මහා වග්ගපාලියෙහි සඳහන් මෙම විස්තරයෙහි උරුවෙල කස්සපගේ ආශ්‍රමයේ නවාතැන් ගත් භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ අභියෝගවලට මුහුණදීම, මානය බිඳ දැමීම පිණිස ප්‍රාතිහාර්යය රාශියක් දැක් වූ බව සඳහන් ය. සෘද්ධි ප්‍රාතිහාර්ය දැක්වීම පිළිබඳ කතා බුද්ධ චරිතය අත්භූත ආශ්චර්යත්වයට පත් කිරීමේ ප්‍රයත්නයකැයි කෙනෙකුට සිතිය හැකිය. ඉද්ධිවිධඤාණය නොලත් කෙනෙකුට ඒ පිළිබඳ විමති ඇති කිරීම පහසුය. සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමේ ශක්තිය එකකි. එය දැක්වීම හෝ නොදැක්වීම අනිකකි. ප්‍රාතිහාර්ය පෑමෙන් වළකින ලෙස ශ්‍රාවකයන්ට නියම කළේ සෘද්ධි ශක්තිය ඇතිව ඒවා ප්‍රදර්ශනය කරන භික්ෂූන් සිටි හෙයිනි. සංඝ සමාජයේ පැවැත්මට ඉවහල්වන නීති, කරුණක් ඇතිවම පැනවීම බුදුරජාණන් වහන්සේගේ පිළිවෙලයි. ඒ අනුව සෘද්ධි ශක්තිය අද්භූතත්ත්වය ආරෝපණය කිරීමක් නොව විද්‍යාමාන මනෝමය ශක්තියක් දැක්වීමකි. ඉද්ධිවිධ ඤාණය භාවනා මඟින් සිත දියුණු කොට උපදවන්නකි. (බුදුන් වදාළ බුද්ධ චරිතය – මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි සහ කීර්ති නාරම්පනාව. පි. 122 – 1999)
උරුවෙලෙහි කැමැති පරිදි වාසය කළ බුදුරජාණන් වහන්සේ ජටිල භික්ෂූන් වහන්සේලාත් සමඟ රජගහනුවර බලා වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ රජගහනුවර ලට්ඨිවන උයන්හි නුගරුකක් මුල නතර වූහ. ඒ පුවත මගධාධිපති , බිම්බිසාර මහ රජුට ආරංචි විය. ඔහු මහ පිරිසක් සමඟ බුදුරජාණන් වහන්සේ, බැහැ දැකීමට ගියේය.
බිම්බිසාර රජුගේ මේ ගමනට විශේෂ වු හේතුවක් ඇත. එනම් වරක් සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් රජුට හමු විය. ඒ උද්දකාරාම පුත්තගේ අසපුවෙන් පිටත්ව ප්‍රධන් වැඩීමට උරුවෙලාව බලා යමින් මගධ චාරිකාවේ යෙදුණු අවස්ථාවේය. එහිදී කළ සාකච්ඡාවෙන් එතුමන් පිළිබඳ තොරතුරු සියල්ල බිම්බිසාර රජු දනී. එදා බිම්බිසාර රජතුමා තමාගේ රජකම බෙදා ගැනීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට සත්‍යය සොයා යන බව ප්‍රකාශ කළ අන්දම මතකයට නැගුණි. ඒ ප්‍රකාශය පරිදි එතුමා සත්‍යය සොයා ගත්තේද? නැද්ද? කෙබඳු ආකාර ද? යන්න සිය හිතෛෂියාගෙන් දැන ගැනීමටද බිම්බිසාර රජුට කැමැත්තක් ඇතිවිය. මීට අමතරව බිම්බිසාර රජු සමඟ ගිය පිරිසටද මීට වඩා වෙනස් වූ සිතිවිලි ඇතිවිය. එසේ සිතුණේ බුදුරජාණන් වහන්සේ සමඟ ජටිල භික්ෂූන් ද සිටින හෙයිනි. ඔවුන්ට ඇති වු කුකුස වූයේ බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යපගේ අනුගාමිකයෙක්ද නැත්නම් උරුවෙල කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෙක්ද? යන කාරණය දැන ගැනීමට ඇතිවූ කැමැත්තයි. මෙතෙක් බුදුරජාණන් වහන්සේ ගැන තොරතුරු නොදැන සිටි රජගහනුවරවාසීන් අසළ ප්‍රදේශයේ සිටි උරුවේල කාශ්‍යප ආදින් ගැන දැනගෙන සිටින්නට ඇත. ඒ අනුව උරුවෙල් වැසි ජනතාවගේ ඒ සැකය සාධාරණය. බුදුරජාණන් වහන්සේ සහ උරුවේල කාශ්‍යප තෙරුන් අතර ඇති වූ සාකච්ඡාවෙන් ජනතාවට බුදුරජාණන් වහන්සේ පිළිබඳ දැනගැනීමට අවස්ථාවක් ඇති විය. එපමණක්ද නොව උරුවේල කාශ්‍යප තෙරුන් තමන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු බවද ප්‍රකාශ කළේය. බුදුරජාණන් වහන්සේ උරුවෙල කාශ්‍යප තෙරුන් අතර සංවාදයක්ද මෙහිදී සිදුවිය. ඒ මෙසේය.
