ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

බුදුපිළිමයේ උපත - 7

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ හිටපු සහකාර
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා M sc පර්යේෂණ

බුදුපිළිමයේ උපත - 37: 

බුදුරජාණන් වහන්සේට ඇතෙකු සහ වානරයකු උපස්ථානය කිරීම

බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයෙන් නව වන වර්ෂයෙහිදී කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩ විසූ සේක. කොසඹෑනුවර පිඬු පිණිස හැසිරුණු භාග්‍යවතුන් වහන්සේ උදේන රජුට අයත් භද්‍රවතිකා ඇතින්නටද එහිදී පිහිට වූ සේක.
භාග්‍යවතුන් වහන්සේ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සමයෙහිදී විනයධර සහ ධර්මධර හිමිවරු දෙනමක් අතර විවාදයෙක් විය. භාග්‍යවතුන් වහන්සේ විසින් ඔවුනට කළහ, විවාද අසමගි බවෙහි ආදීනව ද වදාළහ. එහෙත් සමථයකට නොපැමිණියහ. බුදුරජාණන් වහන්සේ මතු ඔවුන් සමගියට පැමිණ විය හැකි අයුරුද ඊළඟ වස් කාලයෙහි පාරිලේය හස්තියා ආදී කීප දෙනෙකුට තමන් වහන්සේ නිසා ලැබෙන අර්ථ සිද්ධියද දැක විවේකයද කැමැතිව හුදෙකලාවම බාලකලෝණකාර ග්‍රාමයටද වැඩමවා කෝසල ජනපදයෙහි වූ පාරිලේය නම් වූ නුවරට වැඩම කළ සේක.
බුදුරජාණන් වහන්සේ පාරිලෙයිය වනයේ වස් වසනු පිණිස තනිවම වෙන්ව වැඩම කළහ. එහිදී රැළ සමඟ ජීවත් වීමෙන් හෙම්බත් වූ මිත්‍රශීලි ඇත්රජෙකු භාග්‍යවතුන් වහන්සේ රකිමින් උපස්ථාන කළේය.
පාරිලෙයිය වනයට බුදුරජාණන් වහන්සේ වැඩම කරවීමෙන් පසුව එහි වැසියෝ පෙර ගමන්කර භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා ගෙන අවුත් අසුන් පනවා වඩා හිඳුවා දානය පූජා කළහ. ඉක්බිති පාරිලේය වන ලැහැබේ පන්සලක් කර එහි වස් වසන්නට ආයාචනා කොට භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කරවූහ.
ඉහතින් සඳහන් කළ පරිදි ඒ පන්සල ළඟ රම්‍ය වූ සල් රුකෙක් විය. දිනෙක ඒ වෘක්ෂය යට වැඩ සිටින බුදුරජාණන් වහන්සේ ඇතෙකු විසින් දකින ලදී. ඒ ඇතාත් විවේකීව වසනු කැමැත්තෙන් රැළෙන් වෙන්වී වාසය කළ ඇතෙකි.
ඒ හස්ති තෙමේ බුදුරජාණන් වහන්සේ දුටු හැටියේම සොඬ හකුලා දනබිම ඇන නමස්කාර කළේය. ඉන්පසුව වට පිට බලා කිසිවෙකු නොදැක ඒ රුක පයින් පැහැර අතු කැබැල්ලක් සොඬින් ගෙන හැමැද්දේය. එතැන් පටන් මේ ඇතා භාග්‍යවතුන් වහන්සේට පානයටද මුහුණ දෙවීමටද පාරිභෝගයට ද ජලය පිළියෙළ කර දෙයි.
ඉක්බිති හස්තියා නොයෙක් පලා ඵල වර්ග ගෙනවුත් බුදුරජාණන් වහන්සේට පූජා කරයි. භාග්‍යවතුන් වහන්සේ ගමට පිඬු සිඟා වඩින කල්හි හස්ති තෙමේ පාත්‍රය හා දෙපට සිවුර කුම්භස්ථලයෙහි තබා ගෙන උන්වහන්සේ හා යයි. වනයෙන් ගමට බස්නා සීමාවෙහිදී ඇතු නවත්වා බුදුරජාණන් වහන්සේ හුදෙකලාවම පා සිවුරු ගෙන ගමේ පිඬු පිණිස හැසිර ආපසු වඩනා සේක. ඇත් තෙමේ මගබලා සිට භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි කෙනෙහි පාත්‍රය හා දෙපට සිවුර ගෙන බුදුරජාණන් වහන්සේ කැටුව සල් රුක වෙතට යයි.ගොස් පාත්‍රය හා සිවුරු පන්සලෙහි තබා අත්තෙන් පවන් සලයි. නැවත රාත්‍රි කාලයෙහි චණ්ඩ මෘගයන්ගෙන් උපද්‍රව වළක්වනු පිණිස මහත් දණ්ඩක් සොඬෙන් ගෙන ඒ ලැහැබෙහි අතරතුර හැසිෙර්ය. බුදුරජාණන් වහන්සේ රක්ෂිතකර (රැක) ගන්නා අදහසින් එහි ඇතු හැසිරුණූ වන ලැහැබට එතැන් සිට “රක්ෂිත” වන ලැහැබයැයි නම් විය.
ඇතා භාග්‍යවතුන් වහන්සේට කරන ලද උපස්ථාන දුටු එක් වඳුරෙක් “මමත් සත්කාරයක් කෙරෙමියි සිතා දීමට සෑහෙන යමක් සොයා ඇවිදින්නේ මැස්සන් විසින් හරනා ලද දඬුවැල් මීයක් දුටුයේය. ඒ දැක එය ගෙනැවිත් කෙසෙල් කොළයක් කඩා එහි තබා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූයේය. ඉක්බිති වඳුරු තෙෙමි උන්වහන්සේ එය වළඳන සේක්දෝයි බලා හිඳ එය නොවළඳන බව දැක එයට කරුණු කිම්දැයි ඒ මීය බැඳි දඬු කැබැල්ල අල්ලා ඒ මේ අතර පෙරළා බලන්නේ මළාවු පිලවුන් දැක අවුලා දමා යළිත් ඒ මධුපටලය පිළිගැන්වූයේය. බුදුරජාණන් වහන්සේ එය පිළිගෙන වැළඳූ සේක. වඳුරු තෙම ඒ දැක සතුටු සිතැතිව අත්තෙන් අත්ත අල්ලමින් නටා ඇවිදුනේ අල්ලාගත් අත්තත් පා තැබූ අත්තත් හදිසියේ බිඳීමෙන් (කැඩීමෙන්) කණුවක් උඩ වැටී කය සිදුරුව මළේය. බුදුරජාණන් වහන්සේ කෙරේ පහන් සිතින් සිටියදීම මිය ගිය හෙයින් ඒ වඳුරා තව්තිසා දෙව්ලොව දෙව් පුතෙක්ව උපන්නේය. (ශාක්‍ය මුණින්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය –අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේ , පිටු 170-172-1986)
එකල ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඉතා ප්‍රකට පුදබිමක් වු සාංචි ස්තූපයේ තොරණක එම වඳුරා විසින් බුදුරජාණන් වහන්සේට මී පැණි පූජා කරන අවස්ථාව මූර්තිමත් කර ඇත. අල්ප උන්නත මූර්ති කැටයමක් වූ එහි බුදුරජාණන් වහන්සේ නිරූපණය කරන්නේ වජ්‍රාසනයෙනි. ඒ වන විට බුදුපිළිම නිර්මාණය වී තිබුණේ නැත. බුදුරජාණන් වහන්සේ නිරූපණය සඳහා එකල මූර්ති ශිල්පීහු බෝධින් වහන්සේ ඡත්‍රය, සිරිපතුල් වජ්‍රාසනය, ස්තූපය ආදිය මූර්තිමත් කර තිබුණි. ඒ අනුව මෙහි වජ්‍රාසනය මූර්තිමත් කර ඇත.
බුදුරජාණන් වහන්සෙගේ අසිරිමත් ජීවන චරිතයෙහි ප්‍රධාන සිදුවීම් දෙස බලන විට එතරම් වැදගත් අවස්ථාවක් ලෙස සඳහන් කළ නොහැකි වුවත් පාරිලෙය්‍ය වනයේදි වඳුරු රජෙක් විසින් මී පැණි පූජා කිරීමේ සිද්ධිය , සාංචි ස්තූපයේ කැටයම්කරුවන්ගේ අවධානයට යොමු වී ඇත. සාංචි ස්තූපයේ අංක 01 දරණ උතුරු දෙස තොරණේ ස්තම්භයක මෙම කැටයමෙහි අවස්ථා දෙකක් දැක්වේ.
බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ පූජ්‍ය 

