ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

බුදුපිළිමයේ උපත - 2

බුදුපිළිමයේ උපත - 7: 

බරණැස සාරානාත් පුදබිම

අසෝක රජුගේ රාජ්‍යය මගධ අධිරාජ්‍යය ලෙසින් සඳහන් වේ. එම අධිරාජ්‍යයේ ආරම්භක රජු චන්ද්‍ර ගුප්ත (ක්‍රි.පූ. 321 – 297ය ඔහුගේ පුතා ඉන්පසුව රජ වූයේ ය.) ඔහුගේ නාමය වූයේ බින්දුසාර රජුය. (ක්‍රි.පූ. 297 – 269 ) බින්දුසාර රජුගේ පුත්‍රයකු වූයේ අසෝක රජුය. ඒ අනුව අසෝක රජු මෙම රාජවංශයේ (මෞර්ය රාජ වංශයේ) තුන් වැනි රජතුමාය. එතුමා ක්‍රිස්තු පූර්ව 272 සිට ක්‍රිස්තු පූර්ව 232 තෙක් රජකම් කර ඇත. අසෝක රජුගේ ශිලා ලේඛන සිය අධිරාජ්‍යය පුරාම පිහිටුවා ඇත. අසෝක රජතුමාට ඊට ඉහත සිටි ඔහුගේ පියාගෙන් සහ ඒ පියාගේ පියා (චන්ද්‍ර ගුප්ත රජු) විසින් අල්ලා ගන්නා ලද රටවල් නිසා විශාල අධිරාජ්‍යයකට උරුමකම් කියන්නට අවස්ථාව ලැබුණි. අසෝක රජුට ඒ වන විට අලුතින් අල්ලා ගැනීමට සිය අධිරාජ්‍යයට ඈඳා ගැනීමට තිබුණේ කාලිංග රාජ්‍යය පමණි. මෙකල ඔරිස්සා ප්‍රාන්තයට පුරාණ කාලිංගය අයත්ය.
කාලිංග යුද්ධයෙන් ඉතා විශාල මනුෂ්‍ය සංඛ්‍යාවක් මිය ගිය බව පමණක් නොව ඒ සංඛ්‍යාවන් ශිලා ලේඛනවල සටහන් කිරීමට අසෝක රජු කටයුතු කළේ ය. එම කාලිංග යුද්ධය නිසාම ඉතා දැඩි කම්පනය ට පත් වූ අසෝක රජතුමා නැවත යුද්ධ කර රටවල් යටත් කිරීම නොකරන ලෙස අසෝක රජතුමා ගේ ශිලා ලේඛනවලින් ඉල්ලා සිටියේ තමාගේ දරුවන්ගෙන් සහ මුණුබුරන්ගෙනි.
රජුගේ අභිෂේකයෙන් අටවැනි වර්ෂයේ දී කාලිංගය දේවානම්පි‍්‍රය දර්ශි (අසෝක) රජු විසින් ජය ගන්නා ලදී. ගණනින් එක් ලක්ෂ පනස් දහසක් එරටින් පිටුවහල් කරන ලදී. එක් ලක්ෂයක් පමණ ජනතාව මරා දැමුවේ ය. ඊට වඩා අධික සංඛ්‍යාවක් විනාශ විය. කාලිංගය ජය ගැනීම ගැන දේවානම් පි‍්‍රයයන් (අසෝක රජු) තුළ මෙබඳු පසු තැවිල්ලක් හටගෙන ඇත. මෙම ධර්ම ලිපිය ලිවීමේ අදහස මෙසේ ය. එනම් මාගේ පුත්‍ර හෝ (ප්‍රපෞත්‍ර) මුණුබුරන් කෙනෙක් වෙත්නම් අලුතෙන් ප්‍රදේශ ජය ගැනීමට නොසිතත්වා යනුයි.
ඔවුන් අවිබලයෙන් කරන ජයග්‍රහණයේ දී වුවද සමාවදීම හා ඉතා සුළු දඬුවම් දීමට කැමැති වේවා ඔවුන් ධර්ම විජය ජය ගැනීම ජයග්‍රහණය ලෙස සලකත්වා එය මෙලෝ පරලෝ පිණිස වන්නේ ය. (ධර්මාශෝක සුවිනිශ්චිත ජීවන චරිතය – ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ පිටු අංක 686 – 87 ( 2005)