“උරුවෙල කාශ්‍යපයිනි,පරහට ඔවා දෙන ඔබ කවරනම් කරුණක් දැක ගිණිපිදීම අත හැරීයෙහිද? ඔබගේ ගිණිපිදීම නතරවූ සැටි ඔබෙන් විමසමි.
යඥයෙන් (ගිනිපිදීමෙන්) රූප,ශබ්ද, රස යන මේ කාමවස්තු ලැබෙතැයි කියති. මේවා උපධි ආදියෙහි කිළිටි බව දැන යාගයෙහි නොඇලුණෙමි. ගිණිපිදීමේ නොඇලුණෙමි.
කාශ්‍යපයිනි ලොව රූප – ශබ්ද රසවල ඔබගේ සිත නොබැඳුණේ නම් කොතැනක ඔබේ සිත බැඳුණේ ද? කියා පවසන්න.
කාමභවයෙහි නොඇලුණු උපධිරහිත වෙනසකට නොපත්වන තමන්ම අවබෝධ කළ යුතු ශාන්තපද නම් වන නිවනෙහි ඇලී යාගයෙහි නොඇලුනෙමි. ගිනි පිදීමෙහි නො ඇලුනෙමි. (මහා වග්ගපාලි – මහාබන්ධක –පි. 76)
මෙම සාකච්ඡාවෙන් උරුවෙල කාශ්‍යප සිය ශිෂ්‍යභාවය පිරිසට ප්‍රකාශ කළේය. අනතුරුව තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළහ. ධර්මය වටහාගත් බිම්බිසාර රජ සෝවාන් විය. පිරිස තිසරණ ගත උපාසකත්වය ලැබූහ. මේ හැරුණු විට ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් දෙකක් රජගහනුවර චාරිකාවේදී දක්නට ලැබේ. එයින් එකක් ආරාම පිළිගැනීමය. අනෙක අග්‍රශ්‍රාවක දෙනම හමුවීමය.
අප මෙහිදී පළමු වැනි කරුණ වූ බුදුරජාණන් වහන්සේ ආරාම පිළිගැනීම හෙවත් බුදුරජාණන් වහන්සේට ආරාම පූජා කිරීම ගැන විමසා බලමු.
බිම්බිසාර රජ බුදුරජාණන් වහන්සේගේ වාස පාසු පතා කලන්දක නීවාප නම් වේළුවන උයන පූජා කළේය. බුදුරජාණන්වහන්සේට මෙවැනි ආරාම පුජාවක් කළ ප්‍රථම අවස්ථාව මේ බව ශාසන ඉතිහාසයේ සඳහන් වී ඇත.
“ඒ අනුව භික්ෂූන්ට ආරාම පිළිගැනීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. මෙතෙක් ආරණ්‍ය ,රුක්ඛ මූලගිරි ගුහා ආදිය වාසස්ථාන වශයෙන් පි‍්‍රය කළ ශ්‍රාවක සංඝයා ආරාම ප්‍රතිග්‍රහණය පටන් ගත්තේ මින් පසුවය. මෙය ඓතිහාසික සිද්ධියකි. චාරිකා චරණය මගින් සිදු කළ ධර්මාධ්‍යාපනය ආරම්භගතව සිදුකිරීමේ අවස්ථාව මින් උදාවිය.
