ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

අසිරිමත් ධාතු පුරාණය 5

පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

සේරුවිල මහා සෑයේ වැඩ සිටින ලලාට ධාතුන් වහන්සේගේ අසිරිය

අසිරිමත් ධාතු පුරාණය 22 කොටස

ලලාට ධාතුන් වහන්සේගේ අසිරිමත් ධාතු විස්තරය ඉතාම සුන්දරයි. මේ ධාතුන් වහන්සේ ගැන ධාතුවංශය කියා වෙනම වංශකතාවක් තිබේ. එය අපූරු වංශකතාවක්. ඒ වංශකතාව අනුවයි දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර අපගේ ආචාර්ය උත්තමයාණන් වහන්සේ ගරා වැටී තිබු සේරුවාවිල මහා සෑය සොයාගනු ලැබුවේ. උන්වහන්සේ සෑය සොයාගෙන එතැනට වඩිනවිට සෑය ගරාවැටී තිබුණත් ඒ පස් ගොඩොන් රැස් විහිදවමින් තිබූ බව කියැවේ. උන්වහන්සේගේ දිනපොතේ ඒ පිළිබඳව විස්තර ඇත. නිරන්තරයෙන් දෙවිවරු සෑය වන්දනා කර ඇත.

තථාගතයන් වහන්සේගේ අධිෂ්ඨානය

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන්වැනි වතාවට ලංකාවට වැඩම කළ අවස්ථාවේදී සේරු කියන විල (සේරු කියන පක්ෂියාට නවාතැනක් වූ විල) පුන්‍යභූමිය සමීපයේ සමාපත්ති සුවයෙන් වැඩ සිටිසේක. එසේ සමාපත්ති සුවෙන් වැඩසිටීමට හේතුව වූයේ අතීතයෙත් බුදුරජාණන් වහන්සේ මේ පින්බිමේ වැඩසිට ඇත. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ එතැනින් නැඟී සිටි සේක. භාග්‍යවතුන් වහන්සෙගේ හිසට සපුගසක් සෙවන කරගෙන ආ ‘සමිද්ධ, සුමන’ කියන නාග රාජයාට බුදුරදුන් වදාළා නාගරාජය, අතීතයේ බුදුවරුන් මෙතැන වැඩිසිටි සේක. අනාගතයේ ගෞතම තථාගතයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ මේ පින්බිමේ තැන්පත් කර මහා ස්තූපයක් ඉදිවේ. ඒ නිසා ඒ භූමිය රැකගෙන ඒ සෑය ආරක්ෂා කිරීම ඔබට බාරයි කියා වදාළ සේක. ඒ නාගරාජයා ඒ භූමියේ රැඳෙන්න කැමැත්තක් නොදැක් වූයෙන් තථාගතයන් වහන්සේ වදාළේ මීට කලින් වැඩ සිටි කාශ්‍යප බුදුරජුන්ගේ පාරිභෝගික ධාතුන් 
වහන්සේ නමක් මෙහි තැන්පත්ව තිබියදී ඔබ නාගරාජයෙක් වී මේ ස්ථානය ආරාක්ෂා කළේය. කෝණාගමන බුදුරදුන්ගේ කාලයේ දෙවියෙකු වී මේ ස්ථානය ආරක්ෂා කළේය. ඊට කලින් ජීවිතයේදීත් දෙවියෙකුම වී මේ ස්ථානය ආරක්ෂා කළේය. එනිසා ඔබට උරුමයි මේ සේරුවිල බිම ආරක්ෂා කිරීම. ඉන්පසු ඒ නාගරාජයා බොහෝම සතුටින් ඒ ස්ථානය ආරක්ෂා කළේය.

ලලාට ධාතුන් වහන්සේ ලබා ගැනීම

භාග්‍යවතුන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ රන්දෙනේ විවෘත වනවිට මල්ලරජ දරුවන්ට ලැබුණ ධාතුන් වහන්සේ අතරේ සුදෝ සුදට රැස් විහිදුවමින් පුළුල් නළල් තලය වැඩ සිටිසේක. මහාකස්සප මහරහතන් වහන්සේට මතකයි බුදුරජාණන් වහන්සේ තුන්වැනි වරට ලංකාවට වැඩි ගමනේදී ලලාට ධාතුන් වහන්සේ සේරුවිල සමීපයේ තැන්පත් කර සෑයක් ඉදිවන බව වදාළා අයුරු. කස්සප මහරහතන් වහන්සේ මල්ල රජ දරුවන්ට කියා සිටින්නේ ලංකාවේ සේරුවිල සමීපයේ අනාගතයේ පහළවන කාකවණ්න රජතුමා විසින් මහා ස්තූපයක් ඉදි කෙරේ. ඒ සෑයේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ පිහිටන බව වදාළා. ඒ නිසා ඔබ භාරයේ ඇති ධාතුන් වහන්සේ අපට ලබාදෙන්නැයි ඉල්ලීමක් කළේය. මල්ල රජදරුවන් ඒ කියමන හිස මුදුණෙන් පිළිගෙන ඉතාමත් හරසරින් ධාතුන් වහන්සේ ලබා දුන් අතර කස්සප තෙරුන් ඒ ධාතුන් වහන්සේ රැගෙන මහානන්ද ස්වාමින් වහන්සේට ලබා දී අනාගතයේදී ලංකා ධරණීතලයේ සේරුවිල අසල ඉදිවන මහා සෑයේ මේ ධාතුන් වහන්සේ තැන්පත් වනු ඇති. එතෙක් ඔබ ධාතුන් වහන්සේ රැකබලාගෙන වන්දනාමාන කළයුතුයැයි පවසා සිටි සේක.

ලලාට ධාතුන් වහන්සේ ගන්ධ කුටිවල වැඩ සිටීම

උන්වහන්සේ ඒ උතුම් ධාතුන් වහන්සේ විසල්පුර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි ශාස්තෘන් වහන්සේ වැඩසිටි ගන්ධ කුටියේ වඩාහිඳුවා පුදපූජා පවත්වා ආයු සංස්්කාර අත්හැර පිරිනිවෙන කල්හි තම ශිෂ්‍ය චන්ද්‍රගුප්ත තෙරුන් හට ධාතු වංශය පවසා අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.
මහානන්ද තෙරුන්ගේ ශිෂ්‍ය වූ චන්ද්‍රගුප්ත තෙරුණුවෝ ලලාට ධාතුන් වහන්සේ ගෙන අහසට පැන නැඟී සැවැත්නුවර දෙව්රම් මහ වෙහෙරෙහි දසබලයන් වහන්සේ වැඩවිසූ ගඳකිලියට වැඩමවා ධාතු පූජා පවත්වමින් බොහෝ කල් වාසය කළේය. උන්වහන්සේ ආයු සංස්කරණය අත්හල විට තම ශිෂ්‍ය භද්දසේන තෙරුන් කැඳවා ඒ තෙරුන්ට ධාතුන් වහන්සේ භාර කොට ධාතුවංශ පවසා පිරිණිවන් පෑ සේක.
චන්ද්‍රගුප්ත තෙරුන්ගේ ශිෂ්‍යවර භද්දසේන තෙරණුවෝ ලලාට ධාතුව ගෙන අහසින් ගොස් ඉසිපතනයෙහි දම්සක් පැවැතුම් මහා වෙහෙරෙහි ශාස්තෘන් වහන්සේ වැඩසිටි ගඳකිලියෙහි වඩා හිඳුවා සුවඳ මල් ආදියෙන් පූජා පවත්වමින් වාසය කළ සේක. උන්වහන්සේ පිරිනිවෙන කල්හි තම ශිෂ්‍යවර ජයසේන තෙරුන්ට ධාතු වංශය පවසා ධාතුන් වහන්සේ භාර කළේය.
ඒ ජයසේන තෙරණුවෝ ලලාට ධාතුන් ගෙන වේළුවන මහා විහාරයෙහි ශාස්තෘන් වහන්සේ වැඩසිටි ගඳකිලියෙහි වඩා හිඳුවා සුවඳ මල් ආදියෙන් පූජා පවත්වා බොහෝ කල් වාසය කොට පිරිනිවන් පාන කල්හි තම ශිෂ්‍යවර මහා සංඝරක්ඛිත තෙරුන්හට ධාතුන් වහන්සේ බාර දී ධාතුවංශ පවසා පිරිනිවන් පෑ සේක.
සංඝරක්ඛිත තෙරුණුවෝ ලලාට ධාතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිත සිටු විසින් කරවන ලද ඝෝෂිතාරාමයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි ගන්ධ කුටියට වඩා හිඳුවා සුවඳ මල් ආදියෙන් පූජා පවත්වා බොහෝ කල් වාසය කළේය. උන්වහන්සේ පිරිනිවන් පානා සමයේ තම ශිෂ්‍යවර මහාදේව තෙරුන් කැඳවා ලලාට ධාතුන් වහන්සේ භාර කොට පිරිනිවන් පෑ සේක.
මහාදේව තෙරුණුවෝ ලලාට ධාතුන් වහන්සේ රැගෙන දෙවනපෑතිස් මහරජුගේ සොයුරු මහානාග යුවරජු මාගම සේසත් ඔසොවා සිටි කාලයෙහි හත්ථොට්ඨ නම් ජනපදයෙහි කුක්කුට පර්වතය අතරෙහි මහා සල් රුකක් සෙවණෙහි අහසින් වැඩම කොට වන්දන මාන කළ සේක. එහිදී ‘කාල’ නම් උපාසක තෙමේ දුටුවේ රාත්‍රි කාලයේ එක් පර්වතයක මුදුනෙහි රැස් විහිදෙන බවයි.
ඔහු ඒ එළිය සොයාගෙන යනවිට ස්වාමින් වහන්සේ නමක් ලලාට ධාතුන් වහන්සේ වන්දනා කරමින් සිටි සේක. මාසයේ අටවක, පසළොස්වක දිනයන්හි හි ලලාට ධාතුවෙන් සවණක් ඝන බුදුරැස් විහිද ගියේය. ඒ උතුම් ධාතුන් වහන්සේ ගැන මහානාග යුවරජුට ආරංචි විය. රජු ධාතුන් වහන්සේ සොයාගෙන ආ අතර ස්වාමිනි මටද ධාතුන් වහන්සේ වන්දනා කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ස්වාමින් වහන්සේ අවසර දුන්විට රජතුමා සුවඳ පැන් කළ දහසයකින් ස්නානය කොට සියලු රාජාභරණයෙන් සැරසී උතුරු සළුව ඒකාංශ කොට දෑත් ඇඳිලි බැඳ වන්දනා කරමින් ධාතුන් වහන්සේ අසලට පැමිණියේ ය. සුදුපාටින් රැස් විහිදුවමින් ධාතුන් වහන්සේ වැඩසිටි අතර ශ්‍රද්ධාවෙන් පී‍්‍රතියෙන් ඉපිලි ගිය රජු ස්වාමිනි, ධාතුන් වහන්සේ මට ලබා දෙන සේක්වායි ඉල්ලා සිටියේය.
රජතුමනි, අනාගතයේදී පහළ වන කාවන්තිස්ස නම් රජු නැඟෙනහිරට ප්‍රදේශයේ සේරුවිල සමීපයේ මේ ධාතුන් වහන්සේ තැන්පත් කර මහා සෑයක් ඉදිකරන්නේ යැයි සඳහන් කළේය. රජතුමා එය රන්පත ලියා ඇතා පිටින් ධාතුන් වහන්සේ රජ ගෙදරට වැඩමවා ඇත. ඉන්පසු රාජමාළිගාවේ උත්තම ස්ථානයේ ධාතුන් වහන්සේ තැන්පත් විය.

කාවන්තිස්ස රජු රජවීම

කාලයකට පසු කාවන්තිස්ස රජු රජ විය. රජතුමා තම ප්‍රාණය සේ ධාතුන් වහන්සේ වන්දනා කොට ඇත. විහාරමහා දේවියගේ මල්ලි වූ චුල්ලපිණ්ඩපාතික තිස්ස ස්වාමින්වහන්සේ දිවැසින් රජතුමාගේ ආයුෂ දුටුසේක. උන්වහන්සේ කියා සිටියේ රජතුමනි ධාතුන් වහන්සේ නිදන් කොට සෑයක් ඉදිකිරීම සුදුසු කාලය මේ බවයි.
රජතුමා රාජ්‍ය කටයුතු තාවකාලිකව දුටුගැමුණු කුමාරයාට බාර දී ඇතාපිටින් සේරුනුවරට වැඩම කිරීමට පිටත් විය. නමුත් ධාතුන් වහන්සේ පිහිටන්නේ මේ ස්ථානයේමයි කියා කිසිවෙකු දන්නේ නැත. සුදු රැස් විහිදෙන රන් කරඬුව ඇතා පිටින් වැඩමවන ලදී. ගමෙන් ගමට ගමෙන් ගමට පැමිණ ඇතා සහිත පෙරහර සේරුනුවරට ළඟා විය.

