ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

බුදුපිළිමයේ උපත - 9

බුදුපිළිමයේ උපත - 51:

අමරාවතී බෞද්ධ කලා සම්ප්‍රදාය ලංකාවේ බුදුපිළිමවලට බලපා ඇති ආකාරය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ
මෙයට වසර දහස් ගණනකට පෙර මෙන්ම මෙකල ද ආන්ද්‍ර ප්‍රදේශ් සමග සමීප සබඳතාවයක් ඇති බව පසුගියදා වත්මන් රජයේ ආරාධනයෙන් ආන්ද්‍ර ප්‍රදේශ්හි මහ ඇමැති බාබු නායිදු මහතාගේ ලංකා සම්ප්‍රාප්තියෙන් පැහැදිලි වේ.
ශ්‍රී ලංකාව දඹදිව අසෝක අධිරාජයාගේ රාජ්‍ය සමයේ දී (ක්‍රි.පූ. 272 – 232 ) මිහිඳු මහරහතන් වහන්සේ වරප්‍රමුඛ ධර්මදූතයාණන් වහන්සේලාගේ වැඩම කරවීමත් සමඟ මෙරට බුදුසමය පිහිටි බව ඉතා ප්‍රකටය. ඒ කාලයේදීම අසෝක රාජ යුගයේ දී මහාදේව නම් වූ රහතන් වහන්සේ වරප්‍රමුඛ ධර්මදූතයාණන් වහන්සේලා ආන්ද්‍ර ප්‍රදේශයටද වැඩම කළ බවට අසෝක රජු එහි පිහිටුවන ලද සෙල්ලිපියකින් සනාථ වී ඇත.

මාළිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ

වියට්නාම් බුද්ධ ප්‍රතිමා වහන්සේ

ඉන්දුනීසියා බුද්ධ ප්‍රතිමා වහන්සේ

අමරාවතී බුද්ධ ප්‍රතිමා වහන්සේ
අනුරාධපුරය පුරාණ ලංකාවේ අගනුවර ලෙසින් පැවතුණු සමයේ මුල් කාලයේ සිටම බුදුසමයේ මූලස්ථානයක් ලෙසින් පැවති බව විදේශීය භික්ෂූන්වහන්සේලා වූ බුද්ධඝෝෂ සහ ධම්මපාල හිමිවරුන් මෙන්ම චීන ජාතික පාහියන් හිමියන්ගේ සංචාරවලින් ද පැහැදිලි වේ. ඒ කාලවලදී ආන්ද්‍ර ප්‍රදේශය සහ ශ්‍රී ලංකාව අතර වාණිජ මෙන්ම බුදු සමය පිළිබඳව ද සබඳතා පැවතුණි. මේ සබඳතා ක්‍රි.ව. 14 වැනි සියවස තෙක්ම පැවති බවට අභිලේඛන හා ලිඛිත සාක්ෂි හමු වී ඇත.
අමරාවතී දාගැබෙහි වටා නෙළන ලද අල්ප උන්නත මූර්ති කැටයම් වලින් බුද්ධ චරිතය ආශි‍්‍රතව නිර්මාණය කර ඇත. මෙම අමරාවතී මූර්ති සම්ප්‍රදාය ලංකාවට මෙන්ම අග්නිදිග ආසියානු රටවල මූර්ති කලාව කෙරෙහි බලපා ඇති බව සඳහන් වේ. උතුරු ඉන්දියාවේ භාරුත් සහ සාංචි පුදබිම්වල දාගැබ් තොරණ ආශි‍්‍රත වූ මූර්ති කැටයම් මෙන්ම අමරාවතී සම්ප්‍රදායේ මූර්ති කැටයම් ඉතා විශිෂ්ටය. (2500 years of buddisam Prof P.V Bapat publication Division of Informations and broudcanting Govt of india p. 337 – ( 1956)  337 – ( 1956) ලංකාවෙන් හමුවී ඇති ඉතා පැරණිතම හිටි බුදුපිළිමය ආන්ද්‍ර ප්‍රදේශ්හි ඇති හුනුගල් විශේෂයකින් සාදන ලද බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සඳහන් කරයි. එම හිටි බුදුපිළිමය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහඉලුප්පල්ලම ගොවිපළේ පොළව යට තිබී හමුවී ඇත. මෙය අඩි හයක් පමණ උස වන අතර ආන්ද්‍ර ප්‍රදේශයෙන් මෙම බුදුපිළිමය ලංකාවට ගෙන එන ලද්දක් බවද මහාචාර්ය පරණවිතාන පඬිවරයා සඳහන් කරයි. අමරාවතී බුදුපිළිම සම්ප්‍රදාය අනුව නිර්මාණය කරන ලද එම බුදුපිළිමය දැනට අනුරාධපුරයේ පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත. මෙම අමරාවතී බුදුපිළිම කලාව වෙංගි සම්ප්‍රදායට අයත් ලෙසින් ද සැළකේ. දකුණු අත අභය මුදාවෙන්ද යුක්ත වූ අතර අනෙක් හස්තයෙන් වම් උරහිස මත සිවුරුපට අල්ලාගෙන ඇතිලෙසින් ද නිර්මාණය කර ඇති මෙම බුදුපිළිමය ඉතා ප්‍රකටය.
1. (Art of the Ancient Sinhalese – Pref Senarat Paranayitana P – 133 (1970)
2. Sinhalayo – Prof Senarat Paranavitana p .17 (1967)
අමරාවති සම්ප්‍රදායට අයත්වන බුදුපිළිම රැසක් ලංකාවේ හමුවී ඇත. ඉතා ප්‍රකට වූ හිටි බුදුපිළිම දෙකක් අනුරාධපුරයේ රුවන්වැලි සෑය මළුවේ දැකිය හැකිය. මෙම අමරාවතී සම්ප්‍රදායට අයත් වන බුදුපිළිමයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි පුදබිමේ ද හමුවී ඇත.
අප විසින් ඉහතින් සඳහන් කරන ලද ආන්ද්‍ර ප්‍රදේශ්හි බිර්ලා පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය විසින් ඇරයුම් කරනු ලැබ කරන ලද දේශනයේදී මෙම බුදුපිළිම පමණක් නොව තවත් බොහෝ අල්ප උන්නත මූර්ති Bas – Relief කැටයම් රැසක් පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලදී. ඒවා ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් ජේතවනාරාම දාගැබ ආශි‍්‍රතව කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී අමරාවතී සහ නාගර්ජුණ කොණ්ඩ පුදබිම් දෙකෙහිම ඇති අමරාවතී මූර්ති කලා සම්ප්‍රදායට අයත් වන අල්ප උන්නත මූර්ති ඵලක රැසක්ම හමුවී තිබීමය. බුදුපිළිම පමණක් නොව එම අල්ප උන්නත මූර්තිඵලකවල මූර්තිමත් කර ඇති කාන්තාරූප ද අමරාවතී මූර්ති සම්ප්‍රදායට අයත් බව සඳහන් කළ යුතුව ඇත.
අමරාවතී බුදුපිළිම කලාවේ බලපෑම හා ආභාසය පුරාණ ශ්‍රී ලංකාවට පමණක් නොව ඉන්දුනීසියාව, තායිලන්තය හා වියට්නාමයටද බලපා ඇත.

