ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

බුදුපිළිමයේ උපත - 5

බුදුපිළිමයේ උපත - 25:  

සාරානාත් පුදබිම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසූමන් විජේතුංග 

පුරාවිද්‍යා 
Msc පර්යේෂණ
පුරාණ මූලගන්ධකුටි විහාරයේ නටබුන්
නූතන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි බාරානසි (වාරානසි) දිස්ත්‍රික්කයේ පිහිටි සාරානාත් පුදබිම ආශි‍්‍රත වූ ප්‍රධාන මූර්ති ස්තම්භය ද තවත් ආගමික නිර්මාණ වූ ධම්මික හෙවත් ධමෙක් ස්තූපය සහ ධර්ම රාජික ස්තූපය ආදිය අසෝක රජුගේ (ක්‍රි.පූ. 273 – 232 ) අනුග්‍රහයෙන් සිදුවිය. ඊට පසු එම පුදබිමෙහි ක්‍රි.ව. 2 – 4 සියවස්හිදී රජ වූ කණිෂ්ක රජු ප්‍රමුඛ කුශාන රාජවංශික රජවරු විසින් ඒ නිර්මාණ තවත් වැඩිදියුණු කළහ. ඊට පසු එළඹි පුරාණ ඉන්දියාවේ (භාරතයේ) ඉතාම විශිෂ්ට ශිෂ්ටාචාරයක් වූ ගුප්ත රාජ යුගයේ දී (ක්‍රි.ව. 5 – 7 ) මෙම නිර්මාණ තවත් වැඩිදියුණු කරන ලදී. මේවා පිළිබඳ පුරා විද්‍යාත්මක වාර්තාවලට පෙර ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ දී චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් වූ ෆාහියන් හිමියන් ද ක්‍රි.ව. 7 වන සියවසේ දී ඉන්දියාවට පැමිණි තවත් චීන භික්ෂූන් වහන්සේ නමක වූ හියුං ෂාං හිමියන් ද විස්තර කර ඇත.
මෙම සාරානාත් පුදබිමට අයත් මූර්ති කැටයම් හා ආශි‍්‍රත වූ පුරාවස්තු හා ගඩොල් කැබලි කරත්ත හැටක් පමණ සංඛ්‍යාවක් රැගෙන ගොස් වරුණ ගඟේ පාලම් දෙකක් සෑදීම සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය ලෙසින් භාවිතාකර ඇති බව වාර්තාගත වී ඇත. (භාරත – ලංකා බෞද්ධ උරුමය සිරිසමන් විජේතුංග පි - 50 – 2006 )
ධර්ම රාජික ස්තූපයට උතුරු දෙසින් ඇති පුරාණ මූලගන්ධ කුටි විහාරයට අයත්වන නටබුන් සොයාගෙන ඇත. මෙම විහාරය සාදා අසෝක රජතුමා (ක්‍රි.පූ. 273 – 232 ) ගේ අනුග්‍රහයෙන් මෙම මූලගන්ධකුටි විහාරය නැවත ගොඩනංවන ලදී.

මූලගන්ධ කුටි විහාරය

බුදුරජාණන් වහන්සේ මූලගන්ධකුටි විහාරයේ සමවත් සුවයෙන් වැඩසිටි අවස්ථාවලදී ඊට අයත් අංගනය සක්මන් කිරීම සඳහා යොදාගත් සේක. මූලගන්ධකුටි විහාරය සහ ධර්මරාජික ස්තූපය අතර බුදුරජාණන්වහන්සේ සක්මන් කළ සක්මන් මළුව පිහිටා තිබුණි. ඒ පුදබිම් දෙක අතර තිබී, බෝධිසත්ව පිළිමයක් ද හමුවී ඇත. මූලගන්ධකුටි විහාරයට අයත් විශාල ගල් කණු හතරක් දක්නට ලැබේ. ඊට මැදිවූ ආසනයකි. එය බුදුරජාණන් වහන්සේ වැඩසිටි ආසනය ලෙසින් සැළකේ. මීටර් 18.29 පැත්තක් දිග වූ සමචතුරස්‍රාකාර ගොඩනැගිල්ල මෙය වේ. බුදුරජාණන් වහන්සේගේ පළමුවන වස් විසීම සිදුවූයේ මෙහිය. මෙම ගොඩනැගිල්ලේ දොරටුව නැගෙනහිරට මුහුණ ලා සාදා තිබුණි. ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ දී මෙම පුදබිමට පැමිණි චීන ජාතික හියුං ෂාං හිමියෝ සඳහන් කරන පරිදි මෙම මූලගන්ධකුටි විහාරය මීටර් 61 උසය.
දම්සභා මණ්ඩපය
මූලගන්ධකුටි විහාරයෙහි බිත්තිවල ඝනකම අනුව එහි උස හියුං ෂාං චීන භික්ෂූන් වහන්සේ විස්තර කරන අන්දමට බිත්තිවල තැන තැන ඔබා ඇති කැටයම් සහිත ගල්වලින් සිතාගත හැක්කේ මේ විහාර ගෙය මුලින්ම සාදන ලද අවස්ථාවේ භාවිතා කළ ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතා කරමින් තව එක් වරක්වත් එය නැවත සාදන ලද බවය. අද දක්නට ලැබෙන ස්තූපය ගුප්ත රාජ යුගයේ දී සාදන ලද්දකි.
(Middle land middle way – a pilgrims guide to the buddha India ven. S dhammika p – 79 – 80 (2008)
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි අවධියේ බරණැස තනා තිබුණු ගන්ධකුටිය තිබූ ස්ථානයෙහි ය. ගන්ධකුටිය යන නම තබන ලද්දේ ඒ නිසාය. හියුං ෂාං හිමියෝ ඒ පිළිබඳ මෙසේ සඳහන් කරති. විශාල කොටු බැම්ම ඇතුළත අඩි 200 පමණ උස් වූ විහාරගෙයක් වේ. එහි පියස්ස රනින් කරන ලද අඹගෙඩියක හැඩය ගත් ස්වරූපයක් තිබේ.

දම්සභා මණ්ඩපය

බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා පිළිබඳව සඳහන් කරන අවස්ථාවලදී දම් සභා මණ්ඩපය සඳහන් වන පුදබිමකි. මූලගන්ධකුටි විහාරය අසළ පිහිටි දම් සභා මණ්ඩපය මෙකල කොන්ක්‍රීට් කණු මත ඉදි කළ වහලයකින් යුක්තව දැකිය හැකිය. එහි පියස්ස යට පුරාණ ගඩොල්වලින් සාදන ලද වේදිකාවකි. එය ධර්මාසනයක් සේ සැළකේ. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන යස කුල පුත්‍රයා බුදුරජාණන්වහන්සේට මුණ ගැසුණේ ද මෙහිදීය. 1956 වර්ෂයට යෙදුණු බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ ශ්‍රී ජවහර්ලාල් නේරු තුමා විසින් මෙම ධර්මාසනය සංරක්ෂණය කිරීම පිණිස වහලක් ඉදි කරවන ලදී. මෙම පුදබිමෙහි අනගාරික ධර්මපාලතුමාගේ අනුග්‍රහයෙන් ඉදිකරවන ලද නව මූලගන්ධකුටි විහාරය, ධර්මාජික ස්තූපය චෞකන්දි ගොඩනැගිල්ල, ධර්මචක්‍රජින ආරාමය, සාරානාත් කෞතුකාගාරය ආදිය පිළිබඳව පසුව විමසා බලමු.

