ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

අසිරිමත් ධාතු පුරාණය 4

අසිරිමත් ධාතු පුරාණය 17 කොටස

ද්‍රෝණයක් ධාතුන් වහන්සේ මහා සෑයේ තැන්පත් කළේ දුටුගැමුණු නරේන්ද්‍රයාණෝ ය

මහකෙළ නා රජු ඇතුළු නාගයෝ රුවන්වැලි මහා සෑය අසළට විත් විලාප තැබූ බව අප සඳහන් කළ අතර අද එතැන් සිට. . .

නාග විලාපය

සියලු සත්ත්වයන්ගේ කරුණාවෙන් ඔබවහන්සේ බුදු වුණේ. මිනිසුනට පමණක් සෙත සඳහා පමණද? ඒ සෙත අපට නොමැතිද? පාරමිතා පුරා අමා නිවන අවබෝධ කර දහම් දෙසුවේ මිනිසුන්ට පමණද? අපට සෙත දෙන්නට නොවේද? සංඝයා වුවත් මිනිසුන් ගැනම පමණක් සිතයි. ඇයි අප ගැන සංඝයා වහන්සේ නොසිතන්නේ. ධාතුන් වහන්සේ විසිරුනු පසු දුටු දුටුවන් ඒ ධාතුන් වහන්සේ වන්දනා කිරීම බොහෝ යහපත පිණිස පවතී. ඇයි අපට ඒ ධාතුන් වහන්සේ දැකීමෙන් ඇස් වලින් විෂ වැගිරෙන්නේද? සසරෙන් නිදහස් විය යුතේතේ මිනිසුන් පමණද? අපට සසරෙන් නිදහස් වීමක් නොමැතිද? තථාගතයන් වහන්සේ පාත්‍රය උඩුගම් බලා යවද්දී ඒ පාත්‍රය වැටුණේ නා ලොවටයි. උන්වහන්සේ දින හතක් සත්සතිය ගත කරද්දී වැස්සෙන් ආරක්ෂා කළේ නා ලොව අපියි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ අවස්ථාවේදී පෙන ගොබ දහසක් මවාගෙන උන්වහන්සේට පී‍්‍රති ගෝෂා කළේ අනන්ත නම් නාග රාජයා නොවේද? ආදියෙන් නොයෙක් ආකාරයෙන් විලාප තැබුවේය. නාගයන්ට අනුකම්පා කළ රහතන් වහන්සේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේගෙන් ස්වල්පයක් ලබාදී වන්දනාමාන කරන ලෙස වදාළ සේක. එයින් සතුටට පත් නාගයෝ ක්ෂණයෙන් නැවත නා ලොවට ගොස් එහි තිබූ මුතු, මැණික්, රන්, රිදී, ආදිය ගෙනවිත් මහ සෑයේ ගර්භයේ තැන්පත් කළ බව ද සඳහන් වේ.

ලක් දෙරණ සසුනට පූජා කිරීම

සූසැට අභරණින් සැරසුණු දුටුගැමුණු මහරජාණෝ සත්රුවන් ආසනයේ වැඩසිටි ද්‍රෝණයක් ධාතුන් වහන්සේ සිරසින් වන්දනා කළ සේක. මෙවැනි අසිරියක්ද විය. මහා බහ්මයා ස්වේත වර්ණ සේසත් දරයි. සේසත් පෙනුනත් බ්‍රහ්මයා නො පෙනේ. සක්දෙවිඳුන් සක් හඬ පතුරයි. හඬ ඇසේ. සක්දෙවිඳු නොපෙනේ. සුයාම දෙවියන් නොපෙනේ. චාමරයෙන් පවන් සැලීම පෙනේ. සංන්තුසිත දෙවියෝ මොනර විජිනයෙන් පවන් සැලුවත් සැලෙන විජිනිය පෙනේ. දෙවියන් නො පෙනේ. සතරවරම් දෙවියෝ සතර කොණේ කඩු ගෙන සිටී. දිලිසෙන කඩු පෙනෙන මුත් දෙවියන් නොපෙනේ. දිව්‍ය බෙර හඬ ඇසේ. දිව්‍ය ගීතිකා රැව්දේ. නමුත් දෙවියෝ නොපෙනේ. මේ අසිරිය දුටු මහරජාණෝ තමාට හිමි මේ ලක් දෙරණින් ද්‍රෝණයක් ධාතුන් වහන්සෙට පිදු සේක. මහපොළොව කම්පාවිය. මිහිමඬලට දැනෙන සේ ලක්දෙරණ ගෞතම සසුනට පූජාකළ හේ අතිශයින්ම සැදැහැයෙන් ඔද වැඩී ගිය හෙළයේ සක්විති රජුය.

බුදු සිරුර පහළවීම

දෙවි, මිනිසුන් මලින් සුවඳින් පහනින් පංචතූර්ය නාදයෙන් සාදු නාදයෙන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේ පුදද්දී දුුටුගැමුණු මහරජු ස්වර්ණ වූ ඒ ධාතු කරඬුව තම සිරසින් ගෙන තුන්විටක් රන්මැලි සෑ පැදකුණු කොට නැගෙනහිර සෑයෙන් සෑ ගැබට ඇතුළු විය. සල්ගස් දෙකක් අතර වූ රිදී යහනේ ධාතුන් වහන්සේ කරඬුව තබන්නෙමි සිතු සැනෙන් ධාතු කරඬුව අහසට පැන නැඟී ධාතුන් වහන්සේ කරඬුවෙන් පිටතට වැඩ දෙතිස් පුරුෂ ලක්ෂණයෙන් හෙබි දුටු දුටුවන්ගේ දුක් දුරුකරවන හිරු සඳු පරදන තේජස් ඇති ෂඩ්වර්ණ රශ්මි දහරාවෙන් හෙඹි ශ්‍රී බුද්ධ දේහය පහළ විය. ඒ උතුම් අසිරිය දුටු පින්වතාණෝ ගැමුණුනම් මහරජාණෝ ය.

යමක මහා ප්‍රාතිහාර්යය

භාග්‍යවතුන් වහන්සේටම සාධාරණ වූ අන් අයට අසාධාරණ වූ ඒ යමක මහා ප්‍රාතිහාර්යය වනාහි වචනයෙන් ප්‍රකාශ කළ හැක්කක් නොවේ. ගිනිදැල් හා දිය දහරා විහිදුවමින් සිදු කරන ඒ ප්‍රාතිහාර්යය පුදුම සහගතය. ඒ ගිනිදැල් හා දිය දහරා ස්පර්ෂ නොවන තැනක් පෘතුවියේ නොවීය. ඔබ දැන් සිටගෙන සිටින යම් භූමියක්වේද එදා යමක මහා ප්‍රාතිහාර්යේ පහස ලැබූ මහා සෑයේ උණුසුම ලැබූ තැනක්ම ය. ඒ ගිනි දැල් හා ජල දහරා සක්වල කෙළවරටම විහිදී ගියේය. සැදැහැවත්හු අහස ගිඟුම් දෙන සාදු නාද පැවැත්වූහ. බොහෝ දෙනා බුද්ධාම්ලම්භන පී‍්‍රතියෙන් උපන්නා වු සමාධි සිත විදසුන් කොට මඟඵල ලැබූහ. මහරජ පී‍්‍රතියෙන් පිනා ගියේය. ඒ උතුම් ප්‍රාතිහාර්ය දුටු සිංහලයේ සක්විති රජාණෝ ගාමිණි අභය මහරජුය. ලක් දෙරණම සසුනට පූජාකළ මහරජුට තවත් පූජා කළ හැකි කිසිවක් නොවීය. නැවත නැවත රාජ්‍යයත්, ජීවිතයත්, ද්‍රෝණයක් ධාතුන් වහන්සේ විෂයෙහි පූජා කළහ.

ධාතුන් වහන්සේ තැන්පත් වූ ප්‍රාතිහාර්ය

සෘර්ධියෙන් පහළ වූ බුදු සිරුර අතුරුදහන්ව ද්‍රෝණයක් ධාතුන් වහන්සේ රුවන් කරඬුවෙන් බැස මහ රජාණන් සිරස මුදුනෙහිම පිහිටියේය. අභිෂේකය අභිනව අපමණ පී‍්‍රති ප්‍රමෝදයට පත් වූ ගැමුණු රජු රිදී යහන සමීපයට ගොස් රන් කරඬුවක නැවත තබා ඒ තුළ වූ මැණික් කරඬුවෙන් ධාතුන් වහන්සේ නැවත ලබා ගත්සේක. මෙසේ අධිෂ්ඨාන කළේය. මේ ධාතුන් වහන්සේට කිසිවෙකුට උපද්‍රවයක් කළ නොහැකි වේ නම්, බොහෝ දෙනාට හිත සුවසලසා පන්දහසක් කල තේජානුභාවය පතුරුවමින් වැඩ සිටින සේක් වී නම් මේ ගර්භයේ මැද සල් ගස් අතර පිරිනිවන් වැඩ අපගේ ශාක්‍යය සිංහයන් විලසින් පිහිටාවා. ඒ සිතු ක්ෂණයෙන්ම ඒ උතුම් ධාතුන් වහන්සේ රිදී යහනට වැඩ උතුරට හිසලා දකුණට පාද යොමා බටහිරට මුහුණලා නැඟෙනහිරට පිටලා පිරිනිවන් සේයාවෙන් පිහිටියේය. අදටත් රුවන්වැලි මහාසෑයේ ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ පිරිනිවන් වැඩි මුනිඳුගේ ප්‍රතිමාවක් ලෙසය. මේ අසිරිය දුටු ගැමුණු මහරජු කොතරම් වාසනාවන්තද? හේ හෙළයේ සක්විති මහ රජාණෝය.

ඇසළ පෝදා ධාතු නිධන් විය

ඇසළ පොහෝ දින මහා සෑයේ ධාතුන් වහන්සේ නිධන් විය. ඒ ක්ෂණයකින් මහපොළාව ගිගුරුම් දුණි. පොකුරු වැසි වැස්සේය. සාදු නාදයෙන් ගිගුම් දුණි. දුටුගැමුණු මහරජාණෝ තම හිසට සෙත පිණිස යෙදු රන්මය ඡත්‍රයද ලංකා රාජ්‍යයද, තමාගේ සියලු ආභරණද ධාතුන් වහන්සේට පිදුසේක. තවත් බොහෝ ප්‍රභූ ජනයා රන්, රිදී, මුතු, මැණික් ආදීන් පුදා දාගැබ වැසීය. රත්නමාලි මහා සෑ ගර්භයේ ඇති රන්, රිදි, මුතු, මැණික් සත් රුවන්වල වටිනාකම අදටත් මැනිය නොහැක. ඒ සා අනර්ඝ ප්‍රමාණ කළ නොහැකි වූ ධාතු උපහාරක් කළ සක්විති නරේන්ද්‍ර ගැමුණු මහරජාණෝ ය.

ධාතු ගර්භය දවස් හතක් විවෘත විය

රැස්්ව සිටි මහරහතන් වහන්සේ අනුහය කෙලක් විය. ඒ සියලු රහතන් වහන්සේට දවස් හතක් මහා දන් පැවැත්වූ අතර රාත්‍රි පහන් වනතුරු රහතන් වහන්සේ සෑ ගර්භයේ පිරිත් සජ්ඣායනා කෙරිණ. රුවන්මැලි සෑ ගර්භයේ අදටත් එම දෝංකාරය තිබේ. රහතුන්ගේත්, ධාතුන් වහන්සේගේත්, දෙවිවරුන්ගේත් සෘර්ධි ප්‍රාතිහාර්ය සියැසින් දුටු ඒ ගැමුණු නරේන්ද්‍රයා සාමාන්‍ය කෙනෙකුද? නැත. ඔහු හෙළ දිවයිනේ සක්විති මහරජාණෝ ය. වැලි මළුවේ මෙතෙක් සඟවා තිබූ දා ගැබේ පියන මේඝ වර්ණ පාෂාණ තැටිය රහත් සාමණේරයන් විසින් ගන්නා ලදී. එයින් ධාතු ගර්භය වැසීය. රහතන් වහන්සේ මෙසේ අධිෂ්ඨාන කළහ. ගැමුණු මහරජු ධා ගර්භයේ ගැල්වූ සුවඳ පන්දහසක් අවුරුදු එලෙසම සුවඳ හමමින් තිබේවා. තෙත් සුවඳ සුණු නො විලේවා. පිදූ මල් පර නොවේවා. දැල්වෙන පහන් නො නිමේවා. කිසිම පූජා භාණ්ඩයක් සෙලවිය නොහැකි වේවා. දා කුස කිසිම සිදුරක් නොමැතිව එකට පෑහේවා. සතුරෙකුට දා ගැබ නොව පාෂාන්න බිත්තියක්වත් දකින්නට නො ලැබේවා. මෙසේ අධිෂ්ඨාන කොට ධා ගර්භය වැසීය. ඒ අධිෂ්ඨාන අදටත් එසේමය.

තවත් සර්වඥ ධාතුන් වෙනම තැන්පත් කළා

ගැමුණු මහරජතුමා ප්‍රධාන රහතුන් වහන්සේ ධාතු ගර්භය එසේ වසා මිනිසුන්ටත් තම තමන් වන්දනා කරන ධාතුන් වහන්සේ සෑයේ තැන්පත් කිරීමට අවස්ථාව දුණි. ඒ අනුව ද්‍රෝණයක් ධාතුන් වහන්සේට අමතරව තවත් ධාතූන් වහන්සේ දහස් නමක් දා ගැබ මතුපිට තැන්පත් වී තිබේ.
ඒ අනුව මහා සෑයේ ඉතිරි වැඩ එතැන් සිට ආරම්භ විය. එදාමෙදා තුර මහා සෑයට කළ වන්දනා පුෂ්පෝහාර සුවඳ හා අනේක ප්‍රකාර පින්කම්වල ගණනක් නම් නැත. තුන්ලොව මහා ස්තුපය කළ සක්විති ගැමුණු නරේන්ද්‍රයා කෙතරම් පුණ්‍යවන්තයෙක් වේද?

අබ ඇටක් පමණ වූ ඒ සර්වඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් වුවද යම් කෙනෙක් වන්දනා කරත්ද, පූජා කරත්ද, ඒ චිත්ත ප්‍රසාදයෙහි කුසල විපාකය ජිවමාන සර්වඥයන්ට කරන පුජාවක් හා සමාන විපාක සැළසෙන්නේය. ද්‍රෝණයක් ධාතුන් වහන්සේ වැඩ සිටින රත්නමාලි මහා ස්තුපයට නමස්කාර වේවා.

අසිරිමත් ධාතු පුරාණය 18 කොටස

රුවන්වැලි මහා ස්තූපය කළ මහා රජු තුසිත දෙව්ලොව

හතරැස් කොටුව නිමවෙද්දී මහරජ ගිලන් වීම

පළිඟු බුබුලක් සේ බුබ්බුලාකාරයෙන් ගඩොලින් ගඩොල එක් වූ මහා ස්තූපරාජයන් වහන්සේගේ හතරැස් කොටුව නිමවන සමයේ ගාමිණි අභය රජු මහත් සේ ගිලන් විය. එවකට දිගාමඬුල්ල ප්‍රදේශ පාලනයේ යෙදී සිටි තම සහෝදර සද්ධාතිස්ස කුමරුන් ගෙන්වා මෙසේ අවවාද කළේය. “මා මිය යන්නට පෙර මහා ස්තූපයේ වැඩ අවසන් කිරීම ඔබට බාරයි”. ගැමුණු රජුගේ අවසන් සමයේ සිතේ මහත් සේ දෝංකාර දුන්නේ මහා ස්තූපයේ වැඩ අවසන් විම පිළිබඳවයි. ලංකේශ්වර නරපතියකුගේ උදාර සංකල්පයේ ප්‍රතිමූර්තිය ගැමුණු මහාරජු බව සැලකුවොත් එහි වරදක් නැත.

කොත් කැරැල්ලේ වැඩ අවසන් වූයේ සුදු පිරුවටයෙන්

සද්ධාතිස්ස කුමරු රජු බොහෝ ගිලන් බව දුටු හෙයින් සහා සෑයේ වැඩ අවසන් කිරීමට කාලය මදිබව දැන ගත්තේය. මහා භාණ්ඩාගාරයෙන් සුදු පිරුවට ගත් සද්ධාතිස්ස කුමරු සෑ රජුන්ගේ කොත් කැරැල්ල අදාල ශිල්පීන් ලවා බඳවන ලද්දේය. මුළු මහා සෑයම සුදු පිරුවටයෙන් වටකොට හුණු පිරියම් කළා සේ දක්නට සැලැස්වීය. එක්සිය විසි රියන් උස දාගැබ් වහන්සේ කොත් පළඳා බැබලි බැබලි දිස්විය. රන්සිවි ගෙයි පිවිස ගැමුණු රජු මහා සෑය පැදකුණු කොට සෑයේ දකුණු දොරටුවේ පැණවූ ආසනයක් මත සැතැප වීය. දකුණු පසින් මහා සෑයත්, වම් පසින් නවමහල් ලෝවාමහාපායත් දකින ගැමුණු රජුතුමා පී‍්‍රතියෙන් පිනා ගියේය. අද රජුගේ අවසන් දිනය යි.

