ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

අසිරිමත් ධාතු පුරාණය 1

1 කොටස

සකල සතට පින් රැස්වෙන ධාතූන් වහන්සේ වන්දනාව

පොල්ගහවෙල මහමෙවුනා 
භාවනා අසපුවේ නිර්මාතෘ

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ධාතුන් වහන්සේලාගේ පරම්පරා කථාව අපට අසන්නට ලැබෙන්නේ සසරේ පිනකටම. අපේ රටේ ජීවත් වන බොහෝ දෙනෙක් ධාතුන් වහන්සේලාගේ පරම්පරා කථාව දන්නේම නැති තරම්. එය හරියට රත්තරං කන්දක් උඩ ඉඳගෙන ඉන්න දුගී මනුස්සයෙක් වගේ, නිිධානයක් උඩ ඉඳගෙන ඉන්න දුගීී මනුස්සයෙක් වගේ , ඒ වගේම මැණික් පර්වතයක් උඩ ඉඳගෙන ඉන්න දුගී මනුස්සයෙක් වගේ වෙනවා ධාතුන් වහන්සේලාගේ විස්තරය දන්නේ නැති මනස.
අපේ මේ පින්බිම වන ශ්‍රී ලංකාවේ කෙනෙක් හිස හැරුණ පැත්තට ගියොත් ඒ ඕනෑම පැත්තක ධාතුන් වහන්සේ වැඩ සිටින සෑයක්, මන්දිරයක් තිබෙනවා. නමුත් මිනිසුන් දන්නේ නැහැ ධාතුන් වහන්සේ ඇසුරු කරගෙන කොහොමද? පින් කරන්නේ කියා. බුදුරජාණන් වහන්සේගේත් රහතන් වහන්සේගේත් ධාතුන් වහන්සේ ඉතිරි වෙන්නේ සකල සතට සෙත පිණිසයි. අමාමහ නිවන පිණිස වහා ධර්මය අවබෝධ වීම පිණිස පින් තිබෙන අය බුදු කෙනෙකුගේ ඇසුරෙන් සසරින් නිදහස් වෙනවා. ඒ වගේම ඒ පරම නිකෙලෙස් සිත් ඇති බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඇසුරෙන් සුගතියේ ඉපදෙන්න පින් කරගන්න අමා මහ නිවන පිණිස පින් පුරාගන්න පින්වතුන්ට හැකිවෙනවා. ඒ නිසායි තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඉතිරි වෙන්නේ.
ඒ ධාතුන් වහන්සේ කොහොමද බෙදුනේ? ඒ ධාතුන් වහන්සේගේ ස්වභාවය කොහොමද? හඳුනා ගන්නේ කොහොමද? ධාතුන් වහන්සේ ඇසුරෙන් පින් කරන්නේ කොහොමද? ඒ වගේම ධාතුන් වහන්සේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන්නේ කොහොමද? මේ ධාතුන් වහන්සේ අතුරුදහන් වෙන්නේ කොහොමද? බුද්ධ ශාසනයේ අවසානය කුමක්ද? කියා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට යම් දැනුමක් තිබිය යුතු වෙනවා. මුල, මැද, අග පිරිසුදු ශාසනය පිළිබඳව හැඟීමක් තිබෙන්න ඕන. එවිට ඒ ශ්‍රාවකයා උපේක්ෂාවට පත්වෙනවා. රහතන් වහන්සේගේ යුගය බලා දැන් යුගයට සාප කරනවානම් ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකු නොවේ. අනිත්‍ය ස්වභාවය වැටහීමෙන් රහතන් වහන්සේගේ යුගය රහතන් වහන්සේගේ යුගය ලෙස දකිමිනුත් පිරිහෙන යුගය පිරිහෙන යුගය ලෙසත් දැකියයුතු වෙනවා. එවිට විශම ලෝකයේ සමව හැසිරෙන්න පුළුවන් වෙනවා.
ධාතුන් වහන්සේගේ පරම්පරා කථාවේ ආරම්භය සිදුවෙන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නත් කලින් බෝධිසත්ව කාලයේදීම යි. ඉදිරියේදී අප බුදුරජාණන් වහන්සේගේ පරම්පරා කථාව ආරම්භයේ සිට අවසානය දක්වාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස දැනුවත් විය යුතු බොහෝ කරුණු “බුදුසරණ” පුවත්පතේ ලිපි පෙළින් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ කරුණු ඔබට කියවන්නට හැකිවුණොත් ඔබගේ සිතේ බලවත් වූ චිත්තපී‍්‍රතියක් ශ්‍රද්ධාවක් ඇතිවේවි.
ඔබට ධාතුන් වහන්සේලා දකින්න, වඳින්න, පුදන්න ලැබෙනවා කියන එක විශාල ලාභයක්. ලෝකයේ ජනගහණයෙන් ඉතාමත් සුළු පිරිසකට තමා ධාතුන් වහන්සේ දකින්න, ඇසුරු කරන්න ලැබෙන්නේ. මැණික් ගලේ පය හැපුනට කණාට එහි වගක් නැහැ වගේ, තථාගතයන් වහන්සේගේ ද්‍රෝනයක් ධාතුන් මිත්‍යා දෘෂ්ඨික සමාජයක ප්‍රදර්ශනය කළත්, මිනිසුන් එහි වටිනාකම තේරුම් ගන්නේ නැහැ. සමහර පිරිස්් සිතාගෙන ඉන්නේ ධාතුන් වහන්සේ කියන්නේ රැස් විහිදවමින් දීප්තිමත්ව පවතිනවා කියා. එය වැරැදියි. ඒ නිසා අප සිතනවා මේ දහම් ලිපි පෙළ ඔබට නිවැරැදි වෙන්න ලොකු අස්වැසිල්ලක් වේවි කියා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ බෙදුන ආකාරය, ඒ ධාතුන් වහන්සේ හඳුනා ගන්නා ආකාරය, ධාතුන් වහන්සේ වැඩසිටින ආකාරය , සෘද්ධි ප්‍රාතිහාරය දක්වන ආකාරය ඔබට දැනගන්න ලැබෙනවා.
ධාතුන් වහන්සේ කොටස් තුනකින් හඳුන්වනවා. ඒ 1. ශාරීරික ධාතු, 2. පාරිභෝගික ධාතු 3. උද්දේශික ධාතු.
ශාරීරික ධාතු කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේම තිබෙන කොටස්. ඒ තමයි අස්ථි ධාතුන් වහන්සේ ඒ අස්ථි ධාතූන්ට අයිතියි දන්ත ධාතුන් වහන්සේ හතරනම, ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ දෙනම, ද්‍රෝන අටක් සර්වඥ ධාතුන් වහන්සේ, රෝම ධාතුන් වහන්සේ, කේශ ධාතුන් වහන්සේ, නඛ (නිය) ධාතුන් වහන්සේ ඒ සියල්ල ශාරීරික ධාතුන් වහන්සේ ලෙසයි අයත් වන්නේ.
ඊළඟට පාරිභෝක ධාතුන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ පාරිභෝගික කළ දේ. ඒ අතර බැබළෙන පාරිභෝගික ධාතුවක් තමා විජයශ්‍රී ජයශ්‍රීමහා බෝධින් වහන්සේ. උන්වහන්සේගේ වරුණ වෙනම ඉගෙන ගත යුතුයි. එය බෝධින් වහන්සේගේ පරම්පරා කථාවට අයත් වෙනවා. ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අසිරිමත් කථාව ලොමුඩැහැ ගන්වෙන සුළුයි. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පරම්පරා කථාව කෙනෙක් දන්නවා නම් බෝධින් වහන්සේ ළඟින් යනවිට නිකම්ම අත්දෙක සිරසට එසවෙනවා. ඒ තරම් අසිරියක් විජයශ්‍රී ජයශ්‍රීමහා බෝධින් වහන්සේ තුළ තිබෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේගේ චීවර ධාතුව, පාත්‍රා ධාතුව, ඉන පටිය, අතුරන ඇතිරිල්ල, ඉඳගන්න ඇතුරු ඇතිරිල්ල ඒ සියල්ලම ගැනත්, ඒ ධාතුන් තැන්පත් වී ඇති ආකාරය ගැනත් පාරිභෝගික ධාතුන් ලෙස ඉදිරියේදී ඉගෙන ගන්න ඔබට පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වැඩිය පුණ්‍යභූමිත් පාරිභෝගික ධාතුන්. ඒ ධාතුන් වහන්සේ වැඳුම් පිදුම් කිරීමෙන් දෙලොවම යහපත පිණිස අපමණ පින් රැස්වෙනවා.
ඊළඟට උද්දේශික ධාතුන් කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන්කළ දේයි. එහි දී ප්‍රතිමා වහන්සේ මුල්තැන ගන්නවා. බෝසතාණන් වහන්සේ මවුකුසින් වෙසක් පුන් පෝ දා බිහිවෙන විට සහම්පති බ්‍රහ්මයා දිව්‍ය සළුවට කුමරුවා පිළිගත්තේ. ඊළඟට සතරවරම් දෙවිවරුන් අතින් පුංචි කුමාරයා මේ මිහිමඬලේ අවසන් ජීවිතයේ පළමු පියවර තබනවා. ඒ පියවර මේ මහ පොළොවේ කිඳා බැස්සා. ඉන්පසු තමයි නෙළුම් මල් පිපුණේ. ඒ පියවර අදටත් ලුම්බිණියේ සටහන්ව තිබෙනවා. උද්දේශික ධාතුවක් ලෙස අදටත් එය වන්දනා කරන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් සිරිපා සටහනක් සටහන් කර වඳිනවානම් එයත් උද්දේශිකයි. ඒ කියන්නේ වෙනුවෙන්. ධර්මය චක්‍රයක් බුදුරජාණන් වහන්සේ ලෙස සටහන් කර වඳිනවා නම් එය උද්දේශික ධාතුන්. ඒ වගේම ධාතු තැන්පත් නැතිව කරඬුවක්, සෑයක්, පිළිරුවක් රූප රාමුවක් කෙනෙක් වඳිනවා නම් ඒවා උද්දේශික ධාතු ලෙස හඳුන්වා තිබෙන්නේ. තථාගතයන් වහන්සේ කෙතරම් ආනුභාව සම්පන්නයිද කියනවානම් උන්වහන්සේගේ ප්‍රතිමාවකට වැන්දත් අපමණ පින් රැස්වෙනවා. උන්වහන්සේගේ ප්‍රතිමාවල පවා භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවය පිහිටා තිබෙනවා.
ඈත අතීතයේ කැලණිතිස්ස රජතුමාගේ කාලයේ මුහුද ගොඩ ගැලු දා ඒ ගොඩගැලීම නවත්වන්න ශ්‍රක්‍ර දේවේන්ද්‍රයා ශෛලමය ප්‍රතිමාවක් මවා වෙරළේ තබා තිබෙනවා. එතැනින් මුහුදු රැල්ල නතරවෙලා. දසමාර සේනා භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ සුනු විසුනු වී ගියා වගේ මුහුදු රැල්ල උන්වහන්සේගේ ප්‍රතිමාව අභියසදී විනාශ වුණා කියා සඳහන් වෙනවා. ඒ වගේම අවුරුදු පන්දහසක් ගියකළ සියලු ප්‍රතිමා අතුරුදහන් වෙනවා. ඒ නිසා උද්දේශික ධාතුන් ලෙස බුද්ධ ප්‍රතිමා මුල්තැනක් ගන්නවා. එනිසයි සෑම විහාරස්ථානයකම බුද්ධ ප්‍රතිමා නිර්මාණය වෙන්නේ.
අප මෙලෙස පාරිභෝගික ධාතුන් වහන්සේ ගැනත්, උද්දේශික ධාතුන් වහන්සේ ගැනත් ඔබට යම් තරමකට කියා දුන්නා. මෙයට අමතර විශාල විස්තරයක් ශාරීරික ධාතුන් වහන්සේ සම්බන්ධව තිබෙනවා. අප කථාකරන, පැහැදෙන, වඳින පුදන කඳු ගණන් දානය පූජා කරන බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ අබ ඇටයක් තරම් ධාතුන් වහන්සේ නමකට වඳින්න, පුදන්න ඒ විස්තර අසන්න ලැබෙනවා නම් එය ඉතාමත් අසිරිමත්. තමාගේ ඇස් වලින් ධාතුන් වහන්සේ නමක් දැක්කේ නැතත් මේ කරඬුවේ ධාතුන් වහන්සේ නමක් වැඩ සිටිනවා කියන පණිවිඩයම ඇති ඔහුගේ සිත පහදවා ගන්න.
එවැනි ශ්‍රද්ධාවක් උපදින්නේ ධාතුන් වහන්සේ ගැන විස්තර දන්නවානම් පමණයි. ඒ නිසා ඒ ධාතුන් වහන්සේගේ අසිරිමත් පරම්පරා කථාව මෙතැන් සිට ඉදිරියට කියවමින් ඔබේ සිතේ අසිරිමත් ධාතු මන්දිරයක් ගොඩනඟා ගනිත්වා කියා ආශිර්වාද කරනවා.

