ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

බුදුපිළිමයේ උපත - 10

බුදුපිළිමයේ උපත - 56:

ලංකාවෙන් හමුවූ අමරාවතී සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමා සහිත මූර්ති ඵලක

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 

හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග 

පුරාවිද්‍යා Msc පර්යේෂණ

පුරාණ ආන්ද්‍ර ප්‍රදේශ් (දකුණු ඉන්දියාව) අප රටේ බෞද්ධ කලාවට බලපා ඇති අන්දම සහ එහි විශේෂයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය පමණක් නොව ඊට අමතරව තවත් බොහෝ කලා කෘති හමුවී ඇති බව පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සාක්ෂි වී ඇත. ශිලාමය මූර්ති පමණක් නොව ලෝකඩ මුර්ති සඳහාද ආන්ද්‍ර ප්‍රදේශ්හි අමරාවති හා නාගර්ජුනකොණ්ඩ බෞද්ධ පුදබිම් ප්‍රමුඛ නිර්මාණවල බලපෑම ඉතා පැහැදිලිය. අනුරාධපුර වැනි අප රටේ පැරණිතම රාජධානිය මෙන්ම අගනුවර ආශි‍්‍රතව පමණක් නොව එයින් බැහැර ප්‍රදේශවල පුදබිම්වලින්ද අමරාවති සම්ප්‍රදායේ බුදුපිළිම නිර්මාණ හමුවී ඇත.
නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි කුච්චවේලි ,වෙල්ගම් වෙහෙර වැනි පුදබිම්වලින්ද මෙවන් බුද්ධ ප්‍රතිමා වහන්සේ හමුවී ඇති බවට සාක්ෂි ලැබී ඇත.

සීගිරිය අසල පිහිටි පිදුරන්ගල පුදබිම ද ඉතා පුරාණ කාලයේ සිටම පැවත එන පුදබිමක් බව එහි කඳු ආශි‍්‍රත ප්‍රදේශයේ ඇති පුරාණ ලෙන් වලින්ද පැහැදිලි වේ. අමරාවතී බෞද්ධ කලාව ආශි‍්‍රත වු එම ලක්ෂණ අනුව නිම කරනලද බුද්ධ ප්‍රතිමා පමණක් නොව බෝධිසත්ව පිළිම ද අල්ප උන්නත ලෙසින් නිර්මාණය කර ඇති අන්දම දැකගත හැකිය.
අමරාවති හා නාගර්ජුන කොණ්ඩ පුදබිම් ආශි‍්‍රත එම අල්ප උන්නත මූර්තිවලට සමාන වූ ඒ ශෛලීය අනුව නිර්මාණය කරන ලද මූර්තිඵලක රැසක්ම පිදුරංගල පුදබිමෙන් හමුවී ඇත.
ක්‍රිස්තු වර්ෂ 4 හෝ 5 වන සියවස්වලට අයත් ලෙසින් කාල නිර්ණය කරන ලද අල්ප උන්නත මූර්ති ඵලක ත්‍රිත්වයක් පිදුරංගල පුදබිමෙන් හමුවී ඇත.
මෙහිදී අප විශේෂ අවධානය යොමු කර වන්නේ පිදුරංගලින් හමු වී ඇති එකම ශිලා ඵලකයක අල්ප උන්නතව නෙළා ඇති අමරාවතී සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ත්‍රිත්වය ගැනයි. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ත්‍රිත්වයට පොදු ලක්ෂණයක් නම් මේ බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වය පද්ම පීඨයක් මත සිටින සේ නිර්මාණය කර තිබීමයි. අමරාවති පුදබිමෙන් හමුවී ඇති මෙහි පළ කර ඇති ඵලකයෙහිද බුදුපිළිමය නිර්මාණය කර ඇත්තේ පද්ම පීඨයක් (නෙළුම් මලක්) මතය.