අසෝක රජුගේ පුතා සහ දියණිය මිහිඳු මහරහතන් වහන්සේ සහ සංඝමිත්තා මෙහෙණිය අප රටේ බුදු සසුන පිහිටුවීමෙහි උපකාරී වූ බව ඉතා ප්‍රකට ඓතිහාසික කරුණකි. මහාවංසයට ලියන ලද මහාවංස ටීකාවේ සඳහන්වන පරිදි බින්දුසාර රජුගේ ධම්මා නම් බිසවකගේ පුතා අසෝක කුමරුය.
අසෝක තරුණ කාලයේ දී තමන්ගේ පියා වූ බින්දුසාර රජුගේ රාජධානියේ තක්ෂිලා සහ අවන්ති යන ප්‍රදේශවල උප පාලකයා ලෙසින් සේවය කරන කාලයේ දී තක්ෂලාවේ ඇති වූ කැරැල්ලක් මැඬලීමට අසෝක තරුණයා යවන ලද්දේ බින්දුසාර රජු විසිනි. අවන්ති දේශයේ ප්‍රාදේශීය පාලකයා ලෙසින් අසෝක කුමරු යවන ලද බව දීප වංසයෙහි සහ මහා වංසයෙහි ද සඳහන් වේ.
"(සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහාමායා දේවි විහාරය "සිරිසමන් විජේතුංග පි. 109 (2014) මෙකල දඹදිව වන්දනාවේ යන සැදැහැවතුන් පමණක් නොව බොදුනුවන් වන අප අසෝක රජතුමා කවුරුන්ද යන්න ගැන අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය. ඒ සඳහා වැදගත් වන පළමු වැනි කරුණ නම් අප රටේ බුද්ධාගම පිහිටුවීමට උපකාර වූ මිහිඳු මහරහතන් වහන්සේගේ ගිහි කල පියාණන් නිසාම පමණක් නොවේ.
පුරාණ දඹදිව ලුම්බිනි (සිදුහත් උපත සිදු වූ පුද බිම, බුද්ධගයාව (සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පුදබිම සාරානාතය හෙවත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ පුදබිම මෙන්ම තවත් පුදබිම් රැසක්ම හඳුනා ගැනීමට හැකි වී ඇත්තේ මෙම අසෝක රජතුමා නිසාය. ඒ ඒ පුදබිම්වලට රාජකීය වන්දනාවේ යෑම පමණක් නොව එතුමා විසින් ඒ පුදබිම්වලට ගිය බව අසෝක රජු විසින් පිහිටුවන ලද ශිලා ලේඛනවල සටහන් කර ඇත. ඉතා වැදගත්ම ශිලා ලේඛනය වන්නේ ලුම්බිනියේ පිහිටුවන ලද ශිලා ස්තම්භයයි.
ඉසිපතනාරාමයේ සාරානාතයෙහි බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ පුදබිමෙහි අසෝක රජතුමා විසින් ශිලා ස්තම්භයක් ඉදිකරවන ලදී. ඒ ශිලා ස්තම්භයේ ශීර්ෂයෙහි සතර දිසාව බලාගෙන සිංහ නාද කරමින් සිටින සිංහ රූප සතරක් නිර්මාණය කර ඇත. එම සිංහ රූප පාමුල ධර්ම චක්‍රය ද නිර්මාණය කර ඇති අන්දම (දැනට එම ස්තම්භයේ ශීර්ෂය සාරානාත පුදබිමේ කෞතුකාගාරයේ තිබෙන අන්දම අපි දුටුවෙමු) මෙකල ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය වන්නේ මෙම සාරානාතයෙහි පිහිටුවන ලද අසෝක ස්තම්භයේ ශීර්ෂයයි. ඒ රටේ ජාතික කොඩියේ ලාංඡනය වන්නේද ධර්ම චක්‍රයයි. එයද එම ශිලා ස්තම්භයෙහිම මූර්තිමත් කර ඇත. අසෝක රජතුමා විසින් කරන ලද රාජකීය වන්දනාව පිළිබඳ අපි තවදුරටත් විමසා බලමු.

