. අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනය අප රටේද ඉතා ප්‍රකටය. අජන්තා බිතුසිතුවම්වලද එම බෝධිසත්වයන් වහන්සේලා ගේ සිතුවම් මෙන්ම මූර්තිද අපට දැකගන්නට ලැබුණි.

බුදුපිළිමයේ උපත - 63:

ජාතක කතා ආශි‍්‍රත අජන්තා බිතුසිතුවම්


ජාතක කතා රාශියක් අජන්තා බිතුසිතුවම්වලින් නිරූපණය වේ.
සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් සිව්වැනි කොට්ඨාසය ‘ජාතක පාළි’ නම් වේ. පාලි ගාථා හත්දහසකට ආසන්න සංඛ්‍යාවකින් යුක්ත ජාතක පාලියට බුද්ධ ඝෝෂ හිමියන් විසින් ලියන ලද අර්ථ වර්ණනාව ‘ජාතකට්ඨ කථා” හෙවත් පාලි ජාතක අටුවාවයි. එම ජාතක අටුවාව සිංහලයට නගමින් ලියැවුණු මහා ධර්ම ශාස්ත්‍රීය සාහිත්‍ය ග්‍රන්ථය නම් පන්සිය පණස් ජාතක පොතය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පූර්ව බෝසත් උප්පත්ති කථා වන බැවින් උප්පත්ති යන අර්ථයෙන් මේ කතා ‘ජාතක’ නම් වේ. සිංහල පන්සිය පනස් ජාතක පොත ලියැවී ඇත්තේ කුරුණෑගල සමයේය. (සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වංශය– ආචාර්ය පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ පි. 152-(2014)
අප රටේ ජාතක පොත පිළිබඳ මෙම කරුණු සඳහන් කළේ මේ පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහාය.
ජාතක කතා වස්තු කවීන්ට මෙන්ම පුරාවිද්‍යාඥයන්ට ද මානව විද්‍යාඥයන්ට ද එකසේම ප්‍රයෝජනවත්ය. ඒ ඒ කාලවල දඹදිව විසූවන්ගේ සාමාජික චාරිත්‍ර වාරිත්‍ර උපභෝග වස්තු ශිල්ප ශාස්ත්‍ර හා නීති පනත් ආදිය දැන ගැනීමට මේ කතා වස්තු රාජ කෝෂ්ඨාගාරයක් වැන්න. පුරාණ දඹදිව ජනයා විඳි දුක් පීඩාද ඔවුන්ගේ දුක් දොම්නස්ද සිතුම් පැතුම් ද ජාතක පොතින් දත හැකිය. (සාහිත්‍යෝදය කතා සහ සාහිත්‍ය කලාව මාර්ටින් වික්‍රමසිංහ පි. 40(1991)
පුරාණ දඹදිව අජන්තා –භාජා (මධ්‍ය ඉන්දියාව) ආදි ලෙන්වල ඇති ජාතක කතා ආශි‍්‍රත තොරතුරු ආර්යසූර ලේඛකයා විසින් ලියන ලද ජාතක මාලා වැනි ග්‍රන්ථවලින් ලබාගන්නට ඇත. පාලි ජාතකවල කරුණු මෙම අජන්තා බිතුසිතුවම් සඳහා උපයෝගි කරගෙන ඇත. (Ajanta murals –A Ghosh-Director Genaral of Archaology in India – P.4 (1987)
 

ජාතක කතා සහ බෞද්ධ සාහිත්‍යයෙහි තොරතුරු ආශි‍්‍රතව සිත්තම් කරන ලද බිතුසිතුවම් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ පටන් අජන්තා ලෙන් ආශ්‍රිත චෛත්‍ය ශාලාවල දක්නට ලැබෙන බව ඉතා ප්‍රකටය. කෙසේ වුවද ඉතාමත් පරිපූර්ණ චිත්‍ර කලාවක් අජන්තාහි දක්නට ලැබෙන්නේ ගුප්ත රාජ යුගයේ (ක්‍රිස්තු වර්ෂ 5 හා 6 වන සියවස් වල) දීය. (2500 Years of Buddhism –Prof.P.V.BAPAT P.288-INDIA