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවාසය කරන කාලයේදී බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ඉතා ප්‍රකට සිදුවීමක් ලෙසින් අනේපිඬු සිටාණන් විසින් බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමය පූජා කිරීම සඳහන් වේ.
එම ජේතවනාරාමය බුදුරජාණන් වහන්සේට පූජා කිරීම පිළිබඳ පුවත මූර්තිමත්කර ඇති කැටයමක් (වෘත්තාකාර ඵලකයක) ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඇති භාරුත් පුදබිමෙන් හමු වී ඇත.
එම මූර්ති ඵලකයේ වම්පස කොටසේ කරත්තයකින් රන්කාසි බිමට බාන අන්දමත් ඒවා ජේතවනාරාම භූමියේ අතුරන අන්දමත් මූර්තිමත් කර තිබේ. මෙහි මැද අනේ පිඬුසිටාණන් පැන් කෙණ්ඩියක් අතින්ගෙන බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමය පූජා කරන අන්දම නිරූපණය කර ඇත. බුදුරජාණන් වහන්සේ මානව රූපීව මෙහි නිරූපණය කර නැත. ඒ වෙනුවට ශී‍්‍ර මහා බෝධිය එහි මූර්තිමත් කර ඇත. ඊට හේතුව භාරුත් මූර්ති නිර්මාණය කරන කාලයේ දී ක්‍රිස්තු පුර්ව 2 වන සියවසේදී බුදුපිළිම නිර්මාණය කිරීම නොතිබුණු හෙයිනි. මෙය ඉතා ප්‍රකට මූර්තියකි. මෙය අල්ප උන්නතව නෙළා ඇත. ශුංග කලා සම්ප්‍රදායට මෙය අයත් වේ.
භාරත ලංකා බෞද්ධ උරුමය – සිරිසමන් විජේතුංග පි. 10 (2006)
බුදුපිළිමයේ උපත - 35:
බුදුරජාණන් වහන්සේ සහ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා
බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් දෙදෙනා වහන්සේ වූ සැරියුත් සහ මුගලන් මහ රහතන් වහන්සේ හමුවීම ඉතා වැදගත් වන්නේය. බුදුරජාණන් වහන්සේ මීළඟ දෙමස ගත කරන ලද්දේ රජගහනුවරය. විනය පිටකයේ සඳහන් වන පරිදි ඊළඟ සිද්ධිය ඇතිවූයේ මේ කාලයේදීය. බුදුරජාණන් වහන්සේ පිළිබඳ දැන ගැනීමට උපතිස්ස, හා කෝලිත දෙදෙනාට අවස්ථාව සැළසුනි
අටුවාචාරීහු (අටුවා ඇදුරෝ) මේ සුප්‍රකට බෞද්ධ ශ්‍රාවකයන් ගැන බොහෝ විස්තර දක්වති. ඒ අනුව ශාරිපුත්‍රයන් උපන්නේ රජගහනුවර අසල උපතිස්ස නම් ගමෙහිය. ඔහු උපතිස්ස නම් වූයේ එහෙයිනි. ඔහුගේ මව රූපසාරි නම් බැමිණියයි. එහෙයින් ඔව්හු සාරිපුත්‍ර , සාරිගේ පුත්‍රයා යනුවෙන් දක්නා ලදහ.
මොග්ගල්ලානයන් උපන්නේ ඒ අසළ වු කෝලිත නම් ගමෙහිය.
ඔහුට කෝලිත යන නම ලැබුණේ කෝලිත ගම ප්‍රධාන පවුලේ පුත්‍රයා වූ හෙයිනි. ඔහුගේ මව මොග්ගලී නම් බ්‍රාහ්මණ කාන්තාවකි. මොග්ගල්ලාන යන නාමය ව්‍යවහාර වූයේ ඒ නිසාය. එකම දිනයේ උපන් ඔවුහු වැඩිවිය පත්වූ පසු සංජය නම් පිරිවැජියා යටතේ විමුක්ති ධර්මය සෙවීම සඳහා එක්ව ගිහි ගෙය හැරපියා පැවිදි වූහ. එකල්හි සංජය නම් පරිබ්‍රාජක තවුසා දෙසියයක් පමණ වූ සිසුන් සමඟ රජගහනුවර විසුවේය. සාරිපුත්ත හා මොග්ගල්ලාන යන දෙදෙනා ඔවුන් අතර වූහ. මේ දෙදෙනා අතර කතිකාවක් ඇති විය. එනම් යමෙක් පළමුව අමරණීයත්වය අවබෝධ කෙරේ නම් අනෙකාට දැන්විය යුතුයැයි සම්මුතියයි.