අසිරිමත් ධාතු පුරාණය 23 කොටස

සුදු බුදු රැස් විහිදවන අසිරිමත් ලලාට ධාතුන් වහන්සේ

ලලාට ධාතුන් වහන්සේගේ අසිරිමත් ධාතු කථාවේදී අප සාකච්ඡා කළේ කාකවණ්න රජතුමා ධාතුන් වහන්සේ රැගෙන සේරුවිලට ළඟාවීම පිළිබඳවයි. අද එතැන් සිට. . . .
අදටත් තිබෙන වරාහ නම් ගල්තලාව මත ඇතා නැවතුණි. රජු විපරම් කරද්දී රහතන් වහන්සේ වදාළේ රජතුමනි, ස්තූපය ගොඩනැඟෙන භූමියට අප පැමිණ ඇත කියායි. විශාල ගලක් අසල පොඩි පොකුණක් විය. රජු ගල් පර්වතය උඩ දවසින් තාවකාලික මාළිගාවක් ඉදි කළේය. ඒ මාළිගාවේ ඇතා සමඟ ධාතුන් වහන්සේ තැන්පත් කළ අතර, ඒ ගල විද තිබෙන අයුරු අදටත් දකින්නට ඇත.
අවට තාවකාලිකව මණ්ඩප තනා පදිංචි වූ රජු විපරම් කරන්නේ ස්තූපය සෑදීමට සුදුසු භූමිය කුමක්ද? කියායි. ඉන්පසු රජු ඒ සඳහා උපක්‍රමයක් භාවිත කළේය. ඇතුන් හතර දෙනෙක් ගැටගසා අධිෂ්ඨාන කරන්නේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් ස්තූපය ගොඩ නැඟෙන්නේ මේ සමීපයේ නම් මේ ඇතුන් මහා සෑය ඉදිවෙන භූමියේ රැඳිය යුතුයි කියා. උදෑසන දකින්නේ ඇතුන් දම්වැල් කඩාගෙන ගොස් සිටි අයුරුයි. සොයා බලන විටි එක් භූමියක ඇතුන් හතර කොණේ රැකවල් ලා සිටියේය. ඒ හතර කොණ සෑයේ වාහල්කඩ හතර ඉදි විණ. පසුදා අශ්වයන්ද, ඊට පසුදා වෘෂභයන්ද, ගැටගසා මහා සෑය ඉදිවෙන තැන තවදුරටත් නිරීක්ෂණය කළ අතර, ඒ සියලුම දෙනා තෝරාගත් ස්ථානය තථාගතයන් වහන්සේ සමවත් සුවෙන් වැඩසිටි අද සෑය පිහිටි ස්ථානය යි. ඒ භූමිය පවා තීරණය වුණේ මහා ආනුභාවයකිනි.

මහා ස්තූපය ආරම්භවීම

ඉන්පසු රජු ස්තූපයේ වැඩ ආරම්භ කළේය. එයට අවශ්‍ය ගඩොල් මවා දුන්නේ දෙවිවරුන් විසිනි. දැන් ගඩොල් ස්තූපය හදන තැනට ගෙන එන්නේ කෙසේද? රජුට ප්‍රශ්නයකි. චුල්ලපිණ්ඩපාතික තිස්ස තෙරුන් වදාළේ ඇයි රජතුමනි, අපටත් පුළුවනි ගඩොල් ගෙනියන්න කියාය. උන්වහන්සේ ගඩොලක් අතට ගත්සේක. අනෙක් රහතන් වහන්සේ, ස්වාමින් වහන්සේ රජතුමා, මැති ඇමැතිවරු, සේනාපතිවරු ගඩොල බැගින් ගත්තේය. ඉතුරු වූ යම් ගඩොලක් වේද? දෙවියන් සහ නාගයන් විසින් ඒ ගඩොල් ගෙන ආයේය. සේරුවිල සෑයේ ගඩොල් රහතන් වහන්සේ, දෙවියන්, බඹුන්, නාගයන්, මිනිසුන් ආදීන් ගෙනා ගඩොලින් ගොඩ නැඟුණේය.

සෑ ගර්භය ඉදිවීම විශ්මිතය

ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරන සෑ ගර්භය දැන් ඉදිවෙමින් පවති. ඉතාමත් මනරම්ය. ඒ දා ගර්භය දෙවැනි වන්නේ රුවන්මැලි මහා සෑයේ ගර්භයට පමණි. කාකවණ්න රජු බුද්ධ චරිතයේ සියලුම දේ සෑ ගර්භය රන්, රිදී, මුතු ,මැණිකෙන් අඹවා සුන්දර කෙරුණි. ආභාෂය මත දුටුගැමුණු රජුට රුවන්මැලි මහා සෑය ඉදිකිරීමේදී පිටුවහලක් වුණි. මේ ලෝකයේ පළමුවැනි සුන්දරම ධාතු ගර්භය සේරුවාවිල දා ගර්භය යි. ඊට පෙර ඉදිවූ සියලුම ස්තුප ගඩොලින් සෑ ගර්භය බැඳ ඒ මත ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සිදුවූයේ ය. නමුත් මුළින්ම මෙතරම් සුන්දර දා ගර්භයක් නිර්මාණය වුයේ සේරුවිල සෑයේ යි.

දා ගර්භය මැද ඇති සුන්දර පිළිම වහන්සේ

මේ ගර්භය මැද විශාල මාණික්‍යය ස්වර්ණ පිළිම වහන්සේ නමක් තැන්පත් වුණි. ඒ ස්වර්ණ පිළිමයේ ඇහිබැම සඳහා නිල් මාණික්‍ය කපා තැන්පත් කළේය. ඇස්වලට පත්මරාග මාණික්‍යයක් මත නිල් මාණික්‍යයක් ඔබ්බවා ඇත. ඌර්ණ රෝම ධාතුවට දියමන්ති ඔබ්බවා ඇත. කෙස් වලට නිල් මැණික් ඔබ්බවා ඇත. දැන් ධාතුන් නිදන් වෙන දවසයි. රහතන් වහන්සේ නාග ලෝකයෙන් කේශ ධාතුන් වහන්සේ දෙනමක් වඩමා තිබුණි. නාග ලෝකයට කේශ ධාතුන් වහන්සේ දෙනමක් ලැබුණේ කෙසේද?
තිරියායේ දී තපස්සු භල්ලුක දෙදෙනා කරඬුව තබා වෙළඳාමට ගොස් එන ප්‍රමාදයට “ජයසේන” නම් නා රජු නො දැනෙන්න එතැනින් කේශ ධාතුන් දෙනමක් ගත්තේය. ඒ කේශ ධාතුන් වහන්සේ නාගයන් හඬා වැළපෙද්දීම රහතන් වහන්සේ වඩමවා ඇත. නාගයන් පස්සේ පන්නා ගෙනවිත් සේරුවිල අසල රාව නම් ගල දෙබෑ කරමින් මතුවී හඬමින් ඉල්ලා සිටින්නේ ධාතුන් වහන්සේ ලබාදෙන ලෙසයි. නමුත් සෑයේ තැන්පත් වීමට එය උරුම නිසා විහාරමහා දේවියගේ අතේ ධාතුන් වහන්සේ වැඩම වූ කරඬුව තැන්පත් වුණි. කාවන්තිස්ස රජු ගෞරවයෙන් ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරඬුව හිස තබාගෙන සිටියේය.

ධාතු තැන්පත් කිරීම

රජතුමා තුන් වතාවක් සෑය ප්‍රදක්ෂිණා කර කරඬුව හිසේ තබාගෙන අධිෂ්ඨාන කරන්නේ ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ බුද්ධ ශාසනය බොහෝ කාලයක් සකල ලෝ සතට සෙත සලසන බව සැබෑනම්, මාගේ ශ්‍රද්ධාව සැබෑනම් මේ නව රියන් ප්‍රතිමාවේ ලලාට ධාතුන් වහන්සේ නළල් තලයේ පිහිටත්වා කියා අධිෂ්ඨාන කළේය. ධාතුන් වහන්සේ ආකාසයට පැණ නැග්ඟේය. දෙනෝ දහක් දෙනා අහස ගිඟුම්දෙන සාධුකාර පවත්වද්දී සුදුවන් රශ්මි දහරා නානා අයුරින් විහිදවමින් ප්‍රතිමා වහන්සේගේ තැන්පත්ව තිබූ ඌර්ණ රෝම ධාතුව ඉදිරියට මතු වී ලලාට ධාතුන් වහන්සේ නළලේ ඇතුළට කිඳා බැසගත් සේක. අදටත් ඒ ආකාරයටම ධාතුන් වහන්සේ පිහිටා ඇත.
ඉන්පසු විහාරමහා දේවිය අධිෂ්ඨාන කරන්නේ මගේ ශ්‍රද්ධාවත් ඉතා බලවත් ය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, මාගේ අහිංසක අධිෂ්ඨානය වන්නේ බොහෝ කාලයක් සකල සතට සෙත සලසන ලෙස ධාතුන් වහන්සේ විරාජමානව වැඩ සිටිනවානම් මේ කේශ ධාතුන් වහන්සේ මේ ප්‍රතිමා වහන්සේගේ කේශ මතම පිහිටාවා කියායි. මොණරාගේ ගෙලේ පැහැය බඳු නිල් රශ්මිදහරා විහිදවමින් ආකාශයට පැන නැඟුªන ඒ කේශ ධාතුන් වහන්සේ පිළිම වහන්සේගේ නිල්මාණික්‍ය වටකරගෙන පිහිටි සේක. පහන් දැල්වූයේය. සුවඳ පැතිරුණේය. අදටත් ඒ පහන් එළෙසම දැල්වේ. සුවඳ ද එලෙසමය. බොහෝ මල් පූජා වුණි. අදටත් මල් පර නොවී තිබේ. ඒ රහතන් වහන්සේලාගේ සෘර්ධි බලය සහ අධිෂ්ඨාන බලය විය.
දැන් දා ගැබේ දොර වැසීමට නියමිතය. රජතුමා උසුලා ගත නොහැකි සෝකයෙන් හඬා වැටුණි. මා මෙතෙක් කල් වන්දනාමාන කළ ධාතුන් වහන්සේ අද සිට මට දකින්නට නො ලැබේ. මාගේ මරණය වුවත් මම මෙතැනින් නොයමි කියා හඬා වැටුණි. රහතන් වහන්සේ රජුට අනුකම්පා කොට සෘර්ධියෙන් රජුන් සෑ මළුවේ තැබුවේය. ඒ රජු ධාතුන් වහන්සේට ඇති ශ්‍රද්ධාවයි. ආදරයයි, ගෞරවය යි. සකල සතට සෙත සදමින් බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ ලෙස වෙන් වූ ලලාට ධාතුන් වහන්සේ අදටත් විරාජමාන යි. ගන්ධකුටිවල පිදුම් ලැබුවේය.
සේරුවල මහා සෑයට අදටත් නොයෙක් උපහාර පූජාවන් කෙරේ. අද වනවිට පුෂ්පයෝ අනන්ත අප්‍රමාණව දෙනෝ දහක් දෙනාගේ සාදුකාර මධ්‍යයේ පිදේ. සෑය වඳින වඳින කෙනාට සෙත සැලසේ. උතුම් ලලාට ධාතුන් වහන්සේ බොහෝ දෙනාට සෙත සලසමින් චිරාත් කාලයක් වැජඹේවා. ඒ අනුහසින් සැමට සෙත් වේවා.
ඔබත් ඒ උතුම් සෑයට මෙසේ වන්දනා කරන්න.
ලංකා වධූ පියපති සිරි කාකවණ්න
තස්හව්හයේන මුනිරාජ ලලාටධාතුං

ගබ්භේ නිධාපිය සුනිම්මිත චාරුරූපං

වන්දාමි මංගල මහා ථූප ථූපරාජං
සිරිලක් අඟනගේ පි‍්‍රය ස්වාමී වූ ශ්‍රී කාවන්තිස්ස නම් රජු විසින් අප මුණිරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ මැනැවින් නිම වූ රන් බුදුරුවක නිධන්ගත කොට කරවන ලද මංගල මහා ස්තූප රාජයාණන් වහන්සේ මම වන්දනා කරමි.
සේරු නාමසරාසන්නේ සාරසී සරඨානගං
වන්දේ කාරිත තිස්සේන ලලාට ධාතු චේතියං

කාවන්තිස්ස මහරජු විසින් සේරු නම් විල්තෙර කරවන ලද ලලාට ධාතු චෛත්‍යරාජයා මම වන්දනා කරමි.