පිදුරංගලින් හමුවු මෙම මුර්ති ඵලකයෙහි අමරාවති සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමා මූර්ති නිර්මාණයේදි දක්නට ලැබෙන සියලුම අංගයන් මෙහිද දක්නට ලැබේ. ඒ අනුව මෙහි සිවුරු නිර්මාණය ඇති ආකාරය පමණක් නොව මුද්‍රාවන්ද අමරාවති බුදු පිළිම කලාවට අයත් ලෙසින් දක්නට ලැබේ. මේ නිසා මෙම මුර්ති ඵලකය අමරාවති බෞද්ධ කලා සම්ප්‍රදාය අනුව නිර්මාණය කරන ලද බව ඉතා පැහැදිලිය. මෙහි සඳහන් වන අමරාවතී බුදුපිළිම ඵලකයෙහි මෙන්ම පිදුරංගලින් හමුවූ බුදුපිළිම තුන නිර්මාණය කර ඇති ඵලකයේද පොදුවු ඉතා වැදගත් ලක්ෂණයක් මෙහිදී මතු වී පවතී. එනම් බුදුපිළිම වටා ඇති රශ්මිවලල්ලයි. එයද අමරාවති සම්ප්‍රදායේ මෙහි දැක්වෙන අල්ප උන්නත මූර්ති ඵලකයෙහි නිර්මාණයට සමානතාවයක් දක්නට ලැබේ.
මීට අමතරව මෙම බුදුපිළිම වහන්සේලා තුනම නිරූපණය කර ඇති මුද්‍ර්‍යාව ආශිර්වාද මුද්‍රාව ලෙසින් සැළකේ. එයද අමරාවති මූර්ති ඵලකයෙහි ඇති අන්දමට සමානය.
පිදුරංගලින් හමුවු බුදුපිළිම ති‍්‍රත්වය පිළිබඳව සඳහනක් ගැනද මෙහිදී අවධාරණය කළ යුතුව ඇත. මෙයින් නිරූපණය වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ මෙන්ම ඊට පෙර බුදුවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සහ මතු බුදුවන මෛත්‍රි බුදුරජාණන් වහන්සේ යැයි සැළකේ.
පිදුරංගලින්ම හමු වූ තවත් අල්ප උන්නත මූර්තිඵලක දෙකකි. එයින් නිරූපණය වන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවස්තියෙහි පෑ ප්‍රාතිහාර්යක් ලෙසින් සැලකේ.
පිදුරංගල පුදබිමෙන්ම හමු වූ තවත් මූර්ති ඵලකයක් නිරූපණය වෙන්නේ මෛත්‍රි බෝධිසත්වයන් වහන්සේ සහ අවලෝකේශ්වර බෝධිසත්වයන් වහන්සේය. බෝධිසත්ව පිළිම ලංකාවේ බහුල ලෙසින් හමුවී ඇත. ශිලාමය මෙන්ම ලෝකඩ බෝධිසත්ව ප්‍රතිමාද හමුවී ඇත. මෙහි නිරූපිත බෝධි සත්ව ප්‍රතිමාවලද නිර්මාණ ලක්ෂණ අමරාවති බෞද්ධ මූර්ති සම්ප්‍රදාය අනුව නිරූපිත බව විද්වතුන් විසින් පිළිගෙන ඇති කරුණකි.
මේ අනුව ආන්ද්‍ර දේශයේ අමරාවතී සම්ප්‍රදායේ බෞද්ධකලාව අප රටේ බුදුපිළිම වහන්සේලා නිර්මාණය සඳහා පමණක් නොව මූර්තිඵලකවල අල්ප උන්නත මූර්ති සඳහාද බලපා ඇති බව මෙතෙක් කරන ලද විස්තරවලින් පැහැදිලි වන කරුණකි. මේ නිසා අප රටට ඉතාම සමීප දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි මෙම සබඳතාවය නිසා ලංකාවේ මූර්ති කලාව කෙරෙහි මෙන්ම බෞද්ධ ධර්මය කෙරෙහිද බලපා ඇති බව සඳහන් කළ යුතුව ඇත.

බුදුපිළිමයේ උපත - 57: 

සිරිපතුල් වන්දනාව


බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණයට පෙර “පුරාණ භාරතයෙහි මූර්ති කැටයම් කළේ සිරිපතුල, ස්තූපය, ධර්මචක්‍රය, වජ්‍රාසනය, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ, ඡත්‍රය ආදි සළකුණුවලට බව භාරුත්, සාංචි බුද්ධගයා ආදි පුදබිම්වලින් හමුවන මූර්ති කැටයම්වලින් ඉතා පැහැදිලි වන්නේය. (AMRA VATI SCULPTURES –SRI.O.C .GANGQLY P.8-1994 –HYDERABAD-INDIA)