බුදුපිළිමයේ උපත - 26: 

ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිරූපිත සාරානාත්හි බුද්ධ ප්‍රතිමා වහන්සේ


බුද්ධත්වයට පත් වූ ගෞතම බුදු පියාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය ලෝක සත්වයාට මහා මෛත්‍රියෙන් දෙසා වදාළ දිනය ලෙසින් ඇසළපුර පසළොස්වක දිනය ශාසන ඉතිහාසයෙහි සටහන් වී ඇති කරුණකි.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය හෙවත් සාරානාත් පුදබිම බුදුදහමේ නිජබිම ලෙසින්ද සැළකිය යුතුව ඇත. බුදුසමය හා සම්බන්ධ සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය බුද්ධත්වය හා ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ පුදබිම යන මේ පුදබිම් තුනේම බුද්ධකාලයට පසුව ඒ ස්ථාන හඳුනා ගැනීම සඳහා සිය රාජකීය වන්දනා ගමන සිදුකළ මහා නරපතියෙක් ජම්බුද්වීපයේ උපත ලැබීම එකල පමණක් නොව මෙකල වාසය කරන ලොව හැමගේම භාග්‍යයක් ලෙසින් සඳහන් කළ යුතුය. ඒ නරපතියා නම් අසෝක අධිරාජයාය. අසෝක මහා අධිරාජයා මේ සියලුම පුදබිම්වල වන්දනාවෙහි නිරතවූවා පමණක් නොව අනාගත අප සඳහා ඒ පුදබිම් හඳුනා ගැනීම පිණිස ස්මාරක බෞද්ධ ශිලාලේඛන මෙන්ම බෞද්ධ කලාශිල්ප වලින් ඒ ස්ථාන අලංකාර කළේය. මේ නිසා අසෝක රාජ සමයට පසුව ඉතා විශිෂ්ටතම රාජ යුගයන් වු ක්‍රිස්තුවර්ෂ දෙවැනි සියවසේදී මෙකල පකිස්තානයට අයත් පේශවාර්හි රජවූ දෙවැනි ධර්මාශෝක කෙනෙකු ලෙසින් සළකන කණිෂ්ක රජතුමා (කුශාන රාජවංශික) විසින්ද ඊට සියවස් තුනකට පමණ පසු පුරාණ භාරත දේශයේ ගුප්ත රාජධානි සමයේදීද මෙම සාරානාත් පුදබිමෙහි මූර්ති හා මූර්ති කැටයම් ද ස්තූප ද ගොඩනංවන ලද බවට ඉතා වැදගත්ම සාක්ෂි පුරාවිද්‍යාඥයින්ට අද හමුවී ඇත. බුදුපිළිම නිර්මාණයට පෙර අසෝක රජතුමා විසින් සාරානාත් පුදබිමෙහි පිහිටුවන ලද ශිලා ස්තම්භයට අයත් ශීර්ෂයේ ඇති සිංහරූප සහ ධර්මචක්‍රය මගින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය සිව් දෙසටම කරන ලද සිංහනාදයක් ලෙසින් සංකේතවත් කර ඇත.
බුදුපිළිම නිර්මාණය ක්‍රි.ව. 2 වැනි සියවසේ දී ගන්ධාරය සහ මථුරා පුදබිම් ආශි‍්‍රතව කණිෂ්ක රාජයුගයේ දී සිදුවීමෙන් පසුව උදාවූ ගුප්ත රාජ යුගයේ නිමකරනලද විශිෂ්ටතම බුද්ධ ප්‍රතිමා වහන්සේ (ධර්ම චක්‍ර, මුද්‍රාවෙන් නිරූපිත) මෙම පුදබිමෙහි නිර්මාණය කිරීමද බොදු හදවත් තුළ පමණක් නොව ඒ පුදබිම සංචාරයේ යෙදෙන්නන්ට ද ආකර්ෂණය වූවකි. බුදුදහමේ නිජබිම සාරානාත් බව පැවසීමට මීට වඩා තවත් උචිත වුද සුදුසු වූද මූර්තියක් බෞද්ධ ශිෂ්ටාචාරය ව්‍යාප්තවූ මානව ශිෂ්ටාචාරය තුළ මෙතෙක් හමු වී නැත.
මෙහි අතීත පසුබිම පිළිබඳ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණෝ මෙසේ සඳහන් කරති.
"විනය මහාවග්ග පාලියෙහි සඳහන් වන ආකාරයට බුද්ධත්වයට පත්වි සති හතක් ඉක්ම ගිය පසු තම අතීත මිත්‍රයන් වූ පස්වග තවුසන්ට ධර්මාවබෝධය ලබාදීම සඳහා පා ගමනින් බරණැස බලා වඩින අතරමගදී හමුවූ ආජීවකයෙකු උන්වහන්සේගෙන් ගුරුවරයා කවරෙක්දැයි ආදි වශයෙන් අසනලද ප්‍රශ්නවලට පිළිතුර වශයෙන් තමන්වහන්සේ බුදුබවට පත්වූ බවත්, ගුරුවරයෙකු නොමැති බවත් ප්‍රකාශකර ඇත. එසේම “ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං” යනුවෙන් ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීමට බරණැසට වඩින බවක් පැහැදිළි කළහ.ඒ අනුව උන්වහන්සේ ධර්මය හඳුන්වා ඇත්තේ චක්‍රයකටය. මෙහි චක්‍රය ප්‍රවර්තනය කිරීම යනු ධර්මයේ අණසක කිසිදු වෙනසකින් තොරව ලෝකයෙහි පැවැත්වීමයි.අනෙක් අතින් මෙම සූත්‍රයට ඇතුළත් චතුරාර්ය සත්‍යය තිපරිවර්ත ද්වාදසාකාරයකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දී ඇත. මේ අනුව චක්‍රය වෙනත් විවිධ ආකාරයෙන් අර්ථවත් කිරීමට බෞද්ධ කලාශිල්පවල යොදාගෙන තිබුණද ප්‍රථම ධර්මදේශනා අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීමේ පිළිගත් සංකේතය බවට පත්ව ඇති බව සාංචි, අමරාවතී, ගන්ධාර හා භාරුත් වැනි පුදබිම්වල මූර්ති කැටයම් වලින් දැකගත හැකිය. (බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ මහාචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි. – පි. 5-6 (2010 සරසවි ප්‍රකාශකයෝ)
සාරානාත් හි ඇති ධර්මචක්‍ර මුද්‍රාවෙන් නිර්මාණය කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ බුදුරජාණන් වහන්සේ ගේ ධර්ම දේශනා විලාශය සංකේතවත් කරන්නකි. ආසියාවේ විවිධ රටවල දක්නට ලැබෙන මෙම මුද්‍රාව සහිත ප්‍රතිමාව ද භාරතීය මූර්ති කලාවේ විශිෂ්ටතම ප්‍රතිමාව ලෙසින්ද භාරතීය ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය වූ ගුප්ත රාජ යුගයේදී නිර්මාණය කරන ලද මූර්තියකි. (දඹදිව සිව්මහ පුදබිම් සිරිසමන් විජේතුංග පි. 69(2011)
ධර්මචක්‍ර මුද්‍රාව හඳුනාගතහැකි ප්‍රධාන ලක්ෂණය නම් දකුණු අත්ල පිටතට හරවා පපුවේ මට්ටමට තබාගෙන එහි දබර ඇඟිල්ලේ සහ මාපට ඇඟිල්ලේ තුඩුදෙක කවනයක් සැදෙන සේ එකට තබා ඇතුළතට හැරුණූ වම් අතේ ඇඟිල්ලක් ස්පර්ශ කරන අයුරින් පැවතීමයි.
සුප්‍රසිද්ධ සාරානාත් බුද්ධ ප්‍රතිමාවේ දක්නට ලැබෙන්නේ මේ ආකාරයයි. (බුදුපිළිමය මුද්‍රා සහ ආසන අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි. පි. 31 1999) සහ ඉහත සඳහන් ග්‍රන්ථය පි. 69)
ධර්මචක්‍ර මුද්‍රාව බුද්ධප්‍රතිමා නිර්මාණයන්හි දක්නට ලැබෙන හස්ත මුද්‍රාවකි. මෙයින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා විලාසය සංකේතවත් කෙරේ.
මෙම බුද්ධ ප්‍රතිමාව ඒ අනුව ක්‍රි.ව. 5-6 සියවස්වලට අයත් වේ. මෙම ප්‍රතිමා වහන්සේ සංයමයෙන් හා මන්ද ස්මිතයෙන් (මද සිනහවකින්) යුක්තව නෙළා තිබේ. බුද්ධ ශීර්ෂය වටා රැස්වළල්ලද සියුම් කැටයමින් අලංකාර කර තිබේ. දෙපා භාරත දේශයේ බොහෝ බුදුපිළිමවල මෙන් පද්මාසන ක්‍රමයට නෙළා ඇත. මෙහි ප්‍රතිමාවේ පහතින් ඇති රූප පහක් හිස්මුඩු කොට සිටිනසේ නෙළා තිබේ. එයින් පස්වග මහණුන් වහන්සේලා නිරූපිත යැයි ද අනික් රූප දෙකෙන් දැක්වෙන්නේ මෙම මූර්ති කරවූවන් යැයිද සමහර විද්වතුන්ගේ මතයකි.
මෙම ප්‍රතිමාවද සාරානාත් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත.