බුදුපිළිමයේ උපත - 52:  

අමරාවතී සම්ප්‍රදායේ  මූර්ති කැටයමක්

"සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය පුරාණ භාරතීය මූර්ති කලාවේ නිරූපණය කෙරෙන විශේෂ වූ සිදුවීමකි. විශේෂයෙන් ක්‍රිස්තුවර්ෂ 2 වැනි සියවසේ දී වයඹ දිග භාරතයේ බිහි වූ ගන්ධාර මූර්ති කලාව අනුව නිරූපිත මූර්ති ඵලකවල සිදුහත් කුමරු හා මහාමායා දේවියද පරිවාර කාන්තාවන්ද අල්ප උන්නත ලෙසින් නිරූපණය කර ඇත. අමරාවතී සම්ප්‍රදායේ මෙම මූර්තිඵලකයෙහි දැක්වෙන කාන්තා රූප තුනකි."
ආන්ද්‍ර ප්‍රදේශ්හි ප්‍රමුඛතම ඉතා පුරාණ බෞද්ධ පුදබිම් දෙක ලෙසින් අමරාවතී සහ නාගර්ජුණ කොණ්ඩ ප්‍රකටය. ආන්ද්‍රප්‍රදේශ්හි ඇති සියයකට අධික වූ පුරාණ බෞද්ධ පුදබිම්වල ඇති මූර්ති කැටයම්වල මෙන්ම බුදුපිළිමවල ද සමානතාවයක් දක්නට ලැබීම එහි අනන්‍යතාවය ගැන ඉතා වැදගත් කාරණයක් ලෙසින් පුරා විද්‍යාඥයින්, ඉතිහාසඥයින් මෙන්ම පුරාණ කලා විචාරකයන් විසින් ද ඒකමතිකව පිළිගෙන ඇති කරුණකි.
අමරාවතී සම්ප්‍රදායට අයත් අනුරාධපුර ජේතවනාරාම පුරා විද්‍යා කැණීමකදී හමු වූ කැටයමකි
අමරාවතී පුදබිමෙහි ඇති බෞද්ධ කලා සම්ප්‍රදායට අයත් වන බුදු පිළිම කලාව බෞද්ධ කලාව අතර ලොව ප්‍රකටය. ආන්ද්‍ර ප්‍රදේශ්හි පමණක් නොව විශේෂයෙන්ම අපේ රටේ පුරාණ හිටි බුදුපිළිම කලාවටද මෙම සම්ප්‍රදාය බලපා ඇති නිසාම ඒ බෞද්ධ ප්‍රතිමා කලාව විශේෂයෙන් බුදුපිළිම අමරාවතී සම්ප්‍රදාය ලෙසට නම් කිරීම පවා දැකිය හැකි වන්නේ ය.
පුරාණ ලංකාව සහ ආන්ද්‍ර ප්‍රදේශ්හි අමරාවතී පුදබිම ආශි‍්‍රත වූ මෙම බුදුපිළිම කලාව පමණක් නොව අමරාවතී (දාගැබ දැනට විනාශ වී එහි පාදම පමණකි) දා ගැබෙහි අණ්ඩය හෙවත් දාගැබේ බඳ ප්‍රදේශයට සම්බන්ධ කරන ලද අල්ප උන්නත මූර්ති කැටයම් විශාල සංඛ්‍යාවක් අමරාවතී පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි දක්නට ලැබේ. මෙම අල්ප උන්නත ( (Bas Reliefබා රිලීෆ්) මූර්ති කැටයම්වල සමාන මූර්ති කැටයම් මෙන්ම එම මූර්ති කැටයම් නිර්මාණය කරන ලද හුනුගල් විශේෂයට සමාන වූ හුනු ගලින් නිමවන ලද මූර්ති ඵලක රැසක්ම අප රටේ ඉතා ප්‍රකට පුදබිමක් වූ අනුරාධපුර ජේතවනාරාම දාගැබ ආශි‍්‍රත පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී තිබීම ඉතා වැදගත්ය. ක්‍රිස්තු වර්ෂ හතර වන සියවසේ දී මහසෙන් රජතුමාගේ අනුග්‍රහයෙන් ගොඩනගන ලද අනුරාධපුරයේ ජේතවනාරාම දාගැබ පමණක් නොව ආශි‍්‍රතව වූ විහාර බෝධිඝර, පිළිම ගෙවල්, ඡන්ටාඝර, පෝය ගෙවල්, ආදී බෞද්ධ පුදබිමකට අවශ්‍ය බොහෝ ගොඩනැගිලි අවශේෂ දැකිය හැකිය. ඉතා විශාලතම දාගැබ වූ ජේතවනාරාම දාගැබ ආශි‍්‍රතව ශ්‍රී ලංකා යුනෙස්කෝ සංස්කෘතික ත්‍රිකෝණය විසින් කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී රෝම හා බටහිර ආසියානු රටවල් හා සම්බන්ධ වූ මැටි බඳුන් හා විවිධ වර්ගයේ පුරාවස්තු රැසක්ම හමු වී ඇත. අප අද මෙහිදී විශේෂයෙන් හඳුන්වා දෙන්නේ ජේතවනාරාම දාගැබ අසළ පුරාවිද්‍යා කැණීමේ දී හමු වූ අල්ප උන්නත මූර්තිඵලකයකි.  (The Cultural Triangle Unesco – 1993 – P 82 ) 
සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය පුරාණ භාරතීය මූර්ති කලාවේ නිරූපණය කෙරෙන විශේෂ වූ සිදුවීමකි. විශේෂයෙන් ක්‍රිස්තුවර්ෂ 2 වැනි සියවසේ දී වයඹ දිග භාරතයේ බිහි වූ ගන්ධාර මූර්ති කලාව අනුව නිරූපිත මූර්ති ඵලකවල සිදුහත් කුමරු හා මහාමායා දේවියද පරිවාර කාන්තාවන්ද අල්ප උන්නත ලෙසින් නිරූපණය කර ඇත. අමරාවතී සම්ප්‍රදායේ මෙම මූර්තිඵලකයෙහි දැක්වෙන කාන්තා රූප තුනකි. මෙම කාන්තා රූප අතර මධ්‍යයෙහි සිටින්නේ මහාමායාදේවිය ලෙසින් සැලකේ. මහාමායාදේවිය ලුම්බිනි උයන වෙත කැඳවාගෙන යන කාන්තාවන් දෙදෙනෙක් මෙයින් නිරූපිත වන්නේයැයි මතයක් මූර්ති කලා විචාරකයන් අතරේ පවතී.
මෙහි වැදගත්කම වන්නේ මෙම කාන්තාරූප තුනෙන්ම ඉතා මැනවින් නිරූපණය වන්නේ අමරාවතී දාගැබෙන් හමුවූ අමරාවතී සම්ප්‍රදායේ කාන්තා රූපවල සමානත්වයක් දැරීමයි. මෙම මූර්ති ඵලකය ජේතවනාරාමය දාගැබ අසල කැණීමෙන් හමුවීම මෙහිදී තවත් විශේෂත්වයක් වන්නේ ය.
මෙම කාන්තා රූප තුන සහ අමරාවතී මූර්තිඵලකවල ඇති කාන්තා රූපවල ස්වරූපය පැහැදිලි වන අන්දමේ සිදුහත් උපතට පසු නිරූපණය කෙරෙන මූර්තිඵලයකයක් ද මේ සමඟ දැක්වේ.
මෙම මූර්ති ඵලකයේ සහ ජේතවනාරාම දාගැබ අසල කැණීමෙන් හමුවූ කාන්තා රූප නිරූපිත මූර්ති ඵලකයේ සමානතාවය මෙයින් මැනවින් පැහැදිලි වේ. මහාමායා දේවිය සිදුහත් උපතට පසු අවස්ථාවක ස්නානය සඳහා කැඳවාගෙන යන අන්දම මෙම අමරාවතී මූර්ති ඵලකයෙන් නිරූපණය වන්නේය. මෙය ක්‍රි.ව. 4 – 5 සියවස්වලට අයත්වේ.
මෙම මූර්තිඵලකවල කාන්තාවන්ගේ ඇඳුම් ආයිත්තම් පමණක් නොව ඔවුන්ගේ දෙපා සරසා ඇති වළලුවලින්ද අඟ පසඟ වලින්ද මේ සමානතාවය ඉතා මැනවින් නිරූපණය වන්නේය (Amaravati Prof p.r ramachandra rao - Andrapradesh p – 119 (2002)
ආන්ද්‍ර ප්‍රදේශ්හි අමරාවතී පුදබිමට අයත් මෙම මූර්ති කලා සම්ප්‍රදායට අයත්වන තවත් මූර්ති රැසක්ම ලංකාවෙන් හමුවී ඇත.