අමරාවතී පුදබිමෙන් හමුවූ ශ්‍රී පාද ලාංඡනය
(ක්‍රි.ව. 02 වන ශතවර්ෂය )
බුදුරජාණන් වහන්සේ නිරූපණය සඳහා සිරිපතුල් මූර්තිමත් කර ඇති ඉතා ප්‍රකට මූර්ති ඵලකයක් භාරුත් හි දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍රයාණන් වහන්සේට ධර්මය දේශනා කිරීම සඳහා තුසිත දෙව්ලොවට වැඩම කිරීමෙන් පසුව සංකස්ස නුවරට ආපසු වැඩම කරවීම එහි මූර්තිමත් කර ඇත. එම ශිලාමය ඵලකයේ හිනිමගෙහි මුදුණේ සහ පහත යන ස්ථාන දෙකෙහිම බුදුරජාණන් වහන්සේ නිරූපණය කරන්නේ සිරිපතුල් දෙකෙනි.
මුල්කාලයේ සිදුහත් උපත සංකේතවත් කිරීම සඳහා යොදාගෙන ඇත්තේ ශ්‍රීපාදයයි.භාරුත්හි අජාසත් ස්තම්භ මූර්ති කැටයම මේ සඳහා නිදසුනක් ලෙසින් දැක්විය හැකිය. මෙහි ඇති පා සටහනට අනුව මෙම කැටයමෙන් පෙන්නුම් කරන්නේ දිව්‍ය ලෝකයෙහි දෙවියෙකු විසින් බුදු උපත අනෙකුත් දෙවිවරුන්ට දන්වා සිටීම සහ දෙවිවරුන් ස්වකීය සතුට හා ප්‍රබෝධය ප්‍රකාශ කරන ආකාරයක්ය. මෙම රූප රාමුවෙන් පැහැදිලි කරන්නේ මහේශ්වර (මහාබ්‍රහ්ම) අනෙකුත් දෙව්වරුන් සමඟ පාද ලාංඡන දෙකකින් සංකේතවත් කරන අලුත උපන් බෝසත් කුමරාට නමස්කාර කරන ආකාරයයි. ආසනයක් මත පිහිටුවා ඇති සිරිපතුල් දෙකට ඉහළින් අලංකාර සැරසිලි කරන ලද උඩුවියන ගෞරවය පෙන්නුම් කරන ලක්ෂණයකි.
බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි පි. 39-(2010)
සිදුහත් කුමරු උපන් විගසම සත් පියවර පා තබා ගමන් කළ බව බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්වයාගේ සුඛය පිණිස පාගමනින් වැඩම කළ බවද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන කරුණකි. බුද්ධ ප්‍රතිමා නිර්මාණයට පෙර ඉහතින් සඳහන් කළ පුද බිම්වලට අමතරව අමරාවතී, නාගර්ජුන කොණ්ඩ හා ජගයිපේත වැනි පුදබිම්වල අල්ප උන්නත මූර්තිවලින්ද මුල්කාලයේදී බුදුරජාණන් වහන්සේ නිරූපණය පිණිස ඉහත සඳහන් සංකේත භාවිතාකර ඇත. අමරාවති සම්ප්‍රදායේ මූර්ති කැටයමක කාන්තාවන් පිරිසක් සිරිපතුල් දෙකක් වන්දනා කිරීමේ අවස්ථාවක් දැකිය හැකිය.
බුදුරජාණන් වහන්සේ විසින් ස්ථාන දෙකක තබන ලද ශ්‍රී පාද ලාංඡන ගැන සංයුත්ත නිකායට්ඨ කථාවෙහි සඳහන් වී ඇත. නර්මදා නදී තීරය අසල විසූ නාරජුගේ ඇරයුමින් සිරිපා සටහනක් බුදුරජාණන් වහන්සේ විසින් තබන ලදී. අනෙක් ස්ථානය සච්චබද්ධ පර්වතයයි.
පාලි සාහිත්‍යයෙහි බුදු සිරිපතුල් ඇති ස්ථාන පහක් පිළිබඳව සඳහන් කරයි. ස්වර්ණමාලිකා සුවන්න, ,පබ්බතක, සුමනකූට, යෝනකපුර සහ නර්මදා නදී තිරයයි.
(BUDYALANKARA –H.R.H. BUDDHIST FOOT PRINTS P.T.I P. 1-14 .1935)