බෞද්ධ සාහිත්‍යයෙහි ජාතක සහ අවදාන ආශි‍්‍රතව අජන්තා චිත්‍ර ශිල්පින් විසින් මෙම බිතුසිතුවම් අඳින ලද්දේ ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදීය. ඒ අතරේ සංඛපාල ජාතකය ,මහා ජනක ජාතකය, උම්මග්ග ජාතකයේ අමරා දේවියගේ කතාව, චම්පෙයිය ජාතකය යන ජාතක කතා ආශි‍්‍රත බිතුසිතුවම් පළමුවැනි අජන්තා ලෙනෙහි දක්නට ලැබේ. විදුර පණ්ඩිත ජාතකය (දෙවැනි ලෙන) වෙස්සන්තර ජාතකය, හංස ජාතකය සිංහලාව දාන, සහ සිබි ජාතකය ආශි‍්‍රත අජන්තා බිතුසිතුවම් දක්නට ලැබෙන්නේ අජන්තා හි 17 වැනි ලෙනෙහිය. (Ajanta Murals –A.Ghosh Director Genaral of Archaeology in INDIA –P. 36-37(1987)

වෙස්සන්තර ජාතකය පුරාණ භාරත දේශයේ මෙන්ම ලංකාවේද ඉතා ප්‍රකටය. වෙස්සන්තර ජාතකයට අයත්වන බිතුසිතුවම් අජන්තාවේ අංක 17 දරණ ලෙනෙහි දක්නට ලැබේ. ජාතක කතා කීපයක්ම මෙම ලෙනෙහි සිතුවම් කර ඇත. එයින් රාශියක්ම විනාශ වී ඇත. මෙහි දැක්වෙන්නේ මන්ද්‍රි දේවිය (වෙස්සන්තර රජතුමාගේ බිසව) ඉතා දුක්මුසු අයුරින් සිටින අන්දමය. කැඩුණු දත් සහිත මුඛය ඇරගෙන දරුවන් ඉල්ලන අන්දම ජූජක බමුණා ද මෙහි එක් සිතුවමකින් නිරූපණය කර තිබේ. රාජ මාළිගයද මෙහි බිතුසිතුවමින් නිරූපනය කර ඇත.
සාමාන්‍ය ජනතාව අතර ඉතා සංවේග ජනක වූ මෙම අවස්ථාවන් අජන්තා චිත්‍ර ශිල්පීහු ඉතා දක්ෂ අන්දමින් නිරූපණය කර ඇත.

බුදුපිළිමයේ උපත - 64:

සිදුහත් කුමරා ලුම්බිණි සල් උයනේ උපන් බවට පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාක්ෂි

බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ වූ ප්‍රධාන සිදුවීම් හතර සිදුවූයේ පුරාණ දඹදිව හෙවත් ජම්බුද්වීපයේය. ඒ පැරැණි දඹදිවට අද නේපාලය , ඉන්දියාව , පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය ද අයත් වේ. මේ නිසා සිදුහත් මහ බෝසතාණන් වහන්සේ උපත ලැබුවේ මෙකල නේපාලයේ ලුම්බිණි හෙවත් රුම්මින් දෙයි නමැති පුදබිමේය. මෙම පුදබිමට එදා පටන් ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස වන තෙක් ලක්ෂ ගණන් බෞද්ධයින් පමණක් නොව සංචාරකයන්ද පැමිණෙන්ට ඇත.
එහෙත් එක් සුවිශේෂිවූ පුද්ගලයෙක් මෙම පුදබිමට ක්‍රිස්තු පූර්ව 250 දී පැමිණි බව අපි ඉතා හොඳින් දැන සිටින්නෙමු. අප ඒ බව දැන ගන්නේ ඒ මහා පුරුෂයා විසින් එම ලුම්බිණී නම් වු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උපත සිදුවු පුදබිමට පැමිණ එහි ශිලා ස්තම්භයක් ද පිහිටුවන ලද නිසාය. එපමණක්ද නොවේ. ඒ ශිලා ටැඹෙහි තමන් ඒ පුදබිමට පැමිණි බවද (ශාක්‍යමුණි) සිදුහත් කුමරු එම පුදබිමෙහි උපන් බවද සටහන් කළේ බ්‍රාහ්මීය අක්ෂරවලිනි. මේ මහා පුරුෂයා අන් කිසිවෙකු නොව අප රට සමඟද ඒ කාලයේ සිට සම්බන්ධතා පැවැත්වු අසෝක (ක්‍රිස්තු පූර්ව 272-232 රජකළ) මහා අධිරාජයාය. අසෝක මහ අධිරාජයා ඒ ශිලා ටැඹ බ්‍රාහ්මී අක්ෂර ලියවා ඒ පුදබිමෙහි පිහිටෙව්වේ නැතිනම් සිදුහත් කුමරු උපන් පුදබිම ඔප්පු කිරීමට අවස්ථාවක් නොලැබෙන්නට ඉඩ තිබිණි.

