ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්ලය



ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි චිරාගත සම්ප්‍රදායානුකූල නන් විධ පූජෝපහාරයන් පැරණි රජ දරුවන්ගෙන් ආරම්භ වී අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන ඒම ජාතියේ අභිවර්ධනයට හේතුවී ඇත. එකී නන් විධ පූජා විධි අතර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂිකව සිදුකෙරෙන චිරාගත සම්ප්‍රදායික මංගල සම්මත ප්‍රධාන මංගලෝත්සව සතරකි.

1. වර්ෂයේ දුරුතු මාසයට යෙදෙන අලුත් සහල් මංගල්ලය
2. බක් මාසයට යෙදෙන අලුත් අවුරුදු මංගල්ලය.
3. ඇසළ හෝ නිකිණි මාසයට යෙදෙන ඇසළ පෙරහර මංගල්ලය
4. ඉල් මාසයට යෙදෙන අලුත් සහල් මංගල්ලය යනු ඒ සතරයි.
දුරුතු පොහෝ දිනයට යෙදෙන අලුත් සහල් මංගල්ලය
ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ වාර්ෂිකව ඉටු කෙරෙන සතර මංගල්ලය අතුරෙන් ව්‍යවහාර වර්ෂ ක්‍රමයෙන් පළමු මාසය වූ ජනවාරි මාසයට යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහොය දිනයට නියමිතව ඇති අලුත් සහල් මංගල්‍යය වාර්ෂිකව පැවැත්වෙන උතුම් දළදා පූජා මංගල්ලයකි. අලුත් සහල් මංගල්ලය සඳහා අලුසාල් මංගල්ලය, අලුසල් මංගල්ලය, අලු සහල් මංගල්ලය වැනි වචන ද ව්‍යවහාරයෙහි පවතී.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා ශ්‍රී දළදා වහන්සේ කේන්ද්‍ර කොට ගොඩනැගී ඇති මෙම චාරිත්‍ර විධිය මෙරට කෘෂි ජන ජීවිතය හා බැඳුණු චාරිත්‍ර, පුද සිරිත් සංකලනය වී ගොඩනැගී ඇති බව පෙනේ. ශ්‍රී මහාබෝධීන්වහන්සේ ලක්දිවට වැඩම වූ තැනේ දී දේවානම් පියතිස්ස මහරජාණන් ස්වකීය රාජ්‍යය තුන්වරක්ම ශ්‍රී මහා බෝධීන්වහන්සේ වෙත ද, රාජ්‍ය වර්ෂ 310 වැන්නේ දී ශ්‍රී දළදා වහන්සේ වැඩමවීමෙන් අනතුරුව කිත්සිරිමෙවන් මහ රජු විසින් තුන් වරක්ම මුතු මැණික් ආදී මහාර්ඝ වස්තුවෙන් සපිරුණු මේ ලක් රජය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි ද පූජා කළ බව වංශ කතාවන්ගෙන් හෙළි වේ. එතැන් සිට මෙම මහ පොළොවේ සැබෑ අයිතිකරු බුදුරජාණන් වහන්සේ බවට විශ්වාසයක් බෞද්ධ සමාජය තුළ තහවුරු විය. ඒ නිසාම රටේ සෞභාග්‍යය හා සමෘද්ධිය ප්‍රාර්ථනා කොට සිය වාර්ෂික අස්වැන්නෙන් අග්‍රභාගය බුද්ධ පූජාවට හා දේව පූජාවට වෙන් කොට පිදීමේ සිරිත ඇරඹිණ. ගොවීහු ස්වකීය ගොවිතැන් කටයුතු ආරම්භයේදීම අස්වැන්නේ ප්‍රථමභාගය අලුත් සහල් මංගල්‍යයට පිදීමට භාර වෙති. ඒ අනුව දළදා වහන්සේ විෂයෙහි පැවැත්වෙන මෙම උතුම් චාරිත්‍රය ආරම්භ විය.
ලක්දිව විසූ ඒ ඒ රජදරුවන් ශ්‍රී දළදාවහන්සේ විෂයෙහි අලුත් සහල් මංගල්ලය පවත්වා පූජෝපහාර දැක්වීම සඳහා ඉඩකඩම් පමණක් නොව නිලකරුවන් ද පත් කොට පවරා දුන්හ. එසේ අතීතයේ දී දළදා මාලිගාවට වෙන්කොට පවරා දෙන ලද කුඹුරු ඉඩම්වල අස්වැන්න ගබඩා කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් හා ගම් මට්ටමින් අටු කොටු ද තැන් තැන්වල පිහිටුවා තැබූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදාවහන්සේ විෂයෙහි පූජා කළ කෙත් යාය හා ඉපැරණි අටුව, ගුරුදෙණියෙහි ස්ථාපනය පැවතිණ. එම කුඹුරු යායට වී අමුණු දහ අටක් පමණ වැපිරෙන භූමිභාගයක් අයත් විය. ගුරුදෙණිය කෙත් යාය සහ මහඅටුව මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කරන ලද සංවර්ධන ව්‍යාපෘති යටතේ ජලයෙන් යටවී ගිය අතර, ඒ වෙනුවට ඒ පෞරාණික අටුව පල්ලෙකැලේ භූමිභාගයෙහි දැනට සංරක්ෂණය කොට පිහිටුවා ඇත. ගුරුදෙණිය කුඹුරු යාය වෙනුවට රජයෙන් පවරා දුන් මහවැලි සී කලාපයෙහි පිහිටි යක්කුරේ කෙත් යායෙන් ලැබෙන වසරේ අස්වැන්නේ මුල් කොටස පල්ලෙකැලේ අටුවෙහි තැන්පත් කොට තිබීම සිරිතය. අලුත් සහල් මංගල්ලයට සුබ නැකතින් වී සහල් බෙදා දීම සිදු කෙරෙනුයේ පල්ලෙකැලේ භූමිභාගයේ මෙම පෞරාණික අටුව සංරක්ෂණය කොට ඇති පල්ලෙකැලේදීය.
