ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

අසිරිමත් ධාතු පුරාණය 2

6  කොටස

පිරිනිවුණ සම්බුදු සිරුරේ උතුම් ගුණ කඳ දසත පැතිරේ

සරභූ, කච්චායන, ඛේම මහරහතන් වහන්සේ බුදු සිරුරේ ධාතු බෙදීයන ආකාරය දිවැසින් බලා සිටියා. අකු ධාතුන් වහන්සේ දෙනම, දන්ත ධාතුන් වහන්සේ හතර නම , ලලාට ධාතුන් වහන්සේ, බෙදුනේ නැහැ. අනෙක් ධාතුන් අබ ඇට, මුංඇට පියලි ප්‍රමාණයට බෙදුණා. ශරීරයේ සම, මස, නහර දැවී ගියා. එහෙත් එහි අළු නැහැ.
තථාගතයන් වහන්සේගේ පිරිනිවීමට කලින් ආනන්ද ස්වාමින් වහන්සේ විමසා සිටියා ස්වාමිනි, තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසුව ආදාහන කටයුතු කරන්නේ කෙසේද? ආනන්ද එය රජවරුන් විසින් කරයි. ස්වාමිනි, රජවරුන් එය කරන්නේ කොහොමද? ආනන්ද, තථාගතයන් වහන්සේගේ ශරීරය රත්තරන් සළුවකින් ඔතන්න. ඒ සළුවට උඩින් සියුම් පුළුන් පටලයකින් ඔතන්න. ආනන්ද එයට උඩින් තවත් රත්තරන් සළුවකින් ඔතන්න. ඊට උඩින් තවත් පුළුන් රොදකින් ඔතන්න. ඒ ආකාරයට රත්තරන් සළු පන්සියයි, පුළුන් පටල පන්සියකින් ඔතන්න ඕන. ආනන්ද ඉන්පසු රන් දෙණක තැන්පත් කළයුතු යැයි වදාළා.
ඒ ආකාරයට තථාගතයන් වහන්සේගේ සිරුර රන් දෙණක තැන්පත් කොට සුවඳ තෙල් පිරවූවා. දෙවියන් මදාරා මල් වරුසා වැස්සවූවා. ඒ මල් කෙතෙක්ද කියනවානම් කෙනෙකුගේ දණහිසක් දක්වා ගොඩගැසී තිබුණා. මිනිසුන් තමන්ගේ නිවෙස්වලට ඒ මදාරා මල් ගෙනගියා.

ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ බොහෝ සෙයින් දෙවියන්ට පි‍්‍රය වුණා. දෙවිවරු ඒ පිරිස අතර කස්සපයන් වහන්සේ සොයමින් සිටියේ. උන්වහන්සේ ඒ වනවිට මහ වනයේ ධුතාංගධාරීවයි වැඩ සිටියේ.
ශ්‍රී දේහයට මල්ලරජදරුවෝ දවස් හතක් පූජා පවත්වා සත්වැනි දින ‘මකුටබන්ධන’ නම් චෛත්‍යයේ උතුම් බුදු සිරුර තැම්පත් කර පෙර කී පරිදි රන්සළු හා කපු පුළුන් පන්සියයකින් සිරුර වෙලුවා. ඉන්පසු රණින් කරන ලද තෙල් දෙරණක තැම්පත් කර තවත් රන් දෙරණකින් සිරුර වසා නොයෙක් සුවඳ දර වලින් කරන ලද චිතකයේ රන්දෙන තැම්පත් කළා. ඉන්පසු රජවරු චිතකයට ගිනි දල්වන්නට උත්සාහ කළත් ගිනි දැල්වුණේ නැහැ. රජවරු අනුරුද්ධ මහා රහතන් වහන්සේගෙන් අසනවා “ස්වාමිනි, ඇයි මේ ශ්‍රී දේහය ගිනි නො ගන්නේ”. උන්වහන්සේ වදාළා “රජතුමනි මෙය දෙවිවරුන් විසින් කරන ලද දෙයක්.” ‘ඒ ඇයි ස්වාමිනි?’ “රජතුමනි, මහකස්සපයන් වහන්සේ වඩින තුරු ශ්‍රී දේහය ගිනි නොගනී”. මිනිසුන් බැලුවා ශ්‍රාවකයෙක් වඩිනතුරු ශාස්තෘන් වහන්සේගේ දේහය දැල්වෙන්නේ නැතිනම් ඒ ශ්‍රාවකයා කොයිවගේ කෙනෙක්ද? කියා පාර දෙපැත්තට වෙලා මැද ඉඩ තියාගෙන බලා සිටියා.
මේ දින හතේ කස්සපයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලයි සිටියේ. ඉන් නැගිට්ට දවසේ උන්වහන්සේ දුටුවා එක් මිනිසෙක් කුඩයක් වගේ විසිතුරු මලක් අරගෙන යනවා. පින්වත ඔබ කොහේ සිටද එන්නේ? අපේ ශාස්තෘන් වහන්සේ සනීපෙන්ද? අනේ ස්වාමිනි උන්වහන්සේ මීට දින හතකට පෙර පිරිනිවන් පෑවා. මේ එතැනින් ලැබුණ මදාරා මලක්. එය ඇසූ භික්ෂු සංඝයා හඬන්නට පටන් ගත්තා. පි‍්‍රයවිප්පයෝගයෙන්, ශාස්තෘසම්පත්තිය අහිමිවීමෙන් වීතරාගි නොවූ සංඝයා විලාප දුන්නා. තුන් ලෝකයට අග්‍ර පරමේශ්වර බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට සැමට විශාල ශෝකයක් වුණා.
මහකස්සප මහ රහතන් වහන්සේ සඟ පිරිස සමඟ වැඩියා. චිතකය වටා තුන් වරක් පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපතුල් පිහිටි පෙදෙසෙහි සිටගත්තා. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ දකිනු පිණිස මෙයින් කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා නම් ශාස්තෘන් වහන්සේගේ පාද මූලයෙහි විවරණ ලද තැන් පටන් ඔබවහන්සේ අත්නොහැර පැමිණියා. දැන් මාගේ අවසාන දැක්ම වෙයි. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, අවසාන වතාවට ඔබවහන්සේගේ සිරිපතුල වන්දනා කරන්න, චක්‍ර ලකුණින් සමන්විත නිකෙලෙස් සිරිපා කමල දැකගන්න මම කැමැතියි කියා අධිෂ්ඨාන කළා. ශ්‍රී දේහය ඔතා තිබු පන්සියයක් සළු, පන්සියක් පුළුන් , සඳුන් දර ඈත්වෙලා උතුම් සිරිපාකමල මතුවුණා. කස්සප හිමියන්ගේ නළල්තලේ බුදුරජාණන් වහන්සේගේ සිරිපාකමල පිහිටියා. සියලුම ස්වාමින් වහන්සේලා බුදුසිරිපා කමල ස්පර්ෂ කරමින් වන්දනා කළා. ඉන්පසු නැවතත් සිරිපාකමල තිබූ පරිදිම දෙනේ තැම්පත් වුණා. රන්සළු තිබූ ආකාරයට පිහිටියා. සඳුන් දර එසේම පිහිටියා. ඉබේම ගිනි ජාලා මතුවෙලා ශ්‍රී දේහය දැවී ගියා. දැල්වෙන තෙලක් නොපෙනී යන ලෙස බුදුරජුන්ගේ සිරුර දැවෙන කල්හි අළු හෝ දැලි දකින්නට නො ලැබුණා. මේ ආකාරයට යි ශ්‍රී දේහය ආදාහනය වුණේ.
සමන්ත බුද්ධකිච්චෝ සෝ 
කුසිනාරාය නිබ්බුතෝ