අසිරිමත් ධාතු පුරාණය 24 කොටස

විරාජමානව වැඩසිටිනා මුතියංගන මහා ස්තූපය

"මුතියංගන මහා සෑයේ වැඩසිටින ධාතුන් වහන්සේ කෙබඳුද? පරම්පරා කතාවෙන් පැවතගෙන එන එක කතාවක් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ගැලූ දහදිය මුතු බවට පත්වූ බවත් ඒ මුතු මේ සෑයේ තැන්පත් කොට ඉන්දික නම් ඇති දෙවිඳු විසින් මේ සෑය ඉදිකළ බවයි. පසුව ධාතුසේන රජු, විජයබාහු රජු, පළමුවැනි රාජසිංහ රජු , කීර්ති ශ්‍රී රාජසිංහ රජු වැනි රජවරු විසින් සෑය ප්‍රතිසංස්කරණය කර ඇත."
මුක්තික ධාතූන් වහන්සේ සහ කේෂ ධාතුන් වහන්සේ විරාජමානව වැඩ වෙසෙන වන දෙවියන්ගෙන් පවා පිදුම් ලබන මුතියංගන මහා ස්තූපය පිළිබඳව අද සාකච්ඡා කරන්නෙමු.
මීට පෙර අප සාකච්ඡා කළේ තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩ සිටින මහා ස්තුපයන් වන්දනාමාන කිරීමෙන් තමන්ගේ ජීවිතයට කෙතරම් පින් රැස්කර ගත හැකිද? යන්න. එමෙන්ම ඒ ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් අදටත් සැමට සෙත සැලසෙන බව.
මුතියංගන මහා සෑයේ වැඩසිටින ධාතුන් වහන්සේ කෙබඳුද? පරම්පරා කතාවෙන් පැවතගෙන එන එක කතාවක් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ගැලූ දහදිය මුතු බවට පත්වූ බවත් ඒ මුතු මේ සෑයේ තැන්පත් කොට ඉන්දික නම් ඇති දෙවිඳු විසින් මේ සෑය ඉදිකළ බවයි. පසුව ධාතුසේන රජු, විජයබාහු රජු, පළමුවැනි රාජසිංහ රජු , කීර්ති ශ්‍රී රාජසිංහ රජු වැනි රජවරු විසින් සෑය ප්‍රතිසංස්කරණය කර ඇත. තථාගත සිරුරෙන් නික්මුන දහදිය මුතු බවට පත් ධාතුන් වහන්සේ පිහිටි අංගනය එනම් මුතු+ අංගනය නිසා මුති + අංගනය වූ බව සඳහන්. ඒ වගේ මුනිවරුන් වැඩිසිටි අංගනය මුනි + අංගනය මුතියංගනය වූ බවද ජනප්‍රවාදයේ සඳහන්. එමෙන්ම සසර දුකින් නිදහස් වීම “මුක්ති” යන අර්ථයෙන් මුක්ති + අංගනය මුතියංගනය වූ බවද සිතිය හැකියි. මේ ආකාරයට මේ මහා සෑයේ නමට විවිධ අර්ථකතන සමඟ අංගනය වූ බවට බොහෝ මත ඇත.
සොළොස්මස්ථානයන්ගෙන් එක් පින් බිමක් වන මුතියංගන මහා සෑය නමුණුකුල දිව්‍ය විමානයට අධිපති ඉන්දක දෙවියන්ගේ අඩවියෙහි පිහිටා ඇත. පන්සියයක් මහරහතන් වහන්සේ සමඟ තථාගතයන් වහන්සේ තෙවනවර ලක්දිවට වැඩි අවස්ථාවේදී ඉන්දක දෙවිඳුන්ගේ ආරාධනයෙන් එම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩසිටි සේක. මුතියංගනය සෑ රජුන් පිහිටි ස්ථානය රහතන් වහන්සේ සේවනය කළ රහතුන් බිහි වූ සැබවින්ම මුනිවරුන්ගේම අංගනයක් (සැරිසරන මිදුලක්) බඳුය. ඒ සෑ මළුවේ බොහෝ රහතන් වහන්සේ වැඩි සිටි අතර උන්වහන්සේ පිරිනිවන් පෑ පසුව උන්වහන්සේගේ ධාතුන් වහන්සේ කුමක් සිදුවේද? ඒ ධාතුන් වහන්සේ සෑයට සෘර්දි වී තිබිය නොහැකිද?
මලියදේව මහා රහතන් වහන්සේ “ච චක්ක සූත්‍රය” මේ ස්ථානයේදී දේශනා කළ අතර, එහිදී හැට නමක් රහතන් වහන්සේ ඒ භූමියේදී බිහිවිය. මලියදේව මහරහතන් වහන්සේ පළමුවරට ච චක්ක සූත්‍රය දෙසුවේද එම පින්බිමේදී ය. එය සිහිවීමට මලියදේව බෝධිය නමින් බෝධින් වහන්සේ නමක්ද රෝපණය වී ඇත. නමුණුකුල පර්වතය ඇතුළු ඒ අවට පර්වත තුළ උන්වහන්සේ දැහැන්ගත විය. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ඒ ධාතුන් වහන්සේ මහාසෑය තුළ වැඩ සිටිනවා යැයි කිව්වොත් ශ්‍රද්ධාවන්තයාට එය අරුමයක් නෙවේ.
මේ ආකාරයට උතුම් ධාතුන් වහන්සේ තැන්පත් ස්ථාන අප්‍රකට වීම නිසා බොහෝ දෙනාට පින්දහම් රැස්කර ගැනීමට අවස්ථාව අහිමිව ඇත. තවත් විශේෂයක් ලෙස විහාරය සතු ‘පෙතිකඩ” යනුවෙන් යම් දෙයක් පවතී. එහි අටවිසි බුදුරදුන් වහන්සේගේ පිළිරුව සිතුවම් කොට ඇත. ප්‍රදේශයේ නියං කාලවලදී පුදපූජා මැද නමුනුකුල කඳු මුදුනට පෙතිකඩ වැඩමකර දෙවියන්ට පින් දුන්විට නියඟය නිමවී මහා වැසි ඇද වැටෙන බව මිනිසුන් අතර විශ්වාසයක් පවතී. එනිසා භාග්‍යවතුන් වහන්සේගේ යම් ධාතුන් වහන්සේ නමක් තැන්පත්ව සිටින යම් සෑයක් වේනම් ඒ මහා සෑය ඔබත් ශ්‍රද්ධාවෙන් වන්දනා කළ යුතු වේ. එය ඔබගේ දෙලොව යහපත උදෙසාම වේ.
ඔබත් මුතියංගන මහ සෑය මෙසේ වන්දනා කරන්න
විරාජිතං බුද්ධ ගුණේත සබ්බදා
සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
ජයංගණං සිහල දීප වාහිනං
මුතියංගනං ථූප වරං නමාමි

සැමදා අනන්ත බුදු ගුණයම හොබවන විරාජිත වූ මහා තේජස් ඇති ඉන්දික දෙවියන් විසින් ආරක්ෂා කරන, සිංහල වැසියන්ගේ ජය භූමිය බදු උතුම් මුතියංගන මහා ස්තූපය මම වන්දනා කරමි.
විමල සුසීතල භූරී ජලාසය
ප්පභව කංදර භූසිත සුන්දරං
ගිරි නදී වන දේවතා හි පූජිතං
නමථ තුංග මුතිංගන චේතියං
නිර්මල වූ සිසිල් ජලය පිරී බොහෝ ජලාසයන්ගෙන් හා ඉතා සුන්දර බවින් සෝබමාන පර්වතවාසී, නදීවාසි වනවාසී දෙවියන් විසින් නිතර පුදන උත්තුංග වූ පවර මුතියංගන සෑ රජුන්ට නමස්කාර වේවා.

නීලගිරි මහ සෑ රජාණන් වහන්සේ

නීලගිරි මහා සෑ රජාණන් වහන්සේ කැනීම් කිරීමේදී ධාතු ගර්භයත්, ඒ ධාතු ගර්භය තුළින් හමු වූ සර්වඥ ධාතුන් වහන්සේ පිළිබඳව විවෘත වූ නිසා අප විස්තර දනී. ඒ පිළිබඳව අතීතයේ සිටි භාතිය නම් ඇති රජුගේ කාලයේ ගොඩනැඟුණ සෑයකි. ඒ සෑයේ පේසාවළලු ආසන්නයේ එක ප්‍රදේශයකම ධාතුන් වහන්සේ තැන්පත් කළ පළිගු කරඬු දෙසිය ගණනක් හමුවිය. ඒ සෑම කරඬුවකම අභ්‍යන්තරයේ රත්තරන් තහඩුවේ ධාතුන් වහන්සේ ඔතා පළිඟුව ඇතුලේ තැන්පත් කර ඒ කරඬුව දා ගැබේ තැන්පත් කර තිබුණි. සර්ඥ ධාතුන් වහන්සේ රන් කරඬුවේ තැන්පත්ව තිබුණි. එසේනම් අවුරුදු දහස් ගණනකට පසුව ගරා වැටී තිබුණ ඒ සෑය කැණීම් කිරීමේදී උතුම් ධාතුන් වහන්සේ එකම දිශාවකින් හමුවී ඇත. ඒ ධාතුන් වහන්සේ අදටත් පුරාවිද්‍යා කෞතුකාරයේදී දැක ගැනීමට පුළුවනි.
නීලගිරි මහා සෑයෙන් හමු වූ ධාතුන් වහන්සේ බොහෝ විට ප්‍රදර්ශනය කරන අතර ඔබටත් ඒ ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගන්නට පුළුවනි.
ඒ වගේ උතුම් ධාතුන් වහන්සේ රන්, රිදී, මුතු, මැණික් කරඬුවල මුතියංගන මහා සෑයේත් තැන්පත්ව තිබේ. එනිසා සෑම සෑයක්ම වන්දනා කිරීමේදී මේ මහා සෑයේ උතුම් ධාතුන් වහන්සේ වැඩ සිටිනවා කියන සංඥාවෙන් වන්දනාමාන කළත් ඔබට බොහෝ පින් රැස්වේවි.
මෙම සෑයේ වැඩසිටින ධාතුන් වහන්සේ උදෙසා අදටත් බොහෝ පුදපූජා පැවැත්වේ. තේවාවන් වත්පිළිවෙත් නොයෙක් නොයෙක් ඖෂධ පුෂ්ප උපහාර පැවැත්වේ.
එනිසා අප ඉපදුන මේ ලංකා ධරණීතලයේ මුනිවරුන්ගේ ප්‍ර‍්‍රාතිහාර්ය අපට දකින්නට ලැබීමත් ආනුභාවය දකින්නට ලැබීමත් මේ මිනිස් ජීවිතයට විශාල වාසනාවකි. ඒනිසා ඒ පිළිබඳව චිත්තප්‍රසාදයක් ඇතිකර ගත්විට ඒ උතුම් ධාතුන් වහන්සේලාගේ තිබෙන්නා වූ ආනුභාවයෙන් අපේ ජීවිතයට පිහිට පිළිසරණ ලබා ගත හැකියි.
ඔබට මුතියංගන ධාතුන් වහන්සේගේ අනුහසිනුත්, නීලගිරි මහා සෑයේ වැඩසිටි ධාතුන් වහන්සේගේ අනුහසිනුත් සෙත්වේවා.

අසිරිමත් ධාතු පුරාණය 25 කොටස

නිකෙලෙස් මුනිවරුන්ගේ අරහන්ත ධාතූන් වහන්සේ

අප මෙතෙක් කාලයක් ගෞතම බුදු සසුනේ ධාතුන් වහන්සේ පරම්පරා කතාව ඉගෙන ගත් අතර, සවර්වඥ ධාතුන් වහන්සේ එහිදී ප්‍රමුඛ විය. මෙතෙක් විශේෂ අවධානයක් යොමු නොවූණත්, ගෞතම බුදු සසුනේ උතුම් අරහන්ත ධාතූන් වහන්සේ පිළිබඳවත් යමක් දැන සිටීම ඉතා වැදගත් ය. එවිටයි අපට ගෞතම බුදු සසුනේ උපරිම ඵල නෙළාගත හැකි වනුයේ.

අරහත් ධාතූන් වහන්සේ 
වන්දනා කළ යුතුමය

අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළා තථාගත සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ ඛිණාශ්‍රව මහරහතන් වහන්සේ, සක්විති රජතුමා යන සතර උතුමන්ගේ ස්තූප සාදා වැඳුම් පිදුම් කිරීම සුදුසු බව. ඒ අනුව උතුම් මහරහතන් වහන්සේ පිරිනිවන් වැඩි පසු ඉතිරිවන ධාතුන් වහන්සේ ඒකාන්තයෙන් සැදැහැවතුනට වන්දනා කිරීම සුගතිය නිවන පිණිසම අරමුණු කොට සෘර්ධියෙන් අධිෂ්ඨානයෙන්ම ශේෂ වෙති. නා නා ආකාරයෙන් අරහත් ධාතූන් වහන්සේ දායාද වන ආකාරය අටුවා විස්තරවල සඳහන් වේ. ඊට අමතරව පිරිසුදු ධර්මය තැන්පත් ධර්ම විනය තුළත් රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ හෝ ධාතූන් වහන්සේ තැන්පත් කොට ස්ථූප කරවන ලෙස බුදුජාණන් වහන්සේම වදාළ අවස්ථා සූත්‍ර පිටකයේ අපට හමු වේ.

සාරිපුත්ත මොග්ගල්ලාන 
අරහන්තක ධාතුන් වහන්සේ

ගෞතම බුදු සසුනේ ධර්ම සේනාපති හා ධර්ම පුරෝහිත වූ ප්‍රඥාවෙන් අග්‍රේෂ්වර සාරිපුත්තයන් වහන්සේත්, සෘර්ධියෙන් අගතැන්පත් මහා මොග්ගල්ලානයන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට පෙර පිරිනිව් පා වදාළ සේක. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේ උපන් ගම වන නාලන්දාවේ තම මෑණියන් ධර්මයෙන් අභිෂේක කොට (සෝවාන් ඵලයට පමුණුවා) පිරිනිවන් පෑ සේක. ඒ කතාන්දරය පුදුම සහගතය.