මහාසුමන දිව්‍යරාජයාගේ වාසභවන වූ සමන්ත කූටයෙහිද බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේදී සිරිපා සටහනක් තැබූ බව මහාවංසයෙහි සඳහන් වෙයි. (මහාවංසය 1 පරිච්ඡේදය පි. 5 පූජ්‍ය හික්කඩුවේ සුමංගල නාහිමි හා බටුවන්තුඩාවේ පරිවර්තනය) ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් වු ෆාහියන් හිමියන් පැමිණි කාලයේදී බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩමකරවීම ගැන ප්‍රබල අදහස් මෙරට ජනතාව අතර තිබුණි. ෆාහියන් හිමියන් තම සංචාරක සටහන් විස්තරවල ලංකාවේ තිබූ සිරිපතුල් දෙකක් ගැන සඳහන් කරන ලදී. එකක් කඳු ශිඛරයක් මතද අනෙක උතුරේ රාජකීය නගරය වූ අනුරාධපුරයේය. (RECORD OF BUDDIST KINDOM .J.A.LEGGE P’102 මීට අමතරව බුරුමය (මෙකල මියන්මාරය) තායිලන්තය, ලාඕස්, කාම්බෝජ වැනි රටවල බෞද්ධ ජනතාවද බුදුරජාණන් වහන්සේ ඒ ඒ රටවලට වැඩම කළ බව පාරම්පරිකව දරන අදහසක් බවට පත්වී ඇත.
මුලතිව් දිස්ත්‍රික්කයේ කොඩ්ඩායිකේනි පුදබිමෙන් හමුවූ සිරිපතුල (ක්‍රි.ව. 03 වන සියවස)
ලංකාවේ බුදුපිළිම නිර්මාණයට පෙර වැඳුම් පිදුම් කළ සිරිපතුල් ශෛලමය නිර්මාණ රැසක්ම අනුරාධපුරයේ අභයගිරිය ජේතවනාරාමය මිරිසවැටිය,
ථූපාරාමය, මිහින්තලය, දීඝවාපි ,තිස්සමහාරාමය, යටාලය, සිතුල්පව්ව, හත්ථිකුච්චි (පඬුවස්නුවර) වැනි පුරාණ පුදබිම්වලින් හමුවූ සිරිපතුල් කැටයම් කරන ලද ශෛලමය නිර්මාණවලින් පැහැදිලි වේ. ඉතා පුරාණ කාලයේදී මෙම සිරිපතුල් නිර්මාණය කර ඇති ශෛලමය පුවරුවල (සිරිපතුල් දෙක) අලංකාර ලෙස කැටයම්කර ඇත)
ඊට අමතරව යාපනය දිස්ත්‍රික්කයේ කදුරුගොඩ (කන්තරෝඩෙයි) හා වව්නියාවෙන්ද සිරිපතුල් නිර්මාණයකර ඇති ශෛලමය පුවරු හමුවී ඇත. ඉතාම පැරණි පුදබිමක් ලෙසින් හඳුනා ගැනීමට නිශ්චිත පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලෙසින් පුරාවිද්‍යාඥයෝ සිරිපතුල් ගල් හඳුන්වති.
මෙම හතරැස් සිරිපතුල් ගල් වල සිරිපතුල් දෙකක සටහන් දෙක මැද ඡත්‍රයක සටහනක්ද දැකිය හැකිය. සමහර සිරිපතුල් ගල්වල, සිරිපතුලේ මධ්‍යයේ ධර්ම චක්‍රයද සිරිපතුලේ ඇඟිලිවල බෞද්ධ ස්වස්තිකයද කොටා ඇත, (මෙහි ඡායාරූපයෙන් එය පැහැදිලි වේ)
බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේ වැඩසිටි වජ්‍රාසනය නිමිති කරගෙන ද ලංකාවේ බෞද්ධයින් විසින් ආසන පූජාව (වජ්‍රාසන පූජාව) නමින් සිදු කරන ලද බවට සාක්ෂි හමුවී ඇත. ආයත චතුරශ්‍රාකාරවූ මෙම ආසන ගල් සඳහා ආසන ගෙවල් හෙවත් ආසන ඝරද ලංකාවේ හමුවී ඇත.
මෙම ආසන සඳහාද (සිරිපතුල් වලට (පෙර හෝ සමකාලිනව) වැඳුම් පිදුම් කළ බව අනුරාධපුරයේ උත්තිමඩුව හල්මිල්ල වැටිය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුවන්නාව හේරත් හල්මිල්ලෑව අම්පාර දිස්ත්‍රික්කයේ පුළුකුණාව හා රාජාංගනයේ හත්තිකුච්ඡි විහාරයෙන්ද හමුවී ඇත. මේ අනුව සිරිපා වන්දනාව ඉතා ඈත කාලයේ සිටම පැවති බවට මෙම සාක්ෂිවලින් පැහැදිලි වේ.


