ආනන්ද බෝධින් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාමය පිහිටි පුදබිමෙහි දොරටුව අසළ රෝපණය කරන ලද බව අට්ඨකතාවල සඳහන් වන කරුණකි.
 “භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරින් වැඩමවා ජනපද චාරිකාවෙහි යෙදුණු දිනයක බොහෝ උපාසක උපාසිකාවෝ සුවඳ මල් ආදිය ගෙන බුද්ධ වන්දනාව සඳහා දෙව්රම් මහ වෙහෙරට (ජේතවනාරාම විහාරයට ) ආවාහු භාග්‍යවතුන් වහන්සේ නොදැක ශෝක වූහ. තමන් රැගෙන ආ පූජාභාණ්ඩවලින් පිදිය යුතු තැනක්ද නැති හෙයින් ඒවා විහාර සමීපයෙහි රැස් කර තබා ඔව්හු ආපසු ගියහ. අනේපිඬු සිටාණෝ ආදී තවත් අය මෙ කරුණ දුටහ. භාග්‍යවතුන් වහන්සේ පිටත වැඩිවිට උන්වහන්සේ සිහිකොට පූජා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් යම් පූජනීය වස්තුවක් ඉල්ලා ගන්නට සිතූහ. භාග්‍යවතුන් වහන්සේ පෙරළා ජේතවනාරාම විහාරයට වැඩම කළ විට බුදුරජාණන් වහන්සේ එහි වැඩ නොසිටින විට වැඳුම් පිදුම් කිරීමට යමක් දෙන ලෙස ඉල්ලා සිටීමට ආනන්ද තෙරුන් වහන්සේ මෙහෙය වූහ. ආනන්ද තෙරණුවෝ බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් පූජ්‍ය වස්තු කවරේදැයි විචාරා භාග්‍යවතුන් වහන්සේ වෙනුවට පූජ්‍ය දැයක් ඉල්ලූහ.
භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා ආනන්දය, ශාරිරික උද්දේශික, පාරිභෝගික යැයි පූජ්‍ය වස්තූහු තිදෙනෙකි. ඉන් ශාරිරික ධාතු පූජාව බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වන්නේය. උද්දේශික පුජාව නම් බුද්ධ ප්‍රතිමා ආදිය වෙයි. පාරිභෝගික ධාතු පූජා නම් පරිභෝග කළ පාත්‍ර විචාරාදියටද බුද්ධත්වයේ දී පිටදුන් බෝධින් වහන්සේටද කෙරෙන සත්කාර යයි. එබැවින් ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවනාරාමයෙහි රෝපිත (සිටුවා) කරවා සත්කාර කරතහොත් ඒ මට කළ සත්කාරය හා සම යැයි වදාළ සේක.
ආනන්ද තෙරණුවෝ මේ කාරණය කොසොල් රජු ආදිනට දන්වා ඒ වේලාවෙහිම ජේතවන දොරටු සමීපයෙහිම වළක් තණවා ජයසිරි මහා බෝධින් වහන්සේගෙන් ඵලයක් (ගෙඩියක්) ගෙනවුත් දෙන්නට මුගලන් තෙරුන් අයැදූහ. මුගලන් තෙරණුවෝ තමන් එය බෝ රුකින් ගෙනෙන සැටි සියල්ලට පෙනෙන සේ සිතා ඒ කෙනෙහිම ඍද්ධියෙන් ගොස් උරුවිල්වායෙහි වූ ජය ශ්‍රී මහා බෝධිවෘක්ෂය සමීපයට වැඩම කර එහි නටුවෙන් ගැලවී එන ඵලයක් (ගෙඩියක්) බිමට වැටිය නොදී සිවුරු පටින් පිළිගෙන එකෙනෙහිම ගෙනැවිත් අනඳ තෙරුන්ට දුන්හ. අනඳ තෙරණුවෝ එය කොසොල් රජුට භාර කළහ. රජ එය රුවන් කරඬුවකින් ගෙන හිස මත තබා ගෙන එය හ¼ිදුවීමට (සිටුවීමට) සාරන ලද වළ තෙවරක්ම පැදකුණු කොට අනේපිඬු සිටු අතට දුන්නේය. සිටුතුමා ගණ රන් තළියක සුවඳ කළල් පුරා තලියේ පතුල සිදුරු කොට වළ මැද තබා එහි බෝ පැලය සිටු වූහ.