අසෝක රජතුමාගේ විසිවැනි රාජ වර්ෂයේදි රුම්මින්දෙයි (ලුම්බිණි) වැඳ පුදා ගැනීමට පැමිණි බව මෙම ටැම් ලිපියේම සඳහන් වන කරුණකි.
අසෝක රජතුමාගේ විසිවැනි රාජ වර්ෂයේදී තවත් සුවිශේෂ ආගමික කටයුත්තකට දායක වූ බව නියලීම නමැති අසෝක රජතුමාගේ ටැම්ලිපියේ සඳහන් වේ. ඒ අනුව අසෝක රජතුමා එම රාජවර්ෂයේදි කණකමුණි හෙවත් කෝණාගම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිකර තිබූ දාගැබ විශාල කර සාදවන ලද බව එහි සඳහන් වේ. (Asoka –D.R.Banarkar-University of Calcutta –India P 170 (1925)
සිදුහත් බෝසතාණන් වහන්සේ උපත ලැබූ පුදබිමෙහි අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ටැඹෙහි එම බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලාලිපිය මෙසේය. පේළි පහකි.
මෙහි සිංහල අර්ථය මෙසේය.
(අසෝක අධිරාජයාගේ අභිෂේකයෙන් අවුරුදු විස්සක් ගිය කල්හි මෙහි සාක්‍යමුණි බුදුරජාණන් වහන්සේ උපන්නේයැයි (සලකා) තමාම පැමිණ ගෞරව කළේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි අසා (ප්‍රකාශයට පත්කොට) දැඩි ඇල්මකින් යුක්තව ශිලා ටැඹක් පිහිටුවීය. ලුම්බිණි ග්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථ ලාභය ඇති කළේය. (අසෝක ධම්ම ලිපි හා ටැම්ලිපි මහාචාර්ය අබය ආර්යසිංහ – පි. 58-59 2000)