බුදුපිළිමයේ උපත - 8

සිදුහත් උපත සිදුවූ ලුම්බිනි පුදබිම

සිද්ධාර්ථ අප මහ බෝසතාණන් වහන්සේ උපත ලැබූ ලුම්බිනි උයනේ එම ස්ථානය වටකොට ඒ කාලයේදීම දැවයෙන් (ලීවලින්) ආවරණය කර පසුව විහාරයක් කරවන ලද බව ඒ විහාරය මහාමායා දේවි විහාරය ලෙසින් ප්‍රකට වූ බවද ඓතිහාසික වාර්තාවල සඳහන් වන කරුණකි. 2011 සිට 2013 තෙක් එම මහාමායාදේවී විහාරයේ පුරාවිද්‍යා කැණීම් ඉතා වැදගත් වූවකි.
සිද්ධාර්ථ අප මහ බෝසතාණන් වහන්සේ උපත ලැබූ ලුම්බිනි උයනේ එම ස්ථානය වටකොට ඒ කාලයේදීම දැවයෙන් (ලීවලින්) ආවරණය කර පසුව විහාරයක් කරවන ලද බව ඒ විහාරය මහාමායා දේවි විහාරය ලෙසින් ප්‍රකට වූ බවද ඓතිහාසික වාර්තාවල සඳහන් වන කරුණකි. 2011 සිට 2013 තෙක් එම මහාමායාදේවී විහාරය පුරාවිද්‍යා කැණීම් සිදුකරන ලද බව ලොව පුරා ප්‍රකට වූ කරුණකි. මේ ලේඛකයා විසින් එම මහාමායාදේවි විහාරයේ සිදු කළ එම පුරාවිද්‍යාත්මක කැණීම් ගැන පමණක් නොව ඊට පෙර ලුම්බිනි සල් උයනේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් ගැනද අසෝක රජතුමා ක්‍රිස්තු පූර්ව 250 දී එහි පිහිටුවන ලද ශිලා ස්තම්භය ගැන ද ඉතා දීර්ඝ වශයෙන් එම ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත. ‘සිදුහත් කුමරා උපන් ලුම්බිනියේ මහාමායා දේවි විහාරය’ නම් වූ එම ග්‍රන්ථය 2014 වර්ෂයේ දී ප්‍රකාශයට පත්කර ඇත. එහි ලුම්බිනියේ මහාමායාදේවි විහාරය ආශි‍්‍රත ප්‍රදේශයේ පිහිටුවන ලද ශිලා ස්තම්භය දුටු චීන ජාතික භික්ෂූන් වහන්සේලා දෙදෙනා ගැන ද ඒ භික්ෂූන් වහන්සේලා එහි දුටු දේ සිය වාර්තාවල සඳහන් වී ඇති කරුණු ද මෙයට පෙර විස්තර කර ඇත.
(සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහාමායාදේවි විහාරය - සිරිසමන් විජේතුංග පිටු අංක 64 – 2014 සුබෝධි ප්‍රකාශනයකි)
එංගලන්තයේ ඩරම් විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ අධිපති මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා සහ නේපාලයේ පශුපති ප්‍රදේශයේ සංවර්ධන භාරයේ සහ නේපාලයේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ‘කොෂ් ප්‍රසාද් ආචාර්ය’ මහතාගේ මූලිකත්වයෙන් 2011 වර්ෂයේ දී එම පුරාවිද්‍යා කැණීම් ආරම්භ කරන ලද්දේ 40 පමණ ආසන්න වූ පුරාවිද්‍යා හා ඉතිහාස මෙන්ම විද්‍යාත්මක දැනුමින් යුතු විද්වතුන් රැසකගේ දායකත්වයෙනි. මෙම පුරාවිද්‍යා කැණීම පිළිබඳව එකල අන්තර් ජාලයෙන් ද රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත්වලින් ද විශේෂ අවබෝධයක් ජනතාව අතර පැතිරවීම සඳහා ද එම කැණීම් භාර ප්‍රධානියා වූ ලංකාවට කීපවරක්ම පැමිණ අපට ද මුණ ගැසී සාකච්ඡා කිරීමට හැකි වූයේ මහාචාර්ය රොබින් කොනිංහැම් පුරාවිද්‍යාඥයාගේ උත්සාහය නිසාය. මේ පිළිබඳව මේ ලේඛකයා විසින් ප්‍රථමවරට ලියනලද ලිපියක් 2013 දෙසැම්බර් මස 16 වැනිදා (උඳුවප් පුර පසළොස්වකදා) බුදුසරණ පත්‍රයේ පළ වූ බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.
මහාමායාදේවිය මෙම සල් උයනට පැමිණි අවස්ථාවේ දී (මහ පෙරහරින්) සල් උයනේ සල් ගසක් යට පිපුණු සල් මල් වලින් පිරුණු සල් අත්ත ඇල්ලීම සමගම සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ උපත ලැබූ බව අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන කරුණකි. එම සල් ගස මුල්කරගෙන ඉදිකළ මහාමායාදේවි විහාරය ආශි‍්‍රතව කරන ලද මේ මහා පුරාවිද්‍යා කැණීම් මාලාව 2011 සිට 2013 තෙක්ම සිදු කරන ලදී.
මෙම පුරාවිද්‍යා කැණීම සඳහා මහාමායාදේවි විහාරය පිහිටි ඒ ස්ථානයම තෝරා ගැනීමට මෙන්ම කිසිදු සැකයකින් තොරව ඒ පින්බිම ඒ සඳහා යොදා ගැනීමට මුල් වූ ප්‍රථම පුරාවිද්‍යා සාක්ෂිය වූයේ අප මීට ඉහත දී විස්තර කරන ලද අසෝක රජතුමා විසින් ඉදිකර වූ ඒ මහා ශිලා ස්තම්භය නිසාය. ඊට පසුව ක්‍රිස්තුවර්ෂ පස්වන සියවසේ දී පැමිණි චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් වූ ෆාහියන් හිමියන්ද ඉන්පසු ක්‍රිස්තුවර්ෂ හත්වන සියවසේ දී ලුම්බිනි පුදබිමට පැමිණි තවත් චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් වූ හියුං ෂාං හිමියන්ගේ ද වාර්තා මෙහිදී ඉතා ප්‍රයෝජනවත් විය. එම චීන භික්ෂූන් වහන්සේලා විසින් ද මහාමායාදේවි විහාරය අසෝක ශිලා ටැඹ සහ මහාමායාදේවී පොකුණ ආදී බොහෝ ස්ථාන ගැන ද සඳහන් කර ඇත. 2011 මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින් විසින් ඇරඹූ ඒ පුරාවිද්‍යා කැණීමට පෙර 1977 – 78 වර්ෂ වලදී මෙම ලුම්බිණි පුදබිමෙහි නේපාල රජය විසින් පුරාවිද්‍යා කැණීමක් කළ නමුදු සිදුහත් කුමරු උපත ලද ස්ථානයෙහි මෙවන් වූ පුරාවිද්‍යා කැණීමක් සිදුකරන ලද්දේ මේ අවස්ථාවේ දී (2011) බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළයුතු කරුණකි.

