පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි
ත්‍රිවිධ චෛත්‍යය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු ජීවමාන බුදුරදුන් වෙනුවෙන් වඩාත් පූජෝපහාරය ලද අතර ඉන් ද උන්වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ සුවිශේෂත්වයට පත්විය. ධාතු වන්දනය වනාහි මහින්දාගමනයෙන් පසු දේවානම්පියතිස්ස රජුගේ අනුග්‍රාහකත්වයෙන් ථූපාරාමය ගොඩනැංවීමෙන් පසු මෙරට ජනතාව අතර ප්‍රචලිතවීම ඇරඹිණි.
ක්‍රිස්තු පූර්ව සිවුවැනි සියවසේදී බුදුරදුන්ගේ වාම ශ්‍රී දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වීමත් සමඟ දේශීය සංස්කෘතියේ ප්‍රධාන පූජ්‍ය වස්තුවක් බවට දළදා වහන්සේ පත්වන අතර රාජ්‍ය උරුමකාරිත්වයේ එක් ප්‍රධාන සංකේතයක් බවටද පත්වේ. ලක්දිවට වැඩම කළ ධාතුන් වහන්සේ අතරින් බුදුරදුන්ගේ සුවාසුදහසක් ධර්මස්කන්ධයේ පහස ලද සියවස් ගණනක් මුළුල්ලේ ශාරිරික ධාතුන්වහන්සේ නමක් ලෙසින් බෞද්ධයන්ගේ ගෞරවයට හා වන්දනීයත්වයට පාත්‍ර විය. කිතිසිරිමෙවන් රජු දවස සිට ලක්දිව වූ නිවැසි පාලක පිරිස මෙන්ම මහජනතාවත් අතර දළදා වහන්සේ සම්බන්ධයෙන් ගොඩනැඟෙන දෘඪතර බැඳීම මත දළදා වහන්සේ වනාහි සෞභාග්‍යයේ සංකේතය ලෙසින්ද පාලකයන්ගේ සධාර්මිකත්වයේ සංකේතය බවට ද රාජ්‍යයේ උරුමය සංකේතවත් කළ ආගමික පූජ්‍ය වස්තුව ලෙසින්ද පිදුම් ලැබීය. මේ නිසාම දේශීය පාලක පිරිස් ශ්‍රී දළදා වහන්සේ මහත් බැතියෙන් යුතුව ආරක්ෂා කිරීමට නිරන්තරයෙන්ම පියවර ගත්හ.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු ඛෙම හිමියන් වෙතින් පළමුව වාම දංෂ්ඨ්‍රාව හස්ත ගතවන්නේ බ්‍රහ්මදත්ත රජු වෙතය. බ්‍රහ්මදත්ත රජුගේ සිට ගුහසීව රජු දක්වා දඹදිව පාලක පිරිස් විසින් වාම දංෂ්ඨ්‍රා ධාතුන් වහන්සේ වෙනුවෙන් අනේක විධ පූජාවන් කළ අතර එහි මතු ආරක්ෂාව පතා හේමමාලා හා දන්ත කුමරුන් විසින් ලක්දිවට වැඩම කළහ. ලක්දිවට වැඩමවනු ලැබූ දළදා වහන්සේ අනුරාධපුර ධම්මචක්කගේහයේ තැම්පත් කරමින් අභයගිරියේ භාරකාරත්වයට පත් පත් කරනු ලැබූ අතර අභයගිරිය මුල්කොට ශ්‍රී දළදාව විෂයෙහි වාර්ෂිකව පැවැති පෙරහර මංගල්‍යය ගැන අදහස් දක්වන ෆාහියන් භික්ෂුව මෙය පාලකයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක් ලෙසින් පෙන්වා දෙයි.