ඒ කාලයේදී අස්සජි හිමියෝ බුදුරජාණන් වහන්සේගේ පස්වග මහණුන් වහන්සේලා ගෙන් එක හිමිනමකි. උදෑසනම පාත්‍ර සිවුරු ගෙන පිඬු සිඟා යනු පිණිස රජගහනුවරට පිවිසියේය. දෙනෙත් බිමට යොමාගෙන මනා ඉරියව්වලින් යුතු ඒ හිමියන් දුටු ශාරිපුත්‍රයෝ මෙසේ සිතූහ. ලොව රහත් හු හෝ රහත් මගට පිළිපන්නාහු සිටිත් නම් මේ ඒ අය අතර එක් භික්ෂුවක් විය යුතුය. එහෙත් ඒ හිමියන් වෙත ගොස් ඒ පිළිබඳ විමසීමට කාලය නොවේ යැයි සිතූ ශාරිපුත්‍රයෝ පිඬුසිඟා අවසන් වන තෙක් අස්සජි හිමියන් පසුපසම ගමන් කළේය. පිඬුසිඟා අවසන් වු පසු අස්සජි හිමියන් වෙත පැමිණ ශාරිපුත්‍රයාණෝ මෙසේ ඇසූහ.
“ඇවැත්නි, ඔබගේ ඉන්ද්‍රියයයෝ මහත්සේ ප්‍රසන්නය.ඡවි වර්ණය (සමේ පැහැය) පිරිසුදුය. පැහැබරය. ඇවැත්නි, ඔබ කවුරුන් නිසා පැවිදි වූවාහුද? ඔබගේ ගුණ කවරහුද? කවරෙකුගේ ධර්මය ඔබට අභිමතද?
ඒ ඇසූ අස්සජි හිමියෝ මෙසේ පැවසූහ. ඇවැත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාකල්‍යයෙන් පැවිදි වූ මහා ශ්‍රමණ කෙනෙක් සිටිති. උන්වහන්සේ උදෙසා පැවිදි වීමි. ඒ භාග්‍යවත්හු මගේ ගුරුහුය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මට අභිමතය.
ඔබගේ ගුරුන්ගේ ධර්මය කිම? උන්වහන්සේගේ දෘෂ්ටිය කිම?
මමද ඇවැත්නි නවකයෙක්මි. ළඟදී පැවිදි වූයෙමි. මේ ධර්ම විනය වෙත මෑතක එළඹියෙමි. සවිස්තරව දම් දෙසීමට නොහැක්කෙමි. සැකෙවින් සාරය පමණක් කියමි.
(බුද්ධ චරිතය – මහාචාර්ය සුචරිත ගම්ලත් – පි. 258-59)ඉන් පසුව උපතිස්ස පිරිවැජියා අස්සජි හිමියන් මෙසේ වදාළ දහම ඇසුවේය.
“හේතුවෙන් පහළ වන යම් ධර්ම කෙනෙක් වෙත්ද? ඔවුන්ගේ හේතුව ඒ තථාගතයන් වහන්සේ වදාරන සේක. ඔවුන්ගේ යම් නිරෝධයක් වේද? එය වදාරන සේක.
ඒ මහා ශ්‍රමණයන් වහන්සේ වදාරන කෙනෙකැයි වදාළහ.
මෙහි පළමු දෙපදය අසමින්ම සිය දහස් අයුරින් එහි අර්ථ දුටු උපතිස්ස පරිබ්‍රාජක තෙමේ සෝවාන් ඵලයෙහි පිහිටියේය. අන් පද දෙක දෙසුවේ සෝවාන් වූ පසුවයි. සෝවාන් වු පමණ මූත් ඉන් මත්තෙහි විශේෂ ගුණයකට නොපැමිණි බැවින් එයට කාරණයක් ඇතැයි සිතූ පිරිවැජි තෙමේ අස්සජි තෙරුන් අමතා මෙසේ ඇසීය.
