ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

බුදුපිළිමයේ උපත - 12

බුදුපිළිමයේ උපත - 66:

අජන්තාවෙන් මතු වූ මාර දූවරුන්

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 

පුරාවිද්‍යා Msc පර්යේෂණ

බුදුරජාණන් වහන්සේ හා මාර පරාජය පිළිබඳ බෞද්ධ සාහිත්‍යයෙහි සහ මූර්ති හා චිත්‍රවලද පුරාණ භාරතයේ දැකිය හැකිය.
“බෝසතාණන් වහන්සේ බෝධිමූලයෙහි වැඩ හිඳ බුදු බව ලබාගැනීම බලසෙන් සහිත මාර පරාජය කිරීමක් බව බුදුරජාණන් වහන්සේ විසින්ම මෙසේ දේශනා කර ඇත.
කාව්‍යයෙහි, සාහිත්‍යයෙහි මෙන්ම චිත්‍ර මුර්ති කලාවන් තුළද මාර පරාජය විචිත්‍රාකාරයෙන් නිරූපණය කර ඇත. ව්‍යවහාර ලෝකයෙහි මාරවිජය එක් එක් ආකාරයට නිරූපණය කිරීමට අවකාශ ඇතත් මාර, මාර ධෛය¸,මාර විෂය, මාර සේනා යන සංකල්ප බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙහි සඳහන් වේ. සංයුත්ත නිකාය මාර සංයුත්ත වැනි නොයෙක් දේශනාවලින් පෙනේ. (බුදුන් වදාළ බුද්ධ ධර්මය පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි සහ කීර්ති නාරම්පනාව පි. 70-71 (1999)
තණ්හා රතී සහ රඟා යන මාර දූවරුන් තිදෙනෙක් ගැනද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.
‘බුද්ධත්වය මෙන්ම අනෙකුත් අවස්ථාවලදී විශේෂයෙන් මාර යුද්ධය පැරැණි කලාකරුවා ඉදිරිපත් කර ඇති ආකාරය සලකා බැලීම මෙහිදී වැදගත් වනු ඇත. බුදුරජාණන් වහන්සේගේ චරිතයේ ඉතාමත් තීරණාත්මක අවස්ථාව වන මෙම සංසිද්ධිය සියලුම සම්ප්‍රදායට අයත් ධර්ම ග්‍රන්ථ සහ බුද්ධාපදානයන්හි ඉතාමත් සංවේදී ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.
බුද්ධත්වය යනු ක්ලේශ ධර්මයන් සහමුලින්ම ප්‍රහාණය කර ලබන අධ්‍යාත්මික විමුක්තිය වුවත් බෞද්ධ පොත්පත්වල එම අවස්ථාව ඉදිරිපත් කරනු ලබන්නේ වසවර්ති මාර නම් වූ මාර දිව්‍ය පුත්‍රයා විසින් බෝසතුන්ට එරෙහි වූ තම සේනාවද රැගෙන කරන ලද යුද්ධයක් වශයෙනි. ජාතක නිදාන කතාවේ මෙන්ම බුද්ධවංස අට්ඨකථා හා ලලිත විස්තර, මහා වස්තුව ඇතුළු මහායාන ග්‍රන්ථවලද එම අවස්ථාව ඒ අයුරින්ම වඩාත් සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත. (බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ පුජ්‍ය – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ – පි. 51-2010)