බුදුපිළිමයේ උපත - 53: 

අමරාවතී බුදුපිළිම සම්ප්‍රදායට අයත් ලංකාවේ ලෝකඩ හිටි බුදු පිළිම

අමරාවතී බෞද්ධ කලා සම්ප්‍රදාය ලංකාවේ පුරාණ බුදුපිළිම නිර්මාණයේදි එම මුර්ති ශිල්පීන් අනුගමනය කර ඇති අන්දම ඉතා ප්‍රකටය. ඊට අයත්වන තවත් ශිලාමය බුදුපිළිම ලෙසින් කුච්චවේලි බුදුපිළිමය, පොළොන්නරුවේ පබළු වෙහෙර අසලින් සොයාගත් බුදුපිළිම දෙකද තවත් මෙවැනි බුද්ධප්‍රතිමා කොටස්ද ලංකාවෙන් හමුවි ඇත. මීට අමතරව අමරාවතී බුදුපිළිම සම්ප්‍රදායට අයත්වන ලෝකඩ බුදුපිළිමද ලංකාවෙන් සොයාගෙන ඇත.
මේ අනුව බුද්ධ ප්‍රතිමා ගලින් (ශිලාමය) ලෝහයෙන්, දැවයෙන්, මැටිවලින් හා බදාමයෙන්ද සාදා තිබේ. එමෙන්ම කොරල්, පළිඟු හා ජේඩ් මාධ්‍යයන් ගෙන්ද සාදන ලද බුදුපිළිම පුරාණ ලංකාවේ නිර්මාණය කර තිබේ.
වෙහෙරගලින් හමුවූ රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ
අප මෙහිදී විශේෂ අවධානය යොමු කරන්නේ අමරාවතී බුදුපිළිම සම්ප්‍රදාය අනුව ලංකාවේ අපේ ලෝකඩ මූර්ති ශිල්පීන් නිර්මාණය කරන ලද ලෝකඩ බුදුපිළිම පිළිබඳවයි.
මෑතකදී අනුරාධපුරයෙන් සොයාගත් ලෝකඩ වාත්තු කිරීමේ වැඩපළ ශ්‍රී ලාංකික ශිල්පියාද ඉතා ඈත යුගයක සිට මෙම කලාව දැන සිටි බව සනාථ කරයි. පුරාණ අත්පොත්, පුරාණ වාත්තු ප්‍රතිමා නිර්මාණය කිරීම ඉතා උසස් ලෙස නිර්දේශ කොට ඇති අතර අභ්‍යන්තරයේ කුහර සහිතව ප්‍රතිමා වාත්තු කිරීමේ ක්‍රමයද පිළිගෙන තිබේ. (ඉධභබඩ ධ්දඤඪචද ඕපධදලඥඵ –ඹ්ඪතඪබ ඬචතච ඵඥපඪඥඵ ධට ඪදඤඪචද ඒඅඊ.මධත 9-ඛ්.ඵඪමචපචථචථභපබඪ-1963)
පූර්ණ වාත්තු හා අභ්‍යන්තරයේ කුහර සහිත ප්‍රතිමා යන දෙවර්ගයකටම අයත් නිදර්ශන අපට හමු වී ඇත. මේ අනුව ලෝකඩ මූර්ති නිර්මාණයේ ඇතුළත කුහර සහිතවද අනෙක් ක්‍රමය ගණවාත්තු ක්‍රමය අනුවද සාදා තිබුණු බව ඉතා ප්‍රකට කරුණකි.
මෙම රන් ආලේපිත හිටි බුදුපිළිමය පමණක් නොව තවත් මූර්ති රැසක් මෙම පුදබිමේ තිබී හමුවී ඇත. අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය හමුවූයේද මෙම පුදබිමෙනි. මෙම බුදුපිළිමයේ උස සෙන්ටිමීටර් 66 කි. මෙම බුදු පිළිමයෙහිද අංග ලක්ෂණ අනුව අමරාවති බුදුපිළිම කලාවට අනුගත වන අන්දමින් නිර්මාණය කර ඇති බව ඉතා පැහැදිලිය. මෙහි සිවුර ඉතා අලංකාර ලෙසින් නිර්මාණය කර ඇත. මෙම බුදු පිළිමයෙහි මද ස්මිතය (මන්ද ස්මිතය – මද සිනහව) මෙයින් නිරූපණය වෙයි.