ථේරපුත්තාභය මහ රහතන් වහන්සේ

මහියංගණයේ පටන් විසි අටක් මහා යුද්ධ කරන සමයේ, රජුට සහාය වු ථේරපුත්තාභය යෝධයා කලකට පසු පැවිදි විය. කෙලෙස් යුද්ධය දිනා මහරහත් භාවයට පත් වූහ. අනුහය කෝටියක් මහරහතුන් වහන්සේ ගැමුණු රජු වටකොට පිරිත් සජ්ඣායනා කළ සේක. ථේරපුත්තාභය මහා රහතුන් වහන්සේ කොහිදැයි රජු හාත්පස බැලුවේය. ගුත්හලකිරිදි අසල අංජලි පර්වතයේ පන්සියයක් රහතුන් සමඟ වාසය කළ ථේරපුත්තාභය මහා රහතන් වහන්සේ රජු ඉදිරියේ සැණකින් සෘර්ධියෙන් පහළ වූ සේක. මරණය ඉදිරියේ සිටින මහ රජුට උපන් සත්ත්වයා මරණය ඉක්මවා නොමැති බව නොයෙක් අයුරින් කරුණු ගෙන දහම් දෙසූ සේක. රජු මහත් සොම්නසට පත්විය.

ගැමුණු රජුගේ පින්පොත

පින්පොත් කියන ඇමැතියෝ අනුනවයක් විහාර කර වූ පුණ්‍ය කර්මාන්ත රජුට සිහි ගැන්විය. මිරිසවැටිය, ලෝවාමහාපාය කර වූ අයුරු සිහි ගැන්විය. නොයෙක් දන් දුන් අවස්ථා නොයෙක් පුද පූජාවන් සිහි ගැන්විය. වෙදහල්, දන්හල්, මංමාවත් කර වූ අයුරු ද, සත්ත්ව සිවුපාවුන්ට පවා දන් දුන් අයුරුද සිහි ගැන්විය. ධර්ම දානය කිරීමට ආසාවෙන් ලෝවාමහාපායේ මංගල සූත්‍රය දේශනා කළ අතර කියාගත නොහැකි සතුටකින් ධර්ම දේශනාවේ ආනුභාවය සිහිකොට ධර්ම දේශකයාණන් වහන්සේට මහත් වූ සද්කාර කරවූ ආකාරය සිහි ගැන්විය.

අපූරු පින්කම් දෙකක්

කොලොම්හල, කුඩුකන සායෙහි කුණ්ඩලා ආභරණ දෙක විකුණා තණසාලේ බත් මුලක් ගෙන රහතුන් පස් නමකට පුජාකළ පිනත්, යුධගණාවේ මලණුවන් සමඟ කළ යුද්ධයේදී පැරදී වනගත වූ ගැමුණු කුමරු සාගින්නෙන් පෙළෙද්දීම කන්නට තිබූ බත් තැටිය රහතුන් පස් නමකට දන් දුන් විස්තරයත් කියවද්දී එතැනින් එහාට පින්පොත කියවීම නතර කරන්නැයි රජු අණ කළේය. මක් නිසාද යත් දුෂ්කරව කළ ඒ පින්කම් රජුගේ සිත මහත් සොම්නසට පත් කළේය. දැහැමින් ලැබූ දෙයින් තමා ගැන නො සිතා රහතුන්ගේ සිත් පුරා පි‍්‍රතියෙන් ශ්‍රද්ධාවෙන් ඉතිරි නොකොට දුන් එම දානයේ පින් මහත්ඵල බව විස්තර කරමින් ථේරපුත්තාභය මහරහතන් වහන්සේද රජු තව තවත් සතුටු කළ සේක.

දිව්‍ය ලෝක හයෙන්ම රථ පැමිණිම

රහතන් වහන්සේ පිරිත් සජ්ඣායනා කළ අතර වෙව්ලන අත් ඇති ගැමුණු රජු සැදැහැ සිතින් පිරිත් ඇසීය. ඒ අතර රජුට පෙනුනේ මනස්කාන්ත දිව්‍ය රථ හයක් ආකාසයේ සැරිසරන බවයි. මහරජතුමනි, අපගේ දිව්‍ය රථයට පැමිණෙන්න, අපගේ රථයට පැමිණෙන්න ඔවුන් ආරාධනා කළහ. ඝෝෂා කරන්න එපා. මදක් ඉන්න යැයි රජු දිව්‍ය රථවලට පැවසුවත් ඒ බව නොදත් සංඝයා පිරිත් සජ්ඣායනය නවතා දැමූහ. එවිට රජු ස්වාමිනි, මා එසේ පැවසුවේ ඔබ වහන්සේට නොවේ යැයි පැවසුවේය. ථේරපුත්තාභය මහරහතන් වහන්සේ වදාළා “රජතුමනි පිරිසකගේ සැකය දුරු කිරීම සඳහා මල්මාලා අහසට විසිකරන්න. රජු එසේ කළ අතර ඒ මල්මාලා දිව්‍ය රථ හයේම එල්ලුණි. මල්මාලා අහසේ එල්ලී තිබෙන මුත් දිව්‍ය රථ කිසිවෙකුට නොපෙනේ. රජතුªමා ඉතාමත් සිහියෙන් රහතන් වහන්සේගෙන් අසනවා ස්වාමිනි, දිව්‍ය ලෝක හයෙන්ම දෙවිවරු පැමිණ සිටී. මොන දිව්‍ය ලෝකයද වඩාත් සුදුසු? රහතන් වහන්සේ වදාළා රජතුමනි, තුසිත දිව්‍යලෝකය වඩාත් සුදුසුයි. ඔබ ඒ ලෝකයේ සිත පිහිටුවා ගන්න. රජතුමා රුවන්වැලි සෑය දෙස බලමින් වෙව්ලන දෑත් එක්කොට වැඳ සිහියෙන් තුසිත දෙව්ලොව සිත පිහිටුවාගෙන කළුරිය කළේය.
දුටුගැමුණු රජු මිය ගිය විගස තුසිත දිව්‍ය රථය පහළ විය. ඒ දිව්‍ය පුත්‍රයාගේ ආනුභාවය කෙතරම්ද කියනවානම් ඔහු පළඳාගෙන සිටි ආභරණ ගලවා කරත්තවලට දැමුවොත් කරත්ත 60ක් තරම් රන් තිබුණි. එතරම් විශාල ආනුභාවසම්පන්න ආත්මභාවයක් ඔහුට ලැබුණි. විමානයට පෙරයි දිව්‍ය රථය පහළ වුණේ. ඒ දිව්‍යපුත්‍රයා මිනිසුන්ට පෙනෙන්නටම දිව්‍ය රථයෙන් බැස රුවන්වැලි මහාසෑය වටා දිව්‍ය ශරීරයෙන් තුන්වරක්ම පැදකුණු කැරිණ. ගැමුණු රජු දිව්‍ය ලෝකයේ ඉපදී පළමු කෘත්‍ය ලෙස කළේ ධාතුන් වහන්සේ වැඳීමයි. ඉන්පසු ‘පින්වත්ති පිනේ ආනුභාවය බලන්න, පින්වතුනි පිනේ ආනුභාවය බලන්න’ යැයි කියමින් පී‍්‍රති ඝෝෂාකරමින් එතැනින් අතුරුදන් වී තමාගේ විමානයේ පහළ විය.

සෑයේ වැඩ නිමවීම

සද්ධාතිස්ස රජු මහා සෑයේ කොත් කැරැල්ල පළඳා සුදු පිරියම් කර මහා සෑයේ වැඩ කටයුතු අවසන් කළේය. එකසිය විසි රියන් උස මහා සෑය අදටත් විරාජමානව බබලයි. දෙනෝදහක් දෙනා වඳිමින් පුදමින් පින්කර ගනී. තුන් ලෝකයේම ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් එකම ස්ථානය ඒ රුවන්වැලි මහා සෑය විනා වෙන කුමක්ද? දෙනෝ දහසක් දෙනා වඳින පුදන යම් ස්තූපයක් තිබේනම් රුවන්වැලි මහ සෑය විනා වෙන කුමක්ද?