බුදුපිළිමයේ උපත - 27:

අනගාරික ධර්මපාලතුමා සහ නව මූලගන්ධකුටි විහාරය


අප රටේ ජනතාවගේ පිනට පහළ වූ ඒ ශ්‍රේෂ්ඨ නායකයාණන් වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා උපත ලැබුවේ 1864 සැප්තැම්බර් 17 දා ය.

නව මූලගන්ධකුටි විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
අනගාරික ධර්මපාලතුමා නොවන්නට අද බුද්ධගයාව ඇතුලු පුරාණ දඹදිව බෞද්ධ පුදබිම් බොදු අයිතියෙන් ඈත්වන්නට ඉඩ තිබුණි. අනගාරික ධර්මපාලතුමාගේ අද්විතීය වික්‍රමය වනාහි බුද්ධගයාව බෞද්ධයින්ට ලබාදීම සඳහා ගත් ප්‍රයත්නයයි. සිංහලයිනි බුද්ධගයාව බේරාගනිව් යන පාඨය අප රටේ ජනතාව අවදි කළ කාහළනාදයකි. බුද්ධගයාව බේරා ගැනීම සඳහා ලෝක ජනතාවගේ ද නායකයන්ගේ ද සිත් එම ප්‍රශ්නය දෙසට යොමු කළ මහා බෞද්ධ හඬ නැගුණේ අනගාරික ධර්මපාලතුමාගෙන් හා 1891 දී එතුමාගේ මූලිකත්වයෙන් ගොඩනඟනලද මහාබෝධී සමාගමේ ක්‍රියාකාරීත්වය නිසාය. නැවත දඹදිව බුදුසමය ව්‍යාප්ත කිරීම මෙතුමාගේ ජීවිතයේ අතිශයින්ම සාර්ථක වූ වැදගත් කාර්යභාරයකි. අසෝක රජතුමාගේ කාලයේ සිට ලංකාව ඉන්දියාවට ණය ගැතිව සිටියේ බුදුසමය සහ බෞද්ධ සංස්කෘතිය මෙහි ස්ථාපිත වූ හෙයිනි. ඒ ණය ගෙවා දැමීමට යම්ඉඩක් ලැබුණේ අනගාරික ධර්මපාලතුමා නිසා බව මහාචාර්ය ආනන්ද ඩබ්.පී. ගුරුගේ විද්වතාණන් විසින් සඳහන් කරන ලද කරුණකි. සාරානාත්හි පිහිටුවන ලද නව මූලගන්ධකුටි විහාරය මෙතුමාගේ තවත් වික්‍රමයකි. (සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මායා දේවි විහාරය - සිරිසමන් විජේතුංග - පි. 114 – 2014 සුබෝධි ප්‍රකාශන)
ලෝක නාථයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ මංගල ධර්ම දේශනය පවත්වන ලද බරණැස පිළිබඳව පන්සිය පණස් ජාතක පොත කියවන බෞද්ධ ජනතාවට කිසිදිනක අමතක නොවන "යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කළ" සහ සිරිත් වශයෙන්ම පිරිත් අසන අප රට ශ්‍රද්ධාධික උපාසක උපාසිකාවන් ‘ඒකං සමයං භගවා බාරාණාසියං විහරති. ඉසිපතනෙ මිගදායේ....’ යන්න සවන වැකෙන කල පස්වණක් පී‍්‍රතියෙන් සාධුකාර දෙන එතැනට අනගාරික ධර්මපාලතුමා පැමිණි කාලයේ ඒ බුද්ධ භූමිය සූකර (ඌරන්) කොටුවක් බවට පත්ව තිබුණේ ය. එතුමන් එකල පළමු කොටම එහි ගිය සමයේදී එතුමා නවාතැන් ගත්තේ කොහොඹ ගසක් යට යැයි කියනු ලැබේ. (අනගාරික ධර්මපාලතුමා - ඩේවිඩ් කරුණාරත්න පි. 157 – 1964)

