ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

බුදුපිළිමයේ උපත - 3

බුදුපිළිමයේ උපත - 12:

පුරාවිද්‍යා කැණීමෙන් සනාථවූ ලුම්බිනි පුදබිම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසූමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

සිද්ධාර්ථ කුමරාගේ උපත සිදු වූ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කාල වකවානුවලට සමාන බව සනාථ කළ පුරාවිද්‍යා කෘති පාලි බෞද්ධ සාහිත්‍යයෙහි මෙන්ම සංස්කෘත භාෂාවෙන් ලියන ලද “දිව්‍යාවදාන” නම් ග්‍රන්ථයෙහි ද ලුම්බිනි පුදබිමෙහි පිහිටුවන ලද ශිලා ටැඹ ගැන මෙන්ම අසෝක රජුගේ වන්දනා ගමන ගැනද සඳහන් වේ. මේ අනුව එම ග්‍රන්ථයේ තොරතුරුද චීන ජාතික භික්ෂූන් වහන්සේ විසින් විස්තර කරන ලද වාර්තාද 2011 ඇරඹූ ලුම්බිනි මහා මායාදේවි විහාරයේ පුරාවිද්‍යා කැණීම්වලදී ප්‍රයෝජනවත් වන්නට ඇතුවාට සැක නැත. ඊට හේතුව පුරාවිද්‍යා කැණීමක් සිදු කිරීමට පෙර එ ආශි‍්‍රත ප්‍රදේශයේ ඊට ඉහත දී කරන ලද කැණීම් මෙන්ම ඒ පිළිබඳ ලියැවී ඇති ලේඛන ද ඒ සඳහා උපයෝගී කර ගන්නා හෙයිනි.
ඒ කැණීම් අනුව 2011 ආරම්භ කර 2013 නොවැම්බර් මස අවසානයේ දී අවසන් කරන ලද එම පුරාවිද්‍යා පර්යේෂණාත්මක කැණීම සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ උපත ලැබුවේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දී යැයි මීට ඉහත දී කළ තීරණය පුරාවිද්‍යාත්මකවද ස්ථිර වූයේ ය. මහාචාර්ය රොබින් කොනිං හැම් ප්‍රමුඛ එම විද්වතුන් විසින් පුරාවිද්‍යා කැණීම්වලින් සොයා ගන්නා ලද තොරතුරු ඇතුළත් පර්යේෂණ කැණීම් වාර්තාවක්ද ප්‍රකාශයට පත් කර ඇත. මේ අනුව මහාමායාදේවි විහාරයේ මෙම පුරාවිද්‍යාකැණීම් ප්‍රථමවරට සිදු කිරීමෙන් සිදුහත් බෝසතාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දී මෙහි උපත ලද බව සනාථ වී ඇත්තේ එම පුරාවිද්‍යාත්මක දත්ත (ච්චබච ) කාල නිර්ණය (කාලය පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කිරීම) අනුවය. විද්‍යාත්මක පර්යේෂණයන්ට එම කැණීම්වලින් ලබාගන්නා ලද පුරාවිද්‍යාත්මක අවශේෂයන් ලක්කර ඒ අනුව කාලය තීරණය කර ඇත.
සිදුහත් කුමරු ලුම්බිනි සල් උයනේ උපත ලැබීමෙන් පසුව එම සල්ගස ද ආරක්ෂා කිරීමට එකල කපිලවස්තු රාජධානියේ රජතුමා වූ සුද්ධෝදන රජතුමා විසින් කටයුතු කරන්නට ඇත. මේ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයට පෙර (බුදුවීමට පෙර) සිද්ධාර්ථ කුමාරයා උපත ලද මේ (වෘක්ෂ සෙවණ) වෘක්ෂයට වැඳුම් පිදුම් කිරීමට මෙන්ම එය සුරැකීමට ද කිසියම් රාජ නියෝගයක්ද ලැබෙන්නට ඇත. ඒ නිසා මීට ඉහත දී විනෝද උයනක් ලෙසින් පැවැති මෙම ලුම්බිනිය පුද බිමක් ලෙසට සුද්ධෝදන රාජ යුගයේ දී ප්‍රකාශ කරන්නට ඇත.
මේ සල් උයන විවිධ පුෂ්පයන්ගෙන් හා සියොතුන්ගෙන් මී මැසි බඹර නාදයෙන් ද යුක්ත වූ නිසා ජනතා ආකර්ෂණයට ඒ වන විටත් භාජනය වී තිබුණු නිසාම ඒ පූජනීය වෘක්ෂය (සල්ගස) මැදිකොට ආරක්ෂාව සඳහා දැවමය වැටක් ද සකස් කරන්නට ඇත. ඒ බව මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින් විසින් කරන ලද කැණීම්වලදී හමුවී ඇති අවශේෂවලින් ද පැහැදිලි වී ඇත. එම දැව කොටස් විද්‍යාත්මක කාල නිර්ණය අනුව ක්‍රිස්තු පූර්ව හයවන සියවසට අයත් බවට මේ වන විට මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින් විසින් ජාත්‍යන්තර ශාස්ත්‍රීය සඟරාව වන ඇන්ටි ක්විටි (ඒදබඪඳභඪබර) සඟරාවේ 2013 දෙසැම්බර් මස කලාපයෙහි පර්යේෂණ වාර්තාවක් සපයා ඇත.
මහාමායාදේවි විහාරයට අයත් වූ භූමියේ එම කැණීමෙන් හමුවූ වෘක්ෂයට අයත් දැව කොටස් අනුව මෙය ක්‍රිස්තු පූර්ව 550ට අයත් වන බව ප්‍රකාශයට පත්කර ඇත. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ දකුණු ආසියානු පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ පුරාවිද්‍යා කථිකාචාර්ය ජුලියා ෂෝ මහතා සඳහන් කරන පරිදි බුද්ධ කාලයට පෙර සිටම (සිදුහත් උපතට පසුව) මෙහි ජනතාව විසින් පුදපූජා පවත්වන්නට ඇත. මේ පිළිබඳව තවත් පර්යේෂණ කළ යුතුව ඇතැයි ද ඔහු සඳහන් කරයි.
මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා පවසන තවත් ඉතා වැදගත් කරුණක් නම් මහාමායාදේවි විහාරයේ පුරාවිද්‍යා කැණීම් අනුව මෙම ලුම්බිනි මහාමායාදේවි විහාරය ආශි‍්‍රත වූ පුදබිමේ සත්ව ඝාතනය හෝ බිලි පූජා ආදියත් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් ලැබී නැති වීමය. ඒ අනුව මෙම පුදබිම බුද්ධකාලයට පෙර (සිදුහත් බෝසතාණන් වහන්සේ උපත ලැබීමට පසුව ද ජනතාව වැඳුම් පිදුම් කළ ගෞරව කළ පුදබිමක් වූ බවට කිසිදු සැකයක් නැත. එපමණක් ද නොව මෙම පුරාවිද්‍යා කැණීමෙන් බුදුරජාණන් වහන්සේ (සිද්ධාර්ථ කුමරු) ඓතිහාසිකව ජීවමානව වැඩ සිටි බවට පුරාවිද්‍යාත්මකවද ලොවටම ඔප්පු වී හමාරය. (සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහාමායාදේවි විහාරය, සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහාමායා දේවි විහාරයේ පුරාවිද්‍යා කැණීම් ආශි‍්‍රත ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක ගවේෂණයකි.) සිරිසමන් විජේතුංග පි. 76 – 77 (2014)






