ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

බුදුපිළිමයේ උපත - 8

බුදුපිළිමයේ උපත - 42:  

ප්‍රධාන උපස්ථායකයාණන් වහන්සේ ලෙස ආනන්ද හිමියන් පත්කිරීම


පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර

පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා M sc පර්යේෂණ
ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේගේ ස්ථිර උපස්ථායක ලෙස පත් කෙරුණේ සම්මා සම්බුද්ධත්වයට පත්ව විසිවැනි වසරේදී බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ
ඊට ඉහතදී එනම් මුල්වර්ෂ 20 තුළදී බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළ භික්ෂූන් වහන්සේ වූහ. නාගසමාල, නාගිත,උපවාන , සුනක්ඛත්ත, සාගත, රාධ,මේඝිය යන තෙරහු ද චුන්ද සාමණේර යන මොවුන් වහන්සේ කලින් කල විශේෂයෙන් භාග්‍යව තුන් වහන්සේට උපස්ථායක වූහ. අනඳ තෙරණුවෝද නොයෙක් විට උවටැන් කළහ. එහෙත් ඒ කිසිවෙකුට තමාගේ උපස්ථායක භාවය කඩ නොකොට දිගටම රැක ගත හැකි නොවීය. (ශාක්‍ය මුනීන්ද්‍රවදා නය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේ – පි. 191)
ආනන්ද තෙරුන් උපස්ථායක තනතුරට පත් කිරීමට පෙර සිදු වූ එක් සිදුවීමක් මෙසේය. මෙම සිදුවීමෙන් පසුව ස්ථිර වශයෙන්ම උපස්ථායක භික්ෂූන් වහන්සේ නමක් පත් කළ යුතු බවට තීරණය වී ඇත.
බුදුරජාණන් වහන්සේ දිනක් චාරිකාවෙහි යෙදෙන කල්හි එක් දවසකට එක් භික්ෂුව බැගින් උපස්ථායක වූහ. දිනක් මෙසේ සැරිසරන කල්හි එදා උපස්ථායක භික්ෂුව වූයේ නාගසමාලනම් භික්ෂුවය. මාර්ගයෙහි හන්දියකට පැමිණි කල්හි තෙරණුවෝ මෙසේ කීහ. “අරකයි පාර ස්වාමිනි,ඒ පාරෙන් යමු. එවිට බුදුරජාණන් වහන්සේ “නාගසමාලයිනි,මේකයි පාර මේකෙන් යමුයි කීහ. එහෙත් එසේ කියන ලද කල්හි තෙරණුවෝ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය හා සිවුර බිම දා මෙන්න ඔබගේ සිවුර හා පාත්‍රය යැයි කියා ඒ තමන්ම කී පාරෙන් යන්නට ගියහ.
මගදී හමුවී පල් හොරු උන්වහන්සේට තළා පාත්‍රය බිඳ සිවුරද ඉරා දැමූහ. වරෙක බුදුන් හැරපියා අඹ වනයක භාවනා වඩන්නට ගිය මේඝිය තෙරහු නපුරු සිතුවිලි විසින් ආක්‍රමණය කරන ලදහ. එකල තනිව හැසිරීම අනාරක්ෂිත වූ බව නො පෙනේද? මෙකී නොකී කරුණු නිසා තමන් මහලු වෙමින් සිටින නිසාද තමන්ට ස්ථිර උපස්ථායෙකු අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරදී වදාළහ. මෙසමයෙහි බුදුපියාණන් වහන්සේ සැට වැනි වියේ පසු වූ සේක. සැරියුත් මුගලන් දෙනම තමන් ඒ කටයුත්ත භාරගනිමිහයි කීහ. බුදුරජාණන් වහන්සේ ඒ දෙනම එයින් වළක්වන ලදහ. අසූ මහ සව්වන්ද එසේම කිව්වත් බුදු රජාණන් වහන්සේ එය නොඉවසූහ.(බුද්ධ චරිතය මහාචාර්ය සුචරිත ගම්ලත් පි. 299(2006)
විසිවන වසින් පසු බුදුරජාණන් වහන්සේ දිනෙක ගඳකිලියෙහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩ හිඳ තමන්ට නිත්‍ය උපස්ථායකයෙකු පත් කළ යුතු බව දැන්වූහ. සැරියුත් මුගලන් ආදි පිළිවෙලින් සියලු මහා ශ්‍රාවකයෝ තම තමා කැමති බව පැවසූහ. භාග්‍යව තුන් වහන්සේ ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ සේක. මේ වේලාවෙහි තුෂ්ණිම්භූතව හුන් ආනන්ද ස්වාමීන් වහන්සේ දැක “ඇවැත්නි ඔබත් භාග්‍යවතුන් වහන්සේට උපස්්ථායක තනතුර ඉල්ලුව මැනවැයි කීහ. එවිට ඉල්ලා ගත් තනතුර මාහැඟි නොවේ. ශාස්තෘන් වහන්සේ කැමැති නම් තමන් වහන්සේම වදාරනවා ඇතැයි ආනන්ද ස්වාමින් වහන්සේ කීය. එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි, ආනන්ද තෙම අනුන් විසින් මෙහෙවිය යුතු නොවේ. තෙමේම දැන මට උපස්ථාන කරන්නේ යැයි වදාළ සේක.
භික්ෂූහු ඇවැත් ආනන්දයෙනි, නැගිට උපස්ථායක තනතුර බාරගත මැනවැයි කීහ. අනඳ තෙරණුවෝද නැගිට පොරොන්දු අටක් පිට භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක බව බාරගත්හ. (ශාක්‍ය මුණීන්ද්‍රාව දානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – පි. 191)
මේ අවස්ථාවේදී ආනන්ද හිමියන් එම උපස්ථායක තනතුර බාරගත්තේ මෙසේය.
“මුවෙන් නො බැන හුන් අනඳ තෙරණුවෝ බුදුරජාණන් වහන්සේ විසින් තමන්ගේ කාර්යය සඳහා පත් කරන ලද කල්හි පොරොන්දු අටකට යටත්ව එය භාර ගත්හ. ඒ මෙසේය.
ප්‍රතික්ෂේප සතර
  • භාග්‍යවතුන් වහන්සේට පූජා කරනලද සිවුරු තමනට නොදිය යුතුය.
  • භාග්‍යවතුන් වහන්සේ ලත් පිණ්ඩපාතය තමනට නොදිය යුතුය.
  • භාග්‍යවතුන් වහන්සේ හා එක ගන්ධකුටියෙහි විසීමට තමනට ඉඩ නොදිය යුතුය.
  • භාග්‍යවතුන් වහන්සේ පෞද්ගලිකව ආරාධනා පිළිගෙන තමන් කැඳවා ගෙන නොවැඩිය යුතුය.
සැවැත්නුවර ජේතවනාරාමය