ධාතුභෝදමහෙදංච 
අධිටිඨාය මහාදයෝ

සියලු බුදුකිස නිමකළ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවී සේක. මහාකාරුණිකයන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ධාතුන් වහන්සේලාගේ බෙදීම සිදුවිය.
සරභූ, කච්චායන, ඛේම මහරහතන් වහන්සේ බුදු සිරුරේ ධාතු බෙදීයන ආකාරය දිවැසින් බලා සිටියා. අකු ධාතුන් වහන්සේ දෙනම, දන්ත ධාතුන් හතර නම , ලලාට ධාතුන් වහන්සේ, බෙදුනේ නැහැ. අනෙක් ධාතුන් අබ ඇට, මුංඇට පියලි ප්‍රමාණයට බෙදුනා. ශරීරයේ සම, මස, නහර දැවී ගියා. එහෙත් එහි අළු නැහැ. දේහය ඔතා තිබූ පළමු හා පන්සිය වැනි රන්සළුව ඉතිරිවෙන්න අනෙක් සියලු සළු දැවුනා. මෙසේ ධාතු බෙදී බෙදී යනවිට සරභූ මහරහතන් වහන්සේ මහා ගිනි ජාලාව ඇතුලට වැඩම කොට ගී‍්‍රවා ධාතුන් වහන්සේ රන් සළුවකට වඩම්මවාගෙන ඒ මොහොතේම මහරහතන් වහන්සේ පිරිසක් සමඟ ලක්දෙරණට වැඩම කොට මහියංගණ චෛත්‍යයේ තැන්පත් කළා. මේ දැල්වෙන චිතකයට ඛේම රහතන් වහන්සේත් ඇතුල්වුණා. වම් දළදා වහන්සේ රැගෙන කළිඟුපුරේ ශ්‍රද්ධාවන්ත රජකුට රන් කරඬුවක් මවා ධාතුන් වහන්සේ තැන්පත් කර පූජා පවත්වන ලෙස වදාළා. ඒ අතර සිවුරු හතක් මවලා කච්චායන මහ රහතන් වහන්සේත් අස්ථි ධාතුන් වහන්සේ දෙනමක් රැගෙන මහ වනයේ ගල් ගුහාවක කරඬුවක් මත තැන්පත් කළා. ‘සුජාත’ නම් ඇති කුමරුවෙකුට ඒ ධාතුන් වහන්සේ ලබා දී බුදු කෙනෙකුට මෙන් වන්දනාමාන කරන ලෙස දන්වා සිටියා. ශ්‍රී දේහය විවෘත කරන්න කලින්ම මෙසේ ධාතුන් වහන්සේ කිහිප නමක් ගෙන ගොස් තිබුණා. අහසින් සුවඳ පැන් කඩා වැටී ශ්‍රී දේහය නිවී ගියා. ඉන්පසු රන් දෙරණ විවෘත කළපසු ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ වැඩ සිටියා. නමුත් රජවරු දන්නේ නැහැ කොපමණ ප්‍රමාණයක් ධාතුන් වහන්සේ රන් දෙණේ වැඩ තිබෙනවාද කියා.
"බුද්ධ පරිනිර්වාණය ඇසූ අජාසත් මහරජු මම ද ක්ෂත්‍රියයෙක්. භාග්‍යවතුන් වහන්සේත් ක්ෂත්‍රියෙක්. ශාස්තෘන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා උදෙසා ස්ථූපයක් ද කර මහා පූජාවන් ද කරමි" යි මල්ල රජවරුන්ට හසුනක් යැව්වා. ඒ අයුරින් විසල්පුර ලිච්ඡවි රජවරුන් ද, කපිලවස්තුවෙහි ශාක්‍ය රජවරුන්ද, අල්ලකප්පයෙහි රජදරුවන් ද, රාම ගමෙහි කෝලියයෝ ද, වේඨදීපක රජදරුවන්ද, පාවා නුවර පාවෙය්‍යක රජවරු ද හසුන් එවා ධාතුන් වහන්සේ තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කළා. මේ රාජධානි අටේම රජදරුවන් එක් වී කුසිනාරාවෙහි රජදරුවන් සමඟ යුද්ධ පිණිස විවාදයක් පටන් ගත්තා. එහෙත් මල්ල රජදරුවන් පවසා සිටියේ අප තථාගතයන් වහන්සේට ආරාධනා කළේ නැහැ අපේ රටේ පිරිනිවන් පානා ලෙසට. උන්වහන්සේ මෙහි පිරිනිවන් පෑවේ අපට උරුමයක් තිබෙන නිසායි. ඒ නිසා මේ ධාතුන් වහන්සේ කිසිවෙකුට දෙන්නේ නැහැ කියා ඔවුන් ඝෝෂා කළා. යුද්ධයකට සූදානම් වුණා.

7  කොටස

රජවරුන්ගේ යුද්ධය සංසිඳවීමට ද්‍රෝණ බමුණා ඉදිරියට එයි

තථාගත පරිනිර්වාණයෙන් පසු ධාතුන් වහන්සේ අත්පත් කර ගැනීමට රජවරු අට දෙනෙක් යුද්ධයකට සැරසුණා. ඒ යුද්ධය සංසිඳවීම පිණිස ඒ රජවරුන්ගේ ගුරුවරයා ඉදිරිපත් වුණා. ඔහු නමින් “ද්‍රෝණ බමුණා” යි.

ඒ ද්‍රෝණ බමුණා උස් තැනකට ගොස් හඬනගා කියනවා “රජදරුවනි, ඝෝෂා කරන්න එපා. බුදුරජාණන් වහන්සේ ශාන්තිවාදීන්වහන්සේ නමක්. යුද්ධය ප්‍රතික්ෂේප කළ උත්තමයෙක් ආදි ගුණ කියමින් බණවරක් කියා සිටියා. ඒ බණවර ගාථාවට අකුරු අටදහසක් අයත් වුණා. සාමාන්‍යයෙන් පැය එකහමාරක් පමණ ඒ බණවරයට කාලය ගතවෙනවා. කෙතරම් කියා සිටියත් එක් රජෙකුවත් එයට කන යොමු කළේ නැහැ. යුද්ධයක් සඳහාම සූදානම් වුණා. බමුණා නැවත දෙවන බණවරය කියා සිටියා. දැන් පැය තුනක් පමණ ගතවෙලා. එයට කියනවා “ද්‍රෝණ ගර්ජනාව“ කියා. ඒ දෙවැනි බණවරයේ අවසාන අකුර කියනවිට එක රජ දරුවෙකුට ඇසුණා. ඔහු කියා සිටියා රජවරුනි, නිහඬවෙන්න, අපේ ආචාර්යන් වහන්සේ කථා කරනවා කියා. එය කටින් කටට ගියා. රජදරුවන් ටික වෙලාවකින් නිහඬ වුණා.
දැන් ද්‍රෝණ බමුණා කියනවා ”රජදරුවෙනි, අපගේ ශාස්තෘන් වහන්සේ අනුකම්පාසහගත යි. යුද්ධයට කැමැති නැහැ. ඒ නිසා යුද්ධ කරන්න එපා. ඔබලා අට දෙනෙක් ඉන්නවා. අප මේ සියලුම ධාතුන් වහන්සේ අටකට බෙදමු” කියා යෝජනා කළා. රන්දෙන ඇරියා. ධාතුන් වහන්සේ දුටුකළ රජවරු අඬා වැටුණා. ද්‍රෝණ බමුණා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සුදුපාට රැස් විහිදවමින් දකුණු දළදා වහන්සේ වැඩ සිටින අයුරු දැක ඔහු ඒ දළදා වහන්සේ ගෙන කෙස් වැටියේ සඟවා ගත්තා. රජවරු තවමත් අඬා වැටෙනවා. ඒ ක්ෂණයෙන් තවත් දන්ත ධාතුන් වහන්සේ නමක් ගෙන ඉනේ ගසා ගත්තා. තවත් දන්ත ධාතුන් වහන්සේ නමක් බිම දමා පය අසල තබා ගත්තා.
දැන් රජවරුන්ට සමසේ ද්‍රෝණ අට බැගින් ධාතුන් වහන්සේ බෙදුවා. ශක්‍රයා බැලුවා ද්‍රෝණ බමුණාගේ හිසෙන් සුදුරැස් විහිදෙනවා. ඔහු දිවැසින් දැක්කා ඒ දන්ත ධාතුන් වහන්සේ බව. දිව්‍ය සෘර්දියෙන් ධාතුන් වහන්සේ ගෙන සිළුමිණ සෑයේ තැන්පත් කළා.