“ස්වාමීනි මෙපමණක් සෑහේ. අපේ ශාස්තෘන්වහන්සේ කොහි වසනා සේක් දෝයි ඇසීය. ආයුෂ්මත්නි, උන්වහන්සේ දැන් වේළුවනයෙහි වසන සේකැයි අස්සජි හිමියෝ පිළිතුරු දුන්හ. ස්වාමිනි, එසේ නම් ඔබ වහන්සේ පළමුකොට වැඩිය මැනවි. අපේ යහළුවෙක් ඇත. පළමුව නිවන් දුටුවහු විසින් අනෙකාට දැන්විය යුතු යැයි අප දෙදෙනා විසින් කතිකාවක් කරන ලදී. ඒ පොරොන්දුවෙන් මිදී මගේ යහළුවා කැඳවා ගෙන ඔබ වහන්සේ වැඩි මාර්ගයේම ශාස්තෘන් වහන්සේ වෙත එන්නෙමැයි කියා පසඟ පිහිටුවා වැඳ පැදකුණු කොට පරිබ්‍රාජකාරාමය දෙසට ගියේය. ඔහු ඈත එන්නාහු දුටු කෝලිත යහළු පිරිවැජි තෙම අද මා යහළුවා ගේ මුහුණ අන් දවස්වල මෙන් නොවේ ඒකාන්තයෙන් නිවන් ලද්දේ වනැයි සිතා කතා කළේය. (ශාක්‍ය මුනින්ද්‍රා වදා නය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය, අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමිපාණන් වහන්සේ – පි. 109-110 (1986)
ඉහතින් සඳහන් කළ ආකාරයට පංචවග්ගිය භික්ෂූන් වහන්සේලාට අයත් අස්සජි තෙරුන් වහන්සේ හමුවීමෙන් පසුව උපතිස්ස, කෝලිත යහළුවන් දෙදෙනාම භාග්‍යවතුන් වහන්සේ හමුවී පැවිදිව උපසම්පදාව ලබා රහත් වූහ. සාරිපුත්ත මොග්ගල්ලාන නම් වලින් ප්‍රකට වූ ඒ රහතන් වහන්සේ දෙනම අග්‍රශ්‍රාවක භාවය ලැබූහ. උන්වහන්සේලාගේ ලෝක ශාසන සංග්‍රහය විවරණය වන බොහෝ තොරතුරු ත්‍රිපිටකයෙහි දක්නට ලැබේ.
“මහණෙනි මෙකල අර්හත් සම්‍යක් සම්බුද්ධ මම ලොව පහළ වීමි. මට ශාරිපුත්‍ර සහ මොග්ගල්ලාන නම් අග්‍ර– භද්‍ර ශ්‍රාවක දෙනමක් වෙති. මහාපදාන සූත්‍රයෙහි මෙන්ම වේපුල්ල සූත්‍රයෙහිද මේ දෙනමගේ අග්‍රශ්‍රාවක භාවය භාග්‍යවතුන් වහන්සේම ප්‍රකාශ කර ඇත. එසේම මහා ප්‍රාඥයන් අතර සාරිපුත්ත තෙරුන් වහන්සේත් ඍද්ධිමතුන් අතර මොග්ගල්ලාන තෙරුන් වහන්සේ අගතැන්පත් වෙති. සැරියුත් තෙරනුවන් පරහට මෑණියන් හා සමාන බවත්, මුගලන් තෙරුන් වහන්සේ පරහට පියාණන් හා සමාන බවත් පෙන්වා දී තිබේ. (මජ්ජිම නිකාය – සච්චවිභංග සූත්‍රය පිටු අංක 512-518)
අගසව් දෙනම හමු වූයේ බුද්ධත්වයෙන් කොපමණ කලකින්දැයි සඳහන් කළ නොහැකිය. නිශ්චිත කාලවකවානුවක් ගැන සටහන් නොවන හෙයිනි. එසේ වුවද උන්වහන්සේලා හමුවන අවස්ථාව වන විට සෑහෙන ශ්‍රාවක පිරිසක් දහම් පණිවුඩය රැගෙන චාරිකාවේ යෙදී සිටි බව පිළිගත හැකිය. මෙසේ ධර්ම ශ්‍රාවකයන් බහුලවීම උන්වහන්සේලා දිශා අනුදිශාවන්හි චාරිකා කිරීම තථාගතයන් වහන්සේ නායකත්වය ගෙන එක් තැනකට වී නොසිට ශ්‍රාවකයන්ට ආදර්ශමත් වෙමින් ගම් දනව් රාජාධානිවල චාරිකාවේ යෙදීම, ආරාම ප්‍රතිග්‍රහණය ,ආරාම වෙත ජනතාව පැමිණීම සහ ජනතාව අතරට ශ්‍රාවකයන් යාම නිසා ගිහි පැවිදි සමීප සම්බන්ධය රජවරුන් ප්‍රභූන් ඇතුළු පොදු ජන සහභාගිත්වය යන කරුණු රාශියක්ම නව ධර්මය භාරතයේ විශාල ප්‍රදේශයක් පුරා ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතු වූ බව පෙනේ. එසේම ධර්ම සභාව සහ ජනතාව අතර ගොඩනැගුණු සෙවන –භජන සබඳතාව නව සංස්තෘතියක් ගොඩනැගීමේ පදනම විය.