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි. පි. 77 (2015)


බුදුපිළිමයේ උපත - 38:

සංකස්සපුර

බුදුපිළිමය පුරාණ භාරතයේ නිර්මාණය කිරීමට පෙර බෞද්ධ කලා ශිල්පීන් විසින් බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීමට යොදා ගන්නා ලද්දේ සංකේත බව මීට ඉහතදී ද පෙන්වා දුන්නෙමු. භාරත දේශයේ මෙතෙක් හමුවී ඇති ඉතා පුරාණතම බෞද්ධ මූර්ති හා කැටයම් හමුවී ඇත්තේ මෙකල ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි භාරුත් පුදබිමෙනි. බුදුපිළිම නිර්මාණය සඳහා සංකේත භාවිත කර ඇති ප්‍රථම අවස්ථාව මෙම භාරුත් පුදබිමෙන් හමුවේ.
ඉහත සඳහන් පුදබිමෙහි මෙන්ම සාංචි පුදබිමෙහි තොරණකද බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩම කරවන අන්දම ශිලාමය මූර්ති ඵලකයන් මගින් නිරූපණය කර ඇත. එම ස්ථානයන්හි බුදුරජාණන් වහන්සේ නිරූපණය කර ඇත්තේ සංකේත මගිනි.
තුසිත දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩම කිරීම - සාංචි ස්ථූප අංක 01
බෝධිසත්වයන් වහන්සේ උපන්දා සිට මහාමායා ගෞතමී තො මෝ කිසිදු වෙහෙසක් දුකක් නැතිව සැපයෙන් කල් යැව්වාය. ඕ අසිත සෘෂීන් විසින් ද ලක්ෂණ පාඨක බමුණන් විසින් ද තමන් පුත් කුමරුවාණන් පිළිබඳව කී අනාවැකි නිතර සිහිකරන්නී සිය නැගණියන් වූ ප්‍රජාවතී ගෞතමී ආදී නෑදෑ කාන්තාවන් හා ඒ ගැනම කතා කරන්නී මහත්මැ පී‍්‍රතියෙන් කල් යැව්වා ය. මෙසේ බලවත්ව පී‍්‍රතියෙන් සතුටින් කල් යවන්නී සතිය ගෙවුණු සත්වැනිදා රැයෙහි ඇසි පියා ගත්තී යළි මේ සිරුරෙන් නොම නැගිට්ටාය. තුසිත දිව්‍යලෝකයෙහි සොළොස්සැවිරිදි දෙව් කුමරක්හුගේ බඳු වූ දිව්‍ය ශරීරයක් ඇතිව ඇස් හැරියාය. හෙවත් දෙව් ලොව දෙව් පුතෙක්ව උපන්නාය. හේ දෙවියන් අතර මාතෘ දේව පුත්‍ර (මව් දේවපුත්) නමින් ප්‍රකට වූයේ සියලු දෙවියන්ගේ මහත් ආදර ගෞරවයට පාත්‍ර විය.
(ශාක්‍ය මුණීන්ද්‍ර වදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය, අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන් වහන්සේ පි. 17 – 18 2000)
බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍රයාට විජම්බණ දෙසීම සඳහා තව්තිසා දෙව්ලොවට වැඩම කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.
යටකී සේ තව්තිසා භවනයෙහි වස් විසු භාග්‍යවතුන් වහන්සේ වස් සතර මාසයෙහි නිතර දම් දෙසූ සේක. ඒ දේශනා පරිදි භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාත කාලය වන තෙක්ම දම් දෙසා ඉක්බිති තමන් වහන්සේ වැනිම බුදුරුවක් මවා මා එනතෙක් මෙතෙක් ධර්මය දෙසාවායි අධිෂ්ඨාන කොට හිමාලයට වඩිනා සේක. එහිදී නාලිය දැවටූ වළඳා උතුරු කුරු දිවයිනේ පි¾ඩු පිණිස හැසිරී හිම පව්වටම ආපසු වැඩ එහි අනෝතත්ත විල ළඟ හිඳ දන් වළඳන සේක. ඒ වේලාවේදී සැරියුත් තෙරණුවෝ එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේට වත් පිළිවෙත් කරති. වළඳා අවසානයෙහි සාරිපුත්‍රයෙනි, අද මම මෙතෙක් බණ කීමි එය තමන් ඇසුරු කරන භික්ෂුනට උගන්වවුයි නියෝග කොට තමන් එදිනෙදා තව්තිසා භවනයේ දී වළඳා සැරියුත් තෙරුනට දහම් වදාරණ සේක. ඉන් පසු තව්තිසා භවනයට වැඩ නිර්මිත බුදුරුව අතුරුදන් කොට ඒ බුදුරුව වදාළ තැන් සිට දහම් දෙසන සේක. මේ නියායෙන් බුදුරජාණන් වහන්සේ ඒ තුන් මස ගත කළ සේක.