බුදුරදුන් තුසිත දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩම කරවීම භාරුත් මූර්ති කැටයමකි.
(ක්‍රි.පූ. 02 වන සියවස)

සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදුවූ අවස්ථාවේදී දෙවියන් නමස්කාර කිරීම මෙහි සිරිපතුල් දෙක සිදුහත් කුමරු සංකේතවත් කරයි. භාරුත් මූර්ති කැටයමකි.
(ක්‍රි.පූ. 02 වන සියවස)

බුදුපිළිමයේ උපත - 58: 

අල්ප උන්නත මූර්තිඵලක බද්ධ කර තිබූ අන්දම

පුරාණ භාරතයේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටා ඇති භාරුත් පුදබිමෙහි සහ මධ්‍ය ප්‍රදේශ්හිම ඇති ඉතා ප්‍රකට සාංචි ස්තූපය ආශි‍්‍රතවද පුරාණ මූර්ති කැටයම් දක්නට ලැබෙන්නේ එහි තිබුණු තොරණ වලය. සාංචි පුදබිමේ ඇති ස්තූප ආශි‍්‍රත වු තොරණ සතරෙහි ඇති මූර්ති කැටයම් (Sculptures) ඉතා ප්‍රකටය.
එහෙත් භාරුත් දාගැබ වටා තිබුණු ප්‍රාකාරයෙන් ඉතිරිව තිබුණු ගල් කුළුණු තුන අවට කැණීම් කිරීමේදී නටබුන් රැසක් හමු විය. භාරුත් දාගැබ වටා තිබූ ගල්වැට දිසා හතරෙහි පිහිටුවන ලද දොරටු සතරක්ද විය. එක් එක් දොරටුව ගල් තොරණකින් සරසන ලදී. දාගැබ වටා තිබුණු ප්‍රාකාරයෙහි ගල්කණු හෙවත් ස්තම්භ අසූවක් තිබිණි. භාරුත්හි සම්පූර්ණ තොරණක නටබුන් සොයාගත නොහැකි වූවද සාංචි ස්තූපය ආශි‍්‍රතව තොරණ ඇත. ඒවායේ හරස් අතට ඇති ගල්පුවරු තුනකින් යුක්ත බවට සාක්ෂි හමුවී ඇත. බුද්ධගයාවෙහිද අල්ප උන්නත මූර්ති කැටයම් හමුවී ඇති භාරුත් සහ සාංචි ස්තූපවලට තොරණ තිබුණු අතර ඉතා අගනා මූර්ති කැටයම් ඒවායෙහි දක්නට ලැබේ.
දඹදිව බෞද්ධ කලාව –ආචාර්ය ආනන්ද ගුරුගේ පි. 9-10-1962)
දක්ෂිණ භාරතයේ මූර්ති කැටයම් නිර්මාණය කර ඇති ඉතා ප්‍රකට දාගැබ් දෙකකි. දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි ඇති ඒ පුදබිම් අමරාවතී සහ නාගර්ජුන කොණ්ඩ ආශි‍්‍රත වූ දාගැබ දෙකෙහි මූර්ති කැටයම් නිර්මාණය කිරීම සඳහා භාරුත් හෝ සාංචිහි මෙන් තොරණ තිබුණේ නැත. අමරාවතී දාගැබ ගැන සඳහන් කරන විට එහි අද ඇත්තේ (මේ ලේඛකයා එහි 1997 දී සංචාරය කරන විට) පාදම පමණකි. දාගැබෙහි (Replica)  - රෙප්ලිකාවක්) අනුරුවක් අමරාවතී කෞතුකාගාරය අසළ සාදා තිබේ. ඒ අනුව එම අමරාවතී මූර්ති කැටයම් නිර්මාණය කර තිබුණේ දාගැබෙහි ගර්භය වටා බව ඉහත සඳහන් එම ආකෘතිය අනුව පැහැදිලි වේ. අමරාවතී දාගැබේ අනුරුව සාදන ලද්දේද එම මූර්ති කැටයමක තිබු අන්දම අනුවය. මෙම අනුරුවේ ඡායාරූපයක් ද මෙහි දැක්වේ. ඒ සමඟම නාගර්ජුන කොණ්ඩ දාගැබ තිබු ආකාරයද මුර්ති කැටයමක නිර්මාණය කර ඇති අන්දම මෙහි දැක්වේ. (භාරත – ලංකා බෞද්ධ උරුමය සිරිසමන් විජේතුංග පි. 4-6-2006)
භාරුත්, සාංචි, බුද්ධගයා සහ දකුණු භාරතයේ අමරාවතී සහ නාගර්ජුන, කොණ්ඩ යන පුදබිම් ආශි‍්‍රතව ඇති අල්ප උන්නත මූර්ති කැටයම් (Bas-Reliefs Sculptures) වලින් බුදුපිළිම නිර්මාණයට පෙර කාලයේදී මූර්ති ශිල්පීන් යොදාගත් සංකේත වූ ඡත්‍රය,ස්තූපය, ධර්මචක්‍රය, සිරිපතුල්, වජ්‍රාසනය, යන අංග පොදු වූයේය. මුල්කාලීන මූර්තිවලට පසු භාරුත්හි හැර බුදුපිළිම නිර්මාණය කිරීමද එම අල්ප උන්නත මූර්ති ඵලකවලින් මෙන්ම බුදුපිළිම නිර්මාණය ද දකින්නට ලැබුණි.
අප මෙම මූර්ති ඵලක පිළිබඳ විශේෂ අවධානය යොමු කළේ සාංචි ස්තූපයේ මෙන්ම තොරණවල මෙම අල්ප උන්නත මූර්තිඵලක දකුණු භාරතයේ අමරාවති සහ නාගර්ජුනකොණ්ඩ මෙන්ම ජගයිපේත වැනි පුදබිම්වල මූර්තිඵලක නිර්මාණය කර නැති බව විශේෂයෙන් පෙන්වාදීම සඳහාය.
මේ අතර අමරාවතී මූර්ති කලා සම්ප්‍රදාය අප රටේ බුදුපිළිම නිර්මාණය කිරීම සඳහා කෙතරම් බලපෑමක් කර තිබේද? යන්න ඉතා පැහැදිලිය. ශිලා මූර්තිවල පමණක් නොව ලෝකඩ මූර්ති වලින්ද මේ බව හෙළි වී ඇත.