2 කොටස

බුද්ධ ශාසනයේ ඉදි වූ පළමු ස්තූප දෙක

තුන්ලෝකාග්‍ර වූ ශාන්තිනායක වූ, සමන්ත භද්‍ර වූ, තුන්ලොව තිලක වූ, මාගේ ගෞතම නම් වූ මහා මුනින්ද්‍රයන් වහන්සේගේ ද්‍රෝණ අටක් වූ ශාරීරික ධාතුන් වහන්සේටත්, එසේම උද්දේශික ධාතූන් වහන්සේටත් , පාරිභෝගික ධාතුන් වහන්සේටත් නාමස්කාරය මෙතුවක් පටන් පැවත එන සැටිය කියන්නා වූ ධාතූන් වහන්සේගේ පරම්පරා කථාව අඳුරු ගුහාවක දල්වන පහනක් සේ චිත්ත සන්තානයේ පහන් සංවේගය පිණිස මෙසේ ගෙන එන්නමු.
මුලින්ම ධාතුන් වහන්සේ නමක් ගැන මේ බුද්ධ ශාසන ඉතිහාසයේ කථාවෙන්නේ අපගේ තථාගතයන් වහන්සේ බෝධිසත්ව අවධියේ යි. උන්වහන්සේ මායා මව්කුසේ පිළිසිඳ ගත්විට මේ තුන් ලොවම සලිත වුණා. මහා පොළොව කම්පාවූහ. අප්‍රමාණ ආලෝකයක් විහිදුනා. ඒ වගේම ඒ මායා බිසව ප්‍රකෘතියෙන්ම සීලවන්ත වෙනවා. ඒ බිසව දෙස රාග සිතකින් කිසිදු පුරුෂයෙකුට බලන්න බැරිව යනවා. ඒ බිසවට තම කුස තුළ සිටින දරුවා දෑසට පෙනෙනවා. ඒ වගේම සතරවරම් දෙවියෝ සතර කොනේ සිට මවත්, දරුවාත් ආරක්ෂා කරනවා.

මහා බෝධිසත්වයෝ ලුම්බිණි සල් උයනේදී වෙසක් පුන් පොහෝදා මහපොළොව කම්පා කරවමින් උපන්නා. උන්වහන්සේගේ පුංචි සිරිපතුල් පිළිගන්න පොළොව දෙදරවා නෙළුම් කුසුමන් පිපුණා. උතුරු දිසාවට පියවර හතක් වැඩම කළා. ඒ දරුවා පළමු පියවර තබද්දී මහාපොලොවේ ඒ සිරිපතුල පිහිටියා. අදටත් ලුම්බිණියේ සටහන්ව ඇති ඒ උතුම් සිරිපා සටහනට අප වන්දනා කරනවා.
සඳක් මෝරනවා වගේයි බෝසතාණන් වහන්සේ ගෘහ ජීවිතයේ වැඩුණේ. උන්වහන්සේ සතර පෙරනිමිති දැක ගෘහ ජීවිතය අත්හැරියා. තමන් වෙනුවෙන් ජීවිතය කැප කරන්න කාලාන්තරයක් සිට පෙරුම් පුරාගෙන ආ යශෝධරා, සිඟිති රහල් කුමරා අත්හැරියා. ඔබ ජාතක කථා කියවා ඇති. ඒ හැම කථාවකම බිරිඳ යශෝධරා. ඒ බොහෝ කථාවල පුතාවෙලා ඉපදුනේ රාහුලයන්. මෙලෙස සසරේ ආ බැඳීම් අත්හැරියා.