ඒ ප්‍රතික්ෂේප කළ කරුණු හතරය. ආයාචනා කළ කරුණු සතර

  • තමන් පිළිගත් ආරාධනයට භාග්‍යවතුන් වහන්සේද වැඩම කළ යුතු වන්නේය.
  • භාග්‍යවතුන් වහන්සේ දැකීමට ඈත සිට එන අය භාග්‍යවතුන්වහන්සේ වෙත කැඳවාගෙන ඒමට තමන්ට අවසර තිබිය යුතුය.
  • සැකයක් ඇතිවූ විට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණීමට තමන්ට අවසර තිබිය යුතුය.
  • තමන් නැති තැන දෙසූ ධර්මය භාග්‍යවතුන් වහන්සේ තමනට දෙසිය යුතුය.
මෙතැන් සිට එළඹි විසිවස තුළ බුදුරජාණන්වහන්සේගේ ස්ථිර උපස්ථායක වූවෝ අනඳ තෙරණුවෝය.
(බුද්ධ චරිතය මහාචාර්ය සුචරිත ගම්ලත් පි. 300)
මෙසේ ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේගේ ස්ථිර උපස්ථායකයාණන් වහන්සේ ලෙසින් හැසිරුණු අන්දම ගැන මෙසේද සඳහන් වේ.
එතැන් පටන් කොට ආනන්ද ස්ථවිර තෙම ශීත, උෂ්ණ යන දෙවැදෑරුම් ජලය පිළියෙල කිරීමෙන් ද, හීන මධ්‍යම ලොකු යැයි තුන් වැදෑරුම් දැහැටි දීමෙන්ද ,පා මිරිකීමෙන් හා පිට මිරිකීමෙන් , ගඳකිලි ඇමදීමෙන්ද මේ ආදි වශයෙන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමෙහි යෙදුණේය. මේ වේලාවෙහි මෙනම් දෑ භාග්‍යවතුන් වහන්සේට ලැබිය යුතු යැයි පරීක්ෂාවෙන් දිවා කාලයෙහි උන්වහන්සේගේ සමීපයෙහි හැසිරේ. රාත්‍රියෙහි මහත් දඬු වැට පහනක් ගෙන නව වරක් ගඳකිළිය වටා ඇවිදියි. මෙසේ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ හදිසියෙන් කථා කළොත් පිළිවදන් දෙනු සඳහා නින්දට නොවැටී සිහියෙන් යුක්තව ඉඳිනු පිණිසය. (ශාක්‍ය මුනින්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – පි. 192)


බුදුපිළිමයේ උපත - 43:

ජේතවනාරාමය


සුන්දරී පරිබ්‍රාජිකාව රූපශී‍්‍රයෙන් ඉතාමත් සෝභන ළඳකි. එහෙත් ඇය පරිබ්‍රාජිකාවකි. සුදු වස්ත්‍ර හැඳ පොරවා වසන පරිබ්‍රාජිකා නිකායට අයත් ඇය උදෙන්ම මෙසේ කීප දවසක්ම ජේතවනාරාමය දෙසට යාම දුටු බොහෝ දෙනෙකුගේ කුතුහළයට හේතුවක් විය.
‘භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අතිශයෙන් පැහැදුණූ වෛද්‍ය කෝමාරභච්ච” ජීවක තුමා ස්වකීය අඹ වනයෙන් උන්වහන්සේට පිදුවේ මෙ සමයේය. භාග්‍ය වතුන් වහන්සේටද භික්ෂු සංඝයාටද රටවැස්සන්ගෙන් මහත් ගෞරවාදර සත්කාර දුටු, තීර්ථකයෝ ඉවසිය නොහැකිව භාග්‍යවතුන් වහන්සේට අපකීර්තියක් ඇති කිරීමෙහි “සුන්දරී” නම් රූපශ්‍රීයෙන් යුත් පරිබ්‍රාජිකාව මෙහෙය වූහ. ඕ තොමෝ සුදු හඳිනා පොරෝනා පරිබ්‍රාජිකා නිකායට අයත් තැනැත්තියකි.
සුන්දරී මනාව හැඳ පොරවා මල් ගඳ විලවුන් ඇඟ ගල්වා සැරහී ජේතවනාරාමයෙන් මහජනයා සවස බණ අසා එන වේලාව බලා විහාරය අතට යයි. කොහි ගියේදැයි ඔවුන් ඇසූවිට ජේතවනාරාමයට යන බව කියා ගොස් ආරාම ප්‍රාකාරයෙහි දොරටුව සමීපයෙහි සක්මන් කොට දොර වැසූ විට නුවරට යයි. නැවත පසුදා උදේ ජේතවනාරාමයට ගොස් ගඳකිළිය සමීපයේ මල් සොයන්නියක සේ හැසිරෙයි. බුද්ධෝපස්ථානයට ආ මිනිසුන් “අර යන්නේ සුන්දරී පරිබ්‍රාජිකාව නේද” සුන්දරී තොප ඔය සැරිසරන්නේ කොහේද? ඇයි ඔබ මේ ජේතවනාරාම ගඳකිලිය අසල මෙහෙම ඇවිදින්නේ. “මං මේ මේ ......උදේ පාන්දරින්ම මෙහෙ ආවේ......
ඔව්... ඒක තමයි අපිත් අහන්නේ මේ ජේතවනාරාමයේ ගඳකිලිය ළඟ මල් සොයන්නියක වාගේ මේ මොනවාද සොයන්නේ අපටත් කියව.
එවිට යම් කිසිවක් කියා සුන්දරී පරිබ්‍රාජිකාව මගහරී. මෙසේ දින පසළොසක් පමණ ගත වූ පසු එක් රැයක තීර්ථකයෝ රහසින් ඇය මරවා ජේතවන පොකුණ අද්දර වළක් කපා එහි වැළලීය. පාන්දරින්ම සුන්දරී නැතැයි කියා මහා ඝෝෂා කරමින් තීර්ථකයෝ කලබල කරන්නට වූහ. සුන්දරී නැති බව කොසොල් රජුටද ඔව්හු දන්වා සිටියහ. ඔවුන් කැමති තැනක ඇවිද ඇය සෙවීමේ කටයුතුවලට තීර්ථකයන්ට කොසොල් රජු විසින් අවසර දෙන ලදී. මේ අනුව තීර්ථකයෝ ජේතවනාරාමය පිහිටි පුදබිමට ඇතුළුවී සුන්දරී පරිබ්‍රාජිකාව සොයන්නවුන් සේ හඟවා එහා මෙහා ඇවිදින්නට වූහ. සුන්දරී මරා වැළලූ තැනින් සිරුර ගොඩගෙන ඊළඟට කළ යුතුදේ ඔව්හු කතිකා කරගත්හ. ඉන්පසු ඔව්හු ශ්‍රමණ ගෞතමයන් සහ භික්ෂූ සංඝයා විසින් ඇය මරා ජේතවනාරාමය අසළ සගවා තිබී හමුවූ බව කීහ. සුන්දරී පරිබ්‍රාජිකාවගේ මළ සිරුර ඇඳ තබා ගෙන නුවරට ගොස් මේ ගැන තව තවත් ජනතාවට තීර්ථකයෝ ප්‍රචාරය කළහ. නුවර බොහෝ ජනතාව මේ ගැන කතා බහ කරන්නට වූහ. බුදුරජාණන් වහන්සේ අලුයම නුවණින් ලොව බලා වදාරණ සේක්. එදින තීර්ථකයන් අපකීර්තියක් උපදවන බව දැන ඔවුන්ගේ බොරු චෝදනා පිළිගෙන මහජනයා මා කෙරෙහි නිකරුණේ කෝපයට පත්වී අපාය ගාමි නොවේවායි සිතු සේක. මෙසේ සිදුකළ ඒ අපකීර්තිමත් කාර්යය ගැන ඔවුන් කෙරෙහි කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ උන්වහන්සේ වැඩ සිටි ගඳ කිළියේ දොර වසා ඇතුළේම වැඩ උන් සේක. බුදුරජාණන් වහන්සේ පිඬු පිණිසවත් නො වැඩි සේක. භික්ෂූහු පිඬු සිඟා වැඩම කළහ. ඒ දුටු සමහර මිනිස්සු භික්ෂූන් වහන්සේලා දැක නොයෙක් නොයෙක් පරුෂ වචන කියමින් ඒ භික්ෂූන් වහන්සේලාට දොස් කීහ.