එය අනඳ තෙරුන්ගේ නියෝගයෙන් සිටුවන ලද බැවින්ද මහජනයාගේ සිත ආනන්දය ඇති කෙරෙමින් වැඩුණු බැවින්ද ආනන්ද බෝධි නම් විය.
දිනෙක භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන්ගේ අයැදුමින් (ඉල්ලීමෙන්) ඒ බෝ රුක මුල රෑ තුන් යම්හි සමාපත්ති සුවයෙන් වැඩහුන් සේක.
මෙසේ ආනන්ද බෝධිය පාරිභෝගික චෛත්‍යයක් විය,(ශාක්‍ය මුණීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය. අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෙත්‍රෙය මහා නා හිමියන් වහන්සේ පි. 195-196 -1986 සමය වර්ධන ප්‍රකාශනයකි)
දඹදෙණි රාජධානි සමයේ බුද්ධ පුත්‍ර නම් භික්ෂූන් වහන්සේ විසින් ලියන ලද ඉතා ප්‍රකට ග්‍රන්ථයක් වූ පූජාවලියෙහි ආනන්ද බෝධිය පිහිටුවීම පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් තිබේ.
එහි අවසානයෙහි මෙසේද සඳහන් වේ. “එවේලෙහි ස්වාමි දරුවෝ (බුදුරජාණන් වහන්සේ) ඒ බෝධි මූලයට වැඩ ඒ බෝකඳ පිටලා පූර්වදිග බලා වැඩ හිඳ එදා රෑ තුන් යම් රාත්‍රිය මුළුල්ලෙහි එතෙන සමවත් සුවයෙන් දවස් ගෙවූ සේක. එතැන් පටන් ජේතවනාරාමය බුදුන් වහන්සේ නැතිවිටත් ඇත්තාසේම විය. ඒ ආනන්ද බෝධියට දවස් පතා ලක්ෂයක් පරිත්‍යාග කොට කරන ලද්දා වූ උදාර වූ පුජා විය.
මෙසේ තමන් වහන්සේ එක දවසක් පමණ පිටදුන්නා වු බෝකඳ උදේ හවා මේසා මහත්වු පාරිභෝගික පූජා ලත් හෙයිනුත් එසේ වූ ඒ පුජාව විඳීමට සුදුසු හෙයිනුත් මාගේ ස්වාමි දරුව, බුදුරජාණෝ මේ මේ කාරණා යෙනුදු අර්හත් නම් වන සේක .(පූජාවලිය පිටු 404)
ආනන්ද බෝධිය නමින් ප්‍රකට වූ මෙම බෝධින් වහන්සේ රෝපණය සඳහාම ආනන්ද හිමියන් මුල් වූ හෙයින් මෙය ආනන්ද බෝධිය නමින් ප්‍රකට වූයේය.
බුදුපිළිමයේ උපත - 40:
දෙව්දත් සහ නාලාගිරි දමනය
බෝධිසත්ව කාලයේදී පවා දේවදත්ත බොහෝ අවස්ථාවලදී ආත්මවලදී විරුද්ධ වූ චරිතයක් ලෙසින් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්වන කරුණකි. විශේෂයෙන්ම ජාතක කතාවල මේ බව ඉතා මැනවින් නිරූපණය වී ඇත. බෝධිසත්වයින් වහන්සේට හතුරුකම් කළ දේවදත්ත පිළිබඳ බොහෝ කතා බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.