සිළුමිණ සෑ ධාතු කථාව

මහා බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කර පළමු කෙස් වැටිය වම් අතින් අල්වාගෙන දකුණු අතින් මංගල කඩුවෙන් කපා උන්වහන්සේ අධිෂ්ඨාන කරනවා මට ගෘහ ජීවිතයේ තමායි මේ සියලු බැඳුම් තිබෙන්නේ. මාගේ මේ කෙස් වැටිය සිඳී යනවා වගේ ගෘහ බන්ධන සිඳී යනවා නම් එය කොතරම් හොඳද? සිතමින් පළමු කෙස් වැටිය කපා දැමූවා. සිද්ධාර්ථ බෝසතාණන් තමාගේ හස්ථයේ තිබෙන නිල්වන් කෙස් දෙස බලමින් කල්පනා කරනවා සසරේ කෙතරම් නම් කෙස් පොළොවට පස් වෙලා යන්න ඇද්ද? මේ පොළොවට පස් එකතු කරන ජීවිතය මෙයින් නතර වෙනවානම්, මම අදහස් කරන ගමන සඵල වෙනවානම් මෙම කෙස් කළඹ බිම නො වැටේවා කියා අධිෂ්ඨාන කරමින් ඉහළට විසි කළා. පුළුං රොදක් වගේ රැස් දහරා විහිදවමින් බෝධිසත්වයෙන්ගේ කෙළරොද ආකාසයේ ඉහළට වැඩියා.
මහා බෝධිසත්වයන් තමාගේ කේස කලාපය මඟුල් කඩුවෙන් සිඳින විට ඒ සෑම කෙස් ගහක්ම අඟල් දෙක ගණනේ හිසේ ඉතිරිවෙන්නයි කැපුනේ. ඒ සියලුම කෙස් දක්ෂිණාර්ථව සිරසේ කැරකුණා. එය පිරිනිවන් පාන තෙක් බුදු සිරසේ තැම්පත්ව තිබුණා. අලුතින් කෙස් වැවීමක් සිදුවුණේ නැහැ. අඟල් දෙකක් දිගට කේස ධාතුන් වහන්සේ කැරකිලා පිහිටියා. චාතුම්මහාරාජික දෙවියන්ගේ දෙව්ලොව ඒකාලෝක කරමින් කෙස් කළඹක් ඉහළට යනවා. තවුතිසාවේ සක්දෙවිඳු බැලුවා කුමක්ද? මේ විහිදෙන නිල්වන් රශ්මි දහරාව දුටුවා.
අභිනිෂ්ක්‍රමණය කළ බෝසතාණන්ගේ කේශ කලාපය යි. ඒ මොහෝතේම රන් කරඬුවක් මැවුවා. ඒ රන් කරඬුව තුළ නීලවර්ණ කේස ධාතුන් වහන්සේ තැන්පත් කළා. ඉන්පසු යොදුන් තුනක් උස සෑයක් තැනුවා. ඒ සෑය ‘සිළුමිණ සෑයයි’. ඒ සිළුමිණ සෑය දෙවියන්ට පින් පුරන්න මහා වස්තුවක් වුණා. මුළු දෙව්ලොවටම තිබෙන එකම සෑය සිළුමිණ සෑයයි. ඒ සෑ රජාණන් වහන්සේට පැරැණි අපේ මුතුන් මිත්තන් ගාථා වලින් එය වන්දනා කර තිබෙනවා.
බෝධිතතෝ පුරිමඤ්ඥේච – චූළා දුස්ස මණීරිතේ
තාවතිංස මුනින්දස්ස - තිදසින්දේන පූජිතා

බුදුවීමට පෙරම තව්තිසා දෙව් ලොව සක් දෙවිඳු විසින් අප මුනිඳුන්ගේ කේශ ධාතුන් වහන්සේ පුදන ලද්දේය.
චූළා තියෝජන අබ්බේ – මණිථූපේ පතිට්ඨිතා
තහිං දක්ඛිණ දාඨා ච – දක්ඛිණක්ඛ කමේවච

තුන් යොදුන් ඒ මැණික් ථූපයෙහි අභ්‍යන්තරයේ දකුණු දළදා වහන්සේද, අකු ධාතුන් වහන්සේද නිධන් විය. (ඒ ධාතුන් වහන්සේ නිධන් වූයේ තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසුවයි ඒ උතුම් සිළුමිණ සෑයට මම වන්දනා කරමි.)
පරිනිබුබතම්භි සම්බුද්ධේ - නිහිතා ධාතුයෝ දුවේ
තං චූළාමණි චේත්‍යංච - නමාමි සිරසා අහං

ධාතුන් වහන්සේගේ පරම්පරා කථාව මෙසේ සිළුමිණ සෑයෙන් ආරම්භ වෙනවා.
සළුමිණ සෑ ධාතු කථාව
ඒ වගේම මහාබෝසතාණන් වහන්සේට වස්ත්‍ර දෙකයි. උතුරු සළුව සහ ජෝතිය ලෙස ඉනට ඇඳපු ඇඳුම. බඹ ලොව වැඩ සිටියා "ඝටීකාර" බ්‍රහ්මරාජයා. කාශ්‍යප බුද්ධ ශාසනයේ ශ්‍රමණයන් වහන්සේ දැක තිබුණ උත්තමයා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපාසකයා. එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ ජෝතිපාල නමින් සිටි ඝටීකාර බ්‍රහ්මයාගේ පි‍්‍රය මිත්‍රයා අභිනික්මන් කරනවා. බැලුවා මුණිවරු මොනවද පාවිච්චි කළේ. අඳනය, දෙපට සිවුර, තනිපට සිවුර. ඒ වගේම පිණ්ඩපාතයට පාත්‍රයක් ඕන. කෙස් රැවුල් බාන්න උපකරණයක් පාවිච්චි කළා. ඒ වගේම සිවුරු මැසීමට ඉදිකටුවයි, නූල්බෝලය යි, පැන් පෙරන්නට පෙරහන් කඩයි, අඳනය තදකර ගැනීමට ඉණ පටිය, එකට එකතු වුණා. මුලින්ම එහිදි අටපිරිකර කියන දේ බිහිවුණා. ඝටීකාර බ්‍රහ්මයායි පළමුව ශ්‍රමණයෙකුට මේ පිරිකර අට පූජා කළේ. උන්වහන්සේ අඳනය සිරුරට පොරෝ ගත්තා. ගිහ ිසළු දෙක අතට අරගෙන අධිෂ්ඨාන කළා සසරේ කෙතරම් නම් ගෘහ ඇඳුම් ඇඳ ඇද්ද? ඒ එක ඇඳුමක්වත් මගේ අවසාන ඇඳුම වුණේ නැහැ. මහාබෝධිසත්වයන් අධිෂ්ඨාන කරනවා මගේ මේ හස්තයේ තිබෙන්නේ මේ ජීවිතයේ අවසාන ගෘහ වස්ත්‍ර නම්, මේ වස්ත්‍ර පොළොවට නො වැටේවා කියා ආකාසයට වීසි කළා. සුදු පාට රශ්මි දහරා විහිදවමින් සළුවක් අහසට යනවා. එය නවතාලන්නට චාතුම්මහාරාජික, යාමය, තාවතිංස, තුසිත, නිම්මානරතී, පරනිම්මිතවසවතී, දෙවියන්ටත් බැරිවුණා. දෙව්ලොව අභිබවා ගියා ශ්තවර්ණ සිත් ඇති බ්‍රහ්මයන්ගේ ලෝකයට සළුව යනවා. බ්‍රහ්ම කායික දෙවියෝ, බ්‍රහ්ම පුරෝහිත දෙවියෝ, මහා බ්‍රහ්ම දෙවියෝ දෝත නළලේ තබා මුණිවරයෙක්ගේ සළුවක් එනවා කියමින් සාධුකාර දුන්නා. එය බොසතාණෝ අවසානයට ගෘහජීවිතයේ ඇඳපු සළුව. සහම්පති මහා බ්‍රහ්මයා මැණික් කරඬුවක් මවා ඒ කරඬුවේ සළුව තැන්පත් කරනවා. කරඬුව යොදුන් දොළහක් උස සෑයක් හදලා එහි තැන්පත් කරනවා. ඒ සෑය ‘සළුමිණ සෑය’. ධාතුන් වහන්සේගේ පරම්පරා කථාවේ ඉදිවෙන දෙවන සෑය. පසුකාලයක අකු ධාතුන් වහන්සේ තැන්පත් වුණේ බ්‍රහ්ම ලෝකයේ. අදටත් බ්‍රහ්මයෝ අකු ධාතුන් වහන්සේ වන්දනා කරමින් මහා පින් පුරෝගන්නවා. සියලුම බ්‍රහ්මලෝකවලට තිබෙන එකම එක සෑය සළුමිණ සෑයයි. ශක්‍ර දෙවියාවත් තවම ඒ සළුමිණ සෑය වන්දනා කර නැහැ. දෙවියන් සිළුමිණ සෑයත්, බ්‍රහ්මයෝ සළුමිණ සෑයත් වන්දනා කරනවා. සියලුම බ්‍රහ්මයන්ගෙන් වැඳුම් පිඳුම් ලබන සළුමිණ සෑය කෙතරම් ආනුභාව සම්පන්නද? කොතරම් තේජවන්ත ඇතිද? ඒ උතුම් සළුමිණ සෑයටත් අපගේ නමස්කාරය වේවා.
සළුමිණ සෑ වන්දනා ගාථාව
බ්‍රහ්ම ලොකේ දුස්සවරං - වාම අක්ඛක ධාතුයා
සද්ධං පූජෙන්ති බ්‍රහ්මාණෝ - ථූපේ ද්වාදස යෝජනේ

අහංපිතං නමස්සාමි – දුස්ස චේතිය මුත්තමං
බෝසතුන් මුදාහළ සළුවද, වම් අකු ධාතුන් වහන්සේ ද නිධන් කොට දොළොස් යොදුන් ස්තූපය බ්‍රහ්මයෝ වන්දනා කරන්නාහු ය. ඒ උතුම් සළුමිණ සෑය මම වන්දනා කරමි.
මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේගේ පරම්පරා කථාවේ ආරම්භය යි.