අනඳ තෙරුන් වහන්සේට මේ සියලුම තොරතුරු දැන ගැනීමට ලැබුණි. ඒ බව අනඳ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මෙසේ කීහ.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, තීර්ථකයෝ ඉතා දරුණු අන්දමින් අපට බැන වැදී ඉතාමත් නරක ලෙසින් අපකීර්තියට පත් කළහ. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ අපට මෙහි වාසය කිරීම බොහෝ අපහසුය.මේ ජම්බුද්වීපය ඉතා විශාල වූ රටකි. වෙනත් ප්‍රදේශයකට වැඩම කරමු.
බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ගේ මේ කතාව ඉතා කරුණාවෙන් අසා සිටි සේක. ඉන්පසු බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා මෙසේ වදාළ සේක. “ආනන්දය ඒ යන ප්‍රදේශයේත් මෙසේම අපට අපකීර්තියක් ඇතිවුවොත් කුමක් ද කරන්නේ.
අනඳ තෙරුන් ඉතා දුක්මුසු ස්වරයෙන් මෙසේ බුදුරජාණන් වහන්සේට කීවේය.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස වෙනත් නුවරකට වඩිමු” මෙය ඇසූ බුදුරජාණන් වහන්සේ නැවතත් ආනන්ද තෙරුන් අමතා මෙසේ වදාළ සේක.
“ආනන්දය, ඉක්මන් නොවන්න බලාපොරොත්තු සහගතවන්න. මේ නින්දා අපහාස ඝෝෂා පවතින්නේ සතියක් පමණකි. සමහරු දුෂ්ට චේතනාවෙන්ම චෝදනා කරති. තීර්ථකයෝද එසේමය. ආක්‍රෝශ කෙරෙති. දුෂ්ට සිතින් බොරුවෙන් දොස් නගති. ඔවුන්ගේ කතා ඇසු සමහරු ඒවා විශ්වාස කර ගරහති. එහෙත් බුද්ධමුනි තෙම නිර්දෝෂ බැවිනුත් නොකිපෙන බැවිනුත් ඒ ගර්හා අපහාස කිසිවක් නොසළකයි. නොපිළිගනියි. කිසිවක් කෙරෙහි රාගයෙන් රැඳීමකට ද්වේශයෙන් විෂම බවකට හෝ මෝහයෙන් මුලා බවකට නොපැමිණෙයි.”
මිනිසුන් නින්දා අපහාස කරන විට භික්ෂූහු කුමක් කියන්නේදැයි බුදුරජාණන් වහන්සේ අනඳ තෙරුන් ගෙන් ඇසූහ. කිසිවක් නොකියතැයි අනඳ තෙරුන් බුදුරජාණන් වහන්සේට කීවේය. මම සිල්වත්මියි හැම විටම නිහඬව සිටිය යුතු නොවේ.
දොස් නගා බොරු කියන්නා නිරයට යයි . තමා පව්කොට ඒ නො කළෙමියි කියන්නා නිරයට යයි. නිහීන කර්ම කළ ඔහු දෙදෙනාම පරලොවදී දුක් විඳින්නාහු සමවෙත්යැයි ඒ චෝදකයනට මෙසේ පෙරළා චෝදනා කරවයි වදාළ සේක. භික්ෂූහු ද එසේම කළහ. නුවණැති මිනිස්සු ඒ අසා නිශ්ශබ්ද වූහ.
කොසොල් රජුද මේ තොරතුරු අසා රාජපුරුෂයන් සෑම තැනම යවා පරීක්ෂා කොට තීර්ථකයන්ගෙන් අල්ලස් ගෙන සුන්දරී මරා දැමු ධූර්ථයන් අල්ලා ඔවුන්ට නිග්‍රහකොට ඔවුන් ගෙන් එපවත් දැන තීර්ථකයන්ට නින්දා කළේය. මිනිස්සුද තීර්ථකයන්ට දුටු දුටු තැනදී භාග්‍යවතුන් වහන්සේට මොවුන් අපහාස කළැයි කියා ගල් මුගුරුවලින් ගැසූහ. ඔවුන් කළ අපරාධය ඔවුන් පිටම පැමිණි බව වදාරා බුදුරජාණන් වහන්සේ ඒ මුල්කොට ගෙන දම් දෙසූ සේක. සතියක් ඉක්ම ගිය පසු කොසොල් රජ විසින් සුන්දරී ගේ මළකුණ ඉවත් කරවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ මෙසේ කීවේය. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස! මෙවැනි වූ අයසක් වූ විට මටත් දැන්විය යුතු වන්නේදැයි කීවේය. භාග්‍යවතුන් වහන්සේ මහ රජ මම සිල්වතෙකි ගුණසම්පන්නයෙකැයි කියා අනුනට දැන්වීම ආර්යයනට නොවටී”. කොසොල් රජුට ධර්ම දේශනාවක්ද කළ සේක.
(අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක හිමිපාණන් වහන්සේ ලියු ශාක්‍ය මුනිද්‍රවාදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය ආශ්‍රයෙනි. )