බුදුපිළිමයේ උපත - 13:

සිදුහත් කුමරාගේ අසිරිමත් ජීවිතය

සිද්ධාර්ථ කුමාරයා ලුම්බිනි සල් උයනේදී උපත ලැබීමෙන් පසුව ඉතාමත් පී‍්‍රතිමත් සිතින් මහාමායා දේවිය පුතණුවන් සමඟ කපිලවස්තු පුරයට නැවත පැමිණියාය. කුඩා කුමරුවාගේ අනාගතය ගැන අනාවැකි ප්‍රකාශ කිරීම සඳහා නැවත වරක් සුද්ධෝදන රජ මාළිගයට කැඳවූ අසිත ඍෂිවරයා හඳහන සූදානම් කර එය රාජකීය දෙදෙනාවූ සුද්ධෝදන මහරජතුමා හා මහාමායා දේවියට පැහැදිලි කළේය. ඒ අනාවැකියෙන් ප්‍රකාශ කළේ දරුවා බුදු බවට පත් වීමේ ශාරීරික ලක්ෂණ දක්නට ලැබෙනවාය. ඇසි දෙබැම මැද (ඇහි බැම දෙක මධ්‍යයේ) කැරකී ඇති උර්ණ රෝමය පෙන්වමින් අසිත ඍෂිවරයා කියා සිටියේ මේ පුත් කුමරු ඉතා විශේෂිත වූ පුත් කුමරෙකු බවය. ඊට කරුණු විමසු සුද්ධෝදන රජුට පිළිතුරු දුන් අසිත ඍෂිවරයා පුත් කුමරුන්ගේ තවත් ශාරීරික ලක්ෂණයක් පෙන්වා දුන්නේය. එනම් උෂ්ණිෂයයි. මෙයද බුදු කෙනෙකු ලෙසින් පත්වීමට ඇති ශාරිරික ලක්ෂණයක් බව ඍෂිවරයා පැවසීමත් සමඟම සුද්ධෝදන රජුගේ සිත තරමක් වික්ෂිප්ත වූයේ ඔහුගේ පැතුම වූයේ සුද්ධෝදන රජුට පසුව කපිල වස්තු රාජධානියේ රජවීමට කුමාරයෙකු ඉපදීම සිදුවීමක් දැන් සිදුවී නැති හෙයිනි. තම පුතු රණශූරයෙකු වීම දැකීමටද සුද්ධෝදන රජුගේ ආශාව විය. ඉන් පසු කාලයකදී
කපිලවස්තුපුර
කුඩා සිද්ධාර්ථ කුමාරයා සුද්ධෝදන රජු විසින් සීසාන මහා වප් මගුල් උළෙල සඳහා කැඳවා ගෙන ගියේය. රාජකීය උත්සවයක්වූ එහිදී මෙම සීසෑමට යොදා ගන්නා ලද ගවයන් දෙසද සිදුහත් කුමරු කුඩා දරුවෙක් නිසා ඉතා ඕනෑකමින්බලා සිටියේය.
ඒ සමඟම සිදුහත් කුමරුන් තවත් දර්ශනයක්ද දුටුවේය.ඉතා උෂ්ණයක්ද රශ්මියක්ද දැනෙන්නට වූ නිසා පුංචි සිදුහත් කුමරු පලක් බැඳගෙන භාවනා කිරීමට පටන් ගත්හ. සිදුහත් පුතණුවන් අසළ නැති බව දැනගත් සුද්ධෝදන රජු කළබලයට පත් වූයේය. දඹගස් සෙවණේ වටතිර ඇද තිබු ඒ ස්ථානයේ සිටි ඇඳෙහි පලක් බැඳගෙන ආනාපාන සතිය වඩා ප්‍රථම ධ්‍යානයට සමවැද හුන්හ. මඳ වේලාවකින් කිරිමව්වරු තිරයෙන් ඇතුළට ගිය විට සිදුහත් කුමරු වැඩසිටි ආකාරය දැක විශ්මයට පත්වී සුද්ධෝදන රජුට ඒ පුවත පැවසුවෝය.
“රජු පැමිණ කුමරුන් සිටින ආකාරය දැක විස්මයට පත්වී දරා ගත නොහැකිවු දරු සෙනෙහසින් කුමරුන්ගේ දෙපතුල් ළඟ රජු සිය හිස තබාගෙන පුත නුඹ අදම බුදු වූයෙහිදැයි කියමින් වැන්දේය. සිදුහත් කුමරු වැඩිවියට පැමිණි පසුව යසෝධරා කුමරිය හා සරණබන්ධනයට (විවාහයට) පත්විය. යසෝධරා කුමරිය කෝලිය වංශික කුමරියකි. සිදුහත් කුමරුන්ගේ මවද කෝලිය වංශික කුමරියක් බැව් අපි මීට ඉහත දී සඳහන් කළෙමු. මෙම සිදුහත් කුමරුන්ට වාසය සඳහා මාළිගා තුනක් සාදා දීමට සුද්ධෝදන රජතුමා කටයුතු කළේ ගිහිගෙය වාසය කිරීම සඳහා සිදුහත් කුමරුන්ගේ සිත ඒ කෙරේ ඇද බැඳ තබා ගැනීම පිණිසය. සුද්ධෝදන රජු ඉතාමත් ශෝකයට පත්වු කරුණක් වූයේ සිද්ධාර්ථ කුමාරයා තරුණ අවදියේදී පවා ලෞකික සැප සම්පත් වලට දැඩි ආශාවක් නැති බවය. මේ නිසා සුද්ධෝදන රජතුමා ඉතා අලංකාර රූප සම්පත්තියෙන් යුක්ත නළඟනන් සහිත වූ ද සංගීත ඉතා මිහිරි හඬින් ගායනා කරන සුන්දර තරුණියන්ගේ ගායනා හා රංගනයන් දැක ගැනීමට අවස්ථාව සැලසීමටත් සුද්ධෝදන රජතුමා කටයුතු කළේ සිද්ධාර්ථ කුමාරයාගේ මෙම හැසිරීම ගැන තරමක් සසළ වූ සිත් ඇතිව සිටි හෙයිනි.
රාජ මාළිගයේ සියලුම සම්පත් සිදුහත් කුමාරයාට විඳ ගැනීමට සුද්ධෝදන රජතුමා කටයුතු සම්පාදනය කළේය. මෙයින් පී‍්‍රතියට පත්වූ රජු සිදුහත් කුමරුන්ගේ මෙම දෛනික චර්යාව මඳක් හෝ වෙනස් වේයැයි කල්පනා කළේය. එහෙත් දිනෙන් දිනම සිදුහත් කුමරුන්ගේ පැවැත්ම වෙනත් අතකට හැරෙන බව සුද්ධෝදන රජුට මෙන්ම රාජ සේවකයින්ටද දැනෙන්ට පටන් ගත්තේය.
ඒ අනාවැකියෙන් ප්‍රකාශ කළේ දරුවා බුදු බවට පත් වීමේ ශාරීරික ලක්ෂණ දක්නට ලැබෙනවාය. ඇසි දෙබැම මැද (ඇහි බැම දෙක මධ්‍යයේ) කැරකී ඇති උර්ණ රෝමය පෙන්වමින් අසිත ඍෂිවරයා කියා සිටියේ මේ පුත් කුමරු ඉතා විශේෂිත වූ පුත් කුමරෙකු බවය. ඊට කරුණු විමසා සුද්ධෝදන රජුට පිළිතුරු දුන් අසිත ඍෂිවරයා පුත් කුමරුන්ගේ තවත් ශාරීරික ලක්ෂණයක් පෙන්වා දුන්නේය. එනම් උෂ්ණිෂයයි. මෙයද බුදු කෙනෙකු ලෙසින් පත්වීමට ඇති ශාරිරික ලක්ෂණයක් බව ඍෂිවරයා පැවසීමත් සමඟම සුද්ධෝදන රජුගේ සිත තරමක් වික්ෂිප්ත වූයේ ඔහුගේ පැතුම වූයේ සුද්ධෝදන රජුට පසුව කපිල වස්තු රාජධානියේ රජවීමට කුමාරයෙකු ඉපදීම සිදුවීමක් දැන් සිදුවී නැති හෙයිනි.