තවත් ලෝකඩ හිටි බුදුපිළිමයක් (අභ්‍යන්තර කුහර සහිත වාත්තු ක්‍රමයට නිර්මාණය කරනලද) කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇත. ක්‍රි.ව. 8 වන සියවසට අයත්සේ සැළකෙන මෙම බුදුපිළිමය රන් ආලේපිතය. වෙන්වෙන් ලෙසින් වාත්තු කරන ලද පාදමක් මත මෙම හිටි බුදුපිළිමය නිරූපණය කර ඇත්තේ පාද දෙකටම සිරුරේ බර සමව බෙදීයන පරිදි ඍජු හිටි මුද්‍රාවෙනි. මඳක් ඔසවාගෙන සිටින (දකුණුඅත) ලෙසින් නිරූපිත අභය මුද්‍රාව වන අතර වම් අතින් චීවරයේ කොණ දරා සිටී. ඒකාංශ පාරුපනයෙන් යුතු (එක උරහිසක් විවෘතව සිවුර සැකසීම) සිවුර දැකිය හැකිය. මේ සියලුම අංග ලක්ෂණ අග්නි දිග ඉන්දියාවේ ආන්ද්‍ර කලා ශෛලියේ උරුමයන්ට සමානය. (ශ්‍රී ලංකාවේ ලෝකඩ මූර්ති උරුමය – ප්‍රධාන සංස්කාරක මහාචාර්ය ලීලානන්ද පේ‍්‍රමතිලක පි. 25- 1995 – කෞතුකාගාරය දෙපාර්තමේන්තුව)
ලෝකඩ මූර්ති නිර්මාණය ශිලා හෝ මැටි වැනි ද්‍රව්‍යවලින් සාදනවාට වඩා වෙනස් නිසා ඒ පිළිබඳවද මෙහිදී සඳහන් කිරීම ඉතා වැදගත්වනු ඇත. බෞද්ධ මුර්ති කලාවට අයත් හිටි බුදුපිළිම හා හිඳි පිළිම පමණක් නොව විශාල සංඛ්‍යාවක් මහායාන බුදුසමයට අයත්වන බෝධිසත්ව පිළිම රැසක්ම පසුගිය වසර එකසිය පනහ පමණ කාලය තුළ හමුවී ඇත. පොළොන්නරු යුගයේදී තවත් විශේෂිත වු ලෝකඩ මුර්ති රැසක්ම හමුවී ඇත. ඒවා හින්දු ආගම ආශි‍්‍රත වූ ලෝකඩ රූපය. මේ අතරේ ඉතා විශාල මූර්තියක් නව රාජ නමින් ලෝකඩ වාත්තු ක්‍රමය අනුව සාදා තිබේ. මීට අමතරව හින්දු දෙවිවරුන් නිරූපිත මුර්ති රැසක්ම හමුවී ඇත.
“බෞද්ධ හෝ වේවා හින්දු හෝ වේවා ආගමික ස්වරූපයේ ලෝකඩ මූර්ති සකස් කරන ලද්දේ ඇතුළත සිදුර සහිත සුසිර වාත්තු ක්‍රමයට සහ ඝන ස්කන්ධයක් වන පරිදි ඝන වාත්තු ක්‍රමයටය. සාමාන්‍යයෙන් ඉන්දියාවේ ලෝහ ප්‍රතිමා සකස් කර ඇත්තේ අප විසින් ඈත අවදියක සිට දැන සිටි ඉටි දියකර හැරීමේ ක්‍රමයටය. ඝන වාත්තු ක්‍රමයට අනුව නිපදවනලද හොඳම නිදර්ශන වන්නේ වෙහෙරගලින් ලැබුණ රන් ආලේපිත ලෝකඩ ප්‍රතිමාවන්ය. (ඉහත සඳහන් ග්‍රන්ථයට මහාචාර්ය ලීලානන්ද පේ‍්‍රමතිලක මහතා ලියූ ලිපිය පි. 3)
මෙහිදී ඉතා වැදගත්වන්නේ මෙම සමහර ලෝකඩ ප්‍රතිමා නිර්මාණයේදීද ආන්ද්‍ර ප්‍රදේශ්හි අමරාවතී බුදුපිළිම මූර්ති කලා සම්ප්‍රදායට අයත්වන අංග ලක්ෂණ අනුගමනය කර තිබීමය.