බුදුපිළිමයේ උපත - 44 :  

බුදුපිළිම නිර්මාණයට පෙර පුරාණ භාරත මූර්ති සංකේත


පළමුවෙන්ම පුරාණ භාරතය යන රට ගැන දැනගැනීම ඉතා වැදගත් වන්නේ ය. පුරාණ භාරතය හෙවත් “දඹදිව“ “ජම්බුද්වීපය” යන රටට මෙකල ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ නේපාලයද අයත් වී ඇත. විශේෂයෙන් මෙකල ඉන්දියාවේ සහ පකිස්ථානයේ ද නේපාලයේ ද බෞද්ධ පුදබිම් අයත් වන්නේ දඹදිව පුදබිම්වලටය.
මාරපරාජය සාංචි ස්තූප අංක 01 දකුණුපස තොරණ
මෙම රටවල් තුනම එක් රටක් ලෙසින් පැවතුනු යුගය ගැන අප සඳහන් කළේ බුදුපිළිම ප්‍රථමවරට නිර්මාණය වූයේ මෙකල පකිස්ථානයේ ගන්ධාර දේශයේ නිසාය. භාරතයේ බුදුපිළිම නිර්මාණය වූයේ එකල ජම්බුද්ධීපයේ මෙකල පකිස්ථානයේ වයඹ දිග ඉන්දියාවේ පුරුෂපුර හෙවත් පුෂ්කලාවති අගනුවර කර ගෙන රජ කළ කුෂාණ රාජවංශික කණිෂ්ක රාජ යුගයේදීය. එය ක්‍රිස්තු වර්ෂ 120 දී බව පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් විසින් පිළිගෙන ඇති කරුණකි.
කණිෂ්ක රාජයුගයේ දී ගන්ධාරයේ මෙන්ම ගංගා, යමුනා නදී තීරයෙහි ඇති ඉතා ප්‍රකට පුදබිමක් වූ මථුරා හි ද බුදුපිළිම නිර්මාණය වූ බව විද්වත්හු පෙන්වා දෙති. බෞද්ධ සාහිත්‍යයෙහි හා මහා වංසයේ තොරතුරු අනුව ඊට පෙරද බුදුපිළිම නිර්මාණය කර තිබූ බව සඳහන් කරතත්, ඒවා ලිඛිත සාක්ෂි මිස පුරාවිද්‍යානුකූලව ඔප්පු කළ නොහැකිය. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා මේ පිළිබඳ දීර්ඝ වශයෙන් අධ්‍යයනය කර ඇත. බෞද්ධ ප්‍රතිමාවේ මූල ධර්ම නමැති ග්‍රන්ථය ලියූ මේ විද්වතා මේ පිළිබඳ ශාස්ත්‍රීය කරුණු හෙළි කළේ ය.
එසේ නම් බුදුපිළිම නිර්මාණයට පෙර බුදුරජාණන් වහන්සේ සහ බුද්ධ චරිතයට අයත් සිදුහත් උපත, මහාභිනිෂ්ක්‍රමණය, බුදුවීම, ප්‍රථම ධර්ම දේශනය පැවැත්වීම හා මහා පරිනිර්වාණය සඳහා පුරාණ මූර්ති ශිල්පීන් යොදා ගන්නා ලද්දේ කුමන සංකේතද යන්න ගැන මෙකල ඉතා ප්‍රචලිතය. විශේෂයෙන්ම ඉතා පැරණිම බෞද්ධ මූර්ති භාරත දේශයේ දක්නට ලැබෙන්නේ මධ්‍ය ප්‍රදේශ්හි භාරුත් සහ සාංචි පුදබිමෙහි ඇති තොරණවල මූර්ති, කැටයම්වලය. දකුණු භාරතයේ අමරාවතී හා නාගර්ජුන කොණ්ඩ යන පුදබිම්වලද බුද්ධගයාවේ මුල් කාලීන මූර්ති කැටයම්වලද මෙම සංකේත නිර්මාණය කිරීම් දක්නට ලැබේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ නිරූපණය සඳහා බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධිය, සිරිපතුල්, ධර්මචක්‍රය, ඡත්‍රය වජ්‍රාසනය, ත්‍රිරත්තය, හා ස්තූපය ආදී ලාංඡන යොදා ගෙන ඇති බව ඉහතින් සඳහන් කරන ලද බෞද්ධ මූර්ති කලාවට අයත් මූර්ති පිළිබඳ විමසා බලන විට පැහැදිලිවන කරුණකි. ත්‍රිරත්නයෙන් මූර්තිමත් කර ඇත්තේ බුද්ධ, ධම්ම හා සංඝ යනුවෙන් දැක්වේ. මේ පිළිබඳ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමිපාණන් වහන්සේ මෙසේ සඳහන් කරති.
සිදුහත් කුමාරෝප්පත්තිය දෙවිවරුන් සතර දෙනෙක් හැඩට නැවුණු වස්ත්‍රයක් ඔසවාගෙන සිටීමෙන් සංකේතවත් කරයි. නාගර්ජුන කොණ්ඩ ක්‍රි:ව: 03
මුල්කාලීන බෞද්ධ කලා කෘතිවල විශේෂයෙන් කැටයම් කලාවට විෂයය වූයේ බුදුරජාණන් වහන්සේගේ ජීවන වෘත්තාන්තයයි. බුද්ධ චරිතයේ වැදගත් සිද්ධිවලින් ආශ්චර්යමත් අවස්ථා ඉතා සැලකිල්ලෙන් තෝරාගනිමින් කැටයම්වල මූර්තිමත් කර ඇත. පළමු සිදුවීම වශයෙන් සිදුහත් කුමරාගේ මව මහාමායා දේවිය සිහිනෙන් දුටු ග්‍රන්ථාගත විස්තරය බෝධිසත්වයන් සුදු ඇතෙකුගේ ස්වරූපයෙන් මව්කුසට පිවිසෙන ආකාරයයි. උදාහරණයක් වශයෙන් භාරුත් මුල ස්තම්භයක පදක්කම් මුද්‍රාව දැක්විය හැක. එහෙත් ඊට පසු කාලයකට අයත් දකුණු ඉන්දියාවේ අමරාවතී මූර්ති කැටයම්වල මහාමායා දේවියට දුටු සිහිනය පිළිබඳ සිද්ධිය නිරූපණය කර ඇත්තේ ඇතා නොමැතිව කිසියම් ආකෘතියක අඩු විස්තරාත්මක ආකාරයකිනි. මෙහිදී මුල් කාලීන සියලුම සම්ප්‍රදායයන්ට අයත් කලාකරුවන්ගේ මූලික අවධානය යොමුව ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිත කතාවේ ප්‍රධාන සිදුවීම් හතරක් කෙරෙහි බව පැහැදිලිව සඳහන් කළ හැකිය. එනම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වය, ප්‍රථම ධර්ම දේශනාව හා සම්බුද්ධ පරිනිර්වාණයයි. මෙම ප්‍රධාන අවස්ථා හතර මූර්තිමත් කිරීමට කලාකරුවන් උනන්දු කරවීමට බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන ලද බවට පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් වන සතර සංවේග ස්ථාන පිළිබඳ විස්තරය ප්‍රධාන වශයෙන් බලපාන්නට ඇතැයි සිතිය හැකි ය.
මේ හැර පසුකාලීන ග්‍රන්ථවල සඳහන් වන අෂ්ට මහා ප්‍රාතිහාර්ය විස්තරය ද බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා ලෙස මූර්තිමත් කිරීමට බුද්ධ ප්‍රතිමා ඇතිවීමට පෙර ද පසුව ද කලාකරුවන්ගෙන් අවධානය යොමු වී ඇති බව සාංචි, භාරුත්, ගන්ධාර, අමරාවතී නාගර්ජුන කොණ්ඩ යන ස්ථානවල මූර්තිවලින් දැකිය හැකිය. ප්‍රධාන සතර සිදුවීම්වලට අමතරව මහාමායාදේවිය දුටු සිහිනය මහා අභිනිෂ්ක්‍රමණය හා මාර පරාජය ද සම්බන්ධ වෙයි. දෙවන වර්ගයට ශ්‍රාවස්තියෙහි යමා මහ පෙළහර, තව්තිසාවෙන් බුදුරජාණන් වහන්සේ සංකස්ස නුවරට වැඩම කරවීම, වේසාලියේදී වඳුරු රජුන් බුදුරජාණන් වහන්සේට මී පැණි පිදීම, රජගහනුවර දී නාලාගිරි දමනය යන අවස්ථා හතර දක්නට ලැබේ. මෙම සිදුවීම්වලින් වැඩි සංඛ්‍යාවක් ක්‍රිස්තු පූර්ව යුගයට අයත් භාරුත්, සාංචි ස්තූපවලද පසුකාලීන ගන්ධාර, මථුරා ප්‍රදේශවල කලා සම්ප්‍රදායවල නිරූපණය වේ. බුදු පිළිමයට පෙර බුදු හාමුදුරුවෝ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි. පි. 23 – 25 (2010 )