තුසිත දෙව්ලොව සිට සංකස්ස නුවර වැඩීම භාරුත් ස්තූප කැටයම ක්‍රි.පු. 02 ශ.ව
ඉන්දියානු කෞතුකාගාරය, කල්කටාව
(ඉහත සඳහන් ග්‍රන්ථය පි. 156 – 157 )
බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොවට වැඩම කොට මාස තුනක් එහි සිට මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේට ධර්මය දේශනා කළ සේක. එම ධර්මය ඇසීමෙන් පසුව මාතෘ දිව්‍යරාජයා, සෝවාන් ඵලයට පත් වූ බවත් අසූ කෝටියක් දෙවියන්ට මාර්ගඵල අවබෝධ වූ බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්වේ. ඉන් පසු බුදුරජාණන්වහන්සේ දිව්‍ය බ්‍රහ්ම සමූහයා පිරිවරාගෙන දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ රන් හිණිමගකිනි. සංකස්ස පුරය පිහිටියේ ඉන්දියාවේ උත්තරප්‍රදේශ්හි වසන්ත පුර්දා ඉටා දිස්ත්‍රික්කයේ ය. අසෝක රජතුමා විසින් (ක්‍රි.පූ. 272 – 232 ) ශිලා ටැඹක් ද මෙම පුදබිමෙහි පිහිටුවා තිබේ. අද එම ටැඹ නැතත් ඒ මත ඉදි කළ ගවරූපය ඒ අසළ දක්නට ලැබේ. පුරාණ භාරතයේ සංචාරය කළ චීන භික්ෂූන්වහන්සේ නමක් වූ ෆාහියන් හිමියෝද (ක්‍රි.ව. පස්වන සියවසේදී) එම අසෝක රජු ඉදිකරවූ ටැඹ හා විහාරය ගැන සඳහන් කරති. පුරාණ නටබුන් මේ පුදබිමෙහි දක්නට ලැබේ.
සංකස්සපුරයට වැඩම කළ අන්දම නිරූපිත භාරුත් සහ සාංචි මූර්ති කැටයම්
කලාකරුවන්ගේ අවධානයට යොමු වී ඇති තවත් වැදගත් සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේ තම මෑණියන් වූ තව්තිසා දෙව්ලොව උපන් මාතෘ දිව්‍ය රාජයාට දෙව්ලොව සිට දම්දෙසා සංකස්ස පුරයට වැඩම කරවීමයි. භාරුත් ස්තූපයේ අජාසත් ස්ථම්භයේ මේ දර්ශනය මූර්තිමත් කර ඇත. බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට ආපසු පෘථිවිය කරා පැමිණීමේ ගමන සඳහා ඉන්දු දෙවියන් විසින් මැණික් රත්රන් සහ රිදී වලින් නිම වූ හිනිමගක් සාදා දුන් බව පුරාවෘත්තයන්හි සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ තම දෙපසින් ඉන්ද්‍ර බ්‍රහ්ම දෙවිවරුන් කැටුව මැද හිණිපෙළින් පොළවට බැස්ස අතර පහළ දී සැදැහැවත්හු සාදුකාර දෙමින් පිළිගත්හ. මෙම අවරෝහණය පෙන්නුම් කර ඇත්තේ හිණිමග මුදුණේ එක් පාද සළකුණක් සහ පහතම හිණිමග පෙත්තේ තවත් සිරිපද සළකුණක් ද නිරූපණය කරමිනි. එහි ඉහළ දකුණු පාදයේද පහළ වම් පාදයේද වශයෙනි. තවත් අවස්ථාවක සාංචි ස්තූපයේ උතුරු තොරණෙහි ඉනිමග පෙන්නුම් කර ඇත්තේ හිණිමග කෙළවරවල දෙකෙහි බෝධි වෘක්ෂය හා ආසනයක් වශයෙනි. එයින් පෙන්නුම් කරන්නේ ආරම්භක අවස්ථාවේ ඓතිහාසික හෝ පුරාවෘත්තමය විස්තර දැක්වීමේ දී කලාකරුවන් නිදහසේ සංකේත භාවිත කරන්නට ඇති බවයි.
(බුදු පිළිමයට පෙර බුදු හාමුදුරුවෝ - අති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ. පි. 74 – 75 (සරසවි ප්‍රකාශකයෝ - 2010