වී සහල් බෙදා දිය යුතු ලැයිස්තු තුනක් ලේකම් මිටියට අඩංගුය. පළමු ලේඛනය ආරම්භ වනුයේ ශ්‍රී දළදා මාළිගාව නමිනි. පළමු ලැයිස්තුවට විහාර දේවාල 91 ක් ද, දෙවන ලැයිස්තුවට 10 ක් ද, තෙවන ලැයිස්තුවට මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම, අනුනායක හිමිපාණන් වහන්සේලා තුන් නම හා එම විහාර දෙක ද ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රමුඛ රාජකාරී කරුවන්ට ද දේවාලවලට ද වී සහල් බෙදාදීම සිදුවේ. ශ්‍රී දළදා මාළිගාව සතර දේවාලය. මල්වතු අස්ගිරි උභය මහා විහාරය හා ගංගාරාමය යන සිද්ධස්ථානවලට අනෙකුත් විහාර දේවාලවලට වඩා වැඩි ප්‍රමාණයක් වී සහල් වෙන්වන අතර, නොපැමිණි විහාර දේවාලවල වී සහල් සියල්ල ද ශ්‍රී දළදා මාළිගාවට හිමිවේ.
අලුත් සහල් මංගල්ලයට නියමිත මූලික කටයුතු ඇරඹෙන්නේ ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ දියවඩන නිලමේතුමන්ගේ උපදෙස් අනුව සුබ නැකැත් මුහුර්තීන් යොදා නැකැත් මොහොට්ටාල විසින් නැකැත් පත්‍රයක් සම්පාදනය කිරීමෙන් අනතුරුවය. මෙම නැකැත් පත්‍රයෙහි මූලික වශයෙන් ශ්‍රී දන්තධාතු මන්දිරයේ සිට, ශ්‍රී දළදා මාලිගාව පෙරටු කොට සතර දේවාලයන්හි පෙරහර පල්ලේකැලේ අටුව කරා ගමන් කිරීම, දියවඩන නිලමේතුමන්ගේ ප්‍රධානත්වයෙන් වී සහල් බෙදාදීම, පසු දා ගංගාරාම විහාරස්ථානයේ සිට පෙරහරින් ශ්‍රී දන්ත ධාතු මන්දිරය කරා විත් සුබ මුහුර්තියෙන් ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ ගොක් කොළින් සරසා සැකසූ සුවිශේෂී ස්ථානයක වී සහල් ගබඩා කිරීම හා අවසාන වශයෙන් වර්ෂයේ දුරුතු මස පසළොස්වක පොහොය දිනට යෙදෙන සුබ නැකැත් මුහුර්තියෙන් ඒ අලුත් සහල් සේරු අසූවකින් ආහාර සම්පාදනය කරවා, ව්‍යාංජන තිස් දෙකක් හා කැවිලි පිළියෙල කරවා සුබ නැකැත් වේලාවට දෛනික මුළුතැන් බුද්ධ පූජාව සමඟ හාල් සේරු අසූවක දානය සූදානම් කර කිරිබඩ පාත්‍රය පිරෙන සේ දානය පිළියෙල කර දළදාවහන්සේ විෂයෙහි පූජා කිරීම සිදු වේ. බෙදාදුන් වී සහල් ඒ ඒ විහාරස්ථාන හා දේවාලයන්ට රැගෙන යන්නේ එකට නොව වෙන වෙනමය. තම තමන්ට ලැබුණු වී සහල් හේමකද මත තබාගෙන රැගෙන යාම සාමාන්‍ය සිරිතය.
දුරුතු පුර පසළොස්වක පෝයදිනට පෙර දින කාරියකරවන කෝරාළ විසින් විදානේවරුන් හා ආලත්ති අම්මාවරු ලවා අලුත් සහල් පිරිසුදු කොට තබා පෝයදින පෙරවරුවේ ලිප් බැඳ එය වටා කහ දියර ඉස අලුත්සහල් සේරු 80 කින් බුද්ධ පූජාව සූදානම් කරවනු ලැබේ. එම පූජාව සඳහා අවුල්පත් හා ව්‍යාංජන ද සූදානම් කර ගනිති. උඩමාලේ පිරිත් කොටුවෙන් ඇතුල් වූ විට පිවිසෙන හඳුන් කුඩම තුළ හාල් සේරු අසූවකින් පිසූ ආහාර පිරවිය හැකි විශාල කිරිබඩ පාත්‍රය තැන්පත් කොට තබා අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ද, තේවාවභාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අනෙකුත් තේවාභාර ස්වාමීන්වහන්සේලා ද, දියවඩන නිලමේතුමා ඇතුළු නිලකරුවෝ ද මහත් ශ්‍රද්ධාවෙන් කිරිබඩ පාත්‍රය පිරෙන තෙක් දානය බෙදති. ව්‍යාංජන අවුල්පත් හා පලතුරු ආදිය පූජාසනය මත වෙනම තැන්පත් කිරීමෙන් අනතුරුව සියලු දාන වස්තු ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි පූජා කරති. මෙම පූජාව කෙරෙනුයේ දිනපතා අමුතු මුළුතැන් බුද්ධ පූජාවට අමතරවය. සතර දේවාලය ඇතුළු අනෙකුත් විහාරස්ථාන හා දේවාලවල ද මෙකී වේලාවේදී අලුත් සහලින් පිසූ අහරින් බුද්ධ පූජා හා දේව පූජා සිදු කරති.