දන්ත ධාතුන් වහන්සේ නමක් ළඟ තබාගෙන වැදුම් පිදුම් කරන්න සසරේ පින් කළ ගාන්ධාරයේ මනුස්සයෙක් එතැන සිටියා. ඔහුට ද්‍රෝණ බමුණාගේ ඉනේ තිබෙන ධාතුන් වහන්සේ පෙනෙනවා. ඔහු සෙමින් ඉණට අතදාලා ඒ ධාතුන් වහන්සේ ගත්තා. ජයසේන කියා නා රජෙක් එතැනට ඇවිත් සිටියා. ඔහු දැක්කා පොළොවෙන් රැස් විහිදෙනවා. පොළොව ඇතුලෙන් ඇවිත් බිම තිබූ ඒ ධාතුන් වහන්සේ රැගෙන ගියා. ධාතුන් වහන්සේ බෙදා අවසානයේ ද්‍රෝණ බමුණා බැලුවා තමන් සඟවා ගත් ධාතුන් වහන්සේ. එක නමක්වත් වැඩ සිටියේ නැහැ. ඔහු කියනවා ‘රජදරුවනි මේ ධාතුන් වහන්සේ බෙදපු භාජනය මට ලබා දෙන්න කියා අවසර ඉල්ලා සිටියා.

දකුණු දළද වහන්සේ

කළිඟු රටට ගෙන ගිය ධාතුන් වහන්සේ ඝෝෂීය කියන රජතුමා නිරන්තරයෙන් වන්දනා කළා. එහි සිටි නිගන්ඨයන්ට එය මහත් අවමානයක් වුණා. “පඬි” කියන රජතුමාට ගිහින් කියනවා “ඔබවහන්සේගේ රටෙන් යැපෙන අර රජතුමා දෙවියන්ට, බ්‍රහ්මයන්ට, ගින්දරට වඳිනවා. ඒ වගේම තවත් අදෘෂ්‍යය දෙයකට වන්දනාමාන කරනවා. ඒ වගේම ඔබතුමාට බනිනවා කියා කිව්වා. පඬි රජතුමාට තරහා ගියා. ඇමැතිවරයෙක් යැව්වා ගිහින් අර අදෘෂ්‍යයමාන දේත් ඒ රජතුමාත් කැඳවාගෙන එන්න කියා. ඒ ඇමැතිට ඝෝෂීය රජතුමා කියනවා “ඔබ දකින්නට ආවේ මේ ලෝකයේ තිබෙන උතුම් දෙයක්. වන්දනා කරමින් පින් රැස්කර ගන්න’’ කියමින් ධාතුන් වහන්සේගේ ගුණත් තථාගතයන් වහන්සේගේ ගුණත් කියනවා.
මෙසේ බුදුගුණ කියන විට අර ඇමැතිට මහත් ශ්‍රද්ධාවක් ඇතිවුණා. ධාතු මන්දිරයට යනවිට කරඬුව දෙබෑවලා දන්ත ධාතුන් වහන්සේ ආකාසයට පැන නඟලා සුදු රැස් විහිදුවමින් ආකාසයේ වැඩ ඉන්නවා. ඒ දළදා ප්‍රාතිහාර්ය යි. දැන් අර ඇමැතියාට බොහෝම සතුටුයි. වන්දනා කළා. රාජ අණට කීකරුව කරඬුව ඔළුව උඩ තබාගෙන පෙරහරකින් පඬි රජතුමා ළඟට ගෙනගියා. නිගන්ඨයන් කියනවා රජතුමනි, මෙයනම් මාළිගාවට ගන්න එපා. එහෙනම් මොකක්ද කරන්නේ? කුණුවලකට විසී කරන්න. දන්ත ධාතුන් වහන්සේ කුණු වලකට දැමුමා. ඒ කුණුවල මැදින් නෙළුම් මලක් පිපුණා. ඒ නෙලුම් මලේ ධාතුන් වහන්සේ වැඩ සිටියා. නුවර දළදා මාළිගාවේ වැඩ ඉන්නේ ඒ ප්‍රාතිහාර්ය පාපු ධාතුන් වහන්සේ යි. ඔබ දළදා මාළිගාවට ගියාම කල්පනා කරන්න මේ ධාතුන් වහන්සේ අසිරිමත් ලෙස ප්‍රාතිහාර් පාලා තිබෙනවා. මේ වන්දනාව කෙතරම් පූජනීයද කියා සිතමින් වන්දනා කරන්න. ඒ ඉදිරියේ සිටගෙන බුදුගුණ කියන්න ලැබීම ගැනත් සතුටු වෙන්න.
ඊළඟට අර රජතුමා ඒ නෙළුමෙන් ධාතුන් වහන්සේ ගෙන අසුචිවලකට දැම්මා. ඒ වලෙන් පස්පියුම් පිපුණා. නිගන්ඨයන් දැන් ලැජ්ජයි. ඔවුන් කියනවා රජතුමනි, මේක තලලා දාන්න කියා යෝජනා කළා. කිණිහිරෙන් තැලුවා. කිණහිර ඇතුලට ධාතුන් වහන්සේ කිඳා බැස්සා. දැන් නිගන්ඨයන්ටත් පුදුමයි. ඔවුන් කියනවා රජතුමනි, ඒකාන්තයෙන්ම මේ අපේ පිරිනිවන් පාපු නිගන්ඨයන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක්. ඒකයි මේ ප්‍රාතිහාර්ය. රජතුමා කියනවා එහෙනම් අරගන්න. නිගන්ඨයන් පුද පූජා කරමින් කියනවා ධාතුන් වහන්ස වඩින සේක්වා. ඔබවහන්සේ තනි කකුලෙන් හිටියා, ඇඳුම් නැතිව සිටියා, තණකොල ගොඩේ පමණයි නිදා ගත්තේ ආදි ගුණ කියමින් ඔබගේ දන්ත ධාතුන් වහන්සේ වඩින සේක්වා කියා කියනවා. ධාතුන් වහන්සේ වැඩියේ නැහැ.
සසරේ ස්වභාවය කෙතරම්ද කියනවා නම් එතැන සිටියා අනේපිඬු සිටුතුමාගේ මුණුපුරා වන “සුදත්ත කුමරු”. ඔහු කියනවා රජතුමනි, මේ අපේ ශාස්තෘන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ නමක් . එහෙනම් ගන්න කිව්වා. සසරේ පෙරුම් පුරපු හැටි, සත්ත්වයන්ට කරුණාව මෛත්‍රිය දැක්වපු හැටි, විස්තර ආකාරයට කියමින් ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අපට අනුකම්පා සහගතයි, වඩින සේක්වා කියා ආරාධනා කළා. එවිට ධාතුන් වහන්සේ කිණිහිරෙන් ගිලිහිලා ආකාසයේ සුදුරැස් විහිදවමින් වැඩ සිටියා.
නිගන්ඨයන් කිව්වා අපට පෙනෙන්නට ඔහොම කිව්වාට ඔය මනුස්සයා මන්තරයක් මේ මැතුරුවේ. මේ ධාතුන් වහන්සේ නමක් නොවේ කිව්වා. ඒ මිත්‍යාදෘෂ්ඨික රජතුමාට නැවත සැකයක් ඉපදුනා. අණකළා කුණුවලකට දාන්න. කුණු වලේ නැවත පස්පියුම් පිපුණා. ඒ පස්පියුම් මත බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා වගේ පියුමෙන් පියුමට වඩිනවා. සුදු නෙළුමින් රතු නෙළුමට, රතු නෙළුමෙන් මානෙල් මලට , මානෙල් මලෙන් ඕලුමලටත් ඕලුමලින් කුමුදු මලටත් වඩිනවා. සියල්ලටම පුදුමයි. ඇමැතිවරු පඬි රජතුමා නැවත නැවතත් කියනවා රජතුමනි, මෙය ආනුභාව සම්පන්න දෙයක්. සුදුසු පිළිවෙත් කරන්න කියා. නමුත් රජුගේ හිත නැමුනේ නැහැ. අනේපිඬු සිටුතුමාගේ මුණුබුරා නැවත නැවත ධර්මය කියන්න ගත්තා. එවිට රජුට පැහැදීමක් ඇතිවුණා. අණකළා ධාතුන් වහන්සේ වඩම්මවන ලෙස. ඇමැතිවරයා වැඳ කියනවා අපේ රජතුමා පැහැදුනා ඔබවහන්සේ වඩින සේක්වා කියා. ඒ ඇමැති උරමඬලේ රන් ආභරණ දෙකක් පළදාගෙන හිටියා. ඔහුගේ දක්ෂිණ උරයේ රන් ආභරණය තුළ සුදු රැස් විහිදවමින් ධාතුන් වහන්සේ වැඩ සිටියා. පුදුම සතුටක්. දැන් රජතුමාට හරි සතුටුයි. වන්දනා කළා. කියා සිටියා “භාග්‍යවතුන් වහන්ස, මට සමාව දෙනවානම් මගේ සිරසේ ධාතුන් වහන්සේ පිහිටත්වා කියා අධිෂ්ඨාන කළා. ධාතුන් වහන්සේ ඔටුන්නේ උඩ තිබෙන චූඩා මාණික්‍යයේ පිහිටියා. රජතුමා බුදුගුණ කියමින් ඔටුන්න මුළු රටේම ප්‍රදක්ෂිණා කර තිබෙනවා. සත්කාර සම්මාන කරලා ඝෝෂිය රජතුමාට නැවත ධාතුන් වහන්සේ ලබා දුන්නා.