3 කොටස

ජීවමාන බුදුරජුන් වෙනුවෙන් ඉදිවූ තෙවැනි ස්තුපය ගිරිහඬු සෑය යි

ඒ වගේම අපේ මහා බෝසතාණන් වහන්සේ තමන්ගේ කෙස් කළඹ සිඳලූ මඟුල් කඩුව තැන්පත්ව තිබෙන්නේ කතරගම කිරිවෙහෙරේ. බුදුරජාණන් වහන්සේ කතරගමට වැඩම කර දෙවියන්ට දහම් දෙසූ තැන ඉදිකළ අදටත් මහත් ප්‍රාතිහාර්ය පාන කිරිවෙහෙර සෑ රදුන් අභියස වැඩ සිටින්නේ මංගල අසිපත ධාතුන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවධියේ ධාතු තැන්පත්ව තිබෙන සෑයන්.
ඒ බෝසතාණන් වහන්සේ ගේ ජීවිතය පූජනීය වන්නේ ඒ ජීවිතය ඉතාමත් අසිරිමත් නිසයි. ගුරුවරයෙක් ළඟට ගිහින් තොල් සොලවන පමණින් ගුරුවරයාගේ දැනුම බෝසතාණෝ ඉගෙන ගන්නවා. ගුරුවරු දෙදෙනෙක් ළඟම ඉගෙන ගත්තා. නමුත් බෝසතාණන් වහන්සේට සිතුනා මම ගිහි ගෙදරින් නික්මිලා සොයන්නේ මෙපමණයි ද? සසරේ නිවීමක් සෙවිය යුතුයි කියා උන්වහන්සේ ඒ තැන්වලින් නික්ම ගියා.
ඉන්පසු උන්වහන්සේ දුෂ්කරක්‍රියා කරන්නට පෙළඹුණා. ඒ වසර හයක කළ දුෂ්කර ක්‍රියාව සාමාන්‍ය අපට සිතා ගන්නවත් බැරි එකක්. දෙතිස්මහා පුරුෂ ලක්ෂණ මුළු ශරීරයෙන්ම අතුරුදහන් වුණා. සියලු උත්සාහයන් අමාමහ නිවන උදෙසා යි. ඒ උත්සාහයේ ප්‍රතිඵල අද අපයි භුක්ති විඳින්නේ. මේ සෑම දෙයක්ම උන්වහන්සේ කළේ අප වෙනුවෙන්ම යි. බෝධිසත්වයන්ගේ ජීවිතය රඳා පැවතියේ පින් බලයෙන්. ඒ වගේ උත්තමයෙක් වැඩ සිටි බිමත් පූජනීය යි. ඒ දුෂ්කර ක්‍රියාවෙන් පසුව සම්බුද්ධත්වයට පත්වුණා.
උන්වහන්සේ දුෂ්කරක්‍රියාව අතහැරියාට පසුව සුජාතාව කිරිපිඬු පූජා කළා. ඒ කිරිබත් පූජා කළ රන් තැටිය ගඟේ පා කර හැරියේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා නම් මේ තැටිය උඩුගං බලා යත්වා කියන අධිෂ්ඨානයෙන්. උඩුගං බලා ගිය ඒ තැටිය අද තිබෙන්නේ නාග ලෝකයේ. ඒ රන් තැටියේ තිබූ කිරිපිඬු වැළඳුවේ ගුලි හතලිස් නමයක් කරලා. ඒ ගුලි හතලිස් නවයම කුසේ පිහිටියා, එක දවසකට එක ගුළියක් දිරවන ලෙස.
බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආරම්භය සිදුවෙන්නේ බුද්ධත්වයත් සමඟම යි. සර්වඥයන් වහන්සේ කියන්නේ සියල්ල අවබෝධ කළා වූ උතුමන් වහන්සේගේ ධාතුන් වහන්සේ යි. නේරංජනා නදිය අසබඩ වජ්‍රසනය අසල ජයශි‍්‍ර මහා බෝ සෙවනේදී අපේ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ. ඒ ඇතිවූ නිකලෙස් චිත්ත සන්තානය රෝම කූපයක් පුරා පැතිරි තිබෙනවා. සිතේ රාග, ද්වේෂ, මෝහ ක්ෂය වූ බව නිකෙලෙස් බව රෝම කූපයක පවා පැතිරි තිබෙනවා. ඒ නිසායි රෝම කූපයක් පවා ධාතුන් වහන්සේ නමක් වන්නේ. රෝම කූපයේ පවා ආනුභාවය පැතිරි තිබෙනවා. උන් වහන්සේ සිරිපතුල් තබනවිට ඒ සිරිපතුලේ පවා නිකෙලෙස් බව පැතිරි ගියා. පොළොවමහී කාන්තාව කැමැති නැහැ උන්වහන්සේගේ සිරිපතුල තවත් කෙනෙකුට පෑගෙනවට. බුදුරජාණන් වහන්සේ සිරිපතුල තබා ඊළඟ සිරිපතුල තබන්න පය ඔසවනවිට අර සිරිපතුල මැකී යනවා. උන්වහන්සේ අධිෂ්ඨාන කර තැබුවොත් පමණයි පා සටහන පවතින්නේ. සිරිපා සටහන තවත් කෙනෙකුට පෑගෙන්නේ නැහැ. එය ආශ්චර්ය අද්භූත දෙයක්. ඒ සම්බුද්ධාලෝකය මේ ලෝකයට මහත් ආශ්චර්යයක් වුණා.
සත්සතිය ගත කරද්දී ආශ්චර්ය බොහෝ දේ සිදුවුණා. විශේෂ දේ තමයි සත්සතිය තුළ පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් ලෙස ජයශ්‍රී විජයශ්‍රී බෝධින් වහන්සේ ලෝකයට බිහි වීම. ඒ සත්සතිය ගත කළ ස්ථාන අදටත් සෑයන් සාදා වන්දනාමාන කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට විළඳ මී පැණි පූජා කිරීමත් මේ සත්සතිය තුළ සිදු වූ දෙයක්. දවස් හතළිස් නවයක් බුදුරජාණන් වහන්සේ මුවදෝවනය කර නැහැ, වැසිකිලියට කැසිකිලියට වැඩ නැහැ. දවස් හතළිස් නවයක් පැන් පොදක්වත් පානය කර නැහැ. උන්වහන්සේ කෙසේද එහෙම සිටියේ? සුජාතාව පූජා කළ කිරිපිඬු දානය ගුලි හතළිස් නමයෙන් එක දිනකට එක ගානේ කුස පිරුණ නිසායි.
තථාගතයන් වහන්සේ සත් සතියෙන් පසු සිතනවා දැන් දවස් හතළිස් නමයකින් මුව දෝවනය කළේ නැහැ. එහෙම හිතනකොට ශක්‍ර දේවේන්ද්‍රයා මැණික් භාජනයකින් අරළුකුඩු පූජා කළා වැසිකිලි කැසිකිලි පිණිස. ඒ වගේම ශක්‍රයා “නාලිය දැහැටි” දන්තධාතුන් වහන්සේ පිරිසුදු කිරීමට පූජා කළා. ඒ වගේම ශක්‍රයා අනෝතත්ත විලෙන් දුන් පැන්වලින් මුව දෝවනය කළා.
එතැන සිටි රුක් දේවතාවියෙකුට කල්පනා වෙනවා බුදුරජාණන් වහන්සේට දැන් මොනවද දානයට වළඳන්න තිබෙන්නේ? තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයෝ එතැනට ආසන්නව වෙළෙදාමේ යනවා. අර දේවතාවිය බැලුවා මේ යන දෙන්නා කවුද? පුදුමයට ඒ පෙර ජීවිතයේ ඇයගේ පුතාලා දෙදෙනා. මගේ දරුවන්ට අනුග්‍රහ කරන්න ඕන කියා ඇය අධිෂ්ඨාන කළා කරත්ත ටික නො සෙල්වෙන්න. අර දෙවිදුව එක් අයෙකුගේ ඇඟට ඇවිත් කියනවා පින්වත ඔබට අමනුස්ස දෝසයක් නැහැ. නාගයෝ දෙවියෝ කිපිලත් නැහැ. ඔබට මේ දේ කළේ පිනක් රැස්කර ගැනීම පිණිසයි. මෙතැනින් එහා පැත්තේ යම් තැනක ලෝකයට පහළ වූ මහා මුණිවරයෙක් ඉන්නවා. ඒ මුණිවරයාණන් වහන්සේට දානය පූජා කර ගන්න. ඒ දෙදෙනා සසරේ ප්‍රාර්ථනා කර තිබෙනවා බුදු කෙනෙකුට මුල්ම දානය පූජා කරන්න ඕන කියා. විළඳ කුඩු කර මීපැණි කවලම්කර ගුලි හදා භාජනයකට දාගෙන අරගෙන ගියා. ඒ අය දන්නේ නැහැ මේ බුදු කෙනෙක්, මේ තුන් ලොවටම සෙත සලසන මහා මුණිවරයා බව. කෝටි ප්‍රකෝටි ගණනක් සසරින් මුදවන අමෘතය දන්දෙන ශාන්තිනායකයාණන් බව දන්නේ නැහැ. දෙවියන්ට, බඹුන්ට, නාගයන්ට මේ වගේ දානයක් පූජා කර ගන්නට බැරිබව ඔහුන් දන්නේ නැහැ. පිනයි මේ සියල්ල මෙහෙයවන්නේ. තථාගතයන් වහන්සේ ළඟට ගිහින් දණ ගසාගෙන කියනවා අප ඔබවහන්සේට දානය ගෙනාවා. තථාගතයන් වහන්සේ කල්පනා කරනවා මම මේ දානය මොකටද ගන්නේ? ඝටීකාර බ්‍රහ්මයා මවා දුන් පාත්තරය කැලයේ තිබෙන්නේ. සුජාතා දුන් රන් තැටිය උඩුගං බලා ගියා. දැන් කෝ පාත්තරයක් කියා සිතනවිටම ඒ මොහොතේම බුදු කෙනෙකුට පාත්තරයක් පූජා කිරීමට සංසාරයේ හතර දෙනෙක් ප්‍රාර්ථනා කරලා. ඒ හතරවරම් දෙවිවරු. ඒ හතර දෙනාගේම පින සමාන වෙලා. ඒ ක්ෂණයෙන්ම හතර පැත්තෙන් පාත්තර හතර පෙන්නුවා ස්වාමිනි, මේ පාත්තරය පිළිගන්නා සේක්වා කියා. බුදුරජාණන් වහන්සේ පාත්තර හතර පිළිගත්තා. ඒ පාත්තර හතර එක පාත්තරයක් වුණා. අදටත් ඒ පාත්තරයේ ස්ථර හතරක් තිබෙනවා කියා සඳහන් වෙනවා. එතැනින් පාත්තර ධාතුන් වහන්සේගේ ආරම්භය වෙනවා.