මෛත්‍රී බෝසතාණන්ගේ දකුණත් අගසව්

ඒ වගේම සැඟවුන සිදුවීමක් රහතන් වහන්සේ ඉස්මතු කළේය. කාවන්තිස්ස රජු මෛත්‍රි බෝසතාණන්ගේ පියාද, විහාරමහා දේවි උන්වහන්සේගේ මව් ලෙසද, දුටුගැමුණු මහාරජ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණත් අගසව්ද, තිස්ස රජු වමත් අගසව් ලෙසද, දුටුගැමුණු රජුගේ නැන්දා කෙනෙකු වූ අනුලා දේවිය මෛත්‍රී බෝසතාණන්ගේ බිසවද, සාලිය කුමාරයා මෛත්‍රී බෝසතාණන්ගේ පුතා ලෙසද, දුටුගැමුණු රජුගේ භාණ්ඩාගාරයේ සිටි අංග කියන ඇමැතියා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකද, ඒ වගේම භාණ්ඩාගාරිකගේ දුව අග්‍රඋපස්ථායිකාව ලෙස ඉපදී මෛත්‍රී බුද්ධ ශාසනය බබළවන බවද හෙළි කළේය.
එසේනම් අපත් සතුටුවිය යුතුයි මෛත්‍රි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් පෙර ජීවිතයේදී මේ ලංකා තලයේ ඉපදී බුද්ධ ශාසනය බැබැලවීමට නොයෙක් අයුරින් කටයුතු කිරීම පිළිබඳව. ඒ වගේම මේ මහා ශ්‍රාවක පිරිසම ඇසුරුකළේ රුවන්වැලි මහා සෑයයි.
එනිසා ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් රත්නමාලි මහා සෑයේ අනුහසින් මිනිසුන්ට පෙනි පෙනී දෙව්ලොව ගිය දිව්‍ය පුත්‍රයාගේ අනුහසින් ඔබට සෙත් වේවා.

අසිරිමත් ධාතු පුරාණය 19 කොටස

රත්නමාලි මහා සෑයේ අනුහසින් පිහිට වෙයි සතහට

මේ ලෝකයේ දීර්ඝායුෂ මෙන්ම අල්පායුෂ බුදුරජාණන් වහන්සේ් පහළ වන සේක. දීර්ඝායුෂ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ බෙදීමක් සිදුනොවේ. බුද්ධ ශරීරයම එකම ධාතුන් වහන්සේ නමක් ලෙස ඉතිරිවේ. එය “ඒකඝනවීම” ලෙස හැඳින්වේ. අටවිසි බුදුරජාණන් වහන්සේ අතරින් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ බෙදුණ අතර එම ධාතුන් වහන්සේ මුං පියලි, කඩ සහල් සහ අබ ඇට ප්‍රමාණයට බෙදිණ.
මේ තුන් ලෝකයේම ද්‍රෝණයක් ධාතුන් වහන්සේ එකම තැන පිහිටා ඇත්තේ රුවන්වැලි මහා සෑයේ යි. බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අඩු නිසා උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසුවත් මිනිසුන්ටත්, දෙවියන්ටත් වැඳ පුදාගෙන සුගති සැප සලසා ගැනීම පිණිසයි ධාතුන් වහන්සේ ඉතිරිවෙන්නේ. ඒ නිසා රුවන්වැලි සෑය වැනි උතුම් ස්ථානවල ධාතුන් වහන්සේ වඳින,පුදන,සත්කාර කරන චිත්තප්‍රසාදයෙන් පසුවෙන අයට දෙව්ලොව උපත් හිමි වනබව සඳහන් වේ. එසේනම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් රන්වැලි මහා සෑයට හෝ වෙනත් ධාතුන් වහන්සේ තැන්පත් ස්තූපවලට වඳින, පුදන, ගෞරව උපහාර කරන පිරිස දෙව්ලොව යති.
අමාමහ නිවනට පින් පිරෙන පුණ්‍ය කර්ම ගැන සඳහන් “නිදිකණ්ඩ” සූත්‍රයේ දැක්වෙන්නේ දාගැබ් වන්දනා කරනවානම්, නිවන පිණිස පින් පිරෙන බවයි. ඒ වගේම ථේරාපදානයක “ධාතු පූජික” නම් රහතන් වහන්සේගේ විස්තරයක් සඳහන්. උන්වහන්සේ අරහත්වයට පත් වූ පසු ජීවිතය ආපස්සට බැලූ කල දකින්නේ ධාතුන් වහන්සේ වන්දනා කළ පින් බලයෙනුයි උන්වහන්සේ අරහත්වයට පත්වී ඇත්තේ. එනිසා අමා නිවන සොයාගෙන යන කෙනෙක් සිටීනම් රුවන්වැලි මහා සෑය වගේ උතුම් ස්ථාන වන්දනා කරමින් නිවන තුළ සිත පිහිටුවා ගැනීමමයි වටින්නේ.
අද කාලයේ බොහෝ දෙනෙකු විවිධ ප්‍රශ්නවලින් පීඩා විඳී. ඒ අතර අමනුස්සයන්ගෙන් වෙන කරදර විශේෂයි. යක්ෂ, පේ‍්‍රත, භූත, පිසාච, කුම්භාණ්ඩ වගේම අණවින, කොඩිවිණ, හදි හූනියම් ආදී දෝස වලින් දුක් විඳී. මිනිසුන්ට එන මේ දුක් කරදර පීඩා වලින් ගැලවීමට අපහසුය. ඊට අමතරව යන්ත්‍ර, තන්ත්‍ර, මන්ත්‍ර ආදී ගුප්ත විද්‍යාවන් කරන මිනිසුන් අහිංසක මිනිසුන් නොමඟ යවති. මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවය සම්පූර්ණ භූමිය වටා පැතිරී තිබෙන අතර එහි රහතන් වහන්සේ බොහෝ සේ වන්දනා කළ ස්ථානයි. ඒ වගේම රහතන් වහන්සේ පිරිත් දේශනාකළ, සාධුකාර දුන් තැන්. රුවන්වැලි මහා සෑ මළුව කියන්නේ අමනුෂ්‍යයන්ගේ වාසස්ථානයක් නොවේ. යම් කෙනෙකුට අමනුෂ්‍ය ප්‍රශ්නයක් තිබේනම් අණවින කොඩිවින දෝෂ තිබේනම් ඒ අයට රුවන්වැලි සෑය ඇසුරෙන් ඒ දෝෂ මඟහරවා ගත හැකියි. එසේ පිහිට ලබාගත් අය සිටින අතර ඒ සඳහා කළයුතු වත්පිළිවෙත් ද තිබේ.
එසේ කරදර තිබේනම් ඔබ මහා සෑය සැදැහැ සිතින් වන්දනා කර බුදුගුණ, රතන සූත්‍රය ආදිය සජ්ඣායනා කොට සෑය වටා තුන්වතාවක් ප්‍රදක්ෂිණා කරන්න. ඉන්පසු මහා සෑයේ පාදමේ නළල තබා වන්දනා කරන්න. මහා සෑය භාග්‍යවතුන් වහන්සේ ලෙස සිතා උන්වහන්සේගේ සිරිපා කමළ වන්දනා කරමියි යන චිත්තප්‍රසාදයෙන් යුතුව බුද්ධ වන්දනාව කළ හැකියි. රතන සූත්‍රය, ආටානාටිය තුන් වතාවක් හෝ සජ්ඣායනයෙන් පසු නැවත භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරන ආකාරයට මහා සෑය වඳින්න. ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් රත්නමාලි මහා සෑයට නමස්කාර වේවා. මාගේ ජීවිතය ධාතුන් වහන්සේ තැන්පත් මහා සෑයට පූජා කරමි. පූජා වේවා. ඒ සෑයේ අනුහසින් මාගේ දොස් දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් පාදමේ නළල තබාගෙන අධිෂ්ඨාන කළයුතු වේ.
නැවත මෙත්සිත පතුරන සූත්‍ර සජ්ඣායනා කර දෙවියන්ට පින් දෙන්න. මේ ආකාරයට පැයකට අධික වෙලාවක් සෑ මළුවේ ගත කිරීමෙන් ඔබගේ දෝෂ දුරුවේ. ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ අනුභාවයෙන් ඒ දෝෂ දුරු වෙනවාමයි.
ඒ වගේම යම් කරදරයකදී ඉවසීම දුර්වල පුද්ගලයන් මානසිකව ඇද වැටේ. එවැනි අයත් පෙර කී පිළිවෙලටම පාදමේ නළල තබා වන්දනා කරන්න. පෙර ජීවත් වූ මිනිසුන් ගේ චාරිත්‍රයක් ලෙස පොල් ගෙඩිය ප්‍රාණය ලෙස සිතා මහා සෑයට ප්‍රාණ පූජාව ලෙස පොල් පූජා කර තිබේ. ඉන්පසු ජීවිත පූජාව කෙරේ. මේ ආකාරයට බොහෝ දෙනා සුවපත් වී තිබේ. සැදැහැවතුන් ආරක්ෂා කරන දේව මණ්ඩලයක් තිබෙන අතර ඔවුන්”සෙන්පති දෙවිවරු” ය. දෙවියන්, මිනිස් ලොව දෙස බලනවිට මුලින්ම පෙනෙන්නේ රුවන්වැලි මහා සෑයයි. ආටානාටියේ සඳහන් වන “ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝච” කියන ගාථාව හත් වතාවක්වත් සජ්ඣායනා කිරීම උතුම්. එසේ කියනවිට දෙවියන්ට එය දැනේ. එය බලය බවට පත්වේ. මෙබඳු පිරිස බෞද්ධ කොඩි, හැරයටි, ඖෂධ මහා සෑයට පූජා කිරීමෙන් ධාතුන් වහන්සේගෙන් පිහිට ලබාගත හැකියි. රතන සූත්‍රය, ධජග්ගය ආටානාටිය ආදී පිරිත් කියමින් සෑ මළුවේ වැඩි වෙලාවක් ගත කිරීම සුදුසුයි. ඒ වගේම ලෙඩ දුක් වැඩි අය ඖෂධ පූජාවක් මහා සෑයට පූජා කරමින් වන්දනා කිරීම සුදුසුයි. ජීවිත පූජාව හතර පස් දෙනා එකතුව කිරීම අපහසුයි එය තනිව තනිවම අවංකව කළයුතු වේ.
අද කාලයේ තිබෙන වටපිටාවත් සමඟ බොහෝ තරුණ පිරිස කාමයට ඇබ්බැහිවීමක් තිබෙන අතර එයින් ගැලවීමට අවශ්‍යතාවයක් තිබුණත් ගැලවීමට නොහැකිව සිටී. දුරකතන සහ පරිගණක භාවිතය නිසා නොමඟ ගිය පිරිසට යහමඟට ඒමට අපහසුයි. ඒ වගේ අය මහාසෑය අනිවාර්යයෙන්ම වැඳ ජීවිතය පූජා කළයුතු වේ. පළමු අවස්ථාවේ සුවයක් නැත්නම් දෙවැනි වතාවේදීත්, තුන්වැනි වතාවේදීත් මහසෑය වන්දනා කළයුතුයි. මේ ආකාරයට රුවන්වැලි මහා සෑයම ඇසුරු කරගෙන ඒ ප්‍රශ්නය විසඳා ගත හැකියි.
අප දන්නවා පොඩි දරුවන් ලෙඩ වුණාම වැඩිහිටියන් කියනවා ඇස්වහ, කටවහ දෝෂ කියා. ඒ වාගේ අවස්ථාවලදී ධජග්ග පිරිත සුදුසුයි. රෝගාතුර අයෙක් වෙනුවෙන් මහාසෑය වන්දනා කරද්දී බොජ්ඣංග පිරිත සුදුසුයි.
ඒ වගේම දරුවන් බලාපොරොත්තුව සිටින අයටත් මහාසෑයෙන් පිළිසරණක් ලබාගත හැකියි. පෙර කී පිළිවෙලට වන්දනා කොට දෙදෙනාගේම ජීවිත මහා සෑයට පූජා කරමින් අංගුලිමාල පිරිත විසිඑක් වතාවත් හෝ සජ්ඣායනා කිරීමත් දම්සක්පැවතුම් සූත්‍රය සජ්ඣායන කර පින්වත් දරුවෙකු ප්‍රාර්ථනා කළ යුතු වේ. පැන් පාත්‍රයක් මහා සෑයට පූජා කර පිරිත් කියා අවසානයේ මහාසෑයෙන් අවසර ගෙන පැන් පාත්‍රය දින කිහිපයක් මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරමින් ඒ පැන් පානය කළ යුතුයි. ඒ වත්පිළිවෙත් කරන අතර අභයදාන පින්කම් ද කළ හැකියි.
එනිසා ලංකා ධරණීතලයේ සැදැහැවන්ත ශ්‍රාවකයා පුළුවන් හැම අවස්ථාවකම මාස හයකට වතාවක් හෝ අවුරුද්දට වතාවක් හෝ මහාසෑය අනිවාර්යෙන් වන්දනා කළයුතු වේ. අනිවාර්යෙන් ජීවිත පූජාව කළයුතුයි. එයින් විශාල ශක්තියක් ලැබේ. මේ ආකාරයට මහාසෑය පිළිබඳව බලවත් ශ්‍රද්ධාවක් ඇතිකරගත් පසු තමන්ගේ නිවසේ බුදුපහන දල්වා තමන්ට පිහිට ලබාගත හැකිය. එසේනම් අප නොදන්නාකම නිසාම අප අසලම ලොකු සම්පතක්, වස්තුවක් තබාගෙනයි විවිධ අරමුණුවල සිර වී සිටින්නේ. රුවන්වැලි සෑයට ඒ ආකාරයෙන් පූජාවක් කිරීමේ වාසිය තමන්ට පැමිණ තිබෙන දෝෂ දුරුවීමත් අප්‍රකටව ඇති දෝෂ ඉස්මතු නොවීමත්ය. ඒ වගේම ඒ දෝෂවලින් පිහිටක් ගන්න තමන්ට යම් මාර්ගයක් හෝ සැකසෙති. මේ අකාරයට තමන්ගේ නිවසේ ප්‍රශ්නවලදී, විවාහ ජීවිත ගැටළුවලදී, ඉඩකඩම් ප්‍රශ්නවලදී භූමි ප්‍රශ්නවලදී මහා සෑයේ පිහිට ලබාගත හැකිය.
කර්මදෝෂයක් හැරුණ විට සාමාන්‍ය දෝෂවලින් හටගන්නා ලෙඩදුක් කරදර පීඩා තිබේනම් රුවන්වැලි සෑයේ වැඩසිටින ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවය රහතන් වහන්සේගේ අධිෂ්ඨානය සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ පන්සියයක් රහතන් වහන්සේ සමඟ වැඩසිටි බිම, රහතන් වහන්සේ මහාසෑය වන්දනා කළ පින, බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන්, රහතන් වහන්සේගේ, දෙවියන්ගේ සෘර්ධියෙන්, ගොඩනැඟුන මහා සෑය ගැන සිහිකරමින් වතාවත් කරනවිට ඒ ධාතුන් වහන්සේට වඳින පුදන පිනයි, පිරිත් ආදියේ බලයයි එකතු වේ. තිස්පැයේම දෙවියන් වන්දනා කරන යම් තැනක් තිබේනම් ඒ මහා සෑයයි. ඕනෑම වෙලාවක එතැන දෙවි කෙනෙක් සිටී. ඒ දෙවියන්ගේ බැල්ම ලැබෙන අතර අප වැඩි කාලයක් මළුවේ වන්දනා කිරීමෙන් සමහර විට දෙවිවරුන් මොහුගේ ඉෂ්ඨකාමී දෙවියෙකු සම්බන්ධ කර ප්‍රශ්න සංසිඳවීමට උපකාර කරති. එනිසා තෙරුවන් සිහිකොට වන්දනා කර ජීවිතය පූජා කරමින් අපට පිහිටක් ලබාගත හැකියි.
අපට තිබෙන මහා සම්පතක් වන මහා සෑයේ වැඩ සිටින ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් සැමට පිහිට පිළිසරණ සැලසේවා.