පෙර රජදරුවන් විසින් අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම මංගල සම්මත අලුත්සහල් මංගල්ලය කෘෂිකර්මය ජීවන වෘත්තිය කරගත් පැරණි ජන සමාජයේ සංස්කෘතිය සමඟ බැඳීවිත්, ලක්දිවට බුදුදහම වැඩම වීමත් සමඟ වඩාත් වර්ධනය වී කලට වැසි ලැබී, අස්වැන්න නිසි පරිදි ලැබී රටට, දැයට, දහමට සමෘද්ධිය සෞභාග්‍යය ලබාගනු වස් චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රමය පූජා විධි ක්‍රමයක් ලෙස අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන ඒම, කාගේත් පහන් සංවේගයට හේතු වෙනවා ඇත.
අලුත් අවුරුදු මංගල්ලය
ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතිකාදී සෑම අංශයකින්ම වැදගත්වන බක් මාසය හැඳින්වෙන්නේ භාග්‍යවත් මාසයක් ලෙසය. එය අටුකොටු පිරී සශ්‍රීකත්වය හා සෞභාග්‍යය වර්ධනය වන මාසයකි. මුළු ජාතියම එකම සුබ මොහොතින් වැඩ අරඹන, ආහාර අනුභව කරන, ගනුදෙනු කරන නෑදෑ හිතමිතුරුකම් වඩවන, අලුත් අවුරුදු දිනය උදාවනුයේ ද බක් මාසයේ දී ය. සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සිදුවෙතැයි සැලකෙන අලුත් අවුරුදු දිනය ජීවන පැවැත්මෙහිලා සූර්යයා මුල්කොට සලකන සෑම ජාතියක් විසින්ම වැදගත් කොට සලකනු ලබයි.
තම රටේ සෑම ජාතික, සාමාජික, සංස්කෘතික උත්සවයක්ම පාහේ ආගමික උත්සවයක් ද වශයෙන් සළකා කටයුතු කිරීම බෞද්ධයන්ගේ සිරිතය. දුරාතීතයේ පටන් මානව සමාජය තුළ පවතින සිරිත් විරිත් විශ්වාසය හෙළා නොදුටු බුදුදහම තුළ බොහෝ ජාතික, සාමාජික, සංස්කෘතික හරයන් බෞද්ධ සිරිත් තුළින් ද ඉස්මතු කොට දැක්වේ. ඒ අනුව කෘෂිකාර්මික ජීවන ක්‍රමය හා බැඳී අනාදිමත් කාලයක් තිස්සේ වර්ධනය වෙමින්, සුරක්ෂිත වෙමින්, පැවත එන අලුත් අවුරුදු චාරිත්‍ර බොහොමයක් ශ්‍රී දළදා මාලිගාව තුළ දාඨා ධාතූන් වහන්සේ කේන්ද්‍ර කොට චිරාගත සම්ප්‍රදායික චාරිත්‍ර වශයෙන් අඛණ්ඩව රාජරාජ මහාමාත්‍යාදීන් විසින් පවත්වා ගෙනැවිත් ඇත. මෙසේ අලුත් අවුරුදු දිනය මුල්කොට පැවැත්වෙන අලුත් අවුරුදු මංගල්ලය ශ්‍රී දළදා මාලිගාවේවාර්ෂික සතර මංගල්ලයන්ගෙන් එක් මංගල සම්මත මංගල්ලයකි.
ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභි ශ්‍රීවර්ධනපුර හෙවත් මහනුවර ශ්‍රී දන්තධාතු මන්දිරයේ සංවත්සර අවුරුදු මංගලෝත්සවයේ මූලික කාර්යය වන්නේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගේ උපදෙස් මත නැකැත් මොහොට්ටාල ලවා ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කොට සියලු විහාර දේවාලයන්හි ඉෂ්ට සිද්ධ කළයුතු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ සුබ මූර්තීන් සම්පාදනය කොට ප්‍රකාශයට පත්කිරීමය. එකී නැකැත් පත්‍රයට අනුව,
1. අලුත් අවුරුදු උදාව.
2. කණ්ඨස්නානය
3. කිරි ඉතිරවීම
4. මුළුතැන් පිළියෙල කිරීම හා පූජා කිරීම
5. නානුමුර මංගල්ලය
යන ප්‍රධාන අවස්ථාවන් සඳහා සුබ නැකැත් සම්පාදනය කරනු ලැබේ.
අවුරුදු දිනයට පෙරින් විදානේවරු ලවා දළදා මාලිගාව පවිත්‍ර කරවා සැරසීම සිදු කෙරේ. දළදා මාලිගාවේ කුඹල්කරුවන් විසින් කිරි ඉතිරවීම හා කිරි ආහාර පිසීමට අලුත් වළං ගෙනැවිත් දිය යුතු ය.
අලුත් අවුරුදු උදාවට පෙර නියමිත දිනයකදී පෙනුම් ගමන් චාරිත්‍රය ඉටු කිරීම ශ්‍රී දළදා මාලිගාවේ සියලු නිලකරුවන් විසින් ඉටුකරනු ලබන වැදගත් චාරිත්‍රයකි. මේ අනුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා බැහැදැක ගෞරවාචාර දැක්වීමට කාරිය කරවන කෝරාළ ඇතුළු අනෙකුත් නිල පංගුකරුවන් ද, අවශේෂ නිලධාරීන් ද, බුලත් හුරුළු සමඟ තෑගි බෝග කත් බැඳගෙන යාමේ සිරිත පෙනුම් ගමන් යාම වශයෙන් සැලකේ. ස්වකීය නිල පංගුවට අදාළ නිල ඇඳුමින් සැරසී යන නිලකරුවන් අදාළ තෑගි බෝග කද තැන්පත් කොට අනුපිළිවෙලට ගොස් බුලත් හුරුළු දී විඳිති. එවිට දියවඩන නිලමේතුමා අදාළ රාජකාරි කරුවන්ට ඇඳුම කුඩම තෑගි කොට දී සංග්‍රහයක් ද පවත්වයි. මෙහිදී පෙර වැරදි කමාකර ගැනීමත්, එළඹෙන වසරට ආශිර්වාදය ලබා ගැනීමත් සිදුවේ.