මෑතකදී ලංකාවටද පැමිණි එංගලන්තයේ ඩර්ට් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබින් කොණිංහැම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2013 දී ලුම්බිණි පුදබිමෙහි කළ පුරාවිද්‍යා කැණීම මගින්ද මෙහි සිදුහත් කුමරු උපන් බව (මායාදේවි විහාරයේ කැණීමෙන්) පුරාවිද්‍යා සාක්ෂි ලෙසින්ද ඔප්පු කර ඇත. මේ පිළිබඳව ලංකාවට පැමිණි මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා සමඟ ඉතා දීර්ඝ ලෙසින් සාකච්ඡා කිරීමටද මෙම ලේඛකයාට අවස්ථාව සැළසුණේ ඔහු 2014 දී ලංකාවට පැමිණි අවස්ථාවේදීය.
අසෝක රජතුමා විසින් එම පුදබිමෙහි පිහිටුවන ලද ශිලා ටැඹ විශේෂිත වූවකි. එහි දී ප්‍රධාන කරුණු තුනක් එරට සිදුහත් කුමරු උපන් බවට පෙන්වා දීඇත. එයින් එකක් නම් හිදබුදජාතේ හිද භලගවම් ජාතෙනි යනුවෙන් ඉහත සඳහන් ටැම්ලිපියේ ස්ථාන දෙකකම සිදුහත් කුමරු එහි උපන් බව සඳහන් කර තිබීමය.මේ ශිලා ටැඹ පිහිටුවා තිබෙන්නේ පුරාණ දඹදිව රජකළ මහා අධිරාජයෙකු (ක්‍රි.පූ. 272-232) විසිනි. එපමණක්ද නොවේ ඒ රජුගේ විසිවැනි රාජ වර්ෂයේදි මෙම පුදබිමට පැමිණී බවත් මෙම ලුම්බිණි ග්‍රාමය බද්දෙන් නිදහස් කළ බවත් සඳහන් කිරීම එම රාජකීය නිවේදනයේ වැදගත්කම එනම් එය රජකෙනෙකු විසින් කරන ලද ප්‍රකාශයක් බවට කදිම සාක්ෂිකයකි. පුරාණ ජම්බුද්වීපයේ එතුමා විසින් පිහිටුවන ලද එකම ශිලා ටැඹ මෙය නොවේ. අසෝක රජුගේ ශිලාලේඛන පිටපත් සහිතවද පුරාණ දඹදිව පිහිටුවා ඇත.
ඒ ශිලා ලේඛන සංඛ්‍යාව දෙස බලනවිට මෙම ලුම්බිණියේ ශිලාලේඛනය සැබවින්ම සිදුහත් කුමරු උපන්නේ එම භූමියේ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂියකි.
මහාචාර්ය රොබින් කොණිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් විසින් 2013 නොවැම්බර් මස අගභාගයේදී කරන ලද පුරවිද්‍යා කැණීම සිදු කළේ සිදුහත් කුමරු උපන් ස්ථානයේ බුද්ධකාලයේදී (සමහරවිට සුද්ධෝදන රජු විසින්ම) සාදන ලද දැව ආශි‍්‍රත විහාරය පිහිටි මහා දේවි විහාරය නමින් පසුව ප්‍රකට වූ ස්ථානයෙහිය. මේ මායාදේවි විහාර පරිශ්‍රය කැණීමට උපකාරී වූයේ අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ටැඹට අමතරව ක්‍රි.ව. 5 වන සියවසේදි මෙම පුදබිමට පැමිණි පාහියන් නම් චීන ජාතික භික්ෂූන් වහන්සේගේද ඉන්පසු ක්‍රි.ව. හත්වන සියවසේදී මෙම පුදබිමට පැමිණි තවත් චීන ජාතික හියුංෂාං හිමියන්ගේ වාර්තාද අනුවය. ඒ චීන භික්ෂූන් වහන්සේලාද අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ටැඹ ගැන සඳහන් කර ඇත.

බුදුපිළිමයේ උපත - 65:

අජන්තාවේ හඳුනා නොගත් බිතුසිතුවම්

අජන්තා බිතුසිතුවම් ලෝකයේ වෙනත් රටවල ඇති පුරාණ බිතුසිතුවම් මෙන්ම ක්‍රිස්තු වර්ෂ පස්වන සිය වසේ සීගිරියේ අපේ චිත්‍ර ශිල්පීන් විසින් නිමවන ලද බිතුසිතුවම්ද ඉතා ප්‍රකටය. සීගිරියේ බිතුසිතුවම්වලට අජන්තා බිතුසිතුවම්වල කිසියම් ආභාසයක් ඇතැයි සමහර විද්වතුන් අදහස් ඉදිරිපත් කර ඇත.
එහෙත් වස්තු විෂය වශයෙන් සලකා බලන විට අජන්තා බිතුසිතුවම් බහුතර සංඛ්‍යාවක් බෞද්ධ ස්වරූපය ගෙන ඇති බව ඉතා ප්‍රකටය. අප මීට ඉහතදී ඉදිරිපත් කළ අන්දමට අජන්තා බිතුසිතුවම්වල බුද්ධ කාලයට පූර්ව කතා සාහිත්‍යයක් වු ජාතක කතා විශේෂයෙන්ම සංස්කෘත භාෂාවෙන් ලියන ලද ජාතකමාලා වැනි ග්‍රන්ථවල කතා වස්තුවේ මේ සඳහා යොදාගෙන අත. ඊට අමතරව සිදුහත් කුමාරයා සිදුහත් කුමාරයාගේ ගෘහ ජීවිතය, සිදුහත් තවුසා, ගෞතම බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධවූ බොහෝ සිදුවීම්ද අජන්තා බිතුසිතුවම්වලින් නිරූපණය වී ඇත.