පිරිනිවන් පාන්නට පෙර සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ ගන්ධකුටියේදී භාග්‍යවතුන් වහන්සේගේ චරණ සිරිපා කමල් ළඟ වැඳ වැටී අවසර ගෙන ගන්ධ කුටියෙන් එළියට වැඩමකොට තුන්වතාවක් ගන්ධ කුටිය පැදකුණු කොට ආකාසයට පැන නැඟී “ මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා” යැයි කියමින් ආකාසයෙන් බැස භාග්‍යවතුන් වහන්සේව නැවතත් වන්දනා කොට දෙව්රම් වෙහෙරෙන් පිටතට වැඩම කළ සේක. භාග්‍යවතුන් වහන්සේ සංඝ පිරිසට වදාළේ “පින්වත් මහණෙනි, ඔබගේ පි‍්‍රය වැඩිමහල් සොහොයුරා අවසන් ගමන් වඩිද්දී පසු ගමන් නො යන්නේ මන්ද කියායි. ඒ අනුව මහා සංඝ සන්නිපාතයක් පසු ගමන් වැඩි සේක. පන්සියයක් සංඝයා නාලන්දාවට වැඩම කොට නාලන්දාවේ පිරිනිවනට වැඩිය මහා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහයට පූජා පැවැත්වීම සතියක් පුරා කර තිබුණි. එය රහතන් වහන්සේගේ අනුභාවය යි. සතියක් දේහය තිබුණත් දේහයේ වෙනසක් නොවූයේ උන්වහන්සේගේ අධිෂ්ඨානය නිසාය. සඳුන් දරයෙන් ආදාහනය කළ උතුම් දේහයේ පෙරහන් කඩයට ගතහැකි ප්‍රමාණයේ ධාතූන් වහන්සේ ඉතිරි වුණි. චුන්ද මහරහතන් වහන්සේ ඒ ධාතූන් වහන්සේ, පාත්‍ර, සිවුරු, ආදිය ගෙන නැවත දෙව්රම් වෙහෙරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී හස්තයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ පිළිගෙන රන් කරඬුවක තැන්පත් කරවා ස්තූපයක් කිරීමට උපදෙස් දුන් සේක. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රී හස්තයෙන් ස්පර්ෂ කළ සේක.
ඒ ධාතුන් වහන්සේලා ධර්මාශෝක නරේන්ද්‍රයා විසින් ගන්නා ලදුව සාංචිය, නාලන්දාව ආදි ස්ථානවල ස්තූප කරවා පසුකාලීනව ඒ ස්තූප ගරා වැටී කැණීම් කර ලබාගත් ධාතුන් වහන්සේ පමණයි දැන් අපේ රටේ වුවද පවතින්නේ. ප්‍රඥාවෙන් අග්‍ර, නිහතමානි ගුණයෙන් බබළන, ධර්ම සේනාධිපතින් වහන්සේගේ ධාතුන් වහන්සේ වන්දනා කරන්න ඇත්නම් එය කෙතරම් භාග්‍යක්ද අපේ රටෙත් නොයෙකුත් ස්තූපවලත් විශේෂයෙන් කොළඹ මාලිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ මේ උතුම් ධාතුන් වහන්සේ වැඩ සිටින සේක.

ධර්ම පුරෝහිතයන් වහන්සේගේ 
ධාතුන් වහන්සේ

මහා මොග්ගල්ලානයන් වහන්සේ හොරුන්ගේ ගුටිබැටවලට ලක්වූයේ පෙර කර්මයක් නිසා බව අපි දනිමු. අබ ඇට තරමට පොඩි වූ ශරීරය සෘර්ධියෙන් ප්‍රකෘතිමත් කොට භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ගෙන පිරිනිවන් පාන්නට වැඩි සේක. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ පිරිනිවන් පාද්දී මහපොළොව කම්පාවුණි. රජගහ නුවරදී මහා මොග්ගල්ලානයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. සඳුන් දර සෑයේ ආදාහනය කළ පසු ඉතිරි වූ ධාතුන් වහන්සේලා පෙරහන් කඩයකට ප්‍රමාණයක් ගෙන වේළුවනය සමීපයේ රන් කරඬුවක තැන්පත් කොට ස්ථූපයක් තනවා ඇත. අශෝක නරේන්ද්‍රයා ඒ ස්තූපය ගලවා ධාතුන් වහන්සේ ලබාගෙන සාංචියෙත් තවත් ස්ථානවලත් නිධන් කරවා ඇත. අපේ රටේත් ඒ උතුම් ධාතුන් වහන්සේ වැඩ සිටිනවා කියන හැඟීමෙන්ම අපේ ශ්‍රද්ධාව ඔද වැඩී යනු ඇත. ධර්ම පුරෝහිත වූ සෘර්ධියෙන් අගපත් අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අපටත් වන්දනා කරන්න ලැබේනම් එය විශාල භාග්‍යයකි.

මහා කස්සප මහරහතන් වහන්සේගේ
දළදා වහන්සේ

ගෞතම බුදු සසුනේ අගවිනිසුරු ලෙස නම් දරන දූත ගුණෙන් අගපත් අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ පිරිනිවන් වැඩියේ කුක්කුටපාද පර්වතයේ. ඒ පර්වතයේ උන්වහන්සේගේ පිරිනිවන් පෑ දේහය නිරුපද්‍රිතව වැඩ සිටින බව අප පිළිගන්නා විශේෂ සිද්ධියකි. ඒ නිසා උන්වහන්සේගේ ධාතුන් වහන්සේ ඉතිරි වූ බවට සටහනක් නැත. නමුත් දිවමන් සමයේ මුවින් ගිලිහුන දන්ත ධාතුන් වහන්සේ නමක් අරහත් පරපුරෙන් පැමිණ දැන් අපේ රටේ බෙන්තර ගලපාත විහාරයේ උතුම් සෑ රජුන් තුළ වැඩ සිටී. තුªªන් ලෝකයටම එකම ධාතුන් වහන්සේ අපේ රටට ලැබීම බෞද්ධයාගේ විශේෂම පිනක් නොවේද දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් ඒ උතුම් සෑය කරවූ බව සඳහන්. මීට වසර 200 කට පෙර සෑයේ යම් ගරා වැටීමක් නිසා ධාතුන් වහන්සේ පිටතට වඩමා ප්‍රදර්ශනය කර තිබේ. නමුත් සතියකට පසු නැවත තැන්පත් කොට සෑය ප්‍රතිසංස්කරණ සිදුවිය. ධර්මයේ සඳහන් වන්නේ “ජීවිත පන්සියයක් පිරිසුදු බමුණු කුලයේ ඉපිද බ්‍රහ්මචාරීව වේදයෙහි පරතෙරට පැමිණි බ්‍රාහ්මණයෙකුට යමෙක් වන්දනා කළත්, ඒ වන්දනාව මහා කස්සපයන්ට කරන වන්දනාවෙන් දහසයෙන් එකක් තරම්වත් නොවටී” කියා. දූත ගුණෙන් අගපත්, ගෞතම සසුනේ අගවිනිසුරු, මහාබ්‍රහ්මචාරි, විරාගි, තේජවන්ත ගුණ ඇති, දහම සංගායනා කළ අප මුනිඳුන්ගේ චීවර ධාතුව පෙරවූ, මුනි සිරිපා කමල නළලේ තබා වන්දනා කළ මහා කස්සප මහාරහතන් වහන්සේගේ එකම ධාතුන් වහන්සේ අපේ රටේ තිබෙද්දීත් ඒ ධාතුන් වහන්සේ වන්දනා කර නො මැතිනම් එය කෙතරම් අභාග්‍යයක් ද

ආනන්ද මුනිඳුන්ගේ ධාතුන් වහන්සේ

රෝහිණි නදිය මැද දී තේජෝ ධාතු සමාපත්තියට සමවැදී ආකාසයට පැන නැඟී ආකාසයේදී ආනන්ද මුනිඳුන් පිරිනිවන් පා වදාළ සේක. අවසන් සමයේ ශාක්‍යය, කෝලිය ජනපද දෙකටම මාරුවෙන් මාරුවට පිණ්ඩපාතයේ වඩිමින් හුදකලාවේම ආනන්ද මහරහතන් වහන්සේ වැඩ සිටි සේක. ශාක්‍ය කෝලිය දෙපිරිසටම අනුකම්පා පිණිසයි ආකාසයේදී පිරිනිවන් පා වදාළේ. ධාතුන් වහන්සේ දෙ කොටසකට බෙදී ශාක්‍යය කෝලිය දෙපිරිසට සමව බෙදී යන සේ අධිෂ්ඨාන කළ සේක. ඒ ධාතුන් වහන්සේ තැන්පත් වී ස්තූප ඉදිවුණි. විශාලා මහනුවර අදටත් ආනන්ද ස්තූපය තිබේ. ධර්ම භාණ්ඩාගාරික, මිහිරි ලෙස දහම් දෙසන, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සෙවණැල්ල බඳු ආනන්ද මුනිඳුන්ගේ ධාතුන් වහන්සේ වන්දනා කරන්න ලැබුණේනම් කෙතරම් භාග්‍යයක්ද

නොයෙකුත් අරහත් 
ධාතුන් වහන්සේ

මේ බුද්ධ ශාසනයේ කෝටි ගණනක් මහරහතන් වහන්සේ වැඩ සිටි සේක. උන්වහන්සේ පිරිනිවන් පෑවේ එක් එක් ආකාරයට යි. සමහර රහතන් වහන්සේ ආකාසයේ පිරිනිවන් පෑ සේක. විටෙක සක්මන් මළුවේ, විටෙක ගුහාවේ, විටෙක පළඟක් බැඳගෙන, විටෙක සිටගෙන, විටෙක සැතපී පිරිනිවුණි. අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මන්දාකිණි විල අසල ඇතුන්ගෙන් උපස්ථාන ලබා පිරිනිවනට වැඩි සේක. රාහුල මුනිඳුන් දෙව්ලොවදී පිරිනිවන් වැඩි සේක. රහතන් භික්ෂුණීන් වහන්සේද, පිරිනිවන් වැඩි අතර, උතුම් ධාතුන් වහන්සේ අදත් වැඩ සිටී. එක වරක් හෝ වන්දනා කළොත් රැස්වන පින සංඛ්‍යා රහිතයි. අප්‍රමාණයි. අංගුලිමාල මුනිඳුන්ගේ ධාතුන් වහන්සේ පවා අපට අද වන්දනා කිරීමට අවස්ථාව ඇත. මේ සියල්ල විශාල පිනක විපාකයකි. අපමණ පින් කැමැත්තෙන් අරහත් ධාතුන් වහන්සේ වන්දනා කිරීම තුළින් සෙතක් සැලසේවා!

අසිරිමත් ධාතු පුරාණය 26 කොටස

අරහන්ත ධාතූන් වහන්සේ සහ පසේබුදුවරුන්ගේ ධාතූන් වහන්සේ

මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ උතුම් ධාතූන් වහන්සේ ස්තූප කොට මහා හරසරින් වන්දනා පුද සත්කාර කළ අයුරු අප මීට පෙර ඉගෙන ගත්තේය. අද එහි තව කොටසක මෙසේ පළ වේ.
රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ විශාල ප්‍රමාණයක් ඉතිරි නොවේ. දේශනාවේ තිබෙන්නේ පෙරහන් කඩයට ගතහැකි ප්‍රමාණයක් ලෙසිනි. සාරිපුත්ත, මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ , ආනන්ද මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ මෙන්ම මහා ශ්‍රාවකයන් පස්වග මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේත් විටින් විට අපට වන්දනා කරන්න අවස්ථාව ලැබී තිබේ. සීවලි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වන්දනා කරන්න ආශා කරන්නේ ප්‍රත්‍යය ලැබෙන නිසායි. කෙසේ නමුත් උතුම් ධාතූන් වහන්සේ තුළ නම් එදා ඒ උතුම් මුනිවරුන් තුළ තිබුණ ආනූභාවය අදටත් තිබෙන බව මනාව පසක් වේ. රහතන් වහන්සේ පිරිනිවන් වැඩි පසු ඉතිරිවන ධාතූන් වහන්සේ නිධන් කොට ස්තූප තනන ලදී. අදටත් ඉන්දියාවේ දඹදිව වන්දනාවේ යන අය දකිනවා ඇති ඒ සිද්ධස්ථානවල පුංචි පුංචි ස්ථූප. ඒවා බොහෝවිට අරහත් ස්තූප යැයි බොහෝ දෙනා සලකයි.

ධර්මාශෝක රජ සමයේ අරහත් ධාතු වන්දනාව

අජාසත්ත මහරජ අසූමහා ශ්‍රාවකයන් වෙනුවෙන් ස්තූප අසූවක් තැනූ බව මහා ධාතු නිධාන කතාවේ මීට පෙර ඔබ ඉගෙන ගන්නා ලදී. ගරා වැටුණු ස්තූප ධර්මාශෝක රජ සමයේ නැවත පිළිසකර කළේය. බක්කුල මහරහතන් වහන්සේගේ නිහඬ ජීවිතය පිළිබඳව එතරම් සතුටු නොවූ මහරජු උන්වහන්සේගේ ධාතු සෑයට තුට්ටුවක් පූජා කළ විට එය නැවත කැරකී රජු ළඟට ආ විස්තරයක් මීට පෙර ඔබ දන්නවා ඇති. විශ්මයට පත් මහරජු අන් ස්තූපවලට මෙන් ලක්ෂයක් කහවනු පූජා කළේය. මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු තුන්වැනි ධර්ම සංඟායනාවට සහභාගි වූ රහතන් වහන්සේගේ ධාතු තැන්පත් ස්තූප තිබේ. තව ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ වෙනුවෙන් ස්තූපයක්ද ඉදි කළේය. ආනන්ද, ස්තූපය විශාලා මහනුවර ධාතු තැන්පත් කළේ අශෝක අධිරාජයා විසිනි. මහරහතන් වහන්සේලාගේ උතුම් ධාතුන් වහන්සේ වෙනුවෙන් උපරිම ගෞරවය ලැබීමට ධර්මාශෝක රජු විශාල ලෙස කටයුතු කර තිබේ.

මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ

මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් වැඩිය පසු ඉතිරි වූ ධාතුන් වහන්සේ මිහින්තලාවෙත්, රජගල ආදී ප්‍රදේශවලත් තැන්පත් වූ බව පොතපතේ සඳහන් වේ. ඉත්ථිය, උත්ථිය ආදී රහතන් වහන්සේගේ ධාතු ස්තූපත් ගොඩනැඟී තිබේ. නමුත් අපේ වාසනාවකට මිහින්තලාවේ මිහිඳු සෑය කැණීමෙන් ලැබුණු මිහ¼ිදු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේත් භෂ්මාවශේෂත් අද මිහින්තලා නව ධාතු මන්දිරයේ තැන්පත්ව තිබේ. එය විශාල පුණ්‍ය වාසනාවකි. අප කාටවුවත් වන්දනා කර ගැනීමට පුළුවන් ආකාරයට ඒ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇත. නීලගිරි මහා සෑයෙන් ලැබුණ ධාතුන් වහන්සේ අතරත් මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඇතැයි විශ්වාසයක් පවතී.

සංඝමිත්තා රහත් තෙරණියගේ ධාතුන් වහන්සේ

මහා ප්‍රජාපති මහරහත් තෙරණිය වෙනුවෙන් කළ ධාතු ස්තූපයේ නටබුන් දඹදිව සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ ගන්ධකුටිය සමීපයේ අදටත් දක්නට තිබේ. දෛවෝපගත ධර්මයක් නිසාදෝ රහත් තෙරණිවරුන්ගේ ධාතු ස්තූප අප්‍රකටයි. ධාතුන් නො මැතිව නොවේ. අපත් කඩුවෙල උඩුපිල අනගාරිකා අසපුවේ යසෝධරා රහත් තෙරණියගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට යසෝධරා සෑය ඉඳි කළේය. සංඝමිත්තා මහා රහත් තෙරණින් වහන්සේගේ ධාතූ ස්තූපය ථූපාරාමය සමීපයේ තිබේ. අදටත් වන්දනා කරන්න පුළුවනි. හෙළවැසි කාන්තාවන්ට විමුක්තිය දුන්නේ ඒ උත්තමාවිය යි. එනිසා කාන්තාවන් විශේෂයෙන්ම ඒ උතුම් සෑ රජුන්ට උපහාර කරන එක සද්පුරුෂ ක්‍රියාවකි. ඒ හැර රහත් භික්ෂුණින්ගේ ස්තූප අප්‍රකටයි.

ඛුද්දක තිස්ස නොහොත් ඛුජ්ජතිස්ස මහා සෑය

මෙය නම් අප්‍රකට කාරණාවක්. ධර්මාශෝක නරේන්ද්‍රයා මරණයෙන් පසු ලංකාවේ ඉපදුණි. ඛුද්දක තිස්ස නමින් ඉපදී තරුණ වයසේ දී පැවිදිව අරහත්ව වනවාසීව හුදකලාවේ වාසය කළේය. උන්වහන්සේගේ විස්තර “ඉතා පැරණි සිංහල බණකතා” සහස්ස වත්ථුවේ තිබේ. අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහා නා හිමිපාණන් විසින් එම පොත පරිවර්තනය කොට තිබේ. ලංකාවේ රහතන් වහන්සේ හා ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් ගැන එහි විශේෂ කොට විස්තර වේ. ඒ වගේම රසවාහිනිය පැරණි පොතක්. ඒ පොතේද විස්තර තිබේ. ඉතින් ඛුද්දකතිස්ස නොහොත් ඛුජ්ජතිස්ස මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත්ව තිබෙන්නේ රුවන්මැලි මහා සෑයත් ජේතවන සෑයත් අතර තිබෙන ශෛල ස්තූපයේ. අද කාගෙත් අවධානයෙන් බැහැරව හුදකලාවේ ඒ ස්තූපය තිබේ. දඹදිව ගිය කෙනෙක් ඒ වගේම අශෝක රජුන්ගේ නිරවුල් ජීවන චරිතය හා ශාසන සේවාව දන්නා අයෙක් ඒ සෑයට නම් අනිවාර්යෙන් වන්දනා කරාවි. එය අරහන්තක ධාතුන් වහන්සේ තැන්පත් සෑයකි.

හෙළවැසි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ

මිහිඳු මහරහතන් වහන්සේ ආරම්භ කළ අරිට්ඨ මහරහතන් වහන්සේගේ පටන් පැවතෙන මහරහතන් වහන්සේගේ ධාතු ස්තූප ලංකාවේ තිබේ. නමුත් එය බොහෝ දෙනා නොදනී. බොහෝ ධාතු ස්තූප අසද්පුරුෂයන් විසින් විනාශ කොට ඇත. ඒ වගේම කාලිංගමාඝ , සොලී ආක්‍රමණ, විවිධ ආක්‍රමණ මේ විනාශයට තවත් හේතුවකි. මලියදේව මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ විවිධ ස්ථානවල වැඩ සිටී. චිත්තගුත්ත මහරහතන් වහන්සේ ධම්මදින්න මහරහතන් වහන්සේ, මහානාග මහරහතන් වහන්සේ ආදී ප්‍රකට සමහර රහතන් වහන්සේ වැඩසිටිය මේ හෙළවැසි අරහන්ත ධාතුන් වහන්සේ යම් ප්‍රමාණයක් නන් දෙස වැඩ සිටී. නමුත් නම් වශයෙන් හඳුනා ගත නොහැකියි.

පසේ බුදුවරුන්ගේ සහ සක්විති රජවරුන්ගේ ධාතුන් වහන්සේ

චීන සංචාරක භික්ෂුවක් වූ ප්‍රකට නම් ඇති ෂා හියන් හා හියුං සියෑං භික්ෂූන් වහන්සේලා දඹදිව සැරිසරන විට පසේ බුදුවරුන්ගේත් සක්විති රජවරුන්ගේත් ධාතූන් වහන්සේලා හා ස්තූප දුටු බව ඒ දේශාටන වාර්තාවල තිබේ. නමුත් අද ඒ ගැන කිසිදු විස්තරයක් හමු නොවේ. අපට මතක හැටියට කපිලවස්තු මාලිගා නටබුන් තිබෙන ප්‍රදේශයේ පසේබුදු සෑයක විස්තරයක් තිබුණි. නමුත් ඒ ස්තූප කවුරුත් නොදනී. පසේබුදුවරු පහළ වන්නේ සම්මා සම්බුදුවරු පහළවන කාලවල නොවේ. එනිසා සමහර විට සම්බුද්ධ ශාසනයක් පවතින කාලවලදී ඒ විස්තර අප්‍රකට විය හැකියි. ඉසිගිලි පර්වතයේ මුදුනෙත් ස්තූපයක් තිබේ. නමුත් විස්තර නැත. කෙසේ නමුත් පසේ බුදුවරුන්ගේ හෝ සක්විති රජවරුන්ගේ ධාතුන් වහන්සේ අප දැක නැත.
බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ සම්බුද්ධ වර්ගයෙක් මෙසේ වදාළ සේක.
පූජාරහේ පූජයතෝ 
බුද්ධේ යදි ව සාවකේ
ප පඤ්ච සමතික්කන්තේ
තිණ්ණසෝකපරිද්දවේ

පිරිනිවන් වැඩි , බිය තැති ගැනීම් නැති, කෙලෙස් පැටලැවිලි ඉක්මවා ගිය, ශෝක වැළපීම් වලින් එතෙර වූ බුදුරජාණන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයන්ට හෝ එබඳු පූජනීය උතුමන්ට යමෙක් පූජා සත්කාර වැඳුම් පිදුම් කරනවානම් ඔහුට රැස්වන පින මෙපමණයි කියා මැන කියන්නට පුළුවන් කමක් නැත.
තේ තාදිසේ පූජයතෝ 
නිබ්බුතේ අකුතෝභයේ
න සක්කා පුඤ්ඤං සංඛාතුං 
ඉමෙත්තමපි කේනචීති

කිසි ලෙසකිනුත් බිය තැති ගැනීම් නැති නිවුණු සිත් ඇති එබඳු උතුමන්ට පූජා සත්කාර කරන පුද්ගලයාගේ ඒ පින මෙපමණයි කියා මැන කියන්නට පුළුවන්කමක් නැත.
ඒ අනුව බලනවිට සම්බුදු ගුණ දන්නා අරහත් ගුණ දන්නා කෙනෙකුට ධාතුන් වහන්සේ වන්දනාවෙන් කෙතරම් පිනක් රැස්වෙනවා ද


අසිරිමත් ධාතු පුරාණය 27 කොටස

මහා ධාතු පරිනිර්වාණය


තථාගතයන් වහන්සේගේ පහළවීම ප්‍රඥා ඇස පහළ වීමයි. ප්‍රඥා ලෝකය පහළ වීමයි. මාර්ග ඵලයන්ගේ පහළ වීමයි. රහතන් වහන්සේගේ පහළ වීමයි. “බුද්ධෝ හවේ කප්ප සතෙහී දුල්ලභෝ” බුදුවරු කල්ප සියයකටත් දුර්ලභයි. ඉතින් ඒ සෑම බුදුරජාණන් වහන්සේගේම අසිරිමත් උපත, සම්බුද්ධත්වය, පරිනිර්වාණය සිදුවන්නේ වෙසක් පුන් පොහෝ දිනයකදී ය.

ත්‍රිවිධ පරිනිර්වාණය

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑම යනු කවුරුත් අසා ඇති දෙයකි. ඒත් ත්‍රිවිධ පරිනිර්වාණය ගැන බොහෝ දෙනා නොදනී. ඒ පරිනිර්වාණ තුන
(1) ක්ලේෂ පරිනිර්වාණය - දඹදිව වජ්‍රාරාසනයේ සිට දසමරුන් පරදා සියලු කෙලෙසුන් නසා සම්බුද්ධත්වයට පත්වීම ය. මෙය “සෝපාදිසේස පරිනිර්වාණ ධාතුව” නමින්ද හැඳින්වේ.
(2)ස්කන්ධ පරිනිර්වාණය – උපාදාන ක්ෂය කිරීමෙන් පඤ්චස්කන්දයේ සසර පැවැත්ම නතර කරවූ මුනිවරුන්ට ඇත්තේ ජීවිතය පවතින තුරු පවතින පඤ්චස්කන්ධයකි. එය බැහැර කිරීම පිරිනිවන් පෑම, ස්කන්ධ පරිනිර්වාණය යි. මෙය “අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුව” ලෙසද හැඳින්වේ.
(3) ධාතු පරිනිර්වාණය - බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන් භාග්‍යවතුන් වහන්සේ යැයි සලකා ධාතූන් වහන්සේට වන්දනා කරති. ඒ ධාතුන් වහන්සේත් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වන දිනයක් උදාවේ. එය “ධාතු පරිනිර්වාණය” යි.

සෑම බුදුවරයකුගේම ධාතුන් වහන්සේ වෙන්වීම සිදුනොවේ

මෙයට කියන්නේ ධාතු විසිරීම හා ඒකඝණ වීම කියායි. අටවිසි බුදුවරු ඔබ දනිති. ඒ අතර දීපංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, අනෝමදස්සි, නාරද, පදුමුත්තර, සුජාත, පියදස්සී, සිද්ධත්ථ, තිස්ස, විපස්සී, සිඛී, කකුසද, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේ 16 නමගේ ධාතුන් වහන්සේ විසිරුනේ නැත. ඒකඝන විය. ඒ කියන්නේ මුළු බුදු සිරුරේම ධාතුන් වහන්සේ එකටම පිහිටීමයි. එක ධාතුන් වහන්සේ නමයි. එවිට තුන් ලෝකයටම එක ධාතු ස්තූපයයි. ඉතින් යොදුන් ගණනක් උසට ඒ ධාතු ස්තූප රන් , මිණි මුතු වලින් නිම කෙරේ. ඒ වගේම රේවත, සෝභිත, පදුම, සුමේධ, අත්ථදස්සි, ඵුස්ස, වෙස්සභූ, කෝණාගමන හා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ නව නමගේම ධාතුන් වහන්සේ විසිරුණි. ඒ අනුව එක එක ප්‍රමාණවලට ධාතුන් වහන්සේ වෙන් විය. ධාතු ස්තූප විශාල ප්‍රමාණයක් ගොඩනැඟුණි.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතු විසිරීම

අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත නිකෙලෙස් ගුණය, බුද්ධානුභාවය මුළු සිරුර පුරාම පැතිරී තිබුණි. බුදු සිරුර පමණක් නොවේ උන්වහන්සේ වැඩ සිටි ආසනය, පෙරවූ චීවරය, දන් වැළඳු පාත්‍රය පවා පූජනීය විය. ඒවායින් පවා අනේක විධ ප්‍රාතිහාර්ය සිදුවී ඇත. සිරිපා කමල් ස්පර්ෂ කළ භූමීයත් පූජනීය වේ. එතරම් නිකෙලෙස් බව ආශ්චර්යවත් දෙයකි. අනන්ත සම්බුදු ගුණ, දසබල ඥාන, විශාරද ඥාන, අසාධාරණ ඥාන, සබ්බඤ්ඤුත ඥාන, අනන්ත මෛත්‍රිය, මහා කරුණා සමාපත්ති ඥානය ආදී ගුණයෙන් ස්පර්ෂ වූත් උතුම් බුදු සිරුර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභමාන වුණි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මැටි පිඬක් වෙන් කළද, එය උද්දේශික ධාතුවක් වුණි.

ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසු ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ ඉතිරි වුණි. උතුම් නලල් (ලලාට) ධාතුන් වහන්සේ අකු ධාතු දෙනමත්, සතර දළදා වහන්සේත් නොබිඳී එලෙසම තිබුණි. ඉතිරි ධාතුන් වහන්සේ ප්‍රමාණ තුනකට බෙදී තිබුණි. මුං පියලි ප්‍රමාණයට රන් පැහැයෙන් නැලි පහක් ද, කඩ සහල් ප්‍රමාණයට මුතු පැහැයෙන් නැලි පහක්ද, අබ ඇට ප්‍රමාණයට කුමුදු මල් පැහැයෙන් නැලි හතක් ධාතුන් වහන්සේ බෙදුණි. නැලි දහසයක් ධාතුන් වහන්සේ ද්‍රෝණ අටක් වුණි. ඒ උතුම් ධාතුන් වහන්සේගේ පරිනිර්වාණය මෙතැන් සිට. . .

ශාසනය අතුරුදහන් වීම

පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේධ ශාසනය කියා කොටස් තුනකි. ප්‍රතිවේධ ශාසනය යනු මාර්ගඵල ලැබූ ශ්‍රාවකයන් සහිත බුදු සසුනයි. පළමුවෙන් මාර්ගඵලලාභීන් සහ මාර්ගඵලලාභීන් බිහිවීම ලෝකයෙන් අතුරුදහන් වේ. ප්‍රතිපත්තිය යනු - සීල, සමාධි, ප්‍රඥා ගුණ පුරුදු කරමින් ශාසනය බබුළුවමින් වෙහෙර විහාර කරගෙන ගුණ දහම් පුරුදු කරන කාලයක් තිබේ. මාර්ගඵල ලබන්නා කොපමණ උත්සාහ දැරුවත් අවබෝධයකට නො පැමිණේ. ප්‍රතිපත්තිය පමණක්ම හික්මීම සිදුවෙයි. මාර්ගඵලාවබෝධයක් නොවන්නේ තමා තුළ මෝරා ගිය පුණ්‍ය ශක්තිය නැති නිසාය. ඒ ප්‍රතිපත්තියේ හැසිරීමත් අතුරුදන්ව, දුස්සීලව, පාපී හැසිරීම් ඇතිව ලාභ සත්කාරයෙන් මත්ව ශාසනය කිලිටි කර ගනිති. ඒ ප්‍රතිපත්ති ශාසනය අතුරුදහන් වීමයි. පර්යාප්තිය යනු - මූලික බුද්ධ වචනය අතපත ගාමින් හෝ සාකච්ඡා වේ නම් එතැන සුළුවෙන් හෝ බුද්ධ ශාසනය තිබේ. පින් පව්, කුසල් අකුසල්, වැඳුම් පිදුම් ගැන කතාවේ. එයත් අතුරුදහන් වන දිනයක් එළැඹේ. එවිට මිනිසුන්ගේ ආයුෂ විශාල ලෙස අඩුවී ඇත. පින් පව්, කුසල් අකුසල් අම්මා, තාත්තා හඳුනන්නේ නැත. වැඳුම් පිදුම් කිරීමක්, ධාතුන් වහන්සේ ස්තූප, බෝධීන් වහන්සේට ගෞරව සම්මාන සැලකුම් ද නැත. ධාතුන් වහන්සේට වන්දනා කොට පින් රැස්කර ගන්නා එක් අයෙකුවත් ලෝකයේ නොමැති දිනක් උදාවේ. එදින පරිනිර්වාණය සිදුවේ.

ලංකාවේ සියලු ධාතුන් වහන්සේ රුවන්මැලි සෑයට එකතුවීම

මේ ධාතු පරිනිර්වාණය සිදුවන්නේ වෙසක් පෝය දිනකයි. ලංකාවේ ඇති සියලු ස්ථානවල තිබෙන ධාතුන් වහන්සේ රුවන්වැලි සෑයට එකතු වේ. සේරුවිල ලලාට ධාතුන් වහන්සේ, නුවර දළදා වහන්සේ, සෝමාවතියේ දළදා ධාතුන් වහන්සේ, ථූපාරාමයේ අකු ධාතුන් වහන්සේ මහියංගනය, මුතියංගනය ආදී සියලු ධාතුන් වහන්සේ යටත් පිරිසෙන් අබ ඇටක් පමණ ධාතුන් වහන්සේ නමක් නිවසක කරඬුවක හෝ තැම්පත්ද, ඒ සියලු ධාතුන් වහන්සේ අහසින් සුදු හංස පෙරහරක් සේ වැඩම කොට රුවන්මැලි සෑයට එකතුවන බව සඳහන් ය. මහා සෑය දෙ බෑකොට ද්‍රෝණයක් ධාතුන් වහන්සේ ආකාශයට පැන නැඟී මුතු මාලාවක් සේ ඒ සියලු ධාතුන් වහන්සේ එකතුව ෂඩ්වර්ණ රශ්මිධාරා විහිදුවමින් නාගදීපයට ආකාශයෙන් වඩිති. නාගදීප සෑය පලාගෙන මිණි පළඟ ආකාශයට වඩින අතර, ඉහත කී සියලු ධාතුන් වහන්සේ ඒ මිණි පළඟේ තැන්පත් වේ. ධාතුන් වහන්සේ පිහිටිය ඒ මිණි පළඟ ආකාසයෙන් දඹදිව වජ්‍රාරාසන භූමියට වැඩම කරන බව සඳහන්.

සියලු සක්වල ධාතුන් වහන්සේ එක්වේ

මේ වනවිට සිළුමිණ සෑයෙන් කේශ ධාතුන්, දකුණු දළදාවත්, බඹලොවින් සළුමිණ සෑයේ අකු ධාතුව ඇතුළු සියලු ධාතූන් වහන්සේත්, ඒ ඒ සක්වල ධාතුන් වහන්සේ වජ්‍රාරාසන භූමියට වැඩම කරති. භාග්‍යවතුන් වහන්සේගේ සියලු ධාතුන් වහන්සේ වැඩම කරති. අනන්ත දස දහසක් සක්වල දෙවියෝ, නාගයෝ, බ්‍රහ්මයෝ බුද්ධ භූමිය පිරිවරා ගනිති.

බුදු සිරුර මැවේ යමාමහා ප්‍රාතිහාර්ය සිදුවේ

ඒ සියලු ධාතුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ තිබුණ ආකාරයටම පිහිටති. නලල් තලය ඒ තැනද, අකු ධාතුන් වහන්සේ ඒ තැන, කේශ ධාතුන් වහන්සේ සිරසේද, දන්ත ධාතුන් වහන්සේ මුව මඬලේද, යටත් පිරිසෙන් අබ ඇටක් පමණ ධාතුන් වහන්සේ ඒ ඒ ධාතු පිහිටිය තැනම පිහිටති. නව අනුදහසක් රෝම ධාතු ඒ ආකාරයටම පිහිටති. දෙතිස්මහා පුරුෂ ලක්ෂණයෙන් හෙබි උතුම් බුදු සිරුර මැවේ. ඒ ධාතු ශ්‍රී බුද්ධ ශරීරය ආකාශයට පැන නැඟී ලෝකධාතුව කම්පා කරවමින් යමක මහා ප්‍රාතිහාර්ය පෑම සිදුවේ. එය ධාතුන් වහන්සේගේ අවසන් දැක්ම වේ. ගස්වලින් වැසී පැවැති වජ්‍රාරාසන භූමිය නැවතත් බුද්ධත්වයට පත් වූ දා තිබුණා සේ පොළොවෙන් මතුවේ. ඒ බුදු සිරුර වජ්‍රාරාසනයේ වැඩ සිටිති. මේ සියල්ල සිදුවන්නේ එදා අපේ බුදුරජාණන් වහන්සේ කළ අධිෂ්ඨානය අනුවයි. ඉන් අනතුරුව වජ්‍රාරාසනයෙන් පැන නඟින මහා විශාල ගිනි කඳකින් සියලු ධාතුන් වහන්සේ ආදාහනය සිදුවේ. අකනිඨා බඹලොව දක්වා ඒ ගිනි සිළුව විහිදී යති. නැවත කිසිම දිනක ධාතුන් වහන්සේ නමක් දැක ගන්නට ලැබෙන්නේ නැත. දෙවියන්, බඹුන් හඬා වැළපෙන්ට පටන් ගනී. බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ පිරිනිවන් පෑවට වඩා අඳෙීනාවක් ලොව පුරා පැතිරේ. ගෞතම බුදු සසුන අතුරුදහන් වේ. මිහිමඬල කම්පා වේ. විදුලි කෙටීමෙන් මහා වර්ෂා ඇතිවේ. බිහිසුණු දේ සිදුවේ. ඉන්පසු උදාවන්නේ මහා අභාග්‍යය සම්පන්න යුගයකි.

ලෝකයේ පූජනීය සියලු දේ අතුරුදහන් වේ

ඒ ක්ෂණයෙහිම ඒ මොහොතේම අනුරපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, අෂ්ඨඵල, දෙතිස්ඵල ආදියෙන් එන පරම්පරා උතුම් බෝධි සියල්ල අතුරුදහන් වේ. සියලු බුද්ධ ප්‍රතිමා, ශ්‍රී පාද ලාංඡන, ස්තූප අතුරුදහන් වේ. පව්කාර මිනිසුන්ගේ ලෝකය අන්ධකාරයෙන් වැසී යති. කුසල් යන නාමය පවා අතුරුදන් වේ. ඒ යුගය අතිශයින් බිය ජනකය. පාපතර ය.
එනිසා ඔබත් අද අදම ධර්මයට ආසා කරන්න. සසර ගැන කළකිරෙන්න. බුදුවරු නැති ලොවක කිසි දෙයක් සුන්දර නැත. මේ සසර ඉතා භයානකය. එනිසා අපටත් මේ ගෞතම බුදු සසුනේදීම සසර දුකින් නිදහස් වීමට වාසනාව උදාවේවා.


අසිරිමත් ධාතු පුරාණය 28 කොටස

ධාතූන් වහන්සේගේ උතුම් ප්‍රාතිහාර්යය


ධාතු පුරාණය පිළිබඳව බෞද්ධයෙක් ලෙස ශ්‍රද්ධාවන්ත උවැසි උවැසියෙකු විසින් දැනගත යුතු බොහෝ කරුණු ඔබ කලක් තිස්සේ ඉගෙන ගත්තේය. එලෙසම ඊට අදාල බොහෝ සිද්ධස්ථාන පිළිබඳවත් අප කථා කළෙමු. එහිදී ප්‍රකට ස්ථාන කිහිපයක පමණක් තොරතුරු කථා කළ අතර, මේ උතුම් ලක් දෙරණේ තවත් උතුම් ධාතූන් වහන්සේ තැන්පත් නොයෙක් සිද්ධස්ථාන ඇත.
අප්‍රකට වූ පමණින් ඒ ස්ථානවල ධාතූන් වහන්සේ වැඩ නොසිටිත් ද විශේෂයෙන්ම ධාතු ස්තූප, ධාතු වන්දනා, ධාතු ප්‍රදර්ශන ආදිය මෑතක සිට ඉතා උත්කර්ශවත් අන්දමින් සිදු වේ. මේ සමහර අවස්ථාවල ධාතූ ස්තූපයෙන් ප්‍රාතිහාර්ය සිදුවන අවස්ථා අප දැක තිබේ. අසා තිබේ. නමුත් සමහර ස්තූපවලින් කිසිදු ප්‍රාතිහාර්යක් සිදුනොවේ. ප්‍රාතිහාර්ය සිදු නොවන්නේ ඒ ස්තූපවල ධාතුන් වහන්සේ වැඩ නො සිටින නිසාද
අද තිබෙන මේ ප්‍රාතිහාර්ය ප්‍රශ්නය අතීතයේදීත් ඇති වී තිබේ. මේ ගැන අපූරු විස්තරයක් බුද්ධ පරිනිර්වාණයෙන් වසර 500 ක් පමණ ගියකළ පහළ වූ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කොට ඇත. රහතන් වහන්සේ නමකගේ විග්‍රහය සංශෝධන නැත.