අලුත් අවුරුදු දිනයේ දී නියමිත නැකැත් පත්‍රයට අනුව හිරු මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමෙහි සුබ පලාභිවර්ධනය පිණිස නියමිත සුබ නැකතට කණ්ඨස්නානය හා කිරි ඉතිරවීම සිදු කෙරේ. කණ්ඨස්නානය බදාදා දිනයන්හි පැවැත්වෙන සප්තාභික පූජාව හෙවත් නානුමුර මංගල්ලයේදී අනුගමනය කරනු ලබන චාරිත්‍රයන්ට සමාන ආකාරයෙන් සිදුකරනු ලැබේ. කණ්ඨස්නානය කිරීමේ දී බදාදා නානුමුර මංගල්ලයේදී මෙන් බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ශ්‍රී දේහය පවිත්‍ර ජලයෙන් ස්නානය කිරීම සංකේතවත් කරන්නේ නැත. මෙහිදී සිදුවන්නේ ශ්‍රී දේහයේ උඩ කොටස පමණක් පවිත්‍ර ජලයෙන් ස්නානය කරවීම සංකේතවත් කිරීමය. කණ්ඨස්නානයේ දී වට්ටෝරුරාළ විසින් අල්ලාගෙන සිටිනු ලබන කැඩපතෙහි ඡායාව මත තේවාභාර නාහිමිපාණන් වහන්සේ සුවඳැති නානු සමඟ තෙල් භාජනයට රන්මල හෝ මැදගිල්ල ඔබා තෙවරක් තවරා පිරිසුදු ජලයෙන් ස්නානය කිරීම සංකේතවත් කිරීම සිදුවේ.
අලුත් අවුරුද්ද උදෙසා කිරි ඉතිරවීම චාරිත්‍රය ද ශ්‍රී දළදා මාලිගාවේ දී සිදුවේ. රටට, ජනතාවට, සෞභාග්‍යය, සමෘද්ධිය ප්‍රාර්ථනා කොට ප්‍රධාන දොරටුව, අබියස දොරටුව හා පල්ලේමාලේ දොරටුව යන තුන් ස්ථානයේ දී ලිප් බැඳ අලුත් වළං තුළ කිරි ඉතිරවීම සිදු කෙරේ.එම අවස්ථාවට තේවාභාර හිමිවරු ද දියවඩන නිලමේතුමා ඇතුළු රාජකාරිකරුවන් ද සහභාගි වෙති. කිරි ඉතිරවීම සඳහා එළකිරි වැනි සත්ව කිරි භාවිතා නොකරන අතර ඒ වෙනුවට පොල්කිරි යොදා ගැනීම සිරිතය. මෙදින නැකතට අනුව මුළුතැන්ගෙය තුළ ආහාර පූජාව සූදානම් කරන අතර නියමිත වේලාවට බුද්ධ පූජා මුළුතැන් මංගල්ලය සිදුකරති.
එළඹෙන ආසන්නම බදාදා දිනයේ ද නානුමුර මංගල්ලය පැවැත්වේ. මේ සඳහා සුදු හඳුන්, රත් හඳුන්, කුංකුම, ගෝරෝචන, කුංකුමප්පුථ විෂ්ණු ක්‍රාන්ති, ගොඩ මානෙල් අල, නස් නාරං මුල්, බෙලි මුල්, නෙළුම් දඬු, වෙනිවැල් ගැට, ඊතණ, ඉඹුල් මැලියම්, දිවුල් මැලියම්, සුවඳ කොට්ටම්, අමු කහ, වියළි ඉඟුරු ආදිය සම සමව ගෙන සාදනු ලබන නානු, කුඩා මුට්ටිවල අසුරා නාථ දේවාල භූමියට කෙටි පෙරහරකින් ගෙන ගොස් වට්ටෝරුවේ සඳහන් වන විහාරස්ථාන හා සතර දේවාල ඇතුළු අනෙකුත් දේවාලවලට බෙදාදීම චිරාගත සම්ප්‍රදායයි. මෙම නානුවලින් නැකතට අනුව ඒ ඒ සිද්ධස්ථාන හා දේවාල වලදී නානුමුර මංගල්ලයන් සිදුවේ. පුණ්‍ය කාලය තුළ ද, අලුත් අවුරුදු දිනය තුළ ද සැදැහැවත් බැතිමතුන්ගෙන් ශ්‍රී දළදා මාළිගාව පිරී ඉතිරී යනු දැක්ක හැකිය. නව වසර සෞභාග්‍යමත් නිරෝගිමත් එකක් බවට පත් කරගැනීම සඳහා දළදා වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම එමඟින් අපේක්ෂිතය.

ඇසළ පෙරහර මංගල්ලය

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පූජෝපහාරය පිණිසත්, නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව්මහාදෙවියන්ට බැතිපුද පිණිසත්, කලට වැසි ලැබ කෙත්වතු අස්වැන්නෙන් සරුසාරවීම පිණිසත්, හෙළයේ සංස්කෘතික අභිමානය ලොවට විදහා දැක්වීම පිණිසත් වාර්ෂිකව පැවැත්වෙන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය හෙළයේ ශාසනික හා සංස්කෘතික අභිමානය ලොවට විදහා දක්වන මහා සංස්කෘතික මංගලෝත්සවයක් වන්නේ ය. බුදුදහම තුළින් උරුම වූ හැදියාව, සාරධර්ම, හැඩගැස්ම, ඥානය, කලාශිල්ප, සදාචාරය, ගුණධර්ම, සිරිත් විරිත්, නීතිරීති හා නිර්මාණ ආදියෙහි ශ්‍රී ශෝභාවය දෙස් විදෙස් හැමදෙනා හමුවෙහි ප්‍රදර්ශනය කරනුයේ ව්‍යවහාර වර්ෂයෙන් 310 වැන්නේ සිට අද වනතුරු චිරාගත සම්ප්‍රදායානුකූල පුදසිරිත් නොකඩ කොට පවත්වන වාර්ෂික දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය තුළිනි. අටලෝ දහමට අනුව තම ජීවිත දැක්ම හැඩගසා ගත් හෙළ කලාකරුවා ස්වකීය කලාකාමීත්වය හා නිර්මාණ කුසලතාවය ආත්මාර්ථයෙන් තොරව සමාජයේ හා දහමේ ප්‍රගමනය පිණිසත්, බුද්ධාලම්භන පී‍්‍රතිය හා ආගම දහම කෙරෙහි ශ්‍රද්ධා භක්තිය ජනිත කරවීම පිණිසත්, කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ලෝකයා හමුවෙහි ඉස්මතු කොට දක්වනුයේ සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය තම එකම වේදිකාව කොටගෙනයි.