සැරියුත් හා මුගලන් අගසව් මහ රහතන් වහන්සේලාගේ සාංචි දාගැබෙහි තිබී හමුවූ ධාතූන් වහන්සේලා
ඉන්දියාවේ මෙකල මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි සාංචි පුදබිමේ මහා ස්තූපය හැරුණු විට තවත් කුඩා දාගැබ් කීපයක්ම පිහිටා ඇත. සාංචි මහා ස්තූපයට ඊසාන දෙසින් ඇති ස්තූපයක අග්‍ර ශ්‍රාවක සැරියුත් හා මුගලන් මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා හමු වී ඇත. ඉන්දියාවේ පුරාවිද්‍යා අධිකාරියේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා විසින් එම ධාතූන්වහන්සේලා සොයාගන්නා ලද්දේ 19 වන සියවසේ අග භාගයේදී කපිතාන් මෙයිසි මහතාගේ ද සහායෙනි. ශිලාමය ධාතු කරඬුවක තැන්පත් කර තිබූ එම ධාතූන් වහන්සේලා හඳුනාගත්තේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ නාමයන්ද එම ධාතු කරඬුවේ බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා තිබුණු හෙයිනි.
බුදුපිළිමයේ උපත - 36:
මහා ප්‍රජාපතී ගෝතමිය හා මෙහෙණ සස්න
අතීත භාරතයෙහි බුද්ධාගම ජනතාව අතර ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිරී ගියේය. බුදුසමයට ජනතාව වඩ වඩාත් සමීප වූ නිසා එතෙක් ලාභ සත්කාර ලබමින් සිටි අන්‍යාගමිකයින්ට එය දරාගත නොහැකි වූයේය. බුදු දහමේ ව්‍යාප්තිය නොඉවසූ එකල විසූ අන්‍ය ආගමිකයෝ අකටයුත්තකට මුල් වූයේ එහෙයිනි. බෞද්ධ සාහිත්‍යයෙහි එක්තරා සිදුවීමකින් මේ බව පැහැදිලි වේ.
“සුන්දරි පරිබ්‍රාජිකාවකි. අභිරූපිකාවකි. බුදුසසුන ජනපි‍්‍රය වීමෙන් බොහෝ ලාභ සත්කාර වැඩිවන්නට විය. සෙසු ආගම් ලාභ සත්කාරයෙන් පිරිහෙන්නට පටන් ගත්තේය. මෙයින් පසුබෑමට ලක් වූ පරිබ්‍රාජිකයෝ බුදුසසුන අවමානයට ලක්කිරීමේ කුමන්ත්‍රණයක් කළහ. ඔවුහු සුන්දරී පරිබ්‍රාජිකාව මේ සඳහා යොදා ගත්හ. ඇය සමඟ සාකච්ඡා කර පරිබ්‍රාජකයෝ මෙවන් වූ කථාවක් ප්‍රචාරය කළේය. ඇය සවස දෙව්රම් වෙහෙරට යන බවත් උදෑසන දෙවුරමින් (ජේතවනාරාම විහාරයෙන්) නැවත පිටවී යන බවත්ය. ටික දිනකින් සුන්දරී මරා දමා ජේතවනාරාමය අසල දිය අගලක සැඟවූහ. ඇගේ අතුරුදන්වීම රජුටද දන්වා සෙවීමට පටන්ගත් අතර සැඟවු තැනින් මළ සිරුර ගෙන එය ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ වැඩක් යැයි චෝදනා කරමින් මහා උද්ඝෝෂණයක් ඔවුහු ඇති කළහ. ඔවුන්ගේ චෝදනාත් භික්ෂූන්ගේ නොසන්සුන් බවත් දැනගත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මෙසේ වදාළහ.