අනුරාධපුර යුගයේ පසු කාලීන පාලක පිරිස් මහත් බැතියෙන් දළදා වහන්සේ වෙනුවෙන් පූජාවන් පැවැත්වීමට ඉදිරිපත් වූ බවට සාක්ෂි මූලාශ්‍ර තුළ අන්තර්ගතය. ධාතුසේන රජු (ක්‍රි.ව. 455-473) දළදා මැඳුර ප්‍රතිසංස්කරණය කොට දළදා වහන්සේ වෙනුවෙන් කරඬුවක්ද පූජා කර සිය භක්ත්‍යාදරය දක්වා තිබෙන අතර පළමුවැනි අග්ගබෝධි (ක්‍රි.ව. 571-604) දළදා මැදුර මැණික් ගලින් අලංකාර කොට ස්වර්ණමය කරඩුවක්ද දළදාවහන්සේට පූජා කර තිබේ. හයවැනි සියවසේදී පළමු අග්ගබෝධි රජු දළදා මැඳුරේ නවාංග රැසක් කරමින් ස්වර්ණමය කරඩුවක් පූජා කොට ඇත. දෙවැනි සේන, සිවුවැනි, උදය රජු හා සිවුවැනි මිහිඳු රජු ද දළදා වහන්සේ වෙනුවෙන් කළ උපහාරයන් ගැන තොරතුරු වංසකථාව පෙන්වා දෙයි.
අනුරාධපුර පාලන සමයේදී ශ්‍රී මහා බෝධියට මෙන්ම දළදා වහන්සේට සමතැන් ලැබුණ මුත් රාජ්‍යත්වයේ සංකේතයක් ලෙසින් දළදාව වඩාත් ඉස්මතු නොවිය. නමුත් පාලකයාගේ සධාර්මිකත්වය දැක්වීමට දළදාමැඳුර ආසන්නයේ මාළිගයක වෙසෙමින් ආගමික කටයුතුවලදී ප්‍රමුඛත්වයෙන් කටයුතු කිරීමට සැම පාලකයෙකුම පාහේ උත්සුක වූ බවක් පෙනේ.
අනුරාධපුර යුගයෙන් පසු පාලන කේන්ද්‍රස්ථානය පොළොන්නරුවට සංකේන්ද්‍රගත වීමත් සමඟම දළදාව හා සම්බන්ධිත වු ආකල්පවලද වර්ධනයක් දැකිය හැකි අතර රාජත්වය හා දළදාව අතර සංකේතාත්මක සම්බන්ධතාවද වඩාත් වර්ධනය වීමක් දැකිය හැකිවේ. දළදා වහන්සේ අදාළ ස්ථානයට වැඩමවාගෙන යාමට හැකිවීම මීට එක් හේතුවක් වන්නට ඇති අතරම පාලනමය වශයෙන්ද බෙදුනු රටක් ප්‍රධාන පාලකයා කවරෙක්ද යන්න හා කේන්ද්‍රය පාලන මධ්‍යස්ථානය නිශ්චය කිරීමේදීද එක් සාධකයක් බවට දළදාව හා පාදාව පත් වූ බව පැහැදිලි කරුණකි. දළදා වහන්සේ වැඩසිටීම තුළින් බුදුරදුන් ජීවමානව වැඩ සිටීමක් සේ සැලකීම මෙහි ගැබ්වන ඇති යථාර්ථය වේ. පොළොන්නරුව යුගයේ සිටම මෙම තත්ත්වය වඩාත් පැහැදිලි වේ. දළදාව යමෙකු සතු වේ නම් ඔහුට සිංහල ඔටුන්න හා ප්‍රමුඛත්වය හිමිවේය යන සංකල්පයද ක්‍රමයෙන් ජන විඥානය තුළ වර්ධනය වීමක්ද දැකිය හැකිය.
අනුරාධපුර යුගයේ අවසන් භාගයේ එල්ලවන විදේශීය ආක්‍රමණ හමුවේ උත්තරෝල මූලයේ භික්ෂූන් විසින් දළදාව සඟවන අතර පළමුවැනි විජයබාහුගේ නායකත්වයට පත්වීමත්, සමඟ (ක්‍රි.ව. 1055- 1110) දළදාව පොළොන්නරුවට වැඩමවා ඇත. පළමුවැනි විජයබාහු රජු (ක්‍රි.ව. 1070-1110) විසින් ද දළදා වහන්සේ වෙනුවෙන් රජුගේ අණ පරිදි නුවරගල් දේව සෙන්පති විසින් මෙම මාලිගය ගොඩනංවා ඇත. අටදාගේ නම් නව මැඳුරක් ඉදිකොට දැඩි ආරක්ෂාව පතා වෙෙලෙක්කාර හමුදා භාරයට පත් කළ බව වෙෙලෙක්කාර පුවරු ලිපියේ දැක්වේ. එතැන් සිට රාජත්වයේ ප්‍රමුඛ සංකේතයක් බවට දළදා වහන්සේ පත්ය.
පළමුවැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) නායකත්වයට පත්වන සමය වන එහි භාරකාරත්වය දකුණේ ප්‍රාදේශීය නායකත්වයක් ඇතිව සිටි මානාභරණ කුමරුවන් මෑණියන් වූ සුගලා බිසව සතුව පැවැතිණි. මෙහිදී රජරට ප්‍රදේශයේ බලය දෙවන ගජබාහුගෙන් සියතට ගැනීමට පරාක්‍රමබාහු සමත් වුව ද ඔහුගේ එකම අභිප්‍රාය වූයේ කෙසේ හෝ දළදා වහන්සේ සියතට ගැනීමය. රාජත්වය සුරක්ෂිතවීම කෙරෙහි දළදාව ද අත්‍යවශ්‍ය කරුණක් ලෙසින් පළමුවැනි පරාක්‍රමබාහු රජු සැලකීය. දළදාව අපේක්ෂාවෙන් පරාක්‍රමබාහුට දකුණට රක්ඛණ සෙන්පති යටතේ ආක්‍රමණයක් එල්ල කිරීමට සිදුවේ. මෙහිදී ආක්‍රමණිකයනට මුහුණදීමට අපොහොසත් වූ සුගලාව දළදාව ද රැගෙන උරුවෙලයට පලා යන අතර දළදාව ආරක්ෂා කර ගැනීම පිණිස උදුන් දොර අමරගිරියේ දළදාව ඇය සඟවා තබන ලද බව දළදා පූජාවලිය කියයි. පරාක්‍රමබාහු රජුගේ අණපරිදි මඤ්ජු අධිකාර විසින් අත්පත් කරගත් දළදාව සුරක්ෂිතව අඤ්ජන කම්මනාථ භාරයේ පොළොන්නරුවට ගෙන එන ලද අතර මහින්ද නම් ඇමැතියකු විසින් පොළොන්නරුවේ ගොඩනංවන ලද විජයොත්පාය නම් මාළිගයක දළදාව තැන්පත් කර පුදපූජාවන් පවත්වා ඇත. පරාක්‍රමබාහු දවස දළදා වහන්සේ වෙනුවෙන් මාළිගා තුනක් පමණ කළ බව දැක්වේ.
නිශ්ශංකමල්ල රජු විසින් දළදා වහන්සේ වෙනුවෙන් හැටදාගේය කළ බව දැක්වෙන අතර මනරම් ප්‍රාසාදයක වූ නිශ්ශංක ලතා මණ්ඩපයට වැඩමවා මහජන ප්‍රදර්ශනයක්ද පවත්වා තිබේ. කාලිංග මාඝගේ ආක්‍රමණයත් නිසා උත්තරමුල නිවැසි වාචිස්සර නම් භික්ෂුවක් මෙම අවස්ථාවේ දළදාව හා පාදාව ගෙන කොත්මලේ ප්‍රදේශයේ සඟවා තබා ඉන්දියාවට සරණාගතයකු ලෙසින් පලාගිය බව දැක්වේ.
කාලිංග මාඝගේ බලය මර්ධනය කොට දඹදෙණිය අගනගරය පාලන කේන්ද්‍රස්ථානය බවට පත් කරගත් තෙවැනි විජයබාහුගේ (ක්‍රි.ව. 1232-1236) ආරාධනය මත දළදාව ද දඹදෙණි පුරවරයට වැඩම කරවීමට කටයුතු යොදන අතර එලෙසින් වැඩම කළ දළදා වහන්සේ තෙවන විජයබාහු රජු විසින් බෙලිගල ඉදිකළ ආරක්ෂිත මාලිගයක තැම්පත් කරනු ලැබීය. දෙවැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1236-1271) විසින් බිල්ල පර්වතයෙන් ජම්බුදොණියට දළදාව වැඩමවා සිය මාළිගයේ අසල ඉදිකළ තෙමහල් මන්දිරයක දළදාව තැම්පත් කළ බව වංශකථාව කියයි. දෙවැනි පරාක්‍රමබාහු තමා උපන් සිරිවර්ධන පුරයට දළදා වහන්සේ වසරක් පාසා වැඩම කරවා තෙමසක් මුළුල්ලේ මහජන ප්‍රදර්ශන ද පවත්වා ඇති අතර සිය පියා වූ තෙවැනි විජයබාහු රජු ඉදිකළ විජයසුන්දරාරාමයට ද දළදාව වැඩමවා ඇත.