බුදුපිළිමයේ උපත - 54:  

අනුරාධපුර ජේතවනාරාමය දාගැබ අසලින් හමු වූ අමරාවතී සම්ප්‍රදායේ මූර්ති කැටයමක්

අමරාවතී බෞද්ධ කලා ශිල්ප සමඟ අප රටේ පුරාණ මූර්ති කැටයම් කලාවට සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමේ කලාවට කිසියම් බලපෑමක් කර ඇති බව ඉතා පැහැදිලි කරුණකි. විශේෂයෙන් හිටි බුදුපිළිම නිර්මාණයේදී අමරාවතී බුදුපිළිම කලාව අනුව සිවුර නිර්මාණය කිරීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙන ලක්ෂණයකි.
ජේතවනාරාමය දාගැබ පුරාණ ශ්‍රී ලංකාවේ විශාලතම දාගැබ ලෙසින් සැළකේ. අනුරාධපුරයේ අභයගිරිය හා ජේතවනාරාමය ලෝක උරුමයන් ලෙසට යුනෙස්කෝ ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී අනුරාධපුර රාජධානියේ රජ කළ මහසෙන් රජතුමා ගේ කාලය වන විට අනුරාධපුරය දක්ෂිණ භාරතීය මෙන්ම උත්තර භාරතීය මූර්ති කලා ශිල්පයන්ගේ බලපෑම පමණක් නොව එතෙක් පැවති ථෙරවාදී බුදුසමයට අමතරව මහායාන බුදු සමයේ දියුණුවක්ද පැවති බවට ජේතවනාරාම දාගැබ ආශි‍්‍රතව පුරාවිද්‍යා කැණීම්වලදි හමුවූ රන්පත් ඉරු හතක් (මහායාන බුදු සමයට අයත් ග්‍රන්ථයක කොටසක් ලියූ ) හමුවීමෙන්ද පැහැදිලි වෙයි. ජේතවනාරාමය ආශි‍්‍රතව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සහ ඊට පෙර පිහිටුවන ලද ශ්‍රී ලංකා යුනෙස්කෝ සංස්කෘතික ත්‍රිකෝණය මගින් කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින්ද අමරාවතී සම්ප්‍රදායට අයත් වන මූර්ති කැටයම් හමුවී ඇත. අප මීට ඉහතදී මහාමායා දේවිය හා සම්බන්ධ වූ මූර්ති කැටයමක් පිළිබඳ විස්තර කළෙමු.
ජේතවනාරාම දාගැබ ආශි‍්‍රතව කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී හමුවූ පර්සියානු ,ගී‍්‍රක, ඉන්දියානු සහ වෙනත් රටවල් ආශි‍්‍රත වු මැටි බඳුන් හා වෙනත් පුරාවස්තු රැසක්ම හමුවී ඇති බව ජේතවන දාගැබ අසල පිහිටුවා ඇති කෞතුකාගාරයේ ඇති පුරාවස්තුවලින් පැහැදිළි වේ.

මේ අතරේ ඉතා විශිෂ්ටතම මූර්ති දෙකක් දැකිය හැකිය. මෙය කිසියම් වාස්තු විද්‍යාත්මක ගොඩනැගිල්ලක් හා බද්ධ වූ මූර්ති කැටයම් ලෙසින්ද සමහරු සළකති. මෙම මූර්තියෙහි නිරූපිත ප්‍රධාන රූප කොටස් තුනකි. ඉන් ප්‍රමුඛ ප්‍රතිමාව කාන්තා රූපයකි. කාන්තා රූපය යක්ෂණී රුවක් ලෙසින්ද හැඳින්වේ. මෙම කාන්තා රූපය පූර්ණ ලෙසින්ම අමරාවතී බෞද්ධ සම්ප්‍රදායට අයත්වන නාරිදේහ ලක්ෂණවලින් සමන්විත වන්නේය. ඇය සිටගෙන සිටින අන්දම ත්‍රිභංග (තුන් පළකින් නැවුණු) ස්වරූපයකි. මෙහි ඉතාමත් වැදගත් කරුණ වන්නේ මේ කාන්තා රූපය සමඟ ඉහළින් බද්ධ වී ඇති මකර රූපයක මූර්ති කැටයම ද දකුණු අත හා බද්ධ වන ලෙසින් නෙළා ඇති කුළුණක මූර්තියක්ද නිරූපණය කර තිබීමයි.