බුදුපිළිමයේ උපත - 39:

ආනන්ද බෝධින් වහන්සේරෝපණය


ආනන්ද බෝධින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාමය පිහිටි පුදබිමෙහි දොරටුව අසළ රෝපණය කරන ලද බව අට්ඨකතාවල සඳහන් වන කරුණකි.
“භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරින් වැඩමවා ජනපද චාරිකාවෙහි යෙදුණු දිනයක බොහෝ උපාසක උපාසිකාවෝ සුවඳ මල් ආදිය ගෙන බුද්ධ වන්දනාව සඳහා දෙව්රම් මහ වෙහෙරට (ජේතවනාරාම විහාරයට ) ආවාහු භාග්‍යවතුන් වහන්සේ නොදැක ශෝක වූහ. තමන් රැගෙන ආ පූජාභාණ්ඩවලින් පිදිය යුතු තැනක්ද නැති හෙයින් ඒවා විහාර සමීපයෙහි රැස් කර තබා ඔව්හු ආපසු ගියහ. අනේපිඬු සිටාණෝ ආදී තවත් අය මෙ කරුණ දුටහ. භාග්‍යවතුන් වහන්සේ පිටත වැඩිවිට උන්වහන්සේ සිහිකොට පූජා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් යම් පූජනීය වස්තුවක් ඉල්ලා ගන්නට සිතූහ. භාග්‍යවතුන් වහන්සේ පෙරළා ජේතවනාරාම විහාරයට වැඩම කළ විට බුදුරජාණන් වහන්සේ එහි වැඩ නොසිටින විට වැඳුම් පිදුම් කිරීමට යමක් දෙන ලෙස ඉල්ලා සිටීමට ආනන්ද තෙරුන් වහන්සේ මෙහෙය වූහ. ආනන්ද තෙරණුවෝ බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් පූජ්‍ය වස්තු කවරේදැයි විචාරා භාග්‍යවතුන් වහන්සේ වෙනුවට පූජ්‍ය දැයක් ඉල්ලූහ.
භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා ආනන්දය, ශාරිරික උද්දේශික, පාරිභෝගික යැයි පූජ්‍ය වස්තූහු තිදෙනෙකි. ඉන් ශාරිරික ධාතු පූජාව බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වන්නේය. උද්දේශික පුජාව නම් බුද්ධ ප්‍රතිමා ආදිය වෙයි. පාරිභෝගික ධාතු පූජා නම් පරිභෝග කළ පාත්‍ර විචාරාදියටද බුද්ධත්වයේ දී පිටදුන් බෝධින් වහන්සේටද කෙරෙන සත්කාර යයි. එබැවින් ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවනාරාමයෙහි රෝපිත (සිටුවා) කරවා සත්කාර කරතහොත් ඒ මට කළ සත්කාරය හා සම යැයි වදාළ සේක.
ආනන්ද තෙරණුවෝ මේ කාරණය කොසොල් රජු ආදිනට දන්වා ඒ වේලාවෙහිම ජේතවන දොරටු සමීපයෙහිම වළක් තණවා ජයසිරි මහා බෝධින් වහන්සේගෙන් ඵලයක් (ගෙඩියක්) ගෙනවුත් දෙන්නට මුගලන් තෙරුන් අයැදූහ. මුගලන් තෙරණුවෝ තමන් එය බෝ රුකින් ගෙනෙන සැටි සියල්ලට පෙනෙන සේ සිතා ඒ කෙනෙහිම ඍද්ධියෙන් ගොස් උරුවිල්වායෙහි වූ ජය ශ්‍රී මහා බෝධිවෘක්ෂය සමීපයට වැඩම කර එහි නටුවෙන් ගැලවී එන ඵලයක් (ගෙඩියක්) බිමට වැටිය නොදී සිවුරු පටින් පිළිගෙන එකෙනෙහිම ගෙනැවිත් අනඳ තෙරුන්ට දුන්හ. අනඳ තෙරණුවෝ එය කොසොල් රජුට භාර කළහ. රජ එය රුවන් කරඬුවකින් ගෙන හිස මත තබා ගෙන එය හ¼ිදුවීමට (සිටුවීමට) සාරන ලද වළ තෙවරක්ම පැදකුණු කොට අනේපිඬු සිටු අතට දුන්නේය. සිටුතුමා ගණ රන් තළියක සුවඳ කළල් පුරා තලියේ පතුල සිදුරු කොට වළ මැද තබා එහි බෝ පැලය සිටු වූහ.
එය අනඳ තෙරුන්ගේ නියෝගයෙන් සිටුවන ලද බැවින්ද මහජනයාගේ සිත ආනන්දය ඇති කෙරෙමින් වැඩුණු බැවින්ද ආනන්ද බෝධි නම් විය.
දිනෙක භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන්ගේ අයැදුමින් (ඉල්ලීමෙන්) ඒ බෝ රුක මුල රෑ තුන් යම්හි සමාපත්ති සුවයෙන් වැඩහුන් සේක.
මෙසේ ආනන්ද බෝධිය පාරිභෝගික චෛත්‍යයක් විය,(ශාක්‍ය මුණීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය. අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෙත්‍රෙය මහා නා හිමියන් වහන්සේ පි. 195-196 -1986 සමය වර්ධන ප්‍රකාශනයකි)
දඹදෙණි රාජධානි සමයේ බුද්ධ පුත්‍ර නම් භික්ෂූන් වහන්සේ විසින් ලියන ලද ඉතා ප්‍රකට ග්‍රන්ථයක් වූ පූජාවලියෙහි ආනන්ද බෝධිය පිහිටුවීම පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් තිබේ.
එහි අවසානයෙහි මෙසේද සඳහන් වේ. “එවේලෙහි ස්වාමි දරුවෝ (බුදුරජාණන් වහන්සේ) ඒ බෝධි මූලයට වැඩ ඒ බෝකඳ පිටලා පූර්වදිග බලා වැඩ හිඳ එදා රෑ තුන් යම් රාත්‍රිය මුළුල්ලෙහි එතෙන සමවත් සුවයෙන් දවස් ගෙවූ සේක. එතැන් පටන් ජේතවනාරාමය බුදුන් වහන්සේ නැතිවිටත් ඇත්තාසේම විය. ඒ ආනන්ද බෝධියට දවස් පතා ලක්ෂයක් පරිත්‍යාග කොට කරන ලද්දා වූ උදාර වූ පුජා විය.
මෙසේ තමන් වහන්සේ එක දවසක් පමණ පිටදුන්නා වු බෝකඳ උදේ හවා මේසා මහත්වු පාරිභෝගික පූජා ලත් හෙයිනුත් එසේ වූ ඒ පුජාව විඳීමට සුදුසු හෙයිනුත් මාගේ ස්වාමි දරුව, බුදුරජාණෝ මේ මේ කාරණා යෙනුදු අර්හත් නම් වන සේක .(පූජාවලිය පිටු 404)
ආනන්ද බෝධිය නමින් ප්‍රකට වූ මෙම බෝධින් වහන්සේ රෝපණය සඳහාම ආනන්ද හිමියන් මුල් වූ හෙයින් මෙය ආනන්ද බෝධිය නමින් ප්‍රකට වූයේය.