සිවුවැනි විජයබාහු (ක්‍රි.ව. 1271-1272) දළදාව හා පාදාව පෙරළා සිය අභිෂේක අවස්ථාවේදී පොළොන්නරුවට වැඩමවා අටදාගෙයි තැම්පත් කොට ඇත.
පළමුවැනි භුවනෙකබාහු රජු (ක්‍රි.ව. 1272-1284) සමයේ සිය අගනගරය යාපහුවට මාරු කිරීමෙන් පසු දළදාව හා පාදාව ද පොළොන්නරුවේ සිට යාපහුවේ සුන්දරගිරි පර්වතයේ ඉදිකළ ශෛලමය මන්දිරයකට වැඩමා පුද සත්කාර කළ බව වංසකථාව දක්වයි. භුවනෙකබාහුගෙන් පසු එල්ලවූ පාණ්ඩ්‍ය ආක්‍රමණයේදී ආක්‍රමණිකයන් විසින් දළදාව ඉන්දියාවට ගෙනයනු ලැබූ මුත් තෙවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1287-1293) දළදාව හා පාදාව ලක්දිවට වැඩමා පෙරළා පොළොන්නරුවේ අටදාගේ තැම්පත්කොට පුද පූජා පැවැත්වීය.
කුරුණෑගල කේන්ද්‍රකර ගනිමින් පාලන මධ්‍යස්ථානය එහි සංකේන්ද්‍ර වීමත් සමඟ පොළොන්නරුවේ වැඩ සිටි දළදා වහන්සේ දෙවැනි භුවනෙකබාහු රජු විසින් (ක්‍රි.ව. 1284-1302) වැඩමවා මාළිගය අසල ඉදිකරන ලද මනරම් මැදුරක තැම්පත් කරන ලදී. සිවුවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1302-1327) විසින් පසුව මාළිගය අසල ගොඩනැඟිල්ලක දළදා වහන්සේ වඩා හිඳුවා මහත් පූජෝපහාර දක්වන ලද අතර දළදා වහන්සේ වෙනුවෙන් කළ යුතු පුදපූජා හා සත්කාර සංවිධානය කරමින් ඒ සඳහා නීතිමය ව්‍යවස්ථා තිස් අටක් පනවන ලදී.
සිවුවෙනි භුවනෙකබාහු රජු (ක්‍රි.ව. 1341-1351) විසින් ගම්පලට සිය පාලන මධ්‍යස්ථානය මාරු කිරීමත් සමඟ ගම්පල නියම්ගම්පාය විහාරස්ථානය වෙත දළදා වහන්සේ වැඩමවාගෙන ගොස් ඇති බව විඟුලවත්ත සෙල්ලිපිය දක්වන තොරතුරු වලින් සනාථ වේ. ගම්පල රාජධානියේ විසූ පස්වැනි භුවනෙකබාහු විසින් රිදී හත්දහසකින් ධාතු කරඬුවක් සාදා දළදා වහන්සේට විශේෂ පූජාවක්ද කළ බව ඉතිහාසගතය. අස්ගිරි තල්පත දක්වන ආකාරයට ගම්පල සිට වීරබාහු කුමරු විසින් දළදා වහන්සේ කෝට්ටේ රාජධානිය වෙත ගෙන ආ බව දැක්වේ. සවැනි පරාක්‍රමබාහු සමයේ (ක්‍රි.ව. 1410-1468) දී අලංකාර මණ්ඩපයක ශ්‍රී ජයවර්ධනපුර දළදා වහන්සේ වැඩ සිටි ආකාරය සංදේශ සාහිත්‍යයෙන් සනාථවන කරුණකි. විශේෂයෙන් කෝට්ටේ රජ මාළිගය අසල මෙම මන්දිරය ඉදිකොට තිබේ.