බොරු කියන්නා නිරයට යයි. යමක් කර මම නොකෙළෙමියි කියන්නාත් නිරයට යයි.පරලොව නිරාගතවන දෙදෙනාගේම ක්‍රියාව සමය. මේ පුවතින් බාහිර ශාසන වලද කාන්තාවන් පැවිදි වී සිටි බව පෙනේ.බුදුසසුන ඇතිවී කලක් ගත වනතුරු කාන්තාවන් පැවිදි කිරීමක් සිදු නොවීය. සිදුහත් කුමරා බුදු වූ මුල් කාලයේ සිටම උපාසිකාවන් ඇතිවු අන්දම යස තෙරුන්ගේ කතාවෙන් හෙළිවේ. ශාසන ව්‍යාප්තිය සෑහෙන කාලයකින් වර්ධනය වූ පසු මෙහෙණ සස්න ආරම්භ වීමට බුදුරජාණන් වහන්සේගේ සුළුමෑණියන් වන ප්‍රජාපතී ගෝතමියගේ දැඩි පරිශ්‍රමයද හේතුවිය.ඒ ගැන භික්ෂු ශාසනය පිළිබඳ ඓතිහාසික පුවත අංගුත්තර නිකායෙහි මෙන්ම චුල්ලවග්ග පාලියෙහිද සඳහන් වේ.
භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩවාසය කරන සමයේදී ප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ ස්වාමීනි, තථාගත සසුනෙහි කාන්තාවන්ට පැවිද්ද ලැබෙනවානම් මැනවියැයි සැළ කළාය. තථාගතයන් වහන්සේ ගෝතමිය ඔබ තථාගත ශාසනයෙහි පැවිද්ද බලාපොරොත්තු වන්නට එපා යැයි වදාළහ. දෙවැනි හා තෙවැනිවත් ආයාචනා කළාය. දෙවැනි තෙවැනිවත් එසේ වදාළහ. මහා ප්‍රජාපති ගෝතමිය තථාගතයන් වහන්සේ කාන්තාවන්ට පැවිද්ද අනුමත නොකරතියි දුකින් දොම්නසින් කඳුළු පිරිමුහුණින් හඬමින් වැඳ පැදකුණු කොට ගියාය”.
(බුදුන් වදාළ බුද්ධ චරිතය – පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි සහ කීර්ති නාරම්පනාව පි. 132-133-1999)
බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ සිටින සමයේදී මෙම සිදුවීම වූ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ කාලයේදී ප්‍රජාපතී ගෝතමිය ශාක්‍ය කාන්තාවන් බොහෝ දෙනෙකු සමඟ කෙස් කප්පවා , කහවත් හැඳ කූටාගාර ශාලාවට පැමිණ ඉදිමුණු පයින් දූවිලි පිරි ගතින් ,කඳුළු පිරි මුහුණින් හඬ හඬා දොරටුවෙන් පිටත සිටියාය. අනඳ තෙරණුවෝ දොරටුවෙන් පිටත හඬමින් සිටි ගෝතමිය දැක ඇයිදැයි විමසූහ.