මෙම ඉසිපතනාරාම පූජා භූමියෙහි නව මූලගන්ධකුටි නමින් මහාවිහාරයක් ගොඩනංවන්නට ඉටාගත් අනගාරික ධර්මපාලතුමා ලහි ලහියේ වැඩ ඇරඹීම ලංකාවටත් අභිමානයක් වන පරිද්දෙන් පුරාණ භාරත ගෘහ නිර්මාණ ශිල්පය අනුව පිළියෙල වුණු පිඹුරුපත් අනුව ආරම්භ වූ මෙම මන්දිරයේ මුල්ගල 1922 නොවැම්බර් මාසයේ ඉන්දියානු ඒකාබද්ධ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා වූ හෝර්කාට් බට්ලර් මහතා විසින් තබන ලදී.
අතිවිශාල ඉන්දියාව වැනි රටකට කුඩා ලංකාවෙන් පැමිණි බෞද්ධයෙකු බරණැස් ප්‍රදේශයේ මෙබඳු විහාර කර්මාන්තයක් ආරම්භ කිරීම බරණැස් නුවර බමුණන්ගේ මුණුමුණු වලට හේතුවිය. මුලින් බට්ලර් විසින් මංගල ශිලා ප්‍රතිෂ්ඨානය කරන ලද අත්තිවාරමේ එකල මේ විහාරය ගොඩනැංවීම නතර කළයුතු යැයි රජය හදිසියේම තීරණය කළේය. ඉක්බිති මූලගන්ධකුටි විහාරය දැනට, පිහිටුවා ඇති අඹ උයනේ නැවතවරක් මඟුල් ගල් තබා දෙවෙනිවරට විහාර කර්මාන්තය ආරම්භ කරන්නට සිදුවිය. එහෙත් එහිද එකල වැඩකටයුතු නතර කළ යුතු යැයි ඉන්දියා රජයෙන් දෙවැනිවරටත් අණ ලැබිණ. එහෙත් අනගාරික ධර්මපාලතුමා විරුද්ධ විය. බරණැස බෞද්ධයෝ ද විරුද්ධ වූහ. ඉන්දියානු එකල රජයට සිය විරෝධය පළකළ ධර්මපාලතුමා ලෝකයේ බෞද්ධ රටවලට ගොස් ඒ ඒ රටවල විරෝධය ඉන්දියානු රජයට දන්වා එව්වේය. ඉසිපතනයේ මූලගන්ධකුටිය ඉදිකිරීම පිළිබඳ ප්‍රශ්නය ගැන ඉන්දීය රජය සමඟ සටන් කරමින් එහි බුද්ධගයා ගැටලුව පිළිබඳ ඉන්දියානු ජාතික සංගමයේ ප්‍රධානීන් සම්බන්ධ කරගෙන සටන් කරමින් 1923 දී පොස්ටර් රොබින්සන් උපාසිකාව විසින් ප්‍රදානය කරන ලද ඩොලර් එක්ලක්ෂයේ මුදල ලොව පුරා යොදන අතර කල්කටාවේ මහාරාෂ්ට්‍රිය ප්‍රාචීන සම්මේලනයේ බුද්ධාගම සම්බන්ධ අංශයේ සභාපති පදවියද දැරීය. (ඉහත සඳහන් ග්‍රන්ථය පි. 163)
තත්ත්වය මෙසේ තිබියදී අනගාරික ධර්මපාලතුමා 1925 දී ලංකාවට පැමිණි එවක විද්‍යෝදය පරිවෙනාධිපතිව වැඩ විසූ කහවේ ශ්‍රී රතනසාර නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් අගනුවර මහා සභාවක් පවත්වා බරණැස සාරානාත්හි ගොඩ නංවන්නට ආරම්භ කළ මූලගන්ධ කුටි විහාරයේ වැඩ ඉන්දීය රජය විසින් නවත්වා තිබීම ගැන සමස්ත බෞද්ධ ලෝකයා වෙනුවෙන්ම විරෝධය පළකරන බව ඉන්දියානු රජයට දන්වා සිටියේ ය. එම යෝජනාව සියතින්ම භාරගෙන ඉන්දියාවට ගියේ අනගාරික ධර්මපාලතුමාගේ කනිටු සොහොයුරු දොස්තර සී.ඒ. හේවාවිතාරණ මහතා විසිනි. මේ ගැන තක්ෂිලාවට ගොස් එවක පුරාවිද්‍යා අධ්‍යක්ෂජනරාල් වූ සර් මාෂල් මහතාටද කරුණු පැහැදිලි කළේ ය. ඒ අනුව සර් මාෂල් මහතා ඉංගී‍්‍රසි පාලකයින්ට පැහැදිලි කර දුන්නේ ය. සාරානාත්හි මූලගන්ධිකුටි විහාරය සෑදිමේ කටයුතු කරගෙන යෑමට අවසර ලබා දුන්නේ ය. එම ජයග්‍රහණය ලබාගෙන ආපසු ලංකාවට ගිය දොස්තර හේවාවිතාරණ මහතා අනගාරික ධර්මාලතුමාට දැන්වූයේ ය. එයින් ඉමහත් සොම්නසට පැමිණි අනගාරික ධර්මපාලතුමා විසින් වහාම 1926 මැයි මස මාළිගාකන්දේ සර්ව පාක්ෂික බෞද්ධ මහා සභාවක් කැඳවා සර් මාෂල් මහතාටත් ඉන්දියානු රජයටත් ප්‍රසාදය පළකරන යෝජනාවක් සම්මත කර එය ඉන්දියානු රජයට දන්වා සිටියේ ය.

මෙසේ නානාවිධ බාධක හා ජයග්‍රහණ මධ්‍යයේ ලෝකප්‍රකට ජපන් චිත්‍ර ශිල්පී ෂිබෝ විසින් අඳින ලද සිත් කළු බිතුසිතුවම්වලින් අලංකාර වූ මූලගන්ධ කුටි විහාරය ඉදිකරන ලදී. එය විවෘත කරන අවස්ථාව මෙසේ සඳහන්ය.
එවකට ලංකාවේ ප්‍රධාන පිරිවෙන් දෙකෙහි අධිපති ධූරය දැරූ කහවේ ශ්‍රී රතනසාර, සහ ලුණු පොකුණේ ශ්‍රී ධම්මානන්ද නාහිමිවරුන් දෙනම විසින් ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරන විලාශයෙන් වැඩ සිටින ශාක්‍ය මුණින්ද්‍රයාණන්වහන්සේගේ පිළිමයට මල් පහන් පුදා විවෘත කරන ලද නව මූලගන්ධකුටි විහාරය ඉන්පසුව රැස්ව සිටි පහළොස් දහසක් පමණ බෞද්ධයන් විසින් වඳින පුදන ලදී. එවකට විසූ පණ්ඩිත ජවහල්ලාල් නේරු තුමාගේ ප්‍රධානත්වයෙන් අපර භාගයේ දී පවත්වන ලද මහා සභාවට දෙසිය ගණනක් භික්ෂූන් වහන්සේලා හා පිරිස පැමිණ සිටියහ. ඉක්බිති ප්‍රතිරාජතුමාගේ සහ අනගාරික ධර්මපාල හිමියන්ගේ වයෝවෘද්ධ මිත්‍ර මහාකවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේත් ශුභාශිංසන පණිවිඩ ලැබී තිබුණි. විවිධ රටවල නියෝජිතයෝද එවන ලද ශුභාශිංසන දහස් ගණනින්ය. (අනගාරික ධර්මපාල - ඩේවිඩ් කරුණාරත්න පි. 199 – 1964)

