ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

පාරිභෝගික වූත් උද්දේශික වූත් වාම සිරිපා ධාතුන් වහන්සේ


පොල්ගහවෙල මහමෙවුනා 
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

මනෝ නන්දනීය වූ දෙව්රම් වෙහෙරෙන් වෙසක් සඳ නැඟෙන රැයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහරහතුන් පිරිවරා කැලණියට වැඩම කොට දන් වැළදූ අයුූරු අප මීට පෙර කතා කළෙමු. අද අප කථා කරන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ලෙසම අප වන්දනා කරන දෙවියන්ගේ, බඹුන්ගේ සිරස ස්පර්ෂ කළ, නිකෙලෙස් මහරතන් වහන්සේ කොතෙකුත් වන්දනා කරන, පිනැත්තන් සිරසින් වන්දනා කරන ශාක්‍යසිංහ ගෞතම අප මුනිඳුන්ගේ සිරිපා චරණකමල පිළිබඳවයි.
තථාගතයන් වහන්සේගේ සිරිපාව පොළොව මත පිහිටන්නේ උන්වහන්සේගේ අධිෂ්ඨානයකින් පමණි. එසේ අධිෂ්ඨාන කළ හතර ස්ථානයක් තිබේ. එනම්,
*නර්මදා නදියේ සිරිපා - නර්මදා නදිය මුහුදට වැටෙන මායිමේ මානික්‍ය අතරේ සැඟව මානික්‍යයක් මත රැඳි සිරිපාවයි. ඒ උතුම් සිරිපා කමල දෙවියන්, බඹුන්, නාගයින් වන්දනා කරන අතර අද එය මිනිස් ඇසට අදෘශ්‍යමානව පවතී.

* සච්ච බද්ධ පව්වේ සිරිපා - හිමාල වනයේ මුදුන් සතක් සහිතව පිහිටි එකිනෙක බැඳි පර්වතයක් වූ මෙහි සච්චකනම් සෘෂිවරු පිරිසක් අතීතයේ තපස් රැක තිබේ. ඒ නිසා ඒ පර්වතයට සච්චබද්ධ පර්වතය ලෙස නම් වී තිබේ. ඒ පර්වත මුදුනේ පිහිටි සිරිපාවත් දැන් මිනිස් ඇසින් ඈත්වී තිබේ.
* යෝනක පුරයේ සිරිපා - බොහෝ දෙනා යෝනක පුරයේ සිරිපාව ලෙස හඳුන්වන්නේ මෙයයි. බෞද්ධයාගෙන් මේ සිරිපා ලකුණද ඈත්වී ඇත.
* සමනළ පව්වේ සිරිපා - තුන් ලොවටම සුවසේ වන්දනා කළ හැකි භාග්‍යවත් අප මුනි රජුන්ගේ වම් සිරිපා කමල පිහිටියේ සමනල පර්වතයේ මුදුනෙහි බව කවුරුත් දන්නා කරුණක්. එදා කැලණියට වැඩමවා පන්සියයක් මහරහතුන් පිරිවරා ගත් අපගේ භාග්‍යවතුන් වහන්සේට සමනළ පව්වේ සිරිපා තැබීමට සුමන සමන් දෙවියන් කළ ආරාධනාව විශ්මයජනකය. එහිදී සිරිපා කමල ගුණ කියමින් ආරාධනා කරන අයුරු “සමන්තකූඨ” වර්ණනාවේ මෙසේ සඳහන්ව තිබේ.