‘ආනන්ද ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ කාන්තාවට තථාගත සසුනෙහි පැවිද්ද අනුමත නොකරති’යි කීවාය. එවිට අනඳ තෙරුන් වහන්සේ ගෝතමිය එහෙනම් මා ආයාචනා කරන තුරු මෙතැන සිටින්නැයි කියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ ස්වාමිනි ,භාග්‍යවතුන් වහන්සේ කාන්තාවට පැවිද්ද අනුමත නොකරතියි මහා ප්‍රජාපති ගෝතමිය දොරටුවෙන් පිටත හඬ හඬා සිටින්නී යැයි සැළකළහ. භාගවතුන් වහන්සේ ආනන්ද ඔබ තථාගත ශාසනයෙහි පැවිද්ද කාන්තාවන්ට බලාපොරොත්තුවන්ට එපායැයි වදාළහ. මේ ඇසු ආනන්ද තෙරණුවන් මෙසේ කීවේය.
“ස්වාමීනි, කාන්තාව තථාගත සසුනෙහි පැවිදිව සෝවාන් ඵලය හෝ සකෘදාගාමී ඵලය හෝ ලබන්නට සුදුසුදැයි විමසූහ. ආනන්දය සුදුසුයැයි වදාළහ. එසේනම්, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ප්‍රජාපති ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපාකාරක වූවාය. භාග්‍යවතුන් වහන්සේ ගේ සුළු මැණියෝය. හදා වඩා ගත්තාය. පෝෂණය කළාය. මෑණියන් කළුරිය කළ පසුව කිරිමව් වූවාය. කිරිපෙව්වාය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, කාන්තාවට ශාසනයෙහි පැවිද්ද ලබා දෙනවානම් මැනවැයි සැළකළහ.
ආනන්දය, හොඳයි ප්‍රජාපති ගෝතමිය මේ ගරු ධර්ම අට පිළිගන්නවා නම් එයම ඇයට පැවිදි උපසම්පදාවත් වෙනවා ඇත.
ඒ ගරු ධර්ම අට මෙසේය
1.භික්ෂුණිය උපසම්පදාවෙන් සියවස් වුවත් එදින උපසම්පදාව ලත් භික්ෂූනට අන්ජලි කර්ම, සාමිචි කර්ම අභිවාදන කළ යුතුය.
2. අවවාද දීමට සමත් භික්ෂුනමක් නැති ගමක ආවාසයෙහි භික්ෂුණිය වස් නොවිසිය යුතුය.
3. භික්ෂුණිය අඩමසක් පාසා භික්ෂූන් වෙතින් පෙහෙවස් විමසීම අවවාද ලබා ගැනීම කළ යුතුය.
4.වස් විසු භික්ෂුණිය භික්ෂු– භික්ෂුණී උභතෝ සංඝයා විෂයෙහි පවාරණය කළ යුතුය.
5. ගරු ඇවතකට පත් භික්ෂුණිය උභතො සංඝයා විෂයෙහි නොඅඩු අඩමසක් වත් මානත් පිරිය යුතුය.
6. දෙවසරක් විකාල භෝජනය සවැනි කොට ශික්ෂා රක්ෂා කළ සික්ඛ මානාවකම උභතො සංඝයා විෂයෙහි උපසම්පදාව ලැබිය යුතුය.
7. මොන හේතුවක් නිසාවත් භික්ෂුණිය භික්ෂුවට ආක්‍රෝශ පරිභව නොකළ යුතුය.
8. භික්ෂුණිය භික්ෂූන්ට අවවාද නොකළ යුතුය.
ආනන්ද තෙරුන් වහන්සේ මේ ගරුධර්ම අට ප්‍රජාපති ගෝතමියට පැහැදිලි කළහ. කියා දුන්හ. ගෝතමිය මේ ගරු ධර්ම අට ඔබ පිළිගන්නේ නම් එයම ඔබට මහණ උපසම්පදාව වනවා ඇතැයි බුදුරජාණන් වහන්සේ වදාළ බව පැවසූහ. ප්‍රජාපති ගෝතමිය එය පිළිගත්හ.
ඉන් පසුව භික්ෂුණී ශාසනය ඇති වූයේය. “ආනන්ද මහවිලක, මහවැවක ජලය පිටට බැස නොයෑමට නියරක් වෑකන්දක් බඳින්නාක් මෙන් මා විසින් කල්තියාම භික්ෂුණීන්ට දිවිහිමියෙන් නොකඩ කළ යුතු ගරුධර්ම අට පනවන ලදී.
(අංගුත්තර නිකාය – අට්ඨක ගෝතමිවග්ග ගොතමි සුත්ත 220-231)