අජන්තාවේ බිතුසිතුවම් පමණක් නොව මූර්තිද ඇති බව ඉතා ප්‍රකටය. අජන්තාවේ අංක 29 දරණ ලෙනෙහි මාර පරාජය මූර්තිමත් කර ඇති අවස්ථාවෙහි තණ්හා රතී රඟා යනුවෙන් සඳහන් වන මාර දුතිකාවන්ද බුදුරජාණන් වහන්සේ ඉදිරියේ රඟපෑම ඉදිරිපත් කර ඇත. (Ajanta murals by A.Ghosh p.33-Archaeo-Logical Survey of India New Dilhi -1987)
අජන්තා බිතුසිතුවම් අතරේ මාරදූතිකාවන්ගේ බිතුසිතුවමක් ලෙන් අංක 1 හි නිරූපණය කර ඇති අන්දම නිර්මාණාත්මකය. බඳ නැමී සිටින ආකාරයෙන් සිතුවම් කර ඇති මෙම සිතුවම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන්නකි. වර්ණ සංයෝගය මෙන්ම මාරදුතිකාවන්ගේ භාව – භාව ලීලාව නිරූපණය කිරීමට අජන්තා චිත්‍ර ශිල්පියා දක්ෂවී ඇති අන්දම මෙයින් පැහැදිලි වෙයි. මෙහි නිරූපිත කාන්තාවගේ රූපයෙන් තුනෙන් දෙකක් පමණ දක්නට ඇත. එම ලෙනෙහිම (අංක 1) තවත් කාන්තා රූපයකින් මාර දුතියගේ මුහුණ ඉතා නිර්මාණාත්මකව නිරූපණය කර ඇති අන්දම දැකිය හැකිය. මාරයුද්ධය දැක්වෙන තවත් අවස්ථාවක් මෙසේය.
බුදුරජාණන් වහන්සේගේ චරිතයේ ඉතාමත් තීරණාත්මක අවස්ථාව වන මාර යුද්ධය සියලු සම්ප්‍රදායන්ට අයත් ධර්ම ග්‍රන්ථ හා බුද්ධාපදානයන්හි ඉතාමත් සංවේදී ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. බුද්ධත්වය යනු ක්ලේශ ධර්මයන් සහමුලින්ම ප්‍රහාණය කරනු ලබන අධ්‍යාත්මික විමුක්තිය වුවත් බෞද්ධ පොත් පත්වල එම අවස්ථාව ඉදිරිපත් කරනු ලබන්නේ වසවර්ති නම් වූ මාරදිව්‍ය පුත්‍රයා විසින් බෝසතුන්ට එරෙහි වූ තම සේනාවද රැගෙන කරන ලද යුද්ධය වශයෙනි. ජාතක නිදාන කථාවේ මෙන්ම බුද්ධවංස අට්ඨකතා, ලලිත විස්තර, මහාවස්තු ඇතුළු මහායාන ග්‍රන්ථවලද. එම අවස්ථාව ඒ අයුරින්ම වඩාත් සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.
මාරයා තම සේනාවන් සමඟ බෝධිසත්වයන් වෙත ප්‍රහාර එල්ලකරන ආකාරයේ මුර්ති කැටයමක් අංක 1 සාංචි ස්තූපයේ දකුණු වාහල්කඩෙහි දක්නට ලැබේ. මාරයා සහ සේනාව තරමක් අස්වාභාවික ආකාරයේ මූර්තිවලින් පෙන්වන අතර වම් කෙළවරෙහි බෝධිවෘක්ෂය සැදැහැවතුන් විසින් වන්දනය කරන ආකාරයෙන් දක්වා ඇත. (බුදු පිළිමයට පෙර බුදුහාමුදුරුවෝ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ පි. 50-51 (2010)
බුදුපිළිමයේ උපත - 69: 