 පුරාවිද්‍යාත්මක කැණීම් කළ සිදුහත් කුමරු උපන් ලුම්බිනි සල් උයන































බුදුපිළිමයේ උපත - 9 : 

සිදුහත් උපතයි ලුම්බිනි පුදබිමයි

සිදුහත් කුමරු උපන් ලුම්බිනි පුදබිම සියැසින් දැක බලා ගනිමින් වන්දනාමාන කිරීම දඹදිව වන්දනාවේ යෙදෙන සියලු සැදැහවතුන්ගේ මූලික අපේක්ෂාවකි. එසේ වන්දනාමාන කිරීමේ දී අසිරිමත් සිදුහත් සිරිත ගැන දැන ගැනීම මෙන්ම එම ඓතිහාසික සිද්ධස්ථාන ගැන පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳව දැනුම්වත්ව සිටීම බොදුනුවන්ගේ සිත් තවතවත් පහදවන්නට හේතු වනු නිසැකය. එබැවින් සිදුහත් උපත සිදු වූ එම ලුම්බිනි පුදබිම පිළිබඳව නැවත අවධානය යොමු කරමු.
දෙව්දහ පුර සහ කපිලවස්තු රාජධානිය යන ප්‍රදේශ දෙක අතර පිහිටා තිබුණු එම මහා සල් උයන ඒ ප්‍රදේශ දෙකේ ජනතාවගේ විනෝද උයනක් ලෙසින් පැවතුණු බව බෞද්ධ පාලි සහ සංස්කෘත ග්‍රන්ථවල සඳහන්වන කරුණකි. මෙහිදී බෞද්ධ පාලි සහ සංස්කෘත ග්‍රන්ථ යනුවෙන් සඳහන් කළ කරුණද පැහැදිලි කළ යුතුව ඇත.
ථෙරවාදී බෞද්ධ ග්‍රන්ථ ලියැවී ඇත්තේ පාලි භාෂාවෙනි. ඉන්පසුව ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේ සිට ඇති වූ මහායාන බුදුසමය ලියැවී ඇත්තේ සංස්කෘත භාෂාවෙනි. මේ පිළිබඳ මීට වඩා දීර්ඝ විස්තරයක් කිරීම අනවශ්‍යය.
මෙම ග්‍රන්ථවල සඳහන් වන අන්දමට ක්‍රිස්තු පූර්ව 249 වනතුරුම මෙම ලුම්බිනි ග්‍රාමය (ගම) ජනතාව අතර ඉතාමත් ප්‍රකට විනෝද උයනක් ලෙසින් පැවතුණි. එහෙත් අසෝක රජතුමා විසින් මෙම විනෝද උයනේ පිහිටුවන ලද ශිලා ටැඹෙහි ශාක්‍ය මුනි බුදුරජාණන් වහන්සේ උපන්නේ මේ භූමියේ බව සඳහන් කිරීමෙන් පසුව ඒ ශිලා ටැඹ එදා සිටම පැවතෙන්නට ඇත. ඒ ශිලා ටැඹ පිහිටුවන ලද්දේ බුද්ධකාලයට වසර කිහිපයකට පමණ පසු බව පැහැදිලිය. මේ නිසා 2011 සිට 2013 තෙක් මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින් විසින් මෙම භූමියෙහි කරන ලද පුරාවිද්‍යා කැණීමට හේතු වූ ඉතා පැහැදිලි පුරාවිද්‍යා හා ඓතිහාසික සාක්ෂිය වන්නේ මෙම අසෝක ශිලා ස්තම්භයයි.
එය ඉතා ඈතට පෙනෙන ලෙසින් තිබුණු බව ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ දී පුරාණ ජම් බුද්වීපයට පැමිණි (ක්‍රි.ව. 411 දී ලංකාවට ද පැමිණි) ෆාහියන් නම් වූ චීන භික්ෂූන් වහන්සේගේ වාර්තාවලද ඊට වසර දෙසියකට පමණ පසු ලුම්බිනි පුදබිමට පැමිණි තවත් භික්ෂූන් වහන්සේ නමක් වූ හියුංෂාං හිමියන්ද කරන ලද විස්තර අනුව පුරාවිද්‍යාඥයන් විසින් සොයාගන්නා ලද 
මේ පුදබිමෙහි මීට ඉහතදී 1933 සහ 1977 – 78 යන කාලවලදී ද පුරාවිද්‍යා කැණීම් සිදුකර ඇතත් මහාමායා දේවියගේ මව්කුසින් සිදුහත් කුමරු උපන් ස්ථානය නිශ්චිතවම හඳුනා ගැනීමට මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින්ට හැකි වූයේ බුද්ධ කාලයේ සිටම තිබූ මෙම මහාමායා දේවි විහාරය නිසාය. මහාමායා දේවි විහාරය කැණීමට පෙරද මෙම පුදබිමෙහි නිශ්චිත ලෙසම සිදුහත් කුමරු උපත ලද ස්ථානය හඳුනාගෙන තිබුණි. ඒ ස්ථානය තිබුණේ මහා මායාදේවි විහාරයේ ය. ඒ ස්ථානයේ පිහිටුවන ලද ශිලාමය වූ ඵලකයක් (ශිලා කැබැල්ලක්) හමු වී ඇත. ඒ ශිලා කැබැල්ල පිහිටුවා තිබුණේ නිශ්චිත ලෙසම සිදුහත් කුමරු උපත ලද ස්ථානය හැඳින්වීමටය. මෙම පුරාවිද්‍යාඥයින් හඳුන්වනු ලබන්නේ Marker Stone (මාකර් ස්ටෝන්) යන නාමයෙනි. මෙම පුරාවිද්‍යා කැණීම් සිදුවූයේ 2011 – 2013 කාලයේදීය. එය ආරක්ෂා කිරීම සඳහා විශේෂිත වූ ආරක්ෂක ආවරණයක් ද යොදා ඇත. එය වීදුරු ඵලකයක් ලී රාමුවක් සහිතව පිහිටුවා තිබේ.
මෙම ආවරණය වෙඩි නොවදින අන්දමේ ආරක්ෂක ඵලකයකින් එසේ ආරක්ෂා කර ඇති බවද විශේෂයෙන් සඳහන් කළයුතුව ඇත.
(Lumbini – A heben of sacred refuge by basanta bidari page 272 (2007)
මේ අනුව සිදුහත් කුමරු උපත ලද භූමිය හඳුනා ගැනීමට ලුම්බිනි ග්‍රාමය ක්‍රි. පූර්ව 249 දී එහි පිහිටුවන ලද ශිලා අසෝකශිලා ස්තම්භය උපකාරී වූවක් මෙන්ම සිදුහත් කුමරු උපන්ස්ථානය නිශ්චිතවම හඳුනාගැනීමට 2011 – 2013 පුරාවිද්‍යාඥයින්ට ඉහත සඳහන් මහාමායාදේවි විහාරයේ ඇතුළත යට තිබුණු එම ශිලා ඵලකය ද උපකාරී වූ බව මෙහිදී සඳහන් කළයුතුව ඇත.