පාත්‍රා ධාතුන් වහන්සේ

මේ පාත්‍රා ධාතුන් වහන්සේගේ විශාල කථාවක් තිබෙනවා. නමුත් හරියටම පාත්‍රා ධාතුන් වහන්සේ තිබෙන තැන දන්නේ නැහැ. උන්වහන්සේ පාත්‍රා කිහිපයක් පාවිච්චි කර තිබෙනවා. නුවර නාථදේවාල සෑයේ පාත්‍රා ධාතුන් වහන්සේ කැබැල්ලක් තිබෙන බව කියවෙනවා. ඉන්දියාවේ සෝපාලා චෛත්‍යයේ පාත්‍රා ධාතුන් වහන්සේගේ කොටස් දහතුනක් තිබෙන බව කියවෙනවා. එයින් කොටස් දෙකක් ලංකාවට එවා තිබෙනවා.
පාත්‍රා ධාතුන් වහන්සේගේ වංශකථාවක් නැති නිසා ඒ පාත්‍රා ධාතුව ගැන විශේෂ සඳහනක් නැහැ. නමුත් අසවල් අසවල් සෑයවල් තුළ පාත්‍රා ධාතුවේ කොටස් වැඩ සිටිනවා කියා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට සර්වඥ ධාතුන් පුරවා සුමන සාමණේරයන් ලංකාවට වැඩම කළ පසු ඒ පාත්‍රා ධාතුව පසුව මිහින්තලය සෑයේ තැන්පත් කර තිබෙනවා.
ඒ කාලයේ සිටි රජවරු ලංකාවේ දුර්භික්ෂයක් එනවිට බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේගේ පැන් පුරවා රතන සූත්‍රය කියමින් රටේ පැන් ඉස තිබෙනවා. රජවරු පත්තිරුවල සෙල්ලිපිවල ලියා තිබෙනවා ඉඩෝර කාලයක් ආවොත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක පාත්තරය තැන්පත් කර ඒ පාත්‍රයට පැන් පුරවා රතන සූත්‍රය කියමින් ඉසින්න කියා.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ට ලැබු පාත්‍රා ධාතුන් වහන්සේ කොටස දැනට තැන්පත්ව තිබෙන්නේ කොළඹ මාළිගාකන්ද විද්‍යොදය පිරිවෙනේ. වළගම්මා රජු සමයේ ධර්මාශෝක රජුගෙන් අපට ලැබුණ පාත්‍රා ධාතුව සොලී රට ආක්‍රමණය කළ අවස්ථාවේ අරගෙන ගිහින් තිබෙනවා. නමුත් වළගම්බා රජු නැවතත් සොලි රටට ගිහින් එම ධාතුන් වහන්සේ වඩමාගෙන ඇවිත් තිබෙනවා. අද වෙනවිට මිනිසුන්ගේ වන්දනාමාන ලබමින් උතුම් සෑයක් තුළ පාත්‍රා ධාතුන් වහන්සේ වැඩ සිටිනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දානය වැළඳූ පාත්‍රා ධාතුවේ තිබෙන ආනුභාවය. අදට ඒ පාත්‍රය දෙවි මිනිසුන්ගෙන් පිදුම් ලබනවා. එය අද්භූතයි ආශ්චර්යයි.

ගිරිහඬු සෑය

තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇතිවුණා. ස්වාමිනි ඔබ වහන්සේගේ මුව මඬල සුන්දරයි. ශාන්තයි. ඔබවහන්සේ නැවත දකින්නට නොලැබුණොත් අපට දුකක් දැනෙයි. ඔබවහන්සේ වෙනුවෙන් වන්දනා කරන්නට දෙයක් අපට තිබෙනවාද? උන්වහන්සේ ශ්‍රී හස්තයට නීලවර්ණයෙන් බැබලෙන රශ්මි දහරා විහිදෙන කේස ධාතුන් ගෙන තපස්සු භල්ලුකට දෙනවා. ඒ අය රන් සළුවකින් එය පිළිගෙන රන් කරඬුවක තැන්පත් කර මිනිසුන් ගැවසෙන්නේ නැති උස කන්දක් මුදුනක තබා මල් වලින් වසා ඔවුන් වෙළෙදාමේ ගොස් තිබෙනවා. දවසක් එතැනට ඇවිත් කරඬුව ගන්න බලද්දී කරඬුව සොලවන්න බැරිවුණා. ඔවුන් එතැන සෑයක් කරවූවා. එය ගිරිහඬු සෑයයි. ඔවුන්ට නොපෙනෙන ලෙස එතැනට ජයසේන කියා නාගයෙක් ආවා. ඒ නාගයා අර කේස ධාතුන් වහන්සේ අහුරෙන් දෙනමක් හොරෙන් අරගෙන නා ලොවට ගිහින් පුද සත්කාර කළා. අද ඒ කේස ධාතුන් දෙනම සේරුවාවිල මංගල මහා සෑයේ වැඩ ඉන්නේ.
බුදුරජාණන් වහන්සේ ජීවවමාන ව සිටිද්දී බිහිවන තුන්වන සෑය ලෙස කේස ධාතුන් නිධන් කර තිරියායේ ඉදිවූ ගිරිහඬුසෑය බිහිවෙනවා.