දළදා පෙරහරේ උපත

කිත්සිරිමෙවන් මහරජුගේ අභිෂේකයෙන් නමවැන්නේ දී හේමමාලා, දන්තකුමරු විසින් ලක්දිවට වැඩමවූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ රුවන්මය කරඬුවක වඩාහිඳුවා, තම හිසමතින් මේඝගිරි මහාවිහාරයේ සිට ඇතුළු නුවරට වැඩමවූයේ මහපෙරහරින් බව දාඨාවංශයෙන් හෙළි වේ. දළදා වහන්සේ ලැබීමෙන් සක්විති රජය ලැබුණාක් මෙන් මහත් බුද්ධාලම්භන පී‍්‍රතියට පත් කිත්සිරිමෙවන් මහරජතුමා ව්‍යවහාර වර්ෂ 310 වැන්නේ දී මුල්ම දළදා පෙරහර ආරම්භ කළේ ය. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් නවලක්ෂයක් ධන විසඳා, දළදා වහන්සේ වැඩසිටි මුල් දළදා මාළිගාව වූ ධම්මචක්කගේහයේ සිට අභයගිරි විහාරය වෙත අලංකාර විසිතුරු පෙරහරකින් දළදා වහන්සේ වැඩමවා, අනූ දිනක් තිස්සේ ප්‍රදර්ශනය කරවා, මතු රජවන රජුන් විසින් ද මෙම පූජා චාරිත්‍රය පැවැත්විය යුතු බවට චාරිත්ත ලේඛනයක් ලියවූ බව මහාවංශයෙන් හා දාඨාවංශයෙන් හෙළිවේ.
පොළොන්නරු රාජ්‍ය සමයෙහි මහා පරාක්‍රමබාහු (රා.ව. 1158 – 1186) රජතුමා ‘රජ ගෙදර පටන් දළදාගෙය දක්වා යොදුනක් පමණ තැන් මඟ අතුල් තලයක් සෙයින් සමතලා කරවා සියලු සතුන්ගේ වැඩෙහි ඇලුණේ හැම තැන්හි සිතියම් දරන්නා වූ ලෝකානන්දයට හේතු වූ තොරණ කරවා තොරණ යට නන් කුසුම් ඵලෙන විසිතුරු වර්ණ පරම්පරා ඇති පුල් වියන් පැළලි බඳවා, තොරණ ටැම් එකක් පාසා නන් වනින් වසා බැඳ ඒ ටැම් මුදුනුත් ඡත්‍ර චාමර පන්තීන් හා නානා පුෂ්ප ද, විසිතුරු කොඩියෙන් ද, පෙරහර ගමන් ගන්නා මාවත සැරසූහ. වීණා, වස් කුළල්, මෘදංග භේරීගත් ජනයෝ මහත් රූප ශෝභාවෙන් යුතුව නෘතා ගීත වාදනාදියෙන් පුජා කෙරමින්, පෙරහරෙහි ගමන් ගත්හ. ඡත්‍ර, චාමර, ධජ පතකාදිය රැගෙන යන්නන් ද, ඇත්තු ද, අශ්වයෝ ද ගමන් කළෝ ය. රජු විසිතුරු ආභරණයෙන් සැරසී ඇතු පිට නැගී ගමන් කළේ ය. පෙරහර මග ගමන් ගන්නා විට මහවැසි ඇදහැළී පෙරහර යන මග ඇරුණුකොට අන් සියලු තැනහි වැව් අමුණු පිරී ඉතිරී ගොස් ගංවතුර ගැලීය.’ යන විස්තරයෙන් එදා පෙරහර පැවැත්වීමෙන් නියඟය කෙළවර කොට වැසි වසින බවට පැවති විශ්වාසය තහවුරු වෙයි.
දඹදෙණියේ දී පෙරහර යන මග බෙර ඇසක් සේ සමතලා කොට විසිතුරු කළහ.
දඹදෙණි රාජධානි සමයෙහි දෙවන පරාක්‍රමබාහු රජතුමා ‘දඹදෙණි රාජධානියේ සිට සිරිවර්ධනපුරය දක්වා මහාමාර්ගය බෙර ඇසක් සේ සමතලාකොට, සුදු වැලි අතුරා, ධජ පතාකාදියෙන් අලංකාර කරවා, මගදෙපස සැරසීය. විවිධ පූජා වස්තූන් රැගත් ආවතේවකාරයෝ පිළිවෙලින් ගමන්ගත්හ. අනතුරුව රජතුමා ද පෙරහරේ ගමන් ගත්තේ ය.