බුදුපිළිමයේ උපත - 10 : 

සිදුහත් උපත හා ශාක්‍ය වංශය

දඹදිව බුද්ධ වන්දනාවේ යෙදෙන අපි ඉන්දියාව මෙන්ම නේපාලය ගැනද දැනුම්වත් විය යුතු වෙමු. පුරාණ දඹදිවට මෙකල ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙක සම්බන්ධව පවතී. සිදුහත් කුමරාගේ උපත ඇතුළත් බෝසත් සිරිතත්, අසිරිමත් බුදු සිරිතත් ගැන මෙනෙහි කරනවිට එම රටවල් දෙක පිළිබඳව දැනුම්වත්ව සිටීම අපගේ චිත්ත ප්‍රසාදය වර්ධනයට හේතුවනු ඇත. බෝසත් සිරිත සහ අසිරිමත් බුදු සිරිත පිළිබඳ පාසල් යන දරුවාගේ සිට වියපත් තැනැත්තා දක්වාම කටපාඩමින් වෙනත් අයෙකුට වුවත් කියාදීමට තරම් බෞද්ධයාගේ මතකයේ පවතින බවද අපි දනිමු.
සිදුහත් බෝසත් සිරිත මෙන්ම ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු සිරිත පිළිබඳ ඓතිහාසික පුරාවිද්‍යාත්මක තොරතුරුද ඔබගේ මනසේ තැන්පත් කර ගැනීමට මෙම ලිපිමාලාව බොහෝ විට උදව් විය හැකිය. එමෙන්ම මේ පිළිබඳව උනන්දුවන විද්‍යාර්ථින්ටද මෙය මහඟු අත්වැලක් සේ අදහස් කරමු.

සිදුහත් කුමරු උපන් ශාක්‍ය වංශයේ උපත

අසිරිමත් සම්බුදු තෙමඟුල හා බැඳුණු රටවල් මෙකල ඉන්දියාව හා නේපාලයයි. කපිල වස්තු රාජ්‍යය පිහිටියේ මෙකල නේපාල දේශයේය. එය පුරාණ ශාක්‍යයන්ගේ සමූහාණ්ඩුවක් ලෙසින් පැවතුණු බව බෞද්ධ සාහිත්‍යයෙහි ද සඳහන් වන කරුණකි. පළමුව අපි කපිලවස්තු රාජධානියේ අතීතය හා එය ඉදිවූයේ කෙසේද ? යන කරුණු විමසා බලමු. ඉන් පසුව ලුම්බිනියේ මහා මායාදේවි විහාරයේ පුරාවිද්‍යා කැණීම් සිදු කළ මහාචාර්ය රොබින් කොනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින් ඊළඟට ආරම්භ කළ පුරාවිද්‍යා කැණීම ගැන (කපිල වස්තු රාජ්‍යයේ) විමසා බලමු. නේපාලයේ පුරාණ කපිලවස්තු රාජධානිය මෙකල(Tilaurakot) තිලොරාකොට් ලෙසින් හැඳින්වේ.