අජන්තාවේ සිතුවම් ගුහාවල දොරටු නිර්මාණය

"අජන්තා බිතුසිතුවම් ගැන සඳහන් කරන විටද එම යුගයේ ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී නිර්මාණය කරන ලද බිතුසිතුවම් ඉතා විශිෂ්ට බව විදේශීය මෙන්ම භාරතීය විද්වතුන් විසින්ද සිය ග්‍රන්ථවල සඳහන් කර ඇති කරුණකි."
භාරත දේශයේ ඉතා විශිෂ්ටතම සංස්කෘතික ප්‍රබෝධයක් ඇති වූයේ ගුප්ත රාජ යුගයේදීය. සාහිත්‍ය කලා මූර්ති බිතුසිතුවම්වලද මූර්තිකලාවෙහිද මේ ලක්ෂණ ඉතා පැහැදිලි ලෙසින් දක්නට ලැබුණි.
අජන්තා බිතුසිතුවම් ගැන සඳහන් කරන විටද එම යුගයේ ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී නිර්මාණය කරන ලද බිතුසිතුවම් ඉතා විශිෂ්ට බව විදේශීය මෙන්ම භාරතීය විද්වතුන් විසින්ද සිය ග්‍රන්ථවල සඳහන් කර ඇති කරුණකි.
“එම යුගයට අයත් බිතුසිතුවම් අතරින් අජන්තාවෙහි අංක 16 සහ 17 යන ලෙන්වල දක්නට ඇති බිතුසිතුවම් ඉතාමත් නිර්මාණශීලි මෙන්ම එහි රූප ඇඳීමේ කලාවද ඉතා විශිෂ්ට වන්නේය.දහසය වැනි ගුහාවෙහි වම්පස බිත්තියේ මරණාසන්න කුමරියක නිරූපණය කරන චිත්‍රය ඉතා වැදගත්ය. මීට වඩා උසස් යැයි සැලකිය හැකි බිතුසිතුවමක් ලෝක ඉතිහාසයෙහි සොයාගත නොහැකි බව විද්වත්හු පෙන්වා දෙන කරුණකි. (දඹදිව බෞද්ධ කලාව ආචාර්ය ආනන්ද ගුරුගේ පි.31 (1962)
අජන්තා ගුහාවල ගුහා දොරටු නිර්මාණය සඳහා එකල චිත්‍ර ශිල්පීන් විසින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ පමණක් නොව ඊට ඉහතදී වැඩවාසය කළ බුදුරජාණන් වහන්සේගේ සිතුවම්ද ගුහා දොරටුවක් අලංකාර කිරීම පිණිස යොදා ගෙන තිබෙන අන්දම 17 වැනි ලෙනෙහි දොරටුවෙන් ඉතා පැහැදිලි ලෙසින් දක්නට ලැබේ.
AJANTA B.Mitra Archaeological survey of India p .55 (1956)
ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් නොව අනාගතයේදී බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේද මෙහි සිතුවම් කර ඇත. මෙම දොරටුව මුදුනේද හරස් අතට විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන සහ කාශ්‍යප යන බුදුවරුන්ද, උන්වහන්සේලා වෘක්ෂයන් සෙවනේද වැඩ සිටින ලෙසින් නිර්මාණය කර ඇත.
මෙම ගුහාවේ දොරටුවේ මුදුනින්ම නිරූපිත වූ බුදුරජාණන් වහන්සේලාට පහළින් නිරූපිත සිතුවම් යක්ෂ යුවලයන් බව Mural Painting  නමැති ග්‍රන්ථය ලියු ඝෝෂ මහතා සඳහන් කරයි. මෙම ගුහා ද්වාරයේ විශේෂිත වූ ලක්ෂණයක් නම් ද්වාරය දෙපස කාන්තා රූප දෙකක් පිඨිකා මත නිර්මාණය කර තිබීමය.
මෙම බිතුසිතුවම් ගුහාවලට ඇතුළුවන දොරටු මෙසේ අලංකාර කර ඇතත් ඒවා බොහෝ විනාශයට පත්වී ඇති බව දක්නට ලැබෙන කරුණකි. මේ පිළිබඳ ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා මෙසේ සඳහන් කරයි. ශතවර්ෂ ගණනාවක් තුළ කෙමෙන් දියුණුවට පත්වූ අජන්තා ගුහා බිතුසිතුවම් නිර්මාණයන් ක්‍රිස්තු පූර්ව යුගයේ පළමුවැනි සියවසේ සිට ක්‍රි.ව. සත්වන සියවස තෙක්ම නිර්මාණය වූ බව විද්වතුන් විසින් පෙන්වා දෙනු ලබන කරුණකි. එක් එක් වර්ෂවලදි නිර්මාණය කරනලද සිතුවම් යැයි වර්ග දැක්වීම අපහසුය. වරින් වර අඳින ලද බිතුසිතුවම්වලින් පෙනී යන්නේ අජන්තා ගුහාවල මෙම බිතුසිතුවම් නිර්මාණය කිරීමේ කාර්යය නොකඩවා පවත්වා ගෙන යන ලද සිරිතක් බවය. ක්‍රමයෙන් විහාර විශාල කිරීම සඳහා අලුත් ගුහා තනවනු ලැබීය. අජන්තා බෞද්ධ ලෙන් විහාරවලට අයත්වූ මෙම බිතුසිතුවම් හදිසියේ විනාශ වූ බව පැහැදිලි ලෙසින් පෙනෙන්නේ මෙසේ අරඹන ලද සමහර ගුහා සම්පූර්ණ කර නැති බැවිනි. අඩක් කැණීම් කර ඇති (ගුහා සෑදීම සඳහා) ගුහා කීපයකින් පෙනෙන්නේ අජන්තාවේ අවසානයද අනෙකුත් ඉන්දියානු බෞද්ධ සිද්ධස්ථානවල විනාශය මෙන් සතුරු වියවුල් සිදුවු නිසා වූ බවය.
(දඹදිව බෞද්ධ කලාව ආචාර්ය ආනන්ද ගුරුගේ පි. 30 – (1962)

බුදුපිළිමයේ උපත - 70:

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව


සාරානාත්හි අශෝක ස්ථම්භයේ ශීර්ෂය

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අසිරිමත් බුද්ධ චරිතයෙහි සුවිශේෂි වූ දිනයක් ලෙසින් සටහන් වී පවතී.
බුද්ධගයාවේ සත්සතිය ගත කරමින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ කිලෝමීටර් දෙසිය පනහක් පමණ දුර ගෙවා පා ගමනින් සාරානාත් හෙවත් නූතන සාරානාථයට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ ඈත වඩිනු දුටු පස්වග තවුසන් සිතුවේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සියලු දුක් විඳීම් ඉවත දා නැවතත් සැපවත් ජීවිතයට පත්වී ඇති සේයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව නොදැක්වීමට පළමුව ඔව්හු කතිකා කරගත්හ.

ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුත් සාරානාත්
බුද්ධ ප්‍රතිමා වහන්සේ
එසේ වුවද බුදුරජාණන් වහන්සේ විසින් පස්වග තවුසන් සමීපයට වැඩම කරවන ලද අවස්ථාවේදී ඔව්හු සිය කැමැත්තෙන්ම නැගිට බුදුරජාණන් වහන්සේට ගෞරව හා පුද සත්කාර දැක්වීමට පටන් ගත්හ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ළංවත්ම ඔවුහු තමන් කතිකා කරගත් පරිදි පිහිටා සිටීමට නොහැකිවිය. එක් තවුසෙක් පෙරමුණට ගොස් පාත්‍ර චීවර පිළිගත්තේය. එක් තවුසෙක් පා සේදීමට දිය ද පා පුටුවද පාද කඨලිකාවද ගෙනවුත් ළං කොට තැබීය. (ශාක්‍යමුනීන්ද්‍ර‍්‍රවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමින්වහන්සේ පි. 81 -1986)
බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූයේ සාරානාත්හිදීය. ඉහතින් සඳහන් කළ ආකාරයට පස්වග මහණුන්ගේ හැසිරීම දුටු බුදුරජාණන් වහන්සේ ට පස්වග මහණුන් විසින් (ආවුසො) ඇවැත්නි කියාත් කථා කරන්නට පටන් ගත්හ. එවිට බුදුරජාණන් වහන්සේ ඔවුන්ට “මහණෙනි මට ආවුසො වාදයෙන්වත් නම කියාවත් අමතන්න එපා. තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, ඇහුම්කන් දෙන්න මම නිවන අවබෝධ කළෙමි. මම ධර්මය දේශනා කරමි. මාගේ අනුශාසනා පරිදි පිළිපදින්නෙකුට මෙලොවදීම රහත් විය හැකියැයි භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට නැවතත් කරුණු පහදා දුන් සේක. දෙවන වතාවටත් ඔවුහු උන්වහන්සේගේ මේ කීම නොපිළිගනිමින් තම කතාවම කීහ.
තෙවන වර භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට මේ ආකාරයෙන් කරුණු පැහැදිළි කළහ. “මහණෙනි! මින් පෙර කවදාවත් මා ඔබලාට මෙවැනි කතාවක් කියනවා අසා තිබේද? නැත ස්වාමීනි, මහණෙනි මම ප්‍රත්‍ය බහුල නොවෙමි. ප්‍රධන් වීර්යයෙන් නොපිරිහුනෙමි. ප්‍රත්‍ය බහුලත්වයට නොපෙරළුනෙමි. තථාගතයන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධ වෙති. ඇහුම්කන් දෙන්න. මම නිර්වාණාවබෝධය කළෙමි. මම අනුශාසනා කරමි. මම ධර්මය දේශනා කරමි. (මජ්ක්‍ධිම නිකාය අරිය පෙරියේසන සුත්ත පි. 420)
මහාවග්ග පාලියෙහි සඳහන් වන ආකාරයට බුද්ධත්වයට පත්වීමෙන් සති හතක් ඉක්මගිය පසු තම අතීත මිත්‍රයන් වූ පස්වග තවුසනට ධර්මාවබෝධය ලබාදීම සඳහා පාගමනින් බරණැස බලා වඩින අතරමගදි හමුවු ආජිවකයෙකු බුදුරජාණන් වහන්සේගෙන් තම ගුරුවරයා කවරෙක්ද? ආදි වශයෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් තමන් වහන්සේ බුදුබවට පත්වූ බවත් ගුරුවරයෙකු නොමැති බවත් ප්‍රකාශ කර ඇත.එසේම ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීමට බරණැස වඩින බවත් පැහැදිළි කළහ.