 “බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට අට වසරකට පමණ පෙර දෙව්දත් තෙරහු ලාභ සත්කාර කීර්ති ලෝභයෙන් මත් වූවෝ අජාසත් රජුන් පහදවා ගැනීමට අදිටන් කළහ. අජාසත් රජු තම පියාණන් වූ බිම්බිසාරගෙන් පසු රජකමට පත් වූයේ ක්‍රිස්තු පූර්ව 491 දී ය. දෙව්දත් තෙරුන් ධර්මාවබෝධය සඳහා භාවනා ප්‍රගුණ කරන කාලයේ සෘද්ධි බල ලබාගෙන තිබිණ. ඔහු නාගයින් ඉනේ ඔතාගත් ළදරුවෙකුගේ වෙස් ගෙන අජාසත්තගේ උකුළේ පහළව ඔවුන් භය සන්ත්‍රාසයට පත් කළෝ ය. එවිට දෙව්දත් තමන්ගේ සැබෑ රූපය දැක්වූහ. මහත් විස්මයට පත් වූ අජාසත්හු මහත් හරසර දේවදත්ත තෙරුන්ට දැක්වූහ. මෙයින් දෙව්දත් තෙරුන්ගේ ඉමහත් ආඩම්බරය ඉහළ ගියේ ය. සංඝයාගේ නායකයා ලෙස බුදුරජාණන් වහන්සේගේ තැන ගැනීමේ අදහස දෙව්දත් තෙරුන්ගේ සිතේ ඇති විය. එහෙත් ඒ සිතිවිල්ල දෙව්දත් තෙරුන්ගේ සිතේ මතුවීමත් සමගම දෙව්දත් තෙරුන්ගේ තිබූ සෘද්ධි බල අතුරුදන් විය.
බුදුරජාණන් වහන්සේ වරක් රජගහනුවර දම්දෙසමින් සිටින විට එහි පැමිණි දෙව්දත්හු බුදුන් මහලු හෙයින් සංඝයා තමනට භාර දී සංඝයා මෙහෙයවීමට පරිහරණය කිරීමට තමන්ට ඉඩදෙන ලෙස ඉල්ලා සිටියෝ ය. මෙය ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ දෙව්දතුන් යළිත් වරක් මෙය අවධාරණය කරද්දී මෙසේ කීහ.
“මම ශාරිපුත්‍රයන්ට හා මොග්ගල්ලානයන්ට පවා සංඝයා භාර නොදෙමි. ඔබ වැනි අයෙකුට භාර දෙම්ද?”
එවිට කෝපයට හා අසතුටට පත් දෙව්දත්හු යන්නට ගියහ. බුදුරජාණන් වහන්සේ සංඝයා ලවා නිවේදන කර්මයක් නිකුත් කළහ. එයින් කියැවුණේ දෙව්දතුන් කරන කිසිම දෙයකට ඔවුන්ම විනා, බුදුන් හෝ දහම් හෝ සඟුන් හෝ ගාවා නොගත යුතු බවයි.
 |
ගිජුුකුළු පව්ව
|
අනතුරුව අජාසත් රජුන් වෙත ගිය දෙව්දත්හු තමන් බුදුන් මරණ බවත් අජාසතුන් තම පියා වූ බිම්බිසාරයන් මැරිය යුතු බවත් යෝජනා කළහ. අජාසත් හු හෙල්ලක් ගෙන එසේ කිරීමට ගියෝ ය. එහෙත් ඇමැතිවරුන්ගේ අතට අසුවූ විට තම අරමුණ ගැන පාපොච්චාරණය කළෝ ය. ඔවුන්ද අනෙක් සියලු කුමන්ත්‍රණකරුවන් ද මරා දැමිය යුතු යැයි ඇමතිවරු උපදෙස් දුන්හ. එහෙත් සැබෑ කුමන්ත්‍රණකරුවා කවුරුන්දැයි දැනගත් පියරජාණෝ තම පුතුනට සමාවා දී රාජ්‍ය පවරාදුන්හ. (බුද්ධ චරිතය – මහාචාර්ය සුචරිත ගම්ලත් පි. 324 – 325 – 2006)
බුදුරජාණන් වහන්සේ සමඟ වෛරී වූ දේවදත්ත වරෙක දුනුවායන් යෙද වූයේ ය. එයද සාර්ථක නොවූ නිසා තමා විසින්ම උපායක් ක්‍රියාත්මක කළ යුතු යැයි සිතා බුදුරජාණන් වහන්සේට ගිජු කුළු පව්වේ සිට මහගල් පෙරලුයේ ඒ පාමුල භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරමින් සිටියදීය. එයින් බිඳුණු ගල්පතුරක් වැදී බුදුරජාණන් වහන්සේගේ පාදයෙන් ලේ ගැලුවේ ය. පාපී පුරුෂය! තථාගතයන්ගේ ඇඟ ලේ සොල්වා මහා පාපයක් කරගත්තේ යැයි බුදුරජාණන් වහන්සේ පැවසූහ. භික්ෂුහු බුදුරජාණන් වහන්සේට ආරක්ෂකයන් යොදනු රිසි වූහ. එහෙත් බුදුරජාණන් වහන්සේ එය අනුමත නොකළහ. තථාගතයින් වහන්සේ මරණු නොහැකිය. (ඉහත සඳහන් ග්‍රන්ථය පි. 226)
ඉන්පසුව දේවදත්ත තෙර බුදුරජාණන් වහන්සේ වඩින මගට ‘නාලාගිරි’ නම් හස්ථි රාජයා එවු පුවත පූජාවලිය ග්‍රන්ථයේ මෙසේ සඳහන්වේ.