අමරාවතී කෞතුකාගාරය අසළ පිහිටුවා ඇති අමරාවතී දාගැබේ අනුරුව


බුදුපිළිමයේ උපත - 59:

බෞද්ධ බිතුසිතුවම් කලාවේ මුදුන් මල්කඩ


ඉන්දියාවේ ලෙන් විහාර නිර්මාණය කිරීම ගැන අතීතය සොයා බලන විට එක විශේෂ කාරණයක් මෙහිදී සඳහන් කළ යුතුව ඇත. එනම් පුරාණ ඉන්දියාවේ ලෙන් විහාර නිර්මාණයේ පැරැණිතම කලාකරුවෝ බෞද්ධයෝ වෙති. මෙකල පවා ඉන්දියාවේ ලෙන් විහාර 1200 පමණ දැකිය හැකිය.මේ ලෙන් විහාරවලින් 900 (නවසියයක්) පමණ පිහිටා තිබෙන්නේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේය. මේ සියලුම ලෙන් හාරා නිර්මාණය කර තිබෙන්නේ ගල් කටුව සහ මිටිය වැනි පුරාණ ආයුධ වලිනි. මේ මහා පර්වත ලෙන් බවට සෑදීම පමණක් නොව ඒ ලෙන් හාරාගෙන කපා ගෙන යන අතරේම ප්‍රතිමා, බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා, අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමා සහ අනෙකුත් ප්‍රතිමාද ලෙන් නිර්මාණය කිරීමත් සමඟම නිර්මාණය කර ඇත. මේ ලෙන් විහාර අතරේ ඉතා ප්‍රකට ලෙන් විහාරයක් වන්නේ අජන්තා ලෙන් විහාර සංකීර්ණයයි.
ප්‍රධාන වශයෙන් පුරාණ ඉන්දියාවේ දක්නට ලැබෙන බෞද්ධ ලෙන් කොටස් දෙකකි.
1.චෛත්‍යය විහාර
2. විහාර ආරාම
චෛත්‍යය විහාර යනු වන්දනාමාන කිරීම සඳහා සාදන ලද ලෙන් විහාරය

විහාර ආරාම යනු භික්ෂූන් වහන්සේගේ වාසය සඳහා සාදන ලද ලෙන්ය.
අජන්තා ලෙන්වල ඇති කලා නිර්මාණ සංචාරකයන්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමට සමත්වී ඇත. අජන්තා ගුහාවල ඇති (ලෙන්වල) කලා නිර්මාණ කොටස් තුනකි.
1.ගොඩනැගිලි නිර්මාණ (වාස්තු විද්‍යාත්මක නිර්මාණ)
2.මූර්ති
3.බිතුසිතුවම්
අජන්තා ලෙන් නිර්මාණය කිරීමේ කාර්යය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී ආරම්භ වී ක්‍රිස්තු වර්ෂ හත්වන සියවස තෙක් ඉතා දීර්ඝ කාලයක් තුළදී සිදුවී ඇති බව මේ පිළිබඳ විද්වතුන්ගේ මතය වන්නේය. (භාරත ලංකා බෞද්ධ උරුමය – සිරිසමන් විජේතුංග පි. 79-81 2006)
අජන්තා පුදබිමෙහි බිතුසිතුවම් සීගිරි බිතුසිතුවම් මෙන්ම ලොව ප්‍රකටයි. සීගිරියේ බිතුසිතුවම් බුද්ධාගම හා සම්බන්ධ වූ චිත්‍ර ලෙසින් විද්වත්හු නොසළකති. එහෙත් අජන්තා ලෙන්වල ඇති බිතුසිතුවම් මෙන්ම මුර්ති රාශියක් බුදුසමය හා සම්බන්ධවී ඇති බව සියැසින්ම දැක ගැනීමට අපටද අවස්ථාව උදා වූයේ මීට අවුරදු 20 ඉහත (1997) ඉන්දු ලංකා සංස්කෘතික ගිවිසුම යටතේ එහි සංචාරය කිරීම නිසාය.
එක් එක් ශතවර්ෂය තුළ අඳින ලද චිත්‍ර ලෙස වෙන්කොට දැක්වීම අපහසු වුවද වරින්වර අඳින ලද බිතුසිතුවම් වලින් පෙනී යන්නේ අජන්තා වෙහි බිතුසිතුවම් ඇඳීමේ කාර්යය නොකඩවා පවත්වාගෙන ආ සිරිතක් බවයි. ක්‍රමයෙන් මෙහි විහාර විශාල කිරීමට අලුත් ලෙන් සාදන ලද බව පෙනේ. අජන්තා බෞද්ධ විහාර හදිසියේ විනාශයට පත්වූවක් බව පැහැදිලි ලෙස පෙනෙන්නේ මෙසේ අරඹන ලද සමහර ගුහා සම්පූර්ණ කර නැති හෙයිනි. සමහර ගුහා නිර්මාණ සම්පූර්ණ කිරීමට නොහැකිවී ඇති බව දක්නට ලැබේ. ඒ අනුව මෙම අජන්තා ලෙන්වල විනාශයද අනෙකුත් බෞද්ධ විහාරවල විනාශය මෙන් සතුරු උවදුරු නිසා සිදුවූ බව දක්නට ලැබේ. (ආචාර්ය ආනන්ද ගුරුගේ දඹදිව බෞද්ධ කලාව පි. 30-31 -1962)