කුරුණෑගල යුගයෙහි සිව්වන පරාක්‍රමබාහු රජු දවස නගරය ‘දෙවිපුරයක් සේ සරහා උතුරු මුළු අයතැන් සිටිතැන් ගණවැසි කිලිං දෙකුලයෙන් නිස්සන් සමඟ වැඩහුන් කරඬුව ගඳකිලියෙන් මෑත් කොට විසිතුරු කොට සරහන ලද රථයෙහි භද්‍රාසනයට වඩා ගණවැසි කිලිං දෙකුලයෙන් දෙන්නකු කරඬුව වඩා යන ලෙස රථයට නැංවූහ. සුබ ලකුණෙන් යුත් මහා ඇතකු රථයෙහි යොදා ඒ රථය පළමු කොට සුපිළිපන් මහ සඟන පිළිවෙලින් රථයෙහි බඳ පිරිත් හුය ගෙන පිරිත් කෙරෙමින් වැඩියාහ. දොරණා වැසි කුලයෙන් නිසි එකකු ලවා රිදී කටාරයෙන් නුවර පිරිත් පැන් ඉස්සවූහ. රථයෙහි දෙපස සිට චාමර හා සේසත් කරවූහ. දළදාගෙහි ධුරය හා විජ්ජතුන් රථය ගාවා ඉදිරියෙන් ගියහ’ දළදා සිරිතෙහි දැක්වෙන ඉහත විස්තරයන්ගෙන් එදා පැවති දළදා පෙරහරෙහි ගති ස්වභාවය අපට ඉස්මතු කොට දක්වයි.

වර්තමානයට උරුම වූ ඇසළ පෙරහර

මෙසේ රාජධානියෙන් රාජධානියට, පරපුරෙන් පරපුරට පවත්වාගෙන එනු ලබන මෙම අසිරිමත් ඇසළ පෙරහර මංගල්ලය රාජ්‍ය වර්ෂ 1592 වැන්නේ සිට අද දක්වා ගුණාත්මක හා සංඛ්‍යාත්මක වශයෙන් අභිවර්ධනය වෙමින් ජාතියට දායාද වී තිබීම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම මහත් අමන්දානන්දයට හේතුවනු නිසැකය. වාර්ෂිකව පැවැත්වෙන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්ලය, මෙම විශිෂ්ඨ කලා සංස්කෘතියේ අභිමානය දෙස් විදෙස් නරඹන්නන් ඉදිරියේ දිගහැරෙන විචිත්‍රවත් වේදිකාවක් බඳු ය. ඒ තුළින් බෞද්ධ ආගමික වතාවත් හා රාජ්‍යත්වය සමඟ බැඳී වර්ධනය වූ වතාවත් පිළිවෙත් සමඟ එක්ව ලෞකික වින්දනය පමණක් නොව ආධ්‍යාත්මික සුවය ද ලබා දෙයි. ඇසළ පෙරහර මංගල්ලය යනු හුදු විනෝදය පිණිස පවත්වන්නක් නොවේ. මෙම පූජෝත්සවය උත්තම දළදා වහන්සේ විෂයෙහි කෙරෙන පූජෝපහාරයක් වශයෙන් ද, සිව් මහා දේවාලයන්හි වැඩ සිටින්නා වූ නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවිවරුන් විෂයෙහි සිදුකරනු ලබන්නා වූ භක්ති ප්‍රණාම පූජාවක් වශයෙන්, කලට වැසි ලැබ රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ඇතිකරගනු පිණිස ද, පැවැත්වෙන ආගමික පූජෝත්සවය මංගල්ලයක් මෙන්ම හෙළ කලාවේ උදාරත්වය කියාපාන උඩරට නැටුම්, වැයුම්, ගැයුම් කලා ශිල්පීන්ගේ අදීන කලා කුසලතාවය ද ලොවට ප්‍රදර්ශනය කරනු ලබන්නක් වේ.
සිංහලේ අවසන් රාජධානිය වූ මෙම ප්‍රධාන සතර මංගල්ලයට, අමතරව මැයි මාසයේ දී වෙසක් පෙරහර මංගල්ලය ද ජූනි මාසයේ දී පොසොන් පෙරහර මංගල්ලයද, මැයි, ජූනි මාස තුළ වාහල නාග උපසම්පදා පෙරහර මංගල්ලය ද වාර්ෂික පූජා මංගල්ලයන් වශයෙන් අඛණ්ඩව පැවැත්වේ.
වර්තමාන ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය කෙරෙනුයේ දියවඩන නිලමේතුමන්ගේ උපදෙසින් ශ්‍රී දළදා මාළිගාවේ නැකැත් මොහොට්ටාල ලවා සකසනු ලබන සුබ නැකැත්පත්‍රයට අනුවය. ඉන් අනතුරුව පළමුව සිරිත් පරිදි සුබ නැකතින් පේකොට තබන ලද “පණස ”වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව් මහා දේවාලයන් ප්‍රධානකොට ඇති සියලු විහාර දේවාලයන් පූර්වාභිමත්ව ඇසළ කප් සිටුවීමෙන් පෙරහර ආරම්භ කෙරේ. එදින සිට අභ්‍යන්තර පෙරහර පහක් ද, වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහක් ද, රන්දෝලි පෙරහර පහක් ද, දියකැපුම් පෙරහරක් ද, දහවල් පෙරහරක් ද, වළියක් නැටුම ද පැවැත්වීමෙන් පෙරහර සමාප්ත වේ.