අසිරිමත් ධාතු පුරාණය 20 කොටස

පාරිභෝගික වූත් උද්දේශික වූත් වාම සිරිපා ධාතුන් වහන්සේ

මනෝ නන්දනීය වූ දෙව්රම් වෙහෙරෙන් වෙසක් සඳ නැඟෙන රැයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහරහතුන් පිරිවරා කැලණියට වැඩම කොට දන් වැළදූ අයුූරු අප මීට පෙර කතා කළෙමු. අද අප කථා කරන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ලෙසම අප වන්දනා කරන දෙවියන්ගේ, බඹුන්ගේ සිරස ස්පර්ෂ කළ, නිකෙලෙස් මහරතන් වහන්සේ කොතෙකුත් වන්දනා කරන, පිනැත්තන් සිරසින් වන්දනා කරන ශාක්‍යසිංහ ගෞතම අප මුනිඳුන්ගේ සිරිපා චරණකමල පිළිබඳවයි.
තථාගතයන් වහන්සේගේ සිරිපාව පොළොව මත පිහිටන්නේ උන්වහන්සේගේ අධිෂ්ඨානයකින් පමණි. එසේ අධිෂ්ඨාන කළ හතර ස්ථානයක් තිබේ. එනම්,
* නර්මදා නදියේ සිරිපා - නර්මදා නදිය මුහුදට වැටෙන මායිමේ මානික්‍ය අතරේ සැඟව මානික්‍යයක් මත රැඳි සිරිපාවයි. ඒ උතුම් සිරිපා කමල දෙවියන්, බඹුන්, නාගයින් වන්දනා කරන අතර අද එය මිනිස් ඇසට අදෘශ්‍යමානව පවතී.