අජන්තාවෙහි ඉතා ප්‍රසිද්ධියට පත්වු ඉතා ශ්‍රේෂ්ඨ බිතුසිතුවම් දක්නට ලැබෙන්නේ (19) දහනව වැනි ගුහාවෙහි ඇති බිතුසිතුවම්ය. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයේ පිඬු සිඟා වඩින ආකාරය පෙන්වන බිතුසිතුවම ඉතාමත් ප්‍රකටය. නෙළුම්මලක් මත වඩිනා බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් සේසතක් දරනුයේ අහසින් යන දෙවියෙකි. බුදුරජාණන් වහන්සේගේ වම් පසින් ඈතින් මාලිගාවක සිට යශෝධරා දේවිය රාහුල කුමරුවන්ට පියාණන් හඳුන්වා දෙන්නීය.අඩි 3 පමණ උස මේ බිතුසිතුවම් මෙහි විශාලම රූපය බුද්ධ රූපයයි.
ඒ හා සමකරන කල මාළිගයද යශෝධරා දේවිය හා රාහුල කුමරුවන්ද ඉතා කුඩා ලෙසින් සිතුවම් කර තිබේ. චිත්‍ර ශිල්පයේදි ඈතින් ඇති වස්තූන් කුඩා කොට දැක්වීමෙන් ස්වභාවිකත්වය රැකීමට ගත් උත්සාහයක් ලෙස ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා සඳහන් කරයි.
අජන්තා පුදබිමෙහි ප්‍රධාන වශයෙන්ම ක්‍රිස්තු වර්ෂය සහ 6 වන සියවස්වලට අයත් බිතුසිතුවම් බුද්ධ චරිතය හා ජාතක කතා නිරූපණය සඳහා වෙන් කර ඇති බව ආචාර්ය මෝති චන්ද්‍ර මහතා සඳහන් කරයි. මෙහි ඇති ලෙන් 30 (තිහෙන්) න් දහසයක පමණ බිතුසිතුවම් දක්නට ලැබෙන්නේ අංක 1,2,16,17 හා 19 යන ලෙන්වලය.
මෙම ශාලාවෙහි පිටු පස බිත්තියේ බුදුරජාණන් වහන්සේගෙන් දායාද ඉල්ලීම සඳහා යශෝධරා දේවිය රාහුල පුතු යවන ලද ආකාරය සිතුවම් කර ඇත.
බුද්ධ චරිතය මෙන්ම ජාතක කතා රැසක්ම බිතුසිතුවම් වලින් නිරූපණය කර ඇත.

බුදුපිළිමයේ උපත - 60:

බුද්ධ චරිතය නිරූපිත ලොව ප්‍රකට අජන්තා බිතු සිතුවම්


අජන්තා බිතුසිතුවම් ලොව පුරා සංචාරකයින්ගේ විශේෂ අවධානයට යොමු වී ඇත්තේ එහි ඇති බෞද්ධ චිත්‍ර කලාව නිසාය. මේ අතරේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් චරිතය හා සම්බන්ධ වූ අවස්ථා රැසක්ම නිරූපණය සඳහා යොදා ගෙන ඇති බිතු සිතුවම් ඉතා ප්‍රකටය. බුද්ධ චරිතය පමණක් නොව බුද්ධත්වයට පෙර බෝසතාණන් වහන්සේ පෙරුම් පුරණ සමයේ දී ඉතා ප්‍රකට බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ජාතක කතාද මෙම බිතු සිතුවම්වලින් නිරූපණය කර තිබේ. එම බිතු සිතුවම් ඉතාමත් නිර්මාණශීලී මෙන්ම තාත්වික භාවයෙන්ද යුක්ත බව මේ පිළිබඳ විචාරකයින්ගේ මතය වන්නේ ය.
‘අජන්තා බිතුසිතුවම් ඇති ලෙන් අතරේ අංක 9 දරන ලෙන සුවිශේෂ වන්නේය. මෙහි සද්දන්ත ජාතකය, බිතුසිතුවමට නංවා ඇත. මෙම බිතුසිතුවම් වලින් ගුප්ත රාජ යුගය ගුප්ත රජවරුන් රජකළ (ක්‍රිස්තු වර්ෂ පහ, හය ( 5 – 6) සියවස්වලට අයත් වන බිතු සිතුවම් ඉතා විශිෂ්ට මෙන්ම නිර්මාණාත්මක බිතුසිතුවම්වලට අයත් වන්නේ ය. එම යුගයට අයත් බිතුසිතුවම් අජන්තා ලෙන්වල මෙන්ම මධ්‍ය ඉන්දියාවේ භාජා ලෙන්වල දැකිය හැකි ය.
 (2500 Years of buddhism – prof p.v bapat p 288 – 289 - India - 1956 )