‘එකෙණෙහි ඇත්ගොව්වෝ ඇතු සොළොස් කළයක් රා පොවා මත්කොට නිය පිට ගල් ගසා කොහොලින් ඇන කුප්වා සක් සින්නම් ඩවුර බෙර, ඩහර බෙර එකවිට අතෙව මහත් වූ අගිල් කොට ගිණිපිට තෙල්, නැටුවා සේ ඇතු ඉඳ වූහ. එකෙණෙහි ඇත් කල්පාන්ත ගිණිකඳක් සේ කිපී මහ හඬින් ගුගුරා එක පහරින් මා මැසුදම කඩා ඇත් හළ ඇන හෙළා සුණු විසුණු කොට යමුගුරෙන් පොළව අපොළන්නා සේ සොඬබිම ගසගසා කඹය කඩා, සොඬ හස්සෙන් හොසවාගෙන ගැසු පයින් පස් කඳු කඩාපිට දම දමා දුටු දුටුවන් ලුහු බඳවා හසු හසුවූවන් දළඟින් අණ දමා
එකෙනෙහි අනඳ මහ තෙරුන් වහන්සේ දීර්ඝ කාලයෙහි සිට තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිනෂ්ටව කළා වූ මහපෙමවතුරු රඳවා ගත නොහී දෑස් පිරුණු කඳුලෙන් මේ ඇත්මා පළමුව මරා මුත් මාගේ බුදුන් නොමරවයි කියාකියා ඇතුටත් බුදුන්ටත් මධ්‍යයෙහි ගොස් සිට ගත්සේක. බුදුහු ආනන්දය ! ඇලවයා ඇලවයා ඇතෙක් මට කුමක් කෙරේද නා බොළඳ ඇයිද මා බල නුදුටුවී දැයි වදාරණ සේක. බුදුන් එසේ වදාරතත් අනඳ මහ තෙරුන් වහන්සේ ඇල නොවන සේක්මය. එකෙනෙහි බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් පොළව කුඹල් සකක් සේ පෙරළී උන්වහන්සේ පසු කොට බුදුරජාණන් වහන්සේ පළමුව කළේ ය. නැවත අනඳ මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පළමු වූ සේ දැක ඇතු ළංවනසේ දැක ඉදිරියට දිව බුදුරජාණන් වහන්සේ පසුකොට පියා ඇතු ඉදිරියෙහි සිටගත් සේක. තුන්වාරයෙහිම පොළවම සී සැරී උන්වහන්සේ පසුකොට බුදුරජාණන් වහන්සේ පළමු කෙළේය.
එකෙනෙහි පුතෙකු වඩාගෙන ඇත්කෙළ බලමියි වීථියට බට ස්ත්‍රියක් ඇතු දිවත් දිවත් ඇතු කෙරේ කළ බයින් වෙවුලා, මරණ සංඥාවෙන් පුත්‍ර සංඥාව සිහිකොටගෙන නොහී බුද්ධ පූජාවට මල් දමක් දැමුවා සේ පුතු බුදුන් හා ඇතු මැදට දමා තොමෝ කොවේයකට වැදගියාය. එකෙනෙහි කුමරු අන්සරණක් නොදැක බුදුන් දිසාව බල බලා මහඬින් හඬන්නට පටන් ගත්හ.