* සච්ච බද්ධ පව්වේ සිරිපා - හිමාල වනයේ මුදුන් සතක් සහිතව පිහිටි එකිනෙක බැඳි පර්වතයක් වූ මෙහි සච්චකනම් සෘෂිවරු පිරිසක් අතීතයේ තපස් රැක තිබේ. ඒ නිසා ඒ පර්වතයට සච්චබද්ධ පර්වතය ලෙස නම් වී තිබේ. ඒ පර්වත මුදුනේ පිහිටි සිරිපාවත් දැන් මිනිස් ඇසින් ඈත්වී තිබේ.
* යෝනක පුරයේ සිරිපා - බොහෝ දෙනා යෝනක පුරයේ සිරිපාව ලෙස හඳුන්වන්නේ මෙයයි. බෞද්ධයාගෙන් මේ සිරිපා ලකුණද ඈත්වී ඇත.
* සමනළ පව්වේ සිරිපා - තුන් ලොවටම සුවසේ වන්දනා කළ හැකි භාග්‍යවත් අප මුනි රජුන්ගේ වම් සිරිපා කමල පිහිටියේ සමනල පර්වතයේ මුදුනෙහි බව කවුරුත් දන්නා කරුණක්. එදා කැලණියට වැඩමවා පන්සියයක් මහරහතුන් පිරිවරා ගත් අපගේ භාග්‍යවතුන් වහන්සේට සමනළ පව්වේ සිරිපා තැබීමට සුමන සමන් දෙවියන් කළ ආරාධනාව විශ්මයජනකය. එහිදී සිරිපා කමල ගුණ කියමින් ආරාධනා කරන අයුරු “සමන්තකූඨ” වර්ණනාවේ මෙසේ සඳහන්ව තිබේ.

සමනොළට වඩින්න කළ ආරාධනය

ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ලංකාධරණී තලය නමැති රාජ්‍යයේ පිරිවර පර්වත නමැති අමාත්‍යයන් පිරිවරා සිව්ගංගා නමැති බිසොවුන් ඇතිව උස් වූ ගිරිහිස නමැති කිරුළ දරා සමනොළ නමැති පෘථිවි පාලක නරේන්ද්‍රයාට අධිපතිව වාසය කරන මම මහා හස්තියෙකු බඳු සුමන සමන් දෙවිඳුය. සොඳුරු වන මලින්, වන ඵලයන් සුසැඳි නොයෙකුත් වන සතුන් ක්‍රීඩාකරන ඒ සමනළ විමනට වැඩම කරන සේක්වා යි සමන් දෙවියන් විසින් ආරාධනා කළේය. ඒ ආරාධනාව පිළිගත් භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් මහරහතුන් පිරිවරා අහසින් වැඩ ගිරිහිස වැඩසිටි සේක. එවෙලෙහි සමන් දෙවියන් ආරාධනා කරන ආකාරය “සිරිපා වරුණේ” මෙසේ සඳහන් වේ.
ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඉතා රතුවන් සුපිපි පියුමක් බඳු, දික් වූ වට වූ ඇඟිලි ඇති උස් නිය ඇති, උතුම් සිරිපා කමල මේ සමන් ගිරි හිස තබන සේක්වා. උස් වූ ගොප් ඇටය ඇති නමුත් සැඟ වූ ගොප් ඇට ඇති, දික් වූ විළුඹින් යුතු, සම ලෙස පෙළොවෙහි පිහිටන ඉතා සියුම් බැවින් දුහුවිලි නොරදින උතුම් සිරිපා කමල මෙහි පිහිටුවන සේක්වා.
උතුම් සිරිපා මිහිමඬලේ තබන විට පොළොවේ උස්තැන් පහත්ව පහත් තැන් උස්ව, බෙර ඇසක් සේ පොළොව සම වන්නේය. ඒ උතුම් සිරිපා කමල මෙහි පිහිටුවන සේක්වා.
සිරිපා තබන විට කටු, කටු වැල් ඉබේම මාර්ගයෙන් ඉවත් වේ. මාවතේ මඩ ආදි අපහසුතැන් ඉබේම සිත්කළු වේ. ඒ උතුම් සිරිපා මෙහි පිහිටුවන සේක්වා.
උතුම් සිරිපා බිමට දිගු කළ කල්හි පර්වත ආදී උස්තැන් ආදියෙන් දුරුවෙයි. අපායෙහි ගිනි නිවේ. පද්ම ආදි සිරිපා පිළිගිනිතිි. ඒ උතුම් සිරිපා මෙහි පිහිටුවන සේක්වා.
දහසක් අර ඇති නිම්වළළු ඇති රෝසපාට චක්‍ර ලක්ෂණයෙන් සමන්විත සිරිපා කමල මෙහි පිහිටුවන සේක්වා.
බෝසත් අවදියේම ලුම්බිනියේදී මිහිමඬල පලා පියුම් මතුවූයේ ඔය උතුම් සිරිපා පිළිගන්නට නොවේද? ඒ උතුම් සිරිපා මෙහි පිහිටුවන සේක්වා.
කුමර අවදියේදීම ඔබවහන්සේට වැඳුම් කළ කාලදේව තවුසාගේ නළලත පිහිටි සිරිපා සඟල පිය වැඳුමෙන් වැඳුම් ලැබීය. ඒ සිරිපා ඉඳුනිල මත පිහිටුවන සේක්වා. රුවන් සක්මනෙහි සක්මන් කළ ඔබවහන්සේ ගේ සිරිපා සිප ගන්නට හිරු මඬල සහ සඳමඬල දෙපස පෙළ ගැසුනේය. ඒ උතුම් සිරිපා මේ ඉඳුනිල් මත පිහිටුවන සේක්වා.
විශාල ශරීරයකින් හෙබි රාහු නමැති අසුරයා බුදු සිරුර නොදැක සිරිපා කමලවන් පිරිපුන්ව නොදකිව සෝකී වූ සේක. ඒ උතුම් සිරිපා කමල මේ ඉන්ද්‍රනීල මත පිහිටුවන සේක්වා.
නර්මදාවේ යම් අර්ථයක් පිණිස සිරිපා සටහන් තැබුවේනම් සව්ච්බද්ධ පර්වතයේ යම් අර්ථයක් පිණිස සිරිපා තැබුයේ නම් මුනිඳුන් අපටද අර්ථ පිණිස පින් පුරවා ගැනීම පිණිස සිරිපා තබන සේක්වා. ආදී වර්ණනා කරමින් සිරිපා කමල සමනල ගිරි මුදුනේ තබන ලෙස සමන් දෙවියන් විසින් ආරාධනා කළේය.