බුදුපිළිමයේ උපත - 14:

සිද්ධාර්ථ කුමාරයාගේ මහාභිනිෂ්ක්‍රමණය

 සිදුහත් කුමරු මේ සංසාරයේ ඇති භයානක බව සිතට නැගී ඒ පිළිබඳ මෙනෙහි කරන්නට පටන් ගත්තේ ය. නැටුම් ගැයුම් වැයුම් සහිත ඉතා පි‍්‍රය මනාප දෙවඟනන් මෙන් රූප සම්පත්තියෙන් යුතු නළඟනන්ගේ රැඟුම්වලට පි‍්‍රයතාවයක් දැක්වූයේ නැත. මෙසේ මෙම වාතාවරණය ගැන සුද්ධෝදන රජු තුළ ද තරමක සැකයක් මෙන්ම ශෝකයක් ද ඇතිවිය. එකම සැනසිල්ලට කරුණ වූයේ යසෝධරා දේවිය දරුවකු ලැබීමට ආසන්නවී තිබීම පමණකි
සුද්ධෝදන රජතුමා අසිත සෘෂිවරයාගේ කතාව ඇසීමෙන් පසුව සිද්ධාර්ථ කුමාරයා ලෞකික සැප සම්පත්වලට දැඩි ආසාවක් ඇති කිරීමට යෙදිය හැකි හැම උපායක් ම යෙදුවේ ය. ඒ සඳහා සිද්ධාර්ථ කුමාරයාට කාලගුණය අනුව සෘතු තුනට ගැළපෙන රාජ මාළිගා තුනක් රම්‍ය, සුරම්‍ය සහ සුබ යන නාමයෙන් සාදවා දීමට එහි මූලික පියවර වූයේ ය.
යසෝධරා කුමරිය සරණ පාවා ගැනීමෙන් පසුව රජ ගෙදර වූ සේවක සේවිකාවන් සහ රජගෙදර අනෙකුත් නිලධාරීන් හා පරිවාර කාන්තාවන් අතර වෙනසක් පෙනෙන්නට නැති වන ලෙසින් කටයුතු කිරීමට යසෝධරා කුමරිය කටයුතු කළා ය. රජගෙයි පමණක් නොව මුළු රටේ ම හැම දෙනාම යසෝධරාවගේ මේ සමානාත්මතා ගුණය ගැන ඉමහත් සන්තෝෂයට පත් වූයේ ය. මෙය සිද්ධාර්ථ කුමාරයා සහ යසෝධරා කුමරිය අතර සරණබන්ධනයට පසුව ඇති වූ මහා විපර්යාසයක් ලෙස ජනතාව සිතූහ. කපිලවස්තු පුර වැසියෝ සියලු දෙනාම තමන්ගේ මවක ලෙසින් යසෝධරා කුමරියට සැලකිලි දක්වන්නට වූහ.
යසෝධරා දේවියත්, සිද්ධාර්ථ කුමාරයාත්, වාසය කරන මාළිගාවල සෑම අවස්ථාවක ම ගීත ගායනා සහ නැටුම්වලින් අලංකාර කිරීමට සුද්ධෝදන රජුගේ නියමය වූයේ ය. ඒ අනුව එම කටයුතු සියල්ලම සිදු වූයේ ය. සිද්ධාර්ථ කුමාරයා සහ යශෝධරා කුමරිය වාසය කරන රජ මාළිගය තුළ පමණක් නොව අවට පරිසරය ද සිද්ධාර්ථ කුමාරයාගේ ලෞකික සිතිවිලි පුබුදුවන ආකාරයේ සිටින ලෙසින් සකස් කිරීමට සුද්ධෝදන රජුගේ නියෝගය වූයේ ය.