වත්මන් ඇසළ පෙරහරේ සියලු සංස්කෘතිකාංග පෙළගැස්ම තුළින් අතීතයේ සිට එහි පැවති ආගමික චාරිත්‍ර හා රාජකීය පිළිවෙත් පිළිබිඹු කරයි. පෙරහරේ පළමුවෙන් ගමන් කරනුයේ කසකරුවෝය. මෙම සිරිත මුලින් පැවතියේ රජුන් කෙරෙහිය. කසකරුවන්ට අනතුරුව ගිනිබෝලකරුවන්, බෞද්ධ කොඩි රැගත් අය, දිසාකොඩි රැගත් අය, කඩු ගෙනයන්නෝ, පෙරමුණේ රාළ, හේවිසිකරුවෝ, ගජනායක නිලමේ, හොරණෑ වාදකයෝ, චාමර නැටුම, ලී කෙළිකරුවෝ පන්තේරු නැටුම, තාලම්, හවඩිදඟය, නෛයියන්ඩි කණ්ඩායම, අත්රබන් කණ්ඩායම, වේවැල් නැටුම, උඩැක්කි නැටුම, තම්මැට්ටම් වාදකයෝ හා පතුරු නැටුම් කණ්ඩායම, වෙස් නැට්ටුවෝ, කාරියකරවන කෝරාළ, නාගසිංහම් වයන්නෝ, උඩුවියන් සහිතව පාවාඩ මතින් කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා, දැලේ ඇතුන්, බෞද්ධ කොඩි, කවිකාරමඬුව, මල් පහන් ගෙනයන්නෝ, දියවඩන නිලමේතුමා පිරිවරාගත් විදානේවරුන් ආදී කලාකරුවෝ හා රාජකාරීකරුවෝ මාළිගාවේ පෙරහරෙහි ගමන් කරති. අලි ඇතුන්, කොඩි චාමර ගත්තවුන්, පන්දම්කරුවන් හා කඩුගත්තවුන් මෙම පෙහරේ ගමන් කිරීම සුවිශේෂී සංස්කෘතික ලක්ෂණයකි. මාළිගාවේ පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි, සිවුමහාදේවාල පෙරහර අනුපිළිවෙළින් ගමන් කිරීම සිදුවේ.
මෙම ඇසළ පෙරහරේ පෙළගැස්ම තුළින් එදා රජදවස සිට පැවති සාමාජික හා රාජකාරී රටාව ද සමඟ බෞද්ධාගමික මෙන්ම රාජකීය උත්සවයන්හි පැවසි සංස්කෘතිකාංග මැනවින් විදහා දක්වයි. අතීතයේ පටන් වර්තමානය දක්වා විදේශීය නරඹන්නන් මෙම පෙරහර මංගල්ලය නැරඹීමට පැමිණෙනුයේ චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත් අනුව අසම්භින්නව පවත්වාගෙන එන ලොව ඇති එකම ආගමික සංස්කෘතික මංගල්ලය මහනුවර ඇසළ පෙරහර මංගල්ලය වන නිසාය. එකී චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රවිධි සුරක්ෂිත වන සේ ඇසළ පෙරහර සංස්කෘතිය නොකඩ කොට පවත්වාගෙන යෑම ජාතියේ මහත් අභිමානයට හේතුවනවා නොඅනුමානය.

කාර්තික මංගල්ලය

මානව ඉතිහාසයේ මුල සිටම වාගේ අග්නි පූජාව විශේෂ වැදගත්කමකින් යුතුව සලකා ඇත. හින්දු සමයේ අග්නි පූජාව තුළින් උපන් ප්‍රදීප පූජාව, දඹදිව උපත ලැබූ බුදු සමයෙහි ද ආමිෂ පූජාවක් වශයෙන් ප්‍රධාන තැනක් ගන්නා පූජාවක් බවට පත්විය. අසූ හාර දහසක් ධර්මස්ඛන්ධය සංකේතවත් කොට අසූ හාර දහසක් පහන් පූජා පින් කම් පැවැත්වීම බෞද්ධයන් අතර අදත් බහුලව පවතී. ස්කන්ධ පුරාණයට අනුව කැති නැකතින් උපන් කාර්තිකේය හෙවත් කඳ සුරිඳු උදෙසා ඉල් මැදි පෝය දින ප්‍රදීප පූජා පැවැත්වීම හින්දුන් තුළ දුරාතීතයේ පටන් පැවතෙන පූජා චාරිත්‍රයකි.
කුරු රට ධනංජය රජු ඉල් මාසයේ දී කාර්තික නම් සැණකෙළියක් පැවැත්වූ වග කුරු ධම්ම ජාතකය කතාවෙහි සඳහන් වේ. ලක්දිව අනුරපුර පණ්ඩුකාභය රජු සමයෙහි චිත්‍රරාජ හා කාලදේවල යක්ෂ නායකයන් උදෙසා කාර්තික පූජාව පැවැත් වූ බව සෙනරත් පරණවිතාන සූරීන් සඳහන් කරයි. කුරුණෑගල යුගයේ රචිත දළදා සිරිතේ හත්වන පිරිසිඳෙහි ව්‍යවස්ථාගතව ඇති අයුරු “අවුරුද්දේ කාන්තියේ රජ දරුවනට පඬුරු පානා නොයෙක් ධූරයෙන් පළමුවැ දළදා පඬුරු පෑ පසුව රජ දරුවනට පඬුරු පානා ඉසා” යනුයෙන්, වසරේ කාර්තිකයේ දී පළමුව දළදා වහන්සේට පඬුරු පූජාකොට දෙවනුව රජතුමාට පඬුරු පිළිගැන්විය යුතු බව පවසයි.
මහනුවර යුගයේ දී දෙවන රාජසිංහ රජතුමාගේ සමයෙහි ද ප්‍රදීප පූජාමය කාර්තික උත්සවය පැවති බව රොබට් නොක්ස්ගේ වාර්තාවෙහි සඳහන් වේ. කන්ද උඩරට නායක්කර් වංශික රජදරුවන් යටතේ කාර්තිකයෙහි, ප්‍රදීප පූජෝත්සවය පැවැත්වීම වඩාත් ප්‍රචලිත වූවායැයි සිතිය හැකිය. මහාවංශයේ සඳහන්වන අයුරින් ශ්‍රී විජය රාජසිංහ රජතුමා ‘ස්වකීය පුරයෙහි ද රටවල ද ඒ ඒ තැන චෛත්‍යයන්හි එක දවසින්ම පහන් පුද කෙරෙත්වායි ආඥා කොට එක රෑම ජන සමූහයා රැස් කරවා එක් ලක්ෂ අනූදහස් සත් සියයක් පහනින් පූජාවක් ද, කෙළේය. මෙසේ එකල් හි රජ තෙමේ ලංකාද්වීප භූමිය උස්ව බබළන පහනින් තාරකාවන් විසින් ගැවසුණු අහස සේ කෙළේ ය.” යනුවෙන් විචිත්‍ර ප්‍රදීප පූජාවක් පැවැත්වූ බව කියැවේ.