පෘතුගීසින්ගේ අණසකට කෝට්ටේ රාජධානිය නතුවීමත් ධර්මපාල වැනි රූකඩ පාලකයන් පාලනයට පත්වීමත් නිසා දළදා වහන්සේට නිසි ගරුත්වයක් නොමැතිවීම නිසා හිපිටියේ දිවෙන රාළ විසින් දළදා වහන්සේ සීතාවකට වැඩම කරවන ලද අතර දෙල්ගමු විහාරයට වැඩමවා සඟවා තබන ලද බව කියවේ. පෘතුගීසි ලේඛනවල මෙම කාලයේදී දළදාව විනාශ කරන ලද බව සඳහන්වන මුත් එම තොරතුරුවල කිසිදු සත්‍යයක් ඇති බව නොපෙනේ.
පොල්ගස්අංගේ හිමියන් විසින් සීතාවක රාජසිංහ රජුට බියෙන් වනාන්තරගතව සිටි දෙවනගල රතනාලංකාර හිමියන් මැදමහනුවරට වැඩම කරවා උන්වහන්සේගේ උදවුවෙන් දළදා වහන්සේද දෙල්ගමුව වෙහෙරින් මැදමහනුවරට වැඩමවාගෙන එන ලදී. මෙම කටයුතුවලදී කොනප්පු බණ්ඩාරයන්ගේ පූර්ණ සහාය ලබා ගෙන තිබේ. ඒ අනුව ඔහු කෙරෙහි ජනතාවගේ පැවැති අප්‍රසාදය පහව ගිය අතර උඩරට වැසියෝ කොනප්පු බණ්ඩාරයන්ගේ පැත්ත ගත්හ. පෘතුගීසි ජාතික ලෝපැස් ද සෞසාගේ මූලිකත්වයෙන් දෝන කතරිනා කුමරියද පෙරටු කරගෙන කි‍්‍ර.ව. 1594 දී උඩරට රාජ්‍යය ලබා ගැනීමේ අරමුණෙන් පෘතුගීසි සේනාවෝ කන්ද උඩරටට පැමිණියහ. එහිදී කොනප්පු බණ්ඩාරයන් වටා පෙළ ගැසුනු දේශීය බට පිරිස් දන්තුරේ සටනේදීද සුසා පරාජය කරන ලද අතර දෝන කතරිනා කුමරියද කුසුමාසන දේවිය ලෙසින් විවාහ කරගත් කොනප්පු බණ්ඩාරයන් සෙංකඩගල නුවර (මහනුවර) පළමුවැනි විමලධර්මසූරිය (ක්‍රි.ව. 1592-1604) නමින් නායකත්වයට පත්වීමෙන් පසු දළදා වහන්සේද සෙංකඩගල නුවරට වැඩම කරවා තමා නායකත්වයට ශක්තිමක් කරගත් අතර දළදා වහන්සේ වෙනුවෙන් සිය මාලිගය ආසන්නයේම දළදා මැදුරක්ද ගොඩ නංවා ඇත.මහනුවර ඉදිකළ මෙම දළදා මැඳුර පෘතුගීසින් විසින් මහනුවරට එල්ල කළ ආක්‍රමණයක දී විනාශ වු අතර වත්මන්හි දක්නට ලැබෙන දෙමහල් දළදා මාලිගය ගොඩනැංවීමේ ගරුත්වය වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජටු (ක්‍රි.ව. 1709-1739) හිමිවේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747-1782) විසින් දළදා මැදුර ප්‍රතිසංස්කරණය කොට තිබේ. මහනුවර දළදා පෙරහැර වැලිවිට සඟරාජයාණන් වහන්සේගේ අනුශාසනය මත නැවත ආරම්භ කිරීමේ ගරුත්වයද කීර්ති ශ්‍රී රාජසිංහ රජුට හිමිවේ.