බුදුපිළිමයේ උපත - 45:

ගන්ධාර බුදුපිළිම කලාව

බුද්ධ ප්‍රතිමා නිර්මාණයට පෙර භාරතීය මූර්ති ශිල්පීන් විසින් සංකේත භාවිතා කළ බවට සාක්ෂි භාරුත්, සාංචි (අමරාවතී මුල්කාලයේ) දැක්වෙන මූර්ති කැටයම්වලින් හෙළිවේ. ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් භාරුත් සාංචි බුද්ධගයා සහ අමරාවති ආදී ස්ථානවල දක්නට ලැබේ.
පුරාණ භාරතයේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය නොවීමට හේතු වූයේ එවක පැවැති සම්ප්‍රදායික චාරිත්‍රය වූ ප්‍රතිමා වන්දනය සිදු නොකිරීම බව පෙනේ. ඒ වෙනුවට සංකේත වන්දනාමාන කළ යුගයක් පුරාණ භාරතයේ තිබුණි. අසෝක රජ යුගයට අයත් පුරාවිද්‍යාත්මක සාධක අනුව ඒ යුගයේදී බෞද්ධ ප්‍රතිමා ක්‍රමය වෙනුවට බුදුදහමේ යම් යම් අවස්ථා සංකේත ක්‍රමයක් යොදාගෙන තිබුණූ බවට සාධක ඇත. එනම් බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ සාරානාත්හි අසෝක ස්තම්භය මත දක්නට ලැබෙන සිංහ රූප සතරත් ධර්ම චක්‍රයත්, පද්ම පීඨයත් සංකේතවත් කරන්නේ බුදුරජාණන් වහන්සේ සමස්ත විශ්වය පුරාම බුදුදහම ව්‍යාප්ත කිරීමේ අටියෙන් ධර්ම දේශනා කළ ආකාරයයි.(ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා හා රූකම්– මහාචාර්ය යමුනා හේරත් පි. 7 (2003) අසෝක රාජ යුගයේ වු එම ස්තම්භය (සාරානාත්හි කෞතුකාගාරයෙහි දැනට තැන්පත් කර ඇති) නූතන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය බවද ඉතා ප්‍රකට කරුණකි.
එහෙත් අසෝක රජුගේ කාලයේදී බුදු පිළිම නිර්මාණය කර තිබුණූ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වුවද එය සනාථ කෙරෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි නැති බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත. ප්‍රථම බුදුපිළිමය නිර්මාණය වූ පුරාණ භාරතයේ පසුබිම් වූ ඉතිහාසයද ඉතා වැදගත් වන්නේය. කුශාන රාජ වංශිකයන් වයඹ දිග ඉන්දියාවේ තම දේශපාලන බලය තහවුරු කරගන්නා කාලය ගන්ධාර ප්‍රදේශය මෙකල පකිස්ථානයට අයත් විවිධ විදේශීය ආක්‍රමණවලට සහ බලපෑම්වලට ගොදුරු වී තිබුණූ යුගයකි. මෞර්ය අධිරාජ්‍යයට අවසාන පහර එල්ල කළේ පුශ්‍යමිත්‍ර ශූංගය ක්‍රිස්තුපූර්ව 185 දී සිය බලය තහවුරු කරගත්තේය. මේ අතරේ වයඹ දිග භාරතයට තවත් විදේශ ආක්‍රමණ කීපයක්ම සිදුවිය.අසෝක රජතුමා රජවීමට පෙර එතුමාගේ මුත්තා එනම් චන්ද්‍රගුප්ත රජුට පූර්වකාලයේ දී මැසිඩෝනියාවේ රජකළ මහා ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණ සළකා බලන විට පර්සියානු හා ඉන්දු, ගී‍්‍රකවරු එම ප්‍රදේශය පාලනය කළහ. මීට අමතරව චීනයේ සිට තවත් ගෝත්‍ර හතරක්ම වයඹ දිග ආක්‍රමණය කළහ.
ඔවුන් යූඑචිවරුන් ලෙස සඳහන් වේ. එම ආක්‍රමණිකයන් අතරේ කුෂාණ නමින් යුත් රාජවංශයක් වයඹ දිග භාරතයේ සිය පාලන බලය පිහිටුවා ගත්තේ ය. වයඹ දිග භාරතය මෙකල අයත් වන්නේ පකිස්ථානයටය. එහි පේෂවාර් හෙවත් එකල පුරුෂ පුරය ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානය වූයේ ය. කනිෂ්ක රජතුමා මෙම කුශාන රජවරුන් අතරේ ශ්‍රේෂ්ඨතම නරපතියා ලෙසින් සැළකේ. කනිෂ්ක රජුට පෙර කැඩ්පයිසිස් ආදී එම කුශාන රාජ වංශයේ රජවරුන් සිටි නමුදු කනිෂ්ක රජු විශේෂීය රටකින් පැමිණ වයඹ දිග භාරතයේ ප්‍රථමවරට අධිරාජ්‍යයක් ගොඩනැගීමට සමත් වූවා පමණක් නොව බුද්ධාගමට අසෝක රජුගෙන් පසු ඉතා විශාල අනුග්‍රහයක් ලබා දුන්නේ ය. ඒ බුදුසමය මහායානික බුද්ධාගමය. ඒ අනුව කනිෂ්ක රාජ යුගයේ දී ක්‍රි.ව. 120 දී පමණ බුදුරජාණන් වහන්සේ මානවරූපීව නිර්මාණය කරනු දක්නට ලැබේ.
කනිෂ්ක රජතුමාගේ රන් කාසියක බුදුරජාණන් වහන්සේගේ රූපය ප්‍රථමවරට නිරූපණය කරන ලදී. ඒ කාසියේ අනෙක් පැත්තේ කනිෂ්ක රජුගේ රූපය නිර්මාණය කර තිබේ. කනිෂ්ක රජුගේ කාලයේ දී මහායාන බුදුසමය ඉතා දියුණුවට පත් වූ අතර ඒ පිළිබඳ සතරවන සංගායනාව ද පවත්වන ලද්දේ ඒ රජුගේ අනුග්‍රහයෙනි. කනිෂ්ක රජයේ කාලයේ දී නිර්මාණය කනිෂ්ක රජුගේ අනුග්‍රහයෙන් පවත්වන ලද එම මහා සංගායනාවේදී (කුණ්ඩලවනයේ) මහාවිනාෂ නම් ග්‍රන්ථයක්ද සැකසුණි. එහි භාෂා මාධ්‍යය සංස්කෘතය.