බුදුපිළිමයේ උපත - 40: 

දෙව්දත් සහ නාලාගිරි දමනය


බෝධිසත්ව කාලයේදී පවා දේවදත්ත බොහෝ අවස්ථාවලදී ආත්මවලදී විරුද්ධ වූ චරිතයක් ලෙසින් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්වන කරුණකි. විශේෂයෙන්ම ජාතක කතාවල මේ බව ඉතා මැනවින් නිරූපණය වී ඇත. බෝධිසත්වයින් වහන්සේට හතුරුකම් කළ දේවදත්ත පිළිබඳ බොහෝ කතා බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.
“බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට අට වසරකට පමණ පෙර දෙව්දත් තෙරහු ලාභ සත්කාර කීර්ති ලෝභයෙන් මත් වූවෝ අජාසත් රජුන් පහදවා ගැනීමට අදිටන් කළහ. අජාසත් රජු තම පියාණන් වූ බිම්බිසාරගෙන් පසු රජකමට පත් වූයේ ක්‍රිස්තු පූර්ව 491 දී ය. දෙව්දත් තෙරුන් ධර්මාවබෝධය සඳහා භාවනා ප්‍රගුණ කරන කාලයේ සෘද්ධි බල ලබාගෙන තිබිණ. ඔහු නාගයින් ඉනේ ඔතාගත් ළදරුවෙකුගේ වෙස් ගෙන අජාසත්තගේ උකුළේ පහළව ඔවුන් භය සන්ත්‍රාසයට පත් කළෝ ය. එවිට දෙව්දත් තමන්ගේ සැබෑ රූපය දැක්වූහ. මහත් විස්මයට පත් වූ අජාසත්හු මහත් හරසර දේවදත්ත තෙරුන්ට දැක්වූහ. මෙයින් දෙව්දත් තෙරුන්ගේ ඉමහත් ආඩම්බරය ඉහළ ගියේ ය. සංඝයාගේ නායකයා ලෙස බුදුරජාණන් වහන්සේගේ තැන ගැනීමේ අදහස දෙව්දත් තෙරුන්ගේ සිතේ ඇති විය. එහෙත් ඒ සිතිවිල්ල දෙව්දත් තෙරුන්ගේ සිතේ මතුවීමත් සමගම දෙව්දත් තෙරුන්ගේ තිබූ සෘද්ධි බල අතුරුදන් විය.
බුදුරජාණන් වහන්සේ වරක් රජගහනුවර දම්දෙසමින් සිටින විට එහි පැමිණි දෙව්දත්හු බුදුන් මහලු හෙයින් සංඝයා තමනට භාර දී සංඝයා මෙහෙයවීමට පරිහරණය කිරීමට තමන්ට ඉඩදෙන ලෙස ඉල්ලා සිටියෝ ය. මෙය ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ දෙව්දතුන් යළිත් වරක් මෙය අවධාරණය කරද්දී මෙසේ කීහ.
“මම ශාරිපුත්‍රයන්ට හා මොග්ගල්ලානයන්ට පවා සංඝයා භාර නොදෙමි. ඔබ වැනි අයෙකුට භාර දෙම්ද?”
එවිට කෝපයට හා අසතුටට පත් දෙව්දත්හු යන්නට ගියහ. බුදුරජාණන් වහන්සේ සංඝයා ලවා නිවේදන කර්මයක් නිකුත් කළහ. එයින් කියැවුණේ දෙව්දතුන් කරන කිසිම දෙයකට ඔවුන්ම විනා, බුදුන් හෝ දහම් හෝ සඟුන් හෝ ගාවා නොගත යුතු බවයි.
ගිජුුකුළු පව්ව
අනතුරුව අජාසත් රජුන් වෙත ගිය දෙව්දත්හු තමන් බුදුන් මරණ බවත් අජාසතුන් තම පියා වූ බිම්බිසාරයන් මැරිය යුතු බවත් යෝජනා කළහ. අජාසත් හු හෙල්ලක් ගෙන එසේ කිරීමට ගියෝ ය. එහෙත් ඇමැතිවරුන්ගේ අතට අසුවූ විට තම අරමුණ ගැන පාපොච්චාරණය කළෝ ය. ඔවුන්ද අනෙක් සියලු කුමන්ත්‍රණකරුවන් ද මරා දැමිය යුතු යැයි ඇමතිවරු උපදෙස් දුන්හ. එහෙත් සැබෑ කුමන්ත්‍රණකරුවා කවුරුන්දැයි දැනගත් පියරජාණෝ තම පුතුනට සමාවා දී රාජ්‍ය පවරාදුන්හ. (බුද්ධ චරිතය – මහාචාර්ය සුචරිත ගම්ලත් පි. 324 – 325 – 2006)
බුදුරජාණන් වහන්සේ සමඟ වෛරී වූ දේවදත්ත වරෙක දුනුවායන් යෙද වූයේ ය. එයද සාර්ථක නොවූ නිසා තමා විසින්ම උපායක් ක්‍රියාත්මක කළ යුතු යැයි සිතා බුදුරජාණන් වහන්සේට ගිජු කුළු පව්වේ සිට මහගල් පෙරලුයේ ඒ පාමුල භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරමින් සිටියදීය. එයින් බිඳුණු ගල්පතුරක් වැදී බුදුරජාණන් වහන්සේගේ පාදයෙන් ලේ ගැලුවේ ය. පාපී පුරුෂය! තථාගතයන්ගේ ඇඟ ලේ සොල්වා මහා පාපයක් කරගත්තේ යැයි බුදුරජාණන් වහන්සේ පැවසූහ. භික්ෂුහු බුදුරජාණන් වහන්සේට ආරක්ෂකයන් යොදනු රිසි වූහ. එහෙත් බුදුරජාණන් වහන්සේ එය අනුමත නොකළහ. තථාගතයින් වහන්සේ මරණු නොහැකිය. (ඉහත සඳහන් ග්‍රන්ථය පි. 226)