කපිලවස්තු රාජධානියේ සිදුහත් කුමරු වසර 29 සිය ගිහි ජීවිතය ගත කළ බව ඉතා ප්‍රකටය. සුද්ධෝදන මහ රජතුමා සිය පුතුට ඍතු තුනට ඒ සඳහා යෝග්‍ය මාළිගා තුනක් ද ඉදිකර දුන් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
“කපිලවත්ථු” “කපිලතීර්ථ” යන නම්වලින්ද හැඳින්වු ප්‍රදේශයට ඒ නාමය ව්‍යවහාර කිරීමට හේතුවූ සම්මෝහ විනෝදනි නම් පාලි ග්‍රන්ථයේද සඳහන් වේ.
ප්‍රාග් ඓතිහාසික යුගයේදි එනම් ක්‍රිස්තු පූර්ව අටවැනි සියවසටත් එහා වූ යුගයකදී කපිල නම් වු ඍෂිවරයෙක් වාසය කළේය. එම නාමය මුල්කරගෙන ඉහත සඳහන් ග්‍රන්ථයේද භාරත දේශයේ විසූ ක්ෂේමේන්ද්‍ර කවියා විසින් ලියන ලද අවදාන කල්‍යලතා නම් ග්‍රන්ථයෙහිද ශාක්‍යයන් පිළිබඳ හා කපිලවස්තු රාජ්‍යය බිහිවු අන්දම ගැන සඳහන්වී ඇත.(Archaeological Remains of Kapilavastu Lumbini And Devdaha-B.K.Rijal P.2) සූර්ය වංශයෙහි උපන් ඉක්ෂ්වාකු වංශික රජෙකුගේ දෙවැනි විවාහයේ පුතෙකු සිටියේය. තම බාල පුත්‍රයාට ඇති පේ‍්‍රමය නිසා වැඩිමහල් දරුවන් එම රාජ්‍යයෙන් පිටුවහල් කර ඇත. එම පිටුවහල් කරන ලද දරුවන් හිමාලය අඩවියෙහි කපිල නම් වු ඍෂිවරයෙකුගේ අසපුව (නිවාසය) අසල ජීවත්වූහ. එම ඍෂිවරයා ඔවුන්ට පුරයක් සාදා දුන්නේය. බෞද්ධ සාහිත්‍යයෙහි ඇති ජනකතා (ජනශ්‍රැති) හා තොරතුරු රැසක්ම ශාක්‍යයන්ගේ පුරයේ නිර්මාණය ගැන සඳහන් වේ. සුමංගල විලාසිනි සහ දිව්‍යාවදාන යන බෞද්ධ ග්‍රන්ථවලද මේ විස්තර සඳහන් වේ.

සුමංගල විලාසිනි නම් පාලි ග්‍රන්ථයෙහි ශාක්‍ය සහ කෝලිය වංශයන් දෙක පිළිබඳ මෙසේ සඳහන් වේ. ‘කෝසල දේශයේ ඔක්කාක රජතුමා සිය ප්‍රථම බිසව මිය ගියාට පසුව දෙවන බිසවක ආවාහ කරගත්තේය. පළමු බිසවගෙන් ලැබුණු දරුවන් නව දෙනෙකු වූහ. දෙවන බිසවගෙන් ලැබුණු කුමාරයාට රජකම දීම සඳහා දෙවන බිසවට ඔක්කාක රජු පොරොන්දු වූ නිසා පළමු බිසවගේ දරුවන්ට රාජ්‍යයෙන් පිට වනගතවී ජීවත්වීමට සිදුවිය. රජ විසින් මෙසේ පිටුවහල් කරනලද දරුවන් අතරේ පුතුන් හතරදෙනෙක් (උල්මුඛ, කරණඩු , හස්තිනක හා සිනිසුර) හා දියණියන් පස් දෙනෙක් (පි‍්‍රයා, සුපි‍්‍රයා, ආනන්දා, විජිතා සහ විජිතසේනා) වූහ. මේ දරුවන් වෙනත් බිසවකගේ දරුවන් ලෙසින් සංස්කෘත සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ දරුවන් හිමාලය ප්‍රදේශයේ විසු කපිල මුනිනම් ඍෂිවරයාගේ අසපුව අසල වාසය කරන බව කපිලමුනි නම් සෘෂිවරයා වරයා දුටුවේය. මේ දරුවන් ගැන විපරම් කර බැලු කපිලමුනිසෘෂිවරයා ඒ දරුවන්ට ජීවත්වීමට පුරයක් සාදා දුන්නේය. ඒ පුරය පසුව කපිල වස්තු නමින් ප්‍රකට විය. කපිල මුණිවරයා ඔවුන්ට නිසි රැකවරණය ලබා දුන්හ. (Sumangal Vilasin)  (පළමුවන වෙළුම) Vol.I පිටු අංක 284-286) – සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහාමායාදේවිය විහාරය – සිරිසමන් විජේතුංග පි. 43 (2014) කෝසල දේශයේ ඔක්කාක රජතුමාට මේ තොරතුරු ආරංචි විය. මේ දරුවන් ඉතා දක්ෂ වූද ශාක්‍යතාවයන් ඇති අය ලෙසින්ද සැලකු රජු තම දරුවන් මේ සිටීම ගැන පී‍්‍රතියට පත්විය. එම පුරයේම ඔවුන්ට වාසය කිරීමට සියලුම පහසුකම් සලසාදුන්නේ කෝසල දේශයේ ඔක්කාක රජුය. ඒ රාජධානිය කපිලවස්තු නමින් ප්‍රකට විය. ඔවුන් ශාක්‍ය වංශිකයින් ලෙසින් ප්‍රකට විය. සුද්ධෝදන රජු අයත් වන්නේ එම ශාක්‍ය වංශයටය. සුද්ධෝදන රජතුමා ආවාහ වූයේ මහාමායා නම් වූ කෝලිය වංශික කුමරිය සමඟය.(Archacolosical Rimains of Kapilavastu Lumbin And Devdaha B.K. Rijal P’2 (1979)