බුදුපිළිමයේ උපත - 47:

පුරාණ භාරතයේ මථුරා බුදුපිළිම සම්ප්‍රදාය

බුදුපිළිමයේ උපත ගැන සඳහන් කරනවිට ගන්ධාර කලාව වයඹ දිග ඉන්දියාවේ ගන්ධාර දේශය මුල්කරගෙන මෙම බුදුපිළිම කලාව වර්ධනය වූ බව ඉතිහාසඥයින් , පුරාවිද්‍යාඥයින් හා කලා විශේෂඥයින් සඳහන් කරන කරුණකි. ගන්ධාර බුදුපිළිම කලාව ඉන්දු ගී‍්‍රක කලාව ලෙසින්ද සඳහන් කරනු ලැබේ.
ඊට හේතුව ගන්ධාරයේ මෙම බුදුපිළිම නිර්මාණය දේශීය වශයෙන් වර්ධනය වූවක් නොව ගී‍්‍රක ප්‍රතිමාවල බලපෑම ඒ සඳහා තිබීමයි. ගන්ධාර යුගයේ ඉදි කළ බුදුපිළිම මේනිසා ගී‍්‍රක මනසින් හා ඉන්දියානු හෘදයෙන් නිර්මාණය කළ කලාවක් ලෙසින් සැළකේ. කණිෂ්ක රාජ යුගයේදි බෞද්ධ කලාව මූලස්ථාන දෙකක වර්ධනය වූ බව ප්‍රකට කලා විචාරකයෙකු වූ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා සඳහන් කරයි. එම මධ්‍යස්ථාන දෙක ගන්ධාර සහ මථුරාය. ගන්ධාරය පිහිටියේ මෙකල පකිස්ථානයේය. මථුරා බෞද්ධ කලාව වර්ධනය වූ එම මූලස්ථානය පිහිටියේ ගංගා, යමුනා ආශි‍්‍රතව (නූතන ඉන්දියාවේ) ය.
ගන්ධාර බුදුපිළිම කලාව සඳහා එකල කලා ශිල්පීන්ට ආදර්ශයට ගත හැකිව තිබුණේ ගී‍්‍රක කලාවය. එම කලාව අනුව ගී‍්‍රක දෙවියකු වූ ඇපොළෝ දෙවියාගේ ටෝගාව නම් ඇඳුමට සමාන ලෙස ගන්ධාර බුදුපිළිමවල සිවුර නිර්මාණය කර ඇත.
ගී‍්‍රක සූර්ය දෙවියන්ගේ ශීර්ෂය නිර්මාණය කර ඇති අන්දමට ගන්ධාර බුදු පිළිම කලාවේ බුදුපිළිම නිර්මාණය කරනු දක්නට ලැබේ. මේ සඳහා දක්නට ලැබෙන ඉතා කදිම නිදසුන පේෂවාර් නගරය අසල ඇති හෝවිමන්දාර් නම් ස්ථානයෙන් හමුවූ බුදු පිළිමයයි. මෙහි බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්වන දිගු කන් සහ ඌර්ණරෝමය පමණක් නිරූපිතය.
මෙසේ ගන්ධාර බුදුපිළිම කලාවේ විදේශීය (බටහිර) ලක්ෂණ අඩුවී දේශීය (ඉන්දියානු) ලක්ෂණ වැඩිපුර පිළිබිඹු වන්නට පටන් ගත් බුදුපිළිම නිර්මාණය වීම දැකිය හැකිය.මේ සඳහා ඉතා සුදුසු උදාහරණය මෙකල ඇෆ්ගනිස්ථානයේ බෙග්‍රම් පිහිටි යමක ප්‍රාතිහාර්යය නිරූපිත බුදු පිළිමයයි. එහි ගී‍්‍රක මුහුණු නැත. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ මෙන්ම බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ නිර්මාණය කිරීම මථුරා බුදු පිළිම කලාවේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි.මේ නිසා මථුරා බුදුපිළිම කලාව ඉන්දියානු හෙවත් දේශීය ලක්ෂණ හෙළිකරන බුදුපිළිම කලාවක් ලෙසින් විචාරකයින් විසින් හඳුන්වනු ලැබේ.
මේ අනුව පළමුව බුදුපිළිමය නිර්මාණය වූයේ ගන්ධාරයේ නොව මථුරා හි යැයි සමහරු සඳහන් කරති. බුදුරජාණන් වහන්සේගේ රූපකාය බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ඊට අනුරූප වන පරිදි මථුරා බුදුපිළිමවල ප්‍රතිමා ලක්ෂණවලින් දැකිය හැකිය. බුදුරජාණන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ ද මථුරා බුදුපිළිම කලාවේ දක්නට ලැබෙන බව ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා සඳහන් කරයි.
මථුරා බුදුපිළිම නිර්මාණයේ කදිම උදාහරණයක් ලෙසින් කත්‍රා ප්‍රදේශයෙන් හමුවු බුදුපිළිමය දැක්විය හැකිය. මෙය දර්ශනීය ආකාරයට නිර්මාණය කර ඇති අතර සිරස්පත සහ ඌර්ණරෝම ධාතුව නිරූපණය කර ඇත. එසේම පද්මාසනය දේශීය වශයෙන් නිර්මාණය කර ඇත. මේ ප්‍රතිමාවෙන් දේශීය බුද්ධ ප්‍රතිමා නිර්මාණ සම්ප්‍රදාය ක්‍රමයෙන් පූර්ණත්වයට පත් වූ බව දක්නට ලැබේ.මෙම ප්‍රතිමාවේ හිස වටා නෙළුම් පෙති රාමුවකින් සරසන ලද ක්‍රමවත් රශ්මි වළල්ලක් දක්නට ලැබේ. ප්‍රසන්නවූ බුදුපිළිම යේ මුහුණ සිනාරැල්ලක් ද නිරූපිතය. උභයාංශ සහ ඒකාංශ චීවර පාරුපන ක්‍රම මථූරා බුදු පිළිමවල දක්නට ලැබේ. එමෙන්ම සිවුර තුනී වස්ත්‍රයක් සේ ශෛලිගත රැළි සහිතව දක්වමින් එය සිරුරට ඇලෙන පරිදි පෙන්වා ඒ තුළින් සිරුරෙහි ජ්වලිත බව ඉස්මතු කිරීමට කලා ශිල්පියා උත්සාහ දරා ඇත. එමෙන්ම මථුරා කලාකරුවා ගන්ධාරයේ බලපෑම්වලට හසුවී තිබෙන බව ශීර්ෂය සහ සිවුර නිරූපණය කිරීමේ ක්‍රමයෙන් පැහැදිලි වේ.
මේ අනුව මථුරාවේ නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමාවේ දේශීය ශෛලිය සහ කලා ලක්ෂණ ප්‍රකට කරන ඉන්දියානු රූප ආදර්ශ කොටගත් ගන්ධාර ප්‍රතිමාවේ යම් යම් ලක්ෂණද ස්වල්ප වශයෙන් සංකලනය වූ සම්ප්‍රදායක් බව හැඳින්විය හැකිය. එමෙන්ම මෙම අධ්‍යාත්මික ලක්ෂණද මූර්තිමත් කිරීමට කලා ශිල්පියා උත්සාහ කර ඇත.
බුද්ධ ප්‍රතිමා මානව රූපාකාරයෙන් දැක්වීමේදී ගන්ධාර සහ මථුරා යන ස්ථාන දෙක ප්‍රමුඛ වු බව ඉහත සඳහන් කරුණු අනුව පැහැදිලි වේ. මේ ආකාරයට බුද්ධ ප්‍රතිමාව මානව රූපාකාරයෙන් නිර්මාණය වීම පිළිබඳ විවිධ විද්වතුන් අදහස් ඉදිරිපත් කර ඇත.

බුදුපිළිමයේ උපත - 48:  

ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිරූපිත සාරානාත්හි හිඳි බුදු පිළිමය