සමනොළට වඩින්න කළ ආරාධනය

ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ලංකාධරණී තලය නමැති රාජ්‍යයේ පිරිවර පර්වත නමැති අමාත්‍යයන් පිරිවරා සිව්ගංගා නමැති බිසොවුන් ඇතිව උස් වූ ගිරිහිස නමැති කිරුළ දරා සමනොළ නමැති පෘථිවි පාලක නරේන්ද්‍රයාට අධිපතිව වාසය කරන මම මහා හස්තියෙකු බඳු සුමන සමන් දෙවිඳුය. සොඳුරු වන මලින්, වන ඵලයන් සුසැඳි නොයෙකුත් වන සතුන් ක්‍රීඩාකරන ඒ සමනළ විමනට වැඩම කරන සේක්වා යි සමන් දෙවියන් විසින් ආරාධනා කළේය. ඒ ආරාධනාව පිළිගත් භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් මහරහතුන් පිරිවරා අහසින් වැඩ ගිරිහිස වැඩසිටි සේක. එවෙලෙහි සමන් දෙවියන් ආරාධනා කරන ආකාරය “සිරිපා වරුණේ” මෙසේ සඳහන් වේ.
ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඉතා රතුවන් සුපිපි පියුමක් බඳු, දික් වූ වට වූ ඇඟිලි ඇති උස් නිය ඇති, උතුම් සිරිපා කමල මේ සමන් ගිරි හිස තබන සේක්වා. උස් වූ ගොප් ඇටය ඇති නමුත් සැඟ වූ ගොප් ඇට ඇති, දික් වූ විළුඹින් යුතු, සම ලෙස පෙළොවෙහි පිහිටන ඉතා සියුම් බැවින් දුහුවිලි නොරදින උතුම් සිරිපා කමල මෙහි පිහිටුවන සේක්වා.
උතුම් සිරිපා මිහිමඬලේ තබන විට පොළොවේ උස්තැන් පහත්ව පහත් තැන් උස්ව, බෙර ඇසක් සේ පොළොව සම වන්නේය. ඒ උතුම් සිරිපා කමල මෙහි පිහිටුවන සේක්වා.
සිරිපා තබන විට කටු, කටු වැල් ඉබේම මාර්ගයෙන් ඉවත් වේ. මාවතේ මඩ ආදි අපහසුතැන් ඉබේම සිත්කළු වේ. ඒ උතුම් සිරිපා මෙහි පිහිටුවන සේක්වා.
උතුම් සිරිපා බිමට දිගු කළ කල්හි පර්වත ආදී උස්තැන් ආදියෙන් දුරුවෙයි. අපායෙහි ගිනි නිවේ. පද්ම ආදි සිරිපා පිළිගිනිතිි. ඒ උතුම් සිරිපා මෙහි පිහිටුවන සේක්වා.
දහසක් අර ඇති නිම්වළළු ඇති රෝසපාට චක්‍ර ලක්ෂණයෙන් සමන්විත සිරිපා කමල මෙහි පිහිටුවන සේක්වා.
බෝසත් අවදියේම ලුම්බිනියේදී මිහිමඬල පලා පියුම් මතුවූයේ ඔය උතුම් සිරිපා පිළිගන්නට නොවේද? ඒ උතුම් සිරිපා මෙහි පිහිටුවන සේක්වා.
කුමර අවදියේදීම ඔබවහන්සේට වැඳුම් කළ කාලදේව තවුසාගේ නළලත පිහිටි සිරිපා සඟල පිය වැඳුමෙන් වැඳුම් ලැබීය. ඒ සිරිපා ඉඳුනිල මත පිහිටුවන සේක්වා. රුවන් සක්මනෙහි සක්මන් කළ ඔබවහන්සේ ගේ සිරිපා සිප ගන්නට හිරු මඬල සහ සඳමඬල දෙපස පෙළ ගැසුනේය. ඒ උතුම් සිරිපා මේ ඉඳුනිල් මත පිහිටුවන සේක්වා.
විශාල ශරීරයකින් හෙබි රාහු නමැති අසුරයා බුදු සිරුර නොදැක සිරිපා කමලවන් පිරිපුන්ව නොදකිව සෝකී වූ සේක. ඒ උතුම් සිරිපා කමල මේ ඉන්ද්‍රනීල මත පිහිටුවන සේක්වා.
නර්මදාවේ යම් අර්ථයක් පිණිස සිරිපා සටහන් තැබුවේනම් සව්ච්බද්ධ පර්වතයේ යම් අර්ථයක් පිණිස සිරිපා තැබුයේ නම් මුනිඳුන් අපටද අර්ථ පිණිස පින් පුරවා ගැනීම පිණිස සිරිපා තබන සේක්වා. ආදී වර්ණනා කරමින් සිරිපා කමල සමනල ගිරි මුදුනේ තබන ලෙස සමන් දෙවියන් විසින් ආරාධනා කළේය.