කි‍්‍රස්තු වර්ෂ පස්වන සියවසේ දී සාදන ලද අංක 1 දරන ලෙන් විහාරය වාස්තු විද්‍යාත්මක ලෙසින් (ගෘහ නිර්මාණ අනුව) ඉතා විශිෂ්ට එකක් බව ප්‍රකටය. මෙම ලෙනෙහි ඉදිරිපස අලංකාර ලෙස නිර්මාණය කර ඇති අතර සාලයේ තිබෙන කුළුණු හයෙන් එහි අලංකාරය තවත් වැඩි වී තිබේ. එහි ඇති විසිතුරු දොරටුවෙන් ඇතුලු වූ පසුව විශාල ශාලාවක් හමුවෙයි. එම ශාලාවට ප්‍රවේශවීමට පළමුව විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හමුවේ. එම ශාලාවේ තුන් පැත්තකම කුඩා කාමර පේළියකි. ඉහතින් සඳහන් කළ විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ අසල පස්වග මහණුන්වහන්සේලා මූර්තිමත් කර තිබේ. ධර්ම චක්‍රය මැදින් සිටින සේ මුවන් දෙදෙනෙකු ඒ දෙපස සිටින සේ මූර්තිමත් කර ඇත. මෙය බුදුරජාණන් වහන්සේගේ ධම්ම චක්ක පවත්වන සූත්‍රය දේශනා කරන අන්දම නිරූපණ කරන මූර්තියකි. දකුණු පැත්තේ ඇති ස්තම්භයක මුවන් හතර දෙනෙකු ඉතා නිර්මාණාත්මක ලෙසින් මූර්තිමත් කර ඇත. එහි විශේෂත්වය වන්නේ එම මුවන් සතර දෙනාටම එකම හිසක් නිර්මාණය කර තිබීමයි. ඒ මුවන් සතර දෙනාටම එම හිස එක් එක් දෙස සිට බලන විට ඒ හිස අයත් වන සේ මූර්ති ශිල්පියා නිර්මාණය කර ඇත.
(භාරත – ලංකා බෞද්ධ උරුමය සිරිසමන් විජේතුංග පි. 82 – 2006)
අජන්තා ලෙන් විහාරවලට අයත් 16 වන ලෙනෙහි ඉතා ප්‍රකට ජාතක කතාවක් වන වෙස්සන්තර ජාතකය නිරූපණය කරන බිතුසිතුවම් ඉතා අලංකාර ලෙසින් නිමවා තිබේ. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුද්ධ චරිතයට අදාළ සිදුවීම් වූ මාරපරාජය, නාලාගිරි දමනය මෙන්ම සිදුහත් උපත බුද්ධත්වයට පත්වීම මහා පරිනිර්වාණය ද මෙම අජන්තා ලෙන්වල දැකිය හැකිය. බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය නිරූපණය කර ඇත්තේ මූර්තියක් මගිනි.
බුදුරජාණන් වහන්සේ සල්ගස් දෙක අතර දකුණු ඇලයෙන් සැතපී සිටින ආකාරයෙන් මෙම මුර්ති නෙළා ඇත. ආනන්ද හා මහා කාශ්‍යප හිමියෝ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය දැක වැළපෙන ආකාරයද මෙහි මූර්තිමත් කර ඇත. සම්බුද්ධ පරිනිර්වාණ මංචකය ඉදිරිපිට වැළපෙන මහා සංඝයා වහන්සේලා ද මෙහි නිරූපිතය. මෙම මූර්ති ඵලකයට ඉහළින් දෙවිවරුන් මල් ඉසින ආකාරයද මූර්තිමත් කර ඇත. එය අජන්තා අංක 26 ලෙනෙහි දක්නට ලැබේ. (Discourse in early Buddhist art visual narratives of India – by vidya dehejia – 1996 – p – 235 – India )
තෙමඟුල අනුස්මරණය කෙරෙන වෙසක් පුර පසළොස්වක දිනයේ දී ඉතිහාසයෙහි සඳහන්වන විජය කුමාරයා ලංකාවට සිය පිරිස සමඟ පැමිණීමද අජන්තා ලෙන් අංක 17 හි නිරූපණය කර ඇති අන්දම දැකිය හැකිය. නැවක් මුහුදු බත් වීම නිසා වෙළෙඳුන් පන්සියයක් සමඟ පැමිණි කුමාරයා ගොඩබැසීමත් වෙස්වලාගත් රූමත් කාන්තාවකගේ ග්‍රහණයට ඔවුන් හසුවීමත් මෙසේ චිත්‍රයට නංවා ඇත.
ඉතා තාත්වික අන්දමින් චිත්‍රයට නංවා ඇති මෙම සිදුවීමට අයත් යාත්‍රා වෙරළ සහ නැටුම් දක්වන පිරිසද ඇතුන් සහිත පෙරහරක්ද අවසානයේ අභිශේකයක්ද සිතුවම්වලට නංවා තිබේ.