ජම්බුද්වීපය පුරාණ භාරතය යනුවෙන්ද හැඳින්වේ. ඒ අනුව පුරාණ භාරතයට අයත්වන ඉතා විශිෂ්ඨතම සාහිත්‍ය, මූර්ති කැටයම් හා විවිධ ශිල්ප ශාස්ත්‍රවල ස්වර්ණමය යුගය ලෙසින් සැලකෙන්නේ ගුප්ත රාජ යුගයයි. එම යුගය ක්‍රිස්තුවර්ෂ 320 දී ආරම්භ වූ අතර වසර 200 පමණ කාලයක් පැවතුණි. භාරත දේශයේ විශේෂයෙන්ම මූර්ති කලාවේ ද ඉතා විශිෂ්ටතම කාලය ලෙසින් කලා විචාරකයින් මෙන්ම ඉතිහාසඥයින් විසින්ද හඳුන්වා තිබේ.
අසෝක රජතුමා අයත්වන මෞර්යරාජ වංශය කි‍්‍රස්තු පූර්ව තුන්වන සියවස තුළ ඇරඹුණු මෞර්ය සංස්කෘතිය අසෝක අධිරාජයාගේ සමයේදී (ක්‍රි.පූ. 272-232) කාලයේදී උච්චතම අවස්ථාවට පත්විය. ඒ කාලයේදී බුදුසමය භාරත දේශයෙන් පිටත පවා ව්‍යාප්ත වීම දැකිය හැකිය. ලංකාවට බුදුසමය ලැබුණේද ඒ කාලයේදීය. මෞර්ය අධිරාජ්‍යය අසෝක රජුට පසු පරිහානියට පත්විය. ක්‍රි.පූ. 185 දී ශුග රාජවංශිකයින් විසින් මෞර්ය වංශික අවසාන රජු පරාජය කර බලය ලබාගත්තේය. ඒ කාලයේ ශුංග වංශික රජවරුන්ගෙන් සමහරු බුදුසමයට එරෙහිවුවද සමහර ශුංග රජවරු විශේෂයෙන් බෞද්ධ කලාව දියුණුවට බෙහෙවින්ම උපකාර කළ බව සාංචි ස්තූපයේ තොරණවල ඇති මූර්ති කැටයම්වලින් හෙළිවේ. ඉන්පසු කුශාන රජවරුන් අතරේ කනිෂ්ක රාජ යුගයේදී ඇතිවූ මහායාන බෞද්ධ ප්‍රබෝධයන් සමඟ පුරාණ භාරතයේ බුදුපිළිම නිර්මාණය වූ බව අපි මීට ඉහත සඳහන් කළෙමු. මහායාන බෞද්ධ දර්ශනය මත වර්ධනය වූ බෞද්ධ ශිෂ්ටාචාරය ගන්ධාර සහ මථුරා බෞද්ධ මූර්ති කලාව වර්ධනයට බලපෑවේය. ඉන්පසු නැවත භාරතීය බෞද්ධකලාව ගැන සඳහන් කරන විට එහි විශිෂ්ටතම යුගය එළඹුණේ ගුප්තරාජ සමයේදීය. ඒ ගුප්ත රජවරුන් අතරේ දෙවැනි චන්ද්‍රගුප්ත (ක්‍රි.ව. 375-412 ) කාලයේදී ඉතා ප්‍රකට සංස්කෘත කවීහු වාසය කළහ. ඒ අතරේ කාලිදාස කවියා ප්‍රමුඛය. සාහිත්‍ය සංගීත ආදි විවිධ කලාවන්ගේ දියුණුව ඒ රාජ යුගයේදී උච්ච අවස්ථාවට පත් වූ බව භාරත ඉතිහාසයේ ලියැවී ඇති කරුණකි. එම ප්‍රබෝධය බෞද්ධ මූර්ති කලාවේද දක්නට ලැබුණි. කුශාන රාජයුගයේදී ගංගා යමුනා ප්‍රදේශයේ දියුණුවට පත්වූ මථුරා මූර්ති කලාවේ තවදුරටත් වර්ධනයක් දක්නට ලැබෙන්නේ ගුප්ත රාජ යුගයේදීය. ඉහතින් සඳහන් කළ රාජ යුගයෙන් ඇරඹුණු ඒ යුගය තුළ මථුරාහි හිටි බුදුපිළිමයක් (නවදිල්ලියේ කෞතුකාගාරයයෙහි ඇති) මේ සඳහා දිය හැකි සුදුසුම නිදසුනකි.
මීට අමතරව සාරානාත් කෞතුකාගාරයෙහි ඇති ඉතා විශිෂ්ටතම හිඳි බුදුපිළිමය අප රටේ අනුරාධපුරයේ මහමෙවුනා උයනේ පිහිටි සමාධි පිළිමය තරමටම ලොව ප්‍රකට වී ඇත.
සාරානාතය බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පවත්වන ලද පුදබිමය. ඒ පුදබිමෙහි අසෝක රාජ යුගයේ පිහිටුවන ලද අසෝක ස්තම්භයේ ශීර්ෂය මෙන්ම ගුප්ත යුගයේ නිර්මාණය කරන ලද මෙම හිඳි බුදු පිළිමයද ප්‍රථම ධර්ම දේශනය පස්වග මහණුන්ට දේශනා කරන අන්දම මෙයින් නිරූපිතයි.
ප්‍රථම ධර්ම දේශනය, සංචි ස්තූප අංක 1
බුද්ධ ප්‍රතිමාවල දක්නට ලැබෙන ධර්මචක්‍ර මුද්‍රාව බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාශය සංකේතවත් කරයි.
ධර්ම චක්‍ර මුද්‍රාව හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණය නම් දකුණු අත්ල පිටතට හරවා පපුවේ මට්ටමට තබාගෙන එහි දබර ඇඟිල්ලේ හා මාපට ඇඟිල්ලේ තුඩු දෙක කවයක් සෑදෙන සේ එකට තබා ඇතුළට හැරුණු වම් අතේ ඇඟිල්ලක් ස්පර්ශ කරන අයුරින් පැවැතීමයි. (බුදු පිළිමය මුද්‍රා හා ආසන පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි)
මෙම බුදු පිළිමය සංයමයකින් යුක්තව නිරූපණය කර ඇත. උප ශාන්ත භාවයකින් ද මන්දස්මිත මද සිනහවකින් යුක්තව නිරූපිත මෙම බුදු පිළිමය හිස වටා දර්ශනීය ප්‍රභා වළල්ලක් ද නිර්මාණය කර තිබීම මූර්ති ශිල්පියාගේ දක්ෂතාවය පිළිබිඹු කරවන්නකි.
මෙම බුදු පිළිමයට පහතින් ඇති ප්‍රතිමා රූප පස්වග මහණුන් වහන්සේලා නිරූපණය වෙතැයි සැලකේ.
සාරානාත්හි මෙම පුදබිම ද අන්‍යාගමිකයන්ගෙන් බේරාගෙන බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කිරීමට ලබාදුන්නේ අනගාරික ධර්මපාල තුමා නිසා බව අප නැවත ද සිහිපත් කළ යුතුව ඇත.
සාරානාත්හි ධර්ම චක්‍ර මුද්‍රාවෙන් යුක්ත වූ මෙම බුදු පිළිමයේ දෙපා මූර්තිමත් කර ඇති අන්දම පද්මාසන යනුවෙන් හැඳින්වේ. අප රටේ සමාධි පිළිමය (අනුරාධපුරයේ ) දෙපා නිර්මාණය කර ඇත්තේ වීරාසන ක්‍රමයටය. වම්පාදය මත දකුණු පාදය සිටින සේය.
ධර්ම චක්‍රය නිරූපණය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනයයි. අංක එක දරණ සාංචි ස්තූපයේ බටහිර තොරණෙහි දෙවන පේළියෙහි සාරානාත්හි (බරණැස) තථාගතයන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ බැව් එහි හරි මැද විශාල ධර්ම චක්‍රයක් කැටයම් කිරීමෙන් පෙන්වා ඇත. ධර්මචක්‍රය දෙපස සතා සිව්පාවුන් ඇතුළු පිරිසක් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන ආකාරයෙන් සිහිපත් කරවන්නේ එම දේශනාව අවසානයේ අකණිටා බ්‍රහ්මලෝකය තෙක් දෙව් මිනිසුන් සාධුනාද පවත්වන අවස්ථාව යැයි අනුමාන කළ හැකිය. (බුදු පිළිමයට පෙර බුදුහාමුදුරුවෝ, බෙල්ලන්විල විමලරතන අනු නා හිමි)
මේ අනුව චක්‍රය වෙනත් විවිධ ආකාරයෙන් අර්ථවත් කිරීමට බෞද්ධ කලා ශිල්පවල යොදා ගෙන තිබුණ ද ප්‍රථම ධර්ම දේශනාව අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීමේ පිළිගත් සංකේතය බවට පත්ව ඇති ආකාරය සාංචි අමරාවතී භාරුත් හා ගන්ධාර වැනි පුදබිම්වල ඇති මූර්ති කැටයම්වලින් පැහැදිලි වේ.