බුදුපිළිමයේ උපත - 11 :

සිදුහත් කුමරාගේ උපත

දීඝනිකායේ මහාපදාන සූත්‍රය බුද්ධචරිතයේ ප්‍රධාන කරුණු රාශියක් දැක්වෙන සූත්‍ර දේශනාවකි. මහාපදාන සූත්‍රයේ සඳහන් වන එම දේශනාව අනුව බුදුපියාණන් වහන්සේ පෙර ආත්ම භවයන් සිහිපත් කරන නුවණින් (පුබ්බේ නිවාසානුස්සති ඤාණ) විපස්සි, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගම, සහ කස්සප යන බුදුරජාණන් වහන්සේලා සය නම දේශනා කළහ. උන්වහන්සේලා මේ නාමයන්, මේ ගෝත්‍රයන්, 
මේ සීලයන්, මේ ධර්ම මේ ප්‍රඥා මෙබඳු විහරණ, මෙබඳු විමුක්ති ඇතිව විසූහයි කියා විස්තර කළහ. ඊට සමාන්තරව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳ තතු පුවත් ද දේශනා කළහ. ‘මහණෙනි, මේ භද්‍ර කල්පයෙහිම මෙකල මම අර්හත් සම්බුද්ධ වෙමි. මම ජාතියෙන් ක්ෂත්‍රියව උපනිමි. ගෝත්‍රයෙන් ගෝතම නම් වෙමි. සුද්ධෝදන රජු පියා විය. මහාමායාදේවිය මව වූවා ය. කපිල වස්තුව රාජධානියයි. (දීඝනිකායේ මහා පදාන සූත්‍රය. පි. 10)

මහාපදාන සූත්‍රගත මෙම තොරතුරුවලින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිතට අදාළ ප්‍රධාන පුවත් රාශියක් සඳහන් වේ. පශ්චාත් කාලීන බුද්ධ චරිත ග්‍රන්ථවල මේ පුවත් දීර්ඝ ලෙස විස්තර කර ඇත. සිදුහත් කුමරාගේ ජන්ම භූමිය කපිලවත්ථු රාජධානිය බව සඳහන්ව ඇත. ලුම්බිනියෙහි දී සිදුහත් උපත සිදු වූ බව ආදී (පැරණි) බෞද්ධ ග්‍රන්ථ අතර පැරණිම ග්‍රන්ථයක් සේ ගැනෙන සුත්ත නිපාතයෙහි හමුවෙයි.
බුදුන් වදාළ බුද්ධ චරිතය මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි සහ කීර්ති නාරම්පනාව - පිටු 17 (1999), සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහාමායාදේවි විහාරය, සිරිසමන් විජේතුංග පි. 50 – 51 – 2014 ) සිදුහත් කුමරු ලුම්බිනි ග්‍රාමයෙහි උපන් බව සුත්ත නිපාතයේ මෙසේ සඳහන් වේ. අසමසම උතුම් රත්නයක් වැනි ඒ බෝසතාණෝ මිනිස් ලොව හිත සුව පිණිස ශාක්‍ය ජනපදයෙහි ලුම්බිනි ග්‍රාමයෙහි උපන්හ. (සුත්ත නිපාතය මහා වග්ග - නාලක සූත්‍රය පි. 214)
සිදුහත් කුමරු ලුම්බිනි ග්‍රාමයෙහි උපත ලද බව ‘හිද භගවම් ජාතෙති ලුම්බිනි ගාමේ’ යනුවෙන් අසෝක රජු විසින් (ක්‍රි.පූ. 272 – 232) පිහිටුවන ලද ලුම්බිනි ටැම්ලිපියෙහි සඳහන් වී ඇත.එය පුරාවිද්‍යාත්මක මෙන්ම ඓතිහාසික සාක්ෂියකි. (Asoka – D.R. Bhandarkar, P 332 – Unversity of Culcutta – 1925)
මහාපදාන සූත්‍රයෙහි සඳහන්වන පරිදිද බෝධිසත්වයන් වහන්සේගේ පියා සුද්ධෝදන රජතුමා නම් වේ. එතුමා රජකෙනෙකු බව ‘සුද්ධෝදනෝ රාජා’ යන යෙදුමෙන් පැහැදිලි වේ. රාජධානිය කපිලවත්ථුනම් වූ අතර එය ශාක්‍ය ජනපද රාජ්‍යයට අයත් වූයේ ය. බෝසත් උපත ගැන ඇසූ අසිත තාපසතුමා කුමරු දැකීම පිණිස සුදොවුන් රජුගේ මාළිගයට ගිය බව සඳහන් වේ. (සුත්ත නිපාත – නාලක සූත්‍රය පිටු අංක 214) සිය පියාණන් ගැන සඳහන් කළ 
අවස්ථාවලදී පිතුසක්ක (ශාක්‍යපියා) යන වදන් භාවිතා කළ බව අයුරු දක්නට ලැබේ. මේ අනුව ශාක්‍ය ජනපදයෙහි “කපිලවත්ථුපුර” සුද්ධෝදන ශාක්‍ය රජ ගෞතම බෝසතාණන් වහන්සේගේ පියාණන්ය. වැදූ මව මායා දේවිය බව මහාපදාන සූත්‍රයේ සඳහන් වේ. එය තහවුරු කරන ප්‍රකාශයක් ථෙර, ථෙරී ගාථාවෙහි සඳහන්වේ. ප්‍රජාපති ගෝතමී තෙරණියෝ එහිලා මෙසේ සඳහන් කරති. “බොහෝ දෙනාට වැඩ පිණිස මායාදේවිය ගෝතම බෝසතුන් ප්‍රසූත කළාය. ව්‍යාධි, මරණ ආදියෙන් පීඩාවට පත් වූවන්ගේ දුක්කඳ උන්වහන්සේ දුරු කළහ. (ථෙර ථෙරී ගාථා - ප්‍රජාපතී ගෝතමී ථෙරි ගාථා - පිටු අංක 162 )