බුදුපිළිමයේ උපත - 29:

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ශ්‍රමණ භූමියට ඇතුළත්වීම

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සහ එතුමාගේ මෙහෙය පිළිබඳ නිසි ලෙස තේරුම් ගත් විදේශිකයෝ ද බොහෝ ය. මහාචාර්යවරුන්, චින්තකයන්, දාර්ශනිකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, දේශපාලන නායකයන්, ආගමික නායකයන්, පුවත්පත් සංස්කාරක-වරුන්, සාහිත්‍යකරුවන් මේ අතර වූහ. මේ සියලු දෙනාගෙන්ම විශේෂ තැනක් ගත්තේ ඈත පැසිපික් සාගරයේ පිහිටි හවායි දූපත්වල හොනලුලු නගරයේ විසූ මේරි ෆොස්ටර් මැතිනියයි. බෞද්ධයෝ අනගාරික ධර්මපාලතුමා තනි කළහ. එහෙත් එතුමා තනිවම තම අරමුණ කරා යාමට වෙහෙස දැරුවේය.

බරණැස නව මූලගන්ධකුටි විහාරය
ඉතිහාසය බුද්ධිමත් ලෙස හැදෑරූ එතුමා අපගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට වෙහෙසුණේය. අධිරාජ්‍යවාදීන්ගේ පාලනයෙන් මිදීමට සහ ඒ පාලනයේ අතුරු ප්‍රවණතාවයන්ගෙන් නිදහස්වීමට සටන් කළේ ය. අපගේ අනාගතය සකස් විය යුත්තේ කෙසේදැයි එතුමා පෙන්වා දුන්නේ ය. අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයෙන් වියයුතු බවත්, ඒ අධ්‍යාපනය තාක්ෂණ සහ කාර්මික ඤාණය ප්‍රගුණ කරන එකක් විය යුතු බවත් පෙන්වා දුන්නේ ය.
අධ්‍යාපනයට අවශ්‍ය නායකයන් බිහි කළ හැකි එකක් විය යුතු යැයි කීය. විදේශීය වශයෙන් මෙරට වැසියන් ඉන්දියාවේ උතුරු සහ දකුණු දේශවල වැසියන් සමඟ සම්බන්ධ කම් ඇතිකරගැනීමේ යහපත්ඵල පෙන්වා දුන්නේ ය. බෞද්ධ රටවල් අතර සමගිය තහවුරු වන අන්දමේ ව්‍යුහයක් ඇති කර ගැනීමේ වැදගත්කමත් නිදහස් පාලනයක් සහිත ලංකාව එංගලන්තයත් සමග විශේෂ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම යහපත් බවත් එතුමා පෙන්වා දුන්නේ ය.
(අනගාරික ධර්මපාල අභියෝගය සහ අපි එඩ්මන්ඩ් රණසිංහ පසුවදන අනගාරික ධර්මපාල භාරය – 2014)
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ඉතා සමීප ලෙසින් ඇසුරු කළ පුවත්පත් කලාවේදියෙකු මෙන්ම විද්වතෙකු වන කේ.බී. සුගතදාස මහතා මෙසේ සඳහන් කරයි. තම ප්‍රේමනීය මාතෘභූමියෙන් සහ සහෝදර සිංහල ජනතාවගෙන් වෙන්වී ධර්මපාලතුමන් භාරතයට පිවිසෙන විට තම ජීවිතයේ අවසන් මහා කෘත්‍යය වූ ඉසිපතනයේ නව මූලගන්ධකුටි විහාර කර්මාන්තය නිමාවකට පත්වෙමින් තිබුණේ ය. දඹදිව බුද්ධගයාවේ ජයසිරි මහ බෝමැඬට පිවිසි මුල් වතාවේම කරගත් අධිෂ්ඨානය අනුව ඒ අති පාරිශුද්ධ මහ බෝමැඬ බෞද්ධයන් අතට පත් කරගැනීම තවමත් ඉටු නොවූ ප්‍රාර්ථනය බව එවකට මෙනෙහි කළ ධර්මපාලතුමා ඒ පැතුම ඉටුකර ගැනීමට නැවත අධිෂ්ඨාන කොට බෞද්ධ ලෝකයාගේ සිත් සතන් ඒ සඳහා යොමු කළේ ය. අවසානයෙහි බෞද්ධයින්ට බුද්ධගයාව අයිති වූයේ ය.

අනගාරික ධර්මපාල ස්මාරකය
ලෝකයේ පහළ වූ සකල මහා අධීරාජයන් රාජ්‍ය පාලකයන් සහ ජන ප්‍රභූවරයන් අතර ධර්මාශෝක මහා අධිරාජයන්ගේ යශෝකීර්ති කදම්බය ඉතිහාසය නමැති භෝතලයෙහි අසමාන රශ්මි ධාරා විහිදුවන තරුවක් මෙන් බැබලෙන්නේයැයි මහා ඉතිහාසය කතාකාර එච්.ජී. වෙල්ස් වැනි අවරදිගුවන් පවා නොගිය විදේශයන්හි ධර්මාපලතුමාද තම ජීවිතයේ අවසාන සමයේ ශාසන ගතවීමට සනිටුහන් කරගත්තේ ය. අනගාරික වී ගිහි සැපත් අත්හැරීමෙන් පටන්ගත් නෛෂ්ක්‍රම්‍යය පැවිදි බිමට පත්වීමෙන් නියම අභිනිෂ්ක්‍රමණයේ පින් පල ලැබීම එහි අරමුණ වන්නට ඇත.
දඹදිව ඉසිපතනයේ මූලගන්ධ කුටි විහාරය පිහිටි ශුද්ධ භූමියේ දී බෝරුක්ගමුවේ ශ්‍රී රේවත මහා ස්වාමීද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයත් එවකට දඹදිව විසූ භික්ෂූන් වහන්සේලා සහ මහා බෝධි සමාගම හා සම්බන්ධ බෞද්ධ ප්‍රභූන් ඇතුළු සැලකිය යුතු සමූහයකගේ සහභාගීත්වය ලබමින් 1931 ජූලි මස 31 වන සෙනසුරාදා පෙරවරු 9.30 යෙදුණු සුබ මොහොතින් අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ තම ගෞරව භක්තියට පාත්‍රව විසූ දේවමිත්ත ආචාර්යවරයන් වහන්සේගේම නාමය අනුව සිරිදේවමිත්ත ධම්මපාල නමින් ශ්‍රමණ භූමියට ඇතුළත් වූහ. ඒ මංල්‍යය නිමිත්තෙන් එදින ලංකාවේද මහා බෝධි සමාගමේ සංවිධානයෙන් මහා ප්‍රදීප පූජෝත්සවයක් පවත්වන ලද්දේ ය. (අනගාරික ධර්මපාල අපදානය කේ.බී. සුගතදාස පි. 195 – 96 1986 )
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා එසේ ශ්‍රමණභූමියට පත්වීමෙන් පසුව 1933 ජනවාරි 16 වැනිදා සිරිදේවමිත්ත හිමියන් උපසම්පදාව ලැබූහ.
ශ්‍රී දේවමිත්ත ධර්මපාල හිමියන්ගේ ආදාහනය පිළිබඳ උපදෙස් ද 1932 දී නිවේදනය කර ඇත. ඒ මෙසේ ය.
ආදාහන කිරීම පිළිබඳ ධර්මපාල හිමිගේ උපදෙස්.
ධර්මරාජික විහාරය 
නොවැම්බර් 29. 2476/1932 
සැම දෙනාට පී‍්‍රතිය