ඇත් ගිණි කඳක් සේ කිපි, කිපී බුදුරජාණන් වහන්සේ කරා දිවනුවේ කුමරහු දැක ඔහු කරා දිවීය. එකෙනෙහි ස්වාමිදරුවෝ (බුදුරජාණන් වහන්සේ) මිණිරුවනකට තුඩු දිගු කරන නා රජෙකු සේ කුමරහු කරා අත දිගු කරනු ඇත් රජු දැක ‘මා පැමිණියාවූ මේ වීථියෙහි ඛේමද නැගි ඇතා කිහිඹියෙකු ගහටා මරයි නමුත් මාගේ කවර නම් බුද්ධානුභාවයක් දැයි සිතා වදාරා තමන් වහන්සේගේ කරුණා නමැති අකුස්සෙන් (හෙණ්ඩුවෙන්) පැහැර ඇතු රඳවාලා නාලාගිරිය තා මේ වීථියට හළුයේ (එව්වේ) තෙල (මේ) කුමරා නිසා නොවෙයි. අප නිසාය. ඌ කරා නොගොස් අප කරා වරුයි වදාළ සේක.
(පූජාවලිය පි. 650 බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, සංස්කරණය 2010 )
ඉන්පසු නාලාගිරි ඇතා බුදුරජාණන් වහන්සේ අබියස වැඳ වැටුණේ ය.
බුදුපිළිමයේ උපත - 41:
විශාඛාවයි පූර්වාරාම පූජාවයි
|
|
|
 සැවැත්නුවර පුදබිම්හි නටබුන්
|
විශාඛා මහා උපාසිකාව පිළිබඳ බෞද්ධ සාහිත්‍යයෙහි බොහෝ විස්තර සඳහන්වේ. විශාඛාවන්ගේ විවාහය, දූ දරුවන්, විශාඛාවගේ මේල පළඳනාව හා බුදුරජාණන් වහන්සේට පූර්වාරාමය සාදවා පූජා කිරීම මේ අතරේ ප්‍රධාන කරුණුවලට ඇතුළත්වේ. විශාඛා මහා උපාසිකාවට "මිගාරමාතා" යන නාමයක්ද භාවිතා වූ අන්දම ආදී තවත් බොහෝ තොරතුරු අපට හමුවේ. (අනාථ පිණ්ඩික) හෙවත් අනේපිඬුසිටාණන් ජේත කුමරුගෙන් එම උයන මිලදී ලබාගෙන ජේතවනාරාමය බුදුරජාණන් වහන්සේට පූජා කළේ ය. කෝසල රාජ්‍යයට අයත් පසේනදී කෝසළ හා ඉතා ධනවත් විශාඛාව කෝසල දේශයේ වාසය කළ මහෝපාසිකාවකි. ඇය පූර්වාරාමය පිදීම ද ඉතා ප්‍රකට වූ පුවතකි.
( 2500 years of buddhism – prof p.v. bapat minstry of information and broadcasting govt of india p. 26 – 1956 )
එකල ඒ සැවැත්නුවර මිගාර නම් සිටාණන්ගේ පුතණුවෝ පූර්ණවර්ධන නම් කුමාරයෝ වැඩිවිය පැමිණියහ. එකල මව්පියෝ පුතණුවන් කැඳවා තොප කැමති ශරණාත් කියවයි කීහ. පූර්ණවර්ධන කුමරුවෝ රූ ඇත්තෙකැයි මානය ඇතියහ. එසේ හෙයින් ස්ත්‍රියක පාවා දෙතොත් පංච කල්‍යාණයෙන් යුක්ත වූ උත්තම ස්ත්‍රියක පාවාදුන මැනව. නැතහොත් මම ශරණ නොකැමැත්තෙමැයි කීහ. (පූජාවලිය පිටු. අංක 346 )
 ඉන් පසු මිගාර සිටුවරයා වේද වේදාන්ත දන්නා බමුණන් එකසියඅට දෙනෙක් කැඳවා ඔවුන් හා කතාබහ කර එයින් බමුණන් අට දෙනෙකු තෝරාගෙන මුළු දඹදිව ඇවිද ඒ පංච කල්‍යාණයෙන් යුත් කුමාරිකාවක් පුතුට සොයා දෙවයි, ඒ බමුණන්ට කීවේ ය. ඉඳින් තොප ඉතා රූ ඇති එවන් පංචකල්‍යාණයෙන් යුක්ත වූ කුමරියක දුටුවේ නම් ලක්ෂයක් වටිනා මේ ස්වර්ණමාලය ඒ කුමාරිකාවට පළඳවා වහා එවයි යැවූය. ඒ බමුණන් අට දෙනා තෙසැට දහසක් ජනපදවල ඇවිද පංච කල්‍යාණයෙන් යුක්ත එවන්වූ කාන්තාවක් නොදැක නැවත සැවැත් නුවරට එන්නාහු ඒ ධනංජය සිටාණන් වසන සාකේත නුවරට පැමිණියහ.