ඉන්පසුව දේවදත්ත තෙර බුදුරජාණන් වහන්සේ වඩින මගට ‘නාලාගිරි’ නම් හස්ථි රාජයා එවු පුවත පූජාවලිය ග්‍රන්ථයේ මෙසේ සඳහන්වේ.
‘එකෙණෙහි ඇත්ගොව්වෝ ඇතු සොළොස් කළයක් රා පොවා මත්කොට නිය පිට ගල් ගසා කොහොලින් ඇන කුප්වා සක් සින්නම් ඩවුර බෙර, ඩහර බෙර එකවිට අතෙව මහත් වූ අගිල් කොට ගිණිපිට තෙල්, නැටුවා සේ ඇතු ඉඳ වූහ. එකෙණෙහි ඇත් කල්පාන්ත ගිණිකඳක් සේ කිපී මහ හඬින් ගුගුරා එක පහරින් මා මැසුදම කඩා ඇත් හළ ඇන හෙළා සුණු විසුණු කොට යමුගුරෙන් පොළව අපොළන්නා සේ සොඬබිම ගසගසා කඹය කඩා, සොඬ හස්සෙන් හොසවාගෙන ගැසු පයින් පස් කඳු කඩාපිට දම දමා දුටු දුටුවන් ලුහු බඳවා හසු හසුවූවන් දළඟින් අණ දමා
එකෙනෙහි අනඳ මහ තෙරුන් වහන්සේ දීර්ඝ කාලයෙහි සිට තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිනෂ්ටව කළා වූ මහපෙමවතුරු රඳවා ගත නොහී දෑස් පිරුණු කඳුලෙන් මේ ඇත්මා පළමුව මරා මුත් මාගේ බුදුන් නොමරවයි කියාකියා ඇතුටත් බුදුන්ටත් මධ්‍යයෙහි ගොස් සිට ගත්සේක. බුදුහු ආනන්දය ! ඇලවයා ඇලවයා ඇතෙක් මට කුමක් කෙරේද නා බොළඳ ඇයිද මා බල නුදුටුවී දැයි වදාරණ සේක. බුදුන් එසේ වදාරතත් අනඳ මහ තෙරුන් වහන්සේ ඇල නොවන සේක්මය. එකෙනෙහි බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් පොළව කුඹල් සකක් සේ පෙරළී උන්වහන්සේ පසු කොට බුදුරජාණන් වහන්සේ පළමුව කළේ ය. නැවත අනඳ මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පළමු වූ සේ දැක ඇතු ළංවනසේ දැක ඉදිරියට දිව බුදුරජාණන් වහන්සේ පසුකොට පියා ඇතු ඉදිරියෙහි සිටගත් සේක. තුන්වාරයෙහිම පොළවම සී සැරී උන්වහන්සේ පසුකොට බුදුරජාණන් වහන්සේ පළමු කෙළේය.
එකෙනෙහි පුතෙකු වඩාගෙන ඇත්කෙළ බලමියි වීථියට බට ස්ත්‍රියක් ඇතු දිවත් දිවත් ඇතු කෙරේ කළ බයින් වෙවුලා, මරණ සංඥාවෙන් පුත්‍ර සංඥාව සිහිකොටගෙන නොහී බුද්ධ පූජාවට මල් දමක් දැමුවා සේ පුතු බුදුන් හා ඇතු මැදට දමා තොමෝ කොවේයකට වැදගියාය. එකෙනෙහි කුමරු අන්සරණක් නොදැක බුදුන් දිසාව බල බලා මහඬින් හඬන්නට පටන් ගත්හ.
ඇත් ගිණි කඳක් සේ කිපි, කිපී බුදුරජාණන් වහන්සේ කරා දිවනුවේ කුමරහු දැක ඔහු කරා දිවීය. එකෙනෙහි ස්වාමිදරුවෝ (බුදුරජාණන් වහන්සේ) මිණිරුවනකට තුඩු දිගු කරන නා රජෙකු සේ කුමරහු කරා අත දිගු කරනු ඇත් රජු දැක ‘මා පැමිණියාවූ මේ වීථියෙහි ඛේමද නැගි ඇතා කිහිඹියෙකු ගහටා මරයි නමුත් මාගේ කවර නම් බුද්ධානුභාවයක් දැයි සිතා වදාරා තමන් වහන්සේගේ කරුණා නමැති අකුස්සෙන් (හෙණ්ඩුවෙන්) පැහැර ඇතු රඳවාලා නාලාගිරිය තා මේ වීථියට හළුයේ (එව්වේ) තෙල (මේ) කුමරා නිසා නොවෙයි. අප නිසාය. ඌ කරා නොගොස් අප කරා වරුයි වදාළ සේක.
(පූජාවලිය පි. 650 බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, සංස්කරණය 2010 )
ඉන්පසු නාලාගිරි ඇතා බුදුරජාණන් වහන්සේ අබියස වැඳ වැටුණේ ය.