මා දැන් මහලුය. දුර්වලය. ජීවත්වීමේ බලාපොරොත්තු ද නැත. හෘදයාබාධයකින් පෙළෙමි. කවර මොහොතක හෝ මියැදෙනවා ඇත. මා මළ පසු මගේ මෘත ශරීරය බාරගෙන බරණැස සාරානාත්හි පූජනීය ඉසිපතනයට ගෙනයෑමට ගරු යූ. ඔත්තම සහ බ්‍රහ්මචාරී දේවපි‍්‍රයට බලය පවරමි. එහි දී බෞද්ධ චාරිත්‍රානුකූලව ආදාහන කොට මූලගන්ධිකුටි විහාරය මැද නිදන් කොට අඩි 3 ක් උස හුණු ගලින් (Chunam Stone) සෑයක් ඉදිකරන්න.
මේ මගේ අස්සන 
ශ්‍රී දේවමිත්ත ධම්මපාල 
මහා බෝධි සමාගමේ ආරම්භක 
අනගාරික ධර්මපාල 
මාගේ ජීවිත කතාව 
අනගාරික ධර්මපාල 
ස්වයං ලිඛිත චරිතාපදානය පිටුව - 148 (2001) ලක්ෂ්මන් ජයවර්ධන


බුදුපිළිමයේ උපත - 30:

නිකිණි පොහොයයි පළමුවන ධර්ම සංගායනාවයි



බුදුපිළිමයේ උපත ලිපි මාලාවේ 30 වන ලිපිය යෙදී ඇති අද නිකිණි පුර පෝදා හෙයින් දඹදිව රජගහනුවර වේහාර පර්වතයෙහි සප්තපණ්ණි ගුහාද්වාරයෙහි පවත්වන ලද පළමු ධර්ම සංගායනාව පිළිබඳව සටහනක් තබමු.
බුදුරජාණන් වහන්සේ පිරිනිවීමේ පුවත මහා සංඝයා සමඟ මාර්ගගතව සිටි මහා කාශ්‍යප රහතන් වහන්සේ වෙත ලැබුණු කල්හි මහා සංඝයා අතර සිටි මහලු කල මහණ වූ "සුභද්ද" නම් භික්ෂුව විසින් බුදුරජාණන් වහන්සේ පිරිනිවීම ගැන සතුට පළ කරමින් දැන් තමන් බුදුරදුන්ගේ තහනම් කිරීම්වලින් තොරව කැමති දෙයක් කළ හැකි යැයි කීය. චුල්ලවග්ගයට අනුව මහ කසුප් (මහා කාශ්‍යප) තෙරුන්වහන්සේ ධර්ම විනය සංගායනා කළයුතු යැයි යෝජනා කළේ මේ නිසා ය.
දඹදිව රජගහනුවර වේහාර පර්වතයෙහි සප්තපණ්ණි ගුහාද්වාරය
එවිට භික්ෂූහු ඒ සඳහා සංඝායනිකයන් (සංඝයාවහන්සේලා) තෝරාගන්නා ලෙස උන්වහන්සේ අයැද සිටියහ. ඒ සඳහා උන්වහන්සේ හාරසිය අනූනවයක් රහතන් වහන්සේලා තෝරාගත්හ. අනතුරුව තවමත් රහත් වී නොසිටියත් ධර්මයත්, විනයත් දන්නා හෙයින් අනඳ හිමියන් තෝරාගන්නා ලෙස භික්ෂූන් විසින් උන්වහන්සේ අයදින ලදහ. (බුද්ධ චරිතය – මහාචාර්ය සුචරිත ගම්ලත් – පි. 365 – 66 ( 2012 සිව්වැනි මුද්‍රණය - සරසවි ප්‍රකාශකයෝ)
චුල්ල වග්ග පාලියට අනුව ප්‍රථම සංගීතිය සිදුකිරීම සඳහා බලපෑ ආසන්නම හේතු දෙකක් සඳහන් කළ හැකිය. 1. සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය 2. විසිරී තිබූ ධර්මය එක්තැන් කොට ආරක්ෂා කිරීම. සුභද්‍ර භික්ෂුව මහලු කල පැවිදි වූවෙකි.
බුදුරජාණන් වහන්සේට අකැප දානයක් පූජා කොට එය ප්‍රතික්ෂේප කළ පසු උන්වහන්සේ ගෙන් පළිගැනීමේ චේතනාවෙන් ඔහු වැඩුණේ ය. මහා කාශ්‍යප තෙරුන් වෙත පැවිදිව සිටි මොහු බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව ඉතා පී‍්‍රතියෙන් ක්‍රියා කළ ආකාරය දක්නට ලැබේ. සෙසු භික්ෂූන් හඬා වැටෙන විට ඔහු සතුටු වී ඇත.
මෙම පළමුවැනි සංගීතිය (සංගායනාව) සිදු වූවක් ලෙස පිළිගැනීමට ඇති ප්‍රධාන මූලාශ්‍රයක් වනුයේ විනය පිටකයේ චුල්ලවග්ග පාලියෙහි පංචසනිකක්ඛන්ධකයයි. එය නිකායත්‍රයට අයත් හෙයින් බොහෝ දෙනෙක් පිළිගනිති. මෙයට අමතරව දීපවංසය මහාවංසය, බෝධි වංසය වැනි ලාංකේය. වංසකතාවන්හිද දීඝ නිකායට්ඨ කතාවෙහි ද (සුමංගල විලාසනිය) නිකාය සංග්‍රහය, පූජාවලිය, සද්ධර්මරත්නාකරය හා සමන්ත පාසාදිකා යන ඓතිහාසික ග්‍රන්ථයන්හිද තොරතුරු සඳහන්වෙයි. චීන ජාතික ෆාහියන් සහ හියුංෂාං හිමිවරුන්ගේ දේශාටන වාර්තාවලද අසෝකාව දානය ටිබෙට් විනය ග්‍රන්ථය වන දුල්වාවෙහිද තොරතුරු ඇතුළත් වේ. (බෞද්ධ ධර්ම සංගායනා - පූජ්‍ය දියගම නාරද හිමි පි. 36 – (2007)
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගත වූ කල්හි රජගහනුවර වේහාර පර්වත ප්‍රාන්තයෙහි සප්ත පණ්ණි ගුහාද්වාරයෙහි පනවනලද විශේෂ මණ්ඩපයක මෙම ප්‍රථම ධර්ම සංගායනාව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මෙම සංගායනාවට සම්පූර්ණ අනුග්‍රහය දක්වන ලද්දේ එවක මගධයේ මහා අධිරාජයාණන් වූ අජාසත්ත රජතුමා ය.
“ස්වාමිනි, යම් දවසක ධර්ම සංගායනා නිමද දානයද, සද්ධම්ම පූජාවද ධර්මයට ආරක්ෂාවද මාගෙන්මය. මටම භාරය. ධර්ම සංගායනාව කළ මැනවැයි ආරාධනා කළහ. (පූජාවලිය – පි. 738)
මාස හතක් තිස්සේ පැවැත්වුණු මෙම ප්‍රථම ධර්ම සංගායනාව සඳහා අජාසත්ත රජුගේ පූර්ණ අනුග්‍රහය පමණක් නොව ආරක්ෂාව ද ලැබී තිබේ.
චුල්ල වග්ග පාලි වාර්තාවට අනුව සහභාගි වූ පිරිස මහරහතන් වහන්සේලා පන්සියයකි. මේ සඳහා රහතන් වහන්සේලා තෝරා ගැනීමේ වගකීමද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වෙත පැවරුණේ ය. ධර්ම විනය සංගීතියට සුදුසු ස්ථවිරයන් වහන්සේලා තෝරනු මැනවි. ඒ අනුව ත්‍රිපිටකධාරි ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා තෝරාගත්හ. ආනන්ද තෙරුන් රහත් නොවී සිටිහෙයින් රහත් වූ පසුව උන්වහන්සේ සම්බන්ධ කර ගත්හ. (බෞද්ධ ධර්ම සංගායනා - පුජ්‍ය දියගම නාරද හිමි. පි. 39 (2007) ගොඩගේ ප්‍රකාශනයකි.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑමත් සමගම ප්‍රථම ධර්ම සංගායනාව රජගහ නුවර පැවැත්වුණි. බුදුදහමේ පැවැත්ම හා එහි පරිශුද්ධභාවය වෙනුවෙන් පාලි ග්‍රන්ථවල සහ වෙනත් මූලාශ්‍රයන් අනුව බෞද්ධ සංගායනා තුනක් පැවැත්වූ බව ඉතා ප්‍රකටය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමත් සමඟම ප්‍රථම සංගායනාව පැවැත්වුණි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම සංගායනාව පැවැත්වුණු අතර උපාලි සහ ආනන්ද රහතන්වහන්සේලා මෙහි දී ඉතා වැදගත් ලෙසින් දහම් හා විනය කරුණු ගැන පහදා දී ඇත.
2500 Years of Buddhism – Genaraleditor Prof p. v. Bapat – p 35 – India – 1956 )
සංගායනාවේ යෝජනාව අනුව මහකසුප් හිමියෝ උපාලි හිමියන්ගෙන් විනය විචාළහ. පළමු විනය නීතිය කොහිදී කවුරුන් අරබයා කවර විෂයක ලා පනවන ලද්දේ ද යන මේ ප්‍රශ්නත් ඊට අදාළ වෙනත් දේත් විමසන ලදී. මුළු විනය පිටකයම මේ විමසුමට විෂය කෙරිණි. විනය හදාරන්නෙකු දත යුතු යැයි සැලකෙන්නේ මේ කරුණු ය. මෙනයින්ම ධර්මයේ එක් එක් සූත්‍රය පිළිබඳව අනඳ හිමියෝ විමසන ලදහ. උන්වහන්සේ මෙලෙස දීඝනිකායෙන් පටන් ගෙන නිකාය පහම සංගායනා කළහ.
(බුද්ධ චරිතය – මහාචාර්ය සුචරිත ගම්ලත්, පි. 366 – 67 (2012)