8  කොටස

අපමණ ප්‍රාතිහාර්ය පෑ වාම ශ්‍රී දළදා වහන්සේ

මේ වගේ ආනුභාවසම්පන්න ධාතුන් වහන්සේ නමක් ඝෝෂිය රජළඟ තිබෙනවා කියා නපුරු රජ කෙනෙකුට ආරංචි වුණා. ඔහු ඝෝෂිය රජුගේ රාජධානිය ආක්‍රමණය කළා. ධාතුන් වහන්සේගේ ආනුභාවය අසා අල්ලපු රටක කුමාරයෙක් ධාතුන් වහන්සේට උපස්ථාන කරන්න ආවා. ඒ ‘දන්ත’ කුමාරයා. රජතුමා ඒ කුමාරයාට පැහැදිලා තමන්ගේ දුව ‘හේමමාලා’ කුමරිය දන්ත කුමරුට විවාහ කර දුන්නා. යුද්ධයට යන්න කලින් රජතුමා කිව්වා දන්ත ධාතුන් වහන්සේ උදෙසායි මේ යුද්ධය තිබෙන්නේ. මම යුද්ධයෙන් පැරදුනොත් මේ ධාතුන් වහන්සේ අරගෙන ඔබ දෙදෙනා සිංහල දීපයට යන්න. ඒ රට රහතන් වහන්සේගෙන් හිස් නැහැ. ශ්‍රද්ධාවන්ත රජෙක් රට පාලනය කරන්නේ’ කියා සිටියා. රජතුමා යුද්ධයට ගියා. එහිදී පැරදුණා. හේමමාලා කුමරිය හා දන්ත කුමරු වෙස්වලාගෙන කරඬුවක දන්ත ධාතුන් වහන්සේ වඩම්මවාගෙන ලංකාදීපයට ඒමට පිටත්වුණා. හිසේ ගසාගෙන ආ බව කියන කථා පසුකාලයක හැදුන කථාන්තරයි. පැරැණි පොත්පත්වල සඳහන්ව තිබෙන්නේ කරඬුවක තැන්පත් කරගෙන ආ බවයි. ඔවුන් බොහෝ දුර පැමිණ පැන් පහසුවෙන්න ඕනනිසා වැලිගොඩක් අයිනේ ධාතු කරඬුව තබා වැලි වලින් වසා මොවුන් පැන් පහසු වුණා. එතැනින් රහතන් වහන්සේ නමක් ආකාසයෙන් ගමන් කරමින් සිටියා. උන්වහන්සේ දැක්කා වැලිවලින් රැස් විහිදෙනවා. ධාතුන් වහන්සේ නමක් බව දැනගෙන උන්වහන්සේ වන්දනාමාන කළා. අර දෙදෙනා පැන් පහසු වෙලා එනවිට ස්වාමින් වහන්සේ නමක් වන්දනා මාන කරමින් සිටියා.ඒ දෙදෙනා දැනගත්තා මුන්වහන්සේ ධාතුන්වහන්සේ බව හඳුනාගත්තා කියා.