ථෙරවාදී බෞද්ධාගමට මෙන්ම මහායාන බුද්ධාගම ආශි‍්‍රතවූ බිතුසිතුවම්ද මේ අතර ඇතිබව විද්වතුන් විසින් පෙන්වා දී ඇති කරුණකි. විශේෂයෙන්ම අවලෝකිතේශ්වර බෝධිසත්වයන් සහ තාරා දෙවඟන අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ බිසව ලෙසින් සැළකෙන බිතුසිතුවම් ද පද්මපානි බෝධිසත්වයන්ගේ බිතුසිතුවම් ද මේ අතර දක්නට ලැබේ.
මෙම බිතුසිතුවම් හඳුනා ගැනීම සඳහා ඉතා ප්‍රකට බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන අවස්ථාවන් චිත්‍ර ශිල්පීන් විසින් යොදා ගෙන ඇත. එමෙන්ම ඉතා පුරාණ යුගයට පසුව මෙම බිතුසිතුවම් නැවත සොයා ගන්නා ලද්දේ 19 වන සියවසේදී බ්‍රිතාන්‍ය ජාතික නිළධාරින් පිරිසක් විසිනි. කොටියන්, දඩයමේ යාමට මේ ප්‍රදේශය යොදා ගෙන ඇත. ඒ අතර සිටි ජෝන් ස්මිත් මහතා විසින් මෙම අනගි බිතුසිතුවම් කැලෑවෙන් වැසි තිබී ප්‍රථම වරට හඳුනාගත් බවට වාර්තාගත වී ඇත.

ඒ කාලයේ සිට මෙම අජන්තා බිතුසිතුවම් සංරක්ෂණය හා ඒ බිතුසිතුවම් විග්‍රහ කර පෙරදිග (ඉන්දියානු) හා බටහිර ප්‍රකට විද්වතුන් රැසක් විසින් මෙම බිතුසිතුවම් හඳුනාගෙන බොහෝ පොත් පත් ඉංගී‍්‍රසි ප්‍රංශ, ජර්මන් ,ඉතාලි , හින්දි ආදි භාෂාවලින් ලියා පළ කර ඇත.
මේ බිතුසිතුවම් අතර තවමත් හඳුනා නොගත් බිතුසිතුවම් ද රැසක් දක්නට ලැබේ.
(AJANTH MURALS –By A.GHOSH III 1967)
ඉහත සඳහන් ග්‍රන්ථයෙහි මෙසේ හඳුනා නොගත් බිතුසිතුවම් කීපයක් දක්නට ලැබේ.
(අංක 1) පළමුවන අජන්තා ලෙනෙහි ඇති මෙම බිතුසිතුවම රැජිනක විසින් ඇයගේ පරිවාර කාන්තාවන් සමග කතාබහ කරන අන්දම නිරූපණය කර ඇත. මෙය කුමන සිදුවීමක් අනුව නිර්මාණය කරන ලද එකක්ද බව හඳුනාගෙන නැත.
අංක 2 දරණ අජන්තා ලෙනෙහි 2 මෙහි කාන්තා රුවක දර්ශනයක් ඒ සමඟ නිරූපණය කර ඇති ස්තම්භයේ එක පැත්තක්ද අනෙක් පැත්තේ පුරුෂ රූපයක්ද නිරූපණය කර තිබේ. එයද හඳුනා නොගත් අජන්තා බිතුසිතුවම්වලට අයත් වේ.
ලෙන් අංක 17 හි හඳුනා නොගත් කතාවකට අයත්වන බිතුසිතුවම යක්ෂයෙකු නිරූපණය කරන බව මෙයින් කියැවේ.
මෙම බිතුසිතුවම්වලට අමතරව තවත් බොහෝ බිතුසිතුවම් කොටස් ලෙසින් ඉතිරි වී තිබෙන නිසා ඒවා පිළිබඳ පැහැදිළි අදහසක් ප්‍රකාශ කළ නොහැකි බව විද්වතුන්ගේ අදහස වී ඇත.