බුදුපිළිමයේ උපත - 31:  

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට පසු සිව්වනක් පිරිස බිහි කිරීම


අසිරිමත් සම්බුද්ධ චරිතය හා බෞද්ධ ඉතිහාසය සම්බන්ධ ප්‍රමුඛ සිද්ධීන් ගණනාවක් නිසා ඉසිපතන මිගදාය ශ්‍රේෂ්ඨ ස්ථානයක් වේ. තථාගතයන් වහන්සේගේ අදහසට අනුව රාගයෙන් රත් වී, ද්වේෂයෙන් දුෂ්ට වී, මෝහ මනසින් වටවී ලෝ තතු ගැන දකින සත්වප්‍රජාවගේ ඇස පාදන, නැණ පාදන සන්සිඳීම පිණිස, දැනීම පිණිස, අවබෝධය පිණිස නිවී සැනසීම පිණිස ඇස පහළවන නැණ පහළ වන විද්‍යාව පහළවන පටිඝෝතගාමි ගැඹුරු දැකීම අමාරු සියුම් ධර්මය ප්‍රථම වරට ලොව හමුවේ දේශනා කරන ස්ථානය ලෙසින් ද මිගදාය ප්‍රකටය. පස්වග මහණුන් ධර්මාභිසමය ලබා පැවිදි උපසම්පදා ලබාගත් ස්ථානය ද මෙයයි. එයින් පැවිදි උපසම්පදා කර්මයේ පමණක් නොව භික්ෂු ශාසනයේ ආරම්භය ද සිදු වූ ස්ථානය ඉසිපතන මිගදායයි. බුද්ධ ශාසනය වෙත මානව පිරිස ඇදී ඒ මේ ප්‍රවණතාව ඉසිපතනයෙන්ම සිදුවිය. උපාසක උපාසිකාවන් බිහි වී ශ්‍රාවක පිරිස දියුණුවීමට පටන් ගත්තේ ද මෙම ස්ථානයෙනි.
බරණැස ඉසිපතන පුදබිම
ධර්ම ප්‍රචාරය සඳහා චාරිකාචරණයට ශ්‍රාවකයන් වහන්සේලා පිටත් කර හැරීම සිදුවූයේ ද ඉසිපතනයේ දී ය. එබැවින් බෞද්ධ අධ්‍යාපනය හා බෞද්ධ සභ්‍යත්වය පිළිබඳ සමාරම්භක කේන්ද්‍රස්ථානය වශයෙන් ඉසිපතන මිගදාය ඓතිහාසික වශයෙන් අග්‍රගණ්‍ය වෙයි. පස්වග මහණුන් වහන්සේ රහත් බව ලැබීමත් සමඟම බුදුරජාණන් වහන්සේ ඇතුළු ලොව රහතන් වහන්සේලා සයනමක් වූහ. මෙහිදී යසකුලපුතුගේ පැවිද්ද සිදුවීම නිසා සම්බුද්ධ ශාසනය වෙත ඇදී ආ අන්දමද ඒ ප්‍රවණතාව මහත් වන්නට පටන් ගත් අයුරු විනය ග්‍රන්ථවලින් පැවසේ.(මහා වග්ගපාලි - මහාබන්දක පි. 32)
යස කුමරා එකල බරණැස සුප්‍රකට කුලපුත්‍රයෙකි. සිය කාමභෝගී ජීවිතය පිළිබඳ මහත්සේ කලකිරීමට පත්ව මේ සඳහා පිළිතුරක් සොයා ගැනීමේ අදහසින් ඉසිපතනයට පැමිණියේ ය. ඔහු ඉසිපතනයට යන්නට ඇත්තේ අටුවා ග්‍රන්ථවල සඳහන්වන පරිදි ඈත පුරාණයේ පටන් අධ්‍යාත්මවාදී තාපසවරුන්ගේ යෝග භූමියක් වශයෙන් ප්‍රකටව පැවති නිසා විය හැකිය. කෙසේ වෙතත් එහිදී යසකුලපුත්‍රයාට හමු වූයේ බුදුරජාණන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ සමඟ සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ ලෝකය බහුල ලෙස උපද්‍රවයන්ගෙන් පීඩිත බවක් පිළිබඳවය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ යසකුල පුතුගේ අදහස් වටහාගෙන ධර්මදේශනා කළහ. පුද්ගලයන්ගේ අදහස් දැන හැඳිනගෙන දේශන පැවැත්වීම උන්වහන්සේගේ පිළිවෙළයි. අදහස් දැක ධර්ම දේශනා පවත්වන උන්වහන්සේ අනුපිළිවෙලින් කරුණු ගෙනහැර දක්වා සිත් සතන් සකස් කිරීමෙන් පසුවම සාමුක්කංසික දේශනා නම් වූ සිව්සස් දහම් දෙසති. මෙහි අදහස නම් කරුණු වටහා දියයුත්තේ නොදන්නා තැනින් ආරම්භ කිරීමෙන් නොවන බවයි. දන්නා දක්නා තැනින් පටන් ගෙන නොදන්නා නොදක්නා තැන තෙක් යථාර්ථය තත්වූ පරිද්දෙන් අනාවරණය කිරීමයි. මෙය අධ්‍යාපන ක්‍රියාවලියකදී අත්‍යවශ්‍ය අනිවාර්ය පිළිවෙල වෙයි.