රහතන් වහන්සේ අහනවා ඔබලා කොහේද මේ යන්නේ? සිංහල දීපයට. බොහොම හොඳයි සිංහල දීපයේ තමයි බුදුසසුන පිහිටන්නේ. ඔබලා යන්න. හදිසියකදී කරදරයක් අන්තරාවක් වුණොත් මා සිහිකරන්න කියා උන්වහන්සේගේ නම කිව්වා. වංශකතාවල නම සිහි කරන්න කියන දේ තිබෙනවා. නමුත් උන්වහන්සේගේ නම කොතැනකවත් සඳහන් වෙන්නේ නැහැ. දැන් මේ දෙදෙනා කරඬුව අරගෙන ගඟක් අසලට ගියා. මුහුණ හෝදන්න කරඬුව තියා ගඟට බැස්සා. ගඟ තුළින් නාගයෙක් මතුවෙලා කරඬුව ගිල්ලා. මේ අය බලනකොට ධාතු කරඬුව නැහැ. දන්ත ධාතුන් වහන්සේ හංගන්න බැහැ. ධාතුන් වහන්සේගෙන් රැස් විහිදෙනවා. අර දෙදෙනා රහතන් වහන්සේගේ නම සිහිකළා. උන්වහන්සේ ගුරුළු වෙසක් මවාගෙන ඇවිත් නාගයා බයකරලා කරඬුව ගත්තා. එදා ලංකාවට යන නැවක් රහතන් වහන්සේ ඒ දෙදෙනාට පෙන්නුවා. දෙදෙනා නැවට ගොඩ වුණා. ගොඩවුණ විගස මුහුදේ රැල්ල නැවතුණා. නැව ඉදිරියට යනවා රැල්ල ගහන්නේ නැහැ. සියලු දෙනාටම පුදුමයි. මුහුද ඇතුලේ සිටි නාගයන්ට පෙනෙනවා නැවේ රැස් විහිදෙනවා. මුහුදේ නාගයන් නැව වටකළා. වටේම නාගයෝ සිටින නිසා නැවට යන ඉදිරි මාර්ගය පෙනුනේ නැහැ. නැවතත් රහතන් වහන්සේගේ නම සිහි කළා. උන්වහන්සේ සෘර්ධියෙන් වැඩම කොට ගුරුළු වෙසක් මවා නාගයන් පලවා හැරියා.ඉන් පසු දන්ත ධාතුන් වහන්සේ සුවසේ ලංකාවට වැඩමවූවා.
මේවනවිට ලංකාව පාලනය කළේ කිත්සිරිමෙවන් රජතුමායි . අලුතින් රාජ්‍යයක් පත්වෙලා තිබුණේ. දන්ත කුමරුයි හේමමාලායි ධාතුන් වහන්සේ සමඟ ගොඩ බැස්සේ ලංකා පටුනටයි. ගොඩ බැහැලා ධාතුන් වහන්සේ සංඝයාට ලබා දුන්නා. සංඝයා වහන්සේ විසින් ධාතුන් වහන්සේ රජතුමාට ලබා දුන්නා. කිත්සිරිමෙවන් රජතුමාට හරි සතුටුයි. කරඬුවට ධාතුන් වහන්සේ තැන්පත් කළා. දවසක් රජතුමාට කල්පනා වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ සුදුම සුදුපාටයි කියනවා. නමුත් මේ ධාතුන් වහන්සේ ටිකක් පාටින් අඩුයි. මේ දන්ත ධාතුන් වහන්සේ නෙමෙයිවත් ද? කියා හිතනකොටම කරඬුව මෑත්වෙලා ධාතුන් වහන්සේ අහසට පැන නැඟ සුදු රශ්මි දහරා විහිදුවනවා. අනේ ස්වාමිනි, මගේ අයහපත් සිතිවිල්ලට සමාව දෙන සේක්වා කියා පැන් පාත්තරය අල්ලාගෙන වන්දනා කළා. දන්ත ධාතුන් වහන්සේ පැන් පාත්තරයට වැඩමවා පාත්තරය ඇතුලේ දක්ෂිණාව කැරකෙනවා. මේ දන්ත ධාතුන් වහන්සේ තරම් ප්‍රාතිහාර්ය පෑ තවත් ධාතුන් වහන්සේ නමක් නැතිතරම්. ධාතුන් වහන්සේ පාත්තරයෙන් වඩම්මවලා රන් සළු පන්සියයකින් වැසුවා. ඒ රන් සළු පන්සියයම දෙබෑ කරමින් දන්ත ධාතුන් වහන්සේ නැවතත් අහසට පැන නැග්ගා. රජතුමා සමන්පිච්ච මල් අරගෙන ධාතුන් වහන්සේ වහනවා. වහන්න වහන්න ධාතුන් වහන්සේ උඩට පැන නගිනවා. එසේ ප්‍රාතිහාර්ය පෑ දන්ත ධාතුන් වහන්සේයි අද මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ වැඩ ඉන්නේ. ඔබ නුවර දළදා මාලිගාවට ගොස් ධාතු වන්දනාව කරන විට මේ ප්‍රාතිහාර්ය සිහි කරන්න. දන්ත ධාතූන් වහන්සේගේ ගුණ සිහි කර වන්දනා කරන්න. ඒ පින අපතේ යන්නේ නැහැ. මෙතැනින් අසිරිමත් ධාතු වංශකතාවේ පළමු කොටස නිමාවට පත්වෙනවා.
අප ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී චෛත්‍යය හතරනමක් ඉදිවූ බව. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ද්‍රෝණ අටක් තැන්පත් කර චෛත්‍යය අටක් ඉදි වූ බවත් අප සඳහන් කළා. කපිලවස්තු පුරයට ද්‍රෝණයක් ධාතුන් ලැබුණේ නැහැ. ටිකයි ලැබුණේ. හේතුව කිම? මල්ලරජදරුවන්ට ලැබුණ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තුළයි ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටියේ. ඒ ලලාට ධාතුන් වහන්සේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ එතැනින් ඉවත් කර ගත්තා. ද්‍රෝණ බමුණා පාත්‍රය ගෙනගොස් හැදු චෛත්‍යය “තුම්භ” චෛත්‍යය යි. මෞර්ය රජදරුවෝ පිරිනිවන් මංචකය ළඟට ආවේ ධාතු බෙදීමෙන් අනතුරුවයි. ඒ නිසා ඔවුන් සෑයේ අඟුරු ගෙනගොස් සෑයක් ඉඳිකළා. එය ‘අංඟාර ස්තූපය යි’. ඒ අංඟාර ස්තූපයත් සමඟ සෑයන් දහයක් දඹදිව ඉදිවෙලා තිබෙනවා.
ඉතින් මේ ධාතුන් වහන්සේලාට ඔබත් වන්දනා කරන්න. ධාතු වන්දනාව හිස් දෙයක් නොවේ. අර්ථ සිහිකර කර වන්දනා කරන්න. මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ ධාතුන් වන්දනාවේ ගුණ අසිරිමත් ලෙස සඳහන් වෙනවා. ඒ කරුණුත් ඔබ හොඳින් කියවා ඉගෙන ගන්න.
මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා ස්තූපයන් කළ යුත්තේ කවුරුන් උදෙසාද? ආනන්දයෙනි, ස්තූප තනවා පිදීමට සුදුසු මේ සිව් දෙනෙකි. ඒ කවර සිව් දෙනෙක් ද යත් තථාගත අරහත් සම්මා සම්බුදුහු ස්තූප තනවා පිදීමට සුදුසුය. පසේබුදු රජාණන් වහන්සේගේ , තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක තෙමේ සහ සක්විති රජු ස්තූප තනවා පිදීම සුදුසු ය.
ආනන්දයනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්මා සම්බුදු රජුහු ස්තූප තනවා පිදීමට සුදුසු වෙත්ද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ ස්තූපය යැයි බොහෝ ජනයෝ සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති. මෙකරුණ නිසාවෙන් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්තූප තනවා පිදීමට සුදුසු වෙති.
මෙසේ හෙයින් ආනන්දයෙනි, සිව්මංසලෙහි තථාතයන් ගේ ස්තූපයක් කළ යුත්තේය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සඳුන් හෝ තැන්පත් කරන්නාහුද, සකසා වන්දනා කරන්නාහුද සිත හෝ පහදවා ගන්නාහුද, එය ඔවුන් හට බොහෝ කල් හිත සුව පිණිස වන්නේය.

9  කොටස

ද්‍රෝණ හතක් ධාතූන් වහන්සේ එකම ස්ථානයක තැම්පත් වූ වගයි

මහාකස්සප මහ රහතන් වහන්සේ අසළට ඇවිත් “පෝත” නගරයේ කුමාරයෙක් කියනවා ස්වාමිනි අපටත් වන්දනා කරන්න ධාතුන් ලබා දෙන්න. එවිට ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ, ධාතු බෙදූ පාත්තරය මෙන්ම චිතකය ගිනි දැල්වීමෙන් ඉතිරි වූ අඟුරු සියල්ලම බෙදා අවසන්. දැන් ඉතුරු වී තිබෙන්නේ රන්දෙණ පමණයි. මහාකස්සප මහ රහතන් වහන්සේ සෘර්ධියෙන් සර්වඥතා ධාතුන් වහන්සේ කිහිප නමක් වඩම්මවා රන් දෙණේ තැන්පත් කර එය පෝත නුවර කුමාරවරුන්ට දුන්නා. ඒ කුමාරවරුන් ඒ රන්දෙණ තැම්පත් කොට එකොළොස්වැනි ස්තූපය ඉදිකළා. පෙර රජවරු මෙන්ම සංඝයාත් ඒ සෑයට වන්දනාමාන කොට තිබෙනවා.
අජාසත් රජතුමාට ලැබුණ ධාතුන් වහන්සේ පෙරහරකින් මගධයට වඩමවාගෙන යෑමට අවුරුදු හතයි, මාස හතක් මේ වනවිට ගතවෙලා. එයට හේතුව මාවතේ පිපී තිබෙන සියලුම මල් රජතුමා ධාතුන් වහන්සේ උදෙසා පූජා කිරීම නිසායි.

