ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

දළදා පූජා පිළිවෙත

මහනුවර අස්ගිරි මහා විහාරිය කාරක සංඝ සභික 
ආචාර්ය 
ගොඩගම මංගල හිමි

දළදා වහන්සේ ලංකාවට වැඩමවා නොබෝ දිනකින්ම එය ජීවමාන බුදුරජාණන් වහන්සේ සේ සලකා පුද සත්කාර කිරීමටත්, ගරු බුහුමන් දැක්වීමටත් ශ්‍රී ලාංකිකයෝ හුරු පුරුදු වූහ. මේ අතර ශී‍්‍ර දළදා වහන්සේ මෙරට රජවරුන්ගේ හස්තසාර වස්තුවක් බවට පත් වීමෙන් පසු රජමාලිගය අසලම තැන්පත් කර ගනිමින් එය ආරක්ෂාව සැලසුවා පමණක් නොව අවශ්‍ය දෛනික තේවා විධීන් හා වාර්ෂික පුද පූජාවන් පැවැත්වීමට ගම්බිම් පුද කරමින් ඊට පූජාවන් හා පිළිවෙත් කළ යුතු ආකාරය පිළිබඳව රාජ ආඥාවන්ද පනවා ඇත.
සෙංකඩගල පුරවරයට දළදා වහන්සේ වැඩම වන තෙක් උන්වහන්සේ උදෙසා තේවාවන් සිදුකරනු ලැබුයේ උත්තරමූල වාසී මහා සංඝයා වහන්සේය. උන්වහන්සේලාගේ එම දෛනික තේවාවන්හි ක්‍රමවේදයන් පිළිබඳව පුරාවිද්‍යාත්මක හෝ වෙනත් ඓතිහාසික මූලාශ්‍රයක සටහනක් නැතත් උන්වහන්සේට කළ යුතු පූජාමය වතාවත් නිසා විවිධ ගම්වර පිදුබවට මහා වංශයත් දාඨාවංශයත් සාක්ෂි දරයි. මේ ආකාරයෙන් වංශකතා සාහිත්‍ය සහ නිකාය ගත ඇතැම් තොරතුරු ආශ්‍රයෙන් ගොඩ නැගු බුද්ධෝපස්ථානයන් පිළිබඳව තොරතුරු අතර ආනන්ද මහතෙරුන් වහන්සේගේ බුද්ධෝපස්ථානීය ක්‍රමවේදයන් සහ බිම්බිසාර මහරජතුමන්ගේ බුද්ධ ගෞරවයත් පිළිබඳව ඇති කතා පුවත් ප්‍රමුඛස්ථානය ලබා තිබේ. ඒ ආශ්‍රයෙන් මෙරට ඇතැම් රජවරු සහ උත්තර මූල මහා සංඝයා වහන්සේද දළදා වහන්සේට යම් යම් වතාවත් කරන්නට ඇති බවට වන උපකල්පනයන් කාලෝචිතයයි හැඟේ.