මිලින්ද රජතුමා දිනක් නාගසේන මහරහතන් වහන්සේගෙන් අසා සිටියේ ස්වාමිනි නාගසේනයන් වහන්ස, පිරිනිවීමට පත් වූ සියලු රහතන් වහන්සේගේ ධාතු චෛත්‍යයන්ගෙන් ප්‍රාතිහාර්යය වෙනවා ද නැතිනම් ඇතැම් රහතන් වහන්සේගේ ධාතු චෛත්‍යයන්ගෙන් ප්‍රාතිහාර්යය වෙනවාද
මහරජාණෙනි, ඇතැම් රහතුන්ගේ ධාතු චෛත්‍යයන්ගෙන් ප්‍රාතිහාර්යය සිදුවේ. ඇතැම් ධාතු චෛත්‍යයන්ගෙන් එසේ නොවෙයි.
ස්වාමිනි, කවර රහතුන්ගේ ධාතු චෛත්‍යයන්ගෙන් ප්‍රාතිහාර්යය වෙයිද කවර රහතන් වහන්සේගේ ධාතු චෛත්‍යයන්ගෙන් ප්‍රාතිහාර්යය නොවේද
මහරජාණෙනි, තුන් වාදෑරුම් අධිෂ්ඨානයන්ගෙන් එක්තරා අධිෂ්ඨානයක් නිසා පිරිනිවි ගිය රහතුන්ගේ ධාතු චෛත්‍යයන්ගෙන් ප්‍රාතිහාර්යය සිදුවේ.
1. මහරජාණෙනි, මේ බුදු සසුනෙහි රහතන් වහන්සේ වැඩ සිටියදී දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් “මේ චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය වේවා”. යි අධිෂ්ඨාන කරන සේක. උන්වහන්සේගේ අධිෂ්ඨානය නිසා ධාතු චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය සිදුවේ. මෙසේ පිරිනිවී ගිය රහතුන්ගේ අධිෂ්ඨානයෙන් එම ධාතු චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය සිදුවේ.
2. තවද මහරජාණෙනි, දෙවිවරු මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් පිරිනිවී ගිය රහතුන්ගේ ධාතු චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය දක්වති. මේ ප්‍රාතිහාර්යය නිසා සද්ධර්මය කෙරෙහි ස්ථිර ශ්‍රද්ධාවක් ඇති කර ගන්නේය. මිනිසුන් ප්‍රසන්නව කුසලයෙන් බොහෝ සේ වැඩෙන්නා හු ය කියාය. එසේ දෙවියන්ගේ අධිෂ්ඨාන වශයෙනුත් පිරිනිවි ගිය රහතුන්ගේ ධාතු චෛත්‍යයෙන් ප්‍රාතිහාර්යය සිදුවේ.
3. තවද මහරජාණෙනි, නුවණැති ව්‍යක්ත, දැනමුතු, බුද්ධි සම්පන්න ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ශ්‍රද්ධාවෙන් ප්‍රසන්න ව නුවණින් කල්පනා කොට සුවඳ මල් හෝ වස්ත්‍ර හෝ එක්තරා දෙයක් ගෙන කිසිවක් අධිෂ්ඨාන කොට මෙසේ වේවා, යි කියා රහතුන්ගේ ධාතු චෛත්‍යයට පුජා කරයි. ඒ අධිෂ්ඨාන වශයෙන් පිරිනිවී ගිය රහතුන්ගේ ධාතු චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය සිදුවේ. මෙසේ මිනිසුන්ගේ අධිෂ්ඨාන වශයෙනුත් පිරිනිවී ගිය රහතුන්ගේ ධාතු චෛත්‍යයෙහි ප්‍රාතිහාර්යය සිදුවේ.
මහරජාණෙනි, මෙසේ තුන් වැදෑරුම් අධිෂ්ඨානයන්ගෙන් එක්තරා අධිෂ්ඨානයකින් පිරිනිවි ගිය රහතුන්ගේ ධාතු චෛත්‍යයන්හි ප්‍රාතිහාර්යය සිදුුවේ.
මහරජාණෙනි, ඉදින් රහතුන්ගේ අධිෂ්ඨානයක් නැතැනම්, ෂඩ් අභිඥාලාභී, චේතෝ වශීප්‍රාප්ත, ක්ෂීණාශ්‍රව රහත් නමකගේ ධාතු චෛත්‍යයෙන් හෝ ප්‍රාතිහාර්යයක් සිදු නොවේ.
මහරජාණෙනි, යම් චෛත්‍යයක ප්‍රාතිහාර්යයක් දකින්නට නොමැති වුවත්, උන්වහන්සේගේ චරිතාපදානයන් දැක ඒ රහතුන්ගේ පිරිසුදු ජීවිතය ගැන තේරුම් ගත යුත්තේ ය. මේ බුද්ධ පුත්‍රයන් වහන්සේ ඉතා මැනැවින් පිරිනිවන් පා වදාළ සේකැ යි නිසැක බවට පත්විය යුත්තේ ය. අදහා ගත යුත්තේය.
මේ විස්තර අවසානයට අගේ ඇති කරුණු කිහිපයක් ඉස්මතු වේ. ඒ නම් රහතන් වහන්සේගේ විශේෂ අධිෂ්ඨානයක් නොමැති නම් ප්‍රාතිහාර්ය සිදුනොවේ යන්නයි. නැතිනම් ධාතුන් වහන්සේ නොමැති නිසා නොවේ. මෙතැන රහතන් වහන්සේ ගැන සඳහන් වුවත් බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ අනුසාරයෙන් දරා ගැනීම වරදක් නොවේ.

ප්‍රාතිහාර්ය නොවන ධාතූන් වහන්සේ අබියස ඔබේ සිත

ඉහත විස්තරය අවසානයේ දක්වා තිබෙන්නේ යම් ස්තුපයකින් ප්‍රාතිහාර්යය සිදු නොවුණත්, උන්වහන්සේගේ නිකෙලෙස් පාරිශුද්ධ ආනුභාව සම්බන්ධ ජීවිත දෙස බලා සිත පහන් කරගත යුතු බව. එවිටයි බොහෝ පින් රැස්වන්නේ. ඇත්තටම ශ්‍රද්ධාව සිතේ උපදවා ගත්තානම්, මේ අසවල් ධාතු ස්තූපයයි කියු සැනින් මහත් වූ පී‍්‍රති ප්‍රමෝදයකින් වන්දනාමාන කරමින් පින් කර ගැනීමට අවස්ථාව තිබේ. එයම ඔහුට ප්‍රාතිහාර්යයකි. එනිසායි ඔබ ධාතුන් වහන්සේ පිළිබඳව මනා වැටහීමකින් පසුවිය යුත්තේ.

බුදුරැස් විහිදෙන කිරි ඉතිරෙන ස්තූප

සෝමවතිය මහ සෑයෙන් රැස් විහිදේ. එය කවුරුත් දනිති. එය රහතන් වහන්සේගේ අධිෂ්ඨානයකි. ඒ වගේම බලවත් සර්වඥ ධාතූන් වහන්සේගේ ආනුභාවය. රත්නමාලි සෑ රජුන්ගේ ආශ්චර්යයමත් සිද්ධි ඔබ කොතෙකුත් අසා ඇති. රත්නමාලි මහා සෑයේ නම් ප්‍රාතිහාර්ය සහිතවමයි කථා ඇත්තේ. ද්‍රෝණයක් ධාතුන් රාම ග්‍රාමයේ රැකුණේ, නාගයන්ට ලැබුණේ මහා සෑයට සෘර්ධියෙන් වැඩමවූයේ ධාතු තැන්පත් වුණේ මේ සියල්ලම මහා ප්‍රාතිහාර්යයන් ය. මහ රජුගේ සෘර්ධියත්, රහතුන්ගේ සෘර්ධියත්, දෙවියන්ගේ සෘර්ධියත් ධාතුන් වහන්සේගේ ආනුභාවයත්, මහා සෑය සම්බන්ධව කොපමණනම් කතා තිබෙනවාද අදටත් රුවන්මැලි මහා සෑය ප්‍රාතිහාර්ය පාන අතර අතීතයේ රජවරු පූජාවන් පවත්වද්දීි සිදුවූ ප්‍රාතිහාර්ය මහාවංශය, ථූපවංශය අධ්‍යයනය කරන කෙනෙකුට හමුවේ. සේරුවිල ලලාට ධාතු ස්තූපයත්, අසිරිමත් ප්‍රාතිහාර්ය සිදුවේ. අතීතයේ සිදු වූ ප්‍රාතිහාර්ය ධාතු වංශයේ විස්තර වේ. මෑතක අප පිළිසරක කිරීමට ආරම්භ කළ සේරුවිල විල්ගම් වෙහෙරේ ප්‍රාතිහාර්යය ගම්මුන් විසින් පවසති. ථූපාරාමයේ බුදු සිරුර මැවී ප්‍රාතිහාර්ය සිදුවුණි. විනය සංගායනා කරනවිට මහපොළොව සෙලවුණි. ඒවා අධිෂ්ඨානයි. කිරි වෙහෙරේ කිරි ඉතුරුන අතර, එය අපූරු ප්‍රාතිහාර්යයකි. ඒ වගේම මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩසිටින දළදා වහන්සේ තරම් ප්‍රාතිහාර්ය පෑ ධාතුන් වහන්සේ නමක් තවත් නැත. මෑතකදී මුතියංගනය සෑ රජුන්ගෙන් රැස් විහිදී තිබුණි. මහියංගනය සෑ රජුන්ගේ නොයෙක් ප්‍රාතිහාර්ය සිදුවේ. කෙසේ නමුත් බොහෝ ධාතුන් වහන්සේ ඉතිරිවූයේ ප්‍රාතිහාර්ය සහිතවම ය. ස්තූපවල විටින් විට ප්‍රාතිහාර්ය සිදුවේ.

ශ්‍රද්ධාව නිසා සිදුවන ප්‍රාතිහාර්ය

ඉහත විස්තර වන මිනිසුන්ගේ සැදැහැ සිත පිණිස දෙවිවරුන් ස්තූපවල ප්‍රාතිහාර්ය ඇති කරති. ඒ වගේම මිනිසුන්ගේ ශ්‍රද්ධාව නිසාත් අධිෂ්ඨානය නිසාත්, ප්‍රාතිහාර්ය සිදුවෙති. කාශ්‍යප බුදු සසුනේ රන්වන් මහා සෑය “අභිසම්මත” කියන යක්ෂයා ආරක්ෂා කළ බව උපවාන රහතන් වහන්සේගේ අතීතයේ විස්තරයක දැක්වේ. යමක් ඒ උතුම් සෑ රජුන්ට යමක් පූජා කළවිට ඒ යක්ෂයා ඒ දේ සෑය වටේ ගෙනයති. එවිට සැදැහැවතුන් පූජා කළ දේ සෑය වටේ යනබව පෙනේ. නමුත් ගෙනයන කෙනෙක් නො පෙනේ. ඒ ප්‍රාතිහාර්ය නිසා මිනිසුන් තුළ ඉමහත් වූ ශ්‍රද්ධාවක් ඉපදිණි. අදත් එක් එක් ආකාරයට දෙවිවරුන් මුල් වී ප්‍රාතිහාර්යය සිදුවෙන අවස්ථා නැතිවා නොවේ.
පොළොන්නරුවේ පැරකුම් රජතුමා දළදා පෙරහර වීදියට සැපත් කරන විට මහා වර්ෂාවක් ඇද හැලී තිබේ. රජතුමා අධිෂ්ඨාන කරන්නේ ශ්‍රද්ධාවෙන් කරන මේ පිනට බාධා නොවේවා කියා. එවිට මහා වර්ෂාව වීදියේ දෙපසට වහින අතර, වීදියට වැසි වහින්නේ නැත.එය පුදුම ප්‍රාතිහාර්යකි. ඒ ශ්‍රද්ධාව නිසාය. දළදා වහන්සේ කොහොමටත් සැදැහැවතුන්ගේ අධිෂ්ඨානයෙන් නොයෙක් ප්‍රාතිහාර්ය සිදුකළ බව දාඨාවංශයෙන් අපට හමුවේ.
ප්‍රාතිහාර්ය නො දැක්කත්, නිකෙලෙස් මුනිවරුන් ගැන ඉගෙන ගන්න ලැබුණ විට ඒ ජීවිත ගැන අප පැහැදීමෙන් ශ්‍රද්ධාවක් ඇති කර ගත යුතු ය. උන්වහන්සේගේ ශරීරයේ කොටසක් නොව මේ ධාතූන් වහන්සේ නේද කියා හිතෙන විට පුදුමාකාර ගෞරවයක් ශ්‍රද්ධාවන්තයා තුළ ඉපදේ.
ඒ වගේම දැක පැහැදීම ඉක්මවා ගුණ සිහි කිරීමේ දුර්ලභ දේ ඔබට ලැබෙනවා නම් එයයි උතුම් වන්නේ. ශ්‍රද්ධාව කියන්නේ වටිනා ප්‍රාතිහාර්යයකි. ශ්‍රද්ධාව තිබෙනවා නම් මේ බුද්ධ ශාසනයම ඔබට ප්‍රාතිහාර්යක් වනු නියතය.

අසිරිමත් ධාතු පුරාණය 29 කොටස

සකල සතට සෙත සලසන උද්දේසික ධාතූන් වහන්සේ


ආනන්ද බෝධි කතාවේ ත්‍රිවිධ චෛත්‍යය ගැන කියැවේ. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික කොටස් ශාරීරික ධාතුන් වහන්සේ සේ සැළකේ. පාරිභෝගික යමක් වේනම් එයත් වැඳුම් පිදුම් ලැබීමට සුදුසුය. එය පාරිභෝගික ධාතූන් වහන්සේය. භාග්‍යවතුන් වහන්සේ යැයි සලකා ඉන් බාහිර යම් දෙයකට වන්දනා මාන කරයිනම් එය උද්දේසික ධාතූන් වහන්සේ ලෙස සැලකේ.
ශාරීරික වූත්, පාරිභෝගික වූත් ධාතූන් වහන්සේ ගැන අප සැලකිය යුතු පමණට විස්තර ඉගෙන ගත් අතර, ඒ උතුම් පරම පූජනීය පාරිභෝගික වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳව ඇති දැනුමනම් ඉතාම අල්පය. ඒ පිළිබඳව ඉදිරියේ ඔබ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර, අද කතා කරන්නේ උද්දේසික ධාතුන් වහන්සේ පිළිබඳව ය.