ඒ පිරිසේ සිටි සමහර අය කියනවා මේකනම් කරදරයක්. මේ ධාතුන් වහන්සේ ප්‍ර‍්‍රදර්ශනය නිසා අපේ වැඩ පාඩුවෙනවා. මේකනම් කරදරයක් යැයි කියනවා. මේ ගැන මහාකාශ්‍යපයන් වහන්සේ දිවැසින් දුටුවා. ඒ පිරිසේ සිත අපහදවාගත් අසූහය දහසක් සිටියා. කස්සපයන් වහන්සේ කල්පනා කළා මේ පිරිස සිත අපහදවා ගත්තොත් දුගතියේ උපතක් සැකසෙනවා. ඒ නිසා එයට පිළියමක් ලෙස උන්වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට කියනව දෙවිඳුනි, මේ පිරිසේ අය සිත අපහදවාගෙන සිටින්නේ. ඒ නිසා රජතුමාට ඉක්මනට ධාතුන් වහන්සේ මගධයට වඩමවන්න ක්‍රමයක් පෙන්වා දෙන්න. ශක්‍රයා කියනවා ස්වාමිනි, මේ පෘතුවියේ පෘතග්ජන ශ්‍රද්ධාවන්තයන් අතර අජාසත් රජුට දෙවැනි වන තව කෙනෙක් නැහැ. ඒ නිසා එයට මම උපක්‍රමයක් ලෙස ධාතුන් වහන්සේ වඩම්මවන පෙරහර රාත්‍රියේ සමහර තැන්වල නවතිනවා. එහිදී භයානක ශබ්ද කර මිනිසුන් බයට පත් කරන්නම් කිව්වා. ශක්‍රයා එසේ කළා. මිනිසුන් ඇවිත් රජතුමාට පැමිණිලි කළා. රජතුමා කස්සප මහරහතන් වහන්සේගෙන් අසනවා ස්වාමිනි, මෙසේ වන්නේ ඇයි? රජතුමනි, දෙවිවරු කිපුන නිසයි මේ. ඉක්මනට ධාතුන් වහන්සේ මගධයට වඩම්මන්න. එසේය ස්වාමිනි, කියා ධාතුන් වහන්සේගේ උපහාර පූජාවට හානි නොකරගෙන රජතුමා දින හතකට පසු ධාතුන් වහන්සේ මගධයට වඩම්මවා තිබෙනවා.
පිරිනිවන් පෑ ශාස්තෘන් වහන්සේගේ ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ චෛත්‍ය අටක තැන්පත් කර තිබු බව ඔබ දන්නවා. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ දිනක් දිවැසින් බැලුවා මේ සෑයන් හි ආරක්ෂාව පිළිබඳව. උන්වහන්සේ දුටුවා මේ සෑයවල් කඩා වැටෙන දවසක් එනවා. එවිට ධාතුන් වහන්සේට හානිවෙන්න පුළුවන්. එනිසා ධාතුන් වහන්සේ එකතුකර එකතැනක නිධන් කරන්නට ඕන කියා සිතා කස්සපයන් වහන්සේ අජාසත් රජුට කියනවා රජතුමනි, සියලුම ධාතු එක්තැන් කොට අප ධාතු නිධානයක් කරන්න අදහස් කළා කියා. රජතුමා කියනවා “අනේ ස්වාමිනි, ධාතුන් වහන්සේ බෙදන දවසේයි යුද්ධයක් ඇතිවෙන්න ගියේ. දැන් ඒ දුන් ධාතු එකතු කළොත් අපට යුධ වදින්න වෙනවාමයි”. “රජතුමනි, ඔබතුමා ධාතු නිධානයට අවශ්‍ය කටයුතු සකසන්න. ධාතුන් වහන්සේ වැඩමවීම මම කරන්නම්”. නමුත් රජතුමනි, මේ ධාතු නිදන්වීම කාටවත් නො දැනුවත්වමයි සිදුවිය යුත්තේ.
දැන් මහාකස්සප මහරහතන් වහන්සේ හැම සෑයකටම සෘර්ධියෙන් වැඩම කොට ධාතු ලබා ගෙන ඒ ඒ සෑයන් හි ධාතුන් වහන්සේ කිහිප නමක් ඉතුරු කළා. රාම ග්‍රාමයටත් ගියා. රාම ග්‍රාමයේ චෛත්‍යය නාගයන් වටකරගෙනයි සිටියේ. රහතන් වහන්සේ දිවැසින් බැලුවා මේ සෑයේ තිබෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේ අනාගතය පිළිබඳව. ලංකා ධරණීතලයේ පිහිටන තුන් ලෝකයේම මහා ස්තූපය වන “ස්වර්ණමාලි චෛත්‍යයේ” එම ධාතුන් තැන්පත් වන බව උන්වහන්සේ දුටුවා. එනිසා රාමග්‍රාමයේ ධාතුන් වහන්සේ හැර අනෙක් ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේ තමන් වහන්සේගේ අතට අත්පත්කර ගෙන සූදානම ද්‍රෝණ හතක් වූ ඒ ධාතුන් වහන්සේ නිදන් කරන්නයි.
ධාතු නිදන් කිරීම
ධාතු නිධානය අප්‍රසිද්ධියේ කළයුතු නිසා රජතුමා රටේ ප්‍රසිද්ධ කළා අසූමහා ශ්‍රාවකයන්ගේ චෛත්‍ය ඉදිකිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා පස් ලබාගත යුත්තේ එක් තැනකින් යැයි පවසා කැලේ මැද සම්පූර්ණ සමතලා බිමක් සකස් කර එතැන පස් ගැනීමට කියා පොළොව හෑරුවා. රියන් අසූවක් දුරට පොළොව හාරා තිබෙනවා.
ධාතු නිධානය සඳහා කැලේ මැද සම්පූර්ණ සමතලා බිමක් සකස් කර පොළොව රියන් අසූවක් දුරට හෑරුවා. ඒ මත ලෝහ තහඩුවක් ඇතිරූවා. ඒ මත රන්, රිදී, නා නා මාණික්‍යයන් අතුරා ඒ මත නවරත්න සුවඳ කුඩු විසුරුවා ඒ මැද සඳුන් කරඬුවක් තබා ද්‍රෝණ හතක ධාතුන් වහන්සේ තැන්පත් කර ඒ කරඬුව තවත් සඳුන් කරඬු සතකින් වසා, ඒ කරඬු අට රත් සඳුන් ස්තූප අටකින් වැසුවා. ඒ ස්තූප රත් සඳුන් කරඬු අටකින්ද, ඒ කරඬු රතුපාට සඳුන් ස්තූප අටකින් ද වැසුවා. ඒ ස්තූප ඇත්දත් කරඬු අටකින්ද, ඒ කරඬු ඇත් දත් ස්තූප අටකින්ද වැසුවා. ඒ ස්තූප මැණික් කරඬු අටකින්ද, ඒ කරඬු මැණික් ස්තූප අටකින්ද,වැසුවා. ඒ ස්තූප ස්වර්ණමය කරඬු අටකින්ද, ඒ ස්වර්ණමය කරඬු ස්තූප අටකින්ද වසා ඒ ස්තූප රිදී කරඬු අටකින්ද, ඒ රිදී කරඬු රිදී ස්තූප අටකින්ද වැසුවා. ඒ ස්තූප නැවත මැණික් කරඬු අටකද, ඒ කරඬු නැවත මැණික් ස්තූප අටකින්ද වැසුවා. ඒ ස්තූප පද්මරාග කරඬු අටකින්ද වැසුවා. ඒ ස්තූප පද්මරාග ස්තූප අටකද, ඒ ස්තූප වෛයිරෝඩි කරඬු අටකද, ඒ කරඬු වෛයිරෝඩි ස්තූප අටකද තැන්පත් කොට ඒ ස්තූප පළිඟු කරඬු අටකද, ඒ කරඬු පළිඟු චෛත්‍යයක් තුළ ද තැන්පත් වුණා. මේ ආකාරයට කරඬු අසූවකින්ද ස්තූප අසූවකින්ද ධාතුන් වහන්සේ වසා තිබෙනවා. අවසන් පළිඟු ස්තූපය ථූපාරාම සෑය තරම් වූ බව සඳහන් වෙනවා. ඒ මත්තේ ස්වර්ණ ගෘහයක්ද, ඒ මත්තේ රිදී ගෘහයක්ද, ඒ මත්තේ තඹ ලෝහ ගෘහයක්ද වූවා. ඉන් අනතුරුව රතනමය වැලි අතුරුවා ජලයේ සහ ගොඩබිම සෑදෙන මල් දහස් ගණනක් විසිරුවා පන්සියයක් ජාතක කථාවන්ද , අසූමහා ශ්‍රවකයන්ද, සුද්ධෝදන මහා රජ, මහාමායා දේවිය සහජාත සප්ත වස්තූන් සියල්ල රනින් කරවා තැන්පත් කළා. පන්සියයක් බැඟින් රන්, රිදී පුන්කළස්ද, පන්සියයක් රන් දද ද, පන්සියක් ස්වර්ණ ප්‍රදීපද, පන්සියයක් රජත ප්‍රදීපද තබවා ඒ ප්‍රදීප සුවඳ තෙලින් පුරවා දුහුල් පහන්තිර දල්වා තැබුවා.
මහා කස්සපයන් වහන්සේ මේ මල්මාලාවන් පර නොවේවා යැයිද, සුවඳ නො නැසේවා යැයිද තෙල් පහන් නො නිමේවායි අධිෂ්ඨාන කොට පහන් දල්වා අනාගතයේදී දෙවියන්ට පි‍්‍රය වූ පියදාස නම් රජු අශෝක නමින් අභිෂේක ලබා රජෙකු මේ ධාතුන් වහන්සේ ලබාගන්නා බවත් රන්පතක ලියා තබා ධාතු ගැබෙහි දොර වසා යතුර මුදුවේ තබා ඒ මත විශාල මැණිකක් තබා වසා දැමුවා. දෙව්ලොවට අධිපති සක්දෙව් රජ මේ උතුම් නිධානය දැක විශ්කම් දෙව්පුතු ලවා වාලසංඝාඨ යන්ත්‍රයක් කරවූවා. ඒ කෙසේ ද යත් සියලු ධාතු ගර්භය එක් ගෘහයකින් වැසෙන ලෙසත් පළිඟු වර්ණවලින් අඩු එළියක් විහිදෙන ලෙසත්, වාතයට බඳු වේගයෙන් හාත්පස කැරකෙන යන්ත්‍රයක් කරවා ඒ කැරකෙන යන්ත්‍රයේ යතුර තැබුවා. ඒ කැරකෙන යන්ත්‍රයේ දෙපැත්ත කැපෙන කඩු ගත් මිනිස් රූප තිබෙනවා. කිසිවෙකුට ස්පර්ෂ කරන්න බැහැ. කැරකෙන යන්ත්‍රයේම බොත්තමක් තිබෙනවා. එයින් තමා යන්ත්‍රය නවතාලිය යුත්තේ. එය කවුරුනම් නවත්වන්නේ ද? මේ ගැන වැඩි විස්තර පූජාවලිය හා ථූප වංශය සහිත බොහෝ පත්වල සඳහන්ව තිබෙනවා.
ඉන්පසු අජාසත් රජු පොළොව වසා පොළොව සම කොට පස් දමා ඒ මත්තේ පාශාණ ස්තූපයක් කරවූවා. මෙසේ ධාතු නිධානය නිමවුණා. මහකස්සපයන් වහන්සේද පිරිනිවන් පෑවා. අජාසත් රජුද, එකල විසූ මිනිසුන්ද කාලයාගේ ඇවෑමෙන් මියගියා. දැන් ඒ උතුම් ධාතු නිධානය ගැන දන්නෝ කවුරුන්ද? වසර තුන්සියකට අධික කාලයක් අසිරිමත් අද්විතීය ධාතු නිදානය මිනිස් මතකයෙන් ඈත්වුණා.