ධර්මතාවයක් වශයෙන් බෝසත් මාතාව බෝසත් ප්‍රසූතියෙන් සත් දිනකට පසු මියයන බව මහාපදාන සූත්‍රයෙහි සඳහන් වේ. ඒ අනුව ගෝතම බෝසතුන්ගේ උපතින් සතියකට පසුව මහාමායා දේවිය කළුරිය කළා ය. ඉන්පසු බෝසත් කුමරු හදාවඩා ගැනීමේ වගකීම ඇයගේම සොහොයුරිය වූ ප්‍රජාපතී ගෝතමියගෙන් ඉටු විය. ගෝතමියගේ කාර්ය භාරය ශ්‍රේෂ්ඨත්වය ඇගෙන් සිදු වූ සේවය ප්‍රකාශ වන තොරතුරු බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්ව ඇත. බෝසත් උපත සැලවීමෙන් රජගෙට පැමිණි ප්‍රාරම්භක ගාථාවලින් පැවසේ. (සුත්ත නිපාත මහාවග්ග නාලක සූත්‍රය. පි. 214) ඒ අනුව රජගෙට පැමිණි අසිත සෘෂිවරයා කුමරා කොහිද? මම දකිනු කැමැත්තෙමියි කීය. ශාක්‍යවරු රූපශ්‍රීයෙන් යුතු කුමරු දැක්වූහ. විපුල පී‍්‍රතියෙන් ඔද වැඩී ගිය අසිත සෘෂිවරයා සොම්නසින් කුමරු පිළිගත්හ. අසිත වේදයෙහි මෙන්ම ලක්ෂණ ශාස්ත්‍රයෙහි ද පාරප්‍රාප්තයෙකි. මේ කුමාරයා අනුත්තරය. දීපදෝත්තම යැයි කඳුලු වැගිරිණ. කුහුලට පත් ශාක්‍යයෝ කුමරුට අන්තරාවක් දැයි කනස්සල්ලෙන් විමසූහ. අසිත පිළිතුරු දෙමින් මේ ළාමක පුද්ගලයෙක් නොවේ. අනුත්තර සම්බෝධියට පැමිණ දම්සක් පවත්වයි. එතුමාගේ ශාසනය පහළ වෙයි. මෙලොව මාගේ ආයුෂ දිගු කල් ඉතිරි නොවෙයි. මරණය සිදුවෙයි. මට මේ අසමසම වීරයාණන්ගේ දහම් අසන්නට නොලැබෙයි. එයින් ආතුර වෙමි. සැප නොලබමි. දුකට වැටෙමි කියා ඔවුන් සනසා රජ ගෙයින් පිටව ගියේ ය.
(බුදුන් වදාළ බුද්ධ චරිතය – පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි සහ කීර්ති නාරම්පනාව පි. 22 – 23 (1999) සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහා මායාදේවි විහාරය, සිරිසමන් විජේතුංග. පි. 54 – 2014 )