කපිලවස්තුපුරය
එසේ වුවද මේ සියලුම ලෞකික සම්පත්වලින් පී‍්‍රති වීමේ ආශාවක් සිද්ධාර්ථ කුමාරයාට නොවුයේ ය. මේ තත්ත්වය දැනගත් සුද්ධෝදන රජු විසින් සිද්ධාර්ථ කුමාරයාට ලෙඩ රෝගවලින් පෙළෙන අය දැකීමටවත් ඉඩ සැලසුවේ නැත. තරුණ ජීවිතය සැප විඳින්නට තිබෙන අවස්ථාවක් ලෙසින් සිතීමට සිද්ධාර්ථ කුමාරයාට ඉඩ සැලසූ නමුත් ඒ සඳහා වැඩිකල් යෑමට පෙර සිද්ධාර්ථ කුමාරයාගේ යම් වෙනසක් ඇති වී ගෙන යන බව සුද්ධෝධන රජුට වැටහුණේ ය. එසේ වුවද සුද්ධෝදන රජු පී‍්‍රතියට පත්වීමට කරුණක් ද සිද්ධාර්ථ කුමාරයා හා යසෝධරා කුමරියගෙන් ලැබුණි. එනම් යසෝධරා දේවියට දරු උපතක් ලැබීමට වරම් ලැබීම ගැනය. මෙසේ කල් ගත වන අතරේ රථයක නැගී සිදුහත් කුමාරයා ගමන් කරන විට රථයේ රියැදුරාගෙන් යම් යම් කරුණු ඇසීමට පුරුද්දක් කර ගෙන තිබුණි. රෝගියෙකු දැක ඒ ගැන ද මහලු මිනිසෙකු දැක ඒ ගැන ද "මළ මිනියක් ගෙන යන අවස්ථාවක් දැක ඒ ගැන ද,රියැදුරාගෙන් විමසුවේ ය. රියදුරා ඊට නිසි පිළිතුරු දුන්නේ ය. හාමුදුරුනමක් ද (ශ්‍රමණයෙක්) දුටු සිදුහත් බෝසතාණන් වහන්සේ මේ ලෞකික ලෝකයේ රෝගී වීම, මහලු වීම සහ මිය යෑම යන සිදුවීම් තුන ද හාමුදුරු නමකගේ රූපය ද දැකීමෙන් සතරපෙර නිමිති අනුව ජීවිතය ගැන සිතීමට සිද්ධාර්ථ කුමාරයා පටන් ගත්තේ ය.මෙතෙක්වේලා රථයේ රියැදුරා සමඟ කතාබහ කළ සිද්ධාර්ථකුමරුගේ නිශ්ශබ්දතාවය ගැන රියැදුරාට සැකයක් ඇති විය.
සිදුහත් කුමරු මේ සංසාරයේ ඇති භයානක බව සිතට නැගී ඒ පිළිබඳ මෙනෙහි කරන්නට පටන් ගත්තේ ය. නැටුම් ගැයුම් වැයුම් සහිත ඉතා පි‍්‍රය මනාප දෙවඟනන් මෙන් රූප සම්පත්තියෙන් යුතු නළඟන්ගේ රැඟුම්වලට පි‍්‍රයතාවයක් දැක්වූයේ නැත. මෙසේ මෙම වාතාවරණය ගැන සුද්ධෝදන රජු තුළ ද තරමක සැකයක් මෙන්ම ශෝකයක් ද ඇතිවිය. එකම සැනසිල්ලට කරුණ වූයේ යසෝධරා දේවිය දරුවකු ලැබීමට ආසන්නවී තිබීම පමණකි.
සිද්ධාර්ථ කුමාරයා ඉතා ඉක්මණින්ම මෙම ගිහි ගෙයින් නික්ම යා යුතු බව තීරණය කළේ ය. ඡන්න ඇමතිට කතා කර කන්ථක අසු සරසවා ගෙන එන ලෙස දැන්වීය. ඡන්න ඇමැති පුදුමයෙන් ඒ අසා ඊට කීකරු වූයේ ය. ඉතා සෙමෙන් යසෝධරා දේවිය නිදා සිටි කාමරයේ දොර ඇර බලන විට යසෝධරා දේවිය දරුවෙකු ප්‍රසූත කර සිටින අන්දම දුටු සිද්ධාර්ථ කුමාරයා එය බාධාවක් කර නොගෙන රජ මාළිගයෙන් පිට වූයේ කන්ථක අසු සරසවාගෙන ආ ඡන්න ඇමැති සමඟ ය. ඇසළ සඳ පායාගෙන නිල් අහසේ බැබළුණු ඒ රාත්‍රියේ මහා බෝසතාණෝ මහාභිනිෂ්ක්‍රමණය කළහ.


























































බුදුපිළිමයේ උපත - 16: 

දුෂ්කර ක්‍රියාව


ළදරු වයසේ සිට වයස අවුරුදු විසිනවය වන තෙක් නිතරම පැවති නැටුම්,ගැයුම්, වැයුම් හා ඇසුරු කළ අයගේ කතාබස් ආදී වශයෙන් කිසිදු නිසි විවේකයක් නොලැබ කාලය ගත කළ සිදුහත් කුමරාට ඒ සියල්ලෙන් වෙන්වී මෙසේ හුදකලාව වාසය කිරීම ඉමහත් සැනසිල්ලට කාරණයක් විය.
අනුපිය අඹවනයට පිවිසි  බෝධිසත්වයන්වහන්සේගේ සිතේ උපන් විවේකය නිසා ජීවිතයේ යථාතත්ත්වය මෙනෙහි කිරීමට අවස්ථාව ලැබුණි. සතියක්ම එහි කල් ගෙවූහ. සා පිපාසාදියක්ද නොවීය. මේ හැර මහත්වූ වියෝගයෙන් ඇතිවන පි‍්‍රයවිප්‍රයෝග දුක දරාගන්නට මාගේ පියාණන්ටත් කුඩා මෑණියන් වහන්සේටත් යසෝධරාවන්ටත් නන්ද කුමාරයාටත් නන්දා කුමරියටත් සෙසු ඥාතීන්ටත් යන හැම දෙනාටම හැකිවේවායිද එයින් කිසිම කෙනෙකුට විපතක් නොවේවායිද සිදුහත් බෝධි සත්වයන්වහන්සේ අධිෂ්ඨාන කළසේක.