බුදුරජාණන් වහන්සේගේ දේශනය යසකුල පුතුගේ සිතට අස්වැසිල්ලක් වූ අතර බුදුරජාණන් වහන්සේ වෙතින් මහණ උපසම්පදාව ලබා ගත්තේ ය. ප්‍රබුද්ධ මනසින් යුතුව මගපල ලබාගත් යස කුමරුගේ පැවිද්ද ගැන ඇසූ ඔහුගේ යහළුවන් වූ විමල, සුබාහු පුණ්ණජි, ගවම්පති යන යහළුවන් සතර දෙනා ද, ඔවුන්ගේ කණ්ඩායමට අයත් තවත් යහළුවන් පනස් දෙනෙක් ද ඔහු ඇතුළුව පැවිද්ද ලබා රහත් වූහ. භික්ෂු ශාසනයට එක් වන සංඛ්‍යාව බරණැසදීම වැඩෙන්නට වූ බව මෙයින් පැහැදිලි වෙයි. මේ වන විට සියලු රහතන්වහන්සේලා හැට එක් නමක් වූහ. (මහාවග්ග පාලි - මහා බන්ධක පි. 40)
උපාසක උපාසිකාවන් ඇතිවීම.
ඉහතින් සඳහන් කරන ලද අන්දමට භික්ෂූන් වහන්සේලා සම්බුද්ධ ශාසනය සඳහා ඇති වූ බව ඉතා පැහැදිලිය.
උපාසක හා උපාසිකාවන් බිහි වූ අන්දම යසකුල පුතු මහණ වී රහත්වීම බලපෑ අයුරු මෙසේ ය.
බරණැස සිදු වූ ඊළඟ සිදුවීමක් ලෙසින් තිසරණ ගත උපාසක හා උපාසිකා යන ශ්‍රාවක දෙපිරිස බිහිවීම මහා වග්ග පාලියට අනුව හිටි ගමන් නිවසින් පිටව ගිය යස කුරුමගේ පියා ද බුදුරජාණන් වහන්සේ හමු වී බණ ඇසීමෙන් තිසරණ ගත සෝතාපන්න ප්‍රථම උපාසක බව ලැබීය. ඔහුගේ ආරාධනය පරිදි නිවසෙහි දන් පිළිගැන්වීමට වැඩම කළ වේලෙහි යසගේ මවත් පැරණි භාර්යාවන් ඇතුළු පිරිසත් බණ අසා තිසරණ ගත උපාසිකාවෝ වූහ. බරණැස සිදු වූ ඊළඟ ශ්‍රේෂ්ඨ සිද්ධිය නම් බුදුදහම ලෝ වැසි ජනතාවගේ හිතසුව පිණිස පතුරුවාලීම සඳහා චාරිකා කිරීමට ශ්‍රාවක සංඝයා මෙහෙයවීමයි. (බුදුන් වදාළ බුද්ධ චරිතය.
පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි හා කීර්ති නාරම්පනාව පි. 118 )
බුදු සසුනට ශ්‍රාවක සඟරුවන එක් කරවීමේ කාර්ය බුදුරජාණන්වහන්සේ ක්‍රමානුකූලව සිදුකළ අන්දම පැහැදිලි වේ.
මේ කාර්යයේ අභිප්‍රාය ලෙස පෙනීයන්නේ භික්ෂූන් විසින් සාමාජිකයන් සඟසසුනට ඇතුළත් කරගනු සඳහා විසිර ගිය භික්ෂූන් පැවිද්ද සඳහා කෙතරම් අපේක්ෂකයන් තමන් වෙත ගෙන ආවේදයත් ඔවුන් සඟ සසුනට ඇතුළත් කිරීමේ කාර්යය සිදු කිරීමට භික්ෂූන්ට අවසර දීමට බුදුරජාණන් වහන්සේට සිදු විය. මේ සඟසසුනට ඇතුළත් කිරීමේ කාර්යය සමන්විත වූයේ පහත සඳහන් ලෙසිනි.
1. හිස රැවුල් බෑම, 2. කහ සිවුරු දැරීම, 3. බුදුරජාණන් වහන්සේ ධර්මය හා සංඝයා සරණ යෑමේ තිසරණ ගැනීම තෙවරක්ය. සජ්ඣායන කිරීමයි. මෙය බුදුරජාණන් වහන්සේ දෙවැනි පැවිදි කිරීම ලෙස සැලකේ. පළමුවැන්න, පස්වග මහණුනට හා යසකුල පුත්‍රයාණන්ට දුන් ඒහි භික්ෂු පැවිදි භාවයයි. ‘මහණ මෙහි එව‘ යැයි කියමින් ලබා දෙන පැවිද්ද ඒහි භික්ෂු භාවයයි. පසු කාලයේ විනය පිටකයේ මීට වඩා මහත් සේ විස්තීර්ණ වූ පැවිදි කිරීමක් දක්වා ඇත. ථේරවාදී රටවල මේ දක්වාත් පරිහරණය වන්නේ එයයි.
(බුද්ධ චරිතය – මහාචාර්ය සුචරිත ගම්ලත්, පි. 254 – 55 (2012) සරසවි ප්‍රකාශකයෝ.)