සිරිපා පිහිටුවීම

අපගේ භාග්‍යවත් බුදුුරජාණන් වහන්සේ අනාගතයේ බොහෝ සතහට සිදුවන යහපත දැක සමනොළ පව්ව මුදුන ඉඳුනිල් මානික්‍යය මත උතුම් වම් සිරිපා ලාංඡනය පිහිටුවා වදාළ සේක. නවරුවන් වර්ෂා ඇද හැළිනි. දෙවියන්ගේ පී‍්‍රතිඝෝෂාව අකනිඨා බඹලොව දක්වා රැව් දුන්සේක. දිව්‍ය පසඟතුරු ගොස පැතිරිණි. අවට ප්‍රදේශ මාණික වර්ෂාවකින් සිපගෙන එතැන්හි රුවන් පුරයක් මෙන් විය. ඒ වෙසක් පුන් පෝදා සවස් යාමයයි. එදා මෙදා තුර දෙනෝ දහසක් උතුම් සිරිපා කරුණා කරමින් වන්දනා කරන්නාහුය. බොහෝ දෙනා සිරිපා වන්දනා කරමින් පින් කර ගත්තේය. සිරිපා මළුව කුඩා වුවද බොහෝ දෙනා පැමිණියත් ඉඩ ඇත්තේය. මිනිසුන් වන්දනා කළ පසු මහා වර්ෂාවෙන් මංමාවත් ඉබේම දෝවනය වන්නේය. මාස හයක කාලයක් ජනී ජනයා සිරිපා කරුණා කරති. ඉතිරි මාස හය මිනිසුන් සිරිපා වන්දනා නොකළත් දෙවියන්, බඹුන්, නාගයන් සිත් සේ සිරිපා කමල වන්දනා නො කරන්නේ යැයි අපට කිව හැකිද?
පෙර රජදරුවන් බොහෝ හරසරින් සිරිපාව වන්දනා කර තිබේ. පසුකලකදී මිත්‍යා දෘෂ්ඨික චාරිත්‍ර සිරිපා කමලට පූජා පිණිස එකතුවීම නිසා දහඅට රියන් ගල් වැස්මකින් සිරිපාව වසා ඇති අතර, අද දක්නට ඇත්තේ ඒ පිට සටහන් කොට ඇති පාද සංකේත ලාංඡනය යි. කෙසේ නමුත් සිරිපා කන්ද හා අතීතය වටා ගෙතුන බොහෝ කතා ජනප්‍රවාද ලෙස පවතින අතර ඒවා මෙහි සටහන් තැබීමට ඉඩකඩ නැත. මන්දයත් අපට අවැසිවූයේ සිරිපා කමලේ උතුම්බව ඉස්මතු කිරීම පමණක් බැව් නිසාය. සමන් දෙවියන් පොරොන්දු වූ පරිදි සැදැහැවත් අය පුළුන් රොදක් සේ සිරිපා කරුණා කරත්. මුදුනට නැඟ ගත් පසු මෙතරම් දුරක් කෙසේ ආයේදැයි අපට සිතේ.
ඔබත් කෙසේ හෝ අප මුනිඳුන්ගේ උතුම් සිරිපාව වන්දනා කිරීම සැප සතුට ගෙන දෙන්නකි. කැලණි ගඟ පතුලේ, ජේතවනාරාමයේ, ථූපාරාමය අසල පාද ලාංඡන ස්ථූපයේ ආදී ස්ථානවල සිරිපා ලාංඡනය තැබූ බව වංශකතාවෙන් පැමිණෙන අතර, ඒ ස්ථානත් සැදැහැ සිතින් වන්දනා කර ගතයුතු වේ. සමනොළ සිරසේ සිරිපාව වන්දනාව සඳහාම වෙන් විය. අප මුනිඳුගේ එක් සිරිපාවක් වන්දනා කරන්නට සැදැහැවතා තම පා කීපවතාවක් නම් තබන්නේද? එය සැදැහැ සිත් පිණිසම වන්නේය.
යම් ගමක අප මුනිඳු සිරිපා තැබූ සැණින් ඒ ගමේ මිනිසුන් පෙළෙන අමනුෂ්‍යයන් මිනිසුන් අතහැර යති. කෝටි ගණන් පිනැතියන් වෙනුවෙන් මුනි සිරිපා කොතෙක් තබා ඒ අය සසරින් නිදහස් කළාද? මාගන්දිය පවුල් මව්පියන්, කුක්කුටමිත්ත වැදි පරපුර, ද්‍රෝණ බමුණා ආදීන් සසරින් එතෙරවූයේ සිරිපා කමලේ සටහන නිසාමැයි. මහරහතුන් කොතෙකුත් සිරිපා කමල ළඟ වැද වැටී වන්දනා කළාද? ශක්‍ර දිව්‍ය රාජ අමාත්‍ය ආදීන්ගේ ඔටුන්නේ මාණික්‍ය රශ්මියෙන් බුදු සිරිපා දෝවනය විය. අපගේ ආනන්ද ස්වාමින් වහන්සේ ආදරයෙන් හිස තබා දෑතින් මුනි සිරිපා දෝවනය කළ සේක. අවසන් වශයෙන් කාශ්‍යප මහ රහතන් වහන්සේගේ නළලත බුදු සිරිපා පිහිටියේය.
කල්‍යාණතෝ ගගනතෝ මුනියත්ථ ගන්ත්වා
දස්සේසි චක්කවර ලක්ඛන පාද ලඤ්ඡනං
ලංකා මහී වර වධු මකුටෝප මානං
වන්දාමහං සුමනකූට සිලුච්චයං තං

යන සිරිපා වන්දනා කරන ගාථාව කියමින් නිකලෙස් මුණිවරු නලල තබා වන්දනා කළ සිරිපාව ඔබත් නළල තබා වන්දනා කළයුතු වේ. දෙවියන්, බඹුන්, නාගයින් හිස නමා වන්දනා කරන සිරිපාව ඔබත් හිස බිම තබා වන්දන කළයුතු වේ. උතුම් සිරිපා කමලේ අනන්ත ආනුභාවයෙන් ඔබට සියලු යහපත උදාවේවා.

අසිරිමත් ධාතු පුරාණය 21 කොටස

දුටුගැමුණු රජු ඉදිකළ මිරිසවැටිය මහා සෑය

දුටුගැමුණු මහ රජු මුලින්ම ඉදිකරනු ලැබුවේ මිරිසවැටිය මහ සෑයයි. එම සෑය ගොඩනැංවීමට පෙර මහියංගනය සෑය අසූ රියනක් උසට ගඩොලින් ප්‍රතිසංස්කරණය කළේය.
තථාගතයන් වහන්සේගේ ලංකා ගමනේදී ස්තූප ඉදිවන ස්ථානවල සමවත් සුවයෙන් වැඩ සිට ඒ ඒ ස්ථාන දෙවිවරුන්ට භාරකර තිබේ. උන්වහන්සේ පළමු වතාවේ මහියංගනයට වැඩම කොට ඒ සම්පූර්ණ භූමිය සුමන සමන් දෙවිදුන්ගේ ආරක්ෂාව යටතටද, දෙවැනි අවස්ථාවේ නාගදීපයට වැඩම කොට ඒ ස්ථානය චුලෝදර මහෝදර නාගයන්ගේ යටතටද තුන්වැනි වතාවට කැලණියට වැඩම කළ පසු ඒ ස්ථානය මණිඅක්ඛිත නා රජු යටතටද පත්ව ඇති බව වදාළ සේක. ඊළඟට ශ්‍රී පාදස්ථානය සුමන සමන් දෙවි¾දුන් යටතේ තිබෙන බව දුටු සේක. උන්වහන්සේ දිවාගුහාවට වැඩි අතර අදට එය යම් අප්‍රකට බවක් උසුලයි. එයටද යම් හේතුවක් තිබිය හැකියි. ඒ වගේම දීඝවාපිය මහසෙන් නමැති දිව්‍යපුත්‍රයාට භාර කළ අතර, රුවන්මැලි මහා සෑය ඉදිවන ස්ථානය භාග්‍යවතුන් වහන්සේ සාල්රූප කියන දෙවියාට භාර කළ සේක. එය .අදටත් ස්වර්ණමාලි දෙව්දුවට අමතරව සාල්රූප කියන දිව්‍යපුත්‍රයා ආරක්ෂා කරනු ඇති. මිරිසවැටිය භූමිය ඉන්ද්‍ර කියන දෙවි¾දුන්ට භාර කොට දිව්‍යපුත්‍රය, මෙම ස්ථානයේ අනාගතයේදී ගාමිණි අභය නම් රජෙකු ස්තූපයක් තනාවි. ඔබ එයට මුල් විය යුතුය. ගාමිණි අභය රජු හැදු මිරිසවැටිය භූමිය රැකගෙන සිටියේ ඉන්ද්‍ර කියන දෙවියා විසිනි. කිරිවෙහෙර මහාඝෝෂ (මහසෙන්) දිව්‍ය රාජයාට භාර කළ සේක. අදටත් කතරගම ස්තූපයට ස්කන්ධ කුමාරයා වැ¾දුම් පිදුම් කරන අතර භූමිය ධාතුන් වහන්සේ රැකගෙන සිටින්නේ මහාඝෝෂ දිව්‍ය රාජයායි. තිස්සමහාරාමය මණිකාර කියන දිව්‍ය රාජයාද, ඊට අමතරව සේරුවිල මහා සෑය සුමන කියන නාගරාජයාද ආරක්ෂා කරන බව ‘ජිනකාලමාලනී’ ග්‍රන්ථයේ සඳහන්ව ඇත.