පාකිස්තානයේ ලාහෝර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මෙම ප්‍රතිමා වහන්සේ ගන්ධාර මූර්ති කලාවට අයත්වේ.
ඉන්පසුව බෝසතාණන්වහන්සේ එක් පෙරවරුවක රජගහනුවරට පැමිණියේය. පිඬුසිඟා වැඩම වීමට කාලය බැවින් උන්වහන්සේ පාත්‍රයද රැගෙන නික්මුණහ. එහි රජ කරන බිම්බිසාර රජු දැක තමන් හඳුනාගත හොත් එයද නොමැනවි යැයි සිතූ බෝසතාණන්වහන්සේ එසේ කවදාවත් දැක නැති බිම්බිසාර රජුට මේ බව දැනගතහොත් (රාජපුරුෂයන් මඟින්) සංග්‍රහ සද්කාර ලැබෙනු ඇත. එහෙත් දානමය සද්කාර ලැබීම නුසුදුසු බව සිතූ බෝසතාණන්වහන්සේ ගෙපිළිවළින් පිඬුසිඟා වැඩියහ. එහි සිටි ජනතාව බෝසතාණන් වහන්සේගේ රූප ශ්‍රී දැක මවිතයට පත්වූහ. මහා බ්‍රහ්මයා කිසියම් මිනිස් වෙසකින් පැමිණ ඇතැයි ද සමහරු සිතූහ. කෙසේ හෝ රාජපුරුෂයෝ බිම්බිසාර රජුට මේ පුවත සැළ කළහ. බිම්බිසාර රජු රාජ රාජ මහාමාත්‍යාදීන් පිරිවරා සිදුහත් බෝසතාණන්වහන්සේ වැඩ සිටි පාණ්ඩව පර්වතයට පැමිණියේය. බෝසත් තෙමේ රජු හා කතාබහ කර සියලු තොරතුරු කියා සිටියේය. ඉන් පසු සිදුහත් කුමරු ගිජුකුළු පව්වට ගොස් උදේ වරුවේ විසාලා මහනුවරට පැමිණියේය. ආලාර කාලාම, උද්දකාරාම යන පිරිවැජියන් වසන ස්ථානවල සිටි නමුදු තමන්ට ඒ කිසිවකින් අර්ථයක් නොවන බව දැන නික්ම ගියහ.
මේ අතර සුද්ධෝදන රජතුමා තම පුතනුවන්ට උපස්ථාන කිරීම සඳහා තොරතුරු සෙවීමටද දූතයන් යෙදවීය.එම දූතයින් සුද්ධෝදන රජුට පැවසුවේ කිසිදු උපස්ථායකයෙක් බෝසතාණන් වහන්සේට නැති බවය. මේ ඇසූ සුද්ධෝදන රජුත් සුප්‍රබුද්ධ රජුත් වෙන වෙනම ඒ සඳහා දූත පිරිස් යැවූහ.
ඒ පිරිසෙහි වූ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම සහ අස්සජි යන තවුසන් පස්දෙනා පමණක් බෝසතාණන්වහන්සේ තමන් වෙත රඳවා ගත්තේය. මෙයින් කොණ්ඩඤ්ඤ යනු බෝසතුන්ගේ නම් තබන වේලාවෙහි එහි සිටි බමුණෙකි. සිදුහත් තවුසාණෝ රජගහනුවරට පැමිණ ගයා ශීර්ෂයෙහි වැඩ වාසය කළහ. පස්වග තවුසන් උපස්ථාන කළද සිදුහත් බෝසතාණන්වහන්සේ පි‍්‍රය කළේ හුදකලාව විසීමටය. එහි වසන සමයේ ඒ සය නම සේනානි ගමට පිඬු සිඟා වැඩියේය.
ඒ කාලයේ භාවනාව ප්‍රගුණ කළ ගුරුවරුන් දෙදෙනෙකුගෙන් සමය ඉගෙන ගැනීමෙන් පසුව එයින් සෑහීමකට පත් නොවූ එතුමා තමා විසින්ම සොයාගත් මාර්ගයක් අත්හදාබැලීමට තීරණය කළේය. මහ බෝසතාණෝ ඉතා දුෂ්කරවූ වෘත පුරන්නට වූහ. උන්වහන්සේ තමන් ලබා තිබුණු ධ්‍යාන අතුරෙන් රූපාවචර චතුර්ථධ්‍යානයට සමවැද ආශ්වාස ප්‍රශ්වාස දෙකම නවතා අප්‍රාණකධ්‍යානය වඩන්නට පටන් ගත්හ. එවිට කන් සිදුරුවලින් වාතය මහ හඬින් නික්මෙන්නට වන තියුණු බුරුම විදින කටුවකින් හිස විදුනා විටෙක මෙන් දරුණු හිස රුජා නැගෙන්නට විය. කුමක් වුවත් මෙය තවදුරටත් වඩමියි සිතා මහත් උත්සාහයෙන් දෙකන් සිදුරෙන් නික්මෙන වාතය රඳවාගත්හ. එවිට වරපටෙකින් හිසවැරයේ බැන්ඳ විටෙක ලෙසින් දරුණු හිස රුජා (වේදනාව) ඇතිවිය. මුවහත් කැත්තකින් කපනා කලෙක මෙන් කුස තුළ මහත් බරක් නැඟිණ.
තවත් ධ්‍යානයක් වඩන බෝසතාණන්වහන්සේ එයින් වන කිසිම පීඩාවකින් පසුව පසුබට නොවූහ.බෝසතාණන්වහන්සේට මෙම ධ්‍යාන වඩනවිට බලවත් පුරුෂයන් දෙදෙනෙක් දුබලයෙකු ගිනිඅඟුරු වළකට දමා තවන කලෙක මෙන් කයෙහි දැවිල්ල ඇතිවිය. මෙසේ දැඩිව කාය දාහය නිසා සිහි මූර්ජා වී සක්මන් මළුවෙහි ඇද වැටුණි.
(ශාක්‍ය මුණීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක හිමිපාණන් වහන්සේ පි.53 -1986)
මෙසේ සිද්ධාර්ථ තවුසාණන් උරුවෙල් දනව්වේ මහාවනයෙහි ශරීරයට අධික වධ දෙමින් ක්‍රියා කිරීම දුටු පස්වග පරිබ්‍රාජිකයින් සිදුහත් බෝසතාණන්වහන්සේ හැරදමා යන්නට සිතමින් සිටියහ. මෙම දුෂ්කර ක්‍රියාව කළ ස්ථානය බුද්ධගයාව අසළ අදත් දැකගත හැකිය.
මෙම දුෂ්කර ක්‍රියාව නිරූපණය කරන ඉතා අගනා මූර්තියක් ගන්ධාර කලා නිර්මාණයට අයත් ලාහෝර් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත. එය ලොව ඉතා ප්‍රකට මූර්තියකි. සිද්ධාර්ථ තවුසාණන් දුෂ්කර ක්‍රියා කිරීම නිසා ඇඟමස් සහ නහර වියැළී ඇති අන්දම තාත්වික ලෙසින් ගන්ධාර මූර්ති ශිල්පියා විසින් නිර්මාණය කර ඇත.