සාරානාත්හි ධමෙක් ස්තූපය
ඒ අනුව උන්වහන්සේ ධර්මය හඳුන්වා ඇත්තේ චක්‍රයකටය. මෙහි චක්‍රය ප්‍රවර්තනය කිරීම යනු ධර්මයේ අණසක කිසිදු වෙනසකින් තොරව ලෝකයෙහි පැවැත්වීමයි. අනික් අතින් මෙම සූත්‍රයට ඇතුළත් චතුරාර්ය සත්‍යය ත්‍රිපරිවර්තික ද්වාදසාකාරයකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර ඇත. මේ අනුව චක්‍රය විවිධ ආකාරයෙන් අර්ථවත් කිරීමට බෞද්ධ කලාශිල්පවල යොදාගෙන තිබුණද ප්‍රථම ධර්ම දේශනය පවත්වන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීමේ පිළිගත් සංකේතය බවට පත්ව ඇති අන්දම සාංචි, භාරුත්, අමරාවති හා ගන්ධාර වැනි ස්ථානවල මූර්ති කැටයම්වලින් දැකගත හැකිය. (බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණෝ පි. 56-57 2010)
සාරානාත්හි ප්‍රථම ධර්ම දේශනය බුදුරජාණන් වහන්සේ විසින් පවත්වන ලදුව පරිබ්‍රාජිකයින් ලෙසින් සිටි කොණ්ඩඤ්ඤ භද්දිය ,වප්ප, මහානාම සහ අස්සජි යන මහණුන් වහන්සේලා පස්දෙනා ප්‍රථම භික්ෂූන් වහන්සේලා ලෙසින් සම්බුද්ධ ශාසනයට ඇතුළු වුහ. පංච වග්ගිය භික්ෂූන් ලෙසින් සැලකෙන්නේ මෙම භික්ෂූන් වහන්සේලා පස්නමය.බරණැස සිටුවරයෙකුගේ පුතෙකු වූ යසකුල පුත්‍රයා ද ඉන්පසුව මහණ වූයේය. ඔහුගේ මිතුරන් පනස් හතර දෙනෙකුද බුදුසසුනේ මහණ වූහ. අනතුරුව එම සැටනම ධර්මය දේශනා කිරීම සඳහා විවිධ ප්‍රදේශවල සැරිසරන ලෙස ඉල්පුර පසළොස්වක පෝදා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සේක.
අසෝක රාජ යුගයේදී (ක්‍රිස්තු පුර්ව 272-232) කාලයේදී සාරානාත්හි දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම අරමුණු කරගෙන ඉදිකරන ලද අසෝක ස්තම්භයෙහි සතර දිසාව බලාගෙන සිටින සිංහයින් සතර දෙනෙකු නිරූපණය කර ඒ ප්‍රතිභාපූර්ණ මුර්තිය මත ධර්මචක්‍රය ද නිරූපණය කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙකල ඉන්දියාවේ රාජ්‍ය නිල ලාංඡනය වන්නේද මෙම අසෝක ස්තම්භයේ ශීර්ෂයවීමයි.
බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරන ආකාරය නිරූපණය කෙරෙන මූර්තියක් (බුදුපිළිමයක්) වැඩ හිඳින අයුරු සාරානාත් හි දැකගත හැකිය. පුරාණ භාරත දේශයේ සාහිත්‍ය මූර්තිකලාව හා විවිධ කලා ශිල්පවලද ස්වර්ණමය යුගය ලෙසින් සැලකෙන ගුප්ත රාජ යුගයේදී ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී මෙම සමාධි ප්‍රතිමාව නිර්මාණය කර ඇත. එම සමාධි ප්‍රතිමාවේ ධර්මචක්‍රය නිරූපණය වන අන්දමින් බුදුරජාණන් වහන්සේගේ දෑතෙහි ඇඟිලි මුර්තිමත් කර ඇති අන්දම ඉතා විශිෂ්ටය.මෙම මුද්‍රාව ධර්මචක්‍ර මුද්‍රාව ලෙසින්ද ප්‍රකටය.
එමෙන්ම අසෝක රජතුමා විසින් ක්‍රි.පූ. 272-232 ) කාලයේ සාරානාථයේ ඉදිකරන ස්තූපය ඉහත සඳහන් ගුප්ත රාජයුගයේදී විශාල කර සාදන ලදී. එය ධමෙක් ථූපය නමින් ප්‍රකටය.