මුල් යුගයේ වන්දනා

මිනිසුන් වශයෙන් බුද්ධ ශාසනයේ මුල් යුගයේ බෝධින් වහන්සේට වන්දනාමාන කළ අතර, ආනන්ද බෝධීන් වහන්සේ රෝපිත වූයේ ඒ නිසාය. හුදෙක් භාග්‍යවතුන් වහන්සේට දෙව් මිනිසුන් පුදනු ලැබීය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වැඩි පසුව ශාරීරික සර්වඥ ධාතූන් වහන්සේ පිදුම් ලබති. පාරිභෝගික ධාතූන් ද පිදුම් ලබති. එදා බුදුරජාණන් වහන්සේ සිතුවමට හෝ කැටයම් මූර්තියකට හෝ ගැනීමට ශ්‍රද්ධාවන්තයින් පැකිලිණ. ඒ තථාගතයන් වහන්සේ ඔවුන් දෑසින් දුටු නිසාය. රහතන් වහන්සේගෙන් බුදුගුණ ඇසුව නිසාය. පිළිමයකට නෙලිය නොහැකි බුදුරජාණන් වහන්සේගේ අසහය රූප කාය ඔවුන්ගේ දක්ෂතා ඉක්මවා ගියේය. ඒ හේතුවෙන් ඔදවැඩී ගිය ශ්‍රද්ධාව ආදී හේතු නිසා බෝධීන් වහන්සේ ස්තූප,ධර්ම චක්‍රය, වජිරාසනය, සිරිපා සටහන් ආදියයි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වූයේ. ඒ සියල්ලම උද්දේසික ධාතුන් වහන්සේ ගණයට අයත් වේ. භාග්‍යවතුන් වහන්සේගේ චරණ සිරිපා කමල් වන්දනා කරන ලෙසයි එකල ශ්‍රාවකයා සිරිපා සටහන් කැටයමක් පවා වන්දනා කළේ.

ප්‍රතිමා වහන්සේ උද්දේසික ධාතුන් වහන්සේ නමකි

අද උද්දේසික චෛත්‍යයක් ලෙස විශේෂයෙන් අපට වන්දනාමාන කරගෙන පින් රැස්කර ගන්න ලැබෙන්නේ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ මුල් කරගෙනය. බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය ගැන ලොකු විස්තරයක් නැතත්, ධර්මාශෝක අධිරාජ්‍යයාගේ සමයේත් බුද්ධ ප්‍රතිමා නිර්මාණය වූ බවක් සටහන්ව නැත. එයට හොඳම උදාහරණය සාංචි කැටයම්. සාංචියේ කිසිම කැටයමක බුද්ධ ප්‍රතිමාව කැටයම් වී නැත. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෝධීන් වහන්සේ, ධර්ම චක්‍රය ආදිය සංකේතය වී තිබුණි. පසුකාලයේ දී යි ප්‍රතිමා නිර්මාණය වී ඇත්තේ. භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ ඔබට මතකද පිප්පිලි කුමාරයා රනින් ස්ත්‍රී රුවක් නිර්මාණය කළ බව. ඒවගේම ඒ කාලයේ තිබුණ චරණ කියා චිත්‍රයක්. ඒ චිත්‍රය ඇත්තෙන්ම සෙලවෙන බවකුයි දිස් වූයේ. කලාව දියුණු නමුත් ඒ කලාවටවත් භාග්‍යවතුන් වහන්සේගේ, රූපය නෙලිය නොහැකි දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි උතුම් ශ්‍රී ශරීරය නිර්මාණය කරන්නට නොහැකි විය. එයට හේතුව “දිස්සමානෝපි තාවස්ස රූප කායෝ අචින්තියෝ” පෙනෙන්නට තිබෙන බුදු සිරුර පවා අචින්තනීයයි. නමුත් ක්‍රි.ව. 2 වන සියවසේ කණිෂ්ක රාජ සමයේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය වූ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත බුදුගුණ අබියස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන්කළ යම් වස්තුවක් වේද, එයත් පූජනීයයි. ඒ නිසා උද්දේශික ධාතුන් වහන්සේ වන්දනා කරන විට පූජා සත්කාර කරනවිට බොහෝ පින් රැස්වේ.

ලෝකයේ වැඩිම මූර්ති නිර්මාණය බුද්ධ ප්‍රතිමා වහන්සේ

යම් ශාස්තෘන් වහන්සේ නමකගේ ප්‍රතිමා වැඩිපුරම නිර්මාණය වී ඇත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ. අදටත් ස්තූප නිර්මාණය කරනවිට දහස් ගණනක් බුද්ධ ප්‍රතිමා තැන්පත් වේ. අතීතයෙත් සමහර ස්තූපවල දහස් ගණන් බුද්ධ ප්‍රතිමා තැන්පත්ව තිබේ. බොහෝ බුද්ධ ප්‍රතිමා රනින්, රිදියෙන් මෙන්ම වෙනත් ලෝහ, ගල්, මැටි, ලී ආදියෙන් නිර්මාණය විය. ටික කලකට පෙර ඉන්දියාවේ අයෝධ්‍යාවේ විශාල අර්බුදයක් පැන නැගුණ අතර, හින්දු ආගමිකයින් පැවසුවේ අයෝධ්‍යාව රාමගේ නගරය යි. ඒ නගරය අපේ කියායි. ඉස්ලාම් ආගමිකයන් කියා සිටියේ ඔවුන්ගේ කියායි. අවසානයේ ප්‍රදේශයේ තෝරාගත් ස්ථාන කැණීම් කළ අතර, පුදුමයට මෙන් එක දිගට බුද්ධ ප්‍රතිමා මතුවී තිබේ. ඔවුන් ඒ ප්‍රතිමා එසේම වසා දමා ඇත.

දඹදිව වජිරාසනයේ අසිරිමත් බුද්ධ ප්‍රතිමා වහන්සේ

තුන්ලොවම මවිත කරවන ආනුභාව සම්පන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ වජිරාසන බුද්ධ ප්‍රතිමා වහන්සේ. හරිම සුන්දරයි. ශාන්තයි. කාරුණික නෙත් සඟල පුදුම සහගතයි. ඒ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ අතීතයේ නිර්මාණය වුණේ දෙවියන් අතින් බව කියැවේ. රජතුමාට අවශ්‍ය වූයේ සුන්දර බුදුරුවක් නිර්මාණය කිරීමට. එයට අපූරු අයෙකු ඉදිරිපත් වූවා. ඔහු රජතුමාට කියා සිටියේ මාස හයකට හරියන ආහාර ඇතුල් කර කුටියේ දොරවල් වසන්න කියාය. මාස හයෙන් ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන බවයි. රජතුමා එකඟ විය. ඒත් මාස තුනක් යනතැන දොර අරින රජු දකින්නේ අද නිර්මාණය වී තිබෙන ප්‍රතිමා වහන්සේයි. අර පුද්ගලයා කුටියේ නො සිටියේය. මාසය හයක් සිටියානම් කොපමණ සුන්දර ප්‍රතිමාවක් නිර්මාණය වේවිද? අද තිබෙන ප්‍රතිමා වහන්සේ ගේ සුන්දරත්වය කෙතරම් අද්විතීයද? මේ වනවිට කොතරම් සිවුරු පූජා වී ඇද්ද? කොතරම් දෙනා වන්දනාමාන කොට ඇද්ද? වජිරාසනයේ බුද්ධ ප්‍රතිමා වහන්සේනම් ඉතාම ආනුභාවසම්පන්නයි. අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූදා වැඩ සිටින විලසින් සිතා ශ්‍රද්ධාවෙන් වන්දනා කරගෙන පින් රැස් කරගන්න අවස්ථාව තිබේ. ලෝකෝත්තර ප්‍රාර්ථනා සිහි කරමින් ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරමින් වන්දනා කළ යුතුයි. වජිරාසන බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙවියන්, බඹුන්, නිරන්තරයෙන් වන්දනා කරන අති පූජනීය පාරිශුද්ධ ධාතුන් වහන්සේ නමකි. කුසිනාරාවේ පිරිනිවන් වැඩිය විලසින් නිර්මාණය වී ඇති ප්‍රතිමා වහන්සේ බොහෝ දෙනා පහන් සංවේගයට පත් කරති.

සිංහල බුදු පිළිමය

මේ වචනය හමුවන්නේ හිංයුසියංගේ වාර්තා වලය. එහිදී සිංහල දීපයෙන් දඹදිවට වඩමවන ලද ප්‍රාතිහාර්ය පාන බුද්ධ ප්‍රතිමාවක් ගැන විස්තර සඳහන් කර තිබේ. පෙරහරින් ප්‍රතිමාව වැඩමව ඇත. ඒ ප්‍රතිමා වහන්සේ ළඟ තබා ගන්න රජවරු යුද්ධ පවා කර ඇත. මේ ආකාරයට ඉතිහාසය විමසා බලන විට බුද්ධ ප්‍රතිමා වහන්සේ පිදුම් ලැබු බවත්, බොහෝ දෙනා පින්දහම් රැස්කර ගත් බවත් හොඳන් දකින්නට තිබේ.

අනුරාධපුර සමාධි ප්‍රතිමා වහන්සේ

අතීතයේ ගලින් නිර්මාණය කර රන් ආලේප කර නෙත් සඟලට ඉන්ද්‍රනීල මාණික්‍යය ඔබ්බවා තිබී ඇත. ඒ සියල්ලම විනාශ කළේ මිසදුටුවන් විසිනි. බොහෝ දෙනාගේ සිත ශාන්ත කරවන්න ඒ උතුම් ප්‍රතිමා වහන්සේට හැකි විය. අදටත් එසේමය. ලංකාවට තිලකක් බඳු ලංකාතිලකය පොළොන්නරුවේ නිර්මාණය විය. ගල් විහාරයේ උතුම් ප්‍රතිමා වහන්සේ අද්විතීයයි. සතුරු ආක්‍රමණ වලදී පවා පස්වලින් වසා බේරාගෙන ඇත. මේ සියලු ප්‍රතිමා වහන්සේ පූජනීයයි. වන්දනා කළොත් පින් රැස්වේ. බුද්ධානුස්සති සිතිවිලි ඇතිවේ. බුද්ධ ප්‍රතිමා දෙස බලාගෙන සිතේ දුක සනසා ගන්නා මිනිසුන් අදත් සිටී.

සක් දෙවිඳුන් මැවූ බුද්ධ ප්‍රතිමා වහන්සේ

අතීතයේ සුනාමි රළ පහරින් ලංකාව යට වෙන්නට යද්දී සක් දෙවිඳුන් උතුම් බුද්ධ ප්‍රතිමාවක් මවා තැන්පත් කළ බවත්, ඉන් මෙපිට ජල දහරාව නොගැලු බවත් ඉතිහාසයේ සඳහන් ය. කෙසේ නමුත් පසුගිය දා මෙරට මෙන්ම ජපානයේදීත් ඇති වූ සුනාමි ව්‍යසනයෙන් පුංචි බුද්ධ ප්‍රතිමා වහන්සේ පවා නො සෙල්වී තිබීම අසිරියකි. එය අප මවිත කළ අතර එයයි සත්‍යය. නේපාල භූමි කම්පාවේදී පවා ප්‍රතිමා වහන්සේ ඒ ආකාරයට වැඩ සිටියේය.

ස්තූප තුළ ප්‍රතිමා තැන්පත් කිරිම සුදුසුද?

ස්තූප තුළ ප්‍රතිමා තැන්පත් කිරීමේ සිද්ධිය ප්‍රතිහාර්ය යි. ඔබ අසා ඇති රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ පිරිනිවන් ඉරියව්වේ බුදුරුවන මවාගෙන වැඩ සිටින්නේ. අදටත් එසේමයි. සේරුවිල මංගල මහා සෑයේ නවරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නලල් තලයේ ඌර්ණ රෝම ධාතුව මතුකොට ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ. අතීතයේ ස්තූප කැණීම් වලදී කොපමණ බුද්ධ ප්‍රතිමා හමුවීද සර්වඥ ධාතුන් වහන්සේ වගේ ඒ කාලේ මිනිසුන් වෙතින් බුද්ධ ප්‍රතිමා වහන්සේත් නිදන් විය. ඒ දේවල් අදත් සිදුවේ.
එනිසා භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ කඳ අබියස උන්වහන්සේ වෙනුවෙන් වෙන්කළ වැලි කැටය පවා පූජනීය විය. ශ්‍රද්ධාව යනු උදක ප්‍රාසාද මාණික්‍යය වගේ දෙයකි. සංසිදේ. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිමාවල ප්‍රාතිහාර්ය අතීතයේ දීද සිදුව ඇත. බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු උතුම් උද්දේසික ධාතුන් වහන්සේගේ අනුහසින් ඔබට සියලු යහපත උදාවේවා.
- නයනා නිල්මිණි