බුදුපිළිමයේ උපත - 17: 

සිදුහත් කුමරාගේ දුෂ්කර ක්‍රියාව


සිදුහත් මහ බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලැබීමට පෙර සාවුරුද්දක් මුළුල්ලෙහි දුෂ්කර ක්‍රියා කළ බව බෞද්ධයා වෙත අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.
"ඉක්බිත්තෙන් එක් දේවතා දුවක් බෝසතුන් විසඥව බිම හුණුවිටම කිඹුල්වතට දිව ගොස් සුද්ධෝදන රජ්ජුරුවන්ගේ සිරියහන් ගබඩාවෙහි ආකාශයේ සිට ආලෝක පතුරුවා රජ්ජුරුවන් පුබුදවා “කිමෙක්ද සුද්ධෝදන රජ්ජුරුවෙනි! තොප පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ දැන් පරලොව ගියාහුයයි කිව. එබස් අසා රජ්ජුරුවෝ ම පුතණුූවෝ බුදුව මළාහුද නුබුදුව මළාහුදැයි විචාළහ."
උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියා සමය ගැන බක් අව අටවක පෝදා බුදුසරණ පුවත්පතෙහිද සටහන් කළෙමු. එම දුෂ්කර ක්‍රියා සමය පිළිබඳ මෙවර විස්තර කරනුයේ අප රටෙහි පළවූ අගනා ග්‍රන්ථද ඇසුරිණි.
භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව මෙරට පොළොන්නරු රාජධානි කාලයේදි ලියැවුණු ග්‍රන්ථ දෙකක් ඇති බව ඉතා ප්‍රකට කරුණකි. විද්‍යා චක්‍රවර්ති නම්වූ ලේඛකයා විසින් ලියන ලද බුත්සරණ ඉන් එක් ග්‍රන්ථයකි. අනෙක් ග්‍රන්ථය නම් ගුරුළුගෝමි නම් වූ ලේඛකයා විසින් ලියන ලද අමාවතුර ග්‍රන්ථයයි. පොළොන්නරු රාජධානි කාලයට පසුව පුරාණ ලංකාවේ රාජධානිය වු දඹදෙණි යුගයේ ලියැවුණු තවත් ග්‍රන්ථයක් වේ. ඒ පුජාවලියයි. පුජාවලියෙහි උරුවෙල් දනව්ව ඇතිවූ අන්දමද විමසා බලමු. ඒ මෙසේය.
ගන්ධාර බුදුපිළිම කලාවට අයත් මූර්තියකි
පෙර ධ්‍යානලාභී දස දහසක් තාපසවරුන් බොහෝ කලක් විසූ පන්සලය. එකල ඔවුන් හැම දෙනාම අප හැම දෙනාම අතුරෙන් යම් යම් කෙනෙක් තමන් තමන් රහසෙන් කාමි විතර්ක ආදී පාපයක් සිතූ නම් හිරු උදයේ ගොස් (අලුයමින්ම ගොස්) මේ ගංගාවේ කට පමණක් දියට බැස ගංපල්ලෙන් වැලි ගෙනවුත් මේ මලු මධ්‍යයෙහි ලාලා ආරෝචනය කළ මැනව. ඕ හට මේ දඬුවම් නමැයි කතිකා කළහ. එකල ඒ තාපසවරු අකුසල් විතර්කයක් සිතූ කළ එම ක්‍රමයෙන් වැලිගොටුවෙක් ලා ඇවත් දෙසූහ. දීර්ඝ කාලයකින් යොදුන් පමණ වැලිතලාවෙක් විය. පසුව තාපසවරුන් ගේ අභාවයෙන් පසුව උපන් රජදරුවෝ මේ පෙර උත්තමයන් විසූ තැනකැයිද සිල්වතුන් ඇදි වැලි යැයි සිතා ඒ සිසාරා (ඒ වටා) පුවරු බඳවා උපාචර (වැඳුම් පිදුම්) කළහ. මෙසේ ඒ උරුවේලා නම් වැලිතලාව මධ්‍යයේ දැක දුෂ්කර ක්‍රියාවෙන් එහි වාසයට පටන් ගත් සේක. (පූජාවලිය මයුරපාද පිරිවෙන්පති බුද්ධ පුත්‍ර ස්ථවිරයන් වහන්සේ පි. 169-170– බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය –2010)
උරුවෙල් දනව්ව ඇතිවූ අන්දම විස්තර කරන පූජාවලිය ග්‍රන්ථය ඉන්පසුව පස්වග තවුසන් ලෙසින් භාග්‍යවතුන් වහන්සේ බුදුවීමෙන් පසුව විසූ පරිබ්‍රාජකයන් පස්දෙනා ගැන ඉන්පසු මහ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවට සැරසුණු අන්දම මෙසේ සඳහන් කරයි.
ඉක්බිත්තෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්පය, මහානාමය අස්සජි යයි පෙරකී පංච වර්ගික භික්ෂූහු මේ නියම් ගම් රාජධානියෙහි සැරිසරා ඇවිදුනාහු ඒ උරුවේලාවට වැද බෝසතුන් දුටහ. එතැන් පටන් එක්ව වාසය කළ කොට සා අවුරුද්දක් මුළුල්ලේ ස්වාමි දරුවන් දුෂ්කර ක්‍රියා පුරන කළ” මේ සිද්ධාර්ථ කුමාරයෝ අද බුදු වෙති. සෙට බුදුවෙතියි මළු ඇමද නහන (ස්නානය කරන) බොන පැන් දී වත් පිළිවෙත්කොට දුක් ගෙන සමීපයෙහි වාසය කළාහුය. බෝසතාණෝ මේ ශරීරයට පාඩුවක් කොට බුදුවිය නොහැක. ඉතා මහත්වු දුක්දී දුෂ්කර ක්‍රියායෙන් මුදුන් පැමිණෙමියි දවසෙක තල ඇටක් (වැනි) සා භෝජනයකිනුත් යැපී දවස් යවන සේක. හැම පරිද්දෙන්ම ආහාර වර්ජිත කොට මිරිස් කනක් ලදත් තිබ්බටු කනක් ලදත් දවස් යවන සේක. සමහර දවසෙක බත් හුලකින් වුවත් දවස් යවන සේක. සමහර දවසෙක සුන්බතුත් වන සේක. දේවතාවෝ ආහාර වර්ජිතයෙන් නොනසිත්වයි සිතා මුඛයෙන් අනුභව නොකරන හෙයින්,නවානු දහසක් ලෝම කූපයෙන් දිව්‍ය ඕජස බහා ජීවිතය රක්ෂා කෙරෙති. ඉක්බිත්තෙන් මෙසේ ආහාර වර්ජිත කිරීමෙන් දුර්වලවත් රන් කඳක් වන් ශරීරය කාල වර්ණව ගිය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝද ශරීරයෙහිම සැඟවී ගියහ. (පිටු අංක 170)
ඉක්බිත්තෙන් එක් දේවතා දුවක් බෝසතුන් විසඥව බිම හුණුවිටම කිඹුල්වතට දිව ගොස් සුද්ධෝදන රජ්ජුරුවන්ගේ සිරියහන් ගබඩාවෙහි ආකාශයේ සිට ආලෝක පතුරුවා රජ්ජුරුවන් පුබුදවා “කිමෙක්ද සුද්ධෝදන රජ්ජුරුවෙනි! තොප පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ දැන් පරලොව ගියාහුයයි කිව. එබස් අසා රජ්ජුරුවෝ ම පුතණුූවෝ බුදුව මළාහුද නුබුදුව මළාහුදැයි විචාළහ. බුදුවිය නොහි දුෂ්කර ක්‍රියා භූමියෙහි මළාහුයැයි කිව. ඒ බස් අසා රජ්ජුරුවෝ මම තී කී බස් නොගිවිසිමි. මා පුතනුවන් ලොව්තුරු බුදු නොවී මිය යෑමෙක් නම් අහස, පොළොව සේ දුරැයි කියා නොගිවිස්සාහ. මෙසේ නරව රජ්ජුරුවන් නොගිවිස්නට කිම යත් “එදා කාළ දේවල නම් තාපසයන් ගේ ජටාන්තරයෙහි ශ්‍රීපාදය පෙනී ගිය ප්‍රාතිහාර්යය දඹගස මුලදී දුට ප්‍රාතිහාර්ය යන මේ දෙකාරණයෙන් ප්‍රත්‍යක්ෂද රජ්ජුරුවෝ නොඅදහා කීසේ වූ දේවතා දූවරුන් සියක් දහසක් කීවත් මම නොගිවිසීම්මය. (නොපිළිගනිමියි) ම පුතණුවෝ බුදුව දම් දෙසා මුත් නොමියෙත්ම යැයි ප්‍රතික්ෂේප කළාහුය.” (පූජාවලිය පිටු අංක 171)