බුදුපිළිමයේ උපත - 41:  

විශාඛාවයි පූර්වාරාම පූජාවයි


සැවැත්නුවර පුදබිම්හි නටබුන්
විශාඛා මහා උපාසිකාව පිළිබඳ බෞද්ධ සාහිත්‍යයෙහි බොහෝ විස්තර සඳහන්වේ. විශාඛාවන්ගේ විවාහය, දූ දරුවන්, විශාඛාවගේ මේල පළඳනාව හා බුදුරජාණන් වහන්සේට පූර්වාරාමය සාදවා පූජා කිරීම මේ අතරේ ප්‍රධාන කරුණුවලට ඇතුළත්වේ. විශාඛා මහා උපාසිකාවට "මිගාරමාතා" යන නාමයක්ද භාවිතා වූ අන්දම ආදී තවත් බොහෝ තොරතුරු අපට හමුවේ. (අනාථ පිණ්ඩික) හෙවත් අනේපිඬුසිටාණන් ජේත කුමරුගෙන් එම උයන මිලදී ලබාගෙන ජේතවනාරාමය බුදුරජාණන් වහන්සේට පූජා කළේ ය. කෝසල රාජ්‍යයට අයත් පසේනදී කෝසළ හා ඉතා ධනවත් විශාඛාව කෝසල දේශයේ වාසය කළ මහෝපාසිකාවකි. ඇය පූර්වාරාමය පිදීම ද ඉතා ප්‍රකට වූ පුවතකි.
( 2500 years of buddhism – prof p.v. bapat minstry of information and broadcasting govt of india p. 26 – 1956 ) 
එකල ඒ සැවැත්නුවර මිගාර නම් සිටාණන්ගේ පුතණුවෝ පූර්ණවර්ධන නම් කුමාරයෝ වැඩිවිය පැමිණියහ. එකල මව්පියෝ පුතණුවන් කැඳවා තොප කැමති ශරණාත් කියවයි කීහ. පූර්ණවර්ධන කුමරුවෝ රූ ඇත්තෙකැයි මානය ඇතියහ. එසේ හෙයින් ස්ත්‍රියක පාවා දෙතොත් පංච කල්‍යාණයෙන් යුක්ත වූ උත්තම ස්ත්‍රියක පාවාදුන මැනව. නැතහොත් මම ශරණ නොකැමැත්තෙමැයි කීහ. (පූජාවලිය පිටු. අංක 346 )
ඉන් පසු මිගාර සිටුවරයා වේද වේදාන්ත දන්නා බමුණන් එකසියඅට දෙනෙක් කැඳවා ඔවුන් හා කතාබහ කර එයින් බමුණන් අට දෙනෙකු තෝරාගෙන මුළු දඹදිව ඇවිද ඒ පංච කල්‍යාණයෙන් යුත් කුමාරිකාවක් පුතුට සොයා දෙවයි, ඒ බමුණන්ට කීවේ ය. ඉඳින් තොප ඉතා රූ ඇති එවන් පංචකල්‍යාණයෙන් යුක්ත වූ කුමරියක දුටුවේ නම් ලක්ෂයක් වටිනා මේ ස්වර්ණමාලය ඒ කුමාරිකාවට පළඳවා වහා එවයි යැවූය. ඒ බමුණන් අට දෙනා තෙසැට දහසක් ජනපදවල ඇවිද පංච කල්‍යාණයෙන් යුක්ත එවන්වූ කාන්තාවක් නොදැක නැවත සැවැත් නුවරට එන්නාහු ඒ ධනංජය සිටාණන් වසන සාකේත නුවරට පැමිණියහ.
‘එකල ඒ නුවර අවුරුදු පතා නැකත් කෙළි කෙළනා උත්සවයක් වීය. එදා මතු මහලයෙන් යටිමහලට නොබස්නා යටිමහලෙන් එළිපත පැන පිටතට නොයන කුල ස්ත්‍රීහු තමන් තමන් ගේ ගෙවලින් නික්ම පිරිවර හා සමග සියලු සතුනට පෙනි පෙනී උයන් පොකුණු ගංතොට ආදියෙහි සිත් සේ කෙළිමින් සෙමින් ඇවිදිනාහුය. එදවස රජ, බමුණු, වෙළෙඳ, ගොවි සිව්කුලයෙහි ශ්‍රීමත් වූ සල්ලාල පුරුෂයො අද අප හා සමාන කුල ඇති උත්තම ස්තී‍්‍රන් සිත් සේ බලම්හ සුවඳ මල් කඳුගෙන ඒ ඒ සන්ධියෙහි සිටගෙන කැමති කැමති කුලස්ත්‍රීන් කරට මල්දම් දමා සිත්සේ සිටිනාහුය.
එවේලෙහි විශාඛාවෝ පසොළොස් සොළොස් හැවිරිදි වයසින් ස්වර්ණාභරණයෙන් දෙවඟනක සේ සැරසී පන්සියයක් පරිවාර ස්ත්‍රීන් පිරිවරා ගඟදිය කෙළියට යන්නාහු ඒ ශාලාව කරා පැමිණියහ. එකෙනෙහි මහා මේඝයක් නගා වැස්සක් දිව ආය. පන්සියයක් කුමාරිකාවරු ඔවුනොවුන් පරදවා ශාලාවට වන්හ. බමුණෝ (අට දෙනා) ඔවුන් පන්සීයක් දෙන බලා පංච කල්‍යාණයෙන් යුක්ත වු එක ස්ත්‍රියකුද නොදුටුවාහුය. විශාල වූ ශාලාවට එන විශාඛාවෝ වැසි ගුගුරා වසිද්දීත් ඇඟ ඩාපෙනකුත් නොසොල්වා ස්වභාව වූ ගමනින්ම. අසුව අවුදින් ශාලාවට වන්හ. ඇය පැළඳි ආභරණ හා ඉණ තිබූ සළුව එක පැහැර තෙමි ගොස් තිබිණි.