පළමු විමලධර්මසූරිය රජතුමා විසින් ශ්‍රීමත් දළදා වහන්සේ සෙංකඩගලපුරවරයට වැඩමවා තෙමහල් දළදා මාලිගාවක් කරවා නව රුවනින් සහ සත් රුවනින් අලංකාර කරනලද ස්වර්ණමය කරඬුවක උන්වහන්සේ ගෞරවාකාරයෙන් වඩා හිඳුවා පුද පූජා පවත්වා ඇත. අනතුරුව තම රාජ්‍යයන් ද පුදා රැක බලා ගත් මේ දළදා වහන්සේට එතුමාගේ ඇවෑමෙන් සෙංකඩගල පුරවරයෙන් රජ පැමිණි සෙනරත් දෙවන විමලධර්මසූරිය යන රජවරු විසින්ද නිසි ගෞරව දක්වමින් ආරක්ෂා කරගෙන ආ අතර එතුමන්ලා ගෙන් පසුව ලංකා රාජ්‍යත්වයට පත්වන්නේ ලංකා සම්බුදු සසුන සුරක්ෂිත කරමින් නව ආලෝකයක් බුදුසසුනට ගෙන දෙනු ලබන කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන්ය. එතුමා නායක්කර් වංශිකයකු වුවත් බුදුසසුනේ චිරස්ථිතිය අපේක්ෂා කළේය. රාජාභිසේකයත් සමඟම දළදා වහන්සේගේ හිමිකරුවන් වීමෙන් අධිකතර සන්තෝෂයට පත්ව ලංකා රාජ්‍ය දන්ත ධාතුන් වහන්සේට පිදුවේය. අනතුරුව දහසක් ගම්වර ඊට පුද කරමින් දිනකට තෙවරක් බුදුන් ජීවමාන සමයේ අනඳ තෙරුන් වහන්සේ ජේතවන විහාරයේදි සිදුකරනු ලැබූ පූජා සත්කාර ඒ අයුරින් ඉර, හඳ පවත්නා තුරු කළ යුතු බවට අණකළේය. එයින්ද සෑහීමකට පත් නොවූ මෙතුමාණෝ දිනකට දෙවරක් දළදා වහන්සේ වැඳීම සිරිතක් බවට පත් කර ගනිමින් තමන්ගේ රාජශ්‍රීයට අදාළව තමන් භුක්ති විඳින රාජ්‍ය සම්මානයන්ද දළදා වහන්සේට හිමි කර දීමට කල්පනා කළේය. එනම් දිනකට තෙවරක් පංච තූර්ය නාදය පැවැත්වීමටත් රාජභෝජනයට සමාන භෝජනයක් අලුයම සහ දහවල් බුද්ධ පූජාවන්ට සැකසිය යුතු බවටත් බදාදා දිනයන්හිදී නානමුර මංගල්‍යත් කවිකාර මඩුවත් සමඟ නාද සිත්තම් කළ යුතු බවට නියම කර ඒවා නිසි පරිදි ඉටු කිරීමට කාර්යය මණ්ඩලය හා ඉඩකඩම්ද ලබා දෙන ලදී. ඒ නියමයන්ට අනුව දෛනික තේවා කටයුතු හා වාර්ෂික පූජාවන් පහත ඉටු කිරීමට නියෝග නිකුත් කර ඇත. මේ කාලය වන විට දළදා තේවාවේ නියුක්තව සිටියේ අස්ගිරි විහාරවාසි ඇල්ලේපොල රේවත නම් හිමි නමකි.

ආහාර හා ගිලන් පස පූජාවන්

දන්ත ධාතුන් වහන්සේ උදෙසා දිනපතා පවත්වනු ලබන්නා වූ ආහාර පූජාවට, උදේ හීල් දානයට හාල් සේරු දොලහක බත්ද, අවුල් පත් වර්ග හතක්ද, ව්‍යංජන වර්ග අටක්ද, කැඳ හා කිරිබත්ද විය යුතුය. දහවල් දානයට හාල්සේරු විස්සක බත්ද, ව්‍යංජන වර්ග තිස් දෙකක්ද අවුලුපත් වර්ග අටක්ද, කැඳ හා කිරිබත්ද විය යුතුය. සවස ගිලන්පස දෙවතාවක්ද පිදිය යුතුය.

ආහාර හා ගිලන්පස පූජාවන් සහාය වන කාර්යය මණ්ඩලය

දළදා වහන්සේ වඩා හිඳුවා ඇති ස්ථානයේ පූජාවන් සඳහා තේවාකාරක භික්ෂූන් දෙනමක් වට්ටෝරු රාළ, ගෙපල රාළ, කත්තියන රාළලා දෙදෙනෙක් , හක්ගෙඩිකාර අප්පුලා දෙදෙනෙක්, උඩුමහලේ මොහොට්ටාල හමුදා වාලේ ආරච්චි දුම්බර පිදිවිල්ලේ ආරච්චි සාරසිය පිදවිල්ලේ ආරච්චි හමුදා වාලේ මුරකාරයා පල්ලේමාලයට (මෙම ස්ථානයේ ආගමික කටයුතු කිරීම ආරම්භ කළේ දෙහිගම දියවඩන නිළමේගේ කාලයේ දීය) තේවාකාරක භික්ෂූන් වහන්සේ නමක් පල්ලේ මාලේ රාළ මුලුතැන්ගෙට, මුලුතැන් රාළ මුළුතැන් මුරකරුවෙක් කංකානම් රාළ කෙනෙක්.

ප්‍රත්‍ය පහසුකම්

දළදා වහන්සේ උදෙසා දෛනිකව හා වාර්ෂිකව සිදුකරනු ලබන සියලු පූජා චාරිත්‍රයන් සඳහා ගම්වර දහයක් ප්‍රදානය කර ඇත. එනම් පිටිගොඩ දොරලියද්ද කිතුල්පේ ගුරුදෙණිය, අළුදෙණිය, අලදෙණිය, කළුගමුව රදාගොඩ, වැලිගල්ල, අලපලාවල යනේවාය. මෙම ගම්වලින් මසකට හාල් බර 72 ක් (සේරු 1162) ද දවස් තුනකට වරක් මහේ කත් එනම් එළවළු දුරු මිරිස්, ගොරකාදි සියලු ද්‍රව්‍යයන් සහ තෙල් මල් පහන් යනාදියයි. මේ කාර්යයන් මැනවින් ඉටුකිරීම සඳහා එක් එක් ගම්වරයකට විදානේ කෙනෙක් මනන්නෙක් මොහොට්ටාල කෙනෙක් ඇතුලු ඌලියක්කාරයන් සහ හම්බාකාරයන් වශයෙන් පිරිසක් පත්කර ඇත. මීට අමතරව පරවේණි පංගු මාරුවෙන් පංගු ඌලියක්කාර පංගු ගබඩා ගම් වශයෙන් ප්‍රධාන ගම්වර දහ අටක් ඇතුලු සියලු ගම්වර 970 ක් පූජා කර ඇත.