4 කොටස

සර්වඥ ධාතු නිදන් වූ මහියංගන මහා සෑය

අනුත්තර පුරිසදම්ම සාරථි වූ අපගේ තථාගත සර්වඥයන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේදී තුන්බෑ ජටිලයන් දමනය කිරීමෙහිලා යෙදී වාසය කළා. මේ පිරිස දමනය කිරීමට උන්වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර තුන්දහස් තුන්සිය තිස් ගණනක් දක්වා තිබෙනවා.
උන්වහන්සේ මහා කරුණාවෙන්, ඉවසීමෙන්, උපේක්ෂාවෙන් එසේ කර තිබෙනවා. උරුවෙල් කාශ්‍යප දමනයට සෘර්ධි පාමින් සිටිද්දී එක් දිනක් කාශ්‍යප සිතනවා, අද අපට මිනිසුන් දානය ගෙනෙන දවස. ශ්‍රමණයා ඇවිත් කුමක් හෝ ප්‍රාතිහාර්යයක් පෑවොත් මිනිසුන් උන්වහන්සේට පැහැදේවි. එනිසා අද වැඩියේ නැත්නම් හොඳයි කියා සිතුවා. බුදුරජාණන් වහන්සේ ඒ සිත දැක උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය වැඩ අනෝතත්තවිල සමීපයේ විවේකව වැඩ සිටිද්දී දිවැසින් දුටුවා බොහෝ කල් බුදුදහම පවතින්නේ ලංකා ධරණතලයේ බව. ඒ වනවිට ලංකා ධරණීතලයේ විශාල යක්ෂ බලයක් ක්‍රියාත්මක වුණා. ඒ යක්ෂ බලය ඉවත් කර බුද්ධානුභාවය පිහිට වූයේ නැතිනම් ඉදිරියේ දී ධරණීතලයේ බුද්ධ ශාසනය පිහිටවන්නට බාධා පැමිණෙනවා. මේ වනවිට පින් ඇති දෙවියන්ගේ පින මෝරා තිබෙනවා. උන්වහන්සේ දුරුතු පුන් පොහෝ දා මහිංගයනයට වැඩම කරනවා.

මහියංගන ස්තූපය ඉදිවීම

එදා මහා යක්ෂ සමාජයක් එකට එකතුවෙලා සිටියා. තථාගතයන් වහන්සේ ආකාසයේ සිට තද ඝන අන්ධකාරයක් මැව්වා. ඒ අන්ධකාරයට යක්ෂයෝ බය වුණා. ඒ අය සෘර්ධියෙන් තම තමන්ගේ ආලෝක පතුරුවන්නට බැලුවත් නොහැකි වුණා. ඒ අන්ධකාරය මැදින් භාග්‍යවතුන් වහන්සේ රශ්මි දහරා විහිදවමින් ආකාසයේ වැඩ සිටියා. දැන් සියලු දෙනාට පෙනෙන්නේ උන් වහන්සේ පමණයි. කෑ ගසා කියනවා “අපට අභය දෙන්න, අපට අභය දෙන්න” කියා. එවිට උන්වහන්සේ වදාළා ඔබලාට අභය දෙන්නම් මට අසුන් ගන්න තැනක් දෙන්න කියා. “ස්වාමිනි මෙතැන වැඩ සිටින සේක්වා යි” ආරාධනා කළා. භාග්‍යවතුන් වහන්සේගේ ආකාසයේ සිට පත්කඩය වැඩම කර බිම ඇතිරුවා. උන් වහන්සේ පත්කඩයේ වැඩ සිටියා. මුලින්ම තථාගතයන් වහන්සේ බුද්ධ භූමිය කරගත්තේ මහියංගනය බිමයි. හරියටම අද චෛත්‍යය ගොඩනැඟුන තැනයි වැඩ සිටියේ. උන්වහන්සේ එතැන වැඩ සිටමින් තමන්ගේ ආනුභාවය ටික ටික පතුරුවා. එසේ පතුරන විට ගිණි ජාලාවක් ලෙස එය පැතිරි ගියා. යක්ෂයන් බියෙන් පිටු පසට, පිටුපසට ගියා. කෙතරම් ගියාද කියතත් සියලු දෙනා මුහුද ආසන්නයේ නැවතුණා.
ලංකා ධරණී තලයට පෙනෙන්නේවත් නැති කිට්ටුවත් නැති කඳු තිබෙන දිවයිනක් තිබුණා “ගිරී” කියා. භාග්‍යවතුන් වහන්සේ සෘර්ධියෙන් අර යක්ෂයන්ට පේන්න ඒ දූපත ඉදිරියට ගෙනාවා. ලංකාව වටේ සිටි යක්ෂයන්ට ඉදිරියේ පෙනෙන ඒ දිවයිනට ගියා. ඒ සියලුදෙනා සමඟ භාග්‍යවතුන් වහන්සේ නැවතත් සෘර්ධියෙන් ඒ දිවයින තිබු තැනම තැබුවා. උන් වහන්සේට මෙවැනි ආනුභාවයන් තිබෙනවා. දුරුතු පුන් පෝදා මුළු ලංකාවේම බුද්ධ ආනුභාවය පැතිරී ගියා. දෙවිවරු ආකාසයේ බැබළි බැබළි සාධුකාර දෙමින් මල්වරුසා වැස්සුවා. ඒ දෙවියන් අතර බැබලි බැබලි සමන් මලක් වන් සුමන සමන් දෙවියන් සිටියා. තථාගතයන් වහන්සේ සුමන සමන් දෙවියා ඉලක්ක කර ගනිමින් දෙවියන්ට දහම් දෙසුවා. අසූහාරදාහක් දෙවිවරු මහියංගන සෑ මළුවේදී ධර්මය අවබෝධ කළා. මහියංගන චෛත්‍යයේ ඒ ආනුභාවය අදටත් තිබෙනවා. සැදැහැ සිත් ඇත්තන්ට ඒ ආනුභාවය දකින්න පුළුවන්. හුදකලාවේ ආකාසයට එස වූ තේජාන්විත ආනුභාවය පැතිරෙන සෑයක් තමා මහියංගනය චෛත්‍යය කියන්නේ. ලංකාවේ ප්‍රථමවරට බුද්ධානුභාවය පැතුරුණු තැනයි ඒ.
සුමන සමන් දෙවියා සෝතාපන්න වුණා. දෙවියා කියනවා “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ වැඩිය පසු අප වඳින්නේ පුදන්නේ කාටද?” බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් කේශ ධාතු අහුරක් ගෙන සුමන සමන් දෙවියන්ට දෙනවා. රත්තරං සළුවකින් එය පිළිගන්නවා. රන් සළුවේ කේශ ධාතුන්ගේ රැස් විහිදෙනවා. ශාසන ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේ කේශ ධාතුන් වහන්සේ දුන් අවස්ථා දෙකයි. තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයන්ටත්, සුමන සමන් දෙවි රජුන්ටත්.
සුමන සමන් දෙවියන් තථාගතයන් වහන්සේ වැඩ සිටිය ස්ථානයේම ඒ කේශ ධාතු තැන්පත්කර පරම පූජනීය ශාස්තෘන් වහන්සේ වැඩහුන් තැන තවත් කෙනෙකුට නො පෑගේවායි සිතා එතැන රියන් හතක් උස ඉන්ද්‍රනීල මාණික්‍යයෙන්් සෑයක් මවා කේශ ධාතු එහි තැන්පත් කළා. තථාගතයන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිද්දී ඉදිවූ හතරවන සෑය මහියංගන සෑ රජුන්. ඒ සෑ රජාණන් වහන්සේ දෙවියන්ගෙන්, බ්‍රහ්මයන්ගෙන්, මිනිසුන්ගෙන්, නාගයන්ගෙන් වැඳුම් පිදුම් ලබනවා.

ගී‍්‍රවා ධාතුන් වහන්සේ

තථාගත පරිනිර්වාණයෙන් පසුව ඒ සෑයේ තව ධාතුන් වහන්සේ නමක් නිදන් වුණා. ඒ පිටකොන්දේ අවසාන කශේරුකා වන ගී‍්‍රවා ධාතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේගේ දැල්වෙන චිතකයෙන් ගී‍්‍රවා ධාතුන් වහන්සේ වඩම්මවා සරභූ මහරහතන් වහන්සේ පන්සියක් රහතන් වහන්සේ සමඟ මහියංගන සෑයට වැඩමකර ඉන්ද්‍රනීල මාණික්‍ය සෑය තමන්ගේ ශ්‍රී හස්තයෙන් ඔසවා කේශ ධාතුන් සමීපයේ ගී‍්‍රවා ධාතුන් වහන්සේ තැන්පත් කර රියන් දහතුනක් උසට මේධ වර්ණ පාෂාණයේ සෑයක් මව්වා. සෑයක් වටකොට සෑයක් හැදීමට කියනවා කඤ්චුක සෑය කියලා. පැරැණි පොත්පත් වල ඒ බව මෙසේ සඳහන් වෙනවා.
බෝධිතෝ නවමේ මාසේ- ලංකං පඨම මාගතෝ