10  කොටස

අශෝක රජතුමා සිදුකළ මහා ධාතු නිධානය

අනාගතයේ පහළවන අශෝක නම් රජතුමා මේ ධාතු රැගෙන ස්තූප තනනවා. ඒ ස්තූපවලට උපකාර සඳහා මේ මැණික තැන්පත් කරන බව ලියා තබා ද්‍රෝණ හතක් වූ ධාතුන් වහන්සේ තැන්පත් කළ ස්තූපය අජාසත් රජු විසින් වසා දැමූ බව අප කථා කළා. අද එතැන් සිට. . . .
අශෝක රජතුමා රජවී කාලයත් සමඟ බුදු සසුනට පැහැදුනා. රජතුමා සෑම බුද්ධ භූමියක්ම වන්දනා කරන්නත්, බුද්ධභූමි දකින්නත් ආශා කළා. අශෝක රජතුමා මුල් කාලයේදී ශාසන බ්‍රහ්මචරියාව සහ ශාසන පිළිබඳව ඉගෙන ගත්තේ මොග්ගලිපුත්තතිස්ස මහා රහතන් වහන්සේගෙන්. එසේ ඉගෙන ගෙන බුද්ධ ශාසනයට වඩ වඩාත් ශ්‍රද්ධාව ඇතිකර ගෙන ශාසනය දියුණුවට වැඩ කටයුතු සිදුකළා. වෙහෙර විහාර ඉදිකිරීමට උපදෙස් ලබා ගත්තේත්, ධාතුන් වහන්සේ පිළිබඳව දැනකියා ගත්තේත් උපගුප්ත මහා රහතන් වහන්සේගෙන්. දැන් රජතුමා වෙහෙර විහාර දැක ගැනීමට යන අතරේ උපගුප්ත මහ රහතන් වහන්සේ කියා දෙනවා රජතුමනි මෙතැනයි තථාගතයන් වහන්සේ ඉපදුනේ, මෙතැනයි බුදුවුණේ, මෙතැනයි පිරිනිවන් පෑවේ කියා ස්ථාන පෙන්වා දෙනවා. ඒ ඒ ස්ථානයන්ට පැහැදෙන රජතුමා එතැන කුළුණක් සිටවනවා.

ඊළඟට අසූමහා ශ්‍රාවකයන්ගේ වෙහෙර තිබෙන තැන් දැක අසනවා ස්වාමිනි, මේ ස්තූප කාගේද? රජතුමනි මේ ස්තූපය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ. සාරිපුත්ත මහාරහතන් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද? රජතුමනි, උන්වහන්සේ කරුණාවෙන් අග්‍රේෂ්වරයි. සංඝයාගේ හිතසුව පිණිස කැපවෙනවා. අනේ උන්වහන්සේ කෙතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද? සිතා කහවණු ලක්ෂයක් ගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සෑය ළඟ තබා වැඳ අණකළා මේ කහවනු වලින් මේ සෑය ප්‍රතිසංස්කරණය කරන්න කියා. ඊළඟට මුගලන් මහ රහතන් වහන්සේගේ සෑය ළඟට ගොස් අහනවා මුන්වහන්සේ කෙහොම කෙනෙක්ද? ස්වාමින් වහන්සේ කියනවා මුගලන් මහරහතන් වහන්සේ සෘර්ධි බලයෙන් අග්‍රයි. සංඝයාට බොහෝ උපකාර කර තිබෙනවා කියා. එතැනදීත් පැහැදි කහවනු ලක්ෂයක් සෑය ළඟ තබා වැඳ කියනවා මෙයින් සෑය ප්‍රතිසංස්කරණය කරන්න කියා. අංගුලිමාල මහරහතන් වහන්සේ, සරභූ මහ රහතන් වහන්සේ, ආදී රහතන් වහන්සේලාගේ සෑය අසලදීත් එසේම කළා.
ඊළඟට බක්කුල මහරහතන් වහන්සේගේ සෑය ළඟට ඇවිත් අහනවා මුන් වහන්සේ කොහොම කෙනෙක්ද? උපගුප්ත රහතන් වහන්සේ වදාළා බොහෝම නිරෝගියි. දීර්ඝායුෂ වින්ඳා. හැබැයි රජතුමනි පැවිදිවූ ඒ අවුරුදු අසූවටම එකම බණ පදයක්වත් දේශනා කොට නැහැ. කිසිවෙකු මහණ හෝ උපසම්පදා කර නැහැ. රජතුමා කියනවා මුන් වහන්සේ රහත් බවනම් සැබෑව. නමුත් අනෙක් අයටනම් යහපතක් කර නැහැ වගේ කියා ඒ සෑය ළඟින් තුට්ටුවක් තිබ්බා. (ඒ කාලයේ තිබූ මුදල්වල අඩුම ගණන) තිබ්බ ගමන්ම ඒ කාසිය කැරකිලා කැරකිලා රජතුමාගේ කකුල ළඟට වැටුණා. රාජපුරුෂයෝ කියා සිටියා රජතුමනි, ඔබතුමාගේ තුට්ටුවටවත් උන්වහන්සේ කැමැති නැහැ කියා. රජතුමා සංවේගයට පත්වෙලා එතැනත් කහවනු ලක්ෂයක් තබා සෑය ප්‍රතිසංස්කරණය කිරීමට අණ කොට රහතන් වහන්සේගෙන් සමාව ලබා ගත්තා.