බුදුපිළිමයේ උපත - 18:

මාර පරාජය කිරීම

බෝසතාණන්වහන්සේ බෝධිමූලයෙහි වැඩහිඳ බුදු බව ලබා ගැනීම බලසෙන් සහිත මාර පරාජය කිරීමක් බව බුදුරජාණන් වහන්සේ විසින්ම මෙසේ දේශනා කොට ඇත.
“ප්‍රධන්වීර්යය වඩා නිවන් පසක් කළ උතුමෝ නොසැළී උප්පත්ති, මරණ භය අවසන්කොට මාර විෂය නම් වූ භවය අභිබවනය කොට මාර බලය ඉක්මවා සැනසීමට පත්වෙති.
මෙකී මාර පරාජය කාව්‍යයෙහි සාහිත්‍යයෙහි මෙන්ම චිත්‍ර මුර්ති කලාවන්හිද විචිත්‍රාකාරයෙන් නිරූපණය කොට ඇති අයුරු දක්නට ලැබේ.’ ව්‍යවහාර ලෝකයෙහි මාර විජය එක් ආකාරයෙන් නිරූපණය කිරීමට ඇති අවකාශය කෙබඳුද යන සංකල්ප බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙහිම සඳහන් වන බව ඉහත සඳහන් පාඨයෙන් සහ සංයුක්ත නිකාය මාර සංයුක්ත වැනි නොයෙක් දේශනා වලින් පෙනේ. එක් අවස්ථාවක මාරයාත් භාග්‍යවතුන් වහන්සේත් අතර ඇතිවු සංවාදයක මෙසේ සඳහන් වේ.

මාර පරාජය සාංචි තොරණේ මූර්ති කැටයමකි.
”මාරයා :– දිව්‍යමය වූ මානුෂික වූද භවබන්ධන නමැති පාශයෙන් ඔබ බැඳුණෙහිය
භාග්‍යවතුන් වහන්සේ දිව්‍යමය වූද මානුෂික වූද භවසම්පත් නමැති මාරපාශයෙන් මම මිදුනෙමි.
මෙහි මාරපාශ නමින් දක්වා ඇත්තේ දිව්‍යමය සහ මානුෂික සම්පත් සමූහයයි. භවබන්ධන නමින්ද හැඳින්වෙන කම් සැප මාර විෂය නමින්ද හැඳින්වේ. බෝසතාණන් වහන්සේ ප්‍රධන් වඩන අවස්ථාවේ පටන්ම කලබලයට පත් මාරයා උන්වහන්සේ වෙත පැමිණ හිතවතෙකුමෙන් පෙනී සිට දුක් විඳිමින් ජීවිතය නසා නොගෙන සැප විඳිමින් පින් දහම් කරන්නැයි ආයාචනා කළ අවස්ථාවේ ඇතිවූ සංවාදයෙන් මාර සේනාවත්, මාරයාත් හඳුනාගත හැකිය.
නේරංජනා නදී තීරයෙහි නිවන් ලැබීම පිණිස දෘඪ පරාක්‍රමයෙන් ප්‍රධන් වීර්යය කරන මා වෙත කාරුණික වදන් තෙපලමින් මාරයා පැමිණියේය. ඔහු මෙසේ කීය. ඔබ දුර්වලයි දුර්වර්ණයි. මරණය අත ළඟයි. ඔබ දහස් පංගුවකින් මරණයට ළඟයි. ජීවත්වීමට ඇත්තේ දහසෙන් පංගුවක් පමණයි. පින්වත, ජීවත්වන්න, ජීවිතය ශ්‍රේෂ්ඨයි ජීවත් වෙමින් පින්කළ හැකියි. බඹසර යෙදෙමින් ගිනි පිදීමෙන් පින් රැස් කළ හැකිය.ප්‍රධන් වීර්යයෙන් කුමක් කළ හැකිද ප්‍රධන් මාර්ගය අසීරුය. දුෂ්කරය. ලබන්නටත් බැහැයි කියමින් මාරයා මා ළඟට වී සිටියේය.
ඔබ පළමු සේනාව කාමයෝය. දෙවැන්න ජාතියයි. තෙවැන්න සා පවසයි. සිව්වැන්න සෙවීමේ ආශාවයි. පස්වැන්න අලස බවයි. සවැන්න බියයි. සත්වැන්න සැකයයි. අටවැන්න මකු බව මානය හා දරදඬු බවයි. නවවැන්න බොරුලාභ කීර්ති ප්‍රශංසාවයි. දසවැන්න තමා උසස් කොට අනුන් පහත් කොට සිතීමයි.
(සුත්ත නිපාත, මහාවග්ග – පධාන සුත්ත පිටු 126-131)
(බුදුන් වදාළ බුද්ධ චරිතය මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියෝ සහ කීර්ති නාරම්පනාව – පිටු 71-72 (1999)