මෙසේ කලින් කලට රජ වූ ඒ ඒ රජදරුවන් විසින් ඉෂ්ට සිද්ධ කළා වූ දිනපතා, සතිපතා, මාසික, හා වාර්ෂික විවිධ බුද්ධෝපස්ථාන, වත් පිළිවෙත් පූජා චාරිත්‍ර රාශියක් චිරාගත සම්ප්‍රදායික ඉපැරණි චාරිත්‍ර වශයෙන් අදත් ශ්‍රී දළදා මාළිගාවෙහි පැවැත්වේ. රජ කුමරුවන්ට පසුව දළදා වහන්සේගේ ගිහි භාරකත්වය දරන දියවඩන නිලමේතුමන්ලා විසින් ද අඛණ්ඩව එම පුද සිරිත් පවත්වාගෙන ඒම අපේ ආගමික, ජාතික, සංස්කෘතික උරුමයන් වඩ වඩාත් ඔපවත් කොට ආරක්ෂා කරගැනීමට ඉවහල් විය.
සිංහලේ අවසන් රාජධානිය වූ මෙම ප්‍රධාන සතර මංගල්ලයට, අමතරව මැයි මාසයේ දී වෙසක් පෙරහර මංගල්ලය ද ජූනි මාසයේ දී පොසොන් පෙරහර මංගල්ලයද, මැයි, ජූනි මාස තුළ වාහල නාග උපසම්පදා පෙරහර මංගල්ලය ද වාර්ෂික පූජා මංගල්ලයන් වශයෙන් අඛණ්ඩව පැවැත්වේ.
ශ්‍රී දළදා මාළිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සාදා දෙනු ලබන සුබ නැකැත් මුහුර්තිය අනුව (නොවැම්බර් මාසයේ) ඉල් පුර පසළොස්වක පෝය දිනයේදී ප්‍රදීප පූජා පැවැත්වීම හා පෙරහර මංගල්ලය සිදුකිරීම සාමාන්‍ය සිරිතය. කාර්තික මංගල්ලය දින පහන් දැල්වීමට අවශ්‍ය තෙල් බෙදා දීම සිදුකෙරෙනුයේ ශ්‍රී දළදා මාලිගාවෙනි. කාර්තිකේය දිනට දින දෙකකට පමණ පෙර පෙරහරකින් තෙල් නැලි 103 ක් පමණ ශ්‍රී දළදා මාලිගාවේ සිට නාථ දේවාල භූමියට රැගෙන ගොස් එහිදී කාරියකරවන කෝරාළ ඇතුලු නිල කරුවන් විසින් කාර්තික වට්ටෝරුව අනුව සතර දේවාලය ඇතුළු අනෙකුත් සිද්ධස්ථාන හා දේවාලවලට තෙල් බෙදාදීම සිදුකෙරේ. ඉල්පෝය දිනට පෙර දින ගම් දහයේ විදානේවරු ලවා වැඩසිටින මාලිගාව විසිතුරු ලෙස ගොක්කොළින් සරසවා පුර පෝයදින සුබ මුහුර්තියට අනුව පහන් දල්වා මාළිගා චතුරශ්‍රය වටා කොඩි සේසත්, අලි ඇතුන්, බෙර කරුවන් හා නැට්ටුවන් සහිත කුඩා පෙරහරක් පැවැත්වීම චාරිත්‍ර වශයෙන් සිදුකෙරේ. මෙම පෙරහරේ දියවඩන නිලමේතුමා ගමන් කරන්නේ නැති අතර කාරිය කරවන කෝරාළ කරඬුව භාරව පෙරහරේ ගමන් කරයි. මෙ දිනම කාර්තික වට්ටෝරුවේ සඳහන් අනෙකුත් විහාරස්ථාන හා දේවාලවල ද ප්‍රදීප පූජා පැවැත්වීම සිදුවේ.
ඊට අමතරව වාර්ෂික වෙසක් පෙරහර මංගල්ලය, පොසොන් පෙරහර මංගල්ලය, හා වාහලනාග උපසම්පදා පෙරහර මංගල්ලය යන මංගලෝත්සවයන් ද අඛණ්ඩව සිදු කෙරේ. ශ්‍රී දළදා වහන්සේ මුල් කොට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අදටත් පවත්නා චිරාගත සාම්ප්‍රදායික තේවා චාරිත්‍ර විධි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විෂයෙහි අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන්වහන්සේ විසින් ඉටු කරනු ලැබුවා වූ බුද්ධෝපස්ථාන, බුදු පුද චාරිත්‍රයන්හි ජීවමාන නිදර්ශනයකි. ඒ අති උතුම් ශ්‍රී දළදා වහන්සේ ජීවමානව වැඩ සිටින ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව ආගමික, සංස්කෘතික, සාමාජික හා පුරාවිද්‍යාත්මක අග්‍රගණ්‍ය සංකේතයක් වශයෙන් මෙන්ම, සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ සේ සුරක්ෂිතව පැවතීම මැදරට බෞද්ධ ජනතාවගේ පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම බුද්ධාලම්භන පී‍්‍රතියට හේතුවනවා නො අනුමානය.
ශ්‍රී දළදා මාලිගාවේ
බෞද්ධ කටයුතු කාර්යාංශයේ ලේකම්
කේ. මීගහකුඹුර