අසූහාරදහසක් සෑයන් ඉදිවීම

මෙහෙම යන අතරේ රජතුමා රහතන් වහන්සේගෙන් අහනවා තථාගතයන් වහන්සේගේ ධර්මය කොතරම් ද? රජතුමනි, සුවාසූ දහසක්. රජතුමාට ආසා හිතුනා අසූහාරදහසක් ධර්මස්කන්ධයට සෑයන් අසූහාරදහසක් ඉදිකිරීමට. ඒත් ඒ සෑයන්ට ධාතුන් වහන්සේ ලබාගන්නේ කොහොමද? ධාතුන් වහනසේ තිබෙන තැනක් කිසිවෙක් දන්නේ නැහැ. ඊළඟට තීරණය කළා සෑයන් අටක් තිබෙනවානේ. මේ සෑයන් බිඳ ධාතු ලබා ගමු කියා. දාගැබ් කඩ කඩා බැලුවා. ධාතුන් වහන්සේ සුළු වශයෙන් තිබුණේ. රාම ග්‍රාමයට ගියා. ඒ සෑය වටා සිටි නාගයන් පිරිසට එතැනට එන්න දුන්නේ නැහැ. ඒ නිසා එතැනට ගියේ නැහැ. දැන් රජතුමාට සෑයන් සඳහා ධාතුන් වහන්සේ කෝ?
මේ වනවිට තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වසර තුන්සියයකට කිට්ටු වෙනවා. අජාසත් රජුගෙන් අවුරුදු සිය ගණනක් දැන් පිටුපසට ඇවිත්. සංඝයා රැස්කර අශෝක රජතුමා අසනවා ස්වාමිනි, ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේ කොහේද වැඩ සිටින්නේ? එතැන සිටියා අවුරුදු එකසිය හැටක් වයස රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ කියනවා මගේ ගුරු ස්වාමින් වහන්සේ වයස අවුරුදු එකසිය හැටක් ජීවත් වුණා. මට මතකයි උන්වහන්සේ මම අවුරුදු හතේ සාමණේරව වැඩ සිටිද්දී එක්කගෙන ගියා යම් ස්ථානයකට. සාමණේර මට මහා කැලයේ ඒ ස්ථානය පෙන්වා කිව්වා පොඩිනම මෙතැනට වඳින්න. එය ඔබට බොහෝ හිතසුව පිණිස පවතීවි කියා. මට මතකයි මම කැලේ එක් ස්ථානයක සෑයකට වන්දනා කළා.
රජතුමා ඒ ඔස්සේ සොයාගෙන ගියා. යම් තැනකට ගිහින් පොළොව හෑරුවා. මුලින්ම ලෝහ ගෙය හම්බවුණා. වහලය අයින් කර වටේ හාරනවිට වාලසංඝාඨය ඇතුලේ කැරකෙනවා. දැන් කොහොමද එය නවතාලන්නේ? එය නවතාලන්නෝ කවුරුද? මන්තර දන්න අය ගෙන්වූවා. බලිතොවිල් කළා. කිසිම දෙයකින්ම වාලසංඝාඨය කැරකෙන එක නැවතුනේ නැහැ. රජතුමා අධිෂ්ඨානයක් කළා. නමුත් නැවතුනේ නැහැ. ශක්‍ර දේවේන්ද්‍රයා විශ්කම් දෙව්පුතුට කියනවා දේවේන්ද්‍ර, ධාතු ගර්භයේ දොර අරින කාලය දැන් හරි. එය ඔබට බාරයි කිව්වා. දේවපුත්‍රයා අවුරුදු හතක ළමයෙකුගේ වෙස් ගෙන දුන්නක් සහ ඊතලයක් අරගෙන පිරිස අතරට ආවා. රජතුමනි, මම මේ යන්ත්‍රය නවතාලන්නම්. හොඳයි කිව්වා. විස්කම් වැඩ කෙතරම්ද කියනවානම් අර කැරකෙන යන්ත්‍රයේ තිබෙන බොත්තම ඉලක්ක කර විද්දා හරියටම බොත්තමට වදින්න. යන්ත්‍රය ක්ෂණයෙන් නැවතුනා. රජතුමා දොර ඇරියා. මුලින්ම මැණිකක් හමුවුණා. දැන් ධාතු ගර්භය ඇරගෙන ඇරගෙන යනවා. කරඬු එකසිය අසූවක් ඇතුළේ ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේ වැඩ සිටියා. රජතුමාට බොහෝම සතුටුයි. බොහෝ පුදසත්කාර මැද රජගෙදරට ධාතුන් වහන්සේ වඩමවා අසූහාරදහසක් වෙහෙර විහාර තනවා ඒ ධාතුන් තැන්පත් කළා. පාත්‍රයක් ධාතුන් වහන්සේ රජතුමා සන්තකයේ තබා ගත්තා. නිතර වන්දනා මාන කළා. ධර්මාශෝක රජතුමාට තිබූ එකම වස්තුව වූයේ තමාගේ ගෘහයේ තිබෙන ධාතුන් වහන්සේ පමණයි.
දැන් රජතුමාට ආසයි අසූහාරදහම වෙහෙර විහාර එකවර විවෘත කරන්න. විශාල ප්‍රදේශ ප්‍රමාණයකයි ඒ වෙහෙර පිහිටියේ. එය කළ හැකි දෙයක්ද? ඔබ දන්නවා ධර්මාශෝක රජතුමා චක්‍රවර්ති රජ කෙනෙක්. මුළු දඹදිවට පහළ වූ එකම එක රජතුමා අශෝක රජතුමායි. රජතුමාගේ ආශාව සංසිඳවීමට මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ ප්‍රාතිහාර්යයක් පෑවා. එය “මහා විවිට ප්‍රාතිහාර්ය” ලෙස සඳහන් වෙනවා. ඒ ප්‍රාතිහාර්යෙන් සිදුවුණේ රජතුමා එක වෙහෙරක දොර අරිනවිට වෙහෙර අසූහාර දහසේම දොර එකවර ඇරෙනවා. රජතුමා ශ්‍රද්ධාවෙන් ඉපලී ගියා.
කාලයත් සමඟ රජතුමා බුදුසසුන වෙනුවෙන් තවත් කළයුතු දේ කල්පනා කළා. ඒ වෙලාවේ පුතා සසුනට පූජා කරන්න තීරණය කළා. මිහිඳු මහ රහතන් වහන්සේ. දියණියත් සසුනට පූජා කළා. සංඝමිත්තා මහා තෙරණිය. ධර්මාශෝක රජතුමා නොවෙන්න අද අපට ධර්මයක් අසන්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? ධර්මාශෝක රජතුමාගේ අදහසක් අනුව තමා රටවල් නවයකට ධර්මය ප්‍රචාරය කිරීම සිදු වුණේ. ත්‍රිපිටකය රන් ඉරුපත්වල ලියා එක එක තැන්වල තැන්පත් කළා. සූත්‍ර දේශනා ගල් කණුවල සටහන් කළා. ඒ තරමට ඔහු මේ ධර්මය ප්‍රචාරය කරන්න ආශා කළා. නමුත් මේ රජතුමාට වැරදුන එක් තැනක් තිබුණා. ඒ තමා ඉක්මනින් කෝප වීම. පුරුද්දට මෙන් තරහ යනවා. වෙහෙර විහාර අසූහාරදහසක් හැදු රජතුමාටත් මරණාසන්න මොහොතේ තරහා සිතිවිල්ලක් ආවා. මරණින් පසු පිඹුරෙක් වෙලා ඉපදුනා. අසූ හාරදහසක් වෙහෙර විහාර කරවූ, දරුවෝ රහත් වහන්සේලා වූ පියාට එසේ වූවානම් අප ගැන කවර කථාද? කිසිවක් නැති ඔබ, ඔබ ගැන සිතන්න. දින හතකට පසු නැවත මිනිස් ලොව ඉපදී රහතන් වූ බව පොත්පත් වල සඳහන් වෙනවා.
ධර්මාශෝක රජතුමා විසින් තැන්පත් කළ ඒ ධාතුන් වහන්සේ ඔබත් මෙසේ දිනපතා වන්දනා කරන්න.
මහාධාතු නිධානංතං 
අබ්භූතං ලෝමහංසනං
වන්දේහං සිරසා කිච්චං 
විපස්සන්නේන චේතසා

ඒ මහා ධාතු නිධානය අද්භූතයි. ලොමුදහ ගැන්වන සුළුය. සිත මනාව පහන් කොට ගෙන මම සිරසින් ඒ මහා ධාතු නිධානය වන්දනා කරමි.