ශබ්ද පූජාව

දළදා වහන්සේ උදෙසා දෛනිකව සිදුකරනු ලබන පංචතූර්ය වාදනය සඳහාත් දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහාත් පළාත් හතරක පනික් කරුවන්ට පවරා ඇත. දළදා තේවාවේ සහ ආරක්ෂාවේ පනික්කියන් වන්නේ, මාතලේ පිදවිල්ලේ පනික්කයා, දුම්බර පිදවිල්ලේ පනික්කයා , ඉහළ දොළොස් පත්තුවේ පනික්කයා පහල දොළොස්පත්තුවේ පනික්කයා යන අය වේ. මේ පනික්කයන් වෙනුවෙන් දිනපතා මාලිගයේ මුරකරුවන් 12 දෙනෙකුගේ පිරිසක් නැවැත්විය යුතුය. වර්ෂයකට තෙමසක් එක් අයකුගේ රාජකාරි කාලය වේ. එසේම මේ පනික්කයන් හතර දෙනා වෙනුවෙන් දළදා පෙරහරට හේවිසිකාරයන් සම්පාදනය කිරීම කළයුතුව ඇත. මේ හැර සතර පෝයට සහ සතර මංගල්‍යයට (අලුත් සහල් මංගල්‍යය, අවුරුදු මංගල්‍යය, නානමුර මංගල්‍යය, කාර්තික මංගල්‍යය) ද සතියේ සෑම බදාදා දිනකම කවිකාර මඩුව සහ නාගලිංගම් සැපයීමද මේ අය විසින් කළ යුතුව ඇත. කවිකාර මඩුව පස් දෙනෙකුගෙන් සමන්විත යුතු අතර ඊට රිදි උඩැක්කි දෙකක් හා රිදී පන්තේරු හා රිදී තාලම් පටක් තිබිය යුතුව ඇත. මොවුන්ගේ රාජකාර්යයන් මැනවින් සම්බන්ධීකරණය සඳහා සංඝක්කාර නම් මුලාදෑනියකු ද පත් කර ඇත.

නානමුර මංගල්‍යය

මේ නාන මුර මංගල්‍යය සතියේ සෑම බදාදා දිනකම පැවැත්විය යුතු අතර ඊට සම්බන්ධවන තේවාකාරක භික්ෂූන් මෙන්ම ගිහි කාර්යය මණ්ඩලයද නාන මුර අප්පුලා විසින් තම්බා දෙන දෙහි ලෙලි හිස ගා සෝදා අනතුරුව අඹරන ලද සඳුන් දියරයන් ශරීරයේ තවරා නා පිරිසුදුව තේවාවන් සඳහා පැමිණීම රාජ නියමයකි. තේවා මුර භික්ෂූන්ට හා රාළලාට අවශ්‍ය ද්‍රව්‍යයන් සපයා දෙනු ලබන නානමුර අප්පුවාට ගන්නොරුව අගුණාවල ගම් ලබා දී ඇත. නානමුර මංගල්‍යය අවසානයේ ආලත්ති බෑම (ආශිර්වාද කරමින් පහන් වැනීම) උපාසිකාවන් දෙදෙනෙකුද මේ ගම්වලින් පැමිණිය යුතුව ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාගේ යථෝක්ත නියමයන් අදටත් එයාකාරයෙන්ම ඉටුකිරිම තේවා භාර නාහිමිවරුන්ගේ අධිෂ්ඨානය වේ. එයට අවශ්‍ය ප්‍රතිපාදන දළදා ගම්වරයන්ගෙන් ලබාගෙන වතාවත් උදෙසා ප්‍රතියෝජනය කළ යුත්තේ දියවඩන නිළමේතුමාය. මෙ සියල්ල නිසියාකාරයෙන් සිදුවන බවට වගබලාගත යුත්තේ ශ්‍රී දළදා මාලිගයේ විහාරාධිපතිත්වය උසුලන අස්ගිරි, මල්වතු මහානාහිමිවරුන් දෙනම ඇතුලු විහාර දෙකේ සංඝ සභා සාමාජිකයින් වහන්සේලාය.