 ‘එකල ඒ නුවර අවුරුදු පතා නැකත් කෙළි කෙළනා උත්සවයක් වීය. එදා මතු මහලයෙන් යටිමහලට නොබස්නා යටිමහලෙන් එළිපත පැන පිටතට නොයන කුල ස්ත්‍රීහු තමන් තමන් ගේ ගෙවලින් නික්ම පිරිවර හා සමග සියලු සතුනට පෙනි පෙනී උයන් පොකුණු ගංතොට ආදියෙහි සිත් සේ කෙළිමින් සෙමින් ඇවිදිනාහුය. එදවස රජ, බමුණු, වෙළෙඳ, ගොවි සිව්කුලයෙහි ශ්‍රීමත් වූ සල්ලාල පුරුෂයො අද අප හා සමාන කුල ඇති උත්තම ස්තී‍්‍රන් සිත් සේ බලම්හ සුවඳ මල් කඳුගෙන ඒ ඒ සන්ධියෙහි සිටගෙන කැමති කැමති කුලස්ත්‍රීන් කරට මල්දම් දමා සිත්සේ සිටිනාහුය.
එවේලෙහි විශාඛාවෝ පසොළොස් සොළොස් හැවිරිදි වයසින් ස්වර්ණාභරණයෙන් දෙවඟනක සේ සැරසී පන්සියයක් පරිවාර ස්ත්‍රීන් පිරිවරා ගඟදිය කෙළියට යන්නාහු ඒ ශාලාව කරා පැමිණියහ. එකෙනෙහි මහා මේඝයක් නගා වැස්සක් දිව ආය. පන්සියයක් කුමාරිකාවරු ඔවුනොවුන් පරදවා ශාලාවට වන්හ. බමුණෝ (අට දෙනා) ඔවුන් පන්සීයක් දෙන බලා පංච කල්‍යාණයෙන් යුක්ත වු එක ස්ත්‍රියකුද නොදුටුවාහුය. විශාල වූ ශාලාවට එන විශාඛාවෝ වැසි ගුගුරා වසිද්දීත් ඇඟ ඩාපෙනකුත් නොසොල්වා ස්වභාව වූ ගමනින්ම. අසුව අවුදින් ශාලාවට වන්හ. ඇය පැළඳි ආභරණ හා ඉණ තිබූ සළුව එක පැහැර තෙමි ගොස් තිබිණි.
එවේලෙහි (ඉහත සඳහන් කළ බමුණන් අට දෙනා) දෙවඟනකසේ එන විශාඛාවන් දැක දිව දිව සන්සලයෙන් නොඑන නියාවක් නිශ්චලව ඇත් ගමනින් ඇඟ නොසෙල්වා ස්ත්‍රී ලීලායෙන් එන නියාවත් දැක මහපොළව සේ ධෛර්ය සම්පන්න වූ ඉතා පිනැති දරු කෙනෙකැයි කිය කියා සිටියහ.
(පූජාවලිය පි.348 )
මෙසේ ශාලාවට පැමිණි විශාඛා කුමරිය ගැන විමසිලිමත් වූ බමුණෝ සතර මහා කල්‍යාණ ලක්ෂණ දැක දන්ත කල්‍යාණ ලක්ෂණය ශබ්ද මාධුර්යය දැකීමට නම් ඇය හා කතා කළයුතු යැයි සිතූහ. එසේ සිතා මහත්කොට සිනාසී බමුණෝ ඇයගේ මධුර ස්වරය ඇසූහ.