මෙලෙසින් වර්ෂ 1815 දක්වා උඩරට නායකත්වයට පත් සෑම පාලකයෙක්ම දළදාව රැක ගැනීමට හා මහත් හරසර පුදපූජාවන් දැක්වීමට මහත් වෙහෙසක් ගත් අතර පරසතුරන් අතට දළදාව පත්නොවීමට වග බලාගත්හ. ඒ අනුව සතුරු ආක්‍රමණ එල්ලවු අවස්ථාවල දී මැදමහනුවර, හඟුරන්කෙත, අරත්තන හා කිතුල්පේ වැනි ස්ථානවල දළදාව සඟවා තැබීමට ඔවුහු උත්සාහ ගත්හ. එමෙන්ම 1815 දී ඉංගී‍්‍රසින් අතට උඩරට රාජධානිය පත්වීමත් සමඟ සිය බලය බෞද්ධ ජනතාව අතර තහවුරු කරගැනීම අරභයා දළදාවේ භාරකාරත්වයද සියතට ගැනීමටද ඔවුහු කටයුතු කළහ. ඉංගී‍්‍රසින්ට එරෙහිව 1818 දී දියත් වු වෙල්ලස්ස කැරැල්ලේ දී විල්බාවේ රාළ තමා රජු හැටියට හඟුරන්කෙත දී ප්‍රකාශයට පත් කළේද දළදාව ප්‍රදර්ශනය කරමිනි. එමෙන්ම දළදාවට නිසි සැලකුම් නොලැබෙන බව දත් වාරියපොල සුමංගල හිමියන් දළදාව පැහැරගෙන ගිය බවත් එම අවධියේදි ඉංගී‍්‍රසින් විසින් දළදාව නැවැත සොයා ගැනීමට ගත් උත්සාහයෙන්ද පෙනීයනුයේ දළදාව සිය බලය තහවුරු කර ගැනීමට කෙතෙක් දුරට හේතුවීද යන්නයි. ඉංගී‍්‍රසින් විසින් නැවත දළදා වහන්සේගේ භාරකාරත්වය මල්වතු අස්ගිරි උභය විහාරයන්හි මහානායක මාහිමිවරුන් වෙත පවරන ලද අතර වර්තමානය දක්වාම එහි චාරිත්‍ර කටයුතු ඉටු කිරීමේ කාර්යයන්හි උන්වහන්සේලා නිරතව සිටිති.
දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීම ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මෙන්ම ආගමික භූමිකාව තුළද සුවිශේෂ වූ කඩඉමක් සනිටුහන් කරයි. බුදුරදුන්ගේ අති උත්තම ශාරීරික ධාතුන් වහන්සේ නමක් වන දළදා වහන්සේ ලාංකේය බෞද්ධ ප්‍රජාව අතට පත්වීම මහත් භාග්‍යක් කොට සැලකු අතරම දළදාව හා සම්බන්ධ අභිචාරවිධි හා චින්තන සම්ප්‍රදායක් මෙන්ම සංස්කෘතිකාංග රැසක්ද පොදු ජීවන පැවැත්මට මෙන්ම ජනජීවිතයටද බද්ධ විය. නිසි කලට වැසි ලැබ රට සශ්‍රීකවීමද කාල විපත්වලින් තොරව සෞභාග්‍ය ලැබීමේ මහිමයක්ද දළදාව කෙරෙහි නිසි පුදපූජා කිරීමෙන් ලැබෙන බවත් පාලකයාගේ දැහැමි බවත් රාජත්වයට උරුමකම් කීමේ එක් සංකේතයක් ලෙසින්ද සැලකීමේ සම්ප්‍රදාය ද අභිචාර විධි ඔස්සේ ලක්වැසි ජනවිඥානයට අතීතයේ සිට බද්ධව පවතියි. දළදාව හිමිකර ගැනීම සිය දේශපාලන අයිතිය තහවුරු කළා පමණක් නොව දළදාවට හිමිකම් කීම හා දළදා සේවනේ විසීමද සිය රාජත්වයේ අභිමානවත් බව තීව්‍ර කිරීමක් ලෙසින්ද දොළොස් වැනි සියවසින් පසු ශ්‍රී ලාංකේය පාලන ස්තරායනය තුළ මුල් බැසගත් ආකල්පයක් ලෙසින්ද දශක ගණනාවක් මුළුල්ලේ මෙරට ක්‍රියාත්මක මට්ටමින්ම පැවැති බව ඓතිහාසික තොරතුරු විමර්ශනය කරන විට ඉස්මතුවන වැදගත් කරුණකි.