මෙම මූර්ති ඉතා නිර්මාණාත්මකව නිමවා ඇති අතර අමරාවතී බෞද්ධ මූර්ති කලා සම්ප්‍රදාය අනුව නිර්මාණය කර ඇති බව සඳහන් කළ යුතුව ඇත. මෙම කාන්තාවගේ ඉඟ සුඟ මෙන්ම ඇඳුමද දෙපාවල පළඳවා ඇති වළලුද අමරාවතී බෞද්ධ කලා සම්ප්‍රදාය මැනවින් නිරූපණය කරන බව විද්වතුන් පිළිගෙන ඇති කරුණකි.
මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙම අමරාවති මූර්ති සම්ප්‍රදාය ලංකාවේ හමුවී ඇති අන්දම මෙසේ විස්තර කරයි.
ශෛලිය අනුව බලන විට කණ්ඨක චේතියේ (මිහින්තලේ) නැගෙනහිර සහ දකුණ වාහල්කඩවල කැටයම් රූප නොගැඹුරුය. පැතලිය. ඒවා ත්‍රිමාන රූපවලට වඩා සෙවනැලි ලෙසින් නිමවා තිබේ. මේ ලක්ෂණ හා වෙනත් ලක්ෂණ අතින් ඒවා භාරුත්, සාංචි සහ බුද්ධගයා යන ස්ථානවල දක්නට ලැබෙන ඉන්දියාවේ කැටයම් කලාවේ පුරාණතම දේශීය සම්ප්‍රදායේ කැටයම්වලට සමානය. මෙරට පුරාණතම මූර්ති කැටයම් වනාහි මධ්‍ය ඉන්දියාවේ දේශීය සම්ප්‍රදායේ පුරාණතම අවධිය මුල්කොට ගෙන ඇති බව මෙයින් පැහැදිලි වේ.
පෞරාණික ලක්ෂණ මේ කැටයම්වලට වඩා ඉතා දියුණු ශිල්පීය න්‍යායක් හෙළි කරන මූර්ති කැටයම් රූප විශේෂයෙන්ම අභයගිරිය සහ ජේතවන දාගැබ්වල වාහල්කඩවල දක්නට ලැබේ. අභයගිරියේ දකුණු වාහල්කඩ සමහර රූප ඉඩකඩ පිළිබඳ හැඟීමක් ඇතිව නෙළා ඉතා ගැඹුරට කොටා තිබෙන නමුත් ඉදිරිපස බලා සිටින ඒවා දරදඬු ඉරියව්වකින් යුක්තය. මේ ලක්ෂණ වලින් අපට සිහිපත්වන්නේ අමරාවතියෙහි සහ නාගර්ජුන කොණ්ඩ පුදබිම්වලින් ආන්ද්‍ර දේශයේ වෙනත් බෞද්ධ ස්ථානවලත් ඇති මූර්ති කැටයම්ය. (ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය පළවෙනි කාණ්ඩයට මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ලියූ – පැරණි යුගයේ ආගම සහ කලා ශිල්ප – පිටු අංක 256 –(1964)

බුදුපිළිමයේ උපත - 55: 

බුද්ධ චරිතය ආශි‍්‍රත සිදුවීමක් නිරූපණය කෙරෙන අමරාවතී සම්ප්‍රදායට අයත් ලංකාවේ මූර්ති කැටයම

" මෙහි බෝසතාණන් වහන්සේගේ හිස කෙස් කපා ඇති අතර ඒ අසල සිටගෙන සිටින අශ්වයා බෝසතාණන් වහන්සේගේ පාදය දිවෙන් ස්පර්ශ කරන ආකාරය නිරූපණය කර තිබේ"
බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණයට පෙර සහ ඉන් පසුව පුරාණ භාරතීය මූර්ති ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද මූර්තිකැටයම් මෙකල ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි භාරුත් සහ සාංචි පුදබිම් ආශි‍්‍රතව දක්නට ලැබේ. එපමණක් ද නොවේ බුදුපිළිම ප්‍රථමවරට නිර්මාණය කරන ලද වයඹදිග ඉන්දියාවේ ගන්ධාර සහ ඒ කුශාන රාජවංශික කණිෂ්ක රාජයුගයේ දීම දක්නට ලැබෙන මථුරා බෞද්ධ කලා ආශ්‍රයෙන්ද නිර්මාණය වූ බව ඉතා ප්‍රකටය.