එබස හා සමගම ඒ විශාල වූ ශාලාව රන්මිණික හඬකින් මධූර නාදයක් ඇසුණි. බමුණන් ඒ විශාඛාවගේ මධුර කටහඬ අසා සතුටු වූහ. තවද ඔවුහු විශාඛාවන් හා කතා කළහ.
නැගණියනි, නුඹගේ සූරකම් කියම්හ නුඹගේ මෙතෙක් පරිවාර ස්ත්‍රී හැට දෙනාම නොතෙමී මේ ශාලාවට දිවගෙන ආහ. නුඹ උන් හැමදෙනාට පළමුව ඇවිදින වස්ත්‍රාභරණ තෙමාගෙන පසුව ආවේ නුඹගේ අතපය සිහින් දැයි ඇසූහ. එබසට විශාඛාවෝ කියන්නාහු ආචාර්යවරුනි. එසේ නොකියව මම කාය බල ඇත්තෙමි. කාරණා කාරණා දනිමි. දිවීමෙහි ආදිනවයක් නිසා සෙමෙන් සිට ආමියි කීහ. ආදීනව නම් කිම්දැයි බමුණෝ විචාළහ.
එවේලේ විශාඛාවෝ කියන්නාහු. මේ ලෝකයේ සතර දෙනෙක් දිවෙන අවස්ථාවෙහි ඉතා නොසිරියෙකි. ඔවුහු කවරහුද යත් ඔටුනු පළන් ලොවට අධිපති රජු ය. රජුගේ මඟුලැතුය. තාපස කෙනෙක් දිවයෑම යම් ස්ත්‍රියක පුරුෂයෙකු සේ දිව යන්නේ නම් නොහොබි යැයි විශාඛාව කීවාය. රජුය, මගුලැතුය. තපස්හුය. ස්ත්‍රිය යන සතර දෙනා නොදිවිය යුත්තාහ. මම ද ඊට අයත්වෙමි. ඒ නිසා මම දුවගෙන නොආවෙමි. බමුණෝ ගොස් විශාඛාව ගැනත් ධනංජය කියූ දේවල්ද මිගාර සිටුවරයාට කීහ. විශාඛාවන්ගේ පියාණෝ දියණියන්ට මේල පළඳනාවක් කරවයි. ගණ රන් සහ සතර නැළියක් පබලු හා මැණික් ලබා දී එය සාදවන ලදී.
ඒ මේ පළඳනාව පැළඳ ගත් වේලෙහි විශාඛාවන් ඉස් මුදුණෙහි නටන මොණරෙකුසේ ශෝභමානය. දහසක් රන් පත් සුළංගත් කළ පංචාංගික කාර්ය නාදයේ මධුර නාද ඇසෙයි. ළඟ දුටු කෙනෙක් පළඳනාව යැයි දනිත්. මේ පළඳනාව නව කෙළක් රන් පමණ අගනේ ය.
බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ආපසු සිටුමැදුරට ගිය විශාඛාවන්ට මේ පළඳනාව අමතක විය. ඉන්පසුව එය ඇය යළි භාර ගැනීමට කැමති වූයේ නැත. එය විකුණා ලබන මුදලින් බුදුරජාණන් වහන්සේට ආරාමයක් සාදා පිදීමට ඇය කැමැති වූවාය විකිණීමට තැබූ මේ පළඳනාව ගැනීමට පොහොසත් කිසිකෙනෙකු ඒ සැවැත්නුවර නොවූහ. ඒනිසා ඇයම එය සඳහා මිලදි ගෙන ඒ වියදමෙන් පූර්වාරාමය කරවා විශාඛාවෝ බුදුරජාණන් වහන්සේට පූජා කළාය.
බුදුන්ට විහාරයක් කරවා දන් දෙමැයි සිතා මේළ පළඳනාව රථයක තබා නුවර මුළුල්ල ඇවිදවා එය මිලදී ගන්නා පොහොසත් ස්ත්‍රියක් නොවූහ. නවමසකින් නිමවා ඒ පූර්වාරාමය බුදුරජාණන් වහන්සේට විශාඛාව විසින් පූජා කරන ලදී.
|