එවේලෙහි (ඉහත සඳහන් කළ බමුණන් අට දෙනා) දෙවඟනකසේ එන විශාඛාවන් දැක දිව දිව සන්සලයෙන් නොඑන නියාවක් නිශ්චලව ඇත් ගමනින් ඇඟ නොසෙල්වා ස්ත්‍රී ලීලායෙන් එන නියාවත් දැක මහපොළව සේ ධෛර්ය සම්පන්න වූ ඉතා පිනැති දරු කෙනෙකැයි කිය කියා සිටියහ.
(පූජාවලිය පි.348 )
මෙසේ ශාලාවට පැමිණි විශාඛා කුමරිය ගැන විමසිලිමත් වූ බමුණෝ සතර මහා කල්‍යාණ ලක්ෂණ දැක දන්ත කල්‍යාණ ලක්ෂණය ශබ්ද මාධුර්යය දැකීමට නම් ඇය හා කතා කළයුතු යැයි සිතූහ. එසේ සිතා මහත්කොට සිනාසී බමුණෝ ඇයගේ මධුර ස්වරය ඇසූහ.
එබස හා සමගම ඒ විශාල වූ ශාලාව රන්මිණික හඬකින් මධූර නාදයක් ඇසුණි. බමුණන් ඒ විශාඛාවගේ මධුර කටහඬ අසා සතුටු වූහ. තවද ඔවුහු විශාඛාවන් හා කතා කළහ.
නැගණියනි, නුඹගේ සූරකම් කියම්හ නුඹගේ මෙතෙක් පරිවාර ස්ත්‍රී හැට දෙනාම නොතෙමී මේ ශාලාවට දිවගෙන ආහ. නුඹ උන් හැමදෙනාට පළමුව ඇවිදින වස්ත්‍රාභරණ තෙමාගෙන පසුව ආවේ නුඹගේ අතපය සිහින් දැයි ඇසූහ. එබසට විශාඛාවෝ කියන්නාහු ආචාර්යවරුනි. එසේ නොකියව මම කාය බල ඇත්තෙමි. කාරණා කාරණා දනිමි. දිවීමෙහි ආදිනවයක් නිසා සෙමෙන් සිට ආමියි කීහ. ආදීනව නම් කිම්දැයි බමුණෝ විචාළහ.
එවේලේ විශාඛාවෝ කියන්නාහු. මේ ලෝකයේ සතර දෙනෙක් දිවෙන අවස්ථාවෙහි ඉතා නොසිරියෙකි. ඔවුහු කවරහුද යත් ඔටුනු පළන් ලොවට අධිපති රජු ය. රජුගේ මඟුලැතුය. තාපස කෙනෙක් දිවයෑම යම් ස්ත්‍රියක පුරුෂයෙකු සේ දිව යන්නේ නම් නොහොබි යැයි විශාඛාව කීවාය. රජුය, මගුලැතුය. තපස්හුය. ස්ත්‍රිය යන සතර දෙනා නොදිවිය යුත්තාහ. මම ද ඊට අයත්වෙමි. ඒ නිසා මම දුවගෙන නොආවෙමි. බමුණෝ ගොස් විශාඛාව ගැනත් ධනංජය කියූ දේවල්ද මිගාර සිටුවරයාට කීහ. විශාඛාවන්ගේ පියාණෝ දියණියන්ට මේල පළඳනාවක් කරවයි. ගණ රන් සහ සතර නැළියක් පබලු හා මැණික් ලබා දී එය සාදවන ලදී.
ඒ මේ පළඳනාව පැළඳ ගත් වේලෙහි විශාඛාවන් ඉස් මුදුණෙහි නටන මොණරෙකුසේ ශෝභමානය. දහසක් රන් පත් සුළංගත් කළ පංචාංගික කාර්ය නාදයේ මධුර නාද ඇසෙයි. ළඟ දුටු කෙනෙක් පළඳනාව යැයි දනිත්. මේ පළඳනාව නව කෙළක් රන් පමණ අගනේ ය.
බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ආපසු සිටුමැදුරට ගිය විශාඛාවන්ට මේ පළඳනාව අමතක විය. ඉන්පසුව එය ඇය යළි භාර ගැනීමට කැමති වූයේ නැත. එය විකුණා ලබන මුදලින් බුදුරජාණන් වහන්සේට ආරාමයක් සාදා පිදීමට ඇය කැමැති වූවාය විකිණීමට තැබූ මේ පළඳනාව ගැනීමට පොහොසත් කිසිකෙනෙකු ඒ සැවැත්නුවර නොවූහ. ඒනිසා ඇයම එය සඳහා මිලදි ගෙන ඒ වියදමෙන් පූර්වාරාමය කරවා විශාඛාවෝ බුදුරජාණන් වහන්සේට පූජා කළාය.
බුදුන්ට විහාරයක් කරවා දන් දෙමැයි සිතා මේළ පළඳනාව රථයක තබා නුවර මුළුල්ල ඇවිදවා එය මිලදී ගන්නා පොහොසත් ස්ත්‍රියක් නොවූහ. නවමසකින් නිමවා ඒ පූර්වාරාමය බුදුරජාණන් වහන්සේට විශාඛාව විසින් පූජා කරන ලදී.