දක්ෂිණ භාරතයේ ආන්ද්‍ර ප්‍රදේශ්හි මූර්ති කැටයම් නිර්මාණය අමරාවති නාගර්ජුණකොණ්ඩ හා ජගයිපේත වැනි පුදබිම්වලින්ද හමුවී ඇත. අප රටේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය සඳහා මෙම අමරාවතී මූර්ති කලාව කෙතරම් බලපා ඇද්ද යන්න ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් ලියන ලද Art of the Ancient Sinhalese  නමැති ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත. ඒ පිළිබඳ සඳහන් කරන විට මෙහිදී අමරාවතී මූර්ති කලාව ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද සුවිශේෂ වූ අල්ප උන්නත (Bas Relief)  (බා රිලීෆ්) මූර්ති කැටයමක් කෙරෙහි අපගේ අවධානය මෙහිදී යොමු කළ යුතුව ඇත. මෙම මූර්ති කැටයමෙන් ප්‍රකාශ කෙරෙන්නේ සිදුහත් කුමරා විසින් කරන ලද අභිනිෂ්ක්‍රමණ අවස්ථාවයි. ඉහතින් 
සඳහන් කරන ලද පුරාණ භාරතීය මූර්ති කැටයම්වලින් මෙම කරුණ ඉතා අලංකාර ලෙසින් මූර්තිමත් කර ඇති අන්දම ඉතා ප්‍රකටය.එහෙත් අප රටේ පුරාණ මූර්ති ශිල්පීන් විසින් සිදුහත් කුමරුන්ගේ හෝ බුද්ධ චරිතයේ අවස්ථා මූර්ති කැටයම් වලින් නිරූපණය කිරීම ඉතාමත් කලාතුරකින් සිදු කරන ලද්දක් බව මෙහිදී අවධාරණය කළයුතුව ඇත. මූර්ති කැටයම් දෙකක් ලංකාවේ හමුවී ඇත. එයින් එකක් පිළිබඳ අපි මීට ඉහතදී මහාමායාදේවිය හා සම්බන්ධ මූර්තියක් ලෙසින් (බුදුපිළිමයේ උපත – 52) සඳහන් කර ඇත. අනෙක් මූර්ති කැටයම් හමුවී ඇත්තේ සිදුහත් කුමාරයාගේ මහාභිනිෂ්ක්‍රමණය පිළිබඳවය.

මේ ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙසේ සඳහන් කරයි. මෙම මූර්ති කැටයමෙන් නිරූපණය වන්නේ සිදුහත් කුමරුන්ගේ මහා අභිනිෂ්ක්‍රමණයයි. අම්බලන්තොට, ගිරිහඬු විහාරයෙන් මෙම මූර්ති කැටයම හමු වී ඇත. මෙහි බෝසතාණන් වහන්සේගේ හිස කෙස් කපා ඇති අතර ඒ අසල සිටගෙන සිටින අශ්වයා බෝසතාණන් වහන්සේගේ පාදය දිවෙන් ස්පර්ශ කරන ආකාරය නිරූපණය කර තිබේ. මෙහි වම්පස පහත ඡන්න අමාත්‍යවරයාට නමස්කාර කරන අයුරින් නෙළා තිබේ. මෙම මූර්ති කැටයමෙහි ඉහළ සිදුහත් කුමරුන්ගේ වම්පස ඉන්දු දෙවියන්ද දකුණු පස බ්‍රහ්මයා ද නිරූපිතය. වම්පසින් සිටගෙන සිටින්නේ බෝසතාණන් වහන්සේට ඇඳුම ගෙන එන ලද දෙවියාගේ රූපයයි. බෝසතාණන් වහන්සේගේ හිසවටා රශ්මි මාලාවක් ද නිරූපණය කර ඇත. (Art of the Ancient Sinhalese rof Senarat Parannavitana p .129 – 1970 )
මෙම මූර්ති කැටයම සිදුහත් කුමරුන්ගේ අභිනිෂ්ක්‍රමණය දක්වන අතර මෙය ලංකාවට ආන්ද්‍ර දේශයෙන් ගෙන එන ලද මූර්ති කැටයමක් යැයි ආචාර්ය පූජ්‍ය කඹුරුපිටියේ වනරතන නා හිමියෝ සඳහන් කරති. (මූර්ති කලාව ග්‍රන්ථය සඳහා උන්වහන්සේ ලියන ලද ලිපිය පි. 4 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. – 1990)
ගිරිහඬු සෑය යන නමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද ඉතා ප්‍රකට පුදබිමක් ඇත. මෙම මූර්ති පුදබිම අම්බලන්තොට (හම්බන්තොට) ප්‍රදේශයට අයත් වන්නේ ය.
සිද්ධාර්ථ කුමාරයාගේ මහා අභිනිෂ්ක්‍රමණය පිළිබඳ මූර්ති ඉහතින් සඳහන් කරන ලද සාංචි ගන්ධාර, අමරාවතී, නාගර්ජුණ කොණ්ඩ යන පුදබිම්වලින්ද හමුවී ඇති බව ඉතා ප්‍රකට කරුණකි. අමරාවතී පුදබිමෙන්ම හමු වූ මූර්ති කැටයමකින් මේ බව හෙළිවෙයි. අපේ රටෙන් හමු වූ මෙම අභිනිෂ්ක්‍රමණය නිරූපණය කෙරෙන මූර්ති කැටයමෙන් ප්‍රකාශ කෙරෙන අවස්ථාව සාංචි, ගන්ධාර, මථුරා හෝ අමරාවතී යන කිසිදු පුදබිමකින් හමු නොවී තිබීමද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.