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි භාරුත් මූර්ති කැටයමකි
“බුද්ධත්වබෝධයට සම්බන්ධ අනෙකුත් අවස්ථාවලදී විශේෂයෙන් මාර යුද්ධය පැරණි කලාකරුවා ඉදිරිපත් කර ඇති ආකාරය සලකා බැලීම මෙහිදී වැදගත් වෙයි. බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතයේ ඉතාමත් තීරණාත්මක අවස්ථාව වන මෙම සංසිද්ධිය සියලු සම්ප්‍රදායට අයත් ධර්ම ග්‍රන්ථ සහ බුද්ධාපදානයන්හි ඉතාමත් සංවේදී ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.
බුද්ධාවබෝධය යනු ක්ලේශ ධර්මයන් සහමුලින්ම ප්‍රහාණය කර ලබන අධ්‍යාත්මික විමුක්තිය වූවත් බෞද්ධ පොත් පත්වල එම අවස්ථාව ඉදිරිපත්කරනු ලබන්නේ වසවර්ති නම් වු මාරදිව්‍ය පුත්‍රයා විසින් බෝසතුන්ට එරෙහිවූ තම සේනාව ද රැගෙන කරන ලද යුද්ධයක් වශයෙනි. ජාතක නිධාන කථාවේ මෙන්ම බුද්ධ වංශ ,අට්ඨකතා ,ලලිත විස්තර, මහාවස්තු ඇතුළු මහායාන ග්‍රන්ථ වලද එම අවස්ථාව ඒ අයුරින්ම වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.
මාරයා තම සේනාවන් සමග බෝධිසත්වයන් වෙත එල්ල කරන ආකාරයේ මුර්ති කැටයමක් අංක 1 සාංචි ස්තූප දකුණු වාහල්කඩෙහි දක්නට ලැබේ. මාරයා සහ සේනාව තරමක් අස්වාභාවික ආකාරයේ මූර්ති වලින් පෙන්වන අතර වම් කෙළවරෙහි බෝධිවෘක්ෂය සැදැහැවතුන් විසින් වන්දනය කරන ආකාරයෙන් දක්වා ඇත. ඒ අය අතර තම කිරි ආහාර සමඟ සුජාතාව ද දක්නට ලැබේ. මෙය සමහර විට මාරයාගේ පැමිණීම පිළිබඳ කතාවේ මුල් අවස්ථාව පෙන්වන මූර්තියක් ලෙස සැලකිය හැකි නමුත් මාර දූවරු මෙහිදී ඉදිරිපත් කර නැත.
අමරාවතී කැටයමක් මේ අවස්ථා දෙක වෙන්වෙන්ව එයට සම්බන්ධ කර දක්වා ඇත. එයින් කලාකරුවා අදහස් කරන්නට ඇත්තේ පළමුව තම බලපරාක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ පරදවන්නට අසමත් වූ මාරයා ස්වකීය රූමත් දියණියන් මෙහෙයවා උන්වහන්සේ පොළඹවා ගැනීමට ගන්නා ලද උත්සාහය නිරූපණය කිරීමට යැයි සිතිය හැකිය. මහායාන සම්ප්‍රදායට අයත් ලලිත විස්තරයෙහි මාර පරාජය පිළිබඳ කතාව විස්තර වන්නේ මාරයාගේ උත්සාහය අසාර්ථක වූ පසු මෙම මාරදූතිකාවන් තම පියාගේ උපදෙස් මත බුදුරජාණන් වහන්සේ රාගයෙන් පොළඹවා ගැනීමට රංගනයන්හි යෙදුණු ආකාරයයි. මෙම අවස්ථා දෙක සමඟ අවසානයෙහි බුදුරජාණන් වහන්සේ බෝ මැඬදී සකල ක්ලේශයන් ප්‍රහාණය කළ බවට සාක්ෂි වශයෙන් දකුණු අතින් පොළව ස්පර්ශ කළ බව සඳහන් වෙයි. මාර සේනාව බෝධිය සහ පහතින් ඇති හිස්වැසුම අමරාවතී කැටයමේ එක්තරා සම්පිණ්ඩනයකට අනුව දක්වා තිබීම බුද්ධත්වයට සම්බන්ධ ඉහත කී අවස්ථා තුන එකට ගැලපීමක් වශයෙන් උපකල්පනය කළ හැකිය.
අමරාවතී මූර්ති කැටයමෙහි ඇති මාර පරාජය කැටයම් රාමුව ජාතක නිදාන කථාවෙහි විස්තර කරන ආකාරයට මාරයා ගිරිමේඛලා නම් ඇතුපිට නැගී සිටින ආකාරය පෙන්වීමට නිර්මාණය කරඇතැයි සිතිය හැකි වුවත් එය බොහෝ දුරට කැඩි බිඳී ගොස් ඇති නිසා පැහැදිළිව හඳුනා ගැනීම අපහසුය.
ගන්ධාරයට අයත් මාර පරාජය පිළිබඳ මූර්ති කැටයමෙහි ගී‍්‍රක හා රෝම සම්ප්‍රදායට අයත් ඇඳුම් වලින් යුත් භයානක අවි අතට ගත් යුද භටයන් මාරසේනාව ලෙස පෙන්නුම් කරයි. මෙය ගන්ධාර බෞද්ධ මූර්ති කලාව තුළ ගී‍්‍රක ආභාසය ප්‍රකට කෙරෙන ඉතා පැහැදිලි නිදසුනක් වශයෙන් ඉදිරිපත් කළ හැකිය.
දසමරුන් පරදවා බුද්ධත්වයට පත්වීම ධර්මයට අනුව බැලීමේදී භෞතිකව පුද්ගලාන්තර සිදුවීමකට වඩා සන්තානගතව ඇති කෙලෙස් නමැති සතුරන් අධ්‍යාත්මිකව ජයග්‍රහණය කිරීම වශයෙන් පිළිගත යුතුව ඇත. එහෙත් මෙම අවස්ථාව දෘෂ්ටිපථයට ගෝචර වන ආකාරයෙන් නිරූපණය කිරීමේදී කලාකරුවා අවධානය යොමු කර ඇත්තේ බුද්ධ චරිතයට සම්බන්ධ පුරාවෘත්තවල එන වසවර්ති මාරයාගේ සිද්ධිය පිළිබඳව බව පැහැදිළිව දක්නට ලැබෙන ලක්ෂණයයි.
බුදුපිළිමයට පෙර බුදු හාමුදුරුවෝ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණෝ – පිටු අංක 51-53 (2010) සරසවි ප්‍රකාශකයෝ