බුද්ධෝ සුමන දේවස්ස - කේසධාතුවරං අදා

බුද්ධත්වයට පත්වෙලා අපේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් සුමන සමන් දෙවියන්ට දුන්නා.
නිදභිත්ථාන තං දේවෝ - සත්තරතන මුච්චකං

ඉන්දනීලමණිමයං - ථූපං සද්ධාය කාරයි

ඒ දෙවිරජ සත්රුවන් සහිතව කේශ ධාතුන් වහන්සේලා නිදන් කොට සත් රියන් ඉඳුනිල් මිණි සෑයක් සැදැහැයෙන් කරවූයේය.
ගීවට්ඨිධාතුං බුද්ධස්ස - ආනෙත්වා ජම්බුදීපතෝ

නිධාය සරභුත්ථේරෝ - මේදවණ්ණ සීලායතං

සරභූ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගී‍්‍රවා ධාතුන් වහන්සේ දඹදිව සිට රැගෙනවිත් මේ උතුම් සෑයේ නිදන්කොට මේධ වර්ණ පාෂාණයෙන් තවත් කඤ්චුුක සෑයක් කර වූයේය.
කාරේසි ද්වාදසහත්ථ – මුච්චකං චේතියං තහිං

දේවානම්පියතිස්සස්ස - රඤ්ඤාභාතු කුමාරකෝ

එහි කළ ඒ සෑය දොළොස් රියන් වූයේය. එහිම කාලයක් ගියපසු දෙවියන්ට පි‍්‍රය වූ දේවානම්පියතිස්ස රජුගේ සහෝදර චූලභය කුමරු සෑයක් කරවීය.
උද්ධ චූළාභයෝ තිංස - හත්ථුච්චක මකාසිතං

දුට්ඨගාමිණි භුමින්දෝ - සාසනෝදය කාමකෝ

චූලාභය කුමරු කළ ඒ සෑය තිස් රියන් උස කඤ්චුක සෑයයි. සසුන් වැඩ කැමැති දුටුගැමුණු රජතුමාද එහිම සෑයක් කරවීය.
අසීතිරතනුබ්බේධං - තස්ස කඤ්චුක චේතියං

කාරෙසිතං නමස්සාමි –මහියංගන සුවිස්සුතං

දුටුගැමුණු රජු විසින් කරන ලද ඒ කඤ්චුක සෑය අසූ රියන් උස වූයේය. මහියංගනය නමින් ප්‍රකට ඒ උතුම් සෑය මම වන්දනා කරමි.
ලංකාය යත්ථ පඨමං සුගතෝ නිසජ්ජ

යක්ඛේ දමේසි නිජ සාසන පාලනාය

ඨානෙ තහිං නහිත කුන්තල ගීවධාතුං
වන්දාමි සාධු මහියංගන ථූපරාජං

සුගතයන් වහන්සේ ස්වකීය ශාසනය ආරක්ෂාවනු පිණිස පළමුවෙන් ලක්දිවට වැඩ යම් තැනක වැඩහිඳ යකුන් දමනය කළ සේක්ද, ඒ උතුම් ස්ථානයේ කේශ ධාතුන් වහන්සේ හා ගී‍්‍රවා ධාතුන් වහන්සේ නිදන් කොට කරවන ලද මහියංගන සෑ රජුන් වන්දනා කරමි.
මේ ආකාරයට අපටත් ඒ ගුණ සිහිකරමින් සෑයන් වඳින්න ඇත්නම් කෙතරම් පිනක් රැස්වෙනවාද? ඔබ ආනුභාවසම්පන්න සෑයන් වන්දනා කරනවිට පිනට හානිකර ගන්න එපා. ඒ වගේම ජීවමාන ස්තූප හතරටම එකවර මෙසේ වන්දනා කරන්න.
සම්බුද්ධේ ධරමානම්භි – ථූපා ඒතේ පතිට්ඨිතා

කේස දුස්සෙභි ධාතුහි – චත්තාරෝ තේ නමාමහං

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේම කරන ලද කේෂ ධාතු සෑ දෙනමත් (ගිරිහඬු සෑය සහ මහියංගන සෑය) සළුමිණ සෑයත්, සිළුමිණ සෑයත් යන සතර ස්තූපයෝ මම ආදරයෙන් වන්දනා කරමි.
සෑ වන්දනාවෙන් ඔබට අනන්ත පින් රැස්වෙනවා. සෑ වන්දනාවෙන් පසුව මගෙන් දෝසයක් වුණිනම් සමාවන්න කියා ඔබ සමාව ගන්න. හිතේ රැඳුන පින සසරට එකතු වෙනවා. මේ සෑ රජාණන් වහන්සේ සැදැහැ සිතින් වන්දනා කරන්නට ඔබ අධිෂ්ඨානයක් ඇතිකර ගන්න.


5 කොටස

ලක් දෙරණේ තැම්පත් කළ පාරිභෝගික ධාතුන් වහන්සේලා

බුදුරජුන් බුද්ධත්වයට පත් වෙලා අටවැනි අවුරුද්දේ දී අසූමහා ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් බිහිවෙලා සිටියේ. ඒ අතර සාරිපුත්ත, මුගලන්, මහාකස්සප, භක්කුල, අං¼ගුලිමාල, සීවලී, රාධ, උපාලි, අනුරුද්ධ, ආදී මහ රහතන් වහන්සේත් එදා වැඩ සිටියා.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි අවුරුද්දේදී දෙවැනි වතාවට ලංකාවට වැඩම කළේ නාගදීපයට. එයට හේතුව ලෙස දැක්වෙන්නේ මහෝදර රජතුමා තම දියණියට දෑවැද්දට මැණික් පුටුවක් තෑගි කළා. පසු කලක දියණිය මියගියා. පියා මැණික් පුටුව නැවත තමාට අවශ්‍ය බව දන්වා සිටියා. චූලෝදර බෑණා කියා සිටියේ දෑවැද්දට දුන් දේ නැවත දෙන්න බැහැ කියා. ඒ සඳහා යුද්ධයක් ඇතිවුණා.

නාගදීප සෑ රජුන්

එය සංසඳවීමට බුදුරජුන් නැවතත් අනුකම්පාවෙන් ලක් දෙරණට වැඩම කළා. ඒ මැණික් පුටුව මත වැඩ හිඳ දම් දෙසා යුද්ධය සංසිදෙව්වා. චුලෝදර මහෝදර නාගයන් ඒ මැණික් පුටුව තැන්පත් කර චෛත්‍යයක් ඉදිකළා. ඒ නාගදීප සෑ රජුන්. අදත් සැදැහැති මිනිසුන් දහස් ගණන් මුහුදෙන් එගොඩ වෙලා ඒ සෑ රඳුන් වඳිනවා. පොතපතේ සඳහන් වෙනවා යම් දවසක මේ සෑය දෙබෑ වෙලා මැණික් පුටුව ආකාසයේ වැඩ ඉන්නා බව. එතෙක් කිසිවෙකුට එය සොලවන්න බැහැ. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දී ඉදිවූ තවත් පාරිභෝගික සෑයක් තමයි යාපනයේ නාගදීප සෑය.

කැලණි සෑ රජුන්

ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වැනි වතාවට ලංකාවට වැඩම කළේ කැලණියට යි. නාගදීපයේ සිදු වූ අසිරිය දැක මිණිකැට වන් නෙත් ඇති මණිඅක්ඛික නා රජු ආරාධනා කළා ස්වාමිනි, අපට අනුකම්පා කර මගේ රාජධානියටත් වඩින සේක්වා කියා. සැමට අනුකම්පාසහගත බුදුරජුන් බුද්ධත්වයෙන් අටවැනි අවුරුද්දේ කැලණියට වැඩම කළා. නා රජුගේ විමානයේ දී දන් වැළදුවා. ඒ වැඩ හුන් ආසනය තැන්පත්වයි කැලණි මහා සෑ රජුන් ඉඳිවුණේ.
කැලණි විහාරයේ ඉදිවෙන කාලේ ඉතාමත් ආශ්චර්ය දේ සිදුවී තිබෙනවා. ජනප්‍රවාදයේ තිබෙනවා කැලණි චෛත්‍යය ඉතාමත් ශ්‍රද්ධාවෙන් වන්දනා කළ පසු මිනිසුන්ගේ සිතේ දුක දුරු වෙනවා කියා. එනිසා මිනිසුන්ට සිතුවා මෙතැනයි පව් නැතිවෙන තැන කියා. කථාවෙන් කථාවට ඇවිත් අද කියනවා “උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ” කියා. අදත් නිහඬව සෑ රජුන් දෙස බලා බුදුගුණ සජ්ඣායනා කළවිට දුක් දුරුවෙනවා. සැනසිල්ල ඇතිවෙනවා.