සිරිපා පිහිටුවීම

අපගේ භාග්‍යවත් බුදුුරජාණන් වහන්සේ අනාගතයේ බොහෝ සතහට සිදුවන යහපත දැක සමනොළ පව්ව මුදුන ඉඳුනිල් මානික්‍යය මත උතුම් වම් සිරිපා ලාංඡනය පිහිටුවා වදාළ සේක. නවරුවන් වර්ෂා ඇද හැළිනි. දෙවියන්ගේ පී‍්‍රතිඝෝෂාව අකනිඨා බඹලොව දක්වා රැව් දුන්සේක. දිව්‍ය පසඟතුරු ගොස පැතිරිණි. අවට ප්‍රදේශ මාණික වර්ෂාවකින් සිපගෙන එතැන්හි රුවන් පුරයක් මෙන් විය. ඒ වෙසක් පුන් පෝදා සවස් යාමයයි. එදා මෙදා තුර දෙනෝ දහසක් උතුම් සිරිපා කරුණා කරමින් වන්දනා කරන්නාහුය. බොහෝ දෙනා සිරිපා වන්දනා කරමින් පින් කර ගත්තේය. සිරිපා මළුව කුඩා වුවද බොහෝ දෙනා පැමිණියත් ඉඩ ඇත්තේය. මිනිසුන් වන්දනා කළ පසු මහා වර්ෂාවෙන් මංමාවත් ඉබේම දෝවනය වන්නේය. මාස හයක කාලයක් ජනී ජනයා සිරිපා කරුණා කරති. ඉතිරි මාස හය මිනිසුන් සිරිපා වන්දනා නොකළත් දෙවියන්, බඹුන්, නාගයන් සිත් සේ සිරිපා කමල වන්දනා නො කරන්නේ යැයි අපට කිව හැකිද?
පෙර රජදරුවන් බොහෝ හරසරින් සිරිපාව වන්දනා කර තිබේ. පසුකලකදී මිත්‍යා දෘෂ්ඨික චාරිත්‍ර සිරිපා කමලට පූජා පිණිස එකතුවීම නිසා දහඅට රියන් ගල් වැස්මකින් සිරිපාව වසා ඇති අතර, අද දක්නට ඇත්තේ ඒ පිට සටහන් කොට ඇති පාද සංකේත ලාංඡනය යි. කෙසේ නමුත් සිරිපා කන්ද හා අතීතය වටා ගෙතුන බොහෝ කතා ජනප්‍රවාද ලෙස පවතින අතර ඒවා මෙහි සටහන් තැබීමට ඉඩකඩ නැත. මන්දයත් අපට අවැසිවූයේ සිරිපා කමලේ උතුම්බව ඉස්මතු කිරීම පමණක් බැව් නිසාය. සමන් දෙවියන් පොරොන්දු වූ පරිදි සැදැහැවත් අය පුළුන් රොදක් සේ සිරිපා කරුණා කරත්. මුදුනට නැඟ ගත් පසු මෙතරම් දුරක් කෙසේ ආයේදැයි අපට සිතේ.
ඔබත් කෙසේ හෝ අප මුනිඳුන්ගේ උතුම් සිරිපාව වන්දනා කිරීම සැප සතුට ගෙන දෙන්නකි. කැලණි ගඟ පතුලේ, ජේතවනාරාමයේ, ථූපාරාමය අසල පාද ලාංඡන ස්ථූපයේ ආදී ස්ථානවල සිරිපා ලාංඡනය තැබූ බව වංශකතාවෙන් පැමිණෙන අතර, ඒ ස්ථානත් සැදැහැ සිතින් වන්දනා කර ගතයුතු වේ. සමනොළ සිරසේ සිරිපාව වන්දනාව සඳහාම වෙන් විය. අප මුනිඳුගේ එක් සිරිපාවක් වන්දනා කරන්නට සැදැහැවතා තම පා කීපවතාවක් නම් තබන්නේද? එය සැදැහැ සිත් පිණිසම වන්නේය.
යම් ගමක අප මුනිඳු සිරිපා තැබූ සැණින් ඒ ගමේ මිනිසුන් පෙළෙන අමනුෂ්‍යයන් මිනිසුන් අතහැර යති. කෝටි ගණන් පිනැතියන් වෙනුවෙන් මුනි සිරිපා කොතෙක් තබා ඒ අය සසරින් නිදහස් කළාද? මාගන්දිය පවුල් මව්පියන්, කුක්කුටමිත්ත වැදි පරපුර, ද්‍රෝණ බමුණා ආදීන් සසරින් එතෙරවූයේ සිරිපා කමලේ සටහන නිසාමැයි. මහරහතුන් කොතෙකුත් සිරිපා කමල ළඟ වැද වැටී වන්දනා කළාද? ශක්‍ර දිව්‍ය රාජ අමාත්‍ය ආදීන්ගේ ඔටුන්නේ මාණික්‍ය රශ්මියෙන් බුදු සිරිපා දෝවනය විය. අපගේ ආනන්ද ස්වාමින් වහන්සේ ආදරයෙන් හිස තබා දෑතින් මුනි සිරිපා දෝවනය කළ සේක. අවසන් වශයෙන් කාශ්‍යප මහ රහතන් වහන්සේගේ නළලත බුදු සිරිපා පිහිටියේය.
කල්‍යාණතෝ ගගනතෝ මුනියත්ථ ගන්ත්වා
දස්සේසි චක්කවර ලක්ඛන පාද ලඤ්ඡනං
ලංකා මහී වර වධු මකුටෝප මානං
වන්දාමහං සුමනකූට සිලුච්චයං තං

යන සිරිපා වන්දනා කරන ගාථාව කියමින් නිකලෙස් මුණිවරු නලල තබා වන්දනා කළ සිරිපාව ඔබත් නළල තබා වන්දනා කළයුතු වේ. දෙවියන්, බඹුන්, නාගයින් හිස නමා වන්දනා කරන සිරිපාව ඔබත් හිස බිම තබා වන්දන කළයුතු වේ. උතුම් සිරිපා කමලේ අනන්ත ආනුභාවයෙන් ඔබට සියලු යහපත උදාවේවා.