දුටුගැමුණු රජු යුද්ධයට යනවිට රථපෙළේ ඉදිරියෙන්ම ගෙන ගියේ ජය කොන්තයයි. එය රජවරුන්ගේ රාජ ආයුධයකි. ඒ කොන්තයේ රජ මාළිගාවේ තිබුණ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කොට තිබුණි. භාග්‍යවතුන් වහන්සේ පෙරටු කොට යන ලෙස රජතුමා ගමන් කළේය. රහතන් වහන්සේ පිටුපසින් වැඩියේ, දන්පැන් පූජා කිරීමට රජු ආරාධනා කළ නිසාය.
මේ ආකාරයට රජතුමා බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය තුණුරුවන පෙරටු කොටගෙන යුද්ධය පිණිස පිටත් විය. ඒ සෑම යුද්ධයකින්ම රජතුමා ජය ගත්තේය. එයට හේතුව එළාර රජු සමඟ ඇතිවූ යුද්ධ සිදුවූයේ යහපත පිණිසමයි. ඒ යුද්ධයේදී එළාර රජුගේ සෙබළුන්ට පවා ප්‍රතිකර්ම කරමින් නැව්වල පටවා තමන්ගේ රටට යවා තිබේ. ඒ තරම් සද්පුරුෂ රජෙකි දුටුගැමුණු රජු.
මේ රජු කොන්තායුධයේ මෙසේ ධාතුන් වහන්සේ නිදන් කොට තමන් ගමන් කරන මාර්ගයේ පෙරටුව භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩමවා ඇත. රජු අභිෂේක කර සතියක් ගිය පසු දියපහසු වීම පිණිස බසවක්කුලම වැවට බැස ඇත. ඒ වැව අසල ගල් තලාවක් මත මල්අතුරා ඒ මත කොන්තායුධය තැන්පත් කර රජු පැන්පහසු වී තිබේ. ඉන්පසු නැවත ඒමට සිතා කොන්තායුධය ගැනීමට උත්සහා, කළත් එය ගැනීමට අපහසු වී තිබේ. එනිසා එතැන වන්දනමාන කොට මෙතැනට මහා සෑයක් සුදුසුයි සිතා රජතුමා එතැන සෑයක් ඉදිකළේය. එය මිරිසවැටිය මහා සෑයයි. මේ මිරිසවැටිය සෑය තිබෙන ස්ථානයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ස්ථානයකි.
රජතුමා තැන්පත් කළ කොන්තායුදය ගැනීමට නොහැකි වූ නිසා මහා සෑය ගොඩ නැංවිය. ඒ වගේම තමන් සංඝයාට නොදී මිරිස් ආහාරයට ගත් බැවින් රජතුමා විසින් ඒ මහා සෑය මිරිසවැටිය ලෙසද නම් කළේය. අදටත් ඒ සතූප රාජයාණන්ට වන්දනාමාන පුදසත්කාර කරමින් බැබළෙමින් වැඩසිටී. ඒ සෑය පූජා කළ පසු රහතන් වහන්සේ පන්සිය නමකට වෙහෙර විහාර තනා දින හතක් දන්පැන් පූජා කර ඇත. එහෙමනම් රුවන්මැලි මහා සෑය ඉදිකිරීමටත් ප්‍රථමයි මිරිසවැටිය සෑය ඉදිවුණේ. එවකට මුළු අනුරාධපුරයටම තිබුණේ ථූපාරමය සෑය පමණයි. ථූපාරාමය හැරුණුවිට මිනිසුන්ට වන්දනාමාන කිරීමට තනි රත්තරනින් නිම කළ කොන්තායුදය තැන්පත් සර්වඥ ධාතුන් තැන්පත් මිරිසවැටිය මහා සෑය ඉදිවුණි.
ඒ වගේම අනෙක් කරුණනම් සාමාන්‍යයෙන් ස්තූපයක් තනවායි ධාතුන් වහන්සේ නිදන් කරන්නේ. නමුත් මිරිසවැටි සෑය ධාතු තැන්පත් කොටයි සෑය ඉඳිවූයේ. එනිසා අදටත් මිරිසවැටිය මහා සෑය මහත් ආනුභාව පතුරවමින් කිරිසුදුපාටින් බබළමින් වැඩසිටී.

දිව්‍ය විමනක් බඳු ලෝවාමහාපාය

මිහිඳු මහා රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුට වදාළා රජතුමනි, අනාගතයේදී සුන්දර පොහොය ගෙයක් අනුරාධපුරයේ ඉදිවේවි. එය ගාමිණි අභය නම් රජු විසින් කරනු ඇති බව. රුවන්මැලි මහා සෑය ඉදිකිරීමට අමතරව ලෝවාමහාපාය නම් නවමහල් ප්‍රසාදය ඉදිවෙන බව ලියා රජගෙදර තිබෙන කරඬුවක තැන්පත් කරන ලදී. එය දුටු දුටුගැමුණු රජු රහතන් වහන්සේට කියා සිටියේ ස්වාමිනි, මම පොහොය ගෙය හදා සංඝයාට පූජා කිරීමට කැමැතියි. නමුත් එය මනුස්ස ලෝකයේ තිබෙන ආකාරයට නොවේ. දිව්‍ය ලෝකයේ තිබෙන සැලස්මක් ඒ සඳහා ලබාදෙන ලෙස. ඒ සැලස්ම ගෙන ඒමට රහතන් වහන්සේ අට නමක් දිව්‍ය ලෝකයේ චාරිකාවක වැඩි අතර, එක දිව්‍ය විමානයක් තනි රත්තරනින් කුළුගෙවල් දහසකින් බබලන දිව්‍ය විමානයක් දුටු සේක. මේ දිව්‍ය විමානය කෙතරම් මනස්කාන්තද කියනවානම් රහතන් වහන්සේ ඒ විමානයට වැඩි අතර, ඒ විමානයේ සිටියේ දිව්‍යාංගනාවක්. ඇයගෙන් අසන්නේ මෙතරම් අලංකාර විමානයක් ලැබීමට ඔබ කුමන පිනක්ද? සිදුකර ගත්තේ. ස්වාමිනි, මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සාසනයේ නිරන්තරයෙන් බුදුගුණ වැඩූ කෙනෙක්. ඒ වගේම පෝයට සිල් රැක්ක, නිරන්තරයෙන් දන් දුන් උපාසිකාවක්. කය බිඳී මරණින් මත්තේ දෙව්ලොව ඉපදුණි. මගේ පිනේ විපාකයක් ලෙස ලැබුණ විමානයයි මේ. ඔබවහන්සේට අවශ්‍ය පරිදි මේ විමානයේ සැලස්ම ලබා ගන්නැයි ඇය කියා සිටින්නීය. රහතන් වහන්සේ මේ විමානයේ සැලස්ම සුදු වස්ත්‍රයක පිටපත් කොට රජතුමාට ගෙන දුන් සේක. රජතුමා කුළුගෙවල් දහසකින් යුතු ඒ දෙව්දුවගේ විමානය ආකාරයට මිනිස් ලොව ලෝවාමහාපාය ලෙස ගොඩනැ¾ගීය.
විනය කර්ම කිරීමට ගොඩනැඟුන මේ ලෝවාමහාපාය රහතන් වහන්සේ වෙනුවෙන් උඩු මහලෙද, අනාගමී උතුමන්වහන්සේ වෙනුවෙන් දෙවැනි මහලද,සකෘදාගාමි උතුමන් වෙනුවෙන් තුන්වැනි මහලද, සෝතාපන්න උතුමන් වෙනුවෙන් හතරවැනි මහලේද, ධර්මය ඉගෙනගන්න සංඝයා යටමහලේ ආදි ලෙසින් ලෝවාමහාපාය ඉදිකැරිණි. ලෝවාමහාපායේ උඩට නැඟුන පසු ඉන්දියාව පෙනී තිබේ.
එලෙස විසිතුරු සුන්දර විහාර කර්මාන්තයක් මේ පොහොය ගෙය. මේ ශාසනය බැබළුණේ රහතන් වහන්සේගේ යුගයේ. ඒ වගේම ලස්සන වෙහෙර විහාර ඉදිවුණේත් රහතන් වහන්සේගේ යුගයේදීය. එනිසා රාග, ද්වේශ, මෝහ දුරුකළ මුනිවරු වෙනුවෙන් අහස උසට වෙහෙර විහාර ඉදිවෙනවා නම් කෙතරම් හොඳද? මේ සියල්ලටම දුටුගැමුණු රජු මෙහෙයවූයේ සිතේ තිබුණ ශ්‍රද්ධාව යි.
මේ ආකාරයට දුටුගැමුණු රජු වෙහෙර විහාර අනූනවයක් ගොඩනංවා තිබේ. ස්තූප ප්‍රතිසංස්කරණය කර තිබේ. ධාතුන් වහන්සේට නොයෙක් උපහාර කර තිබේ. දුටුගැමුණු රජු මහියංගන සෑය මුලින්ම ප්‍රතිසංස්කරණය කළ අතර අනතුරුව ධාතු නිදන් වූ පසුව මිරිසවැටිය සෑය ඉදි කෙරිණ. ඊළඟට රුවන්මැලි මහා සෑය ස්තූපය ගොඩනඟා ධාතු තැන්පත් කෙරිණි. මේ ආකාරයට එතුමාගේ ජීවිතයේ විශේෂිත අවස්ථා ඇත.
එනිසා අපට දැන් තිබෙන්නේ ඒ උත්තමයන් ගොඩනැඟූ ඒ වෙහෙර විහාරස්ථානවලට වන්දනාමාන කරමින් පින්දහම් රැස්කර ගැනීමයි. මිරිසවැටිය මහා සෑයේ සහ අනෙක් සියලුම සෑයන්ගේ ආනුභාවයෙන් ඔබගේ දුක් දුරුවේවා.