චීවර සෑය

දානයෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ පැන් පහසු වුණා. අපට අනුකම්පා කර බුදු සිරුර ස්පර්ශ කළ ජල ධාරාව ධරණීතලය පුරා ගලා ගියා. පැන් පහසුවෙන්න ඇඳපු සළුව එගොඩ කැලණියේ පිහිටා ඇති චීවර සෑයේ වැඩ වෙසෙනවා.

සිරිපතුල පිහිටීම

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වූ සුමන සමන් දෙවියන් එයාගේ විමානය පිහිටි සමනල ගිරි මුදුනේ සිට බලාගෙන සිටිනවා. විමානයේ මල් අතුරලා. කාශ්‍යප, කෝණාගම, කකුඳස බුදුරජාණන් වහන්සේ මේ පර්වත මුදුනට වැඩ සිටි බව දෙවියන් දැන සිටියා. මගේ ශාස්තෘන් වහන්සේත් මේ පර්වත මුදුනට වඩීවා කියා දෙවියා අධිෂ්ඨාන කළා. උන්වහන්සේ ලංකාවට වැඩියේ පන්සියයක් රහතන් වහන්සේ සමඟ. බුදුරජුන් බුද්ධත්වයට පත්වෙලා අටවැනි අවුරුද්දේ දී අසූමහා ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් බිහිවෙලා සිටියේ. ඒ අතර සාරිපුත්ත, මුගලන්, මහාකස්සප, භක්කුල, අං¼ගුලිමාල, සීවලී, රාධ, උපාලි, අනුරුද්ධ, ආදී මහ රහතන් වහන්සේත් එදා වැඩ සිටියා. මුළු සමන්ගිරම මල් වලින් වැහිලා. සමන් දෙවියන්ගේ විමානයේ මැද ගල් පර්වතයක් තිබුණා. ඒක මාණික්‍යයක්. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් සමඟ සමනල ගිරි පර්වතයට වැඩියා. සමන් දෙවියන් ආරාධනා කරනවා භාග්‍යවතුන් වහන්ස, ඔබ උතුම් සිරිපාකමල මට අනුකම්පා පිණිස මේ මාණික්‍ය මත තබන සේක්වා. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ සිරස මේ උතුම් සිරිපා අසල තැබෙනු ඇති. ස්වාමිනි, උතුම් සිරිපාකමල මාණික්‍ය මත තබන සේක්වා. ඔබ වහන්සේ මේ මිහි තලයේ වඩින විට මහ පොළොවේ උස්තැන් පහත් වී පහත් තැන් උස් වී පොළොව සමතලා වුණා. ස්වාමිනි, ඒ උතුම් සිරිපා මේ මාණික්‍යයේ තබන සේක්වා. ස්වාමිනි,මේ ගිරිකුස මගේ සිරස යැයි සිතා මේ මාණික්‍ය මත උතුම් සිරිපාකමල තබන සේක්වා ආදී ගුණ කියමින් මහත් ශ්‍රද්ධාවෙන් සිරිපතුල තබන ලෙස ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ සමන් දෙවියන්ටත්, අපටත් අනුකම්පා කළා. උන්වහන්සේ අසනවා පින්වත් දිව්‍ය පුත්‍රය, මේ වගේ උස් තැනක සිරිපාකමල තැබූ පසු පිනට කැමැති මිනිසුන් එය වන්දනා කරන්නේ කෙසේද? “ස්වාමිනි, මම සැදැහැ සිත් ඇත්තන්ව පුළුන් ගොඩක් සේ ගෙනවිත් සිරිපා කමල වන්දවනවා” කියා ප්‍රකාශ කළා. අදටත් තිබෙන ඒ ආනුභාවය ඔබත් අත්විඳලා ඇති.
ඉන්පසු දිවාකල් ගෙවා එයින් නැගිට දීඝවාපී චෛත්‍ය පිහිටි තැන සමවතට සමවැදුණා. එවෙලෙහි මහ පොළොව සිය දහස් වර කම්පා වුණා. එතැනින් නැගිට රුවන්මැලි මහා සෑය පිහිටින තැනට වැඩම කොට එහි සමවතට සමවැදුණා. එහිදීද පොළොව කම්පා වුණා. එතැනින් නැගිට ථූපාරාම චෛත්‍යය පිහිටන තැනට වැඩම කොට නිරෝධ සමාපත්තියට සමවැදුණා. එහිදීද පොළව පෙර පරිදිම කම්පා වුණා. එතැනින් මිරිසවැටිය චෛත්‍යය පිහිටන තැනට වැඩ භික්ෂුන් සමඟ සමවතට සමවැදුණා. මහපොළොව එහිදීද කම්පා වුණා. එතැනින් නැගිට කතරගම චෛත්‍යය පිහිටන තැනට වැඩම කොට සමවතට සමවැදුණා. එහිදීද පොළොව කම්පා වුණා. එයින් නැගිට තිස්ස මහා විහාර චෛත්‍යය පිහිටන තැනට වැඩම කොට සමවතට සමවැදුණා. එහිදීද පොළොව කම්පා වුණා. ඉන්පසු ථූපාරාම විහාර චෛත්‍යය පිහිටවන තැනට වැඩම කොට සමවතට සමවැදුණු අතර මෙහිදීද මහපොළොව කම්පා වුණා. බලවත්ව කම්පා වුණා. එයින් නැගිට මහවැලි ගඟට දකුණු ඉවුරු දිශාවෙහි සේරු නම් විල කෙළවරෙහි වරාහ නම් ගල් පොකුණ පිහිටි භූමියෙහි පන්සියයක් රහතන් වහන්සේ සමඟ නිරෝධ සමාපත්තියට සමවැදුණා. එවලෙහි මහා පොළොව මහා හස්තිරාජයෙකුගේ කුඤ්චනාදයක් සෙයින් දහස්වර නාද නංවමින් සොම්නස් වූ කලෙක මෙන් සකල ලංකාද්වීපය නින්නාද කරවමින් කම්පා වුණා. ඒ වගේම දොළොස්මස්ථානයේම උන්වහන්සේගේ ආනුභාවය පැතිරී ගියා. අදටත් ඒ අනුභාවය එලෙසම තිබෙනවා.

මහා පරිනිර්වාණය

දැන් තථාගතයන් වහන්සේ අසූවැනි වියේ පසුවෙන්නේ. උන්වහන්සේ පිරිනිවන් පාන්නට වඩිනවා. උන්වහන්සේ විශාලා මහනුවරින් පිළිවෙළින් භණ්ඩ ග්‍රාම, හස්ති ග්‍රාම, අම්බ ග්‍රාම, ජම්බු ග්‍රාම, භෝග, ග්‍රාම යන ගම්වලට වැඩම කර ජනයාට දහම් දෙසා පාවා නුවරට වැඩියා. තමන් වහන්සේගේ පරිනිර්වාණය ඉතා ආසන්න වී ඇති බව දැනගෙන කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල්වනයට වැඩ සල්ගස් දෙකක් අතර උතුරට හිස දමා ඇඳක් පිළියෙල කරවාගෙන යළිත් නො නැගිටිමියි අධිෂ්ඨාන කරමින් සැතපුණා. මධ්‍යම යාමයෙහි දස දහස් ලෝක ධාතුවෙහි දෙවියන් හට අනුශාසනා කොට අවසන් යාමය අවසානයෙහි පළමු ධ්‍යානයට සමවැදී එයින් නැගිට දෙවෙනි,තුන්වැනි, සිව්වැනි ධ්‍යානයන්ට සමවැදුණා. එයින් නැගිට ආකාසනඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදී එයින් නැගිට නිරෝධ සමාපත්තියට සමවැදුණා. එයින් නැගිට පළමු, දෙවැනි, තුන්වෙනි, සිව්වෙනි ධ්‍යානයන්ට සමවැදී එයින් නැගිට සැණින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. දෙවිවරුන් මහා දුකකින් හඬා වැටුණා. ඉතා ඉක්මනින් මේ ලෝකයේ දහම් ඇස අතුරුදහන් වෙනවා කියමින් ඝෝෂා කළා.
බුදුරජුන්ගේ පිරිනිවන් පෑම කිසිවෙකුටවත් වාවාගත නොහැකි වුණා. සැමට ම කරුණාවන්ත ලෝකානුකම්පකයාණෝගේ පරිනිර්වාණයත් සමඟ ආකාසයේ විදුලි හඬ ඇසුණා. වීතරාගි නොවුන පිරිස් හඬා වැළපුණා. මහපොළොව කම්පා වුණා. මහත්සේ කම්පා වුණා. වෙසක් පුන් පෝ දිනක සාල වනරුක්ෂ දෙකක් අතර උන්වහන්සේ පිරිනිවන් පා වදාළා.